මහ බැංකු අධිපති ගැන මුදල් කාරක සභාවේ අප්‍රසාදය

මහ බැංකු අධිපති ගැන මුදල් කාරක සභාවේ අප්‍රසාදය

*********************************************

මහ බැංකු අධිපති ගැන මුදල් කාරක සභාවේ අප්‍රසාදය

(25.03.2022 – 07:42 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වයට අදාළව කරුණු විමසීම සඳහා රජයේ මුදල් කාරක සභාව හමුවට ඊයේ (24) මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් කැඳවා තිබුණත්, ඔවුන් එහි නොපැමිණීම පිළිබඳ කණගාටුව පළ කරන බව කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශ කළා.

ඒ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඊයේ (24) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයි.

මහ බැංකු අධිපතිවරයා, එහි උසස් නිලධාරීන්, මුදල් මණ්ඩලයේ සාමාජිකයින්, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් ඊයේ (24) එහි කැඳවා තිබුණා.

කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගලට ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක් යෙදී ඇති බැවින් සෙසු සාමාජිකයින්ටද කාරක සභාවට සහභාගිවීමට නොහැකි බව දන්වා මහ බැංකුව ලිපියක් එවා තිබෙනවා.

ඊයේ (24) පැවැත් වූ රැස්වීම පසුගිය 21 වැනිදා කැඳවීමට නියමිතව තිබුණත්, එය ඊයේ (24) දිනය දක්වා කල් දමා ඇත්තේද මහ බැංකු නිලධාරීන්ගේ ඉල්ලීම මතයි.

මහ බැංකුවේ මෙම ක්‍රියා කලාපය පාර්ලිමේන්තුවට සිදු කරන අගෞරවයක් බව මුදල් කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබෙනවා.

එහිදී සභාපතිවරයා දැනුම් දී ඇත්තේ ඒ පිළිබඳව සොයා බලන ලෙස කතානායකවරයා වෙත පැමිණිලි කිරීම සුදුසු බවයි ෴

***************************************

කඩවත වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක (2) ආරවුලක් – පොලිසිය

(25.03.2022 – 06:18 +0530 – hirunews.lk/sinhala)

කඩවත පොලිස් වසමේ කොළඹ මහනුවර මාර්ගයේ මහර 09 කණුව අසල දී වෙඩි තැබීමකින් සිදු කළ ඝාතනයක් පිළිබඳ වාර්තා වනවා.

ඊයේ (24) දින මෙම සිද්ධිය සිදු වී ඇති අතර, යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුදගලයන් දෙදෙනෙකුට (2) තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් වෙඩි තබා තිබෙනවා.

වෙඩි තැබීම සඳහා ටී 56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති අතර, තුවාලකරුවන් පළමුව කිරිබත්ගොඩ රෝහලට හා පසු ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව මිය ගිය බව යි සඳහන් වන්නේ.

මරණකරුවන් වයස අවුරුදු 30 හා 31 වයස්වල පසුවන පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් (2).

මෙය සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් (2) අතර ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් මත සිදු වූ දෙයක් ලෙසට යි පොලිසිය සැක කරනු ලබන්නේ.

වැඩිදුර විමර්ශන කටයුතු කඩවත පොලිසිය විසින් සිදු කෙරෙනු ඇති.

***************************************

මාරක අපල පෙන්වා මුදල් වංචා කළ අභිකුණ්ඨක පවුලක් රක්ෂිත බන්ධනාගාරයට

(25.03.2022 – 07:39 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනාට (2) මාරක අනතුරු ඇති බවට ශාස්ත්‍රයකින් පවසා යාග හෝම පැවැත්වීම සඳහා මුදලින් රුපියල් ලක්ෂ 11 ක් සහ ලක්ෂ 07 ක් වටිනා ස්වර්ණාභරණ රැගෙන පළා ගිය තුන්දෙනෙකු (3) රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, එකම පවුලේ අභිකුණ්ඨක ශාස්ත්‍රකරුවෙකු (1) සහ ශාස්ත්‍රකාරියන් දෙදෙනෙක් (2).

පුත්තලම ප්‍රදේශයේ පදිංචි මොවුන් කොච්චිකඩේ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරික පවුලක පිරිස් රවටා මෙලෙස මුදල් වංචා කර ඇති අතර, ඒ පිළිබඳ පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුවයි අභිකුණ්ඨක ශාස්ත්‍රකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දියණියන් දෙදෙනාට (2) මාරක අපල ඇති බවට පවසමින් සති දෙකක (2) කාලයක් පුරා නිවසෙහි ශාන්තිකර්මයක්ද සිදු කර ඇති අතර, අභිකුණ්ඨකයින් එහි දී ප්‍රකාශ කර ඇත්තේ, පූජා වට්ටිවල ස්වර්ණාභරණ සහ මුදල් තබා අවසන් ශාන්තිකර්මය සිදු කළ යුතු බවට යි.

එහිදී අලුයම් කාලයේදී අභිකුණ්ඨක ශාස්ත්‍රකරුවන් මුදල් සහ රන් ආභරණ රැගෙන පළාගොස් ඇති බව සඳහන් ෴

***************************************

රිදීගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරයාට පහරදීම ගැන විමර්ශනයක්

(25.03.2022 – 08:07 +0530 – hirunews.lk/sinhala)

රිදීගම – සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (25) විමර්ශනයක් ආරම්භ කරන බව වනජීවී රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පවසනවා.

ලේකම්වරයා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ, විමර්ශනයෙන් අනතුරුව ඊට සම්බන්ධ පිරිස්වලට එරෙහිව පියවර ගන්නා බවයි.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙරේදා (23) රිදීගම – සෆාරි උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට ගිය අවස්ථාවේදී එහි ඩෝරා නැමති සිංහ ධේනුව රැක බලාගත් ප්‍රියසාද් එදිරිවර්ණ නැමති පශු වෛද්‍යවරයාට එහි සේවකයින් පිරිසක් විසින් පහර දී තිබුණා.

අදාළ පහරදීමට විරෝධය පල කරමින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් පශු වෛද්‍ය නිලධාරීන් ඊයේ (24) ආරම්භ කළ දීපව්‍යාප්ත වැඩවර්ජනය අද (25) 2 වන දිනයටත් ක්‍රියාත්මකයි ෴

***************************************

එක්සත් ජාතික පක්ෂය අද (25) හයිඩ් පිටියේ දී සත්‍යග්‍රහයක

(25.03.2022 – 08:15 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂය විසින් අද (25) කොළඹ හයිඩ් පිටියේ දී සත්‍යග්‍රහයක් සංවිධාන කර තිබෙනවා.

එම සත්‍යග්‍රහය පස්වරු තුනට (3) එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත යි.

අඳුරු අනාගතය පහන් කරන්නට ජාතික එකඟතාවක් – ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමු යන තේමාව යටතේ මෙය පැවැත්වෙන බවයි එක්සත් ජාතික පක්ෂයේ උපනායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ.

මේ අතර වත්මන් ආර්ථික අර්බුද හමුවේ විවිධ විපක්ෂ දේශපාලන කණ්ඩායම් නැවතත් කරළියට පැමිණ ඇති අතර, මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් නො පෙනෙන මානයක දී ද ඔවුන් නොයෙක් ආකාරයෙන් සිය මතය ප්‍රකාශ කරමින් සිටිනවා.

මේ අතර, ඊයේ (24) රැස් වූ පාර්ලිමේන්තුවේ දී මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ, නොබෝ දිනකින් ම සජිත් පිල අත් හැර මන්ත්‍රීවරුන් දස (10) දෙනෙකු පමණ රනිල් පිලට යෑමට සූදානමින් සිටින බව යි ෴

***************************************

මෙරට දෙවන (2) නැනෝ චන්ද්‍රිකාව ‘කිට්සුනේ’ උඩු ගුවනට

(25.03.2022 – 08:18 +0530 – hirunews.lk/sinhala)

මොරටුව ආතර් සී. ක්ලාක් ආයතනයේ ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මිත දෙවන (2) නැනෝ චන්ද්‍රිකාව සාර්ථකව කක්ෂගත කර තිබෙනවා.

ඊයේ (24) පස්වරු 05:40 ට පමණ එය ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400 ක් දුරින් පිහිටි කක්ෂය වෙත එය මුදාහැරීම සිදු කෙරුණු බවයි ආතර් සී. ක්ලාක් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු සනත් පනාවැන්නගේ සඳහන් කළේ.

ජාත්‍යන්තර ආයතන පහක් (5) සමඟ ඒකාබද්ධව නිර්මාණය කරන ලද ‘කිට්සුනේ’ නමින් නම් කරන ලද මෙම චන්ද්‍රිකාව පසුගිය පෙබරවාරි 18 වැනිදා සිග්නිස්-17 රොකට්ටුව මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.

මෙරට නිර්මාණය කරන ලද පළමු (1) නැනෝ චන්ද්‍රිකාව රාවණ-01 කක්ෂගත කරනු ලැබුවේ 2019 වසරේ ජුනි 17 වැනිදායි.

රාවණ-01 චන්ද්‍රිකාව මෙන් හය (6) ගුණයක විශාලත්වයෙන් යුත් ‘කිට්සුනේ’, උසස් තාක්ෂණයෙන් යුත් චන්ද්‍රිකාවක් වන අතර, එහි සංවේදී කැමරා පද්ධතිය මගින් පෘථිවියේ සෙන්ටිමීටර් 05 ක පමණ වපසරිය වුවද තියුණු ලෙස නිරීක්ෂණය කළ හැකියි ෴

***************************************

වඩේ සහ පරාටා අලෙවිය ඉහළට

(25.03.2022 – 08:23 +0530 – hirunews.lk/sinhala)

බත් පාර්සලයක මිල ඉහළ යෑමත් සමඟ ආපණ ශාලාවල පරාටා සහ වඩේ අලෙවිය ඉහළ ගොස් ඇති බවට වෙළඳපොල ආරංචි මාර්ග පවසනවා.

ගෑස් මිල, ඉන්ධන සහ විදුලි අර්බුදය හේතු කොටගෙන බත් පාර්සලයක මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව වෙළඳපොලේ බිත්තර සහ කුකුළු මස් මිල ඉහළ යෑම නිසා බත් පාර්සලයක මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි ආපණ ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ප්‍රකාශ කළේ.

මෙම අර්බුදයත් සමඟ ආපණ ශාලාවල පරාටා සහ වඩේ අලෙවිය වැඩි වී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ෴

***************************************

ජනපති, දෙමළ සන්ධාන සාකච්ඡාව අද (25)

(25.03.2022 – 08:37 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් අද (25) පැවැත්වෙනවා.

අද (25) පෙරවරු 10:30 ට පමණ මෙම හමුව පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මීට පෙර ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණද එය අද (25) දිනය දක්වා කල්දමනු ලැබුවා.

දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් මෙන්ම තවත් කරුණු කිහිපයක් පිළිබඳ මෙහි දී සාකච්ඡා කිරීමට නියමිත ව තිබෙනවා.

මේ අතර, දෙමළ ඩයස්පෝරාව රටට ආයෝජන ගෙන ඒමට නම් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුලින්ම බලාත්මක කළ යුතුව ඇති බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ඊයේ (24) ප්‍රකාශ කළා.

ඒ, හිරු ප්‍රවෘත්ති අංශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

***************************************

ශ්‍රී ලංකාව ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක මූල්‍යාධාර අපේක්ෂාවෙන්

(25.03.2022 – 08:53 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව විසින් මෙරට ග්‍රාමීය සංවර්ධනය, පුනර්ජනනීය බලශක්ති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ සහය අපේක්ෂා කරන බව වාර්තාවනවා.

ඒ සඳහා දැනටමත් ව්‍යාපෘති යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කර ඇති අතර, තවත් කිහිපයක් සකස් කරමින් පවතින බව සඳහන්.

ආරංචි මාර්ග සඳහන් කළ පරිදි මෙම ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක පමණ මූල්‍ය සහය අපේක්ෂා කෙරෙනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන මාසයේ ඇමරිකා එක්සත් ජනපදයේදී ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මුණගැසීමට නියමිතයි.

එහිදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙරට විදේශ විනිමය සංචිත කැපී පෙනෙන ලෙස පහත වැටීමට හේතුවී ඇති ණය සේවාකරණය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇති.

පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මෙරට විදෙස් සංචිතය සියයට 70 කින් පමණ පහත වැටුණු අතර, ඒ හේතුවෙන් ආහාර, ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් සංචිත හිඟවී තිබෙනවා.

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ පවත්වන සාකච්ඡාවලදී ණය ආපසු ගෙවීමේ යාන්ත්‍රණය යළි සැකසීමේ හැකියාව පිළිබඳවද ශ්‍රී ලංකාව සොයා බලනු ඇති ෴

***************************************

රුමේනියාවෙන් හමුවූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකුත්

(25.03.2022 – 09:27 +0530 – hirunews.lk/sinhala)

රුමේනියාවේ බටහිර දේශසීමාවේ දී ට්‍රේලර් ට්‍රක් රථයකින් (1) සහ මිනි බස් රථ දෙකකින් (2) හමුවූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් 38 දෙනෙකු අතර ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකුද සිටින බව වාර්තාවනවා.

තුර්කි, සිරියානු ඉරාක සහ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 38 දෙනෙකු රුමේනියානු සංක්‍රමණික බලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි ඒජර්-ප්‍රෙස් ප්‍රවෘත්ති සේවාව සඳහන් කළේ.

රුමේනියානු ජාතිකයන් විසින් පදවනු ලැබූ එම වාහනවල විශේෂයෙන් සැකසූ කුටිවල මෙම සංක්‍රමණිකයන් රැඳී සිටි බව සඳහන්.

සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම දේශසීමා මුරපොල පසුකර යාමට පැමිණි මෝටර් රථයක සිටි ශ්‍රී ලාංකිකයෙකු ගෙන් රුමේසියානු සංක්‍රමණික බලධාරීන් ප්‍රශ්න කර තිබෙනවා.

ඔහු නීත්‍යානුකූල අන්දමින් රුමේනියාවට පැමිණ නික්මෙන අයෙකු වුවද ඔහුගේ වාහනයේ තිබී කළින් පැමිණි වාහනවලින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන්ගේ ගමන් බලපත්‍ර සහ බඩු බාහිරාදිය සොයාගත් බවයි රුමේනියානු ඇරඩ් දේශසීමා පොලිසිය සඳහන් කළේ.

මේ අතර, මෙරට උතුරුකරයේ සිට තමිල්නාඩුවේ ධනුෂ්කොඩි සහ රාමේෂ්වරම් වෙත බෝට්ටු දෙකකින් (2) ළඟාවූ ශ්‍රී ලාංකික සරණාගතයන් 16 දෙනෙකු සම්බන්ධයෙන් මධ්‍යම රජයේ උපදෙස් අනුව නීත්‍යානුකූලව කටයුතු කරන බව තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින්, ප්‍රාන්ත සභාවේදී ප්‍රකාශ කළා.

කෙසේ නමුත් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් වන ඔවුන්ට නව ආරම්භයක් සහතික කිරීමට පියවර ගන්නා බවටද ඔහු ප්‍රතිඥාවක් ලබාදුන්නා.

දැනට පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මොවුන් මෙලෙස බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවට ගොස් ඇති බවයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් පෙරේදා පැවති සර්වපාක්ෂික සමුළුවේදී ප්‍රකාශ කළේ ෴

***************************************

දේශපාලනය නිසා හිඟමනට වැටුණු රාජ්‍ය අමාත්‍යවරයා

(25.03.2022 – 10:16 +0530 – hirunews.lk/sinhala)

වෙන කවරදාටත් වඩා අද වන විට දේශපාලඥයා සමාජයේ ගැරහුම් ලබන තත්ත්වයට පත්ව ඇති බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි පවසනවා.

උපකාරක පන්ති ගුරුවරයකු ලෙස එදා මට තිබුණු ගෞරවය සහ මුදල් අද දේශපාලනඥයෙකු ලෙස මට අහිමි වෙලා තියෙනවා.

එදා මගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍යයෝ මට වැන්දා අද මේ ශිෂ්‍යයෝ ම ඇතැම් වෙලාවට මගෙන් අහනවා ‘සර් මොකක්ද මේ කරගත්තේ ?’ කියලා.

මට එදා යහමින් මිල මුදල් තිබුණා.

නමුත් අද දේශපාලනයට ඇවිල්ලා මං ඒ දේවල් නැති කරගෙන තියෙනවා.

මෙලෙස අදහස් දැක්වූයේ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි යි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ නවක හා පාරම්පරික දේශීය වෛද්‍යවරුන් 175 දෙනෙකුට ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතිකපත්‍ර පිරිනැමීමේ උත්සවයට එක්වෙමින්.

මෙම උත්සවය නාවින්න ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවනාගාරයේ දී ඊයේ (24) පැවැත්වුණා.

මෙහිදී සාමාන්‍ය සර්වාංග වෛද්‍යවරුන් 46 දෙනකුට ලියාපදිංචි සහතික පත්‍ර පිරිනැමුණු අතර අක්ෂි රෝග, කැඩුම් බිඳුම්, චර්ම රෝග, සර්ප විෂ, මානසික රෝග, ගෙඩි වණ, සහ දැවුම් පිළිස්සුම් ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන් 129 ක් සඳහා ද ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි සහතිකය පිරිනැමුණා ෴

***************************************

කඩදාසි හිඟයෙන් පත්තර මුද්‍රණයටත් සීමා

(25.03.2022 – 12:47 +0530 – hirunews.lk/sinhala)

පවතින කඩදාසි අර්බුදය හේතුවෙන් මෙරට ප්‍රධාන පෙළේ පුවත්පත් සමාගමක් වන උපාලි පුවත්පත් සමූහය සිය දිනපතා මුද්‍රණයන් හි සෙනසුරාදා පුවත්පත මුද්‍රණය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එහි බෙදාහැරීම් කළමනාකරු සිසිර ගලදෙණිය සඳහන් කළේ පුවත්පත, මුද්‍රණය නොකළද අන්තර්ජාල ඊ-පුවත්පතක් ලෙස නිකුත් කරන බවයි.

පවතින ඩොලර් අර්බුදය සහ ලෝක වෙළඳපොලේ කඩදාසි මිල ඉහළ යාම සැළකිල්ලට ගනිමින් මෙරට පුවත්පත් ආයතන දැනට තමන් සතුව ඇති කඩදාසි තොග කළමනාකරණය සඳහා විවිධ ක්‍රියාමාර්ගවලට එළඹුණු අතර, පිටු සංඛ්‍යාව සීමා කිරීම එහි එක් පියවරක්.

එමෙන්ම බොහෝ පුවත්පත් ආයතන සිය පුවත්පත්වල මිල ගණන්ද ඉහළ නැංවීමටයි ගතවූ මාස කිහිපය තුළ පියවර ගනු ලැබුවේ.

මේ අතර ලේක්හවුස් සමාගමද මෙම මස ආරම්භයේ සිට සරසවිය සහ ආරෝග්‍යා පුවත්පත් සෑම මසකම පළමු සතියේ කලාපයට සීමා කිරීමට පියවර ගත්තා.

එමෙන්ම සෙසු සති තුනෙහි (3) ප්‍රකාශනයන් ඊ-පේපර් ලෙස නිකුත් කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

එමෙන්ම මේ මස මුල සිට ලේක් හවුස් ආයතනය ඉරිදා පුවත්පතේ මිල රුපියල් අසූවේ (80) සිට සියය (100) දක්වා රුපියල් විස්සකින් (20) වැඩි කිරීමටත් කටයුතු කළා.

කඩදාසි අර්බුදය හමුවේ ඊ-පේපර් හරහා පාඨකයා වෙත පුවත්පත් සමීප කිරීමට කටයුතු කළද එය පුවත්පත් අලෙවිය අඩු වීමට අහිතකර ලෙස බලපාන බවයි ලේක් හවුස් ආයතනයේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් සඳහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සෙල්වම් කේතීෂ් ද පවතින කඩදාසි අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ විනිමය අර්බුදය සහ ලෝක වෙළඳපොලේ කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් කර්මාන්තය දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *