සර්ව පාක්ෂික සමුළුව ආරම්භ වෙයි

සර්ව පාක්ෂික සමුළුව ආරම්භ වෙයි

*********************************************

සර්ව පාක්ෂික සමුළුව ආරම්භ වෙයි

(23.03.2022 – 10:37 +0530 – hirunews.lk/sinhala)

පවතින ආර්ථික අර්බුදය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති මන්දිරයේ දී මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ සඳහා සමගි ජන බලවේගය එක් නොවූ අතර ජාතික ජන බලවේගය ද ඊට සහභාගි වන්නේ නැහැ.

මීට අමතරව දෙමළ ජාතික ජනතා සන්ධානය, සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය, රජයේ හවුල්කාර පක්ෂයක් වන ලංකා කම්කරු කොංග්‍රසය මෙන්ම ටෙලෝ සංවිධානය මෙම සමුළුවට සහභාගි නොවන බව මීට පෙර දැනුම් දුන්නා.

කෙසේ වෙතත්, දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සමුළුවට සහභාගි වී සිටින අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජනය කරමින් මහාචාර්ය තිස්ස විතාරණ සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සමුළුවට සහභාගි වී සිටින බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මෙම සමුළුවට එක්ව තිබෙනවා.

ටී.එම්.වී.පී. පක්ෂයේ නායක පිල්ලෙයාන් හෙවත් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්ත සමුළුවට එක්ව සිටිනවා.

+++++++

සර්වපාක්ෂික සමුළුව අරඹමින් රනිල්ගෙන් කනේ පහරක්

(23.03.2022 – 12:20 +0530 – hirunews.lk/sinhala)

රටේ මේ වනවිට උද්ගතව ඇති බරපතල ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගත යුතු දේශපාලනමය සහ ආර්ථිකමය ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කැඳවුණු සර්ව පාක්ෂික සමුළුවකට මීට ටික වේලාවකට පෙර ජනාධිපති මන්දිරයේ දී ආරම්භ වුණා.

මෙහිදී සමුළුව ආරම්භ කරමින් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ, මෙම සමුළුව කැඳවනු ලැබුවේ රටේ මේ වනවිට උද්ගතව ඇති අර බරපතල ආර්ථික අර්බුදයට දීර්ඝකාලීන ස්ථාවර විසඳුම් සොයා ගැනීම සඳහා බවයි.

ඒ සඳහා එක් වූ දේශපාලන පක්ෂවලට ස්තුතිය පළ කළ ජනාධිපතිවරයා මේ අවස්ථාවට එක් නොවූ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලටත් මේ සඳහා එක්වන ලෙස ආරාධනා කළා.

ඉන් අනතුරුව සර්ව පාක්ෂික සමුළුව ආරම්භ කරමින් සමුළුවේ අරමුණ පැහැදිලි කරනු ලැබුවේ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින්.

මෙහිදී අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ, 2015 සිට මෙරට ආර්ථිකය බිඳ වැටීම ආරම්භ කෙරුණු බවයි.

එම කාල සීමාවේ පැවැති රජය අමරිකානු ඩොලර් බිලියන 15 ක පමණ ණය මුදලක් රටට ඉතිරි කරන අතර වාරයේ විදේශ සංචිත බිලියනය කින් පමණ පහත වැටුණු බවයි.

එමෙන්ම එම කාල සීමාව තුළ දී රටේ සංවර්ධන දර්ශකයන්හි අගය ද පහළ වැටුණු බව ඔහු විග්‍රහ කළා.

ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරය හේතුවෙන් සහ කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල කෙරුණු දීර්ඝ කාලීන බලපෑම් ද ඒ හරහා බිඳ වැටුණු ආර්ථිකය ද ඔහු විග්‍රහ කළා.

එමෙන්ම යුක්‍රේන රුසියානු අර්බූුදය මෙරට ආර්ථිකයට බලපා බලපෑ ආකාරය ද ඔහුගේ ආරම්භක දේශනයේ දී සඳහන් කරුණා.

මෙම දේශනය අවසන් වනවාත් සමඟම අදහස් දැක්වූ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහබැංකු අධිපතිවරයාගේ ආරම්භක දේශනය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කරමින් කියා සිටියේ, මෙම සමුළුව කැඳවා ඇත්තේ පැරණි දේශපාලන මතිමතාන්තර සාකච්ඡා කිරීමට නොවන බවයි.

මේ වන විට රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම මෙම සමුළුවේ අරමුණ බවත් එම අරමුණ පෙරදැරි කරගෙන කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කළා.

එසේ නොමැතිව මහ බැංකු අධිපතිවරයා මෙන් පටු දේශපාලන අරමුණුවල පිහිටා මෙම සමුළුව එකිනෙකාට චෝදනා එල්ල කරන සහ ඒවාට පිළිතුරු සපයන සමුළුවක් නොවිය යුතු බවයි ඔහු අවධාරණය කළේ.

“මට මේ සමුළුවට එන්න කියල ආරාධනා කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, විශේෂයෙන් නිමල් සිරිපාල ඇමතිතුමා.
මේ වගේ සර්ව පාක්ශික සමුළුවක මහ බැංකු අධිපති වගේ පටු දේශපාලනය කතා කරන්න ගියොත් අපිත් උත්තර දෙයි, එතුමත් උත්තර දෙයි අන්තිමට මේක ඉවර වෙන්නෙ විජය ගෙන්. මොකද විජය ආවෙ නැත්නම් මේ ප්‍රශ්න නෑනෙ, ඒ නිසා ප්‍රශ්නෙට විසඳුමක් සොයමු පටු දේශපාලන කතා නොකර” යනුවෙන් හිටපු අගමැතිවරයා ප්‍රකාශ කළා.

++++++++

නව අයවැයක් බැසිල්ගෙන්

(23.03.2022 – 17:09 +0530 – hirunews.lk/sinhala)

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ජනතාවට සහන ලබාදීමටත්, නව අයවැයක් ඉදිරිපත් කිරීමටත් එකඟතාවය පළ කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (23) පැවති සර්ව පාක්ෂික සමුළුවේදී ප්‍රකාශ කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේදී අද (23) පෙරවරුවේ පැවති මෙම සමුළුව ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය මෙන්ම ජාතික ජනබලවේගය වර්ජනය කළ අතර, දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් එහි නායක ආර්. සම්බන්ධන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්ද එක්වුණා.

එක්සත් ජාතික පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සමුළුවට පැමිණ සිටියා.

මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසය සමුළුවට එක් නොවූ නමුත්, රජයට සහය පළ කළ එම පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සමුළුවට සහභාගි වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවකට අනුව ජනාධිපතිවරයා විසින් කැඳවූ මෙම සමුළුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා.

සමුළුව ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදහස් දැක්වූ අතර, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකළා.

හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ එකිනෙකාට චෝදනා කර ගැනීම වෙනුවට එක්ව කටයුතු කළ යුතු බවයි.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, කියා සිටියේ මහ බැංකු අධිපතිවරයා පළ කළ අදහස සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාට සිත් තැවුලක් ඇතිවූයේ ඊට සමාව ඉල්ලා සිටින බවයි.

මෙම අවස්ථාවේ නව අයවැයක් ඉදිරිපත් කළ යුතු බවද ප්‍රකාශ කළ හිටපු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ අවසන් වාර්තාව සම්බන්ධයෙන්ද ප්‍රශ්න කළා.

ඊට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද මැදිහත්වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා සමුළුවට ඉදිරිපත් කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අර්බුදයට විසඳුමක් නොලැබෙනු ඇති බවයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කියා සිටියේ.

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සමුළුවේදී පළ කළා.

අවසානයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අදහස් පළ කළ අතර, ඔහු එහිදී කියා සිටියේ මෙම සමුළුව අතරතුර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවසන් වාර්තාව ලැබුණු බවයි.

සියලු දෙනාගේ අදහස් දැක්වීම්වලින් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ ඉදිරියේදී යළිත් වරක් සර්ව පාක්ෂික සමුළුව කැඳවීමට අපේක්ෂා කරන බවයි.

***************************************

කොක්කු මැරූ පුද්ගලයන් තිදෙනෙකු (3) අත් අඩංගුවට

(23.03.2022 – 11:37 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකා අක්කරපත්තුව කඳවුරේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකින් කොකුන් ඝාතනය කළ පුද්ගලයින් තිදෙනෙකු (3) අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ (22) දිනයේදි යි.

තිරික්කොවිල් පොලිස් වසමේ තම්බැට්ටේ පාලම අසල දී වායු රයිෆලයක් භාවිතයෙනු යි මෙම කොකුන් ඝාතනය කර ඇත්තේ.

අත් අඩංගුවට ගෙන ඇත්තේ, අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21, 42, 43 පසු වන පුද්ගලයන් තිදෙනෙක් (3).

වැඩිදුර විමර්ශන කටයුතු තිරික්කොවිල් පොලිස් ස්ථානය විසින් සිදු කෙරෙනු ඇති.

අත්අඩංගුවට ගත් භාණ්ඩ :

මරණ ලද කොක්කු 02 යි , වායු රයිෆල් 01 යි , ඊයම් සහිත උණ්ඩ 126 යි , මෝටර් රථ 01 යි , පිහි 01 යි

***************************************

වෛද්‍ය සාෆිට හිඟ වැටුප් හා දීමනා ගෙවන්න, අධිකරණයට පොරොන්දුවක්

(23.03.2022 – 11:49 +0530 – hirunews.lk/sinhala)

වඳ සැත්කම් කළේ යැයි අසත්‍ය චෝදනා මත අනිවාර්ය නිවාඩු යැවූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි වැඩ තහනමට ලක්ව සිටි කාලය තුල ඔහුට හිමිවිය යුතු හිඟ වැටුප් හා දීමනා ගෙවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද (23) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

ඒ, සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල හමුවේ වෛද්‍ය සාෆි විසින් ගොනුකළ රීට් පෙත්සම අද (23) කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යොමුකර තිබූ ලිපියක් ද අධිකරණයට ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මෙම දැනුම්දීම සිදුකරනු ලැබුවා.

එමගින් අනාවරණ කර තිබුණේ සාෆි වැඩ තහනමකට ලක්ව සිටි කාලයේදී ඔහුට හිමිවිය යුතු මුලික වැටුප් දීමනා ගෙවීමට පියවර ගන්නා බවයි.

තමන්ට අදාළ විනය පරීක්ෂණය කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගගමුව විසින් පැවැත්වීම සම්බන්ධයෙන් වෛද්‍ය සාෆි සිය නීතිඥවරුන් මාර්ගයෙන් විරෝධය පළ කර තිබුණ ද, ඊට විරුද්ධ වන බව ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයේදී දැනුම් දුන්නා.

ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම මැයි මස 31 වනදා තෙක් කල් තැබීමටයි අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල නියෝග කළේ.

මේ අතර, අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කර තමන්ව අපහසුතාවයට පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ගාමිණී වලේබොඩ යන අයගෙන් වන්දි අයකරදෙන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය අද (23) ප්‍රතික්ෂේප කළා.

ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කළේ යැයි චෝදනා කරමින් අසාත් සාලිට එරෙහිව නීතිපතිවරයා විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට අසමත් වී ඇති හෙයින් අසාද් සාලිව නිදොස් කොට නිදහස් කිරීමට ද තීන්දු කළා.

ඉන් අනතුරුව අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කොට තමන්ව මාස 09 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කොට නඩු පැවරීම තුළින් සිදු වූ අපහසුතාවය වෙනුවෙන් අදාල මන්ත්‍රීවරුන්ගෙන් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17/2 වගන්තිය යටතේ අසාත් සාලි සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට මෙම ඉල්ලීම කර තිබුණා.

එම ඉල්ලීම පිළිබඳ විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව අද සිය තීරණය ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා ෴

***************************************

ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 290 දක්වා ඉහළට

(23.03.2022 – 13:03 +0530 – hirunews.lk/sinhala)

රුපියල පා කිරීමට ගත් තීරණයත් සමග වාණිජ බැංකු විසින් ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 285 සිට 290 දක්වා ඉහළ දමා තිබෙනවා.

කෙසේ වෙතත්, මහබැංකුවේ විනිමය අනුපාතිකයට අනුව ඩොලරයක විකුණුම් මිල මේ වන විට සටහන් වන්නේ රුපියල් 282.49 ක් ලෙසයි ෴

***************************************

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම යථා තත්ත්වයට

(23.03.2022 – 13:04 +0530 – hirunews.lk/sinhala)

පරිඝණක පද්ධතියේ සිදු වූ බිඳ වැටීමක් හේතුවෙන් අඩපණ වී තිබූ බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

අද (23) පෙරවරුවේ පැය 3 කට ආසන්න කාලයක් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම මෙලෙස අඩාල වී තිබුණා ෴

***************************************

මරණයක් සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමකවරයෙකු සහ ජේලර්වරයකු අත්අඩංගුවට

(23.03.2022 – 13:06 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය – කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රඳවා සිටිය දී මීට මාස 2 කට පෙර හදිසියේ මියගිය සිරකරුගේ මරණය සම්බන්ධයෙන් සැක පිට ඇඹිලිපිටිය කදුරුගස් ආර එලිමහන් සිර කදවුර භාරව සිටි බන්ධනාගාර නියාමකවරයා සහ තවත් ජේලර්වරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇඹිලිපිටිය පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, බන්ධනාගාර නියාමක නලින් රාජපක්ෂ සහ චන්දන ප්‍රියන්ත යන බන්ධනාගාර ජේලර් වරයා යි.

අත්අඩංගුවට ගත් මේ දෙදෙනා (2) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම අනතුරුව ලබන 29 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

ඇඹිලිපිටිය – කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රඳවා සිටිය දී මීට මාස 2 කට පෙර හදිසියේ මියගිය සිරකරුගේ මරණය ඝාතනයක් බවට මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වුනා.

ඒ අනුව ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහාම විමර්ශනයක් ක්‍රියාත්මක කරන ලෙසයි ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ නියෝග කර තිබුනේ.

2010 වසරේදී රුපියල් දස දහසක (10,000) මුදලක් සොරකම් කිරීමේ සිද්ධියකට වරදකරුවීම හේතුවෙන් අදාළ සිරකරුට පසුගිය වසරේ මාර්තු මස 09 වනදා අධිකරණය මගින් බරපතල වැඩ සහිත වසර 3 ක සිර දඬුවම් නියම කර තිබුණා.

ඒ අනුව ඔහු අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයට යොමු කර ඇති අතර ඔහුගේ කල් ක්‍රියාව යහපත් බව පවසමින් අනතුරුව ඔහුව ඇඹිලිපිටිය කඳුරුගස්ආර එළිමහන් සිරකඳවුරට මාරු කර යැවුණා.

එම එලිමහන් සිරකඳවුරේ සිටිය දී අදාළ රැඳවියා පසුගිය ජනවාරි 13 වන දා සැකකටයුතු ලෙස මිය ගොස් තිබු අතර, ඔහු ඉමදූව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක් ෴

***************************************

වියළි කාලගුණයෙන් ජල සැපයුමට බාධා

(23.03.2022 – 13:15 +0530 – hirunews.lk/sinhala)

වියලි කාළගුණයත් සමග ඇතැම් ප්‍රදේශවලට අඛණ්ඩ ජල සැපයුමක් සහතික කිරීම ගැටලුවක් වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ හේතුවෙන් අරපිරිමැස්මෙන් ජලය භාවිතා කරන ලෙසයි එම මණ්ඩලය ඉල්ලා සිටින්නේ.

ප්‍රධාන වශයෙන් පානීය ජලය බෙදා හැරීමට මූලාශ්‍ර කරගනු ලබන කළු ගඟේ ජල මට්ටම සැලකිය යුතු මට්ටමින් අවම වී ඇති අතර කැළණි ගඟේ ජල මට්ටම ද අඩු වී තිබෙනවා.

සෙසු ජලාශවල ද ජල මට්ටම අඩු වෙමින් පවතින බවයි ජාතික ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ.

කළු ගඟේ ජල මට්ටම අඩු වීම හේතුවෙන් සහ විදුලි සැපයුම විසන්ධි කිරීම නිසා ඇති වූ අවහිරතාවයක් නිසා පිළියන්දල ප්‍රදේශ රැසකට ඊයේ (22) ජල සැපයුම ඇණ හිටියා.

මෙම තත්වය නිශ්චිතව හඳුනා ගැනීම සඳහා ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරී කණ්ඩායමක් යෙදවූ අතර තවමත් එම ප්‍රදේශවලට සම්පූර්ණයෙන්ම ජල සැපයුම ලබා දීමට හැකි වී නැහැ.

ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ විශේෂයෙන් දිවයිනේ උස් ප්‍රදේශවලට වියළි කාළගුණයත් සමග අඛණ්ඩ ජල සැපයුමක් ලබා දීම අභියෝගයක් වී ඇති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *