තම සැමියා මියගිය බව නොපිළිගත් ‘කිසාගෝතමිය’කගේ සංවේදී හැසිරීම

තම සැමියා මියගිය බව නොපිළිගත් ‘කිසාගෝතමිය’කගේ සංවේදී හැසිරීම

*********************************************

තම සැමියා මියගිය බව නොපිළිගත් ‘කිසාගෝතමිය’කගේ සංවේදී හැසිරීම

(20.03.2022 – 16:29 +0530 – sinhala.adaderana.lk)

= සැමියා මියගිය බව නොපිළිගත් බිරිඳගේ සංවේදී හැසිරීම =

ඉන්ධන ලබාගැනීම සඳහා කඩවත නගරයේ සිපෙට්කෝ පිරවුම්හලක පෝලිමේ රැඳී සිටි වයෝවෘද්ධ පියෙකු හදිසියේ ඇදවැටී අද (20) ජීවිතක්ෂයට පත්වුණි.

ඔහු 73 හැවිරිදි මාකොළ ප්‍රදේශයේ පදිංචිව සිටි දොන් එඩ්මන්ඩ් රිචඩ් පෙරේරා නැමති ත්‍රිරෝද රථ රියදුරෙක් බවට අනාවරණය වුණි.

මියගිය පුද්ගලයාගේ බිරිඳට පොලීසියෙන් කළ දැනුම්දීම මත එම ස්ථානයට පැමිණ සිටි අතර, ඇය එම අවස්ථාවේ දී පවා සිය සැමියා මියගොස් ඇතැයි විශ්වාස නොකළාය.

එහි සිටි සියලුදෙනාට ඇය සඳහන් කර සිටියේ, දියවැඩියාව සඳහා බෙහෙත් පාවිච්චි කරන සිය සැමියා ක්ලාන්ත තත්ත්වයෙන් ඒ වනවිට පසුවන බවය.

“සීනි, පපුවේ අමාරුව තිබුණා. ඒවට බෙහෙත් ගන්නවා.”

කෙසේවෙතත් පොලීසියේ සහාය ඇතිව ඇය මියගොස් සිටි සැමියාගේ දේහය ත්‍රිරෝද රථයක දමාගෙන රාගම රෝහල වෙතට රැගෙන යෑමට කටයුතු කළේය.

මියගොස් සිටි සැමියාව එලෙස ත්‍රිරෝද රථයට දමා ගත් ඇය විටින් විට සිරුර හොල්ලමින් සිහිය ගැනීමට උත්සහ කරන අයුරුද අප කැමරාවේ සටහන්ව තිබුණි.

එම ස්ථානයට රැස්ව සිටි බොහෝදෙනාට එය ඉතා සංවේදී අවස්ථාවක් වුණි.

මෙවැනිම සිදුවීමක් මහනුවර යටිනුවර වීදියේ භූමිතෙල් පෝලිමකින් ඊයේ (19) වාර්තා වූ අතර එහිදී පෝලිමේ සිටි 71 හැවිරිදි පුද්ගලයෙකු ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබුණි.

https://www.youtube.com/watch?v=S3EOxpFkYhE#t=5

+++++++

මහනුවර ඉන්ධන පෝලිමේදී මිය ගිය පුද්ගලයාගේ මරණයට හේතුව හෙළිවේ

(20.03.2022 – 16:05 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැදි සිටියදී සිහිසුන්ව ඇද වැටී මිය ගිය පුද්ගලයාගේ මරණය සිදුව ඇත්තේ ප්‍රධාන ධමනියක් පුපුරා යාමෙන් බව මහනුවර ජාතික රෝහල ප්‍රකාශ කළා.

අද (20) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඒ බව තහවුරු වූ බවයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර සඳහන් කළේ.

භූමිතෙල් ලබා ගැනීම සදහා ඉන්ධන පෝලිමක රැදී සිටියදී ඊයේ (19) පස්වරුවේ මොහු සිහිසුන්ව ඇද වැටී ඇති අතර මහනුවර ජාතික රෝහලට රැගෙන යන විටත් මිය ගොස් තිබුණා.

එලෙස මියගොස් ඇත්තේ කටුගස්තොට – වත්තේගම ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි අයෙක්.

+++++++++++++

ඉන්දීය ණය ආධාර යටතේ වන පළමු (1) ඩීසල් තොගය අද (20) රාත්‍රියේ දිවයිනට

(20.03.2022 – 07:15 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන පළමු ඩීසල් තොගය රැගත් නෞකාව අද (20) රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා.

ඩීසල් මෙට්‍රික් ටොන් 35,000 ක් එමඟින් රැගෙන එන අතර, ඉන් මෙට්‍රික් ටොන් 20,000 ක් කොළොන්නාව නිමාව වෙත සහ ඉතිරි මෙට්‍රික් ටොන් 15,000 මුතුරාජවෙලට ගොඩබෑමට කටයුතු කරන බවයි ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා කියා සිටියේ.

ඒ අනුව පළමුව කොළොන්නාවට ගොඩබාන ඩීසල් තොග දුම්රිය මාර්ගයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත බෙදාහැරීම සිදුකරන බවද සභාපතිවරයා සඳහන් කළා.

පෙට්‍රල් තොග අවශ්‍ය ප්‍රමාණයට සංස්ථාව සතුව පවතින අතර, ඉදිරියේදී තවත් නෞකා කිහිපයකින් ඩීසල් සහ පෙට්‍රල් දිවයිනට රැගෙන ඒමටද නියමිතව තිබෙනවා.

සාමාන්‍යයෙන් මීට පෙර මෙට්‍රික් ටොන් 5500 ක් පමණ වූ මෙරට දෛනික ඩීසල් පරිභෝජනය මේ වනවිට මෙට්‍රික් ටොන් 8400 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ජනතාව අනවශ්‍ය ආකාරයෙන් ඩීසල් තොග එක්රැස් කර ගැනීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ.

තවත් දින දෙකක (2) පමණ කාලයකින් පිරවුම්හල් ආශ්‍රිතව පවතින පෝලිම් පහව යනු ඇති බවටද සංස්ථාව විශ්වාසය පළ කරනවා.

මේ අතර, අද (20) දිනයේත් අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සඳහන් කළා.

එසේම, ඉන්ධන සාධාරණ අයුරින් බෙදාහැරීම සහතික කිරීම සඳහා පිරවුම්හල්වලට පොලිසිය යොදවන ලෙස ඉල්ලීමක් කළ බවද එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා කියා සිටියා.

මේ අතර, බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (20) රාත්‍රියේ සිට යළිත් වසා දැමීමට පියවර ගැනෙනවා.

මීට පෙරද අවස්ථා දෙකකදී (2) සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුණේ ප්‍රමාණවත් තරම් බොරතෙල් නොමැතිවීම හේතුවෙන්.

+++++++++++++

විදුලි කප්පාදුව අදත් (20)

(20.03.2022 – 07:25 +0530 – hirunews.lk/sinhala)

විදුලි උත්පාදනය සඳහා බලාගාරවලට ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් (20) පැය කිහිපයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කළේ ඒ අනුව ‘ඒ’ සිට ‘එල්’ දක්වා (A-L) වන කලාප 12 ට පෙරවරු 9 ත් පස්වරු 5 ත් අතර පැය 2 ක්ද, පස්වරු 5 ත් රාත්‍රී 10 ත් අතර පැයයි මිනිත්තු 15 ක් ද බැගින් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී ඇති බවයි.

‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා (P-W) කලාප 8 කට පස්වරු 4:30 ත් රාත්‍රී 9:30 ත් අතර පැයයි (1) මිනිත්තු 15 ක් විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.

විදුලි බල මණ්ඩලය සඳහන් කළේ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් කැළණිතිස්ස බලාගාරයේ මෙගාවොට් 300 ක සම්පූර්ණ විදුලි ජනන පද්ධතියම මේ වනවිට නතර වී ඇති බවයි.

කෙසේ වෙතත් අද (20) පැමිණෙන නෞකාවලින් ලබා ගන්නා ඉන්ධන විදුලි බල මණ්ඩලයට ලබා දෙන ප්‍රමාණය අනුව හෙට (21) සිට විදුලිය කප්පාදු කරන පැය ගණන තීරණය වන බවයි එම මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ආදාල නෞකාවලින් ලැබෙන ඩීසල් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් විදුලි බල මණ්ඩලයට ලබා දීමට බලශක්ති අමාත්‍යංශය සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව එකඟතාවය පල කර ඇති බවද ඔහු කියා සිටියා ෴

+++++++++++++

+ Power Cut Schedule – from CEB

+++++++++++++

හෙටත් (21) පැය 5 ක විදුලි කප්පාදුවක්

(20.03.2022 – 16:18 +0530 – hirunews.lk/sinhala)

හෙට (21) දිනයේ P, Q, R, S, T, U, V, W දක්වා කලාපවලට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය අතරතුර පැය දෙකයි (2) මිනිත්තු 40 කත්, පස්වරු 5 සිට රාත්‍රී 10:30 දක්වා පැය එකයි (1) මිනිත්තු 50 කත් විදුලි කප්පාදු සිදුකිරීම සදහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.

ඊට අමතරව A, B, C, D, E, F, G, H, I, J, K, L දක්වා කලාපවලට පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැය තුනයි (3) මිනිත්තු 20 ක සහ පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා පැය එකයි (1) මිනිත්තු 40 ක කාලයක් විදුලිය කප්පාදු කිරීමටයි තීරණය කර ඇත්තේ.

ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමක් අනුව මෙම විදුලි කප්පාදුව සදහා අවසර ලබාදුන් බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ ෴

+++++++++++++

ලාෆ් ගෑස් මිලත් ඉහළට

(20.03.2022 – 11:47 +0530 – hirunews.lk/sinhala)

ලාෆ් ගෑස් සමාගම ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක නව මිල රු 4,199 ක් වනවා.

කිලෝග්‍රෑම් 5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,680 ක් දක්වා මිල ඉහළ දමා තිබෙනවා.

කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 672 ක් ලෙස දැක්වෙනවා ෴

+++++++++++++

ලාභය අඩු කිරීමේ චක්‍රලේඛයට ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ විරෝධය

(20.03.2022 – 13:12 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන අලෙවිය මත පිරවුම්හල් හිමියන්ට ලබාදෙන ලාභය අඩු කිරීමට තෙල් සංස්ථාව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

සියලු පිරවුම්හල් හිමියන් වෙත ලිපියක් යොමු කරමින් තෙල් සංස්ථාව ප්‍රකාශ කර ඇත්තේ අලෙවිකරන ඉන්ධන මත පිරවුම්හල් හිමියන්ට ලබාදෙන සියයට තුනේ (3%) ලාභ ප්‍රතිශතය 2019 වසරට සාපේක්ෂව ගණනය කරන බවයි.

ඒ අනුව දැනට පවතින මිල ගණන් යටතේ ගණනය කෙරෙන ලාභ ප්‍රතිශතය 2019 මිලට ගණනය කිරීමේදී තමන්ට හිමිවන ලාභය අවම වන බව පිරවුම්හල් හිමියන්ගේ අදහසයි.

ඒ අනුව පිරවුම්හල් හිමියන් සතු ප්‍රාග්ධනය අඩුවීමෙන් සංස්ථාවෙන් ඉන්ධන මිලදී ගැනීමේ හැකියාව අවම විය හැකි බව එම සංගමය පෙන්වා දෙනවා.

මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් එය, තෙල් සැපයුමට බාධාවක් විය හැකි බව පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ අදහසයි.

මෙරට තෙල් සංස්ථාව සතුව ඉන්ධන පිරවුම්හල් 1,200 ක් පමණ පවතින අතර, ඉන් 200 ක් පවතින්නේ සංස්ථාවේ ඍජු පාලනය යටතේයි.

තවත් දහසක් (1000) පමණ බලය ලත් නියෝජිතයන් මගින් ක්‍රියාත්මක කෙරෙනවා.

ලාභය ගණනය කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීම පිළිබඳව මේ වනවිට තෙල් සංස්ථාව චක්‍රලේඛයක්ද නිකුත් කර ඇති බව සඳහන්.

මෙවැනි තීරණයක් ගෙන ඇත්දැයි හිරු ප්‍රවෘත්ති අංශය, බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්.ඔල්ගා ගෙන් විමසීමක් කළා.

ඇය කියා සිටියේ ඉහළ යන ඉන්ධන මිල මත පිරවුම්හල් හිමියන්ගේ ලාභ ප්‍රතිශතය ගණනය කිරීමේදී ඔවුන්ට අසීමිත ලාභ ප්‍රතිශතයක් හිමිවන බවයි.

එය පාරිභෝගිකයාට හෝ තෙල් සංස්ථාවට නොලැබෙන බව ඇය ප්‍රකාශ කළා.

ඒ අනුව ලාභ ප්‍රතිශතය ගණනය කිරීමේ ක්‍රමවේදය වඩාත් විධිමත් කිරීමේ අරමුණින් පිරවුම්හල් හිමියන්ට ලබාදෙන සියයට තුනේ (3%) ලාභ ප්‍රතිශතය 2019 පැවති ඉන්ධන මිලට සාපේක්ෂව ස්ථාවර මිල ගණන් යටතේ ගණනය කිරීමට නව චක්‍රලේඛය මගින් ප්‍රතිපාදන සළසා තිබෙනවා.

කෙසේ වෙතත් අමාත්‍යාංශ ලේකම්වරිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මේ වනතුරුත් ගෙන නොමැති අතර, ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ පාර්ශවය සහ තෙල් සංස්ථාව ඒකාබද්ධ කමිටුවක් මගින් ඉදිරියේදී එය තීරණය කරන බවයි.

එමෙන්ම බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (20) රාත්‍රියේ සිට යළිත් වසා දැමීමට පියවර ගැනෙනවා.

මීට පෙරද අවස්ථා දෙකකදී (2) සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමුණේ ප්‍රමාණවත් තරම් බොරතෙල් නොමැතිවීම හේතුවෙන්.

මෙවැනි පසුබිමක් තුළ දින 200 ක ණය පදනමක් යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් බොරතෙල් ලබාගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා කරමින් පවතිනවා.

බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරිය සඳහන් කළේ හෙට (21) ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට ගතවූ මාස හතරක (4) පමණ කාලසීමාව තුළ තුන් (3) වතාවක් මෙලෙස සපුගස්කන්ද තෙල් පිරිපහදුව බොරතෙල් නොමැතිවීමෙන් වසා දැමුණා.

මේ අතර ලාෆ්ස් ගෑස් සමාගම සිය 12.5 හේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,199 ක් දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව රුපියල් 2,840 ක්ව පැවති ගෑස් සිලින්ඩරයක මිල මෙලෙස ඉහළ දැමෙන්නේ රුපියල් 1,359 කින්.

ලිට්රෝ සුරැකීමේ සංවිධානය පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ ලිට්රෝ ගෑස් අලෙවි කරනු ලබන්නේද පාඩු ලබමින් බවයි.

ඒ අනුව ආයතනයේ සුරක්ෂිතතාව වෙනුවෙන් අවම වශයෙන් රුපියල් 4,600 ක් දක්වා වත් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවිය යුතු බව ඔවුන් යෝජනා කළා.

එම මිල ගණන් සම්බන්ධයෙන් අවසන් තීරණයක් දැනගැනීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සම්බන්ධ කරගැනීමට අප උත්සහ කළද එය සාර්ථක වූයේ නැහැ.

කෙසේ වෙතත් ලිට්රෝ සමාගමේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ෴

+++++++++++++

ලාෆ්, ගෑස් මිල වැඩි කරද්දී ලිට්රෝ නිහඬයි – ගෑස් පෝලිම් තවදුරටත්

(20.03.2022 – 19:16 +0530 – hirunews.lk/sinhala)

ලාෆ් සමාගම ගෑස් මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කළ ද එවැනි මිල සංශෝධනයක් සිදුකිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ලිට්රෝ සමාගම පවසනවා.

මේ අතර, ඉන්ධන මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැදී සිටින අතරතුර සිදුවූ දෙවන (2) මරණය අද (20) කඩවත ප්‍රදේශයෙන් වාර්තා වුණා.

කඩවත පොලිසිය ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් වෙත භූමිතෙල් ලබාගැනීම සඳහා පැමිණ සිටි පුද්ගලයෙකුයි එලෙස ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබුණේ.

එම පුද්ගලයා රාගම රෝහලට රැගෙන යාමේදී ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. 73 හැවිරිදි මෙම පුද්ගලයා මාකොළ – දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මහනුවර ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැදී සිටියදී සිහිසුන්ව ඇද වැටී කටුගස්තොට – වත්තේගම පදිංචි 73 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (19) මියගියා. ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී අද (20) පැවැත්වුණු අතර එහිදී අනාවරණය වූයේ ප්‍රධාන ධමනියක් පුපුරා යාමෙන් මෙම මරණය සිදුව ඇති බවටයි.

මේ අතර, දිවයින පුරා මතුවී ඇති ගෑස් හිඟයත් සමග තවදුරටත් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව භූමිතෙල් පෝලිම් දැක ගත හැකියි.

ගෑස් හිගය හේතුවෙන් රෝහල්වල ආහාර පිසීමේ කටයුතුවලට ද බලපෑම් එල්ල වනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ කළා.

ලාෆ් සමාගම කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4199 දක්වා රුපියල් 1359 කින් මිල ඉහළ නංවනු ලැබුවා. ඔවුන් අලෙවි කරන කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල සටහන් වන්නේ රුපියල් 1680 ක් ලෙසයි.

කෙසේ වෙතත්, ලිට්රෝ සමාගම ප්‍රකාශ කළේ පවතින තත්ත්වය හමුවේ ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

ප්‍රථමයෙන් ජනතාවට ප්‍රමාණවත් පරිදි ගෑස් සිලින්ඩර වෙළදපොළට සැපයීමට කටයුතු කරන බව ද එහි උසස් නිලධාරියෙකු සදහන් කළා.

එහෙත් අද (20) දිනයේත් දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෑස් ලබා ගැනීම සදහා ජනතාව පෝලිම්වල සිටින ආකාරය දැකගත හැකි වුණා. ඒ, ප්‍රමාණවත් තරම් ගෑස් සිලින්ඩර් වෙළදපොළට නිකුත් වී නොතිබීම හේතුවෙන්.

ගෑස් පෝලිම්වල සිටින පිරිස් අතර උණුසුම් තත්ත්වයන් ද වාර්තා වන අතර, ගෑස් ලබා ගැනීම සදහා බද්දේගම පොළ භූමිය අසළ පෝලිමේ සිටි පිරිසක් ගෑස් නොලැබීම හේතුවෙන් අද (20) දහවල් ගාල්ල – බද්දේගම අධිවේගී පිවිසුම් මාර්ගය අවහිර කළා.

කෙසේ වෙතත්, එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් අනිද්දා (22) ගෑස් ලබාදීමට පියවර ගන්නා බව පැවසීමත් සමග විරෝධතාකරුවන් මාර්ගයෙන් ඉවත්ව ගියා.

එම අවස්ථාවේදී විරෝධතාකරුවන් අතරට පැමිණි සමගි ජන බලවේගයේ තරුණ සංගමයේ සාමාජිකයෙකු එම සිද්ධිය මුහුණු පොත ඔස්සේ විකාශය කිරීමට පියවර ගැනීමත් සමග පොලීසිය සහ ඔහු අතර උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.

මෙහිදී ගෑස් ලබා ගැනීමට පැමිණ සිටි පාරිභෝගිකයන්ගේ විරෝධය ද අදාළ පුද්ගලයා වෙත එල්ල වුණා.

මේ අතර, තවදුරටත් පිරවුම්හල් ආශ්‍රිතව ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ පෝලිම් දැකගත හැකියි.

එසේම, බස් සේවකයින් පවසන්නේ පවතින ඉන්ධන හිගය හමුවේ බස් ධාවනය වෙනුවට පෝලීම්වල රැඳී සිටීමට වීමෙන් බස් කර්මාන්තය සිදුකරගෙන යාමේ අපහසුතාවයක් පවතින බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *