පෙට්‍රල් පෝලිමේ බහින් බස් වීමකින් යතුරු පැදිකරු මරුට

පෙට්‍රල් පෝලිමේ බහින් බස් වීමකින් යතුරු පැදිකරු මරුට

*********************************************

පෙට්‍රල් පෝලිමේ බහින් බස් වීමකින් යතුරු පැදිකරු මරුට

(21.03.2022 – 07:15 +0530 – hirunews.lk/sinhala)

නිට්ටඹුව හොරගොල්ල ඉන්ධන පිරවුම් හලේ පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිමේ රැදී සිටි යතුරු පැදිකරුවෙකු සහ ත්‍රිරෝද රථ රියදුරකු අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව ත්‍රීරෝද රථ රියදුරු විසින් එල්ල කරන ලද තියුණු අවි ප්‍රහාරයක් හේතුවෙන් යතුරු පැදිකරු මියගොස් ඇති බව නිට්ටඹුව පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ විසි නව (29) හැවිරිදි තරුණයෙකුයි.

පෙට්‍රල් පෝලිමේ රැඳී සිටි මේ දෙදෙනා (2) අතර අදාළ බහින්බස් වීම ඇතිවී තිබෙන්නේ පෝලිම පැනීමක් සම්බන්ධයෙන්.

සිද්ධි සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+++++++

හොරගොල්ල පිරවුම්හල අසළදී යතුරුපැදිකරුවෙකු ඝාතනය කළ ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට

(21.03.2022 – 14:20 +0530 – hirunews.lk/sinhala)

නිට්ටඹුව – හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසළදී බහින්බස්වීමක් දුරදිගයාමෙන් සිදුවූ පුද්ගල ඝාතනයට අදාළ ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රදේශයෙන් පලායාම සඳහා ඇඳුම් බෑගයක්ද රැගෙන යමින් සිටියදී නිට්ටඹුව නගරයට ආසන්නයේදී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (20) පස්වරුවේ නිට්ටඹුව – හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසළදී ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු සහ ත්‍රිරෝද රථ රියදුරෙකු අතර බහින්බස්වීමක් සිදුව තිබුණා.

පසුව ත්‍රිරෝද රථ රියදුරු විසින් ඉන්ධන ලබාගෙන පැමිණි යතුරුපැදිකරුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක්. සිද්ධිය සිදුවන අවස්ථාවේ ඔහු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට පොලිසිය සැක කරනවා ෴

++++++++++++++

දුම්රිය ගාස්තු ගැන අදත් (21) සාකච්ඡා

(21.03.2022 – 09:01 +0530 – hirunews.lk/sinhala)

ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ලබාදුන් වාර්තාව පිළිබද සාකච්ඡාවක් අද (21) පැවැත්වීමට නියමිතයි. ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ එහිදී ඉන්ධන පිරිවැය පියවා ගැනීම සදහා වූ මිල සංශෝධනයකට යාමට අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත්, දුම්රිය ගාස්තු සංශෝධනය නුදුරේදීම සිදුනොවනු ඇති බවයි ඔහු කියා සිටියේ ෴

++++++++++++++

ඉන්දියාවෙන් ලැබුණු පළමු ඩීසල් තොගය කොළොන්නාවට

(21.03.2022 – 09:18 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පළමු ඩීසල් තොගය රැගත් නෞකාව ඊයේ (20) රාත්‍රියේ කොළඹ වරායට ළඟා වුණා. ඩීසල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් එම නෞකාවේ ඩීසල් තොග ඊයේ (20) රාත්‍රියේම කොළොන්නාව නිමාව වෙත ගොඩබෑමේ කටයුතු ආරම්භ කළ බවයි ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා කියා සිටියේ.

අදාළ ඉන්ධන තොග කඩිනමින් දුම්රිය යොදා ගනිමින් පිට පළාත් වෙත ප්‍රවාහනය කිරීමට කටයුතු කරන අතර ඒ සමග පිරවුම්හල් ආශ්‍රිතව පවතින පෝලිම් පහව යනු ඇති බවටයි බලශක්ති අමාත්‍යාංශය විශ්වාසය පළ කරන්නේ.

එසේම තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 20,000 ක් රැගත් නෞකාවක් ඉදිරි දින දෙක (2) ඇතුළත ගොඩබෑමට නියමිතව ඇති බව ද වාර්තා වනවා.

පෙට්‍රල් තොග අවශ්‍ය ප්‍රමාණයට සංස්ථාව සතුව පවතින අතර, කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලට බවුසර් රථ යොදා ගනිමින් ඉන්ධන ප්‍රවාහනය කිරීමට කටයුතු කරනු ඇති.

එමෙන්ම බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඊයේ (20) රාත්‍රියේ සිට යළිත් වසා දැමීමට පියවර ගැනුනා. මීට පෙරද අවස්ථා දෙකකදී (2) සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුණේ ප්‍රමාණවත් තරම් බොරතෙල් නොමැතිවීම හේතුවෙන්.

අද (21) දිනයේ ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා (P-W) කලාපවලට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය අතරතුර පැය දෙකයි (2) මිනිත්තු 40 කුත්, පස්වරු 5 සිට රාත්‍රී 10.30 දක්වා පැය එකයි (1) මිනිත්තු 50 කුත් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. ඊට අමතරව ‘ඒ’ සිට ‘එල්’ දක්වා (A-L) කලාපවලට පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැය තුනයි (3) මිනිත්තු 20 ක් සහ පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා පැය එකයි (1) මිනිත්තු 40 ක් විදුලිය කප්පාදු කිරීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතරගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් රැගත් තවත් නෞකාවක් අද (21) දිවයිනට පැමිණීමට නියමිතයි. ඊට අදාළ ගෙවීමේ කටයුතු ලිට්රෝ සමාගම විසින් සිදුකර ඇති අතර, අද (21) දිනයේදීත් ලිට්රෝ සමාගම විසින් සිය නිෂ්පාදන වෙළදපොළට නිකුත් කරනවා. කෙසේ වෙතත්, ඊයේ (20) දිනයේත් ගෑස් ලබා ගැනීම සඳහා ජනතාව පෝලිම්වල රැදී සිටින ආකාරය දක්නට ලැබුණා ෴

++++++++++++++

නැවට සල්ලි ගෙවන්න බැරි වුනොත් නැවතත් ගෑස් හිඟයක්

(21.03.2022 – 12:02 +0530 – hirunews.lk/sinhala)

සිය සමාගම සතුව පවතින ගෑස් තොග අද (21) දිනය තුළ අවසන් වන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

මේ වන විට කොළඹ වරාය ආසන්නයට පැමිණ ඇති ගෑස් තොග රැගත් නෞකාව ට මුදල් ගෙවීමට අද (21) දිනය තුළ නොහැකි වුවහොත් නැවතත් රට තුළ ගෑස් හිඟයක් ඇති වන බවයි ලිට්රෝ සමාගම පවසන්නේ.

සාමාන්‍යයෙන් මාසකට කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ විස්සක් (20,00,000) පමණ අවශ්‍ය වුවද මාර්තු මාසයේ මේ දක්වා ලැබී ඇත්තේ ගෑස් සිලින්ඩර ලක්ෂ හතරක් (4,00,000) පමණක් බවත් එම සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

සාමාන්‍යයෙන් දින තුනකට (3) වරක් ගෑස් තොග රැගත් නෞකාවක් මෙරටට පැමිණෙන අතර එලෙස මාසයකට පැමිණෙන ගෑස් සහිත නෞකා සංඛ්‍යාව දහයක් (10).

එසේ වුවත් රටේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දින තුනකට (3) වරක් පැමිණෙන එවැනි නැවකට ගෙවීම් කිරීමට තරම් ඩොලර් සිය සමාගමට නොලැබෙන බවත් එම ප්‍රකාශකයා පවසා සිටියා.

මේ අතර ලාෆ් ගෑස් සමාගමට සමානුපාතිකව ලිට්රෝ ගෑස් මිල ද ඉහල දැමීමේ අවශ්‍යතාවක් ඇති බවත් සාමාන්‍යයෙන් මේ වන විට ලිට්රෝ සමාගම කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් සඳහා රුපියල් 4662 ක මුදලක් වැය කරන බවත් ඔහු කියා සිටියා.

ඒ අනුව ඔහු ඉඟි කර සිටියේ අවම තරමින් ලාභ ලබා ගැනීම පසෙක තබා වැය වන මුදල ප්‍රතිපූර්ණය කර ගැනීමට හෝ ගෑස් මිල ඉහල දැමිය යුතු බවයි.

බොහෝ විට එලෙස සිදු කෙරෙන මිල ඉහළ දැමීමක් ලාෆ් ගෑස් සමාගමේ මිල හා සමාන වීමට ඉඩ ඇති බවත් ඔහු කියා සිටියා ෴

++++++++++++++

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 280 දක්වා ඉහළට

(21.03.2022 – 13:43 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍රලාභී වානිජ බැංකු විසින් ඩොලරයේ විකුණුම් මිල රුපියල් 280 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

මෙම තත්ත්වයත් සමඟ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහල යාම ඇතුළු මෙරට ආර්ථික කටයුතුවලට තවදුරටත් බලපෑම් එල්ල වනු ඇති.

දිවයින පුරා ගෑස් බෙදා හැරීම යම් මට්ටමකට සිදු වුව ද තවමත් එය පාරිභෝගික අවශ්‍යතාවය සපුරා ලීමට ප්‍රමාණවත් වී නැහැ.

ලිට්රෝ සමාගම පවසන්නේ මීට දින පහකට (5) පෙර මෙරටට ගොඩබෑ ගෑස් මෙට්‍රික් ටොන් 3500 තොගය මේ වනවිට අවසන්ව ඇති බවයි.

කෙසේ වෙතත් අද (21) දිනයේ එම සමාගම සිලින්ඩර් 80,000 ක් වෙළඳපොළට නිකුත් කළා.

ලිට්රෝ සමාගම මඟින් ඔහුගේ ප්‍රධාන ගෑස් සැපයුම්කරු වන ඕමාන් සමාගමෙන් ආනයනය කළ තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් රැගත් නෞකාවක් අද (21) මෙරටට ලඟා වීමට නියමිතව තිබෙනවා.

යම් හෙයකින් මෙම නෞකාවේ ගෑස් තොග ගොඩබෑම ප්‍රමාද වුව හොත් ගෑස් හිඟය තවදුරටත් උග්‍ර විය හැකියි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ලිට්රෝ සමාගමෙන් විමසීමක් කළ අතර එම සමාගම පවසන්නේ අදාළ නෞකාවට ගෙවීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය මේ වනවිට තමන් වෙත ලැබී ඇති බවයි.

ඒ අනුව මෙම නෞකාවේ අඩංගු ගෑස් අද (21) හෝ හෙට (22) ගෙඩබෑම සිදු කරන බව ලිට්රෝ සමාගම පවසනවා.

මේ අතර අද (21) දිනයේත් ගෑස් නොමැති වීමෙන් ජනතාව දිගු පෝළිම් වල රැදී සිටින අයුරු නිරීක්ෂණය වුණා.

මහරගම – නාවින්න ප්‍රදේශයේ පිරිසක් හයිලෙවල් මාර්ගය විනාඩි 15 ක පමණ කාලයක් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූයේ ගෑස් නොමැතිවීමට විරෝධය පළ කරමින්.

මේ අතර ඉන්ධන නොමැති වීමෙන්ද ජනතාව තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

නිට්ටඹුව – හොරගොල්ල ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු ඝාතනය කළ ත්‍රිරෝද රථ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රදේශයෙන් පලායාම සඳහා ඇඳුම් බෑගයක්ද රැගෙන යමින් සිටියදී නිට්ටඹුව නගරයට ආසන්නයේ දී ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර මීරිගම නගරයේ ඉන්ධන පිරවුම්හලක් වෙත ඉන්ධන ලබාගැනීමට පැමිණි 76 හැවිරිදි පුද්ගලයෙකු අද (21) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වුණා.

කඩවත සහ මහනුවර ප්‍රදේශවලදී ද මීට පෙර ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයින් හදිසියේ ඇතිවූ අසනීප තත්ත්ව හේතුවෙන් මියයාමේ පුවත් වාර්තා වුණා.

එමෙන්ම වාද්දූව මන්සන්ධියේ ගෑස් අලෙවිසැලක් ඉදිරිපිට පෝලිමක රැදී සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු අද (21) පෙරවරුවේ සිහිසුන් ඇද වැටීමෙන් පානදුර රෝහලට ඇතුළත් කර තිබුණා.

බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ ඉදිරි සති තුනක (3) කාලසීමාවක් සඳහා තවත් ඉන්ධන මෙට්‍රික් ටොන් 90,000 ක් මෙරටට ආනයනය කර ඇති බවයි ෴

++++++++++++++

ඉන්ධන පෝලිමේ සිවු (4) වැනි මරණයත් වාර්තා වේ

(21.03.2022 – 14:03 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන පෝලිම්ක සිටිය දී මියගිය සිවුවැනි (4) පුද්ගලයාගේ මරණය අද (21) වාර්තා වූයේ මීරිගම ප්‍රදේශයෙන්.

මීරිගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට පැමිණි පුද්ගලයෙකු තමන් ලබාගත් ඉන්ධන බූලි ත්‍රී රෝද ‍රථයකට පැටවීමට උත්සාහ කිරීමේ දී ඔහු පිරවුම්හල් පරිශ්‍රය තුළ ම ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය පුද්ගලයා ඉන්ධන බූලි තුනක් (3) රැගෙන පිරවුම්හලට පැමිණ ඇති අතර ඉන්ධන පුරවා ගැනීමෙන් අනතුරු ව එයින් දෙකක් (2) ත්‍රිරෝද රථයට පටවා තුන්වැනි (3) ඉන්ධන බූලිය පැටවීමට යාමේ දී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ.

මෙලෙස ඉන්ධන පිරවුම්හල් පරිශ්‍රය තුළ ඇදවැටුණු පුද්ගලයා වහාම මිරිගම රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී ඔහු මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ මීරිගම ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය සඳහන් කළා.

මේ වන විට ඉන්ධන පෝලිම් ආශ්‍රිතව මරණ හතරක් (4) වාර්තා වන අතර ඉන් තුනක්ම ඉන්ධන පෝලිමේ රැඳී සිටිය දී ඇදවැටීමෙන් සිදු වූ මරණ වන අතර එක් (1) මරණයක් සිදු වූයේ ඉන්ධන පෝලිමක ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් සිදු වූ තියුණු අවි ප්‍රහාරයක් හේතුවෙන් ෴

++++++++++++++

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට

(21.03.2022 – 14:27 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිලෙහි ඉහළ යෑමක් අද (21) දක්නට ලැබුණු අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 3 කින් පමණ ඉහළ ගොස් සටහන් වූයේ ඩොලර් 111.37 ක් ලෙසයි.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 108.24 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

++++++++++++++

කනක හේරත්ට ගෑස් සිලින්ඩර ප්‍රහාරයක්

(21.03.2022 – 15:53 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්ට ගෑස් පෝලිමක රැඳී සිටි ජනතාවගෙන් බරපතළ විරෝධයක් එල්ල වී තිබෙනවා.

අද (21) උදෑසන මෙම සිදුවීම හටගෙන ඇත්තේ කෑගල්ල රංවල අලුත් පාර හංදිය ආසන්නයේ දීයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමේ ප්‍රධාන නියෝජිතයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් අද (21) උදෑසන කෑගල්ල රංවල හන්දිය පසුකර යාමේ දී ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටි ජනතාව ඔහු ගමන් ගත් රථයට විරෝධය දක්වා තිබෙනවා.

මෙහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රථය නොනවත්වා ධාවනය කිරීමට උත්සහ දරා ඇති අතර එහි දී ගෑස් පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු ඔහු අත තිබූ ගෑස් සිලින්ඩරයකින් එම රථයට පහර දුන් බවයි වාර්තා වන්නේ.

දැනට දශක දෙකක (2) පමණ කාලයක් පුරා කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගෑස් අලෙවි නියෝජිතවරයා වන කනක හේරත් හට කෑගල්ල දිස්ත්‍රික්කය පුරා ගෑස් බෙදාහැරීමේ නියෝජිත ආයතන ද රැසක් තිබෙනවා.

කෑගල්ල දිස්ත්‍රික්කයට ගෑස් ලබාදීමේ වගකීම ද ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මෙම ක්‍රියා කලාපයට උරනවූ ගෑස් පෝලිමේ සිටි පිරිස ඉන් අනතුරුව මාර්ගය හරස්කර විරෝධතාවයේ ද නිරත වූ බව සඳහන්.

මේ අතර ඉන් ටික වේලාවකට පසු එම ස්ථානය පසුකර යාමට පැමිණි කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක ද මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු වාර්තා වීමෙන් අනතුරුව ඔහුගේ ගමන් මාර්ගය වෙනස් කර එම ස්ථානය මගහැර ගිය බවටත් ප්‍රදේශ්වාසීන් චෝදනා කරනවා.

මේ වන විටත් දිවයින පුරා පවතින බරපතළ ගෑස් හිඟය මගහරවා ලීමට ගෑස් බෙදාහැරීමේ ආයතන සලැකිය යුතු කාර්ය භාරයක් තවමත් ඉටු කර නැහැ.

මේ හේතුවෙන් දිනපතා රටේ මහජනතාව විශාල වශයෙන් ගෑස් පෝලිම්වල එක්ව සිටින ආකාරය දැක ගත හැකියි ෴

++++++++++++++

අදත් (21) තැන තැන ඉන්ධන පෝලිම්

(21.03.2022 – 19:56 +0530 – hirunews.lk/sinhala)

විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවලට විදුලි බිල නො සිතූ අයුරින් ඉහළ යා හැකි බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

එය ජනතාවට දැරිය නො හැකි තත්ත්වයක් බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල්ද අද (21) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ විදුලි බිල වැඩිකිරීම පිළිබදව මේ වන විට විදුලි බල මණ්ඩලයේ සාකච්ඡා කෙරෙමින් පවතින බවයි.

මේ අතර, ඉන්ධන පෝලිම්වල රැඳී සිටියදී සිදුවූ තුන්වැනි (3) මරණයත් අද (21) පෙරවරුවේ මීරිගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මෙලෙස මියගොස් තිබුණේ ඉන්ධන ලබාගැනීම සඳහා මීරිගම සමූපකාර පිරවුම්හලට පැමිණි 76 හැවිරිදි මීරිගම – නාවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයා ඔහු විසින් රැගෙන ආ බුලි වලට ඉන්ධන පුරවා ගැනීමෙන් පසු ත්‍රීරෝදරියට පැටවීමට යාමේදි පිරවුම්හලේ දී ඇද වැටී ඇති අතර, ඔහු මීරිගම මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

මේ අතර, නිට්ටඹුව – හොරගොල්ල ඉන්ධන පිරවුම්හළේ පෝලිමේ රැඳී සිටි 29 හැවිරිදි යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත් කළ සැකකාර ත්‍රීරෝද රථ රියදුරු ඇඳුම් බෑගයක්ද රැගෙන ප්‍රදේශයෙන් පලායමින් සිටිය දී නිට්ටඹුව නගරයට ආසන්නයේදී අද (21) අත්අඩංගුවට ගැනුණා.

සැකකරු නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක්.

මේ අතර ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන ඩීසල් මෙටි‍්‍රක් ටොන් 35,000 ක් රැගත් පළමු නෞකාව ඊයේ (20) රාත්‍රියේ කොළඹ වරායට පැමිණි අතර තවත් ඩීසල් මෙටි‍්‍රක් ටොන් 20,000 ක් රැගත් නෞකාවක් ඉදිරි දින දෙක (2) ඇතුළත ගොඩබෑමට නියමිත බවයි වාර්තා වන්නේ.

පවතින ඉන්ධන අර්බුදය සදහා කඩිනම් විසදුම් සොයාගෙන ඇති බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධණ ප්‍රකාශ කළා.

ඒ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තිය සමිති සංවිධානය කර තිබු උත්සවයකට අද (21) එක්වෙමින්.

මේ අතර, පෙට්‍රල් තොග බවුසර් රථ යොදා ගනිමින් කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලට ඉන්ධන ප්‍රවාහනය කිරීමට කටයුතු යොදා තිබුණ ද ප්‍රදේශ රැසක පෙට්‍රල් හිඟයක් පවතින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

එහිදී ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා තිබුණේ ඉන්ධන තොග නොලැබීම හේතුවෙන්.

දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව අදත් (21) දිගු පෝලිම් දක්නට ලැබුණා.

මේ අතර, ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල තවදුරටත් ඉහළ යෑමක් අද (21) දක්නට ලැබුණු අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 3.76 කින් ඉහළ ගොස් සටහන් වූයේ ඩොලර් 111.70 ක් ලෙසයි.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 108.70 දක්වා ඩොලර් 4 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා ෴

++++++++++++++

ගෑස් ඉල්ලා ප්‍රදේශ කිහිපයක විරෝධතා

(21.03.2022 – 20:00 +0530 – hirunews.lk/sinhala)

මෙරට බහුතර පාරිභෝගික පිරිසක් භාවිත කරන ලිට්රෝ ගෑස් මිල ද වැඩි කරනු ඇතැයි විවිධ මත ප්‍රචාරය වන පසුබිමක් තුල අදත් (21) ගෑස් ලබා ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම් වල රැදී සිටින ආකාරයක් දක්නට ලැබුණා.

පෝලිම්වල රැදී සිටි ඇතැම් පිරිස් කලහකාරීව හැසිරුණේ අලෙවි නියෝජිතයන් සතුව තිබූ ගෑස් අවසන් වීම නිසා හිස් අතින් ආපසු යාමට සිදුවීම හේතුවෙන්.

අලුත්ගම – දර්ගා නගරයෙන් ද එවැනි සිදුවීමක් වාර්තා වුණා.

එමෙන්ම රත්ගම ප්‍රදේශයේ ද 300 ක පමණ පිරිසකට පමණක් ගෑස් ලබා දීමත් සමඟ පෝලිම්වල රැදී සිටි සෙසු පිරිස් හැසිරුණේ කලහකාරී ලෙසින්.

මේ අතර, කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයේ පොකුණුවිට මංසන්ධිය අවහිර කරමින් ජනතාව විරෝධතාවක නිරත වුණේ පෙර දැනුම් දුන් පරිදි අද (21) දිනයේ ගෑස් නොලැබෙන බව ප්‍රකාශ කිරීමත් සමඟයි.

එහිදී විරෝධතාව පාලනය කිරීමට පොලිසිය ද මැදිහත් වුණා.

මේ අතර, මාතර නගරයේ ගෑස් ලබා ගැනීමට පෝලිම්වල රැදී සිටි පිරිසක් ද නොසන්සුන් වූයේ, මීට පෙර ප්‍රකාශ කළ පරිදී ගෑස් නොලැබෙන බවට දැනුම් දීමත් සමඟයි.

මේ අතර, ගෑස් නොමැති වීම නිසා මහරගම – නාවින්න ප්‍රදේශයෙන් හයිලෙවල් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය අද (21) පෙරවරුවේ පියවර ගත්තා.

එමෙන්ම, කෑගල්ල – රංවල ප්‍රදේශයේ ගෑස් අලෙවි සැලක් ඉදිරිපිට රැදී සිට පිරිසක් නොසන්සුන් වූයේ ගෑස් නොමැති බවට අලෙවි නියෝජිතයා දැනුම් දීමත් සමඟයි.

එම විරෝධතාව අතර තුර ඒ ආසන්නයෙන් ගමන් කළ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ගේ වාහනයට ගෑස් සිලින්ඩරයකින් පහර දී ඇති බවට සමාජ මාධ්‍යයේ පළවන වාර්තා සම්බන්ධයෙන් අප රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා.

ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් එහි දී ප්‍රකාශ කළේ.

මේ අතර ගෑස් ලබා ගැනීමට වාද්දූව මංසන්දියේ අලෙවිසැලක් ඉදිරිපිට රැදී සිට 70 හැවිරිදි අයෙක් අද (21) පෙරවරුවේ සිහිසුන්ව ඇඳවැටී පානදුර මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *