ඇමරිකානු වැඩබලන රාජ්‍ය ලේකම්වරිය දිවයිනට

ඇමරිකානු වැඩබලන රාජ්‍ය ලේකම්වරිය දිවයිනට

*********************************************

ඇමරිකානු වැඩබලන රාජ්‍ය ලේකම්වරිය දිවයිනට

(22.03.2022 – 19:53 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ වැඩබලන රාජ්‍ය ලේකම් වික්ටෝරියා ජේන් නූලන්ඩ් මහත්මිය දෙදින (2) නිල සංචාරයක් සදහා 21 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

එතුමිය සමග එරට තවත් උසස් නිලධාරීන් 05 දෙනෙකු ද පැමිණියා.

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිතුමිය කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.

මෙම ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වික්ටෝරියා ජේන් නූලන්ඩ් මහත්මියගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ඇමෙරිකානු භට කණ්ඩායම් කීපයක් ම මීට පෙර දින වල දී ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා.

***************************************

ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන කෙටුම්පත සම්මතයි

(22.03.2022 – 17:03 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර (2) කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

විවාදය අවසානයේ බෙදීමක් අවශ්‍ය බවට ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා සඳහන් කලා.

ඒ අනුව පැවති ඡන්දයේදී කෙටුම්පතට පක්ෂව ඡන්ද 86 ක්ද විපක්ෂව ඡන්ද 35 ක්ද හිමිවුණා.

කාරක සභා අවස්ථාවේදී සංශෝධන සිදුකිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව පණත සම්මත කෙරුණා.

***************************************

මුස්ලිම් කොංග්‍රසයත් සර්වපාක්ෂික සමුළුවට නැහැ – හවුල් පක්ෂ 11 යළිත් සාකච්ඡාවක

(22.03.2022 – 19:19 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට (23) ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට පක්ෂ එකොළහේ කණ්ඩායමේ සාමාජිකයින් තුන්දෙනෙකු (3) සහභාගි වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළා.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ කොළඹ පිහිටි නිවසේ අද (22) පැවති පක්ෂ එකොළහේ කණ්ඩායමේ නායකයින්ගේ සාකච්ඡාවට එක්වීමෙන් අනතුරුවයි.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් කිහිපදෙනෙකු සහ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුලු පක්ෂ 11 හේ කණ්ඩායමේ සාමාජිකයින් කිහිපදෙනෙකු එක්ව සිටියා.

හෙට (23) පැවැත්වෙන සර්වපාක්ෂික සමුළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ එකොළහේ (11) කණ්ඩායමේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී මේ වනවිට පැවැත්වෙනවා.

හෙට (23) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සර්වපාක්ෂික සමුළුව සදහා සහභාගිවන පුද්ගලයින් සහ ඊට ඉදිරිපත් කෙරෙන යෝජනා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් දෙදෙනෙකු (2) යොමු කිරීමට ද තීරණය කර තිබෙනවා.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන මහජන පක්ෂය ද සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වීමට තීරණය කර ඇති බව එහි නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අද සඳහන් කළා.

රට තුළ මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට විසඳුම් ලෙස යෝජනා 14 ක් ද ඔහු යොමුකළ ලිපියේ ඇතුළත්. එහි සදහන් කර ඇති යෝජනා අතර රජයේ සියළු සංවර්ධන කටයුතු අවම වශයෙන් වසරක කාලයකට අත්හිටුවීම, රාජ්‍ය උත්සව තාවකාලිකව නවතා දැමීම සහ මැති ඇමතිවරුන්ගේ, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ සහ ආයතන ප්‍රධානීන්ගේ වියදම් කප්පාදු කිරීම යන කරුණු දක්වා තිබුණා.

කෙසේ වෙතත් රිෂාඩ් බදියුදීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසය සමුළුවට සහභාගි වීම පිළිබඳව තීරණය අද (22) දිනයේ ප්‍රකාශයට පත් කරන බව සදහන් කළත් මේ වනවිටත් එය ප්‍රකාශයට පත් කර නැහැ.

අද (22) පස්වරුවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පර් කියා සිටියේ සර්ව පාක්ෂික සමුළුවට තම පක්ෂය සහභාගි නොවන බවයි.

එමෙන්ම සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය ද මෙම සමුළුවට සහභාගි නොවන බව මීට පෙර දැනුම් දුන්නා. එහෙත් සර්වපාක්ෂික සමුළුව සඳහා තම පක්ෂය සහභාගි වන බවයි එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයක් වන ලංකා කම්කරු කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ජනතා ජාතික සන්ධානය හා සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයද සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වන්නේ නැහැ ෴

***************************************

ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ රැස්වීම ඇරඹේ

(22.03.2022 – 19:56 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ රැස්වීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

අරලියගහ මන්දිරයේ පැවැත්වෙන එම රැස්වීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙන්ම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් සහභාගී වී සිටින බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ ඇතුලු අමාත්‍යධූර වලින් ඉවත් කළ සහ ඉවත් වූ මන්ත්‍රීවරුන් ඊට සහභාගී වී නොවන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි මෙම රැස්වීම කැඳවා ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ රැස්වීමක් බත්තරමුල්ල – නෙලුම් මාවත පක්ෂ මූලස්ථානයේදී අද (22) පස්වරුවේ පැවැත්වුණා.

ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

පක්ෂයේ ඉදිරි වැඩපිළිවල සහ පක්ෂයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

***************************************

හකීම් සහ රිෂාඩ් සර්ව පාක්ෂික සමුළුව ගැන ගත් තීරණය

(22.03.2022 – 22:05 +0530 – hirunews.lk/sinhala)

හෙට (23) පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට තම පක්ෂ සහභාගී නොවන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් පවසනවා ෴

+

@@@ කොවිඩ් හා නොබැඳි පුවත් @@@

කොවිඩ් ආසාදිතයින් 59 දෙනෙකු සුවයට

(22.03.2022 – 14:03 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 59 දෙනෙකු අද (22) දිනයේ දී සුවය ලබා තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 6,24,863 ක්.

වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 18,279 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

සිදු වූ මරණ සංඛ්‍යාව 16,436 ක් ෴

+++++++++++

තවත් කොරෝනා මරණ 04 ක්

(22.03.2022 – 18:09 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 04 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 16,440 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

+

@@@ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය වීම @@@

යුද්ධය අවසන් කිරීමට ජනපති පුටින් මුණ ගැසෙන්න – සෙලෙන්ස්කි සූදානම්

(22.03.2022 – 07:44 +0530 – hirunews.lk/sinhala)

යුද්ධය අවසන් කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග ඕනෑම ආකාරයක සාකච්ඡාවකට සූදානම් බව යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා.

එවැනි සාකච්ඡාවකින් තොරව යුද්ධය අවසන් කිරීමට රුසියානු පාර්ශ්වය අපේක්ෂා කරන දෑ මුළුමනින්ම වටහාගත නොහැකි බවයි යුක්රේන මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

මේ අතර, යුක්රේනයේ මරියපොල් දකුණුදිග වරාය නගරයේ ගැටුම් උත්සන්න වී ඇති බව වාර්තා වනවා.

කෙසේ නමුත් රුසියාව අපේක්ෂා කරන පරිදි යුක්රේන හමුදා යටත්වීම ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

කීව් අගනුවරට ද රුසියානු ප්‍රහාර තවදුරටත් එල්ල වන අතර එහි නිවහන් ගොඩනැගිල්ලකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මේ නිසා අගනුවර ඇදිරි නීතිය පැනවීමටයි නගරාධිපතිවරයා පියවර ගෙන ඇත්තේ.

රුසියානු – යුක්‍රේන යුද අර්බුදය හේතුවෙන් මේ වනවිට දහස්ගනනකට ජීවිත හානි සහ දේපල හානි සිදු ව තිබෙනවා.

රුසියාව විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර හේතුවෙනුයි මෙම මරණ සිදුව ඇත්තේ.

රුසියානු ආක්‍රමණ හේතුවෙන් සිය දහස් ගණන් සිවිල් වැසියන් පීඩා විඳිමින් සිටින අතර, රුසියාවේ – මොස්කව් අගනුවරින් නිවේදනය කළේ, යුක්‍රේනයේ මරියුපොල් නුවර ආරක්ෂක වළල්ල තවදුරටත් රැකගැනීම අත් හරින ලෙසටයි.

එහෙත්, එම නිවේදනය සිය රජය තරයේ ප්‍රතික්ෂේප කරන බව යුක්‍රේන ජනාධිපති වොලොඩ්මීර් සෙලෙන්ස්කි ඊයේ (21) ප්‍රකාශ කළා.

එක්සත් ජාතීන් පවසන්නේ, මෙම යුද අර්බුදය හේතුවෙන් සිවිල් වැසියන් 900 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, නමුත් සැලකිය යුතු තරම් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ප්‍රස්ථාව වැඩි බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ (OHCHR) යාවත්කාලීන කිරීමකට අනුව, සඳුදා (21) වන විට, රුසියානු ආක්‍රමණය ආරම්භ වූ දා සිට යුක්රේනයේ සිවිල් වැසියන් 925 ක් මියගොස් තිබෙනවා.

මියගිය අය අතර ගැහැණු ළමයින් 11 ක්, පිරිමි ළමයින් 25 ක් සහ තවත් ළමුන් 39 ක් සිටින අතර ඔවුන්ගේ ලිංගභේදය ද හඳුනාගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ OHCHR නිවේදනය කළේ.

අවම වශයෙන් සිවිල් වැසියන් 1,496 දෙනෙකු තුවාල ලබා ඇති බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළා.

වාර්තා කර ඇති බොහෝ සිවිල් ජීවිත හානි සිදු වී ඇත්තේ බර කාලතුවක්කු සහ බහු-දියත් කිරීමේ රොකට් පද්ධතිවලින් ෂෙල් ප්‍රහාර සහ මිසයිල සහ ගුවන් ප්‍රහාර ඇතුළු පුළුල් බලපෑම් ඇති කළ හැකි ගිනි අවි සහ යුද අවි භාවිත කිරීමෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ෴

++++++++++++++

ලක්ෂ 35 ක් යුක්රේනය හැර යයි

(22.03.2022 – 08:54 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ආක්‍රමණය නිසා පසුගිය පෙබරවාරි 24 වන දා සිට යුක්රේනය හැර ගිය ජන කොටස තිස්පන් ලක්ෂය (35,00,000) ඉක්මවන බව ජගත් සංවිධානය ප්‍රකාශ කළා.

තවත් 64,80,000 ක් රට තුළ අවතැන් වී ඇති බවයි එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් ෆිලීපෝ ග්‍රාන්ඩි කියා සිටියේ.

පසුගිය සති 4 ක කාලය තුළ යුක්රේනයේ සිදුවූ ජීවිත හානි සහ අනෙකුත් පීඩාවන් ලොවම කම්පනයට පත් කළ බව ඔහු සදහන් කළා.

මෙහිදී රට හැර පළා ගිය පිරිස අතරින් සියයට 90 ක්ම කාන්තාවන් සහ ළමයින්.

වයස අවුරුදු 18 ත් 60 ත් අතර පිරිස බහුතරයක් රුසියානු හමුදාවන්ට මුහුණදීම සඳහා රට තුළ රැදී සිටිනවා.

විදෙස් රටවලට පලා ගිය යුක්රේන ජාතිකයන් අතර ළමයින් 1,50,00,000 යකට වැඩි සංඛ්‍යාවක් සිටින බව යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළා ෴

++++++++++++++

සමථය ආසන්න බව යුක්රේන ජනපති කියයි

(22.03.2022 – 20:01 +0530 – hirunews.lk/sinhala)

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට අදාළව සමථකරණයේ තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බව යුක්රේන ජනාධිපති වොල්ඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කරනවා.

මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුද්ධය අවසන් කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග ඕනෑම ආකාරයක සාකච්ඡාවකට සූදානම් බවද ඔහු සඳහන් කළ බවයි.

කෙසේ වෙතත් එවැනි ප්‍රකාශ සිදුකරන අතරතුරද රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පනවන ලෙස යුක්රේන ජනාධිපතිවරයා බටහිර රටවලින් ඉල්ලා සිටීම විශේෂත්වයක් ෴

++++++++++++++

ෆේස්බුක් අයත් ‘මෙටා’ රුසියාව තුළ අන්තවාදී සංවිධානයක් කෙරේ

(22.03.2022 – 21:05 +0530 – hirunews.lk/sinhala)

ෆේස්බුක් සමාජ ජාලය අයත් මව් සමාගම වන ‘මෙටා’ අන්තවාදී සංවිධානයක් ලෙසට රුසියානු මාධ්‍ය විසින් හඳුන්වාදී තිබෙනවා.

ඒ එම ජාලය තහනම් කරන ලෙසට මොස්කව් අධිකරණයක් ඊයේ (21) ලබාදුන් නියෝගයට අනුවයි.

මේ අනුව මින් ඉදිරියට මෙටා ආයතනය හැඳින්වීමේදී අයි.එස්. සංවිධානය හැඳින්වෙන ආකාරයෙන්ම අන්තවාදී ව්‍යාපාරයක් ලෙස ප්‍රකාශ කල යුතු වනවා.

කෙසේවෙතත් මෙම තහනම් නියෝගය බලපැවැත්වෙන්නේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රම් සඳහා පමණක් වන අතර මෙටා සමාගම යටතේ පවතින ‘වට්ස්ඇප්’ සමාජ ජාලයට කිසිදු අවහිරයක් එල්ල වන්නේ නැහැ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *