ඇමරිකානු ඩොලරය රුපියල් තුන්සියයේ (300) සීමාවට

ඇමරිකානු ඩොලරය රුපියල් තුන්සියයේ (300) සීමාවට

*********************************************

ඇමරිකානු ඩොලරය රුපියල් තුන්සියයේ (300) සීමාවට

(25.03.2022 – 13:12 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහළ බසිමින් පවතින්නේ රටෙහි පවතින ආර්ථික අර්බුදය තව තවත් දරුණු අගාධයකට ඇද දමමින්.

අද (25) දිනය තුළ පෞද්ගලික බැංකු ඔවුන්ගේ විනිමය අනුපාතයන් සටහන් කිරීමේදී අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් තුන්සියයකට ආසන්න මුදලක් බර තබා ඇති අයුරු දක්නට ලැබුණා.

මේ අතරෙන් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 300 ක මුදලක් බර තැබූ පළමු පෞද්ගලික බැංකුව ලෙස සටහන් වන අතර සම්පත් බැංකුව අද (25) දිනයේ ඔවුන්ගේ විනිමය අනුපාතයන් දක්වා තිබුනේ ඇමරිකානු ඩොලරයට රුපියල් 299 ක මිලක් සටහන් සටහන් කරමින්.

එමෙන්ම එන්ඩීබී බැංකුව ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 297 ක් සටහන් කර තිබූ අතර කොමර්ෂල් බැංකුව ඇමරිකානු ඩොලර් එකට රුපියල් 295 අගයක් සටහන් කර තිබුණා.

මේ අතර ලංකා බැංකුව ද රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයට රුපියල් 297 ක මුදලක් ගෙවන බවයි ඔවුන්ගේ දෛනික විනිමය අනුපාතය සඳහන් කිරීමේ ලේඛනයේ දක්වා තිබුණේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන දෛනික විනිමය අනුපාත සටහනේ ඇමරිකානු ඩොලරයක අගය බර තබා තිබුණේ රුපියල් 294.99 ක් ලෙසින්.

එමෙන්ම බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම රුපියල් 391.25 ක් ලෙස මහ බැංකුව අගය සටහන් කර තිබියදී පෞද්ගලික බැංකු කිහිපයක් බ්‍රිතාන්‍ය පවුමක් සඳහා රුපියල් 400ක අගයක් ඔවුන්ගේ දෛනික විනිමය අනුපාත වාර්තාවන් හි සටහන් කර තිබුණා.

++++++++

ගෑස්, ඉන්ධන හා ඖෂධ ඉල්ලා නීතිඥ සංගමයත් අධිකරණයට

(25.03.2022 – 13:22 +0530 – hirunews.lk/sinhala)

ගෑස්, ඉන්ධන, ඖෂධ හා ආහාර හිඟයකින් තොරව ජනතාවට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් (2) ගොනුකර තිබෙනවා.

ඊට අදාළ විධිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකළ පෙත්සම් මගින් ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.

මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයයි.

***************************************

බලන දුම්රිය ස්ථානයේ විරෝධතාවක්

(25.03.2022 – 12:49 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් උදෑසන 06:50 ට බලන දුම්රිය ස්ථානයට ළඟා වූ පොල්ගහවෙල – මහනුවර දුම්රිය, දින කිහිපයක් තිස්සේ ධාවනය නොවීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මේ හේතුවෙන් බලන දුම්රිය ස්ථානයේ, ස්ථානාධිපති කාර්යාලය හා දුම්රිය මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක ද නිරත වුණා.

බලන ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව නගරයට යාම සඳහා මෙම දුම්රිය ස්ථානය භාවිත කරන බවයි එම ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් අදාළ දුම්රිය එලඹෙන සදුදා (28) සිට යළි ධාවනයට එක් කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් පොරොන්දුවක් මත විරෝධතාකරුවන් එම ස්ථානයෙන් විසිර ගොස් තිබෙනවා ෴

***************************************

මහර ඝාතනය ගැන සොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් 4 ක්

(25.03.2022 – 12:59 +0530 – hirunews.lk/sinhala)

කඩවත – මහර ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු (2) ඊයේ (24) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ මෙහෙයුම් සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 4 ක් යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව ප්‍රකාශ කළා.

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩවත – මහර 9 කණුව ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රී 9 ත් 10 ත් අතර කාලයේදී කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියකට ඊට පසුපසින් යතුරුපැදියකින් පැමිණි තවත් දෙදෙනෙකු (2) විසිනුයි වෙඩි තැබීම සිදුකර තිබුණේ.

එමෙන්ම, වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී ටී 56 වර්ගයේ උණ්ඩ කොපු 15 ක් සොයා ගැනීමට හැකිවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක (2) ඇති වූ ආරවුලක් මෙම ඝාතනයට හේතුවන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ පෑලියගොඩ – මීගහවත්ත – වැල්පාර ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ‘පනම්බිල් කැලුම් සමීර’ සහ 31 හැවිරිදි ‘ටිකිරි හැන්නගේ කසුන් චින්තක’ යන අයයි.

ඔවුන් ‘බැරල් සංඛ’ නමැති අපරාධ කල්ලි නායකයාගේ සමීපතමයින් බවට යි වාර්තා වන්නේ.

වෙඩි තැබීමෙන් පසුව අදාළ පුද්ගලයින් දෙදෙනා (2) කිරිබත්ගොඩ රෝහලට සහ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමත් සමග මියගොස් තිබෙනවා ෴

***************************************

හිටපු ඇමති පණ්ඩු බණ්ඩාරනායක ගජමුතු විකිණීමට දැරූ තැත වරදියි; අඩංගුවට; රක්ෂිත බන්ධනාගාරයට

(25.03.2022 – 17:49 +0530 – hirunews.lk/sinhala)

ගජමුතු විකිණීමේ සිද්ධියකට අදාළ ව හිටපු ඇමති පණ්ඩු බණ්ඩාරනායක ඇතුළු සිව්දෙනෙකු (4) අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (25) පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම වැටලීම සිදු කරනු ලැබුවේ අම්පාර ප්‍රදේශයේ දී යි.

ලද බුද්ධි අංශ තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට සැකකරුවන් අම්පාර පොලීසිය වෙත භාර කෙරුණා ෴

ගජමුතු විකිණීමේ සිද්ධියකට අදාළ ව අම්පාරේදී අත් අඩංගුවට ගත් හිටපු ඇමති පණ්ඩු බණ්ඩාරනායක ඇතුළු සිව්දෙනෙකු (4) රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ අනුව අදාළ සැකකරුවන් අප්‍රේල් මස 07 වැනි දින තෙක් රිමාන්ඩ් භාරයේ තැබෙනු ඇති ෴

++++++

මල්වාන නඩුවට අදාළ සාක්ෂි විමසීම් නැවතෙයි

(25.03.2022 – 14:05 +0530 – hirunews.lk/sinhala)

මල්වාන ප්‍රදේශයෙන් අක්කර 16 ක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරිමේ චෝදනාව යටතේ අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ තිරුකුමාර් නඩේෂන්ට එරෙහි නඩුව සම්බන්ධයෙන් මින් ඉදිරියට සාක්ෂි විමසීමක් සිදුනොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව අද (25) ගම්පහ මහාධිකරණයට දැනුම් දුන්නා.

එම නඩුව ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර ඉදිරියේ අද (25) විභාගයට ගැණුනු අතර, එහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද අධිකරණය හමුවේ පෙනී සිටි බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

පැමිණිල්ල විසින් කැඳවන ලද පළමුවන (1) සාක්ෂිකරු, මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණිල්ලක් කර නොමැති බවත්, ලබාදී ඇති ප්‍රකාශයේ අත්සන පිළිගත නොහැකි බවත් සාක්ෂි දෙමින් පවසා සිටින බැවින් මින් ඉදිරියට සාක්ෂි විමසීමක් සිදුනොකරන බවයි නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මහාධිකරණය හමුවේ දැනුම් දුන්නේ ෴

++++++

අධිකරණයට සද්ද දැමූ රන්ජන් හිස නමා වරද පිළිගනියි

(25.03.2022 – 15:26 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති දෙවන (2) නඩුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක වරද පිළිගෙන තිබෙනවා.

ඒ බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය සහ ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (25) මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

චෝදනාවලට තමන් නිවැරදිකරු බව රංජන් රාමනායක මීට පෙර අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත්, පැමිණිල්ල අද (25) කැඳවූ අවස්ථාවේදී රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ තම සේවාදායකයා නිවැරදිකරු බවට මීට පෙර දුන් ප්‍රකාශය ඉවත් කරගෙන වැරදිකරු යන උත්තරවාදය ඉදිරිපත් කිරීමට සූදානම් බවයි.

ඉන් අනතුරුව රංජන් රාමනායක අධිකරණය හමුවට කැඳවා විනිසුරු මඩුල්ල විසින් ඒ පිළිබඳ විමසීමක් සිදුකරනු ලැබුවා.

එහිදී ඔහු අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ, අදාළ චෝදනාවලට තමා වැරදිකරු බවයි ෴

***************************************

ජනපති සමග පැවති සාකච්ඡාවේදී යෝජනා 05 කට එකඟ වූ බව දෙමළ ජාතික සන්ධානය කියයි

(25.03.2022 – 15:00 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා ගැනීම ඇතුළු ප්‍රධාන කරුණු 5 ක් යටතේ දෙමළ ජාතික සන්ධානය හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර, ජනාධිපති කාර්යාලයේදී අද (25) සාකච්ඡා පැවැත්වුණා.

එහිදී රට ගොඩනැගීම සඳහා එක්ව කටයුතු කිරීමට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුව ජනාධිපති කාර්යාලයේදී අද (25) පෙරවරු 10:30 ට පමණ ආරම්භ වූ අතර එය පැය 3 කට ආසන්න කාලයක් පැවැත්වුණා.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්, මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාල්ස් නිර්මලනාදන්, එස්. ශ්‍රීධරන්, ශානක්‍යම් රාසමානික්කම් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මෙහිදී කියා සිටියේ එක්සත් ශ්‍රී ලංකාවක දේශපාලන විසඳුමක් සමගින් රට සෞභාග්‍ය කරා ගෙන යාම තම අපේක්ෂාව බවයි.

සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් කියා සිටියේ උතුරු, නැගෙනහිර පළාත් දියුණු කිරීම සඳහා අරමුදලක් පිහිටුවීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සිරකරුවන් නිදහස් කර ගැනීම ඇතුළු කඩිනමින් සිදුවිය යුතු යෝජනා 4 කට මෙහිදී එකඟත්වය පළ වූ බවයි.

මෙහිදී අදහස් පළ කළැ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ :

“මට විශ්වාසයි, ඔයාලට තියෙන මේ ප්‍රශ්න අපිට සාකච්ඡා කරලා විසඳගන්න පුළුවන් කියලා. ප්‍රමාදයකින් තොරව විසඳිය හැකි ගැටළු සඳහා මට විසඳුම් දෙන්න පුළුවන්. කඩිනමින් විසඳා ගන්න බැරි ඒවා අපි සාකච්ඡා කරලා විසඳුමකට එන්න ඕනේ. මම තේරී පත්වෙද්දී කිව්වා, මට වැඩිපුර ඡන්ද ලැබුණේ දකුණේ ජනතාවගෙන් කියලා. මම කිව්වා මම මුළු රටටම ජනාධිපතිවරයා කියලා. රටේ සියලු ජනතාවට සමානව සේවය කරනවා කියලා මම කිව්වා. මට ඕනේ තියෙන ප්‍රශ්න විසඳන්න. පසුගිය අවුරුදු දෙකේ (2) ම මම ගොඩක් දේවල් කරා. උදාහරණයක් විදියට කිව්වොත් රඳවාගෙන සිටි සැකකරුවන් පිරිසක් නිදහස් කරා වගේම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත් සංශෝධනය කරා. කොමිෂන් පත් කරලා වැඩ කරා. ඒ ඔක්කොම කරේ මේ ප්‍රශ්න විසඳන්න. අතුරුදන්වූවන්ගේ ප්‍රශ්නයත් මම විසඳනවා. මේවා තමයි මට ඉක්මනට කරන්න පුළුවන්. ප්‍රදේශයේ සංවර්ධනය තමයි ඊට පස්සේ හුඟක්ම වැදගත් දේ. අපි ඔක්කොමගේම මූලිකත්වය විය යුත්තේ ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීම සහ ඒ පළාත්වල සංවර්ධනය. ඒවා අපිට එකතු වෙලා කරන්න පුළුවන්. ඒ නිසා මම ඔයාලට ආරාධනා කරන්නේ අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරමු, ආණ්ඩුවත් එක්ක. දේශපාලන වශයෙන් අපේ අදහස් විවිධ වෙන්න පුළුවන්. නමුත් ජනතාව වෙනුවෙන් අපි එකට වැඩ කරන්න ඕනේ. ආණ්ඩුව ලෑස්තියි එහෙම වැඩ කරන්න. අපිට අද සාකච්ඡා කරන්න පුළුවන්, තව ඉදිරියටත් සාකච්ඡා කරන්න පුළුවන්.

ආර්.සම්බන්ධන් ද මෙම සංවාදයේ දී අදහස් පළ කළා :

“මේ ලබාදුන්න අවස්ථාව අපි පාවිච්චි කරන්න ලෑස්තියි, දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසඳීම සඳහා. මේක එක්දහස් නවසිය හතලිස් ගණන්වල ඉඳලා එන ප්‍රශ්නයක්. අපිට ඕන එක්සත්, නොබෙදුණු ශ්‍රී ලංකාවක්. හැමෝගෙම ස්වෛරීභාවය රැගෙන විදියට, හැමෝටම සමානාත්මතාවය ලැබෙන විදියට, අපිට ඕන ලංකාව දියුණු කරන්න. අපිට ඕන ශ්‍රී ලංකාව පෙරදිග ස්විට්සර්ලන්තය බවට පත්වෙනවා දකින්න.”

රටේ ජීවත් වන දෙමළ ප්‍රජාවට ව්‍යවස්ථාවෙන් සාධාරණයක් ඉටුවීම දැකීම සිය අරමුණ බවත්, මේ රට ඒකීයව ගමන් කරන රටක් වනු දැකීමත් සිය අරමුණ බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රී සුමන්තිරන් සඳහන් කළේ.

***************************************

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය වසරේ දී රුපියල් මිලියන 8 කට වැඩි මුදලක් වින්දිතයින්ට අයකර දෙයි

(25.03.2022 – 15:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට 2021 වසරේදී ලැබුණු පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 8.95 ක මුදලක් පැමිණිලිකරුවන්ට අය කර දී තිබෙනවා.

බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන 451 කට එරෙහිව කාර්යාංශයට පසුගිය වසරේදී පැමිණිලි ලැබී ඇති අතර, පුද්ගලයින් 92 දෙනෙකුට එරෙහිව ද පැමිණිලි ලැබී තිබූ බවයි එමගින් නිවේදනය කළේ.

එමෙන්ම, පැමිණිලි විසඳීම් හා ගැටලු සමතයකට පත් කිරිම් 1090 ක් පසුගිය වසරේදී සිදුකර තිබෙනවා.

මේ වසරේ පළමු මාස දෙක (2) තුළ දී පමණක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට රැකියා නියෝජිත ආයතනවලට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 64 ක් ෴

***************************************

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු STF භාරයට

(25.03.2022 – 15:08 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වැනි සේනාංකයේ භට පිරිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද (25) දහවල් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

එම මෙහෙයුමේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සන්තකයේ තබා සිටි අයෙකු පොලිස් භාරයට ගැනුණා.

පොලීසිය පැවසුවේ වැටලීම සිදු කරන අවස්ථාවේ දී අදාළ සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ඩ්‍රව්‍ය ග්‍රෑම් 220 ක ප්‍රමාණයක් සොයා ගනු ලැබුවා.

මෙම වැටලීම තලෛ මන්නාරම ප්‍රදේශයේ දි සිදු කෙරුණු අතර, අත් අඩංගුවට ගෙන ඇත්තේ 17 හැවිරිදි වියෙහි පසුවන අයෙක්.

***************************************

විදේශ විනිමය රෙගුලාසියක් ගැන මහබැංකුවෙන් පැහැදිලි කිරීමක්

(25.03.2022 – 15:58 +0530 – hirunews.lk/sinhala)

මාර්තු 21 සිට බලාත්මක වන පරිදි සියයට 25 සිට 50 දක්වා වැඩි කරන ලද විදේශ විනිමය මහබැංකුවට විකිණීමේ අවශ්‍යතාව අදාළ වන්නේ, බැංකුවලට පමණක් බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව සඳහන් කළේ, එය ශ්‍රමිකයින්ගේ ඉපයීම් සහ අපනයන ආදායම් සඳහා බලපෑම් ඇති නොකරන බවයි ෴

***************************************

එජාපයේ සත්‍යග්‍රහය ඇරඹේ – ගමනාගමනයටත් බාධා

(25.03.2022 – 17:03 +0530 – hirunews.lk/sinhala)

අඳුරු අනාගතය පහන් කරන්නට ජාතික එකඟතාවක් – ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමු යන තේමාවෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ සත්‍යග්‍රහයක් අද (25) පස්වරුවේ කොළඹ – හයිඩ්පිටියේ දී පැවැත්වුණේ පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

මේ හේතුවෙන්, කොළඹ ටවුන් හෝල් අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ද ඇති වුණා.

මේ අතර මෙම සත්‍යග්‍රහයට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ‘43 වන සේනාංකයේ’ නියෝජිතයන් ද එක්ව සිටියා.

***************************************

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මගීන් සඳහා ඉන්දීය ගමනාන්තය විවෘත වේ

(25.03.2022 – 17:15 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය රජයෙන් ජාත්‍යන්තර මගී ගුවන් සේවා සඳහා රට නැවත විවෘත කිරීමත් සමග අනිද්දා (27) සිට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශ්‍රී ලංකන් වානිජ මගී ගුවන් සේවා යළි ආරම්භ වනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් 2020 මාර්තු සිට ඉන්දියාවට සහ ඉන් පිටතට වාණිජ ගුවන් ගමන් සීමා කර තිබුණා.

කෙසේ වෙතත්, මේ මස අවසානයේ ඉන්දියාවේ ජාත්‍යන්තර ගුවන් සේවා යථා තත්ත්වයට පත්වීමත් සමග සුපුරුදු පරිදි ගුවන් ගමන් කටයුතු සිදු කෙරෙන බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *