නිදහස් පක්ෂය අප සමගයි – විමල්, ගම්මන්පිල කියයි

නිදහස් පක්ෂය අප සමගයි – විමල්, ගම්මන්පිල කියයි

*********************************************

නිදහස් පක්ෂය අප සමගයි – විමල්, ගම්මන්පිල කියයි

(26.03.2022 – 13:40 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරනු ලබන්නේ තම පාර්ශවය සමඟ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

අමරපුර මහා නිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියන් අද (26), බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ එකොලහේ නියෝජිතයන් අද (26) පෙරවරුවේ අමරපුර මහ නිකායේ මහ නායක අති පූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියන් බැහැදැක මුළු රටම හරි මගට යන සිය පාර්ශවයන් විසින් ඉදිරිපත් කළ යෝජනාවලියද උන්වහන්සේට පිළිගන්වනු ලැබුවා.

***************************************

විසිහතර පැය ගෙවෙන්නට පෙර ගණන් යන හාල්

(26.03.2022 – 14:10 +0530 – hirunews.lk/sinhala)

මහබැංකු දෛනික මිල වාර්තාවට අනුව සහල් මිල ගණන් දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

ඒ අනුව පිටකොටුව තොග වෙළඳපොළෙහි පෙරේදා (24) දිනය වනවිට රුපියල් 175 ක මිලකට අලෙවිවූ නාඩු සහල් කිලෝවක් ඊයේ (25) වනවිට දැක්වුණේ රුපියල් 190 ක් ලෙසයි.

එමෙන්ම පිටකොටුව තොග වෙළඳපොළේ පෙරේදා රුපියල් 178 කට අලෙවි වූ රතු කැකුළු සහල් කිලෝවක් ඊයේ (25) වනවිට රුපියල් 12 කින් ඉහළ ගොස් රුපියල් 190 ක් ලෙස දැක්වුණා.

මරදගහමුල තොග වෙළඳපොළේ පෙරේදා (24) රුපියල් 175 කට තුළ අලෙවි වූ සුදු කැකුළු සහල් කිලෝවක් ඊයේ (25) අලෙවි වූයේ රුපියල් 184 කටයි.

පසුගිය පෙබරවාරි මස 25 වන දිනය වනවිට පිටකොටුව තොග වෙලඳපොළ තුළ රුපියල් 156 ක්ව පැවති නාඩු සහල් කිලෝවක් මසක් ඇතුළත රුපියල් 34 කින් සහ රුපියල් 157 ක මිලකට අලෙවිවූ රතු කැකුළු සහල් කිලෝවක් මසක් ඇතුළත රුපියල් 33 කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මරඳගහමුළ තොග වෙළඳපොළේ පෙබරවාරි මස 25 වැනිදා වනවිට රුපියල් 143 ක මිලකට අලෙවි වූ සුදු කැකුළු කිලෝවක් ඊයේ (25) වන විට රුපියල් 184 දක්වා ඉහළ ගොස් තිබූ අතර, එම මිල වෙනස රුපියල් 41 ක්.

ඒ අනුව පසුගිය සති කිහිපය තුළ සියලු දේශීය සහල් කිලෝවක මිල රුපියල් 03 ත් 13 ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති අතර, ආනයනික සහල් කිලෝවක මිල රුපියල් 09 ත් 18 ත් අතර අගයකින් ඉහළ ගියේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන්.

මෙලෙස දිනෙන් දින සහල් මි‍ල ශීඝ්‍ර ලෙස ඉහළ යාම සාමාන්‍ය ජන ජීවිතයට බලපාන්නේ කෙසේද?

මේ අතර ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 110 ක මිලකටත්, ආනයනික පොන්නි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 130 බැගින් උපරිමය කිලෝග්‍රෑම් 5 ක ප්‍රමාණයක් පාරිභෝගික ජනතාවට ලබාදීමට සතොස මගින් නිකුත් කර ඇති චක්‍ර ලේඛයේ රෙගුලාසි කඩකරන සේවකයින්ට එරෙහිව විනය පරීක්ෂණ සිදු කරන බවයි.

සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා විසින් නිකුත් කර ඇති එම චක්‍රලේඛයේ දක්වා ඇත්තේ.

මේ අතර දෛනිකව අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණා.

මේ අතර, මෙරට ආර්ථික දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් 2,000 ක් පරිත්‍යාග කිරීමට මහජන චීන රජය තීරණය කර ඇති බව කොළඹ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

අභියෝග හමුවේ නොසැළෙන සැබෑ මිතුදම යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ සහෝදර ජනතාව වෙත එම පරිත්‍යාගය සිදුකරන බවයි චීන තානාපති කාර්යාලය පළ කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ.

සිය හැකියාව අනුව ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා අඛන්ඩව සහය වන බවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ඊයේ සහතික වූ බවද එහි වැඩිදුරටත් සඳහන්.

***************************************

අර්බුදයට විසඳුම් සහිත යෝජනාවලියක් ලැබුණේ නැහැ – මෛත්‍රී කියයි

(26.03.2022 – 14:12 +0530 – hirunews.lk/sinhala)

සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වු බොහෝ පක්ෂ අර්බුදයට විසඳුම් සහිත යෝජනාවලියක් ඉදිරිපත් නොකළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ගම්පොළ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ එහිදී විසඳුම් යෝජනාවලියක්
ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කළ බවයි.

***************************************

ඩොලර් අවුල සජබෙ විසඳන හැටි ඉදිරියේ දී කියනවා – සජබෙ මහලේකම්

(26.03.2022 – 14:13 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින ඩොලර් අර්බුදය විසඳීමට අවශ්‍ය සැලසුම් ඉදිරියේ දී හෙළිදරව් කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

හිරු ප්‍රවෘත්ති සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සමගි ජන බලවේගය ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින බවයි.

***************************************

රජයේ හැසිරීම ගැන තීන්දුවක් ලබන සිකුරාදා (01) ගන්නවා – මුරුත්තෙට්ටුවේ හිමි කියයි

(26.03.2022 – 14:15 +0530 – hirunews.lk/sinhala)

මහා සංඝරත්නය ලබන සිකුරාදා (01) අභයාරාමයට එක්රැස් වී රජයේ වත්මන් ක්‍රියාපිලිවෙල සම්බන්ධයෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තීරණයක් ගන්නා බව පැවිදිහඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

නාරාහේන්පිට – අභයාරාමයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි උන්වහන්සේ මේ බව සඳහන් කළේ.

මේ අතර, මෙරට ජාතික සම්පත් විදෙස් රටවල ගොදුරු බවට පත්වීම පිලිබඳ තමන් දැඩි කළකිරීමෙන් සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

***************************************

අදානිට මෙරටින් තවත් කොටසක් ? – කෝප් කමිටුවේ දී හෙළිදරව්වක්

(26.03.2022 – 14:19 +0530 – hirunews.lk/sinhala)

මෙරට මන්නාරම ප්‍රදේශයේ මෙගාවොට් 500 ක පුනර්ජනනීය සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් සඳහා ඉන්දියාවේ අදානි සමාගමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ දී ප්‍රශ්න කෙරුණා.

එහිදී විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරිය සදහන් කළේ ඇතැම් පුනර්ජනනීය ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවයි.

මේ අතර, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ (25) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වුණා.

ඒ, රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වයට අදාළව කරුණු විමසීම සඳහායි.

කාරක සභාව හමුවට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ඇතුළු නිලධාරීන් කැඳවා තිබුණත් ඔවුන් ඊට සහභාගී වූයේ නැහැ.

ඒ පිළිබඳව සිය කනගාටුව පළකරන බවයි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළේ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව කැඳවීමට නියමිතව තිබුණේ පසුගිය 21 වැනිදා වන අතර, එය ඊයේ (25) දිනය දක්වා කල් දමා තිබුණේ මහ බැංකු නිලධාරීන්ගේ ඉල්ලීම මතයි.

මේ අතර, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ කාරක සභාවට නොපැමිණීම පාර්ලිමේන්තුවට හෝ එම සභාවට අගෞරව කිරීමක් නොවන බවයි.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ලෝක බැංකුව සමග සාකච්ඡාවක් යෙදී ඇති බැවින් සෙසු සාමාජිකයින්ට ද කාරක සභාවට සහභාගී වීමට නොහැකි බව දන්වා මහ බැංකුව කාරක සභාවට ලිපියක් ද යොමුකර තිබුණා.

***************************************

පල්ලෙබැද්දේ පහරදීම CCTV ඇසට

(26.03.2022 – 14:21 +0530 – hirunews.lk/sinhala)

පල්ලෙබැද්ද නගරයේ වෙළෙඳසැලක් ඉදිරිපිට සිටි පුද්ගලයෙකුට කිසියම් පිරිසක් පහරදෙන ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබුණා.

මෙය පුද්ගලික ආරවුලක් මුල්කර ගෙන සිදුකළ පහරදීමක් බවයි වාර්තා වන්නේ.

පහර කෑ පුද්ගලයා පල්ලෙබැද්ද දිසා රෝහලේ ප්‍රතිකාර ලබනවා.

***************************************

ඉන්දු – ලංකා ඒකාබද්ධ ධීවර ක්‍රියාකාරී කණ්ඩායම රැස්වේ

(26.03.2022 – 14:29 +0530 – hirunews.lk/sinhala)

ධීවර කටයුතු සම්බන්ධයෙන් ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ ක්‍රියාකාරි කණ්ඩායමේ පස්වන රැස්වීම ඊයේ (25) අතත්‍ය ආකාරයෙන් පැවැත්වූ බව කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළා.

එහිදී ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරිය විසින් මෙහෙයවූ අතර ඉන්දීය නියෝජිත කණ්ඩායම එරට ධීවර ලේකම් ජිතේන්ද්‍ර නාත් ස්වේන් විසින් මෙහෙයවා තිබෙනවා.

එහිදී පසුගිය 2020 වසරේ දෙසැම්බරයේ පැවති අවසන් ඒකාබද්ධ රැස්වීමෙන් පසුව ද්වීපාර්ශ්වික ධීවර ක්ෂේත්‍රයේ වර්ධනයන් පිළිබඳව සලකා බැලූ බවයි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එහිදී මෙරට මුහුදු තීරය ආක්‍රමණය කරන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය පාර්ශ්වය කරුණු විමසා ඇති අතර, ධීවර ගැටලුව මානුෂීය ප්‍රවේශයකින් විසඳිය යුතු බවට ඉල්ලීමක් කර තිබෙනවා.

ඉන්දීය ධීවර යාත්‍රා මගින් භාවිත කරන මසුන් මැරීමේ ක්‍රමවේද පිළිබඳව මෙරට නියෝජිතයන් කරුණු මතුකර තිබෙනවා.

ආරක්ෂිත සහ තිරසාර ධීවර කටයුතු සහතික කිරීම සඳහා දෙපාර්ශවයේ වෙරළාරක්ෂක බලකායන් ඒකාබද්ධ මුර සංචාර පැවැත්වීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කරනු ලැබූ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ෴

***************************************

මුදල් ඇමතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ?

(26.03.2022 – 16:08 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගය සූදානම් බවත්, එය නියම වෙලාවට සිදු කරන බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.

ඔහු මෙම අදහස් පැවසුවේ හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සාකච්ඡාවට එක්වෙමිනුයි.

සමගි ජනබලවේගය සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට හේතුව ද ඔහු මෙහිදී සඳහන් කළා .

රනිල් වික්‍රමසිංහ සමඟ සමගි ජන බලවේගයේ පිරිසක් එක්වීමට සූදානම් වීම සම්බන්ධයෙන් ද මෙහිදී මහලේකම්වරයා පැහැදිලි කිරිමක් කළා.

රනිල් වික්‍රමසිංහට දැනුම තිබුණට දිනුම නැති බවයි ඔහු සඳහන් කළේ.

එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් :

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *