චීනයෙන් සහල් ටොන් 2,000 ක පරිත්‍යාගයක්

චීනයෙන් සහල් ටොන් 2,000 ක පරිත්‍යාගයක්

*********************************************

චීනයෙන් සහල් ටොන් 2,000 ක පරිත්‍යාගයක්

(26.03.2022 – 08:07 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආර්ථික දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවට සහල් ටොන් 2,000 ක් පරිත්‍යාග කිරීමට මහජන චීන රජය තීරණය කර ඇති බව කොළඹ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සහෝදර ජනතාව වෙත එම පරිත්‍යාගය සිදු කරන බවයි අභියෝග හමුවේ නොසැලෙන සැබෑ මිතුදම යන තේමාව යටතේ චීන තානාපති කාර්යාලය පළ කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ.

සිය හැකියාව අනුව ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා අඛන්ඩව සහය වන බවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ඊයේ (25) සහතික වූ බව ද එහි වැඩිදුරටත් සඳහන්.

මේ අතර පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේ සහල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මහ කන්නය අවසානයත් සමඟ සැපයුම පහළ යෑම ඊට හේතුව බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය ප්‍රකාශ කළේ.

ඒ අනුව සියලු දේශීය සහල් කිලෝවක මිල රුපියල් 03 ත්, 13 ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති අතර, ආනයනික සහල් කිලෝවක මිල රුපියල් 09 ත්, 18 ත් අතර අගයකින් ඉහළ ගියේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන්.

ආනයන වියදම් ඉහළ යෑම නිසා වියලි මිරිස් කිලෝවක සිල්ලර මිලද රුපියල් 78 කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ආනයනික වියළි මිරිස් කිලෝවක මිල, රුපියල් 1150 ත්, 1400 ත් අතර අගයක දැක්වුණා.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සතිපතා නිකුත් කරන ආහාර ද්‍රව්‍ය විවරණිකාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව මෙම සතියේදී මුං ඇට කිලෝවක් රුපියල් 119 කින්, රතු කව්පි කිලෝවක් රුපියල් 43 කින්, රතු පරිප්පු කිලෝවක් රුපියල් 42 කින් සහ සුදු කව්පි කිලෝවක් රුපියල් 21 කින් ඉහළ ගොස් තිබෙනවා.

පවත්නා තෙල් අර්බුදය හේතුවෙන් බොහොමයක් මත්ස්‍ය වර්ගවල සිල්ලර මිලද ඉහළ ගොස් ඇති අතර බලයා, ඉස්සා, සාලයා, තලපත් එලෙස මිල ඉහළ ගිය මත්ස්‍ය වර්ග අතරට ඇතුළත්.

කෙසේ වෙතත්, ඉල්ලුම පහළ යෑම නිසා තෝරා, කෙවල්ලා වැනි මත්ස්‍ය වර්ගවල මිල පහළ ගොස් තිබෙනවා.

පිරිවැය ඉහළ යෑම හේතුවෙන් සියලු මස් වර්ග මිලද ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සතියට සාපේක්ෂව සම රහිත බ්‍රොයිලර් කුකුළු මස් කිලෝවක සිල්ලර මිල ඉහළ ගොස් ඇත්තේ රුපියල් 94 කින්.

එසේම, තොග මිල ඉහළ යෑම හේතුවෙන් මෙම සතියේ සුදු හා දුඹුරු බිත්තරයක මිල රුපියල් තිහ ඉක්ම වූ අගයක පැවතුණු අතර, පසුගිය වසරේ මෙම කාල පරිච්ඡේදය හා සැසඳීමේදී දුඹුරු බිත්තරයක මිල 108% කින් සහ සුදු බිත්තරයක මිල 102% කින් ඉහළ ගොස් ඇති බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කළේ.

++++++

සතොසට චෝදනාවක්

(26.03.2022 – 13:49 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සතොස ශාඛාවල අලෙවියේ නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

එමෙන්ම සහල්, රතු පරිප්පු සහ සීනි අලෙවි කිරීමේදී සතොස ආයතනය විසින් යම් සීමා පනවා ඇති බවද වාර්තාවුණා.

ඊට අදාළව ශාඛා කළමනාකරුවන් වෙත සතොස පාලනාධිකාරිය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර, එහි දැක්වෙන්නේ අදාළ චක්‍රලේඛයට පටහැනිව කටයුතු කරන සේවකයින්ගේ සේවය අත්හිටුවා විනය පරීක්ෂණ සිදු කරන බවයි.

+++++++

***************************************

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 16 කට වසර දෙකහමාරකට (2½) පසු ඇප

(26.03.2022 – 08:18 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 16 දෙනකු වසර දෙකහමාරකට (2½) පසු නිතිපතිවරයාගේ උපදෙස් මත මුදා හැර තිබෙනවා.

ඒ ඔවුන් ඊයේ (25) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රුපියල් කෝටි දෙකක (2) ශරිර ඇප මත ඔවුන් මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය, ඇප කරුවන් ළඟම ඥාතීන් විය යුතු බවට ද ඇප කොන්දේසියක් නියම කර තිබෙනවා.

සෑම ඉරුදිනකම පෙරවරු 9 ත් 12 ත් අතර කාලයේ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට ද තවත් ඇප කොන්දේසියක් අධිකරණය මගින් සැකකරුවන්ට පනවනු ලැබූ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 18 දෙනකු සදහා ඇප මත මුදා හැරීමට නිතිපතිවරයා උපදෙස් ලබා දී ඇති අතර ඉන් 16 දෙනකු ඊයේ (25) මෙලෙස මුදා හැරුණා.

මෙම සැකකරුවන් හම්බන්තොට සිප්පිකුලම, නුවරඑළිය බ්ලැක්පූල් සහ කාත්තන්කුඩි කරඹලා නගර් යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය පුහුණු කඳවුරුවල අවි පුහුණුව ඇතුළු අයි.එස්.අයි.එස්. මතවාදයන්ට අදාළ පුහුණුවීම් සහ දේශනවලට සහභාගී වී ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ද ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබෙනවා ෴

***************************************

ගජමුතු සමග ඇල්ලූ හිටපු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක ඇතුලු පිරිස රිමාන්ඩ්

(26.03.2022 – 08:21 +0530 – hirunews.lk/sinhala)

ගජමුතු අලෙවි කිරීමේ සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක ඇතුළු පස් (5) දෙනා ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් ඊයේ (25) අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (25) අම්පාර ප්‍රදේශයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ සුඛෝපභෝගි ජීප් රථයක් පරීක්ෂා කිරීමට යාමේදීයි.

එම ජිප් රථය තුල ගජමුතු 3 ක්, පිස්තෝලයක් (1), පතරොම් 8 ක් සහ හඳුනා නොගත් පාෂාණ කැබලි 5 ක්ද සොයා ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් පිරිසට කාන්තාවක් (1) ද අයත් වන අතර, ඇය මෙම ගජ මුතු අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේදීයි සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූවේ.

ගිනිඅවි සහ ගජමුතු සමග පුද්ගලයින් පස්දෙනෙකු (5) පොලිස් දැලට

(26.03.2022 – 15:49 +0530 – hirunews.lk/sinhala)

CS 85 වර්ගයේ පිස්තෝල අවියක් හා ගජමුතු 03 ක් සමග පුද්ගලයන් පස්දෙනෙකු (5) අම්පාර නගරයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමකදීයි මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනුණේ.

ඊයේ (25) පස්වරුවේ දී අත් අඩංගුවට ගැනුණු අදාළ සැකකරුවන් සන්තකයේ තිබී මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 08ක්, ජංගම දූරකථන 06 ක් සහ ජීප් රථයක් ද සොයා ගැනුණා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 60 සහ අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක් සමග තවත් පුද්ගලයින් තිදෙනකු (3) අත් අඩංගුවට ගැනුණා.

ඔවුන් ද වයස අවුරුදු 40, 44 සහ 50 හැවිරිදි අයයි.

සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගැනුණු ගජමුතු යාල සහ කුමන රක්ෂිතවල ජීවත්වන වන ඇතුන් ඝාතනය කර ලබාගත් ඒවා බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

++++

මේ අතර, රුපියල් ලක්ෂ 04 කට ආසන්න කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගැනුණා.

රුපියල් ලක්ෂ හතරකට (4) ආසන්න කේරළ ගංජා සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

ඊයේ (25) සවස ලද තොරතුරකට අනුව සිදු කෙරුණු මෙම වැටලීමෙන් කේරළ ගංජා කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 350 ක් සොයා ගැනුණා.

පුදිකුඩිඉරිප්පු – විෂ්වමඩු, මානික්කපුරම් ග්‍රාමයේ දී පුන්නෙයිමීරාවිවල පදිංචිකරුවෙකුයි මෙලෙස අත්අඩංගුවට පත් වුණේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් සිදු කරනු ලබනවා.

***************************************

නව කඩදාසි කම්හල් ඉදිවන ලකුණු

(26.03.2022 – 09:21 +0530 – hirunews.lk/sinhala)

පවතින කඩදාසි හිඟයට පිළියමක් ලෙස ඉදිරියේදී මෙරට නව කර්මාන්තශාලා කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී අමාත්‍යවරයා කියා සිටියේ වාලච්චේන කඩදාසි කම්හල වැඩිදියුණු කිරීමට ද බලාපොරොත්තු වන බවයි.

රටේ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් කඩදාසි නිපදවීමට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ආනයනය කිරීමට බාධක එල්ල වුණා.

ඒ තත්ත්වය මත මෙරට පාසල් සහ උසස් අධ්‍යාපන විභාග පවා කල් දැමීමටයි තීරණය කෙරුණේ.

ඒ ප්‍රශ්න පත්‍රය මුද්‍රණයට අවශ්‍ය කඩදාසි නොමැති වීම හේතුවෙන් ෴

***************************************

අධිභාර පනත් කෙටුම්පත දෙවන (2) වර කියවීමේ විවාදය අප්‍රේල් 07

(26.03.2022 – 09:40 +0530 – hirunews.lk/sinhala)

අධිභාර බද්ද පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය ලබන අප්‍රේල් 07 වැනිදා පැවැත්වීමට නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

රුපියල් කෝටි සියයකට (100) වැඩි ආදායම් උපයන පුද්ගලයන් හෝ සමාගම් වලින් සියයට 25 ක අධිභාරයක් අයකිරීමට අදාල නීතිමය ප්‍රතිපාදන සැලසීම මෙම පනත් කෙටුම්පතේ අරමුණයි.

පාර්ලිමේන්තුව ලබන අප්‍රේල් 05 වැනිදා සිට අප්‍රේල් 08 වැනිදා දක්වා රැස්වීමට ද මෙහිදී තීරණය වී තිබුණා ෴

***************************************

සීතාවක ගඟේ දිය නෑමට තරුණයන් දෙදෙනෙකු (2) දියේ ගිලී මියයයි

(26.03.2022 – 10:25 +0530 – hirunews.lk/sinhala)

දෙහිඕවිට – සීතාවක ගඟේ – යෝගම පාලම අසල දියනෑමට ගොස් සිටි දෙදෙනෙකු (2) දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ වන්දනා නඩයක තරුණයින් දෙදෙනෙකු (2) මෙලෙස ඊයේ (25) පස්වරුවේ අනතුරට ලක්ව ඇති බවයි.

දිය නාමින් සිටි අදාළ වන්දනා නඩයේ කාන්තාවක දියේ ගිලෙමින් සිටිය දී ඇය බේරාගැනීමට උත්සාහ කළ අවස්ථාවේ මොවුන් දෙදෙනා (2) මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

මියගිය පුද්ගලයින් දෙදෙනා (2) රාජගිරිය සහ කොළඹ 12 ප්‍රදේශවල පදිංචි අවුරුදු විස්ස (20) සහ විසි එක (21) වයස්වල පසුවන්නන්.

කෙසේ වෙතත් අදාළ කාන්තාව ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ ෴

***************************************

ඉන්දියාවේ ඉහළ පෙළේ ප්‍රභූවරයෙකු නුදුරේදී ම දිවයිනට

(26.03.2022 – 11:14 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජායිශංකර් අනිද්දා (28) තුන්දින (3) නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි මෙම සංචාරයේ නිරතවන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම එය, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ඉන්දීය සංචාරයන්හි පසු විපරම් චාරිකාවක් ලෙසයි එමඟින් හඳුන්වා ඇත්තේ.

ආචාර්ය එස්. ජායිශංකර්ගේ ශ්‍රී ලංකා සංචාරයේදී සිදු කෙරෙන ද්විපාර්ශවික සාකච්ඡා සහ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් අපේක්ෂා කරන ප්‍රමුඛ කරුණු පිළිබඳව අවධානය යොමුවන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජායිශංකර් සිය ශ්‍රී ලංකා සංචාරය අතරතුර ලබන 29 වනදා කොළඹදී පැවැත්වෙන බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල හමුවට ද සහභාගිවනු ඇති.

***************************************

දෙමටගොඩ ගුවන් පාලම මත ගින්නක්

(26.03.2022 – 13:57 +0530 – hirunews.lk/sinhala)

දෙමටගොඩ ගුවන් පාලම මතදී මෝටර් රථයක් ගිනිගැනීමකට ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ රථ වාහන තදබදයක් ද හටගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ගින්න පාලනය කිරීම සඳහා කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකය විසින් ගිනි නිවන රථ 4 ක් එම ස්ථානයට යොමුකර තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *