ශ්‍රී ලංකාවේ උද්ධමනය 49% කින් ඉහළට – කීර්තිමත් අර්ථ ශාස්ත්‍රඥයෙක් පවසයි
*********************************************
ශ්‍රී ලංකාවේ උද්ධමනය 49% කින් ඉහළට – කීර්තිමත් අර්ථ ශාස්ත්‍රඥයෙක් පවසයි
(25.03.2022 – 18:44 +0530 – hirunews.lk/sinhala)
ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් අර්ථ ශාස්ත්‍රඥයෙක් වන ස්ටීව් හෑන්ක් පවසන්නේ මෙම වසරේ පළමු (1) කාර්තුව තුළ දී ශ්‍රී ලංකාවේ උද්ධමනය 49% කින් ඉහළ ගොස් ඇති බවයි.
ඔහුගේ නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු පවසන්නේ 2021 වසරේ දෙසැම්බර් මස පැවති 12% ක් වූ උද්ධමනය හා සැසඳීමේ දී මෙය අතිශය බරපතළ තත්ත්වයක් බවයි.
මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉහළ යන ඉන්ධන මිල සහ පහල යන ඩොලර් සංචිතය හේතුවෙන් මෙම තත්ත්වය තවත් උග්‍ර කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
මේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකා රජය අනුගමනය කළ යුතු හොඳම ක්‍රියා පිළිවෙත වන්නේ මුදල් මණ්ඩලයක් පත්කර එයට බලය ලබාදීම බවයි ආර්ථික විද්‍යාඥ ස්ටීව් හෑන්ක් යෝජනා කරන්නේ.
***************************************
ප්‍රංශ සෙනෙට් සභිකයින් හමු වූ විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස්
(25.03.2022 – 18:24 +0530 – hirunews.lk/sinhala)
විදේශ ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රංශ ජනරජයේ සෙනෙට් මණ්ඩලයේ සභිකයින් පිරිසක් හමු වී සාකච්ඡාවක නිරත වී තිබෙනවා.
ඒ ඊයේ (24) පස්වරුවේ කොළඹ දී යි.
මෙම හමුවේ දී මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිසංස්කරණ ඇතුළු විවිධ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.
ප්‍රංශ සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම, එකතු කළ අගය සඳහා ප්‍රංශයේ වෙළෙඳපොළ පුළුල් කිරීම, ශ්‍රී ලංකාවේ අපනයන (තේ, ධීවර නිෂ්පාදන, ඇඟලුම් සහ මැණික් හා ස්වර්ණාභරණ), සංචාරක ව්‍යාපාරය, සෞඛ්‍ය සහ පාරිසරික සංචාරක ව්‍යාපාරය සහ සහයෝගීතාවය අවධාරණය කරමින් ද, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ද මෙම හමුවේ දී අවධානයට ලක් කෙරුණු බවයි විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ප්‍රංශ සෙනෙට් සභිකයින් ප්‍රකාශ කළේ, ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට තම රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහාය පළ කරන බවයි.
***************************************
අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ සේවා හිඟයකින් තොරව දෙන්න – නීතිඥ සංගම් අධිකරණයට
(25.03.2022 – 19:50 +0530 – hirunews.lk/sinhala)
වත්මන් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා විධිමත් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අමාත්‍ය මණ්ඩලයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.
නීතිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය, භාණ්ඩාගාර ලේකම්, මහබැංකු අධිපතිවරයා, විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු 42 දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආහාර, ඉන්ධන හා ගමන් වියදම් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මිල දී ගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබෙන බවත්, දැඩි භාණ්ඩ හිඟය සහ භාණ්ඩ හා සේවා මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් මහජන විරෝධතා සහ කැළඹිලි නිර්මාණය වී ඇති බව අදාළ පෙත්සමේ දක්වා තිබෙනවා.
පෙත්සම්කරුවන් විසින් කරුණු 7 ක් යටතේ ඊට අදාළව නියෝග ලබාදෙන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.
මේ අතර, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ජනවාරි පළමුවනදා සිට මේ දක්වා සියයට 26 කින් අවප්‍රමාණය වී ඇතැයි ආර්ථික විද්‍යාඥයෙකු වන සුප්‍රකට ජෝන් හොප්කින්ග්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හෑන්ක් පවසනවා.
සිය ට්විටර් ගිණුමට සටහනක් එක් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාම සහ ගෙවීම් සමබර නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක ගිලෙමින් පවතින බවයි.
මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම්, ශ්‍රී ලංකාව මුදල් මණ්ඩලයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පවතින බවයි මහාචාර්ය ස්ටීව් හෑන්ක් එහි දක්වා ඇත්තේ.
ශ්‍රී ලංකා මහබැංකුව මගින් අද (25) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 295 ක් ලෙස දැක්වුණා.
මේ අතර, මෑතකදී සියයට 25 සිට 50 දක්වා වැඩි කරන ලද විදේශ විනිමය මහබැංකුවට විකිණීමේ අවශ්‍යතාව අදාළ වන්නේ බැංකුවලට පමණක් බව මහබැංකුව ප්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව සඳහන් කළේ එය ශ්‍රමිකයින්ගේ ඉපයීම් සහ අපනයන ආදායම් සඳහා බලපෑම් ඇති නොකරන බවයි.
මේ අතර, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගම්පහ අධිකරණයේ පැවති නඩු කටයුතු සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින් සඳහන් කළේ ජනතාව වෙත ලබාදෙන සහන පැකේජය සම්බන්ධයෙන් ලබන සඳුදා (28) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදි සාකච්ඡා කරන බවයි ෴
***************************************
ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව අද (25) IMF මගින් ප්‍රකාශයට පත් කෙරෙයි
(25.03.2022 – 21:01 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකාව පිළිබඳ සිය කාර්යය මණ්ඩල වාර්තාව අද (25) ප්‍රකාශයට පත් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කරනවා.
ශ්‍රී ලංකාව මුහුණ පා ඇති, දැඩි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ ඊට අදාළ වත්මන් වාතාවරණය පිළිබඳ සොයා බැලීමට ද පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යේෂ්ඨ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලැබූ කොරියානු ජාතික චන්ග්යොන්ග් රී (Changyong Rhee) ද මෙරටට පැමිණියා.
එහිදී එම ජ්‍යේෂ්ඨ නිලධාරියා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද හමු වී සාකච්ඡා කළා.
එම සංචාරයේ දීයි, ශ්‍රී ලංකාවේ සැබෑ ආර්ථික වියවුල්කාරී තත්ත්වය පිළිබඳ අදාළ වාර්තාවක් සැකසීමට තීරණය කෙරුණේ.
ඒ අනුව ජාත්‍යන්තර අරමුදල විසින් අදාළ වාර්තාව අද (25) දිනයේ දී ඉදිරිපත් කෙරෙන අතර, නුදුරු දිනක දී මුදල් අමාත්‍ය බැසිල් රාජපෂ මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ සෙසු අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යෝජනා කෙරෙන යෝජනාවලිය ද රැගෙන අමරිකාවේ වොෂින්ටන් ඩී.සී හි අයි.එම්.එෆ්. මූල්‍ය අරමුදල වෙත යාමට නියමිතයි ෴
***************************************
චීනෙන් ශ්‍රී ලංකාවට තෑගි ලෙස සහල්
(25.03.2022 – 21:39 +0530 – hirunews.lk/sinhala)
ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුද හමුවේ, එය සාර්ථකව ජය ගැනීමට කෙරෙන උපකාරයක් වශයෙන් මෙරට ජනතාවට සහල් ටොන් 2000 ක් තෑගි කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා.
අද (25) පස්වරුවේ එම තීරණය චීන රජය විසින් ගෙන ඇති බවයි මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් නිවේදනය කළේ ෴
***************************************
රුපියල් ලක්ෂ 300 ක් නො ඉල්ලූ බව පරිසර ඇමති ඉදිරියේ හෙළි වෙයි
(25.03.2022 – 22:05 +0530 – hirunews.lk/sinhala)
ව්‍යාපෘති වාර්තාවක් සකස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 300 ක් මධ්‍යම පරිසර අධිකාරිය හෝ පරිසර අමාත්‍යාංශය තමන්ගෙන් ඉල්ලා නොසිටි බව ඊට අදාළ සමාගම් නියෝජිතයා අද (25) පරිසර අමාත්‍ය මහින්ද අමරවීර හමුවේ පිළිගත්තා.
ඒ පරිසර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් අද (25) පැවති සාකච්ඡාවකදීයි.
මෙම සංවාදය අතරතුර දී උණුසුම්කාරී තත්ත්වයක් ද ඇති වුණා.
***************************************
යුක්රේනය පිළිබඳ යෝජනාවේ දී ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකෙයි
(25.03.2022 – 08:48 +0530 – hirunews.lk/sinhala)
රුසියාවේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් ඇති වී තිබෙන මානුෂවාදී ඛේදවාචකය පිළිබඳ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය වෙත ඊයේ (24) ඉදිරිපත්වූ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
සාමාජික රටවල් 193 කින් සමන්විත මහා මණ්ඩලය ඊයේ (24) සිය 11 වන විශේෂ හදිසි සැසිවාරය කැඳවා තිබුණේ යුක්රේනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.
ඒ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ යුක්රේනය සහ ඊට සහය දක්වන රටවල් විසින්.
ඒ සඳහා රටවල් 140 ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, රුසියාව, බෙලරුස් රාජ්‍යය, උතුරු කොරියාව, සිරියාව, එරිත්‍රියාව ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය ඇතුලු රටවල් 38 ක් එහිදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.
යුක්රේනය සම්බන්ධයෙන් මෙලෙස මහා මණ්ඩලය යෝජනාවක් සම්මත කළද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත මීට පෙර ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්වූ යෝජනා රුසියාව විසින් නිෂේධ බලය යොදා පරාජය කරනු ලැබුවා.
+
@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@
දෛනික කොවිඩ් ආසාදිත සුවය ලැබූවන් 12,000 සීමාව පනියි
(24.03.2022 – 17:13 +0530 – hirunews.lk/sinhala)
කොවිඩ් වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 12,148 දෙනෙකු අද (24) දිනයේ දී සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 6,37,011 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද (24) දිනට සිදු වූ මරණ සංඛ්‍යාව 05 ක් වන අතර , සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද 16,450 සීමාව දක්වා පැමිණියා ෴
+++++++++++
නව ආසාදිතයින් 248 ක් අද (24) දිනයේ දී හඳුනා ගැනේ
(24.03.2022 – 19:07 +0530 – hirunews.lk/sinhala)
නව කොරෝනා ආසාදිතයින් 248 දෙනෙකු අද (24) දිනයේ දී හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,60,399 ක් දක්වා ඉහළ යනු ඇති.
අද (24) දිනට තහවුරු කරන ලද සිදු වූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ ගණන 05 ක් වන අතර, සමස්ත මරණ ගණන ද 16,450 ක්.
සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 6,37,011 ක් වන අතර, තවදුරටත් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6,938 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴
+++++++++++
කොවිඩ් මරණ 02 ක්
(25.03.2022 – 17:34 +0530 – hirunews.lk/sinhala)
කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් දෙදෙනකු (2) ගේ මරණ ඊයේ (24) දිනයේ දී සිදු ව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් නිවේදනය කරනවා.
ඒ සමග මෙරට වෛරසය ආසාදනය වී සිදු වූ සමස්ත කොරෝනා මරණ ගණන 16,452 ක්.
ඊයේ (24) දින වනවිට වාර්තා වූ නව ආසාදිතයින් සමග මෙරටින් මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 6,60,399 ක් වන අතර, තවදුරටත් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6,893 ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා ෴
+++++++++++
නව ආසාදිතයින් 234 ක්
(25.03.2022 – 20:02 +0530 – hirunews.lk/sinhala)
කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 234 දෙනෙකු අද (25) දිනයේ දී හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,60,633 ක්.
ඊයේ (24) දින සිදු වූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 02 ක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා.
ඒ සමග මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව ද 16,452 ක් දක්වා ඉහළ ගියා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴