මුදල් අච්චු ගැසීම නතර නොකලහොත් රට පාලනය කළ නොහැකි ‘ජවන උද්ධමනකාරී’ තත්ත්වයට යොමු වීම වැළැක්විය නොහැකියි

මුදල් අච්චු ගැසීම නතර නොකලහොත් රට පාලනය කළ නොහැකි ‘ජවන උද්ධමනකාරී’ තත්ත්වයට යොමු වීම වැළැක්විය නොහැකියි

*********************************************

මුදල් අච්චු ගැසීම නතර නොකලහොත් රට පාලනය කළ නොහැකි ‘ජවන උද්ධමනකාරී’ තත්ත්වයට යොමු වීම වැළැක්විය නොහැකියි – ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවයි.

(21.03.2022 – 10:15 +0530 – hirunews.lk/sinhala)

රජය පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ආධාරක වැඩසටහනක් සඳහා ඉල්ලුම් කරමින් විධිමත් ඉල්ලීමක් යවා ඇති බව වාර්තා වනවා.

භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යොමුකර ඇති ලිපිය මගින් ඉල්ලා ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අප්‍රේල් මස මැද භාගයේ ඇමරිකාවේ වොෂින්ටන් ඩීසී වෙත පැමිනෙන අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආධාර වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම්ට රජයේ සුදා සූදානම් බවයි.

මෙම ලිපිය හරහා ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අදාළ රැස්වීම් සඳහා ඉල්ලීම් ද භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සිදු සිදුකර ඇති අතර, ඊට අමතරව මෙම සංචාරය අතර තුරදී මුදල් අමාත්‍යවරයා ලෝක බැංකු නිලධාරීන් හමු වී වීමේ සූදානමක් ද ඇති බව වාර්තා වනවා

භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු කරන ලද මෙම ලිපිය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර හරහා යොමු කර ඇති බවටයි ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා සිදුකල විශේෂ ප්‍රකාශයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිය රජය සාකච්ඡාවන්ට එළැඹීමට අදහස් කර ඇති බව ප්‍රකාශ කළා.

ඒ මෙරට දින තුනක (3) සංචාරයක නිරත වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු සහ පැසිෆික් කලාපයේ විධායක අධ්‍යක්ෂවරයා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුවයි.

“එම සාකච්ඡා හරහා අපගේ වාර්ෂික ණය වාරික, ස්වෛරීත්ව බැඳුම්කර යනාදිය ගෙවීමට ක්‍රමයක් සොයා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මා කළ සාකච්ඡාවලින් අනතුරුව එහි වාසි සහ අවාසි පිළිබඳව සොයා බලා ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට මම තීරණය කළා” යැයි ජාතිය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මෙම ලිපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත්තේ එම ප්‍රකාශයෙන් අනතුරුවයි.

කෙසේ වෙතත් මහ බැංකු අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් තනතුරු භාර ගැනීමෙන් අනතුරුව ඔහු දිගින් දිගටම ප්‍රකාශ කරනු ලැබුවේ මතුව ඇති මූල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා දේශීය ක්‍රමෝපායන් භාවිතා කරමින් පිළිතුරු සෙවිය යුතු බවටයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් මූල්‍ය අරමුදල වෙත නොගොස් සිය ගැටළු විසඳා ගැනීමට හැකියාව ඇති බවත් ඔහු දිගින් දිගටම ප්‍රකාශ කළා.

ඒ අනුව ඔහු මහබැංකු අධිපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථීක සැලසුම් සම්බන්ධයෙන් සය මාසික මාර්ග දැක්මක්ද ඉදිරිපත් කළා.

කෙසේ වෙතත් එම මාර්ග දැක්මේ ඉදිරිපත් කළ කිසිදු ඉලක්කයක් මේ වනතුරු සපුරාගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට හැකියාව ලැබී නැහැ.

ශ්‍රී ලංකාව මේ වසරේ අග භාගය වනවිට තවත් ඩොලර් බිලියන 7 ක විදෙස් ණය ප්‍රමාණයක් ගෙවීමට සිදුව ඇති අතර 2023 සහ 2026 වර්ෂ අතර ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තරයට ගෙවිය යුතු මුළු ණය වාරික ප්‍රමාණය ඩොලර් බිලියන 25 කට අධිකයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂ ජෙරී රයිස් කියා සිටියේ ශ්‍රී ලංකාව පැහැදිලිවම දිනෙන් දින වැඩිවන ආර්ථික ගැටලු කරා මුහුණ දෙමින් සිටින රාජ්‍යයක් බවයි.

දිනෙන් දින උග්‍ර වන ආර්ථික ගැටළු විසඳාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා වන විශ්වසනීය උපායමාර්ගයක් ‍ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවක් ඇති බවත් ඔහු අවධාරණය කළා.

මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජෙරී රයිස් කියා සිටියේ තමන්ට ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ ම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළි කළ නොහැකි බවයි.

“නමුත් ශ්‍රී ලංකාව සඳහා ඇති සියලු විකල්ප සාකච්ඡා කිරීමට අපි සූදානම් බව මට ඔබට පැවසිය හැකිය” යනුවෙන් ඔහු මෙම මාධ්‍ය හමුවේ දී කියා සිටියා.

මේ අතර ශ්‍රී ලංකාව මේ වන විට සිදුකරන පාලනයකින් තොර මුදල් මුද්‍රණය හේතුවෙන් මෙරට ‘අතිධාවන උද්ධමනයක’ ට මුහුණ දී ඇති බව ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවනවා.

කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ මෙම මුදල් මුද්‍රණය පාලනයට පියවර නොගත හොත් නුදුරු අනාගතයේ දීම ශ්‍රී ලංකාව තුළ ‘ජවන උද්ධමනකාරී’ තත්ත්වය ඇතිවීම වැළැක්විය නොහැකි බවයි.

දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ ඇතිවූ උද්ධමනයට සමාන ‘අතිධාවන උද්ධමනයක්’ මේ වන විට රට තුල පවතින බවත් උද්ධමනය 20% ඉක්මවූ විට විධිමත් පාලනයකට නතු කර නොගන්නේ නම් එය 100%, 200% ඉක්මවන ‘ජවන උද්ධමනය’ ක් බවට පත් වන බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 පෙබරවාරි 28 සිට මාර්තු 18 දක්වා රු. මිලියන 1,88,610 ක් මුද්‍රණය කර ඇති අතර එය සාමාන්‍යයෙන් සෑම දවසකටම රු. ලක්ෂ 99,268 ක් බැගින් අච්චු ගැසීමක්.

කෙසේ වෙතත් මෙම තත්ත්වය සාධාරණීකරණය කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා විසින් වරින් වර මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේ මුදල් මුද්‍රණය හරහා බඩු මිල වැඩි නොවන බවයි.

කෙසේ වෙතත් අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපති තනතුරට පත්වීමෙන් පසු පමණක් රු. ලක්ෂ 41,56,100 ක් මුදලක් මුද්‍රණය කර තිබෙනවා.

පසුගිය සිකුරාදා (18) මුද්‍රණය කළ රු. ලක්ෂ 5,59,500 ක මුදලත් සමඟ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව අද දක්වා (2020 ජනවාරි සිට 2022 මාර්තු 21 දක්වා) මුද්‍රණය කර ඇති මුළු මුදල රු. මිලියන දාසය ලක්ෂ විසි පන්දහස් දෙසිය හතලිහ (රු. මිලියන 16,25,240) ක්.

එය 1952 වසරේ සිට 2020 දක්වා වසර 62 ක් තුල සියලු රජයන් මුද්‍රණය කළ මුදල මෙන් 23 ගුණයක්.

මේ රජය බලයට පත්වූ විගස සිදුකළ බදු අයකිරීමේ ක්‍රමවේදයේ වෙනස හරහා රටේ ඉහළම පෙළේ ව්‍යාපාරික පැලැන්තියට ඉතා විශාල ප්‍රමාණයේ බදු සහනයක් හිමි වූ අතර ඒ හරහා රජයට අහිමිව ගිය ආදායම බිලියන ගණනාවක්.

මේ හේතුවෙන් රටේ ප්‍රමුඛතම දේශීය ආදායම් මාර්ගයක් බිඳ වැටුණු අතර ඒ හරහා මහ බැංකුවේ මුදල් ප්‍රමාණයන් සීඝ්‍ර ලෙස පහත් වැටීම ද සිදු කෙරුණා.

ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාව 1980 දශකයේ ආජන්ටිනාව, බ්‍රසීලය ආදී රටවල දක්නට ලැබුණු ආකාරයේ ‘අතිධාවන උද්ධමනයකට‘ මුහුන දෙමින් සිටින බවත් ඉන්දුනීසියාව, සිම්බාබ්බේ රාජ්‍යයන් හි මුල්‍ය අර්බුදයේ මුලික ස්වරූපය ලංකාවේ මේ වන විට දකින්නට ඇති බවත් ය ෴

***************************************

යතුරුපැදි අනතුරකින් රුසියානු ජාතික කාන්තාවක් මරුට

(21.03.2022 – 07:34 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (20) සවස ගාල්ල අහංගම ප්‍රදේශයේ සිදු වූ යතුරු පැදි අනතුරක් හේතුවෙන් මෙරට සංචාරයක නිරතව සිටි රුසියානු ජාතික කාන්තාවක් මියගොස් තිබෙනවා.

ගාල්ල – මාතර මාර්ගයේ අහංගම නගරයේ දී මාතර දෙසට ධාවනය වූ යතුරු පැදියක් ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයකට ඉස්සර කිරීමට උත්සාහ කිරීමේ දී එම ලොරි රථයටම යට වී අදාල යතුරු පැදිය පැදවූ රුසියානු ජාතික කාන්තාව මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

38 හැවිරිදි මෙම කාන්තාවගේ ශරීරය මේ වන විට කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර එම මෘත ශරීරය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඉදිරියේදී ගන්නා බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ලොරි රථ රියදුරුගේ අපරීක්ෂාකාරී නොසැලකිලිමත් රිය පැදවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන අතර අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා ෴

***************************************

මාලබේ නිවසකට පැන රන් භාණ්ඩ කොල්ලකා මනුෂ්‍ය ඝාතනයක් ද සිදු කළ සැකකරුවන් කොටුවෙයි

(21.03.2022 – 08:01 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 16 වැනි දා මාලඹේ තලාහේන සිසිලපුර ප්‍රදේශයේ විශ්‍රාමික අඹුසැමි යුවලක් සිටින නිවසකට පැන රන් භාණ්ඩ කොල්ලකා පුද්ගල ඝාතනයක් සිදු කර කර පළා ගිය පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශය සමත්වී තිබෙනවා.

අදාල කොල්ලකරුවන් දෙදෙනා (2) මාර්තු මස 16 වන දින උදෑසන 09:30 ට පමණ මෙම නිවසට පැමිණ එහි හිමිකරුවන්ගේ අත් පා බැඳ නිවසේ තිබූ රන් භාණ්ඩ සහ මුදල් සොරකම් සිදුකර ඇති බවටයි පොලීසිය පවසන්නේ.

මෙහිදී ඇතිවූ ගැටුම හේතුවෙන් අසූ (80) හැවිරිදි පුද්ගලයෙකු මියගිය අතර ඔහුගේ මරණයට හේතුව කොල්ලකරුවන් සමග පොර බැඳීමේ දී ඇතිවූ සංකූලතාවක් බවයි වාර්තා වන්නේ.

බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශය මෙම සිද්ධි සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් අනතුරුව මෙම කොල්ල කෑමේ සිද්ධිය සහ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 25 ත් අවුරුදු 47 අතර අතරේ පසුවන කැලණිය සහ බොරැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

මීට අමතරව ඔවුන් මෙම නිවසින් සොරාගත් රන් භාණ්ඩ උගස් කරන ලද පුද්ගලයෙකුද ඊයේ (20) දින උදෑසන එම කොල්ල කන ලද රන් භාණ්ඩ ද සමගින්ම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අද (21) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදු කරනවා ෴

***************************************

ගත වූ පැය 24 තුල මහමගට ජීවිත හතක් (7) බිලිවෙයි

(21.03.2022 – 08:36 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් හත් (7) දෙනෙකු මිය ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ අතරින් හය (6) දෙනෙකුම යතුරු පැදිකරුවන් වීම විශේෂත්වයක්.

ඊයේ (20) රාත්‍රී කාලයේදී මාවනැල්ලේ පොලිස් වසමේ දාස්වත්ත වැලිගල්ල ප්‍රදේශයේ මාවනැල්ල දෙසට ගමන් ගත් යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.

මෙම අනතුරින් එහි ගමන් ගත් යතුරු පැදිකරු හා පසු පැදි කරුවන් දෙදෙනෙකු (2) බරපතල තුවාල ලබා මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරු පැදිකරු හා එක් (1) පසු පැදි කරුවකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22 ත් 23 ත් අතර වයසේ පසුවූ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක් (2).

මෙම යතුරුපැදිකරු පසු පැදි කරුවන් දෙදෙනකු (2) ද නංවාගෙන අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කිරීමේ හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බව මාවනැල්ල පොලීසිය පවසනවා.

මේ අතර මුල්තිව් වඩුක්කෝට්ටෙයි ප්‍රදේශයේ මුලෙය් මාවඩ්ඩි මාර්ගයේ මාවඩ්ඩි දෙසට ධාවනය වූ යතුරු පැදියක් විරුද්ධ දිශාවෙන් පැමිණි තවත් යතුරු පැදියක ගැටී සිදු වූ අනතුරක් හේතුවෙන් එක් යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති බව වඩුක්කෝඩෙයි පොලීසිය පවසනවා.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් යතුරු පැදිකරු යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු හතළිස් නවයක් (49) වූ කරෙයිණගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ෴

***************************************

කළකිරීමෙන් බව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කියයි

(21.03.2022 – 09:32 +0530 – hirunews.lk/sinhala)

වර්තමානයේ බොහෝ දේශපාලනඥයින් සිටින්නේ කණස්සල්ලෙන් බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුව – පුලතිසි බුද්ධි මණ්ඩපයේ ඊයේ (20) පැවති උත්සවයකට එක්වෙමින්.

මේ අතර, ජනතා ප්‍රශ්න උග්‍ර වුවහොත් තවදුරටත් දේශපාලනයේ නිරතවීමේ ඵලක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ කොළඹ ඊයේ (20) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා ෴

***************************************

කේරළ ගංජා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

(21.03.2022 – 11:44 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.ජේ. සිල්වෙස්ටර් විජේසිංහ මහතාට ලද තොරතුරකට විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ දෙවන කදවුර අණදෙන නිලධාරී .

පොලිස් පරික්ෂක . එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.03.20 වන දින රාගම පොලිස් වසමේ අංක 856, දම්මසිද්දි මාවත, අම්බලම හන්දිය, රාගම ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී පැය 1935 ට කේරළ ගංජා ග්‍රෑම් 605 ක් හා ජාවාරමින් උපයාගත් මුදල් රුපියල් 1,40,200 ක් සන්තකයේ තබාගෙන සිටි රාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

***************************************

චීන තානාපති කාර්යාලයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්

(21.03.2022 – 11:56 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ චීන තානාපති කුයි ෂැං හොං (Qi Zhenhong) සහභාගීවන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මේ වන විට කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක දී පැවැත්වෙනවා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී චීන ශ්‍රී ලංකා ආර්ථික සහ දේශපාලනික සම්බන්ධතා මෙන්ම මෙරට ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ද අදහස් දැක්වුනා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ඇතුළු පිරිසක් එක්ව සිටියා.

පසුගිය කාලසීමාව තුළ දී ශ්‍රී ලංකාව සහ චීනය අතර පැවති රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවල යම්කිසි දුරස් වීමක් දක්නට ලැබුණු අතර දේශපාලන විශ්ලේෂකයින් මෙම තත්ත්වය විග්‍රහ කරනු ලැබුවේ චීනයෙන් ආනයනය කරන ලද කාබනික පොහොර නෞකාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගත් පියවර සහ කොළඹ මහනුවර අධිවේගී මාර්ගයේ ගලගෙදර කොටස සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කළ චීන සමාගමට එම ටෙන්ඩරය ලබා නොදීම සම්බන්ධයෙන් ඇතිවූ අමනාපකම් මෙම තත්ත්වයට හේතු පාදක වන්නට ඇති බවයි.

මේ හැරුණු විට රජය මේ දිනවල ඉන්දීය රජය සමග පවත්වාගෙන යනු ලබන දැඩි මිත්‍ර සම්බන්ධතාව ද චීනය සමග ඇති ඇයි හොඳයිකම් පලුදු කිරීමට යම් තරමකින් බලපෑමක් සිදුකර ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවට වැඩිම විදෙස් ණය ආධාර ප්‍රමාණයක් ලබා දී ඇති රට වන්නේට වන්නේද චීනයයි. අවස්ථා ගණනාවක දී මෙරට විවිධ සංවර්ධන කටයුතු සඳහා චීනය විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 16 කට අධික මුදලක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා.

“ශ්‍රී ලංකාව සහ චීනය ඉතා හොඳ මිතුරන්. අර්බුදකාරී අවස්ථාවක චීනය මිතුරන් අත්හරින්නේ නැහැ. ලෝක ශ්‍රේණගත කිරීම්වල ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පහළ දමා තිබුණත් චීනය ශ්‍රී ලංකාව ගැන තබා ඇති විශ්වාසය අඩු වී නැහැ. 2020 සිට ශ්‍රී ලංකාවට චීනය ඩොලර් බිලියන 2.8 ක මූල්‍ය ආධාර ලබා දී තිබෙනවා ඇති වී තිබෙන ආර්ථික අර්බුදවලින් ගොඩ එන්න. ඒ අතරට ඩොලර් බිලියන 1.5 ක මුල්‍ය හුවමාරුවත් (currency swap) ඇතුළත්. ඒ වගේම චීනය එරට පෞද්ගලික අංශය දිරි ගන්නවනවා ලංකාවේ ආයෝජන ඉහළ නංවන හැටියට. විශේෂයෙන්ම පෝට් සිටියේ සහ හම්බන්තොට වරායේ” මෙහිදී අදහස් දක්වමිනි චීන තානාපති කුයි ෂැං හොං (Qi Zhenhong) කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චීන තානාපතිවරයා කියා සිටියේ දෙරට අතර අත්සන් කිරීමට නියමිත නිදහස් වෙලෙඳ ගිවිසුමෙන් චීනය අහිතකර වාසි ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේදී දුෂ්කරතාවන්ට මුහුණ දීමට ඉඩ නොතබන බවද ඔහු පැවසුවා.

දෙරට අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ දැයි කළ විමසීමේදී තානාපතිවරයා පැවසුවේ මූල්‍යමය කාරණා සම්බන්ධයෙන් දෙරට අතර ඉතා පැහැදිලි නිරවුල් අවබෝධයක් ඇතිව කටයුතු කරමින් සිටින බවයි.

***************************************

ශ්‍රී ලංකාව චීනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.5 ක දැවැන්ත ණයක් ඉල්ලයි

(21.03.2022 – 14:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 ක ණය මුදල ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදුවන බව චීන තානාපතිවරයා පවසනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොංග් (Qi Zhenhong) මේ අදහස් පළ කළේ අද (21) කොළඹ දී පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී.

මෙම ණය මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 1.5 ක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම සඳහා ඉල්ලා ඇති අතර අනෙක් අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල ඉල්ලා ඇත්තේ අනෙකුත් වියදම් පියවා ගැනීම සඳහා යි.

එමෙන්ම මේ වන විට චීන රජය විසින් ශ්‍රී ලංකාවේ සිදු කර ඇති අනෙකුත් දැවැන්ත ආයෝජන සම්බන්ධයෙන් ද මෙහි දී අදහස් පළ කෙරුණා.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොංග් (Qi Zhenhong) කියා සිටියේ කොළඹ වරාය නගරය තුළ මේ වන විටත් ඇමරිකානු ඩොලර් බිලියන 1.05 ක මුදලක් චීන ව්‍යාපාරිකයින් විසින් ආයෝජනය කර ඇති බවයි.

එමෙන්ම හම්බන්තොට කාර්මික කලාපයේ චීන සමාගම් 43 ක් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ගිවිසුම් අත්සන් කර ඇති බවත් ඔහු සඳහන් කළා.

මෙහි දී චීන ආයෝජකයින් විසින් උතුරේ ඉදිකිරීමට සැළසුම් කළ පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘතිය අත්හිටුවීමට ගත් තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු සිදු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ, ඉන්දියාව සහ චීනය ආසියානු කලාපයේ ආර්ථික බලවතුන් වන බැවින් මෙම රටවල් දෙක (2) ම ශ්‍රී ලංකාවේ ආයොජනය කිරීමට පෙළඹී සිටින බවයි.

මෙවැනි සංවර්ධන කටයුතුවල දී කිසිදු රටක් සමග තරගකාරී තත්ත්වයක් ඇති කර ගැනීම චීන රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම උතුරේ සහ නැගෙනහිර කලාපයේ චීන ආයෝජනවලින් ශක්තිමත් වන සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඔහු කියා සිටියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *