බැසිල් ඊළම හදන සැලසුමක … ඉන්දුනීසියා පන්නයේ කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මකයි … – උදය ගම්මන්පිල

බැසිල් ඊළම හදන සැලසුමක … ඉන්දුනීසියා පන්නයේ කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මකයි … – උදය ගම්මන්පිල

*********************************************

බැසිල් ඊළම හදන සැලසුමක … ඉන්දුනීසියා පන්නයේ කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මකයි … – උදය ගම්මන්පිල

(22.03.2022 – 00:02 +0530 – lankacnews.com)

‘දෙමළ ඊළම හදන පාර දිගේ ලංකාව අරගෙන යනවද කියලා ප්‍රශ්නය – ගැටලුව අද අපිට මතුවෙලා තියෙනවා මිත්‍රවරුනි . ඉන්දුනීසියාවට කරපු දේමයි ලංකාවට කරන්න හදන්නේ ඒ ඇමරිකානු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන අවලස්සන ඇමරිකානුවා බැසිල් රාජපක්ෂ යි කියලා අපි බය නැතුව ප්‍රකාශ කරනවා’ යයි හිටපු බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා පවසයි.

පිවිතුරු හෙළ උරුමයේ මහරගම ජන සභාව අමතමින් පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා :

“අපි පුංචි කාලේ වෙසක් එකට බලන්න යනවා අපාය. පුංචි කාලෙ අපිව බය කරන්න එක්කන් ගිහිල්ලා මෙන්න මෙහෙමයි අපායේ තියෙන්නෙ නරක වැඩ කළොත් අපායේ යන්න වෙනවා කියලා තමයි අපිට කිව්වේ. අපි මොකක්දෝ බරපතළ නරක වැඩක් කරල තියනවා. කවදද කරේ කියන එක මං මතක් කරන්න යන්නේ නෑ. ඒ නිසා අද අපිට අපේ ජීවිතය තුළ අපාය අත්විඳින්න සිද්ධ වෙලා තියනවා. මිත්‍රවරුනි අද අපේ ජනතාවට උදේ ඉඳන් රෑ වෙනකම් කාලය ගත කරන්න වෙලා තියෙන්නේ පෝලිම් වල. කිරිපිටි පෝලිමෙන් ඉන්ධන පෝලිමට, ඉන්ධන පෝලිමෙන් ගෑස් පෝලිමට, එතනින් බෙහෙත් පෝලිමට දවස ගත කරලා ගෙදර එන විට ගෙදර විදුලිය නෑ. මේක නෙවෙයි නම් මොකක්ද අපාය කියලා අපිට අහන්න සිද්ධ වෙනවා.

අද තට්ටු නිවාස වල ඉන්න අයට විදුලිය, ඉන්ධන විතරක් නෙමෙයි ජලයත් නෑ. ඒ විතරක් නෙමෙයි ඒ ගෙවල්වල දර ලිපේ උයන්න බෑ. භූමිතෙල් ටික නැත්තං, ගෑස් ටික නැත්තං, විදුලිය නැත්තං අන් අයට පුළුවන් දර ටිකෙන් හරි උයාගන්න. අද ඇති-හැකි අය නම් බිස්කට් එකක් චීස් කෑල්ලක් එක්ක කනවා. දුප්පත් අයට උණු වතුර නැහැ තේකක් බොන්න . ඇල් වතුර තමයි බොන්න වෙන්නේ. මහල් නිවාස වල ඉන්න දුප්පත් අය ලුණු මිරිසුයි බිස්කටුයි කාල තමයි රාත්‍රී ආහාර වේල ආවරණය කර ගන්නේ. මොකද කඩවලත් ගෑස් නැති නිසා කෑම උයන්නේ නෑ.

අද මේ ජනතාව දුක් විඳින්නේ මුදල් ඇමතිගේ වරදින්

මොකක්ද මේ අපිට උනේ මිත්‍රවරුනි ? අද ජනතාව දුක් විඳින්නේ වසංගතයක් හින්ද නෙමෙයි. ඉතාම වගකීමෙන් කියන්නේ මේක සිතාමතා ඇති කරපු අවාසනාවන්ත තත්ත්වයක්. අද මේ ජනතාව දුක් විඳින්නේ මුදල් ඇමතිගේ වරදින් කියන එක මම ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඇයි මං එහෙම කියන්නේ ? මේ අර්බුදය අපි බොහොම කලින් දැක්කා . 2020 ඔක්තෝම්බර් මාසේ 20 දා අමාත්‍ය මණ්ඩලයේ දී අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සීමා කරන්න අපි කතා කළා. දැන් ගිය අවුරුද්ද අරන් බැලුවොත් අපි ඩොලර් බිලියන 20.6 වියදම් කරල තියෙනවා ආනයනය කරන්න. ලංකා ඉතිහාසයේ ඉහළම ආනයන වියදමට වඩා ඩොලර් මිලියන 200 යි අඩු. හැබැයි මේකෙන් අත්‍යවශ්‍ය වන ඖෂධ වෛද්‍ය උපකරණ ඛනිජ තෙල් නිෂ්පාදන ගෑස් ගල් අඟුරු කියන පහ (5) ට වියදම් කරල තියෙන්නෙ ඩොලර් බිලියන 4.6 යි. 20.6 න් 4.6 යි. අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වලට බිලියන 6 ක් විතර වැය කරලා තියෙනවා.

මේවා සීමා කරන්න අපි අමාත්‍ය මණ්ඩලයේ කතා කරද්දී මුදල් ඇමතිතුමා කියනවා ඇපල් ගෙනාවේ නැත්නම් සංචාරක ව්‍යාපාරය කරන්න බැහැ කියලා. විහිලු කතා නේ මිත්‍රවරුනි. තමන්ගේ වතුවල අමු අමුවේ කඩා ගෙන ‘ෆ්‍රෙෂ්’ පිට කන්න පුළුවන් ඇපල් ගෙඩි තියෙද්දී මාස හයක් (6) විතර කුණු කරලා ලංකාවෙ තියෙන ඇපල් ගෙඩිය කාල යන්න ඕස්ට්‍රේලියාවේ ඉන්න සුද්දෙක් ගුවන් යානේ නැඟලා පැය 11 ක් ගතකරලා ලංකාවට එනවද ?

ඇපල් වෙනුවට ඒ අයට ගම්බිරිස් ටිකක් දුන්නොත් වරක මදුලකට දාලා, ඔවුන් ‘මොනවද මේ’ කියලා අහලා ‘අපේ රටට එවන්න බැරිද’ කියලා අහලා, වරක වලට වෙළඳපොළක් හැදෙනවා ඒ රටවල. ලුණු කුඩු, මිරිස් ටිකක් දාලා අන්නාසි කෑල්ලක් එහෙම දුන්නොත් මොකද ? එහෙම වුනොත් තමයි මේ රටේ නිෂ්පාදනය වැඩි වෙන්නේ. සංචාරකයා ලංකාවෙ ඉඳන් ඕස්ට්‍රේලියාවට ගියාම, ‘මොනවද එහෙ කරේ’ කියලා ඇහුවම ‘ඇපල් කෑවා’ කිව්වොත් ‘එහෙනම් ඒක මෙහෙ ඉඳන් කරන්න තිබ්බ නේ’ කියලා ඒ රටවල මිනිස්සු කියයි. හැබැයි වරක මදුල ගැන ගත්තොත් – ‘කටු කටු තියෙන ගෙඩියක් තියෙනව; ඒ ගෙඩිය පලන්න ඕනේ; ඊට පස්සේ ඇලෙන ඒව වගයක් තියෙනවා ඒවා අයින් කරන්න ඕනේ; ඇටයක් තියෙනවා ඒක ගලවලා මදුල කන්න ඕනේ; ගම්බිරිස් කුඩු ටිකක් දාලා කෑවම මාරයි’ කියලා පැහැදිලි කරන්න පුලුවන් සංචාරකයට මව් රටට ගියහම. අනිත් කට්ටිය කට ඇරන් අහන් ඉන්නවා. අන්න සංචාරයෙන් අලුත් දෙයක් එයා ජීවිතයට එකතු කරගන්නවා.

මෙහෙම පරිප්පුවක්

මිත්‍රවරුනි ලයිස්තු අරන් බලන්න මෙච්චර ජලය තියෙන රටේ පානීය ජලය තියෙන බෝතල් පිටරටින් ගෙනල්ලා තියෙනවා. ‘කුරහන් සාටකය’ තිබුනට කුරහන් ටිකත් පිටරටින් ගෙනල්ලා තියෙනවා . වත්ත පහළ දිය සීරාවෙ නිකං වැවෙන කංකුන් ටිකත් පිටරටින් ගෙනල්ලා තියෙනවා . ඩොලර් මිලියන 400 ක් වියදම් කරල තියෙන්නෙ පරිප්පු කන්න. ‘මෙහෙම පරිප්පුවක් කන්න වෙයි’ කියලා එදා හිතුවා නම් මයිසූර් පරිප්පු කන එක නතර කරන්න තිබ්බා. හම්බන්තොට ගොවියන්ට මුංඇට වවලා විකුණගන්න විදිහක් නෑ කියලා අමාත්‍ය මණ්ඩල තීරණයක් ගත්තා ප්‍රාදේශීය ලේකම්වරුන් දාලා මුං ඇට මිලදී ගන්න. බෙහෙත් වලට ඩොලර් මිලියන් අටසීයයි (800). මයිසූර් පරිප්පු කන්න ඩොලර් මිලියන 400. මේ නිසා තමයි අපි ආණ්ඩුවට කිව්වේ ‘ප්‍රමුඛතාවය හඳුනාගන්න; අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගන්න; සීමිත විදේශ විනිමය ඉතිරි කර ගන්න; අනවශ්‍ය දේවල් අපි සීමා කරන්න’ කියලා. කළේ නෑ. ඒ වගේම අපි කිව්වා ‘අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ වගකීම අනිවාර්යෙන් මහබැංකුවට දෙන්න ඕනේ’ එතකොට නැව් ගෙනල්ලා මහ මුහුද මැද රස්තියාදු වෙන්නෙ නෑ’ කියලා; කළේ නෑ.

ප්‍රාදේශීය ලේකම්වරුන් ගෙන්නනවා කොළඹට. කොහොම ඉන්ධනයක් වැය වෙනවද ? වීඩියෝ තාක්ෂණයෙන් අද රැස්වීම් කියන්න පුළුවන්. ‘කොළඹට නිලධාරීන් ගෙනහල්ලා රැස්වීම් තියෙන එක තහනම් කරන්න චක්‍රලේඛයක් නිකුත් කරන්න’ කිව්වා. කළේ නෑ. ‘රෑට වීදි පහන් ටික නිවලා දාන්න’ කිව්වා; කළේ නෑ. මේ වගේ අපි යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා. එකක්වත් කරන්න මුදල් ඇමතිතුමා ඉදිරිපත් වුණේ නෑ. අපි කිව්ව IMF යන්න. දැන් නෙමෙයි කිව්වේ; අවුරුදු එකහමාරකට (1½) කලින්. ‘රුපියල පා කරන්න’ කිව්ව. අපිට ආර්ථික විද්‍යාවේ යමක් තේරෙන නිසා කිව්වා ‘මේ දේවල් කරන්න නැත්තං රට අපායක් බවට පත් වෙනවා’ කියලා .

ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ ඉරිදා පත්තරවල තීරු ලිපිවල ගියා ප්‍රසන්න රණතුංග ඇමතිතුමා කිව්වා කියලා ‘ඇමති මණ්ඩලයට ගියාම කියන බියකුරු කතා ඇහුවම රෑට නින්ද යන්නේ නෑ’ කියලා. මොකද මම පැහැදිලි කළා : ‘තෙල් නැති වෙනවා. ගෑස් නැති වෙනවා. එහෙම වුණොත් මුළු රටම නතර වෙනවා. බෙහෙත් නැති උනොත් ලෙඩ්ඩු මිය යනවා. මේ තත්ත්වය අපි වළක්වා ගත යුතුයි’ කියලා.

මිත්‍රවරුනේ එදා ඒ තීන්දු ගත්තා නම් අද කාටවත් ගෑස් පෝලිමේ ඉන්න වෙන්නේ නෑ. ඉන්ධන පොලිමේ ඉන්න වෙන්නේ නෑ. අද වන විට පෝලිම්වල ඉඳලා අපේ වැඩිහිටියන් දෙදෙනෙක් මිය ගිහිල්ලා තියනවා. ඒ වගේම හෘද රෝග වලට බෙහෙත් නැතුව පිළිකා රෝගවලට බෙහෙත් නැතුව අපේ රටේ දෙමව්පියන් අද මිය යමින් තිබෙනවා. ‘මේ සියලුම මරණවල වගකීම, නිසි කලට නිසි තීන්දු නොගෙන මේ අර්බුදය ඇති වන තුරු බලා සිටිය මුදල් ඇමතිවරයා භාරගත යුතුයි’ කියලා අපි ඉතාම නිර්භයව ප්‍රකාශ කරලා සිටිනවා.

දැන් ඒ බෙහෙත් වැඩ කරන්නේ නෑ

මිත්‍රවරුනි දැන් මේ අර්බුදය ආවට පස්සෙ අපි මේ ආණ්ඩුව ඇතුළේ දිගුකලක් කියලා වැඩේ කරන්නැති උනහම එලියට ඇවිල්ල මාධ්‍ය වලට කියන්න ගත්තා. මම ජනවාරි මාසේ කිව්ව පැය 24 ම විදුලිය දීලා සීමිත ඩොලර් ටික, සීමිත ජලය නාස්ති කර ගත්තොත් මාර්තු වෙනකොට පැය තුනකට (3) වඩා විදුලිය කපන්න වෙනවා; ඒ නිසා දැන් ඉදන්ම පැය එකහාමාර (1½) ගානෙ කපාගෙන ගියොත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා. ඇහුවේ නෑ. දැන් පැය හතහමාර (7½) විදුලි කැපීම වලට අපිට ලක් වෙන්න සිද්ධ වුණා. අපි කිව්ව දේ අහන්නෙ නැති නිසා අවසානයේ අපි තීරණය කළා කලයුතු දේ ලියලා කියමු කියලා. ඒ අනුව තමයි මාර්තු දෙවැනි දා (02) අපි සම්මන්ත්‍රණයක් තියලා, අපේ යෝජනාවලිය ජනගත කරලා, එතෙන්දි මමත් විමල් වීරවංශ ඇමතිතුමාත් මේ මුදල් ඇමතිතුමා සිතාමතා මේ රට අර්බුදයට යවපු ආකාරය පැහැදිලි කළා. අපි දෙන්නව ඇමති මණ්ඩලයෙන් එළියට දැම්මා. හැබැයි අපි කිව්ව යෝජනා සියල්ලම දැන් ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ලෙඩේ මතුවෙන කාලෙට බෙහෙත් පෙත්තෙන් ලෙඩේ හොඳ කරන්න පුළුවන්. ලෙඩා අයි.සී.යූ. එකේ ඉන්දැද්දි දැන් පෙත්ත දීලා හරියන්නෑ. ‘ඔන්න දුන්නා’ කියන්න පෙත්ත දෙනවා. හැබැයි පෙත්ත ගහලා හොඳ කරන්න තිබ්බෙ අවුරුද්දකට කලින්. දැන් අයි.සී.යූ. එකේ පණ අදිද්දී හුස්ම ගන්න කට ඇරියා ම පෙත්ත දාලා කියනවා ‘ආ දැන් බෙහෙත් දුන්නා’ කියලා. දැන් ඒ බෙහෙත් වැඩ කරන්නේ නෑ.

මුදල් ඇමති සිතාමතා මේ රට වට්ටන්නේ ඇයි ?

අපිට ප්‍රශ්නයක් එනවා. හත්දෙයියනේ මුදල් ඇමතිතුමාගේ අයියා නේ ජනාධිපති; අනිත් අයිය නෙ අගමැති. ඇයි මුදල් ඇමතිතුමා සිතාමතා මේ රට වට්ටන්නෙ. තමන්ගේ අයියලා අමාරුවේ දාන්න මෙහෙම කටයුතු කරයිද ? ආර්ථිකය වැට්ටීම පිටුපස ලොකු කතාවක් තියෙනවා මිත්‍රවරුනි.

පහුගිය කාලේ ඇමරිකාව ලංකාවේ සෝපා ගිවිසුම අත්සන් කරන්න හැදුවා. අපි පාරට බැහැලා එක නතර කළා. එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්න හැදුවා. අපි ජනතාවත් එක්ක පාරට බැහැලා එක නතර කලා. මෑතකාලයේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න හදද්දි, යුගදනවි ගිවිසුම හදද්දි මේ රටේ දේශප්‍රේමී ජනතාව පාරට බැහැලා ‘ලක් අම්මව විකුණන්න එපා’ කියලා මේ කුමන්ත්‍රණ නතර කළා. මේ රටේ ජනතාවට තාම හයිය තියෙනවා රට වෙනුවෙන් කෑ ගහන්න. හයිය නැති කරන්න ඕන නිසා ආර්ථිකය කඩා වට්ටන්න හදනවා. නිකමට හිතන්න ‘බෙහෙත් නැත්තට නැති වෙනවා’ කියලා. අපේ ආදරණීය අම්මලා තාත්තාලා තමන්ගෙ ලෙඩ වලට ඕන බෙහෙත් ටික ගන්න බැරුව පණ අදිමින් ඉන්නවා; බෙහෙත් ඉල්ලලා හඬා වැටෙමින් ඉන්නවා. ඒ වෙලාවේ බලවත් රටක් ඇවිල්ල කියනවා ‘සිංහරාජයේ සියලුම ගස් ගස් කපන්න අපිට බාර දෙන්න අවුරුදු පහකට; අපි නොමිලේ බෙහෙත් ලබා දෙන්නම්’ කියලා. පරිසරවේදීන් විරුද්ධ වෙනවා. මොකද වෙන්නේ ? පොලිසිය දාලා මර්දනය කරන්න ඕන්නෑ; අර මිය ඇදෙන අම්මලාගේ තාත්තලාගේ දරුවෝ පොලු අරගෙන පරිසරවේදීන්ට ගහනවා ‘අපේ අම්මගේ තාත්තගේ ජීවිතේ බේරගන්න ඉඩදෙන්න; මේ බෙහෙත් ටික ආවේ නැත්තං ඒ අය මැරෙනවා’ කියලා. රටේ දැන් කිරිපිටි නෑ . තිරිගු පිටි නෑ. මේ සියලුම කෑමබීම අවසන් වෙලා ගිහිල්ලා. අපි රෑට ගෙදර යද්දි දවස පුරාම කෑම කටක් කාගන්න නොලැබුණු අපේ දරුවෝ ගෙදර හඬා වැටෙමින් ඉන්නවනම් අපේ පපුව හෝස් ගාලා යන්නේ නැද්ද. ඒ අතර ඔන්න බලවත් රටක් ඇවිල්ල කියනවා ‘ලංකාවේ වරායවල් ටික ඔක්කොම අපිට දුන්නොත් අවුරුදු පහක් අපි නොමිලේ කෑම කන්න දෙනවා’ කියලා. ජාතිකවාදීන් විරුද්ධ වෙනවා. අර බඩගින්නෙ හඬා වැටෙන දරුවන්ගේ අම්මල තාත්තල ටික (පොලිසියෙන් එන්න ඕනේ නෑ හමුදාව එන්න ඕනේ නැහැ) අර අම්මල තාත්තල ටික ‘අපේ දරුවන්ට කන්න දෙයක් දෙන්න හදනකොට උඹලා මොකද විරුද්ධ වෙන්නෙ ?’ කියලා පාරට බහින්නේ නැද්ද. ඒ තත්ත්වය ලංකාවේ ඇති කරන්නයි සිතාමතා මුදල් ඇමැතිවරයා මේ රටේ ආර්ථිකය වට්ටමින් ඉන්නෙ මිත්‍රවරුනි.

ඇමරිකාවට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ ජනතාවගේ ශක්තිය ගැන. ඒ අයට බයක් තියෙනවා. මේ සමස්ත ලෝකයම (මං අවධාරණය කරනවා) එම්සීසී ගිවිසුම අරන් ඇමරිකාව මොන රටට ද ගියේ, ඒ හැම රටේදිම ගිවිසුම අත්සන් කරව ගත්තා. ‘එම්සීසී අරන් ගිහිල්ලා ඇමරිකාව ආපහු හරවලා යවපු එකම රට මේ ශ්‍රී ලංකාවයි’ කියල අපි ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ඒ ගැන ඒ අයට නෝක්කාඩුවක් තියෙනවා. ඒ නිසා මිත්‍රවරුනි අද මේ රට වට්ටන්නේ මේ ජනතාව දුර්වල කරලා කෑම වෙනුවෙන් බෙහෙත් වෙනුවෙන් ඕනෑම දෙයක් නොරටුන්ට පාවා දෙන මානසිකත්වය හදන්න යි.

ඉන්දුනීසියාවෙන් පාඩමක්

මේක අලුත් දෙයක් නෙවෙයි. මේ බටහිර ජාතීන් 1997 ඉන්දුනීසියාවේ කලේ ඕක. ඉන්දුනීසියාවේ කොටස් වෙලදපොලේ දැවැන්ත ආයෝජනයක් කල Sorrows කියන ඇමරිකානු ආයෝජකයා එකපාරට මේ ඔක්කොම ඇමරිකාවට ගෙනියන්න එලියට ගත්ත. ඉන්දුනීසියාවේ ආර්ථිකය කඩාගෙන වැටුනා . ඒ වගේම ඩොලර් හිඟයක් ඇති වුණා. මේ වගේ ම ජනතාවට බෙහෙත් නැතිවුණා; කන්න නැති වුණා; බටහිර රටවල් උදව්වට ආවා පැකේජ් අරගෙන. කොන්දේසිය වුනේ : ‘වෙනම රටක් වෙනුවෙන් සටන් වදින ‘නැගෙනහිර තිමෝරය’ වහාම නිදහස ලබාදිය යුතුය; වෙන්වී යාමට ඉඩ දිය යුතුය; වෙනම රටක් වෙනුවෙන් සටන් වදින ‘අචේ’ ප්‍රාන්තයට ස්වයං පාලනය ලබා දිය යුතුය’. ඉන්දුනීසියාවේ ජනාධිපති සුහර්තෝ ‘මම ජනාධිපතිධූරයේ ඉන්නකං මට මේක කරන්න බැහැ’ කිව්වා. වෙනදා රට වෙනුවෙන් පෙළපාලි ගිය – එක රටක් කියලා පෙළපාලි ගිය ජනතාව ‘නැගෙනහිර තිමෝරයට නිදහස දීලා අපිට කන්න දීපල්ලා’ කියලා පෙළපාලි යන්න පටන් ගත්තා. ‘මට ඒ දේ කරන්න බැහැ’ කියලා සුහර්තෝ ජනාධිපතිතුමා ඉල්ලා අස්වුණා. ජනාධිපතිවරණයක් ආවා. ‘බටහිර ඉල්ලීම් ඉටු කරන්න මං ලෑස්තියි’ කියල ‘මේගාවතී සුකර්නෝ පුත්‍ර’ අපේක්ෂිකාව කිව්වා. මොකක්ද වුනේ ? අර ‘දේශප්‍රේමි ජනතාව’ පෙළ සැදී ගිහිල්ලා මේගාවතී සුකර්නො පුත්‍රට ඡන්දෙ දීලා ඉන්දුනීසියාවේ ජනාධිපති ධූරයට ගෙනාවා. අන්න දැන් ‘නැගෙනහිර තිමෝරය’ කියලා අලුත් රටක් බිහි වෙලා.

මේ ගමන, ‘දෙමළ ඊළම හදන පාර දිගේ ලංකාව අරගෙන යනවද ?’ කියන ප්‍රශ්නය – ගැටලුව අද අපිට මතුවෙලා තියෙනවා මිත්‍රවරුනි. ඉන්දුනීසියාවට කරපු දේමයි ලංකාවට කරන්න හදන්නේ. ‘ඒ ඇමරිකානු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන ‘අවලස්සන ඇමරිකානුවා’ බැසිල් රාජපක්ෂ යි’ කියලා අපි බය නැතුව ප්‍රකාශ කරනවා. බැසිල් රාජපක්ෂට ඇමරිකාවේ තියෙනවා විමර්ශනයක්. එතුමාගේ විශ්‍රාම ජීවිතේ ගත කරන ඇමරිකාවේදී සුවසේ විශ්‍රාම ජීවිතය ගත කරන්න නම් තමන්ගේ රට ඉල්ලන දේ කරන්න එතුමට සිද්ධවෙලා තියනවා. එතුමට දොස් කියන්න අපිට බෑ. එතුමා හොඳ දේශප්‍රේමියෙක්. තමන්ගේ රටට හරි ආදරෙයි. එතුමාගේ රට ලංකාව නොවී ඇමරිකාව වුණ එකයි ප්‍රශ්නේ. එතුමා ඇමරිකාවට ආදරය තරමටම අපි අපේ ලංකාවට ආදරෙයි. එතුමාට මේ රටේ ඕන විනාසයක් කරලා බඩුමුට්ටු අකුලගෙන යන්න ඇමරිකාව තියෙනවා. හැබැයි අපිට තියෙන්නෙ මේ පුංචි ලංකාව විතරයි මිත්‍රවරුනි.

ආණ්ඩුව ඇතුළේ ආණ්ඩුවට එරෙහි සටන

විමල් වීරවංශ ඇමතිතුමාට දීලා තිබුණා කර්මාන්ත අමාත්‍යාංශය. හොඳම අමාත්‍යංශයක්. මට ලබා දුන්නා බලශක්ති අමාත්‍යංශය. ලංකාවේ වැඩිම පඩි ගෙවන ආයතන දෙක (2) තිබ්බේ මගේ යටතේ. අපිටත් තිබුන ‘දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන’ සැපට ජීවත් වෙන්න. හැබැයි ජනතාව අපිට ඡන්දෙ දුන්නෙ ‘උඹලා සැප විඳ පල්ලා’ කියලා නෙමෙයි. ‘රටට සෞභාග්‍යය ගේනවා’ කියලා අපි පොරොන්දු වෙච්ච නිසයි ජනතාව අපිට ඡන්දෙ දුන්නෙ. ඒ නිසා අපිට සිද්ධ වුණා ඇමතිකම අවදානමට දාලා අපි හදපු ආණ්ඩුව ඇතුළේ ආණ්ඩුවට එරෙහිව සටන් කරන්න. මේ ආණ්ඩුව අපේ. ජනාධිපතිතුමා අපේ; අගමැතිතුමා අපේ. ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් අපි අදත් ආදරය කරන්නේ මේ රට බේරගත්ත වීරයෝ දෙදෙනෙක් නිසයි. හැබැයි ඒකයි කියලා – අපි හදපු ආණ්ඩුවයි කියලා මේ ආණ්ඩුවට රටට විනාශයක් කරන්න තියලා අපිට බලන් ඉන්න බෑ. පිහිය රත්තරන් වුනත් ඇනගත්තොත් නම් මැරෙනවා පුතේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපේ කෙනා උනත් රටට විනාශයක් කරනවා නම් එයට එරෙහිව හඬ නඟන්න.

වාසු – විමල් – උදය සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කලේ ඇයි ?

මිත්‍රවරුනි, අද ආණ්ඩුව කැඳවල තියෙනවා සර්වපාක්ෂික සමුළුවක්. අද පත්තරවල දාලා තියෙනවා වාසු විමල් උදය සර්වපාක්ෂික සමුළුව වර්ජනය කරයි කියලා. ඒ කාරණය පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ. අපි පක්ෂ දහයක්; තීන්දු ගන්නෙ එකට. අපේ පක්ෂ දහය අපිට මේ සර්ව පාක්ෂික සමුළුවට ලැබිච්ච ආරාධනාව ගැන කතා කළා. මිත්‍රවරුනි, සර්වපාක්ෂික සමුළුව කතා පෙට්ටියක් නොවෙන්න නම් – තවත් එක් ප්‍රදර්ශනයක් නොවෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ ? අපි අර්බුදයක. දැන් අපි ආණ්ඩුවට ඉදිරිපත් කරලා තියෙනවා අර්බුදයෙන් ගොඩ යන්න දස වැදෑරුම් යෝජනාවලියක්. අපි ද ඒක හදන්න ඕනේ ? හදන්න ඕනේ ආණ්ඩුව. ආණ්ඩුවයි රටට කියන්න ඕන. ජනාධිපතිතුමා ජාතිය අමතල රටට කියන්න ඕන ‘මෙන්න උත්තරේ; උත්තරේ ක්‍රියාත්මක කරන්න අපිට මෙච්චර කාලයක් ගත වෙනවා; එතෙක් අපි ඉවසං ඉඳිමු; අපි කැපකිරීම් කරනවා; ඔබත් කැපකිරීම් කරන්න’ කියලා. මේ දක්වා ආණ්ඩුව ජනතාවට මේ අර්බුදයෙන් ගොඩ යන විදියක් කියල නෑ. ඒ විතරක් නොවෙයි මිත්‍රවරුනි, පොහොට්ටුව පක්ෂයේ මධ්‍යම කාරක සභාව පහුගිය අවුරුදු දෙකට එකම සැරයක්වත් රැස්වෙලා නෑ. පොහොට්ටුවේ ඇතුලත මුලින්ම සංවාදයක් ඇති වෙන්න ඕනේ ‘අර්බුදයෙන් ගොඩයන්නෙ කෙසේද ?’කියලා. එහෙම එකක් වෙලා නෑ. ඊළඟට සන්ධානයේ පක්ෂ නායකයන් කැඳවලා ‘මෙන්න අපේ වැඩ පිළිවෙළ; කියන්න ඔබේ අදහස්’ කියලා සන්ධාන නායකයන් ගෙන් අහන්න ඕන. එහෙම වැඩපිළිවෙළක් ඉදිරිපත් වෙලා නෑ. ඊළඟට ඇමති මණ්ඩලයට දාලා ඇමති මණ්ඩලයේ අනුමැතිය අරන් ආණ්ඩුවේ නිල වැඩපිළිවෙළ බවට ඒක පත්කර ගන්න ඕනෙ. ඊට පස්සේ විපක්ෂයේ සෑම පක්ෂයකටම යවන්න ඕන. ඊට පස්සේ සර්වපාක්ෂික සමුළුවක් කැඳවලා අහන්න පුළුවන් ‘මේක තමයි අපි කරන්න යන්නේ; දැන් ඔබ අධ්‍යනය කරලා ඇතිනේ; ඔබේ අදහස මොකක්ද ? මේක කොහොමද ? මීට වඩා හොඳ දෙයක් තියෙනවාද ?’ කියලා ප්‍රශ්න කරන්න පුළුවන්. එහෙම නැතුව පක්ෂ නායකයෝ ටික එකට එකතු වෙලා කතා පවත්වල ගෙදර ගියාම මේ ප්‍රශ්නේ විසඳෙන්නෙ නෑ. මේ සර්වපාක්ෂික සමුළුව ප්‍රෝඩාවක්; මේ රටේ ජනතාව තව වතාවක් රැවටීමක්. ඒ රැවටීමට අපට සම්මාදම් වෙන්න බෑ.

ආණ්ඩුව අවංකව මේ ප්‍රශ්නය විසඳීමේ උවමනාවෙන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවනවා නම්, මම කිව්ව පියවර ටික අරගෙනයි සර්ව පාක්ෂික සමුළුව කැඳවිය යුත්තේ. නමුත් එක පැත්තකින් සර්වපාක්ෂික සමුළුව කැඳවලා තියෙන්නේ අපිත් එක්ක මේ දිනවල සහයෝගයෙන් වැඩ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවට. ඒ නිසා අපේ සන්ධානය ඇතුලේ බිඳීමක් ඇති වෙන්නත් බෑ. සර්ව පාක්ෂික සමුළුව ඉල්ලපු ඒක හොඳයි. යෝජනාව නරක නෑ. ආණ්ඩුව කරන ක්‍රමවේදයෙයි වැරැද්ද තියෙන්නෙ. මේක කැඳවන්න කලින් කල යුතු දේවල් කරලා නෑ. එහෙනම් මිත්‍රවරුනි ඒ නිසා අපි තීරණය කලා අපේ පක්ෂ 10 ම නියෝජනය කරන්න, පක්ෂ දෙකක (2) විතරක් නායකයෝ යවන්න. ඒ අනුව පූජනීය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේත් මහාචාර්ය තිස්ස විතාරණ පමණක් පක්ෂ දහයම (10) වෙනුවෙන් සර්ව සර්වපාක්ෂික සමුළුව සහභාගි වෙනවා.

මේ බොරු ප්‍රෝඩාවල් කරන්නැතුව – මේ රට බිම වට්ටන්නෙ නැතුව සැබෑ වැඩපිළිවෙළක් දැන්වත් ආණ්ඩුව ඉදිරිපත් කළ යුතුයි. එහෙම ඉදිරිපත් නොකරන්නේ මේ රට සිතාමතාම වැට්ටවීමේ යටි අරමුණෙන් මුදල් ඇමැතිවරයා ක්‍රියාත්මක වන නිසා – ආණ්ඩුවේ සැබෑ බලධාරියා ක්‍රියාත්මක වන නිසා – රටේ සැබෑ පාලකයා ක්‍රියාත්මක වන නිසා. ඒ නිසා තමයි අපි කිව්වේ එතුමාට ‘අවලස්සන ඇමරිකානුවා’ කියලා. මං අහගෙන එස්.එම්. චන්ද්‍රසේන ඇමතිතුමා කියනවා ‘මට නම් අවලස්සනයි කිව්වත් කමක් නෑ; බැසිල් ඇමතිතුමා එහෙම අවලස්සන නෑනෙ’ කියලා. මෙතන මේ ‘අවලස්සන’ පෙනුමෙන් නෙමෙයි; ක්‍රියාවෙන්. අපිට පෙනුම ලස්සන ද අවලස්සන ද කියන එක අදාලම නෑ. හැබැයි අවලස්සන වැඩ කරමින් අපේ රට විනාශ කරන්න බැසිල් රාජපක්ෂ ඇමතිතුමාට නෙමෙයි, අපේ අම්මා කළත් තාත්තා කලත් සහෝදරයෙක් කලත් අපි නං ඒකට විරුද්ධ වෙනවා – විරුද්ධ වෙනවාමයි.

මිත්‍රවරුනි, ‘ද්‍රෝහියාගේ මව’ කියලා රුසියානු නව කතාවක් තියනවා. ඒ නවකතාවේදී, තමන්ගේ රටට ද්‍රෝහී වන තමන්ගේ පුතාගෙ බෙල්ල කපල පුතාව මරලා ‘මං මගේ රට වෙනුවෙන් කළ හැකි යුතුකම ඉටුකලා’ කියල අම්මා කියනවා. අපේ කැළණිතිස්ස රජතුමා තමන්ගේ එකම දියණිය – දේවි කුමරිය රට බේරගන්න මුහුදට බිලි කරනවා. එවන් ඉතිහාසයක් තියෙන අපි ආණ්ඩුවට කියන්නේ ‘මේ රට වනසන තමන්ගේ සහෝදරයා ගෙන් රට බේරගන්න රාජපක්ෂවරුත් හරි නම් අප සමඟ එකතු විය යුතුයි’ කියල.

මේ අරගලය ගැන සමහරු කියනවා, ජීවිත අවදානම් තියන අරගලයක් කියලා. අපි, ජීවිත අවදානම් ඉතිහාසය පුරාම ගත්ත අය. අපි කොටි සංවිධානයත් එක්ක හැප්පුණා. යහපාලනයත් එක්ක හැප්පුනා. තවත් වතාවක් අපි ජීවිතය අවදානමට දාන්න ලෑස්තියි. ‘අපේ රට රැක ගැනීම වෙනුවෙන් කළ හැකි – කළ යුතු හැමදේම කරනවා’ කියන ප්‍රතිඥාව ලබාදෙමින්, අපේ රට මේ සතුරු බලවේග වලින් රැකගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා මව්බිමේ සැබෑ දේශප්‍රේමීන්ට ආයාචනා කරනවා.

පිවිතුරු හෙළ උරුමයේ මධ්‍යමකාරකසභික පූජ්‍ය මෙලෙමුරේ නන්දාරාම හිමි සහ ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර, මහජන නියෝජිත කටයුතු ලේකම් උපුල් කෝනාර, ප්‍රචාරක ලේකම් තුෂාර දිසානායක, ජාත්‍යන්තර කටයුතු පිළිබද ලේකම් රෝහණ තල්පාවෙල, තරුණ ලේකම් ඉරංග විද්වත්, කොළඹ දිසා සංවිධායක ශිරන්ත ජයලත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සදහා සහභාගී විය.

++++++++++++

බලවත් සහෝදරයන් හතර දෙනකු (4) දූපත් ජාතියක් බිද දැමූ හැටි…- ‘බ්ලුම්බර්ග්’ දීර්ඝ වාර්තාවක..

(22.03.2022 – 22:02 +0530 – lankacnews.com)

‘බලවත් සහෝදරයන් හතර දෙනකු (4) විසින් දූපත් ජාතියක් බිද දැමූ හැටි’ මැයෙන් ලොව ප්‍රකට ‘බ්ලුම්බර්ග්’ සගරාව වාර්තාවක් පළ කරයි.

ශ්‍රී ලංකාව මෑත කාලීනව මුහුණ දෙන්න අර්බුදය සම්බන්ධයෙන් ඔවුන් එහි දීර්ඝ විචාරයක යෙදෙයි.

දශකයක් තුළ ශ්‍රී ලංකාව මේ වන විට දරුණුතම ආර්ථික පෙරළියකට මුහුණදී සිටින බවත් එය පාලනය විසින් සාදන ලද අර්බුද මාලාවක් බවත් වාර්තාව කියා සිටී.

රාජපක්ෂ පාලනය විසින් දෙමළ කැරැල්ල පරාජය කළ නමුත් වසර දෙකකකට (2) පසු දරුණු අර්බුදයක් සමග ශ්‍රී ලංකාවේ ආර්ථික පාලනය ඔවුන් අතින් ගිලිහී ගොස් ඇතැයි එම වාර්තාවේ සඳහන් වෙයි.

සම්පූර්ණ වාර්තාව :

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *