හැටන් නැෂනල් බැංකුවේ රුපියල් කෝටි 15 ක් සොරකම්කල දෙදෙනෙකු (2) අත්අඩංගුවට

හැටන් නැෂනල් බැංකුවේ රුපියල් කෝටි 15 ක් සොරකම්කල දෙදෙනෙකු (2) අත්අඩංගුවට

*********************************************

හැටන් නැෂනල් බැංකුවේ රුපියල් කෝටි 15 ක් සොරකම්කල දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(21.03.2022 – 17:21 +0530 – hirunews.lk/sinhala)

හැටන් නැෂනල් බැංකුවේ ගිණුම් හිමියන් හැත්තෑ හය දෙනකුගේ (76) ගිණුම්වලින් රුපියල් කෝටි 15 ට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට අදාළව එම බැංකුවේ සේවය කළ කළමනාකරුවකු සහ ඔහුත් සමඟ මෙම වංචාවට හවුල් වූ සංවිධානාත්මක මූල්‍ය අපරාධ කරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන ශාඛාවේ ප්‍රාදේශීය කළමනාකරුවකු ලෙස සේවය කළ ‘නීල් ක්‍රිස්ටෝපර් සොයිසා’ හා සංවිධානාත්මක මූල්‍ය අපරාධකරුවෙකු වන ‘තිකරත්නම් රවිචන්ද්‍රන්’ හෙවත් ‘සෙල්ටෙල් රවී’ යන දෙදෙනායි (2).

මේ දෙදෙනා (2) එක් ව හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන ගිණුම් හිමි ව්‍යාපාරිකයින් තිදෙනකුගේ (3) මුදල්ද වංචා සහගත ලෙස ලබාගෙන ඇති බව මෙතෙක් කරන ලද විමර්ශනවල දී හෙළි වී තිබෙනවා.

මෙලෙස මාස හයකට (6) ආසන්න කාලයක් අදාල කළමනාකරු සහ ‘සෙල්ටෙල් රවී’ යන දෙදෙනා (2) එක්ව වරින් වර ගිණුම් හිමියන් ගේ මුදල් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවයි මෙතෙක් කරන ලද හරි පරීක්ෂණ අනුව හෙළි වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් මේ පුද්ගලයින් දෙදෙනා (2) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා (2) ගෙන් එක් (1) අයෙකු ලබන 31 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා ෴

***************************************

මල්වතු – අස්ගිරි නාහිමිවරුගෙන් ජනපතිට ලිපියක්

(21.03.2022 – 17:52 +0530 – hirunews.lk/sinhala)

දෙස් විදෙස් විද්වතුන්ගෙන් සමන්විත සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා තිරසර සංවර්ධනය උදෙසා සැලැස්මක් සකස් කිරීමේ වැදගත්කම සහ තවත් කරුණු 13 ක් ඇතුළත් ලිපියක් මල්වතු – අස්ගිරි මහානායක හිමිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමියන්ගේ අත්සනින් යුතු ව ජනාධිපතිතුමා මෙම ලිපිය යොමු කර ඇති බව යි වාර්තා වන්නේ.

උද්ගතව ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසන ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව ලිපිය මඟින් මහානායක හිමිවරු පෙන්වා දෙනවා.

විදේශ විනිමය අර්බුදය සමනය කරගැනීම සඳහා හඳුනාගත් ප්‍රමුඛතා ලැයිස්තුවක් අනුව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, ජීවන වියදම පහත හෙළීම හා දේශීය ආර්ථික ආකෘතියක් නිර්මාණය කිරීම ද යෝජනා අතර වෙයි.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයට, කෘෂිකර්මාන්තයට හා ගොවි ජනතාවට සහන සැලසීම, ආර්ථික අර්බුදය හමුවේ අනිසි මූල්‍ය වාසි වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් කෘතිම ව නිර්මාණය කරන කූට වෙළෙඳුන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මහානායක හිමිවරුන් යොමු කළ ලිපියේ ඇතුළත්.

ආයෝජන සඳහා දිරිගැන්වීම, පාරදෘශ්‍ය ආර්ථික සැලැස්මක් තුළින් විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වැඩිකරගැනීම සේම අපනයන ආර්ථියක් ගොඩනැගීමේ අවශ්‍යතාව ද ලිපියෙහි යෝජනා අතර ඇති තවත් ප්‍රධාන කරුණු කිහිපයක්.

රටේ නව ආයෝජනය දිරිමත් කිරීම, රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීම, නාස්තිය, දූෂණය, සම්පත් අවභාවිතය වැළැක්වීම සඳහා වන තිරසර සැලසුමක් සැකසීමේ වැදගත්කම ද උන්වහන්සේලා අවධාරණය කරනවා ෴

***************************************

ජාතික ආර්ථික සභාවට, උපදේශක කමිටුවෙන් යෝජනාවලියක්

(21.03.2022 – 18:22 +0530 – hirunews.lk/sinhala)

ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා පත් කළ උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු යෝජනා 05 ක් ඉදිරිපත් කර තිබෙනවා.

උපදේශක කමිටුවේ සාමාජිකයන් පළමු වරට අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ජාතික ආර්ථික සභාවේ සාමාජිකයන් හමුවෙමින් මෙම යෝජනා මාලාව ඉදිරිපත් කළ බව වාර්තා වනවා.

උද්ගතව ඇති ආර්ථික ගැටලු සඳහා විසඳුම් සෙවීමට පත් කළ ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16 දෙනෙකුගෙන් යුතු උපදේශන කමිටුව පත් කළේ, මාර්තු 15 වන දා ජනාධිපතිවරයා විසින්.

එම යෝජනා :

  1. ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා, මහා බැංකුව සහ භාණ්ඩාගාරය නියෝජනය වන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වහාම පත්කිරීම.
  2. මූල්‍ය උපදේශකයෙකු වහාම පත්කිරීම සහ නීති උපදේශකයෙකු පත්කිරීමට පියවර ගැනීම.
  3. ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා ප්‍රතිව්‍යුහගත වැඩසටහනක් තාක්ෂණික කමිටුව විසින් කඩිනමින් ඉදිරිපත් කළ යුතුය.
  4. මුදල් අමාත්‍යවරයාගේ සහාය සඳහා වන විශේෂඥ කණ්ඩායම හඳුනාගැනීම.
  5. සැපයුම් අවහිරතා මඟහරවා ගනිමින් විශ්වාසය ඉහළ නැංවීමට අවධානය යොමු කිරීම.

ආර්ථිකය ස්ථාවර කරමින් නිවැරදි දිශාවට හැරවීම සඳහා ප්‍රතිමූල්‍යකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය කෙටි සහ දීර්ඝකාලීන පියවර ගත යුතු බව උපදේශක කමිටුව වැඩිදුරටත් යෝජනා කර තිබෙනවා.

ලොව බොහෝ රටවල ආර්ථිකයට එල්ල වී ඇති බලපෑමේ ප්‍රතිකම්පනය මෙරටට ද දැඩිව මුහුණ දීමට සිදුව තිබෙන අතර, විනිමය අර්බුදය මේ අතර ප්‍රමුඛ බව යි උපදේශක කමිටුව පවසන්නේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන අය සහ උපදේශක කමිටුවේ සෙසු සාමාජිකයින් ද මෙම අවස්ථාවට එක් ව තිබෙනවා ෴

***************************************

සහල්වලට පාලන මිලක් එන ලකුණු

(21.03.2022 – 20:07 +0530 – hirunews.lk/sinhala)

සහල් සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත් කරන ලෙස තමන් අද (21) කැබිනට් මණ්ඩලයට යෝජනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, දඹුල්ල ප්‍රදේශයේ රුපියල් 145 කට අලෙවි වූ නාඩු සහල් කිලෝව රුපියල් 190 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එසේම එම ප්‍රදේශයේම රුපියල් 125 කට අලෙවි වූ රතු කැකුළු සහල් කිලෝව රුපියල් 160 දක්වාත් සුදු කැකුළු කිලෝවක මිල රුපියල් 180 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, ජනතාව දෛනිකව මිල දී ගන්නා අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ද ඉහළ යමින් පවතින බව වෙළඳපොල ආරංචි මාර්ග පැවසුවා.

ඒ අනුව මේ වන විට පරිප්පු, සීනි, බිත්තර හා කුකුළු මස් වල මිල පවතින්නේ ඉහළ අගයකයි.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සතිපතා නිකුත් කරන වාර්තාවේ සඳහන්ව ඇත්තේ දිවයිනේ ඇතැම් ස්ථානවල රතු පරිප්පු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 420 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවයි.

මහ බැංකු වාර්තාව අනුව පසුගිය 16 වන දා වන විට කොළඹ ආශ්‍රිතව සුදු සීනි කිලෝග්‍රෑමයක් අලෙවි වී ඇත්තේ රුපියල් 185 කට ආසන්න මිලකින්.

එහෙත් අද (21) වන විට සුදු සීනි කිලෝවක මිල රුපියල් 190 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන්.

එසේම බිත්තරයක සිල්ලර මිල ද රුපියල් 28 සිට 32 දක්වා පරාසයක සටහන්ව තිබෙනවා.

පසුගිය සතිය තුළ දී කුකුළු මස් කිලෝවක සිල්ලර මිල සටහන් වූයේ රුපියල් 690 ත් 900 ත් අතර පරාසයකින් බව ද හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය නිකුත් කරන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගනන් වාර්තාවේ සඳහන් ෴

***************************************

කිරිපිටි ආනයනකරුවන් තවත් ගැටලුවක

(21.03.2022 – 20:10 +0530 – hirunews.lk/sinhala)

නව ඇණවුම් ලබාදීම, ආනයනික කිරිපිටි සමාගම්වලට මේ වන විට ගැටලුවක් වී ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එමෙන්ම ප්‍රධාන ආනයනික කිරිපිටි සමාගම් සතු තොග අවසන් වෙමින් පවතින බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මෙරට බැංකුවල ඩොලර් නොමැතිවීම හේතුවෙන් ලෝක වෙළදපොළේ කිරිපිටි නිෂ්පාදන සමාගම් නව ඇණවුම් භාර ගැනීම ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් උද්ගතව ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සදහන් කළා.

මාසිකව පරිභෝජන අවශ්‍යතාව අනුව කිරිපිටි මෙට්‍රික් ටොන් 6000 ත් 7000 ත් අතර ප්‍රමාණයක් මෙරටට ආනයනය කරනු ලබන අතර, පවතින ඩොලර් අර්බුදය හමුවේ මේ වන විට ආනයනය කරනු ලබන්නේ ඉන් සියයට 30 ක පමණ කිරිපිටි ප්‍රමාණයක්.

වරාය තුළ සිර වී තිබූ ආනයනය කරන ලද කිරිපිටි තොග සියල්ල මේ වන විට නිදහස් කරගෙන ඇතත් පාරිභෝගික ඉල්ලුමට සරිලන කිරිපිටි වෙළදපොළේ තවමත් දක්නට ලැබෙන්නේ නැහැ.

ආනයනික කිරි පිටි සමාගම් සදහන් කළේ ඔවුන් පසුගිය මාසයේ දී වරායෙන් නිදහස් කර ගත් කිරිපිටි තොග සියල්ල දැනටමත් වෙළදපොළට නිකුත් කර ඇති බවයි.

ඩොලරයට සාපේක්ෂ ව රුපියලේ අගය අවප්‍රමාණ වීම හමුවේ ආනයනික ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250 කින් සහ කිලෝ එකේ (1) පැකට්ටුවක් රුපියල් 600 කින් ඉහළ දැමීමට ආනයනකරුවන් පියවර ගත්තා.

කිරිපිටි මිල ඉහළ යාමත් සමඟ දියර කිරි පරිභෝජනය සඳහා ජනතාව වැඩි වශයෙන් යොමු වී තිබෙනවා ෴

***************************************

ගෙල මිරිකා පෙම්වතිය ඝාතනය කර කැලණි ගඟට දැමූ පෙම්වතා අත් අඩංගුවට

(21.03.2022 – 20:15 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ – දොරනාගොඩ ප්‍රදේශයේ නිවසකදී තම පෙම්වතිය ගෙළ සිරකර ඝාතනය කර ඇගේ මළ සිරුර මෝටර් රථයකින් රැගෙන ගොස් කැළණි ගඟට දමා තිබියදී සොයා ගත් බව පොලීසිය විසින් අධිකරණය හමුවේ අද (21) කරුණු වාර්තා කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්වූ ඇත්තේ වැල්ලම්පිටිය – සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක බවයි පොලීසිය, ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න හමුවේ ප්‍රකාශ කළේ.

සැකකරු සහ මිය ගිය තරුණිය වසර 5 ක කාලයක සිට පෙම්වතුන් ලෙස සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

පසුගිය 16 වන දා සැකකරු එම තරුණිය සිය නිවසට මෝටර් රථයකින් රැගෙන විත් ඇති අතර එහිදී දෙදෙනා අතර ඇති වූ ආරවුලකදී එම පුද්ගලයා සිය පෙම්වතියගේ ගෙළ සිරකර ඝාතනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුව ඇගේ මළ සිරුර මෝටර් රථයෙන්ම වැල්ලම්පිටිය – කොහිලවත්ත ප්‍රදේශයේදී කැළණි ගඟට දමා තිබියදී සොයා ගත් බවත් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

තම දියණිය අතුරුදන් බවට පැමිණිලි කිරීමට ඇගේ දෙමව්පියන් වැල්ලම්පිටිය පොලීසිය වෙත යාමේදී අදාළ සැකකරු ද ඔවුන් සමග පොලීසියට ගොස් ඇති බවට පොලීසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

අදාළ සැකකරු ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා ෴

***************************************

21-03-2022

***************************************

21-03-2022

***************************************

ගෝඨා ගෙදර යවන්නේ මෙන්න මෙහෙමයි – විජයදාස රාජපක්ෂගෙන් දරුණු කනේ පහරක් (22.03.2022)

***************************************

රට රකින විරුවා – ඩ්‍රෝන යානාවලට ලංකාවේ අහස විකුණයි – හරීන් විශේෂ මාධ්‍ය හමුවක (22.03.2022)

***************************************

රට විකුණන ගෝඨා මේ කතාව හොදට අහගන්න – මහාචාර්ය චන්දිමා ලොක්කට රිදෙන්න කියා දෙයි (22.03.2022)

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

තවත් කොරෝනා ආසාදිතයින් 69 ක් සුවය ලබයි

(21.03.2022 – 16:03 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 69 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,24,745 ක් ලෙසින්.

මේ අතර, වසර දෙකකින් (2) විශාලතම කොරෝනා රැල්ලට මුහුණ දෙන ඊසානදිග චීනයේ ජිලින් ප්‍රාන්තයේ නැවතත් නිරෝධායන නීති පනවා ඇති බව වාර්තා වනවා.

මේ අනුව අද (21) රාත්‍රියේ සිට දින 3 ක කාලයක් එහි මිලියන 4.5 ක ජනතාවට නිවෙස්වලින් නික්මීමට නොහැකි වනු ඇති.

චීනයෙන් ඊයේ (20) දිනයේ නව කොරෝනා ආසාදිතයින් 4000 ක් පමණ වාර්තා වූ අතර ඉන් තුනෙන් දෙකක්ම (2/3) හදුනාගෙන ඇත්තේ රුසියාවට සහ උතුරු කොරියාවට මායිම් වූ ජිලින් ප්‍රාන්තයෙන් ෴

+++++++++++

තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වෙයි

(21.03.2022 – 18:14 +0530 – hirunews.lk/sinhala)

අද (21) දිනට වාර්තා වූ කොවිඩ් මරණ ගණන 05 ක් ලෙස වාර්තා වනවා.

ඒ අනුව මෙරට වාර්තා වූ මුළු කොවිඩ් මරණ ගණන දැක්වෙන්නේ 16,436 ක් ලෙසට යි.

අද (21) දිනට වාර්තා වූ මරණ පහෙන් (5) දෙදෙනෙකු (2) පිරිමින් වන අතර තිදෙනෙකු (3) කාන්තාවන් වනවා.

අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ කාන්තාවක් හා පිරිමියෙකු (1) මිය ගිය පිරිසට අයත්.

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ එක් (1) පිරිමියෙකු හා කාන්තාවන් දෙදෙනෙකු (2) මෙම මරණ අතර වනවා.

මේ අතර, අද (21) දක්වා මෙරට කොරෝනා වෛරසය ආසාදිතයන් 6,58,197 ක් වාර්තා වී තිබෙනවා.

රෝහල්ගත ව හෝ නිවෙස් තුළ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 17,021 ක්.

6,24,745 ක් සුවය ලබා නිවෙස් වෙත පිට ව ගොස් තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *