ශිතකරණ තුළ අලෙවියට තබා ඇති ආහාර මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්න – උපුල් රෝහණ

ශිතකරණ තුළ අලෙවියට තබා ඇති ආහාර මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්න – උපුල් රෝහණ

*********************************************

ශිතකරණ තුළ අලෙවියට තබා ඇති ආහාර මිලදී ගැනීමේදී සැලකිලිමත් වන්න – උපුල් රෝහණ

(26.03.2022 – 18:37 +0530 – hirunews.lk/sinhala)

විදුලි කප්පාදුව හේතුවෙන් වෙළෙඳසැල්වල ශීතකරණ තුළ අලෙවියට තබා ඇති ආහාර ද්‍රව්‍ය නියමිත දිනට පෙර කල් ඉකුත්විමේ තත්ත්වයක් උදාවී ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ පවසන්නේ මාර්තු මස මේ දක්වා කාලය තුළ සිදුකළ වැටලීම් වලින් එවැනි ආහාර අලෙවි කළ වෙළෙඳුන් 407 කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බවයි.

එම නිසා ශිතකරණ තුළ අලෙවියට තබා ඇති ආහාර මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කරන ලෙස උපුල් රෝහණ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

++++++++

කෙරවලපිටිය ඇතුළු බලාගාර සඳහා ඉන්ධන ලැබේ

(26.03.2022 – 16:23 +0530 – hirunews.lk/sinhala)

කෙරවලපිටිය ඇතුළු බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 9000 ක පමණ ප්‍රමාණයක් නිකුත් කළ බව, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරිය පවසනවා.

දැවිතෙල් නොමැති වීම හේතුවෙන් පෙරේදා (24) පෙරවරුවේ සිට කෙරලවලපිටිය තාප විදුලි බලාගාරය අක්‍රිය ව පැවතියා.

එමගින් ජාතික පද්ධතියට සැපයු විදුලි ධාරිතාව මෙගාවොට් 270 ක්.

මේ වනවිටත් විදුලි බලාගාර කිහිපයක් අක්‍රියව පවතින්නේ ඉන්ධන සහ ජලය නොමැති විම හේතුවෙන්.

+++++++

***************************************

උල්පත් ජලය හිඟවීමේ අවදානමක

(26.03.2022 – 19:38 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී රට තුල භූගත ජල හිඟයක් ඇති වීමේ අවදානමක් පවතින බවට භූ විද්‍යාඥයන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ වර්ෂාපතනය අඩු වීම හේතුවෙන් එම තත්ත්වය ඇති විය හැකි බවයි.

වාර්ෂිකව ලැබෙන වර්ෂාපතන රටාවේ වෙනසක්ද පවතින බව ඔවුන් පවසනවා.

විශේෂඥන් පෙන්වා දෙන්නේ දැව අවශ්‍යතා සඳහා ගස් කපා දැමීමේදී පවතින භූගත ජල මූලාශ්‍ර විනාශ වීමද මෙම භූගත ජල හිඟයට හේතු වන බවයි.

ඒ හේතුවෙන් භාවිතයට ගන්නා ජලය භූගත ජල මූලාශ්‍ර වලට යොමු වන ලෙස බැහැර කරන ලෙසටයි භූ විද්‍යාඥයන් ජනතාවට දැනුම් දෙන්නේ.

ඒ සම්බන්ධයෙන් වාරියපොල ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ භූගත ජල අංශයේ වයඹ පළාත් කළමනාකරු උපුල් වික්‍රමරත්න අදහස් පළ කළා.

භූ ගත ජලය ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු පියවර පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මේ වනවිටත් ක්‍රියාත්මක බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළා ෴

***************************************

අකුණුසැර වැදීමෙන් පුද්ගලයින් 25 දෙනෙකු අනතුරක

(26.03.2022 – 20:04 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල බැමිණිවත්ත සුසාන භූමියේ අවමංගල්‍ය උත්සවයකදී අකුණුසැර වැදීමෙන් පුද්ගලයින් 25 කට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.

***************************************

IMF ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැංවීමට ඉවහල් වනවා – ආර්ථික විශ්ලේෂකයන්

(26.03.2022 – 20:13 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ගොඩනංවා ගැනීමට ඉවහල් වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාව මුහුණදෙන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට දැනටමත් ප්‍රමාද වී ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ ‘ආටිකල් ෆෝ’ උපදේශන සහ කාර්ය මණ්ඩල වාර්තාව ඊයේ (25) රාත්‍රියේ නිකුත් කෙරුණා.

එහි විධායක අධ්‍යක්ෂවරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රකාශයද ඊට ඇතුළත්.

මෙරට සාර්ව ආර්ථික ස්ථාවරභාවය සහ ණයවල තිරසර භාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශ්වසනීයත්වයෙන් යුත් පැහැදිලි ක්‍රමෝපායක් ලක් රජය විසින් ක්‍රියාවට නැංවීම කඩිනම් අවශ්‍යතාවක් බවයි එහි සඳහන් වන්නේ.

එහිදී අවදානම් කණ්ඩායම් සුරකිමින් දුප්පත්කම අවම කිරීම සඳහා සමාජ සුරක්ෂිත ක්‍රියාමාර්ගද ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරනවා.

මූල්‍ය අරමුදලේ ‘ආටිකල් ෆෝ’ විශ්ලේෂණය මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි බලපා ඇති ප්‍රධාන කරුණු පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.

කොරෝනා වසංගතයෙන් මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුව ඇති අතර, සංචාරක කර්මාන්තයේ ආදායම් අහිමිවීම ඒ අතුරින් ප්‍රධානයි.

වසංගතයට පෙර සිදුකළ බදු කපාහැරීම් සහ කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් මෙරට මූල්‍ය හිඟය, 2020 සහ 2021 වසරවලදී දලදේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ඉක්මවූවා.

විදේශ ණය පියවීම් සහ ජංගම ගිණුමේ ශේෂය පුළුල්වීම තුළින් විදේශ විනිමය හිඟයක් ඇතිවී තිබෙනවා.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට එහිදී නිල විනිමය අනුපාතික සැබෑ තත්ත්වය පිළිබිඹු නොකළ අතර, එය, පසුගිය දෙසැම්බරය වනවිට උද්ධමනය දෙගුණයකින් ඉහළ යාමට හේතුවුණා.

සාර්ථක එන්නත්කරණ වැඩසටහන තුළින් සංචාරක කර්මාන්තයේ අවස්ථා වැඩිදියුණු කිරීමට හැකිවී තිබෙනවා.

එහෙත් මැදිකාලීන වර්ධන දැක්ම, සාර්ව ආර්ථික අසමබරතාවන්, විදේශ විනිමය හිඟය සහ ප්‍රමුඛතාවක් නොමැති භාණ්ඩ ආනයන අත්හිටුවීම ආදියෙන් සමන්විත වනු ඇති.

මෙම වාතාවරණය තුළ මූල්‍ය ස්ථාවරත්වය ගොඩනැංවීම ආදායම් ඉහළ නැංවීම මත පදනම් විය යුතු බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ.

වැට් හා ආදායම් බදු අනුපාත ඉහළ නැංවීම සහ පුළුල් කිරීමේ පියවර තුළින් ඒ සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතුයි.

මූල්‍ය අවදානම අවම කරන අයුරින් බලශක්ති මිලකරණය සැකසිය යුතු අතර, පාඩු ලබන රජයේ ව්‍යවසායන් ප්‍රතිසංස්කරණයට පියවර ගත යුතු බව ද මූල්‍ය අරමුදල පවසනවා.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ ‘ආර්ටිකල් ෆෝ’ වාර්තාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සමීප සබඳතාවයක් රජය අපේක්ෂා කරන බැවින් ශ්‍රී ලංකා මහ බැංකුවද එවැනි සබඳතාවයකට සහයෝගය දැක්වීමට සූදානම් බවයි.

ඔවුන්ගේ ඇතැම් නිර්දේශ මේ වනවිටත් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරමින් සිටින බව මහබැංකුව ප්‍රකාශ කළා.

***************************************

ආණ්ඩුවේ Road Map එකෙන් වුනේ හොම්බ බිම ඇනිලා, වැටිලා යන එන මං නැති වෙච්ච එක – IMF ආණ්ඩුවට දුන්න කනේ පාර (26.03.2022)

***************************************

මිලියන 48,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

(26.03.2022 – 20:17 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 48,000 ක් වටිනා භාන්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 30 වනදා පැවැත්වෙනවා.

එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 18,000 ක බිල්පත්, දින 182 කින් කල් පිරෙන මිලියන 12,000 ක බිල් පත් සහ දින 364 කින් කල් පිරෙන මිලියන 18,000 ක බිල්පත් වෙන්දේසි කෙරෙනු ඇති ෴

+

@@@@ ඉන්ධන සහ විදුලිබල අර්බුදය @@@@

තවත් ගෑස් නැවක් අද (26) දිවයිනට – ඉන්ධන නැවක් සඳුදා (28)

(26.03.2022 – 08:16 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නෞකාවක් අනිද්දා (28) දිවයිනට ළඟාවන අතර, එම ඉන්ධන ප්‍රමාණයම රැගත් තවත් නෞකාවක් අප්‍රේල් මුල් සතියේ දිවයිනට ළගා වීමට නියමිතයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේ දිවයිනට පැමිණි තවත් නෞකාවක ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000 ක් ගොඩබෑමේ කටයුතු ඊයේ (25) පස්වරුවේ ආරම්භ කිරීමට කටයුතු කළ බවයි.

මෙවන් පසුබිමක අද (26) දිනයේදී ගෑස් මෙට්‍රික් ටොන් 3,650 ක් අඩංගු තවත් ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිත බවද වාර්තා වුණා.

පසුගියදා දිවයිනට පැමිණි නෞකාවේ ගෑස් බෙදාහැරීමේ කටයුතු අද (26) දිනයේදීත් සිදු කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශකයෙකු පැවසුවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදත් (26) ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර පසුගියදා අනුමැතිය හිමිවූ ‘ඒ.එස්. ඇඹිලිපිටිය’ පෞද්ගලික බලාගාරයෙන් විදුලිය මිල දී ගැනීමට අදාළ ගිවිසුම සඳහා අනිද්දා අත්සන් තැබීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

එසේම තවත් පෞද්ගලික බලාගාර කිහිපයකින් විදුලිය මිලදී ගැනීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය අවසර ඉල්ලා ඇති බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.

විදුලිය කප්පාදු කිරීමේ කාල සීමාව, වර්ෂාව ලැබෙනතුරු දිනකට පැය 3 කට හෝ 4 කට සීමා කල හැකි බවද කොළඹ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකදී මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක සඳහන් කළා.

මේ අතර සති අන්තයේ දින වන අද (26) සහ හෙට (27) විදුලිය කප්පාදු කිරීම සඳහා අවසර ලබා දී ඇති ආකාරය මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව අද (26) දිනයේදී පී කිව් ආර් එස් ටී යූ වී හා ඩබ්ලිව් (P – W) කලාප වලට උදෑසන 9 ත් පස්වරු 6 ත් අතර පැය 3 ක් හා පස්වරු 6 ත් රාත්‍රී 9 ත් අතර පැයකුත් (1) මිනිත්තු 40 ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.

එසේම ඒ, බී, සී, ඩී, ඊ, එෆ්, ජී, එච්, අයි, ජේ, කේ, හා එල් (A – L) කලාපවලට උදෑසන 8 ත් පස්වරු 6 ත් අතර පැය 3 යි මිනිත්තු 20 ක් හා පස්වරු 6 ත් රාත්‍රී 11 ත් අතර පැයකුත් (1) මිනිත්තු 40 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

++++++++++++

අයි.ඕ.සී. පෙට්‍රල් මිල රුපියල් 49 කින් යළි ඉහළට

(26.03.2022 – 08:22 +0530 – hirunews.lk/sinhala)

ලංකා අයි.ඕ.සී. සමාගම ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි යළි පෙට්‍රල් මිල රුපියල් 49 කින් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව ලංකා අයි.ඕ.සී. සමාගම අලෙවි කරන ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 303 ක් වන අතර, ඔක්ටේන්-95 පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 332 ක්.

කෙසේ වෙතත් මෙතෙක් සිපෙට්කෝ ඉන්ධන මිලෙහි වෙනසක් සිදුකර නැහැ.

පසුගිය මාර්තු 11 වනදාද ලංකා අයි.ඕ.සී. සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ නැංවූ අතර, එහිදී ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ නංවනු ලැබුවා.

එහිදී අයි.ඕ.සී. ඩීසල් මිල සියයට 54 කින්ද, පෙට්‍රල් මිල සියයට 27 කින් ද ඉහළ නැංවීම විශේෂත්වයක්.

එලෙස ඉන්ධන මිල ඉහළ නැංවීමේදී අයි.ඕ.සී. සමාගම ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස අවප්‍රමාණ වීම මෙලෙස මිල ඉහළ නැංවීම සඳහා බලපා ඇති බවයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද පසුගිය මාර්තු 12 වනදා ඉන්ධන මිල වැඩි කිරීමට පියවර ගත්තා. ඒ අනුව ඔක්ටේන්-92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 77 කින් ඉහළ නැංවූ අතර, එම පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 254 ක් දක්වා ඉහළ ගියා.

සංස්ථා ඔටෝ ඩීසල් ලීටරයක මිලද රුපියල් 55 කින් ඉහළ නැංවීමත් සමඟ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල සටහන් වූයේ රුපියල් 176 ක් ලෙසයි.

++++++

අයි.ඕ.සී. තෙල් මිල වැඩි කිරීම ගැටලුවක් – බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්

(26.03.2022 – 13:43 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඉන්දියානු ඔයිල් සමාගම විසින් යළිත් වරක් ඉන්ධන මිල ඉහළ නැංවීම ගැටළුවක් බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලංකා අයි.ඕ.සී. මිල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීම පිළිබඳව අදහස් පළ කරමින්.

මේ වසරේ මුල්වරට අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිළ ඉහළ දමනු ලැබුවේ පසුගිය මස හයවනදා (06) මධ්‍යම රාත්‍රියේදීයි.

එදින සිට සති 3 කට පසු යළි පසුගිය මස 25 වැනිදා මධ්‍යම රාත්‍රියේ නැවත වරක් අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිළ ඉහළ දමනු ලැබුවා.

අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිල අවසන් වරට ඉහළ නංවනු ලැබුවේ පසුගිය 11 වනදායි.

ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිල යළි ඉහළ දැමීමට කටයුතු කරනු ලැබුවා.

එහිදී ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 49 කින් ඉහළ නැංවීමත් සමඟ එම පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 303 ක්.

ඔක්ටේන්-95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 332 ක් දක්වා ඉහළ ගියා.

එලෙස ඉන්ධන මිල ඉහළ නැංවීමේදී අයි.ඕ.සී. සමාගම ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස අවප්‍රමාණ වීම මෙලෙස මිල ඉහළ නැංවීමට සිදු වු බවයි.

ලංකා අයි.ඕ.සී. සමාගම පෙට්‍රල් මිළ ඉහළ දැමිම නිසා අද (26) අලුයම සිට ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව වැඩි වශයෙන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත යොමුව තිබුණා. ඒ හේතුවෙන් එම පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබෙනවා.

එසේම ඇතැම් ප්‍රදේශවල ලංකා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් අද (26) පෙරවරුවේ වසා දමා තිබූ ආකාරයක් ද නිරීක්ෂණය වුණා.

කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල වැඩිකිරිමේ අවශ්‍යතාවක් දැනට නොමැති බවයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ අවධාරණය කළේ.

මෙවන් පසුබිමක මෙරටට පැමිණි නෞකාවේ ගෑස් බෙදාහැරීමේ කටයුතු අද (26) දිනයේදීත් සිදු කරනවා.

ගෑස් බෙදා හැරීමේ කටයුතු අධීක්ෂණය කිරිම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ද සිය නියෝජිතයින් යොමු කර ඇති බව එම අධිකාරියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

++++++++++++

සිපෙට්කෝ පෝලිම් තවත් දිගු වෙයි – තවමත් පාඩු බව අයි.ඕ.සී. කියයි

(26.03.2022 – 19:30 +0530 – hirunews.lk/sinhala)

අවස්ථා කිහිපයකදී ඉන්ධන මිල ඉහළ දැමුව ද තම සමාගම පෙට්‍රල් සහ ඩීසල් අලෙවියේදී තවදුරටත් අලාභ ලබන බව ලංකා අයි.ඕ.සී. සමාගම ප්‍රකාශ කළා.

ඒ අනුව, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15 ක සහ ඩීසල් ලීටරයකින් රුපියල් 65 ක අලාභයක් ලැබීමට තම සමාගමට සිදුව ඇති බවයි අප කළ විමසීමකදී ලංකා අයි.ඕ.සී සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා කියා සිටියේ.

ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා අයි.ඕ.සී. සමාගම යළිත් ඉන්ධන මිල යළි ඉහළ දැමීමට කටයුතු කරනු ලැබුවා.

එහිදී ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 49 කින් ඉහළ නැංවීමත් සමඟ එම පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 303 ක්. ඔක්ටේන්-95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 332 ක් දක්වා ඉහළ ගියා.

ඉන්ධන මිල ඉහළ නැංවීමේදී අයි.ඕ.සී. සමාගම ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස අවප්‍රමාණ වීම මෙලෙස මිල ඉහළ නැංවීමට සිදු වු බවයි.

එසේම, පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද, මිල වැඩි කිරීමට සිදුවීම සම්බන්ධයෙන් සිය සමාගම කණගාටුවට පත්වන බව ද ලංකා අයි.ඕ.සී. සමාගම සඳහන් කළා.

කෙසේ වෙතත්, ලංකා ඉන්දියානු ඔයිල් සමාගම විසින් යළිත් වරක් ඉන්ධන මිල ඉහළ නැංවීම ගැටළුවක් බවයි බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ ප්‍රකාශ කළේ.

සිපෙට්කෝ ඉන්ධන මිල වැඩිකිරිමේ අවශ්‍යතාවක් දැනට නොමැති බව ද අමාත්‍යවරයා පැවසුවා.

ලංකා අයි.ඕ.සී. සමාගම පෙට්‍රල් මිළ ඉහළ දැමිම නිසා අද පෙරවරුවේ සිටම ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව වැඩි වශයෙන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වෙත යොමුව තිබුණා.

ඒ හේතුවෙන් එම පිරවුම්හල් අසළ දක්නට ලැබුණේ දිගු පෝලිම්.

ඊයේ (25) රාත්‍රී 9 සිට අද (26) මධ්‍යහ්නය දක්වා කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් පිරවුම්හල් වෙත ඉන්ධන රැගෙන යන බවුසර් සඳහා ඉන්ධන නිකුත් කිරීම තාවකාලිකව නවතා තිබුණේ සේවකයින්ට විවේකයක් ලබාදීම සඳහායි.

ඉන්ධන ප්‍රවාහනය කිරීම තාවකාලිකව නතර කිරීමත් සමග දිවයිනේ ප්‍රදේශ කිහිපයක පිරවුම්හල් වෙත ඉන්ධන ලැබීමේ ප්‍රමාදයක් ඇතිවිය හැකි බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ලේකම් ශාන්ත සිල්වා කියා සිටියා.

එසේම, ඇතැම් ප්‍රදේශවල ලංකා අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හල් අද (26) පෙරවරුවේ වසා දමා තිබූ ආකාරයක්ද නිරීක්ෂණය වුණා.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රීරෝද රථ ගාස්තුව පළමු (1) කිලෝමීටරය සඳහා රුපියල් 80 ක් සහ දෙවන (2) කිලෝමීටරයේ සිට රුපියල් 70 ක් බැගින් වන ස්ථාවර මිලක් යටතේ පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් නෞකාවක් අනිද්දා (28) දිවයිනට ළඟාවන අතර, එම ඉන්ධන ප්‍රමාණයම රැගත් තවත් නෞකාවක් අප්‍රේල් මුල් සතියේ දිවයිනට ළගා වීමට නියමිත බවයි බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, ගෝලීය බොර තෙල් අවශ්‍යතාවය සපුරන ප්‍රධාන පෙළේ සමාගමක් වන සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි සෞදි ඇරම්කෝ සමාගමේ ඉන්ධන ගබඩාවකට යේමන – හවුති කැරලිකරුවන් විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරයෙන් එහි ඉන්ධන ටැංකි දෙකක (2) ගින්නක් හට ගෙන ඇති අතර, ජිවිත හානි සිදුව නැහැ.

ඇරම්කෝ තෙල් පර්යන්ත මගින් දෛනිකව බොරතෙල් බැරල් මිලියන 12 කට අධික සංඛ්‍යාවක් පිරිපහදු කෙරෙන බවයි සඳහන් වන්නේ.

මෙම ප්‍රහාරය හේතුවෙන් බොරතෙල් නිෂ්පාදනය මන්දගාමී හෝ අඩාල වුවහොත් ගෝලීය වෙළඳපොලේ බොරතෙල් මිල සියයට 25 ඉක්මවා ඉහළ යනු ඇති බවට ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දී තිබෙනවා.

මේ අතර, ගෑස් ලබා ගැනීම සඳහා අදත් (26) දිවයිනේ ප්‍රදේශ රැසකම පෝලිම් පැවතියා.

බණ්ඩාරවෙල රෝහල් අසල පිහිටි ගෑස් අලෙවි මධ්‍යස්ථානයේ කලහකාරි තත්ත්වයක් ඇතිවුණේ අද (26) අලුයම ලැබුණු සීමිත ගෑස් තොගය පෝලිම්වල රැදී සිටි පිරිස් සඳහා ප්‍රමාණවත් නොවීම හේතුවෙන්.

එම අවස්ථාවේදී නොසන්සුන්වුන් ජනතාව ගෑස් අලෙවිසැල දෙසට ගල් ප්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා.

මේ අතර, කෙරවලපිටිය ඇතුළු බලාගාරවලට අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 9000 ක් නිකුත් කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා කියා සිටියේ ඊයේ (25) රාත්‍රිය වනවිට මෙම ඉන්ධන තොගය බලාගාර වෙත නිකුත් කළ බවයි.

ඉදිරි දින දහය සඳහා විදුලි බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වී ඇති බැවින් දැනට සිදුකෙරෙන පැය 7 ක පමණ දෛනික විදුලි කප්පාදුව අවම කර ගැනීමට හැකිවනු ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *