ආණ්ඩුවෙන් තවත් පිරිසක් ඉවත් වන බව ගම්මන්පිල කියයි

ආණ්ඩුවෙන් තවත් පිරිසක් ඉවත් වන බව ගම්මන්පිල කියයි

*********************************************

ආණ්ඩුවෙන් තවත් පිරිසක් ඉවත් වන බව ගම්මන්පිල කියයි

(22.03.2022 – 19:46 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී තවත් ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

කොළඹදී අද (22) මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් අද (22) සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ජනතාව දැඩි ආර්ථික අර්බුදයකින් හා පීඩනයකින් පසුවන මෙවන් අවස්ථාවක ඒ පිලිබඳ තැකීමකින් තොරව සිටීමට සිය හෘද සාක්ෂිය ඉඩ ලබානොදෙන බවයි ඔහු එම ලිපියෙහි දක්වා ඇත්තේ ෴

***************************************

ගම්මන්පිල තවත් තනතුරක් අත් හරියි

(22.03.2022 – 10:42 +0530 – hirunews.lk/sinhala)

සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඉවත් වී තිබෙනවා.

ඒ අද (22) පෙරවරුවේ දී යි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ලෙස උදය ගම්මන්පිල පත් කෙරුණු අතර, එම තනතුරිනුයි මන්ත්‍රීවරයා මෙලෙස ඉවත් වී ඇත්තේ.

මන්ත්‍රී ගම්මන්පිල ලිපියක් යොමු කරමින් තමන් එම ධුරයට පත් කිරීම පිළිබඳ සිය ප්‍රශංසාව ද ජනාධිපතිවරයාට පුදකර තිබෙනවා.

මේ වනවිට බලශක්ති අමාත්‍ය ධුරයෙන් ද තමන් ඉවත් කර ඇති බැවින්, විධායක තනතුරක් වූ ඉහත තනතුරේ තවදුරටත් රැඳී සිටීම නුසුදුසු බව තමන් නිගමනය කරන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ද තමන් ඉල්ලා අස්වෙන බව හෙතෙම සඳහන් කළා.

මීට පෙර බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ මන්ත්‍රී උදය ගම්මන්පිලයි ෴

***************************************

ආණ්ඩුවට එරෙහි අරගලය තුළින් අනාගත නායකයා බිහිවෙනවා – උදය ගම්මන්පිල

(22.03.2022 – 20:44 +0530 – sinhala.adaderana.lk)

ආණ්ඩුවට එරෙහිව සිදුකරන අරගල තුළින් අනිවාර්යයෙන්ම අනාගත නායකයා බිහිවෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව සිය ගමන්මග නිවැරදි කර නොගන්නේ නම් පාර්ලිමේන්තුව තුළ සාමාන්‍ය බහුතරය ද අහිමිවීමේ අවදානමක් මතුවෙන බවත්ය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තතු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව පැවසීය.

“ආණ්ඩුව යන මග වැරදියි කියලා පිළිගෙන නිවැරදි කර ගන්න කඩිනම් පියවර ගන්නේ නැත්නම් මාර්තු 04 වනදා මං කිව්වා වගේ ආණ්ඩුවට නුදුරු අනාගතයේම පාර්ලිමේන්තුව තුළ සාමාන්‍ය බහුතරය අහිමිවීමේ අවදානමක් තිබෙනවා.”

“ආණ්ඩුවේ බලවේග විසින් රටට කරන විනාශය නැවැත්වීමට සිදුකරන අරගලය තුළින් අනිවාර්යයෙන්ම අනාගත නායකයා බිහිවෙනවා.”

***************************************

‘ලංකා සතොස’ රැක ගන්නැ යි ඇමති බන්දුල ජනතාව ගෙන් ඉල්ලයි

(22.03.2022 – 10:36 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ අවම මිලට සපයන්නට රාජ්‍ය යාන්ත්‍රණය සෑම විට ම කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (22) දෙහිවල කවුඩාන ලංකා සතොස නව අලෙවි ශාඛාව විවෘත කරමින්.

මෙහි දී වර්තමාන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක් වූ අමාත්‍යවරයා, මෙසේ ප්‍රකාශ කළා :

“ලෝකය පුරාම විශාල වශයෙන් ජනතාව අපහසු කාල වකවානුවක් ගත කරද්දී අපේ රටේ ජනතාව වෙනුවෙන් රජයේ අලෙවිසැල් ජාලය ව්‍යාප්ත කරමින් ‘ලංකා සතොස’ 446 වැනි ශාඛාව විවෘත කිරීමට ලැබීම ගැන මම බෙහෙවින් සතුටට පත් වනවා. ලෝකය පුරා ඉතාම බලවත් රටවල් ගැන සලකා බැලුවොත් කොවිඩ් සමඟ ඔවුන්ගේ ආර්ථිකය බලා සිටිද්දී කඩා වැටුණා. සැපයුම් ජාලය නතර වුණා. තවමත් විවෘත නොවුණ කර්මාන්තශාලා දහස් ගණනක් ලෝකය පුරාම තිබෙනවා. අපේ රට ඉතා කුඩා ආර්ථිකයක් තිබෙන රටක්. පසුගිය කාලය පුරාම රට වසා තිබුණ බව අපි හැමෝම දන්නවා. රට වහනවා කියන්නෙ ඔබ ගෙදර නවතින්න, වැඩ කිරීම නවතන්න, නිෂ්පාදනය බෙදාහැරීම සැපයුම් සියල්ල නවතන්න කියන ක්‍රියාවලීන් වලට තනි නමක්. අපේ කුඩා ආර්ථිකයට මෙය දැරිය නොහැකි තත්වයක් වුවත් සෑම විටකදීම අපි රජයේ යාන්ත්‍රණය ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක කළා. වෙළෙඳපොලේ සහල්, සීනි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල හිතු හිතු ලෙස ඉහළ දමන්නට වෙළෙඳ පාර්ශ්වයන් කටයුතු කරද්දි ඒ සියළුම දෙනා සමඟ සාකච්ඡා කර අපි ඒ ක්‍රියාමාර්ග නවතන්නට උත්සාහ ගත්තා. ඔවුන් එයින් අයුතු ප්‍රයෝජන ගන්න උත්සාහ ගත් නිසාම අපි රජයක් වශයෙන් ඉතාම අපහසුවෙන් වුවත් විවිධ හිතකර ක්‍රියාමාර්ග ඔස්සේ ඔබ වෙනුවෙන් අඩු මිලට ගුණාත්මක භාණ්ඩ ලබා දෙන්න කටයුතු කළා. කවුරු කෙසේ කිව්වත් අද තවමත් ඔබ වෙනුවෙන් අවශ්‍ය දේ දේශීය වශයෙන් ද නිෂ්පාදනය කරමින් ලබා දෙන්නට ගත් උත්සාහයන් සාධනීය වශයෙන් ප්‍රතිඵල ලබා දී තිබෙනවා. වසා දමන්නට නියමිතව තිබුණ සීනි කම්හල විවෘත කරමින් ආනයනිත සීනි වලට වඩා අඩු මිලට දේශීය රතු සීනි ලබා දෙන්න අපි ජානක වක්කුඹුර ඇමතිතුමා එක්ක එකතු වෙලා කටයුතු කරලා තිබෙනවා. මේ හේතුවෙන් ඉදිරියේදීත් කුමන බාධක ආවත් ඔබ වෙනුවෙන් කෙසේ හෝ අඩුම මිලකට ගුණත්වයෙන් ඉහළ භාණ්ඩලබා දීමට කටයුතු කරනවා.”

වර්ෂ 1930 න් පසුව ලෝකයේ ඇති වී ඇති විශාලතම ආර්ථික කඩා වැටීම සියළු රටවලට බලපෑම් ඇති කර ඇති ආකාරය පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ හේතුවෙන් කිසිදු රාජ්‍ය නායකයෙකුට ඉවත් වන්නට යැයි කීමට කිසිවෙකු කටයුතු කර නොමැති බව පෙන්වා දුන්නා.

මීට වසර 33 කට පෙර පාසල් වසා දමා, ප්‍රවාහනය නවතා දමා, උසස් අධ්‍යාපනය කඩාකප්පල් කර, මෙවැනි කටයුතුවලට අනුගත නොවූ ජනතාව මරා දමන තත්වයට මෙරට පත් කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය පවා ක්‍රියාත්මක වූ කාලසීමාවක් පසු කළ බවත් ඉන් පසුව වසර 30 කට පෙර මෙරට දෙකඩ කිරීමට අහිංසක ජනතාව බිල්ලට ගත් කාලසීමාවක් පවා ශ්‍රී ලංකාව තනිව මුහුණ දුන් නමුත් ලෝකයේම ඇති වූ ආර්ථික කඩා වැටීමට තනිව මුහුණ දීමට කිසිදු රටකට නොහැකි බවත් අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කර තිබෙනවා.

සම්බා කිලෝවක් රු. 130 ක්, නාඩු කිලෝවක් රු. 110 ක්, පොල් ගෙඩියක් රු. 75 ක් වශයෙන් සාමාන්‍ය වෙළෙඳපොලට වඩා සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු මිලකට පාරිභෝගිකයාට ලබා දීමට ලංකා සතොස හරහා කටයුතු සලසා ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම ආදේශක සපයමින් පොල් නොමැති අවස්ථාවලදී පොල් ගෙඩි 2 ක කිරි පැකට්ටුවක් රු. 150 ක වැනි මිලකට අලෙවි කරනු ලබන බවත් පානීය ජල බෝතල් භාවිතයෙන් පසු පරිසරයට මුදා හැරීමෙන් තොරව නැවත භාර දීම තුළින් පාරිභෝගිකයාට රු. 10 ක වාසියක් ලබා දීමට කටයුතු කළ හැකි ආකාරය ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව, ජනතාව සතු ලංකා සතොස රැකගැනීමට කටයුතු කරන මෙන් අමාත්‍යවරයා මෙහි දී අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා ෴

***************************************

ඇමති ගාමිණීගේ රියදුරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

(22.03.2022 – 11:00 +0530 – hirunews.lk/sinhala)

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ගේ රියදුරා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (22) පෙරවරුවේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ (21) රාත්‍රියේ 41 හැවිරිදි මෙම රියදුරා පිළියන්දල – මාවිත්තර – ගම්මානවත්ත ප්‍රදේශයේදී කිසියම් පිරිසක් මුගුරකින් සහ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණා.

ඝාතනය ලක්වූ පුද්ගලයාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ 24 හැවිරිදි ප්‍රධාන සැකකරු විසින් සිය යතුරුපැදිය අධික වේගයෙන් අනතුරුදායක ලෙස ධාවනය කර තිබෙනවා.

එලෙස සිදු නොකරන ලෙසට ඝාතනයට ලක්වූ පුද්ගලයා යතුරුපැදිකරුට සිදුකළ ප්‍රකාශයක් මෙම ඝාතනය හේතු වී ඇති බවයි පොලීසිය සදහන් කළේ.

ඝාතනය සදහා අදාළ සැකකරු සමග ඔහුගේ පියා, වැඩිමහල් සොහොයුරා, මව මෙන්ම තවත් නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු (2) පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත්, ඔවුන් මේ වන විට ප්‍රදේශය අතහැර පලා ගොස් ඇති අතර එම සැකකරුවන් ද අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි කැස්බෑව පොළීසිය සදහන් කළේ.

***************************************

නීතිවිරෝධී කටයුතුවල යෙදුණු තිදෙනකු STF භාරයට

(22.03.2022 – 11:11 +0530 – hirunews.lk/sinhala)

විශේෂ කාර්ය බලකාය ත්‍රිකුණාමලය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක අනුව සිදු කළ වැටලීමක දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ (22) පස්වරුවේ කුච්චවේලි පොලිස් වසමේ ඉරණකේනි ප්‍රදේශයේ දී යි.

මෙම වැටලීමේ දී බලපත්‍ර රහිතව නිකුත් කිරීමේ අංක මකා ඇති පුපුරණ ද්‍රව්‍ය වෝටර්ජෙල් කරල් 20 ක් හා විදුලිමය නොවන ඩෙටනේටර් 25 ක් ද සොයා ගැනුණා.

කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 750 ක බරකින් යුක්ත මෙම නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන ඇත්තේ, ප්‍රවාහනය කරමින් සිටියදීයි.

අත් අඩංගුවට ගත් තැනැත්තා ත්‍රිකුණාමලය පදිංචි 39 හැවිරිදි අයෙකු වන අතර සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කුච්චවේලී පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මේ අතර, විශේෂ කාර්යය බලකාය රත්ගම කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක දී පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනුණා.

ඒ ෂොට්ගන් ගිනිඅවියක් සහ යකඩ කඩුවක් සමගින්.

ඊයේ (21) උදෑසන 11 ට පමණ සිදු කෙරුණු මෙම වැටලීම සිදු කෙරුණේ බද්දේගම – ගනේගම ප්‍රදේශයේ දී යි.

මෙම ගිනි අවිය විදෙස් රටක නිෂ්පාදනය කරවූවක් වන අතර, සැකකරු 48 හැවිරිදි බද්දේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මේ අතර, කේරල ගංජා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ මෙහෙයුම් ඒකකය 02 නිලධාරින් විසින් අත් අඩංගුවට ගැනුණා.

ඒ වැලිකඩ පොලිස් වසමේ ඇතුල්කෝට්ටේ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදීයි.

එහිදී කේරළ ගංජා කිලෝ 02 යි ග්‍රෑම් 218 ක් සන්තකයේ තබාගෙන සිටි අංගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක තැනැත්තෙකු අත් අඩංගුවට ගැනුණා.

***************************************

ඉන්දීය රජය සහ ලක් රජය අතර අවබෝධතා ගිවිසුමක්

(22.03.2022 – 12:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ සමුද්‍රීය මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා අමරිකානු ඩොලර් මිලියන 06 ක ප්‍රදානයක් ලබාදීමට ඉන්දීය රජය විසින් එකඟතාව පළ කෙරුණා.

ඒ අනුව එකී ප්‍රදානයට අදාළව ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමටත්, එකී මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ හාරත් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම අතර ගිවිසුමට අත්සන් තැබීමටත් ආරක්ෂක අමාත්‍ය ලෙස කටයුතු කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

මේ අතර, ශ්‍රී ලංකාවේ ධීවර වරාය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය සමග තවත් අවබෝධතා ගිවිසුමකට එළඹීමට තීරණය කෙරුණා.

ඒ අනුව අන්‍යෝන්‍ය එකඟතාව මත තෝරගනු ලබන ස්ථානයන්හි ධීවර වරායන් සංවර්ධනය කිරීම සඳහා සහාය වීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව පේදුරුතුඩුව, පේසාලේ, ගුරුනගර්, බලපිටිය සහ වෙනත් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වනු ලබන ස්ථානයන් හි ධීවර වරායන් සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජයේ සහාය ලබා ගැනීම සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස ධීවර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා ෴

***************************************

ඉන්දීය රුපියල් මිලියන 300 ක් වෙනුවෙන් තවත් ගිවිසුමකට ශ්‍රී ලංකාව හා කියයි

(22.03.2022 – 12:32 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය විසින් ඉන්දියානු රුපියල් මිලියන 300 ක ප්‍රදානයක් ලබාදීමට එකඟතාව පළ කෙරුණා.

එකී ප්‍රදානය ලබා ගැනීම සඳහා දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී ඇති අතර, කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබෙනවා.

ඒ අනුව එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙරුණා ෴

***************************************

මහජන පක්ෂයත් තීරණයක් ගනී

(22.03.2022 – 13:04 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ හෙට (23) පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන මහජන පක්ෂය සහභාගි වීමට තීරණය කර තිබෙනවා.

එම පක්ෂයේ නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සදහන් කර ඇත්තේ රට තුළ මුහුණ දී ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පක්ෂවල අදහස් හා යෝජනා ලබාදීම සඳහා සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වන බවයි.

යෝජනා 14 ක් ද එහි සදහන් කර ඇති අතර, රජයේ සියළු සංවර්ධන කටයුතු අවම වශයෙන් වසරක කාලයකට අත්හිටුවීම, රාජ්‍ය උත්සව තාවකාලිකව නවතා දැමීම, මැති ඇමතිවරුන්ගේ, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ සහ ආයතන ප්‍රධානීන්ගේ වියදම් කප්පාදු කළ යුතු බව ද එහි දක්වා තිබෙනවා.

එමෙන්ම, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට (23) ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට නියෝජිතයින් දෙදෙනෙකු (2) යොමු කරන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ප්‍රකාශ කළා.

මේ අතර, සමුළුවට සහභාගි වීම පිළිබඳව තීරණය අද (22) දිනයේ ප්‍රකාශයට පත් කරන බවයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්‍රසය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *