අවශ්‍ය තරම් ඉන්ධන ලබා දී ඇති බව තෙල් සංස්ථාව කියයි

අවශ්‍ය තරම් ඉන්ධන ලබා දී ඇති බව තෙල් සංස්ථාව කියයි

*********************************************

අවශ්‍ය තරම් ඉන්ධන ලබා දී ඇති බව තෙල් සංස්ථාව කියයි

(23.03.2022 – 07:57 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට අවශ්‍ය ඉන්ධන සියල්ල නිසි පරිදි ලබාදීමට අවශ්‍ය කටයුතු සළසා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරනවා.

ඒ අනුව අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් ඊයේ (22) සහ පෙරේදා (21) දිනවල දී පිරවුම්හල් වෙත යැවීමට පියවර ගත් බවයි එහි සභාපති සුමිත් විජේසිංහ සඳහන් කළේ.

මේ අතර ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල විශාල ලෙස අඩු වුව හොත් මෙරට ඉන්ධන මිල ද අඩු කිරීමට සූදානම් බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ, පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

කෙසේ වෙතත් තමන්ට අවශ්‍ය ගෑස් ලබාගැනීමට නො හැකි වීම නිසා ඊයේ (22) දිනයේ ද ප්‍රදේශ රැසක ම ගෑස් පාරිභෝගිකයින් දැඩි පීඩාවකට පත්වුණා.

මේ අතර අද (23) දිනයේ දී පී, කිව්, ආර්, එස්, ටී, යූ, වී සහ ඩබ්ලිව් (P-W) කලාපවලට උදෑසන 10:30 ත් සවස 4:30 ත් අතර පැයක (1) කාලයක් මෙන්ම පස්වරු 4:30 ත් රාත්‍රී 9:30 ත් අතර පැයකුත් (1) මිනිත්තු 40 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර ලබාදුන් බවයි මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ.

එසේම ඒ, බී, සී, ඩී, ඊ, එෆ්, ජී, එච්, අයි, ජේ, කේ සහ එල් (A-L) යන කලාපවලට අද (23) පෙරවරු අටත් (8) සවස හයත් (6) අතර පැය තුනයි (3) මිනිත්තු විස්සක් (20) සහ සවස හයත් (6) රාත්‍රී 11 ත් අතර පැයකුත් (1) මිනිත්තු 40 ක් විදුලිය කප්පාදු කිරීම ද සිදු වනු ඇති ෴

++++++++++++++

ඉන්ධන හිඟය තවත් දින දෙකක් (2)

(23.03.2022 – 13:12 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන හිඟය තවත් දින දෙකකින් (2) පසු අඩුවනු ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අද (23) දිනයේදීත් ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

එහෙත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් කියා සිටියේ, පාරිභෝගිකයින් විසින් කෑන් සඳහා ඉන්ධන රැස් කිරීම තුළින් හිඟයක් නිර්මාණය වෙමින් පවතින බවයි.

මේ අතර, ගෑස් හිඟය ද තවමත් පහව ගොස් නැහැ.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළේ, ඉදිරි දිනවල දී ගෑස් නෞකා කිහිපයක් මෙරටට ළඟා වීමට නියමිත බවයි.

එවන් පසුබිමක් තුළ නුවරඑළිය ප්‍රදේශයට ලාෆ් ගෑස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් නතර කොට පාරිභෝගිකයින් එම ස්ථානයේදී ම ගෑස් මිල දී ගත් බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.

පසු ව එම ස්ථානයට පොලිසිය ද පැමිණි අතර, එහි දී උණුසුම් තත්ත්වයක් ද හට ගැනුණා.

++++++++++++++

විදුලි කප්පාදුවෙන් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට බලපෑම්

(23.03.2022 – 13:20 +0530 – hirunews.lk/sinhala)

විදුලිබල කප්පාදුව සහ ඉන්ධන හිගය මෙරට සංචාරක කර්මාන්තයට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇති බව ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසාය සංගමය චෝදනා කරනවා.

එහි සභාපති රොහාන් අබේවික්‍රම කොළඹ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ විදේශ රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවදානම් සංචාරක නිවේදන නිකුත් කිරීම තුළ යුරෝපීය සංචාරක ඇණවුම් රැසක් දැනටමත් අවලංගු වී ඇති බවයි ෴

++++++++++++++

භූමිතෙල් සඟවාගෙන සිටි තිදෙනෙකුට (3) වැඩ වැරදෙයි

(23.03.2022 – 14:21 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගිකයන්ට ඉන්ධන අවසන් බව පවසා, වැඩි මිලට අලෙවි කිරීමට භූමිතෙල් සඟවාගෙන සිටි තිදෙනෙකුට (3) සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ අනුරාධපුර පිරවුම්හලක කළමනාකාරිය ඇතුළු තිදෙනෙකුට (3) යි මෙසේ සිතාසි නිකුත් කර ඇත්තේ.

ඔවුන් සතු ව සඟවාගෙන සිටි භූමිතෙල් ලීටර් 5,000 ක් තිබුණු බව සඳහන් ෴

++++++++++++++

ගෑස් පෝලිම් තවදුරටත්

(23.03.2022 – 14:28 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දින කිහිපය තුළදීත් ගෑස් නෞකා කිහිපයක්ම මෙරටට ළඟාවීමට නියමිත බැවින් ඉදිරියේ දී හිඟයකින් තොර ව වෙළෙඳපොළට ගෑස් නිකුත්කිරීමේ හැකියාවක් පවතින බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සඳහන් කළා.

මේ අතර, ගෑස් මෙට්‍රික්ටොන් 3500 ක් රැගෙන මෙරටට පැමිණි නෞකාවේ ගෑස් බෙදා හැරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් අද (23) දිනයේත් පසුගිය දිනවල දී මෙන්ම ගෑස් ලබා ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල සිටිනු දක්නට ලැබුණා.

++++++++++++++

හෙට (24) පැය 06 ක් අඳුරේ

(23.03.2022 – 18:00 +0530 – hirunews.lk/sinhala)

හෙට (24) දිනයේදී ඇතැම් ප්‍රදේශවලට පැය 06 කට වැඩි විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව ඒ සිට එල් දක්වා (A-L) කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි මිනිත්තු 20 ක් බැගින් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි මිනිත්තු 40 ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබෙනවා.

පී සිට ඩබ්ලිව් දක්වා (P-W) කලාප 08 කට හෙට (24) පැය 06 යි මිනිත්තු 20 ක විදුලි කපා හැරීමක් සිදුවනවා ෴

@@@@@@@@@@@@@@

ග්‍රෑන්ඩ්පාස්හි දී මනුෂ්‍ය ඝාතනයක්

(23.03.2022 – 07:37 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වෙහෙරගොඩැල්ල හන්දිය ආසන්නයේ දී පිහියෙන් ඇන සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ වාර්තා වනවා.

පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව යි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 51 ක වෙහෙරගොඩැල්ල – වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු විසින් මරණකරු හට රේඩියෝ යන්ත්‍රයක් උගස් තබා ඇති අතර, එම උගස බේරාගැනීම සඳහා මීට සති හයකට (6) පමණ පෙර ගිය අවස්ථාවක දී මොවුන් දෙදෙනා (2) අතර ආරවුලක් සිදු වී තිබෙනවා.

ඝාතනයට හේතුව මෙම ආරවුල බවට යි පොලිසිය සැක පහළ කරන්නේ.

සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් පරීක්ෂණ මෙහෙයවෙනු ඇති ෴

***************************************

ගාලු කොටුවේ පැරණි යුද අට්ටාල අද (23) ජනතාවට විවෘත වේ

(23.03.2022 – 08:01 +0530 – hirunews.lk/sinhala)

දීර්ඝ කාලයක් තිස්සේ ජනතාවට විවෘත නොකර වසා දමා තිබූ ගාලු කොටුවේ පැරණි යුද අට්ටාල හෙවත් වෙඩි බෙහෙත් සහ පතොරම් ගබඩා ජනතාවට නැරඹීම සඳහා විවෘත කිරීමට පියවර ගත් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

ඒවා සංරක්ෂණය කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ උපදෙස් මතයි.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන් මෙරට තුළ බලය තහවුරු කරගැනීම සඳහා ඉදිකළ ගාලු කොටුවේ පැරණි ප්‍රදීපාගාරය පාමුල මෙන්ම තවත් ස්ථාන කිහිපයක මෙම වෙඩි බෙහෙත් සහ පතොරම් ගබඩා යුද සැළසුම් උපක්‍රමවලට අනුව පොළොව මට්ටමේ ඉදිකළ විශාල ආරක්ෂිත බංකර තුළ ගොඩනගා තිබෙනවා.

ආක්‍රමනික හමුදා විසින් එම බංකර හඳුන්වා ඇත්තේ ක්ලිපන්බර්ග් යුද අට්ටාලය, ඊලෝස් යුද අට්ටාලය සහ තාරකා යුද අට්ටාලය යන නම්වලින්.

මේ යටතේ තුවක්කු, පතොරම්, කාලතුවක්කු, වෙඩි බෙහෙත්, පීප්ප මෙන්ම ආක්‍රමණික හමුදා සෙබළුන්ගේ සහ සේවකයන්ගේ සැබෑ ස්වරූපයට සමාන වන ලෙස සකස් කළ අනුරූ වර්ග බංකර තුළ ප්‍රදර්ශනය කර තිබෙනවා.

ඊට අවශ්‍ය ඡායාරූප, චිත්‍ර සහ සැළසුම්වලින් කොටසක් ලබාගෙන ඇත්තේ එංගලන්තයෙන්.

ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ සංරක්ෂණය කළ ඒවායි ෴

***************************************

චීන ණයෙන් කොටසක් ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර වෙනුවෙන්

(23.03.2022 – 08:09 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලුම් කළ ඇමරිකානු ඩොලර් බිලියනයක (1) ණය මුදල මෙරට විදේශ සංචිත ශක්තිමත් කරගැනීම සඳහා යොදාගැනීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ චීනයෙන් ඉල්ලුම් කළ ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක ණය පහසුකම මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය, කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය මෙන්ම අත්‍යවශ්‍ය ඖෂධ ආනයනය සඳහා යෙදවීමට ඉලක්ක කරන බවයි.

මේ අතර, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ අමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා ඇති බවයි.

ඒ, පරිප්පු සහ කිරිපිටි ආනයනය කිරීම සඳහායී.

ශ්‍රී ලංකාව මාසයකට ඛනිජ තෙල් ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 400 ක් වැය කරන අතර, ඒ අනුව සති 03 කට පමණ අවශ්‍ය ඉන්ධන ශ්‍රී ලංකාව සතුව බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල පැවසුවේ.

එමෙන්ම, මුදල් අමාත්‍යවරයා සහ තමන් සිදුකළ ඉන්දීය සංචාරයේදී දැනට ඉන්දීය රජය විසින් ඉන්ධන ආනයනය සඳහා ලබාදී ඇති ඩොලර් මිලියන 500 ක ණය සීමාව ඩොලර් මිලියන 750 ක් දක්වා ඉහළ නැංවීමට ඉල්ලීමක් කළ අතර ඒ සදහා යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සදහන් කලේ රුපියල අවප්‍රමාණය කිරීමේ තීරණයත් සමග අපනයනකරුවන්ට වැඩි ඩොලර් ප්‍රමාණයක් මෙරටට ගෙන ඒමට ඉදිරියේදී හැකියාවක් ලැබෙනු ඇති බවයි ෴

***************************************

ඇමරිකානු උපලේකම්වරියගේ ශ්‍රී ලංකා ගමන ගැන විමල්ට සැකයක්

(23.03.2022 – 08:16 +0530 – hirunews.lk/sinhala)

එම්.සී.සී. ගිවිසුම වෙනත් අයුරකින් ක්‍රියාවට නැංවීම සඳහා පිඹුරුපත් සැකසීම ඇමරිකානු උපලේකම්වරියගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, කොළඹ ඊයේ (22) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබද උපලේකම් වික්ටෝරියා නුලන්ඩ් දිවයිනට පැමිණියේ, ඊයේ (23) දිනයේ යි.

පසුගිය දා ඇය දකුණු ආසියාතික කලාපයේ නිල සංචාරයක් ආරම්භ කළ අතර බංග්ලාදේශ සංචාරය නිමවා ඉන්දියාවේ සංචාරය කිරීමෙන් අනතුරුව යි ශ්‍රී ලංකාවට පැමිණියේ ෴

++++++

අයි.එම්.එෆ්. යාම ගැන ඇමෙරිකාව සතුටින්

(23.03.2022 – 19:54 +0530 – hirunews.lk/sinhala)

ලක් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට ගත් තීරණය අගය කරන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබද උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් ප්‍රකාශ කළා.

ඇය මේ බව කියා සිටියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් හමුවෙන් පසු පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීයි.

“අපි ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙන්නේ අමාරුම සහ වැදගත් කාලයක. ශ්‍රි ලංකාව අපේ හිතවත් පාර්ශවයක් වනවා. එම නිසා අපි උනන්දුවෙන් ඉන්නෙ ශ්‍රී ලංකාවට උදව් කරන්න. මානව හිමිකම් වලට සාධාරණත්වය සඳහා ගෙන ඇති පියවර අපි අගය කරනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ඊයේ (22) එකතු කළ සංශෝධන වලට අපි ප්‍රසාදය පළ කරනවා. දෙමළ ජාතික සන්ධානය ලබන සිකුරාදා හමුවෙන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගත්ත තීරණයත් වැදගත් තීරණයක් වනවා. අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරනවා පළාත් පාලන මැතිවරණය පවත්වලා රටතුල ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරන්න කියලා. ශ්‍රී ලංකාව තුල ඇති වී තිබෙන අර්බුද හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න ලංකාව ගත් තීරණය නිර්භීත තීරණයක්. ආර්ථිකය නගා සිටුවීම සඳහා ලක් රජය ගන්නා වූ සෑම පියවරයන්ට අපි උදව් කිරීමට සූදානමින් සිටිනවා. ඒ වගේම ඇමෙරිකානු තානාපති කාර්යාලය හරහා ලක් රජයට ලබා දීමට තිබෙන සහායන් වැඩි කිරීමට ද අපි තීරණය කළා. එකට එකතු වී වැඩ කරන එක වැදගත් කියලා රුසියාව, යුක්රේන අර්බුද දිහා බලද්දී අපිට පේනවා.”

මේ අතර, ඇය අද (23) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවුණා.

***************************************

වට්ටක්කා සහ සෝයා බීජ ප්‍රමිතියෙන් තොර බවට චෝදනාවක්

(23.03.2022 – 08:22 +0530 – hirunews.lk/sinhala)

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදා දුන් සෝයා සහ වට්ටක්කා බීජ ප්‍රමිතියෙන් තොරවීම හේතුවෙන් මෙවර අස්වනු අඩුවී ඇති බව ගොවීන් පවසනවා.

ඔවුන් සඳහන් කළේ ඒ වෙනුවෙන් තමන්ට වන්දියක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි ෴

***************************************

වසර 3 ක සිට පවුල් සෞඛ්‍ය සේවිකාවන් බදවාගෙන නොමැති බවට චෝදනා

(23.03.2022 – 09:08 +0530 – hirunews.lk/sinhala)

2015, 2016 සහ 2017 අධ්‍යයන වර්ෂ වලට අදාල පවුල් සෞඛ්‍ය සේවිකාවන් රැකියා සඳහා බඳවා ගැනීමට මෙතෙක් පියවර ගෙන නොමැති බවට වාර්තා වනවා.

අදාළ රැකියා අපේක්ෂිත සිසුවියන් සඳහන් කරන්නේ, තමන් තෝරාගෙන ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා 2021 ජනවාරි මස දැනුම් දුන්නද මේ වන තෙක් කිසිඳු බඳවා ගැනීමක් සිදු කර නොමැති බවයි ෴

***************************************

බන්දුල ගුණවර්ධන ඔස්ට්‍රේලියාවෙන් ණයක් ඉල්ලයි

(23.03.2022 – 09:31 +0530 – hirunews.lk/sinhala)

පරිප්පු, කිරිපිටි සහ ආහාර නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඔස්ට්‍රේලියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මාර්ගයක් ඉල්ලා තිබෙනවා.

මීට පෙර ද ශ්‍රී ලංකාව විසින් ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක ණය මුදලක් චීනයෙන් ඉල්ලා සිටි අතර, ඉන් බිලියන 1.5 ක් අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ වෙනුවෙන් වෙන් කරන බව යි වාර්තා වන්නේ.

ඉතිරි ඩොලර් බිලියනය විදේශ මුදල් සංචිත ශක්තිමත් කිරීම වෙනුවෙන් භාවිත වනු ඇති ෴

***************************************

මත්ද්‍රව්‍ය චෝදනාවකට කාන්තාවන් 6 දෙනෙකු අත්අඩංගුවට

(23.03.2022 – 10:19 +0530 – hirunews.lk/sinhala)

කොළඹ-14 මෝදර උයන ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමක දී කාන්තාවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට අදාළව යි.

හෙරොයින් ග්‍රෑම් 188 ක් ඔවුන් සතුව තිබී සොයා ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

ඊයේ (22) අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙමටගොඩ, මෝදර උයන සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

මොවුන් කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවටයි සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ෴

***************************************

පුරා වස්තු සොයා කැණීමි කළ පුද්ගලයන් පස් දෙනෙකු (5) අත් අඩංගුවට

(23.03.2022 – 11:27 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකා අම්බලන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (22) වන දින වැටලීමක් සිදු කර තිබෙනවා.

එහි දී අම්බලන්තොට පොලිස් වසමේ යාය 19, මාමඩල ප්‍රදේශයේ දී පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කටයුතු සිදු කළ පුද්ගලයන් පස් දෙනෙකු (5) අඩංගුවට ගත් බව වාර්තා වනවා.

අත් අඩංගුවට ගෙන ඇත්තේ, අම්බලන්තොට, බෙලිඅත්ත, සූරියවැව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 34, 37, 39, 42, 50 පසු වන පුද්ගලයන් පස් දෙනෙක් (5).

වැඩිදුර විමර්ශන කටයුතු අම්බලන්තොට පොලිසිය විසින් මෙහෙයවෙනු ඇති.

අත්අඩංගුවටගත් භාණ්ඩ :

වතුර මෝටර් 01 යි , රබර් හෝස් 01 යි , අලවංගු 01 යි , බෝලමිටි 01 යි , ගල්විදින යකඩ කටු 01 යි , අත් ග්ලව්ස් ජෝඩු 01 යි , වයර් රෝල් 01 යි , පුජා භාණ්ඩ

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *