වැඩි මිලට තෙල් විකිණූ අයට වැඩ වැරදෙයි

වැඩි මිලට තෙල් විකිණූ අයට වැඩ වැරදෙයි

*********************************************

වැඩි මිලට තෙල් විකිණූ අයට වැඩ වැරදෙයි

(22.03.2022 – 06:27 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන තොග සඟවාගෙන පාරිභෝගිකයින් නොමග යවමින් වැඩි මිලට එම ඉන්ධන අළෙවි කළ කොබෙයිගනේ ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක් වටලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත යටතේ නඩු පැවරූ බව කුරුණෑගල පාරිභෝගික අධිකාරි කාර්‍යාලය පවසනවා.

විමර්ශන නිලධාරීන් එම ඉන්ධන පිරවුම්හලට ගිය අවස්ථාවේ දී සාමාන්‍ය ඩීසල් ලීටර් 7000 ක් සහ සුපර් ඩීසල් ලීටර් 23,000 ක් සන්තකයේ තබාගෙන ඩීසල් නොමැති බව පවසා පිරවුම්හලේම එක් පසෙක සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් 28.50 ක් වැඩි මිළට විකුණූ බව යි එම නිලධාරින් සඳහන් කරන්නේ.

මහජන පැමිණිල්ලක් මත ඊයේ (21) දහවල් මෙම වැටලීම සිදු කෙරී තිබෙනවා.

මෙම පිරවුම්හලේ ඉන්ධන පවතින අවස්ථාවේ දී එහි පැමිණෙන පාරිභෝගික ජනතාවට ඉන්ධන අවසන් බව පවසා එම ඉන්ධන පිරවුම්හලේ අයිතිකරුට අයත් වෙනත් ස්ථානයක දී වැඩි මිළට ඉන්ධන අළෙවි කරන බව පැමිණිල්ලේ සඳහන්.

උපාය දූතයෙකු යොදවා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් ඩීසල් 20 ක් මිළ දී ගැනීමට අවශ්‍ය බව පවසා එම පිරවුම්හලට ගිය අවස්ථාවේ දී එහි සේවකයෙකු පවසා ඇත්තේ, පිරවුම් හලේ ඩීසල් නැති බව යි.

එහෙත් ලීටර් 22 ක ඩීසල් බහාලුමක් රුපියල් 4500 ක මුදලකට දිය හැකි බවත් ඒ සදහා පිරවුම්හලේ පිටුපසට යන ලෙසත් එම සේවකයා උපාය දූතයාට කියා තිබුණා.

පාරිභෝගික නිලධාරීන් යෙදවූ උපාය දූතයා විසින් පිරවුම්හලේ ම පසුපස කාමරයක තිබූ ඩීසල් ලීටර් 22 ක බහාලුමක් මිළදී ගත් පසු අනෙක් නිලධාරීන් පැමිණ පිරවුම්හල පරීක්ෂාවට භාජනය කර ඇති අතර, ඉන්ධන පිරවුම්හල පරීක්ෂා කිරීමේ දී ඩීසල් ලීටර් 22 බැගින් පිරවූ ප්ලාස්ටික් කෑන් 14 ක් පිරවුම්හලේ පසුපස කාමරයක තිබී සොයා ගෙන තිබෙනවා.

අනතුරුව පිරවුම්හලේ ඉන්ධන ගබඩා කරන ටැංකි පරීක්ෂා කිරීමේදී සුපර් ඩීසල් ලීටර් 23,000 ක් සහ සාමාන්‍ය ඩීසල් ලීටර් 7000 ක් පමණ තිබී නිලධාරීන්ට හමු වී ඇති බව වාර්තා වනවා.

එහෙත් පිරවුම්හලේ ඩීසල් නොමැති බවට දැන්වීම් ප්‍රදර්ශනය කර තිබුණා.

සගවා තිබී සොයාගත් ඉන්ධන නියම මිළ යටතේ පාරිභෝගිකයින්ට අලෙවි කරන ලෙස පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් පිරවුම්හලේ කළමණාකාරීත්වයට උපදෙස් දුන් අතර, එම ඉන්ධන ඒ අවස්ථාවේ දී ම අළෙවි කිරීම ආරම්භ වූ බව යි වාර්තා වන්නේ ෴

+++++++++++++

ඖෂධ හිඟයෙන් පෞද්ගලික රෝහලක දී රෝගියෙකු මියගියහොත් වගකීම කා සතු ද ?

(22.03.2022 – 08:30 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ හිඟය, විදුලි කප්පාදුව සහ බලශක්ති අර්බුදය හේතුවෙන් පෞද්ගලික රෝහලකදී රෝගියෙකු මියගියහොත් එහි වගකීම රජය විසින් භාර ගත යුතු බව පෞද්ගලික රෝහල් හා සාත්තු නිවාස සම්මේලනය පවසනවා.

පෞද්ගලික රෝහල්වලට අඛණ්ඩ විදුලි සැපයුමක් සහ අවශ්‍ය ඉන්ධන ලබාදෙන ලෙසට බලධාරීන් කිහිප වරක් දැනුවත් කළ ද එය මේ දක්වා ඉටු වී නොමැති බවයි එම සංගමයේ සභාපති ආනන්ද කුරුප්පුආරච්චි සඳහන් කළේ.

ඇතැම් ඖෂධවල පවතින හිඟය හේතුවෙන් රෝගීන් දැඩි අවදානමකට මුහුණ දෙන බව ද හිරු ප්‍රවෘත්ති අංශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියා ෴

+++++++++++++

සිපෙට්කෝ පිරවුම්හල්වල ඉන්ධන බෙදා හැරීම අධීක්ෂණයට හමුදාව යොදවයි

(22.03.2022 – 08:55 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා හමුදාව යෙදවීමට තීරණය කර තිබෙනවා.

ඉන්ධන හිඟයත් සමග පිරවුම්හල්වල ඇති වන ගැටුම්කාරී තත්ත්වයන් පාලනය කිරීම සඳහා මෙලෙස හමුදා සාමාජිකයින් යෙදවීමට කටයුතු කර ඇති බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න කියා සිටියේ.

මේ අතර ඉන්දීය ණය ආධාර යටතේ අනිද්දා (24) වනවිට තවත් ඉන්ධන නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ කියා සිටියේ කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

දිවයින පුරා මේ වනවිට දැඩි අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය කිරීමට ඉන්ධන පිරවුම්හල් හේතු වී තිබෙනවා.

දැඩි ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන හල් අසල දිගු පෝලිම් දක්නට ලැබීම මීට හේතුවයි.

ඉන්ධන ලබා ගැනීමට පොරකන ජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයන් හටගැනීම ද මේ දිනවල වාර්තා වනවා.

මේ හේතුවෙන් පුද්ගලයින් අතර බහින්බස් වීමෙන් ඇතිවන ආරවුල් හේතුවෙන් පුද්ගල ඝාතනයන් ද සිදුවන අයුරු දක්නට ලැබෙනවා.

එමෙන්ම වයස්ගත පුද්ගලයින් ද තෙල් පෝලිම්වල රැඳී සිටීමේ දී සිදු වූ පුද්ගල මරණ 02 ක් ද වාර්තා වුණා.

මේ වනවිට ඉන්ධන පෝලිම් අසල සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 03 ක්.

+++++++++++++

ජල ගාස්තු ඉහළ දැමීමට මෙතෙක් තීරණයක් නැහැ

(22.03.2022 – 13:07 +0530 – hirunews.lk/sinhala)

ජල ගාස්තුව ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ අවශ්‍ය වුවහොත් ඉදිරියේදී ජල ගාස්තු ඉහළ දමන බවයි.

රටේ පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වය මත මෙලෙස සියලුම අත්‍යවශ්‍ය සේවාවල විටින් විට සේවා ගාස්තු ඉහළ දැමීම සිදු කෙරුණා.

විදුලි බිල ද සංශෝධනය වීම පමණක් නොව, බස් ගාස්තු, අත්‍යවශ්‍ය ආහාරපාන ගාස්තු පවා පවතින අර්බුද හමුවේ ඉහළ ගියා.

+++++++++

ගෑස් පෝලිම් දිගුවේ – විරෝධතාවක් හේතුවෙන් ගාලු පාරත් වැසේ

(22.03.2022 – 13:25 +0530 – hirunews.lk/sinhala)

ගෑස් ගැටලුව ඉදිරි දින 10 ඇතුළත විසඳේ යැයි අපේක්ෂා කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

එහෙත් දින ගණනක් පවතින ගෑස් පෝළිම්වල අඩුවක් තවමත් දක්නට ලැබෙන්නේ නැහැ.

රත්ගමපොළ අසලදී පැමිණ සිටි පාරිභෝගියකයන් පිරිසක් ගෑස් නොලැබීම නිසා ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (22) පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා.

ඊයේ (21) රාත්‍රියේ දිවයිනට ලගා වූ ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් රැගත් නෞකාවේ ගෑස් තොග ගොඩබෑමේ කටයුතු අද (22) පස්වරුවේ ආරම්භ කිරීමට නියමිතයි.

එම ගෑස් තොගය දින තුනක (3) පමණ කාලයක් සඳහා ප්‍රමාණවත් අතර ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7000 ක් රැගත් නෞකා දෙකක් මෙරටට ලගා වීමට නියමිතව තිබෙනවා.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ඉන්දියාව ද අද (22) සිය පෙට්‍රල් සහ ඩීසල් මිල මෙන්ම, එල්.පී. ගෑස් මිල ද ඉහළ නංවා තිබෙනවා.

ඉන්දියාවේ ඉන්ධන මිල ඉහළ නැංවන ප්‍රමාණය ප්‍රාන්ත අනුව සුළු වශයෙන් වෙනස් වන අතර, ඉන්දීය අගනුවර දිල්ලියේ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ නංවා ඇත්තේ ශත 80 බැගින්.

ඒ අනුව, පෙට්‍රල් ලීටරයක් ඉන්දීය රුපියල් 96.21 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඩීසල් ලීටරයක නව මිල සඳහන් වන්නේ ඉන්දීය රුපියල් 86.60 ක් ලෙසයි.

ඉන්දියාවට එල්.පී. ගෑස් මිල ඉහල නංවා ඇත්තේ රුපියල් 50 කින්. මෙලෙස ගෑස් මිල වැඩි කර ඇත්තේ පසුගිය ඔක්තෝම්බර් මාසයෙන් පසු ප්‍රථම වතාවටයි.

ඉන්දියාවේ ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක වන අතර, දැන් ප්‍රකාශයට පත් කර ඇත්තේ එහි නවතම යාවත්කාලීන කිරීමයි.

+++++++++

අද (22) විදුලිය කැපෙන හැටි

(22.03.2022 – 08:28 +0530 – hirunews.lk/sinhala)

අද (22) දිනයේදී පී, කිව්, ආර්, එස්, ටී, යූ, වී හා ඩබ්ලිව් (P Q R S T U V W) යන කලාපවලට උදෑසන 9 ත්, පස්වරු 5 ත් අතර පැය 2 යි මිනිත්තු 40 ක් විදුලිය කප්පාදු කිරීම සදහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා.

එසේම එම කලාපවලට පස්වරු 5 ත්, රාත්‍රී 9 ත් අතර පැයක (1) කාලයක් විදුලිය කප්පාදු කිරීමට ද අවසර ලබාදුන් බවයි මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කළේ.

මේ අතර, ඒ, බී, සී, සී, ඊ, එෆ්, ජී, එච්, අයි, ජේ, කේ හා එල් (A B C D E F G H I J K L) යන කලාපවලට හෙට (23) දිනයේ පෙරවරු 8 ත්, පස්වරු 6 ත් අතර පැය 3 යි මිනිත්තු 20 ක් හා පස්වරු 6 ත්, 11 ත් අතර පැයයි (1) මිනිත්තු 40 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ද අනුමැතිය ලබා දී තිබෙනවා.

++++++++

+++++++++++++

ජල විදුලි නිෂ්පාදනයට බාධා – ඉදිරියට තවත් රට කළුවරේද ?

(22.03.2022 – 14:23 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරනවා.

මේ වනවිට දිවයිනටම බලපා තිබෙන දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලිබලය උත්පාදනය සදහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවතිනවා.

ඒ අනුව ජලාශයන්හි ජල මට්ටම තිබෙන ආකාරය මෙසේය :

කාසල්රි ජලාශය –

කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 13.41 දක්වා පහළ බැස ඇති අතර උපරිම වශයෙන් ජලමට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 19 වනතෙක් පමණි. මෙම ඉතිරිව ඇති ජල පරිමාවෙන් ජනනය කළහැකි විදුලි ඒකක ප්‍රමාණය ගිගා වොට් පැය 15.7 ක් වන අතර එය කාසල්රි ජලාශයේ සමස්ත ධාරිතාවයෙන් 16.5% කි.

මාඋස්සාකැලේ ජලාශය –

මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 12.84 දක්වා පහත බැස ඇති අතර උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 22.4 වනතෙක් පමණි. ඒ අනුව මා උස්සාකැලේ ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 87.7 වන අතර එය සමස්ත ධාරිතාවයෙන් 30.9% කි.

සමනල වැව ජලාශය –

සමනල වැව ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 23.24 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 31 වනතෙක් පමණි. ඒ අනුව සමනල වැව ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළහැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 23.24 ක් වන අතර එය සමස්ත ධාරිතාවයෙන් 16.3% කි.

එමෙන්ම විදුලිබල උත්පාදනය කිරීම සදහා මහවැලි සංකීර්ණයට අයත් ප්‍රධාන ජලාශවල මේවනවිට පවතින ජලමට්ටම් මෙසේ ය :

කොත්මලේ ජලාශය –

කොත්මලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 24.10 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 38 වන තෙක් පමණි. ඒ අනුව කොත්මලේ ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 31.7 වන අතර එය සමස්ත ධාරිතාවයෙන් 22.1% කි.

වික්ටෝරියා ජලාශය –

වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පිටාර මටට්මේ සිට මිටර් 24.72 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකල හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 68 වන තෙක් පමණි. ඒ අනුව වික්ටෝරියා ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළහැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 152.6 වන අතර එය සමස්ත ධාරිතාවයෙන් 34.5% කි.

රන්දෙණිගල ජලාශය –

රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 8.48 දක්වා මේවනවිට පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ මීටර් 23 දක්වා පමණි. ඒ අනුව රන්දෙණිගල ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලිය ඒකක ගිගාවොට් පැය 60.5 ක් වන අතර එය සමස්ත විදුලිය ධාරිතාවයෙන් 56.3 කි.

මෙම මහවැලි ජලාශ වලින් රටේ පානිය ජල අවශ්‍යතාවය සහ කෘෂිකාර්මික කටයුතුවලටද ප්‍රමුඛතාවයකින් ජලය මුදාහැරීම සිදුකළ යුතු බැවින් ඉහත ජලාශවලින් ජල විදුලිබලය ජනනය කිරීම සදහා ජලය මුදා හැරීමද සීමා කළයුතුව තිබෙනවා.

එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් පරිහරණය කරන මෙන් විදුලිබල අමාත්‍යාංශය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

+++++++++++++

ඉන්ධන බෙදාහැරීම් කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා – නාමල් රාජපක්ෂ

(22.03.2022 – 17:46 +0530 – hirunews.lk/sinhala)

ජනතාවට තවදුරටත් ඉන්ධන පෝලිම්වල රැදීමට ඉඩ නොදී අවශ්‍ය විසදුම් කඩිනමින් ලබා ගැනීමට කටයුතු කළ යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ අවධාරණය කරනවා.

අද (22) කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන බෙදාහරින ආයතනද සිය වගකීම් නිසි ලෙස ඉටුකළ යුතු බවයි.

ඉන්ධන බෙදාහැරීම් කඩිනම් කිරීමට අවශ්‍ය උපදෙස් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ව දැනුවත් කර ඇති බවද නාමල් රාජපක්ෂ මෙහිදී සදහන් කළා ෴

+++++++++++++

ලෝක බොරතෙල් මිල අදත් ඉහළට

(22.03.2022 – 17:49 +0530 – hirunews.lk/sinhala)

ගතවූ දින පහ (5) තුළ යළි අඛන්ඩ වැඩිවීමක් පෙන්නුම් කළ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 115 ඉක්මවා තිබෙනවා.

පසුගිය 17 වනදා එය, ඇමරිකානු ඩොලර් 97 දක්වා පහත වැටුණා.

කෙසේ වෙතත් ඉන් පසු අඛන්ඩ ඉහළ යාමක් පෙන්නුම් කළ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද දිනයේ සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 115.33 ක් ලෙසයි ෴

+++++++++++++

හෙටත් (23) පැය 5 ක් අඳුරේ

(22.03.2022 – 18:25 +0530 – hirunews.lk/sinhala)

හෙට (23) දිනයේදීත් ඇතැම් ප්‍රදේශවලට පැය 05 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව ඒ සිට එල් දක්වා (A-L) කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි මිනිත්තු 20 ක් බැගින් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි මිනිත්තු 40 ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබෙනවා.

පී සිට ඩබ්ලිව් දක්වා (P-W) කලාප 08 කට හෙට (23) පැය 02 යි මිනිත්තු 40 ක විදුලි කපා හැරීමක් සිදුවනවා.

ඒ අනුව පෙරවරු 10:30 සිට පස්වරු 04:30 දක්වා පැයක් (1) බැගින්ද පස්වරු 04:30 සිට රාත්‍රී 09:30 දක්වා පැය 01 යි මිනිත්තු 40 ක් බැගින්ද විදුලිය කපා හරිනු ලබනවා ෴

+++++++++++++

සඳුදායින් (28) පසු ගෑස් දෙන්න මැදිහත් වන බව පාරිභෝගික ඇමති කියයි

(22.03.2022 – 19:44 +0530 – hirunews.lk/sinhala)

ලබන සඳුදා (28) දිනයෙන් අනතුරුව වෙළඳපොලට අඛණ්ඩව ගෑස් ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (22) ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් දින ගණනක් පුරා පවතින ගෑස් පෝලිම්වල අඩුවීමක් තවමත් දක්නට නැහැ.

ඊයේ (21) රාත්‍රියේ දිවයිනට ලගා වූ ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් රැගත් නෞකාවේ ගෑස් තොග ගොඩබෑමේ කටයුතු අද (22) පස්වරුවේ ආරම්භ කෙරුණා.

එම ගෑස් තොගය දින තුනක (3) පමණ කාලයක් සඳහා ප්‍රමාණවත්.

ලබන බ්‍රහස්පතින්දා (24) සහ සිකුරාදා (25) තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7000 ක් රැගත් නෞකා දෙකක් මෙරටට ලඟා වීමට නියමිතයි.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද (22) කෙරවලපිටිය ලිට්රෝ ගෑස් අංගනයේ නිරීක්ෂණයක නිරත වුණා.

කෙසේ වෙතත් තමන්ට අවශ්‍ය ගෑස් ලබාගැනීමට නොහැකිවීම නිසා අදත් (22) දිවයිනේ ප්‍රදේශ රැසකම ගෑස් පාරිභෝගිකයින් දැඩි පීඩාවකට පත්ව සිටියා.

මේ අතර බියගම ප්‍රදේශයේ ගෑස් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයෙකු පැය ගණනක් පෝලිමේ රැඳී සිටියද ගෑස් ලබාගැනීමට නොහැකිවීම නිසා සිය ගෑස් සිලින්ඩරය රුපියල් පන්දහසක (5000) මුදලකට තවත් පුද්ගලයෙකුට අලෙවි කිරීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධනහල් අසල අදත් (22) දිගු පෝලිම් පැවති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙවන් තත්වයක් තුල දිවයින පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා යුධ හමුදාව යෙදවීමට තීරණය කර තිබෙනවා.

ඉන්ධන හිඟයත් සමග පිරවුම්හල්වල ඇති වන ගැටුම්කාරී තත්ත්වයන් පාලනය කිරීම සඳහා මෙලෙස යුධහමුදා සාමාජිකයින් යෙදවීමට කටයුතු කර ඇති බවයි යුධහමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න කියා සිටියේ.

එමෙන්ම හදිසි අවශ්‍යතාවයක් සේ සළකා සංචාරකයන් ප්‍රවාහනය කරන බස් රථ වලට ශ්‍රී ලංගම ඩිපෝ මගින් බාධාවකින් තොරව ඉන්ධන ලබා දෙන ලෙස ප්‍රවාහන අමාත්‍යංශය, ලංකා ගමනා ගමන මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

ඒ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් කළ ඉල්ලීමකට අනුවයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *