තෙල් පෝලිම් අඩු වෙයි

තෙල් පෝලිම් අඩු වෙයි

*********************************************

තෙල් පෝලිම් අඩු වෙයි

(25.03.2022 – 09:41 +0530 – hirunews.lk/sinhala)

පෙට්‍රල් හා ඩීසල් ලබා ගැනීමට අද (25) පෙරවරුවේ එතරම් දිගු පෝලිම් නොතිබුණු බව වාර්තා වනවා.

විශේෂයෙන් මරදාන හා දෙමටගොඩ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් නොතිබූ බව සඳහන්.

ඉන්ධන අවශ්‍ය ප්‍රමාණයට ඇති බවයි ඉන්ධන පිරහුම් හල් වල සේවකයින් පවසන්නේ.

කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණ නිමාවෙන් බවුසර පිටත්වන බවත් එහි කටයුතු සාර්ථක ව සිදු වන බවත් වාර්තා වනවා.

++++++++++++

ඉන්ධන බෙදාහැරීම් විධිමත් නැහැ – බෙදුම්කරුවන්

(25.03.2022 – 08:43 +0530 – hirunews.lk/sinhala)

අවශ්‍යතාව හඳුනා ගනිමින් ඉන්ධන බෙදාහැරීම් විධිමත් කළ යුතු බව බෙදුම්කරුවන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් පිරවුම්හල්වලට පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි ඉන්ධන නොලැබෙන බවයි.

ඇතැම් ප්‍රදේශවලට දින ගණනාවකින් මේ වනවිට ඩීසල් ලැබී නොමැති බවද සඳහන්.

කෙසේ වෙතත්, බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ඊයේ (24) ප්‍රකාශ කළේ පිරවුම්හල්වල ඉන්ධන අතිරික්තයක් පැවතීම හේතුවෙන් ඇතැම් ඉන්ධන බවුසර් නැවත හරවා එවා ඇති බවයි.

කෙසේ වෙතත්, ඊයේ (24) දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නොමැති බව පවසමින් ඒවා වසා දමා ඇති අයුරු දක්නට ලැබුණා.

පිරවුම්හල්වල ද දිගු පෝලිම් දක්නට තිබුණා.

මේ අතර, ලිට්රෝ සමාගම දිවයිනට ළගා වී ඇති නෞකාවෙන් ගොඩබා ඇති ගෑස් මෙටි්‍රක් ටොන් 3500 බෙදා හැරීමේ කටයුතු ඊයේ (24) ආරම්භ කළ අතර, ඉදිරි දින 3 ක කාලය සඳහා මෙම ගෑස් තොග ප්‍රමාණවත් බවයි වාර්තා වන්නේ.

ගෑස් ලබා ගැනීම සඳහාද තවමත් දිගු පෝලිම් පවතින ආකාරයක් දක්නට ලැබෙනවා.

මේ අතර, අදත් (25) පී සිට ඩබ්ලිව් දක්වා (P-W) කලාපවලට පෙරවරු 08:30ත් පස්වරු 05:30 ත් අතර පැය හතරහමාරක (4½) කාලයක් සහ පස්වරු 05:30 ත් රාත්‍රි 11 ත් අතර පැය 01 යි මිනිත්තු 50 ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනවා.

ඒ සිට එල් දක්වා (A-L) කලාපවලට පෙරවරු 08:00 සිට පස්වරු 06:00 දක්වා කාලය තුළ පැය 03 යි මිනිත්තු 20 ක් සහ පස්වරු 06:00 ත් රාත්‍රි 11:00 ත් අතර කාලය තුළ පැයයි (1) මිනිත්තු 40 ක් විදුලිය විසන්ධි කරන බවයි මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ.

විදුලිබල ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ඊයේ (24) කෙරවලපිටියේ ඉදිවන සොබාදනවි බලාගාරය නිරීක්ෂණයට එක්වුණා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ ලබන වසර වනවිට එම බලාගාරය මගින් මෙගාවොට් 200 ක් ජාතික ජනන පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බවයි ෴

++++++++++++

කෙරවලපිටිය බලාගාරයේ ද වැඩ නැවතෙයි

(25.03.2022 – 10:31 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන නො මැතිකම හේතුවෙන් කෙරවලපිටිය බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව නවතා ඇති බව වාර්තා වනවා.

මේ වනවිටත් ඉන්ධන නො මැතිකම හේතුවෙන් දිවයින පුර විදුලි කප්පාදුවක් සිදු වෙමින් පවතින අතර, දිනකට පැය හයක් (6) හෝ පහක් (5) මහජනයාට අඳුරේ හිඳින්නට සිදු වී තිබෙනවා.

පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීමට නො හැකි වීම නිසා යි මෙම අර්බුද සියල්ල නිර්මාණය වී ඇත්තේ.

මීට ටික දිනකට ඉහත දී සපුගස්කන්ද තෙල් පිරිපහදුව ද වසා දැමුණේ පිරිපහදු කිරීමට අවශ්‍ය බොර තෙල් නො මැතිකමින් ෴

++++++++++++

ගාල්ල – කලේගානේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

(25.03.2022 – 10:41 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – වක්වැල්ල මාර්ගයේ පිහිටි කලේගාන ඉන්ධන පිරවුම්හලට ඊයේ (24) රාත්‍රියේ ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් එහි මුදල් අයකැමිට පහරදී රුපියල් 2,80,000 ක මුදලක් පැහැර ගෙන ගොස් තිබෙනවා.

ත්‍රිරෝද රථයෙන් පැමිණි දෙදෙනෙකු (2) විසින් මෙම කොල්ලකෑම සිදුකර ඇති අතර, ඔවුන් විසින් පිරවුම්හලේ දේපලවලට ද හානි කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන්ගෙන් එක් (1) අයෙකු ඉන්ධන පිරවුම්හලේ සේවකයින් විසින් අල්ලාගෙන පොලීසියට භාරදී ඇති අතර, අනෙක් කොල්ලකරු පැමිණි ත්‍රිරෝද රථයෙන් පලාගොස් තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනා (2) ඊයේ (24) උදෑසන භූමිතෙල් ලබා ගැනීමට පැමිණ සිටියදී ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු සමග ද බහින්බස් වී ඇති බව පොලීසිය සඳහන් කළා ෴

++++++++++++

ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන නෞකාවකට ඩොලර් ගෙවයි

(25.03.2022 – 11:08 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දින 12 ක කාලයක සිට කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන රැගත් නෞකාවකට ඇමරිකානු ඩොලර් මිලියන 42 ක මුදලක් ගෙවූ බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා ප්‍රකාශ කළා.

ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් විසි දහසක් (20,000) සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් විසි දහසක් (20,000) ගොඩබෑමේ කටයුතු ආරම්භ කෙරෙනු ඇති.

කෙසේ වෙතත් මෙතෙක් එම නෞකාවට අදාළ ප්‍රමාද ගාස්තු කොපමණ ද යන්න ගණනය කර නැහැ.

ඊට අමතරව ඉන්දීය ණය ආධාර යටතේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් තවත් නෞකාවක් දිවයිනට පැමිණ ඇති බවයි බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරිය කියා සිටියේ.

මේ අතර ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය පහසුකමට අමතරව තවත් ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000 ක් මෙරටට ලබාදීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත් වෙබ් අඩවිය වාර්තා කළා.

ඉන්දීය රජයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් එම වෙබ් අඩවිය සඳහන් කර ඇත්තේ ඩීසල් ලබාදෙන ලෙස ලක් රජය කළ හදිසි ඉල්ලීමක් සැළකිල්ලට ගෙන මෙම තීරණයට එළඹ ඇති බවයි.

මේ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඇතැම් ප්‍රදේශවල පවතින ඉන්ධන පෝලිම්වල අඩුවක් අද (25) පෙරවරුවේ නිරීක්ෂණය වුණා.

ඒ අනුව ප්‍රදේශ කිහිපයක අද (25) පෙරවරුවේ දිගු ඉන්ධන පෝලිම් දක්නට නොලැබුණු බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

කෙසේ වෙතත් ඩීසල් ලබාගැනීම සඳහා ඇතැම් ප්‍රදේශවල තවදුරටත් පෝලිම් පවතින අතර, ඉන්ධන තොග අවසන්ව ඇති බව සඳහන් කරමින් තවත් පිරවුම්හල් වසා දමා ඇති ආකාරයක්ද නිරීක්ෂණය වුණා.

මේ අතර නිසි ක්‍රමවේදයක් යටතේ නුවරඑළිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථවලට ඩීසල් නිකුත් නොකරන ලෙසට චෝදනා කරමින් නුවරඑළියේ පෞද්ගලික බස් රථ අද (25) පෙරවරුවේ ධාවන කටයුතුවලින් ඉවත්වූ බව අප වාර්තාකරු සඳහන් කළා.

මෙවන් පසුබිමක ප්‍රදේශ රැසක ගෑස් පෝලිම් ද අදත් (25) දක්නට ලැබෙනවා.

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේදීද කෙරවලපිටිය ලිට්රෝ ගෑස් අංගනයෙන් ගෑස් බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇති අතර, තවත් ගෑස් නෞකාවක් තල්දියවත්ත ගෑස් බෝයාවට පැමිණ ඇති බව අප වාර්තාකරු පැවසුවා.

එහි ප්‍රමිතිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අදාළ ගෑස් ගොඩබෑම සිදුකිරීමට නියමිතයි ෴

++++++++++++

ලබන සතියේ විදුලි කප්පාදුව දිනකට පැය දහයක් (10) ?

(25.03.2022 – 11:16 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමාණවත් ඉන්ධන තොග සහ ජල විදුලි බලය නිපදවන ජලාශවල ජල මට්ටම සීඝ්‍ර ලෙස පහත බැසීම හේතුවෙන් මේ වන විට ක්‍රියාත්මක වන දිනකට පැය හය හමාරක් (6½) වන විදුලි කප්පාදුව ලබන සතිය වන විට දිනකට පැය දහයක් (10) විය හැකි බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරනවා.

හිරු ප්‍රවෘත්ති සමඟ අදහස් දැක්වූ විදුලිබල මණ්ඩල ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ වන විට දිවයිනේ සියලුම ජල විදුලි බලාගාර ආශිත ජලාශවල ජල මට්ටම් සීඝ්‍රයෙන් පහත වැටී ඇති බවයි.

ඇතැම් ජලාශවල ජල මට්ටම් අනුව විදුලි බලය නිපදවීම සිදු කළ හැකි වන්නේ තවත් දින ගණනාවක් පමණක් බවත් ඔහු සඳහන් කළා.

මේ අතර දිවයිනට අඛණ්ඩව ඩීසල් සැපයුම් සිදු නොවන තත්ත්වයක් මත ඩීසල් සහ දැවි තෙල් භාවිත කරමින් ක්‍රියාත්මක කෙරෙන විදුලි ජනන යන්ත්‍ර භාවිතයත් අත්හැර දමන්නට සිදු වී තිබෙනවා.

අද (25) දින කෙරවලපිටිය දැවි තෙල් බලාගාරයේ විදුලි බල උත්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවන්න ට සිදු වූයේ එම විදුලි බලාගාරයට අවශ්‍ය කරන දැවිතෙල් ප්‍රමාණවත් තොග නොලැබීම හේතුවෙන්.

++++++++++++

විදුලි කප්පාදුව නැවතෙයි ද ? – තෙල් සැපයුමට කඩිනමින් පියවර

(25.03.2022 – 17:23 +0530 – hirunews.lk/sinhala)

විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා දෙන බව ඛනිජ තෙල් සංස්ථාව අද (25) පස්වරුවේ ප්‍රකාශ කළා.

ඒ විදුලි බලාගාර වලට අවශ්‍ය ඉන්ධන සහ ජල සංචිත නොමැති විම හේතුවෙන් ලබන සතියේ සිට පැය 10 ක කාලයක් විදුලිය කප්පාදු කිරිමට නියමිත බවට අප වාර්තා කිරීමත් සමගයි.

කෙසේ වෙතත් , දැවිතෙල් නොමැති විම හේතුවෙන් ඊයේ (24) පෙරවරුවේ සිට කෙරලවලපිටිය තාප විදුලි බලාගාරය අක්‍රිය ව පවතිනවා.

එමගින් ජාතික පද්ධතියට සැපයු විදුලි ධාරිතාව මෙගාවොට් 270 ක්.

මේ වනවිටත් විදුලි බලාගාර කිහිපයක් අක්‍රියව පවතින්නේ ඉන්ධන සහ ජලය නොමැති විම හේතුවෙන්.

සමනල වැවේ ජල මට්ටම අඩු විම නිසා දකුණු පළාතට ලබන සතිය තුළ විදුලිය ලබා දිමේ දැඩි අර්බුදකාරි තත්ත්වය මතුව ඇති බවයි අද (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්. සී. ෆර්ඩිනැන්ඩු කියා සිටියේ.

මෙම තත්ත්වය මත බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (25) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පැවැත්වූණා.

ඊට විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාත්‍යාංශය සහ බලශක්ති අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය ඇතුළු අදාළ සියලු‍ම ආයතනවල නිලධාරින් එක්ව සිටියා.

එම සාකච්ඡාවෙන් පසු ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ කියා සිටියේ විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ඉදිරියේදී ලබාදිමට පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් , කොළඹ අද (25) කැඳවු මාධ්‍ය හමුවකදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ පොරොන්දු වු පරිදි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ලබා දෙන්නේ නම් ලබන සදුදා (28) සිට විදුලි කප්පාදුව පැය 3 ත් 4 ත් අතර, කාලයකට අඩු වන බවයි.

+++++++

පැය 06 කට එහා හෙටත් (26) විදුලිය කැපෙයි

(25.03.2022 – 20:10 +0530 – hirunews.lk/sinhala)

හෙට (25) පී සිට ඩබ්ලිව් දක්වා (P-W) කලාපවලට පෙරවරු 09 ත් පස්වරු 06 ත් අතර පැය 03 ක කාලයක් විදුලිය කප්පාදුව සිදු කෙරෙනවා.

එමෙන්ම පස්වරු 06 ත් 09 ත් අතර කාලයේ පැයයි මිනිත්තු 40 ක් ඒ සිට එල් දක්වා (A-L) ද, පෙරවරු 08 ත් පස්වරු 06 ත් අතර පැය 03 මිනිත්තු 20 ක කාලයක් ද විදුලි සැපයුම අත්හිටවෙනු ඇති.

මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ, පස්වරු 06 – 11 අතර පැයයි (1) මිනිත්තු 40 ක කාලයක් ද දිවයිනේ කාණ්ඩ කෙරුණු ප්‍රදේශවලට විදුලි සැපයුම නොලැබෙන බවයි.

++++++++++++

තවත් ඉන්ධන තොග ආනයනයට සැරසෙයි

(25.03.2022 – 20:17 +0530 – hirunews.lk/sinhala)

ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන මෙරටට ආනයනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ අද (25) මේ බව සඳහන් කළේ විදුලිබල හා බලශක්ති, මුදල් අමාත්‍යාංශය හා තවත් රාජ්‍ය ආයතන කිහිපයක් ඒකාබද්ධව පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 40,000 ක් ගොඩබෑමේ කටයුතු අද (25) ආරම්භ කරන බව ද සභාපතිවරයා එහිදී සඳහන් කළා.

පසුගිය දින 12 ක කාලයක සිට කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන රැගත් නෞකාවකට ඇමරිකානු ඩොලර් මිලියන 42 ක මුදලක් ගෙවූ බව බලශක්ති අමාත්‍යාංශය අද (25) පෙරවරුවේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මෙතෙක් එම නෞකාවට අදාළ ප්‍රමාද ගාස්තු කොපමණ ද යන්න ගණනය කර නැහැ.

ඊට අමතරව ඉන්දීය ණය ආධාර යටතේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් තවත් නෞකාවක් දිවයිනට පැමිණ ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය කියා සිටියේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසුවේ තවත් ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500 ක් සහිත නෞකාවක් ලබන සඳුදා (28) සහ තවත් මෙට්‍රික් ටොන් 37,500 ක් අඩංගු නෞකාවක් අප්‍රේල් මුල් සතියේ දිවයිනට ළගා වීමට නියමිත බවයි.

ඒ අනුව කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බැවින් තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත් පරිදි එදිනෙදා ලබා ගැනීමට කටයුතු කරන ලෙසටයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

ප්‍රදේශ කිහිපයක අද (25) පෙරවරුවේ දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබුණේ නැහැ.

මේ අතර, ඊයේ (24) දිවයිනට පැමිණි ගෑස් නෞකාවේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගෑස් ගොඩබෑමට නියමිතයි.

ඊයේ (24) දිනයේ සිට පෝලිම්වල රැදී සිටියද ගෑස් මිලදී ගැනීමට නොහැකිවීම නිසා අලුත්ගම – දර්ගා නගරයේ ජනතාව අද අලුත්ගම – මතුගම මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා.

++++++++++++

IOC පෙට්‍රල් මිල යළි ඉහළට

(25.03.2022 – 22:28 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ සියලුම පෙට්‍රල් වර්ගවල ලීරයක මිල රුපියල් 49 කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

නව මිළ ගණන් අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනු ඇති.

මෙම මිල වැඩි කිරීමත් සමග IOC සමාගමේ ඔක්ටේන්-92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 303 ක් වනවා.

ඔක්ටේන්-95 වර්ගයේ පෙට්‍රල් ලීරයක මිල රුපියල් 332 ක් වනු ඇති.

රටේ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මෙලෙස ඉන්ධන ආනයනය කිරීමට ද නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙනවා.

ඊට තවත් බලපෑ ප්‍රධානතම හේතුවක් වන්නේ රුසියානු – යුක්‍රේන යුද අර්බුදය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ද බොරතෙල් මිල ගණන් විශාල වශයෙන් ඉහළ යෑමයි.

මෙම තත්ත්වය හේතුවෙන් අමරිකාව,ජපානය,කැනඩාව ආදී ප්‍රබල යුරෝපා රටවල් පවා රුසියාවෙන් බොරතෙල් මිල දී ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනුයි ආසියාතික රාජ්‍යයන්හි ද ඉන්ධන මිල ගණන් සංශෝධනයකට ලක් වූයේ.

කෙසේවෙතත් අයි.ඕ.සී සමාගමේ ඩීසල් මිල ගණන් හි වෙනසක් සිදු ව නැහැ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *