අර්බුදය විසඳීමට ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ගෙන් යෝජනාවක්

අර්බුදය විසඳීමට ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ගෙන් යෝජනාවක්

*********************************************

අර්බුදය විසඳීමට ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ගෙන් යෝජනාවක්

(22.03.2022 – 22:12 +0530 – sinhala.adaderana.lk)

මේ වනවිට රට තුළ තිබෙන අර්බුදය ජයගැනීමට නම් අන්තර් ආණ්ඩුවක් සහ අන්තර් කැබිනට් මණ්ඩලයක් පත් කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු මේ බව පැවසීය.

එම සංශෝධනය අනුව විධායක බලය අමාත්‍ය මණ්ඩලය වෙත පැවරිය යුතු අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් බහුතරයේ විශ්වාසයක් ඇති මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීමට යෝජනා වී තිබේ.

ඒ පිළිබඳව පැහැදිලි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා,

“විධායක බලය තනි පුද්ගලයෙක් අතේ තියෙනකම් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න බෑ. මේ බලය ජනතාවට සහ පාර්ලිමේන්තුවට වගකියන අමාත්‍ය මණ්ඩලය වෙත පැවරෙන්න ඕනේ. ඒ නිසා තමයි 21 වන ව්‍යවස්ථා සංශෝධනය මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. 21 වන සංශෝධනය යටතේ පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරෙන් එක් මන්ත්‍රිවරයෙක් සුදුස්සෙක් ජනාධිපතිවරයා ලෙස තෝරාපත් කරගැනීමත් එම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බලය මෙහෙයවන්නට පුළුවන් සුදුස්සෙක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කරන්න ඕනේ.”

“ඒ අග්‍රාමාත්‍යවරයා විසින් ඒ ඒ විෂයයන් ගැන ප්‍රමාණවත් දැනීම තියෙන ඇමති මණ්ඩලයක් පත්කරන්න ඕනේ.”

“ඒ ඇමති මණ්ඩලයට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නියෝජනය වෙන්න ඕනේ.”

“මේක අන්තර් ආණ්ඩුවක්. අන්තර් කැබිනට් මණ්ඩලයක්.”

“අලුතෙන් පත්කරන ජනාධිපතිවරයා සමගම වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය නිම වෙන්න ඕනේ. අග්‍රාමාත්‍යවරයා විසින් දෙනු ලබන උපදෙස් මත ජනාධිපතිවරයා විසින් සියලු විධායක කාර්යයන් ඉටු කරන්න ඕනේ.”

“එතකොට පාර්ලිමේන්තුව තුළ භේදවලින් තොරව කටයුතු කරලා දැනට තියෙන අභියෝගය ජයගන්න පුළුවන්.”

“මේ ක්‍රමය වසරක් (1) හෝ දෙකක් (2) ගොස් ප්‍රශ්න විසඳුවාට පසු නැවත ජනතාවට අවස්ථාවක් දෙන්න ඕනේ රටට ආදරය කරන පාලකයින් කණ්ඩායමක් තෝරා ගන්න.”

“ඒ වගේම මේ ව්‍යවස්ථාවේ අන්තර්ගත කරලා තියෙනවා ද්විත්ව පුරවැසියන්ට මේ රටේ මැතිඇමතිකම් දරන්න බෑ කියලා.”

***************************************

දුරදිග ගිය ආරවුලෙන් පුද්ගලයෙකු (1) මරුට

(22.03.2022 – 06:29 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්ගොඩ පොලිස් වසමේ ගලගොඩ ප්‍රදේශයේ නිවසක ආරවුලක් හටගෙන ඇති බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත අම්බලන්ගොඩ පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කෙරුණා.

පොලිස් නිලධාරින් සිද්ධිය සිදු වූ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී පුද්ගලයෙකු හිසේ ලේ ගලන තුවාල සහිතව වැටී මියගොස් සිට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල‍ය පැවසුවේ.

මරණකරු නිවැසියන් සමග ඇතිකරගත් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බිරිඳගේ පෙර විවාහයේ පුතා විසින් පොල්ලකින් කළ පහරදීමකින් අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වූ තැනැත්තා 42 හැවිරිදි ගලගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය සිද්ධිය සිදු වු ස්ථානයේ ඇති අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි ෴

***************************************

සර්ව පාක්ෂික සමුළුව ගැන ටී.එන්.ඒ. මත ගැටුමක

(22.03.2022 – 08:11 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගී වීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ අතර මත ගැටුම් හටගෙන තිබෙනවා.

එම සමුළුව සඳහා සහභාගී නොවන බවයි දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් ප්‍රකාශ කළේ.

ජනතා ප්‍රශ්න වලට විසදුම් නො මැති තත්ත්වයක් තුළ තම පක්ෂයට සර්වපාක්ෂික සමුළුවට සහභාගි විය නො හැකි බව ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

කෙසේ වෙතත්, එම සමුළුව සඳහා දෙමළ ජාතික සන්ධානය සහභාගී වන බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

සර්ව පාක්ෂික සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට (23) පෙරවරු 10 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ වීමට නියමිත යි.

සමුළුව සඳහා සහභාගි නොවන බව දේශපාලන පක්ෂ කිහිපයක්ම ඊයේ (21) පස්වරුව වන විට තහවුරු කර තිබුණා.

ඒ අනුව ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයක් වන ලංකා කම්කරු කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ජාතික ජනතා සන්ධානය හා සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවන බවයි ප්‍රකාශ කළේ.

ඒ සඳහා සහභාගි නොවන බව සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය ද දැනුම් දුන්නා.

එහෙත් එම සමුළුව සඳහා තම පක්ෂය සහභාගි වන බවයි එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළේ.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුතු සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, එම සමුළුවට සහභාගිවීම සම්බන්ධයෙන් වන අවසාන තීරණය අද (22) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ අතර අමාත්‍ය වාසුදේව නානායක්කාර, හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන පිරිස් මෙම සමුළුවට සහභාගී නොවීමට තීරණය කර තිබුණා.

එහෙත්, මොවුන් නියෝජනය කරන පක්ෂවල යෝජනා සහ නිර්දේශ, පක්ෂ එකොළහ (11) නියෝජනය කරන නියෝජිතයින් හරහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නම් කර තිබෙනවා ෴

***************************************

අද (22) ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීම් දෙකක් (2)

(22.03.2022 – 08:15 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීම් දෙකක් අද (21) දිනයේදී පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පස්වරු 6 ට අරලියගහ මන්දිරයේදී ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පැවැත්වීමට නියමිත වනවා.

එහිදී රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

එසේම ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර අද (22) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 11:30 ට අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවයි ආණ්ඩු පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ෴

***************************************

ඉතිහාසගත ඉහළතම උද්ධමනයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙයි

(22.03.2022 – 08:24 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ආර්ථිකය තුළ අද (22) වනවිට වාර්තා වන ඉහළතම උද්ධමන ප්‍රතිශතය වාර්තා වී තිබෙනවා.

ඒ සියයට 17.5 ක් ලෙස ඉහළට ගමන් කරමින්.

මීට පෙර මෙරට උද්ධමනය පැවතියේ සියයට 16.8 ක් ලෙසයි.

මෙම ඉහළ යෑම මෙරටින් වාර්තා වන ඉතිහාසගත උද්ධමන ප්‍රතිශතය යි.

ආසියාතික කලාපීය රාජ්‍යයන් අතරින් ශ්‍රී ලංකාව උද්ධමනය වැඩි ප්‍රමුඛතම රාජ්‍යය ලෙස ද ලැයිස්තුගත වී තිබෙනවා ෴

***************************************

අමරිකාවේ ‘වික්ටෝරියා නුලන්ඩ්’ ශ්‍රී ලංකාවට

(22.03.2022 – 08:26 +0530 – hirunews.lk/sinhala)

අමරිකානු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබද උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් අද (22) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

පසුගිය දා ඇය දකුණු ආසියාතික කලාපයේ නිල සංචාරයක් ආරම්භ කළ අතර බංග්ලාදේශ සංචාරය නිමවා දැන් ඉන්දියාවට ගොස් සිටිනවා.

එහිදී ඇය ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ලා හමු වූ බවයි රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතවරිය සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත්තේ.

මෙම සංචාරයේ දී ඇය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා හා එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ හමුවීමට නියමිතයි.

ඊට අමතරව ඇමරිකානු එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබද උප ලේකම්වරිය කොළඹ වරායේ සංචාරයක යෙදී ව්‍යාපාරික ප්‍රජාව හමුවීමට ද නියමිත බවයි විදේශ අමාත්‍යාංශය සදහන් කළේ.

***************************************

පාර්ලිමේන්තුව අද (22) රැස්වෙයි

(22.03.2022 – 08:34 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (22) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුව අද (22) පෙරවරු 10 ට රැස් වන අතර පෙරවරු 11 සිට පස්වරු 4:30 දක්වා එම පනත් කෙටුම්පත දෙවන (2) වර කියවීමේ විවාදය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මේ අතර, ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ පළ කළ රෙගුලාසි විවාදයට ගැනීම හෙට (23) පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත අනිද්දා (24) දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 144 වන අන්තර් පාර්ලිමේන්තු සංගම් සැසි වාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු 4 දෙනෙකු සහභාගි වී සිටිනවා.

පසුගිය 20 වන දා ආරම්භ වූ එම සැසි වාරය ලබන 25 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.

කථානායකවරයාට අමතරව එම සැසි වාරය සඳහා සහභාගි වී සිටින සෙසු නියෝජිතයින් වන්නේ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, ශානක්‍යයන් රාසමාණික්කම්, රනිල් වික්‍රමසිංහ හා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායකයි.

මෙම සැසි වාරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මහ සමුළු දේශනය කථානායකවරයා විසින් පවත්වනවා.

මෙවර අන්තර් පාර්ලිමේන්තු සංගම් සැසි වාරයේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට ගනු ලබන ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම්, ගෝලීය සාමය හා ආරක්ෂාව පිළිබද ස්ථාවර කමිටු සාකච්ඡා සදහා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහභාගි වීමට නියමිතයි ෴

***************************************

යල කන්නයේ කුඹුරු හෙට්ටයාර ලක්ෂ 5 ක් වගා කිරීමට අපේක්ෂාවෙන්

(22.03.2022 – 08:44 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර ලක්ෂ 5 ක් වගා කිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබාදෙන බව කොළඹ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවක දී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා ෴

***************************************

නිමල් ලන්සා ධුරයෙන් ඉවතට

(22.03.2022 – 09:25 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, ග්‍රාමීය මාර්ග සහ අවශේෂි යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊට අදාළ ලිපිය ඔහු අද (22) දිනයේ ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මස 22 වනදා අමාත්‍ය ධූරයේ වඟකීම් ඉටු කිරීමේදී මුහුණ පෑමට සිදු වූ ගැටලු කිහිපයකට විසදුම් ඉල්ලා ඔහු ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමු කළා.

ඉල්ලා අස්වීමේ ලිපියෙන් ඔහු පෙන්වා දී ඇත්තේ අදාළ ලිපියෙන් මතු කළ කරුණු අමාත්‍යාංශය තුළ තවදුරටත් සිදුවන බවයි.

අමාත්‍යවරයෙකු ලෙස තවත් වසර තුනකට (3) වැඩි කාලයක් තනතුරේ රැඳී සිටිය හැකි වුව ද ජනතාව දැඩි ආර්ථික අර්බුදයකින් හා පීඩනයකින් සිටින මෙම අවස්ථාවේ ඒ පිළිබඳව කිසිදු තැකීමකින් තොරව බලා සිටීමට හෘද සාක්ෂියට ඉඩ ලබා නොදෙන බව ඔහු ඉල්ලා අස්වීමේ ලිපියේ දක්වා තිබෙනවා.

එම නිසා අද (22) දිනයේ සිට තමන් අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බවයි ඔහු එමගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ .

මේ අතර, තමන් සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට සදහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

බලශක්ති අමාත්‍ය ධුරයෙන් තමා ඉවත් කිරීමත් සමග විධායක තනතුරක් වූ සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයේ තවදුරටත් රැදී සිටීම නුසුදුසු බවයි ඔහු එමගින් පෙන්වා දී ඇත්තේ.

මේ අතර, විදේශ අමාත්‍යාංශයේ නම විදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස සංශෝධනය කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය පෙබරවාරි 23 වන දා සිට එය ක්‍රියාත්මක බවයි එහි දැක්වෙන්නේ.

***************************************

ඉන්දියාව සමග තවත් ගිවිසුම් තුනක් (3) ?

(22.03.2022 – 010:09 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියන් සාගරයේ නාවික ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම් 03 ක් සම්බන්ධයෙන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හෙළි කර තිබෙනවා.

ඒ අනුව උන්වහන්සේ ප්‍රකාශ කළේ, අදාළ ගිවිසුම් තුන (3) සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තුවට සහ රටේ මහජනතාවට දැනුම්දීම සිදු කිරීම රජයේ වගකීමක් බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂ ලිපියක් ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත අද (22) පෙරවරුවේ යොමු කර තිබෙනවා.

උන්වහන්සේ සඳහන් කළේ, දෙරට අතර ගිවිසුම් තුන (3) ම අත්සන් කිරීමට මේ වනවිට රාජ්‍යයන් දෙකම සූදානමින් පසුවන බවට ඉන්දීය හින්දුස්ථාන පුවත්පත මගින් ද වාර්තා කර තිබූ බවයි.

එමෙන්ම පසුගිය දා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඉන්දීය සංචාරය අතරතුර මෙරට මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල විසින් අත්සන් තැබූ ඉන්දීය ගිවිසුම පිළිබඳ ව ද මෙතෙක් රටට හෙළි නොකළ බව පෙන්වා දුන් ඇල්ලේ ගුණවංශ හිමියන් සඳහන් කළේ, එම ගිවිසුම මගින් ප්‍රතිඵලයක් ලෙස හිමිව ඇත්තේ ඩොලර් බිලියනයක මූල්‍ය ණයක් බවයි.

එමෙන්ම හිටිහැටියේම චීනය සහ ශ්‍රී ලංකාව අතර මෙරට විවිධ වටිනා ස්ථාන බිල්ලට තබමින් අත්සන් කරන්නට යෙදෙන ගිවිසුම් රටට අයහපතක් වන ඕනෑම මොහොතක ඒ වෙනුවෙන් රට උදෙසා පෙරමුණට පැමිණීමට තමන් සූදානම් බව ද උන්වහන්සේ සඳහන් කළා.

***************************************

අධිභාර බදු පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූලයි – ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි

(22.03.2022 – 10:28 +0530 – hirunews.lk/sinhala)

අධිභාර බදු පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බැවින් එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇති බව නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ අතර, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී කියා සිටියේ විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත දෙවන (2) වර කියවීම අද (22) දිනයේ න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ගන්නා බවයි.

එහි වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට අවශ්‍ය බවට මුදල් අමාත්‍යාංශය දැනුම්දීම ඊට හේතු වී තිබෙනවා.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අදත් (22), ප්‍රශ්න කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *