කල්දැමුණු බස්නාහිර පළාත් පාසල් විභාග සැළසුම් කළ පරිදිම

කල්දැමුණු බස්නාහිර පළාත් පාසල් විභාග සැළසුම් කළ පරිදිම

*********************************************

කල්දැමුණු බස්නාහිර පළාත් පාසල් විභාග සැළසුම් කළ පරිදිම

(21.03.2022 – 13:08 +0530 – hirunews.lk/sinhala)

පවතින කඩදාසි හිඟය හේතුවෙන් දින නියමක් නොමැතිව කල් දැමීමට තීරණය කෙරුණු බස්නාහිර පළාතේ පාසල් වල 9, 10, 11, ශ්‍රේණි විභාග සැලසුම් කළ පරිදිම පැවැත්වීමට හැකියාව පවතින බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නොනිස් සඳහන් කළා.

ඒ, විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය කඩදාසි කලාප කාර්යාල මට්ටමින් සපයා ගත හැකි බවට දැනුම්දීමත් සමගයි. 9 සහ 10 ශ්‍රේණි සඳහා කලාප කාර්යාල මට්ටමින් වාර විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කෙරෙන අතර, 11 ශ්‍රේණිය සඳහා වන විභාග ප්‍රශ්න පත්‍ර බස්නාහිර පළාත් දෙපාර්තමේන්තුව මගින් මුද්‍රණය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව මේ මස 29 වන දා සැලසුම් කළ පරිදි එම ශ්‍රේණි සඳහා වාර විභාගය පැවැත්වෙනු ඇති. එසේම, 6, 7, 8, ශ්‍රේණි වල වාර විභාගය පාසල් මට්ටමින් පැවැත්වීමට තීරණය කර ඇති බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නොනිස් සඳහන් කළේ ෴

***************************************

L.T.T.E. සංවිධානයේ පුද්ගල නාශක බෝම්බ 04 ක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සොයා ගනී

(21.03.2022 – 12:09 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යුද සමයේ දී එල්ටීටීඊ සංවිධානය විසින් භාවිත කළ බවට සැක කෙරෙන පුද්ගල නාශක බෝම්බ හතරක් (4) සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකා බලකාය සමත්වී තිබෙනවා.

මෙම සොයාගැනීම සිදුකර ඇත්තේ විශේෂ කාර්ය බලකායේ පුවරසන්කුලම් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

ඒ අනුව පොලිස් විශේෂ කාර්යය බලකා උප පොලිස් පරීක්ෂක ඩබ්.පී.එස්. ඔබේසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.03.20 වන දින පුවරසන්කුලම් පොලිස් වසමේ වේලන්කුලම් රක්ෂිතයේ, සෙංකල්පඩෛ ප්‍රදේශයේ දී පරීක්ෂාවක් සිදුකර තිබෙනවා.

එහි දී පසුගිය යුධ සමයේ L.T.T.E. සංවිධානය විසින් ගසක් මුල සඟවා අතහැර දමා ගොස් තිබූ පුද්ගල නාශක බෝම්බ 04 ක් සොයා ගෙන එම බෝම්බ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුවරසන්කුලම් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා ෴

***************************************

සමගි ජන බලවේගයෙන් විශේෂ තීරණයක්

(21.03.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අනිද්දා (23) කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

රට තුළ මතුව ඇති අර්බුද විසඳීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදීමක් නොමැති වීම මීට හේතුව බවයි එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ.

මෙම සමුළුවට සහභාගි නොවන බව ජාතික ජනබලවේගයද ඊයේ (20) ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරන ලද ඉල්ලීමකට අනුව මෙම සර්වපාක්ෂික සමුළුව කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කළා ෴

***************************************

බොරැල්ලේ අත්බෝම්බ සිද්ධියට ඇල්ලූ විශ්‍රාමික වෛද්‍යවරයාට ඇප

(21.03.2022 – 13:29 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල සියලු‍ සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විශ්‍රාමික වෛද්‍ය ෂර්ලි හේරත් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

සැකකාර විශ්‍රාමික වෛද්‍යවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීමක් අද (21) සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

මෙම ඇප ඉල්ලීම කැඳවනු ලැබූ අවස්ථාවේ දී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අදාළ සැකකරු ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බවයි රජයේ නීතිඥවරයා දැනුම් දුන්නේ.

ඒ අනුව නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, මෙම සැකකරු මුලින්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණත් මේ වන විට එම චෝදනා පවත්වා ගෙන නොයාමට පැමිණිල්ල තීරණය කර ඇති හෙයින් මෙම ඉල්ලීම මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි.

එමෙන්ම සැකකරුට එරෙහිව පීඩාකාරී ආයුධ පනත යටතේ චෝදනා පවත්වාගෙන යන හෙයින් මෙම ඇප ඉල්ලීම මහාධිකරණයට සලකා බැලීමට හැකියාවක් පවතින බවත් පෙත්සම්කාර සැකකරුගේ පාර්ශවය විසින් කරුණු දක්වා ඇතැයි ද විනිසුරුවරයා සඳහන් කළා.

ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඇපකරුවන් කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචිකරුවන් විය යුතු බවටත් නියෝග කළා.

එමෙන්ම සැකකරුගේ විදේශගමන් තහනම් කරන බවත් ඔහුගේ විදේශගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවත් නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙසත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

පසුගිය ජනවාරි මස 11 වන දා දේවස්ථානය තුළ තිබී මෙම අත්බෝම්බය සොයාගත් අතර මීට පෙර මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර (4) දෙනෙකු ඇප මත මුදාහැරීමට යි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ෴

***************************************

හෙට (22) ආණ්ඩු පක්ෂයේ රැස්වීම් දෙකක් (2)

(21.03.2022 – 13:31 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීම් දෙකක් හෙට (22) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට (22) පස්වරු හයට (6) අරලියගහ මන්දිරයේ දී ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

එහි දී රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජනාධිපතිවරයා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවට පෙර පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හෙට (22) පෙරවරු 11:30 ට අදාළ සාකච්ඡාව පැවැත්වෙන බවයි ආණ්ඩු පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ෴

***************************************

කිරිපිටි සඳහා අදත් (21) දිගු පෝලිම්

(21.03.2022 – 13:37 +0530 – hirunews.lk/sinhala)

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමත් සමඟ දේශීය කිරිපිටි මිලදී ගැනීම සඳහා ද මේ වනවිට දිගු පෝලිම් නිර්මාණය වී තිබෙනවා.

කිරිපිටි මිල ඉහළ යාමත් සමඟ දියර කිරි පරිභෝජනය සඳහා ජනතාව වැඩි වශයෙන් යොමු වී ඇති ආකාරයක් දැකගත හැකියි.

ඩොලරයට සාපේක්ෂ ව රුපියලේ අගය අවප්‍රමාණ වීම හමුවේ ආනයනික ග්‍රෑම් 400 යේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250 කින් සහ කිලෝ එකේ (1) පැකට්ටුවක් රුපියල් 600 කින් ඉහළ දැමීමට ආනයනකරුවන් පියවර ගත්තා.

කෙසේ වෙතත් කිරිපිටි මිල ඉහළ දැමුව ද හිඟයකින් තොරව වෙළඳපලේ කිරිපිටි මිල දී ගැනීමට ජනතාවට තවමත් හැකිවී නැහැ.

ආනයනික කිරිපිටි හිඟය සහ දේශීය කිරිපිටි මිල ගණන් පහළ අගයක් ගැනීම හේතුවෙන් දේශීය කිරිපිටි මිලදී ගැනීම සඳහා මේ වනවිට දිගු පෝලිම් නිර්මාණය වී තිබෙනවා.

වෙළඳපලේ පවතින කිරිපිටි හිඟය හමුවේ මේ වනවිට දියර කිරි ඉල්ලුමද ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කිරි ගව පාලනය සඳහා පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබාදීමට රුපියල් මිලියන 300 ක් ඉල්ලූ බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ සඳහා සහය ලබාදෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ, කෘෂිකර්ම අමාත්‍යවරයා සිදු කළ එම ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින්.

කෘෂිකර්ම අමාත්‍යවරයා සිදු කළ අදාළ ප්‍රකාශය අසත්‍යයක් බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර ද ඊයේ (20) සඳහන් කළේ.

කෙසේ වෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (21) දිනයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර, එහි දී ඔහු මධ්‍යම පරිසර අධිකාරියට යළි චෝදනා එල්ල කළා ෴

***************************************

පාලමක් ඉදිකිරීමට රැගෙන ආ කම්බි සොරකම් කළ තුන්දෙනෙකු (3) අත්අඩංගුවට

(21.03.2022 – 14:11 +0530 – hirunews.lk/sinhala)

හිනිඳුම – පනංගල ප්‍රදේශයේ පාලමක් ඉදිකිරීම සඳහා රැගෙනවිත් තිබූ යකඩ කම්බි සොරකම් කළ තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් බටහිර පනංගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

ගිංගඟේ අතු ගංඟාවක් හරහා ඉදිකරනු ලබන ගඟසිරි පාලමේ ඉදිකිරීම් සඳහා රැගෙන විත් තිබූ කම්බි තොගයක් සැකකරුවන් සොරකම් කර ඇති අතර, ඔවුන් අද (21) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

පුද්ගලයින් 133 දෙනෙකු සමඟ චීන ගුවන් යානයක් කඩා වැටෙයි

(21.03.2022 – 14:21 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් 133 දෙනෙකු රැගත් චයිනා ඊස්ටර්න් ගුවන් සේවාවට අයත් මඟී ජෙට් යානයක් නිරිතදිග චීනයේ දී අනතුරට ලක්ව තිබෙනවා.

කෙසේවෙතත් මෙම අනතුරින් මේ වන විට තුවාල ලබා ඇති සංඛ්‍යාව හෝ මරණයට පත්ව ඇති සංඛ්‍යාව මේ වන තෙක් තහවුරු කර නොමැති බවයි චීන CCTV රූපවාහිනී සේවාව ප්‍රකාශ කළේ.

බෝයිං 737 (Boeing 737) වර්ගයේ මෙම යානය ග්වාන්සි (Guangxi) ප්‍රදේශයේ වූසූ (Wuzhou) නගරයට ආසන්න ගම්බද ප්‍රදේශයකට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

CCTV රූපවාහිනී සේවාව පැවසුවේ අදාළ ගුවන් යානය අනතුරට ලක්වීමට හේතුව එම ප්‍රදේශයේ පැතිර ගිය ලැව් ගින්නක් හේතුවෙන් මතු වූ අධික දුමාරය විය හැකි බවට යි.

මේ වනවිටත් අනතුර සිදු වූ ස්ථානයට ගලවා ගැනීමේ කණ්ඩායම් යොමු කර ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ෴

***************************************

IDD ගාස්තු ඉහළට

(21.03.2022 – 14:23 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර දුරකථන ගාස්තු ඉහළ දමා තිබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණ වීම හේතුවෙන් ගාස්තු ඉහළ දැමූ බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ ෴

***************************************

සංචාරක සංවර්ධන බද්ද ගෙවීමට සහන කාලයක්

(21.03.2022 – 14:52 +0530 – hirunews.lk/sinhala)

ලියාපදිංචි සංචාරක ආයතනවලට සංචාරක සංවර්ධන බද්ද ගෙවීමට සහන කාලයක් ලබාදීමට අදාළව යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ අනුව 2019 අප්‍රේල් 01 වනදා සිට 2021 දෙසැම්බර් 31 දක්වා සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු හිඟ සංචාරක බදු මුදල් ගෙවීම සඳහා දඩ මුදල් රහිතව වසර දෙකක (2) සහන කාලයක් ලබාදීමට නියමිතයි.

මීට පෙර සංචාරක සංවර්ධන බද්ද අය කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය ඉකුත්වී ඇති බැවින් සහ සංචාරක ක්‍ෂේත්‍රයේ නියුතුවූවන්ගේ ඉල්ලීම් සළකා බලා අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති.

වසරේ මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහස (2,50,000) ඉක්මවා තිබෙනවා ෴

***************************************

සහල් සඳහා පාලන මිලක් ඉල්ලා අද (21) කැබිනට් මණ්ඩලයට යෝජනාවක්

(21.03.2022 – 14:58 +0530 – hirunews.lk/sinhala)

සහල් සඳහා පාලන මිලක් ප්‍රකාශයට පත් කරන ලෙස තමන් අද (21) කැබිනට් මණ්ඩලයට යෝජනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ කොළඹ අද (21) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

***************************************

චීනයේ තාක්ෂණික අංශයේ විරැකියා රැල්ලක අවදානමක්

(21.03.2022 – 15:00 +0530 – hirunews.lk/sinhala)

දැවැන්ත තාක්ෂණ සමාගම් පාලනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස චීනයේ විරැකියා රැල්ලක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා.

ලොව දෙවන (2) විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනයේ ගතවූ දශකයක කාලය තුළ ශක්තිමත්ම රැකියා නිර්මාණය කිරීමේ අංශය වී තිබුණේ තාක්ෂණික අංශයයි.

කෙසේ වෙතත් මේ වනවිට තාක්ෂණික අංශයේ රැකියා අහිමිවීම් සහ සේවක කප්පාදු පිළිබඳ පුවත් චීනයේ ප්‍රාදේශීය මට්ටමින් වැඩි වශයෙන් වාර්තාවනවා.

එය තාක්ෂණ සංවර්ධනය හරහා ආර්ථික සමෘද්ධිය ඇති කිරීමේ චීන රජයේ ඉලක්කයට බාධා මතුකරන තත්වයක් බව විදෙස් විචාරකයින් පෙන්වා දෙනවා.

මෙම කාලසීමාව තුළ පමණක් චීනයේ රැකියා අපේක්ෂාවෙන් පසුවන නව උපාධිධාරීන් සංඛ්‍යාව මිලියන 10 ක් ෴

***************************************

රුපියල් 20 ක වටිනාකමින් යුත් නව සමරු කාසි දෙකක්

(21.03.2022 – 16:17 +0530 – hirunews.lk/sinhala)

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට හා මෙරට ප්‍රථම ජන හා නිවාස සංගණනයට වසර 150 ක් පිරීම නිමිත්තෙන් රුපියල් 20 ක මුහුණත වටිනාකමින් යුත් නව සමරු කාසි දෙකක් (2) නිකුත් කර තිබෙනවා.

කොළඹ විශ්විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය චන්ද්‍රිකා එල්. විජේරත්න සහ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.එම්.පී. අනුර කුමාර විසිනුයි අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සමරු කාසි පිළිගැන්වූයේ.

මෙම කාසිය නිකුත් කිරීම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි සිදු කළ බවයි මහ බැංකුව කියාසිටියේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ජන හා නිවාස සංගණනය 1871 දී පවත්වන ලද අතර 2021 වර්ෂය එහි 150 වන සංවත්සරය සනිටුහන් කරනවා.

15 වන ජන හා නිවාස සංගණනය 2021 වර්ෂයේ එහි සංවත්සරයට සමගාමීව පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද, කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ජන හා නිවාස සංගණනය 2022 – 2023 දක්වා කල් දමා තිබෙනවා.

මෙම කාසිය බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා ඉදිරියේ දී සංසරණයට නිකුත් කරනු ලබන අතර සංසරණයේ පවතින අනෙකුත් ව්‍යවහාර මුදල් නෝට්ටු හා කාසි සමග භාවිත කළ හැකි වනු ඇති.

***************************************

ලංකා කම්කරු කොංග්‍රසය ද සර්ව පාක්ෂික සමුළුව වාරණය කරයි

(21.03.2022 – 16:17 +0530 – hirunews.lk/sinhala)

ලංකා කම්කරු කොංග්‍රසය සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා.

එහි මහ ලේකම් රාජ්‍ය අමාතය ජීවන් තොන්ඩමන් මේ බව නිවේදනය කළා.

මේ අතර තම පක්ෂය ද සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගි නොවන බව දෙමළ ජාතික ජනතා සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කළා.

මේ වනවිට තවත් පක්ෂ කිහිපයක් ම සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගි නොවන බව යි ප්‍රකාශ කරන්නේ.

ඒ අනුව ජාතික ජන බලවේගය, සමඟි ජන බලවේගය යන ප්‍රධාන විපක්ෂ දෙක ම සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගි නොවන බව මේ වන විටත් දැනුම් දී අවසන්.

මේ අතර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන හිටපු අමාත්‍යවරුන් ද මීට පෙර දැනුම් දුන් පරිදි සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගි නොවනු ඇති.

මෙම සර්ව පාක්ෂික සමුළුව පැවැත්වීමට යෝජනා වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙනි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *