කිරිතේ එකක් රුපියල් 100 දක්වා ඉහළට

කිරිතේ එකක් රුපියල් 100 දක්වා ඉහළට

*********************************************

කිරිතේ එකක් රුපියල් 100 දක්වා ඉහළට

(20.03.2022 – 10:56 +0530 – hirunews.lk/sinhala)

කිරිපිටි මිල යළි ඉහළ යෑමත් සමඟ කිරි තේ කෝප්පයක රුපියල් 100 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන්නේ මෙම මිල ගණන් වසරක කාලසීමාවක් නොවෙනස්ව පවත්වාගැනීමට තීරණය කර ඇති බවයි.

ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ යාමත්, රට තුළ මතුව ඇති ඩොලර් අර්බුදයත් හේතුවෙන් ආනයනික කිරිපිටි වැඩිවන මිල සීමාවන් එම ආනයනකරුවන් විසින් අද (20) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක් රුපියල් 250 කින් ඉහළ යන අතර, එහි නව මිල වන්නේ රුපියල් 790 ක්.

එමෙන්ම ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 600 කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති අතර, ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 1945 ක් ලෙසයි.

මේ අතර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සීග්‍රයෙන් අවප්‍රමාණය වීමත් සමඟ කිරිපිටි ආනයනය කිරීම සීමාසහිත වීම හේතුවෙන් ආනයනික කිරිපිටි සමාගම් ඒවා පවත්වාගෙන යාමේ අවදානමකට මුහුණ දී සිටිනවා.

එසේම මිල වැඩි කිරීම හේතුවෙන් ජනතාව කිරිපිටි පරිභෝජනයෙන් ඉවත් වීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බවද කිරිපිටි ආනයනකරුවන් වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් ගෙන් කිරිපිටි මිල ඉහළ යාම සම්බන්ධයෙන් විමසීමක් කළා.

+++++++

මිල වැඩි කළත් වෙළදපොළේ කිරි පිටි නැහැ – 100 ක් කළ තේ කෝප්පයේ කිරි මදි බවට, පාරිභෝගිකයින්ගෙන් මැසිවිලි

(20.03.2022 – 19:24 +0530 – hirunews.lk/sinhala)

ආනයනික කිරි පිටි මිල ඉහල දැමුවද වෙළඳපොලේ මිලදී ගැනීම සදහා කිරිපිටි නොමැති බවට පාරිභෝගකයින් චෝදනා කරනවා. එමෙන්ම, දේශීය දියර කිරිද අලෙවි කිරීම සදහා ප්‍රමාණවත් තොග නොලැබෙන බවයි වෙළදුන් පවසන්නේ.

ග්‍රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250 කින් එනම් රුපියල් 790 දක්වා සහ ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 1945 ක් දක්වා රුපියල් 600 කින් ඉහල දැමීමට කිරිපිටි ආනයනකරුවන් පියවර ගත්තා.

මෙලෙස කිරිපිටි මිල ඉහල යාමත් සමඟ අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට කිරි තේ එකක මිල රුපියල් 100 ක් දක්වා ඉහල දැමීමටයි ආපනශාලාහිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, මිල වැඩිකලද ඊට සරිලන ලෙස කිරි තේ කෝප්පයක් නොලැබෙන බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

මේ අතර, දිනෙන් දින බඩුමිල ඉහල යාම හමුවේ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බවයි පාරිභෝගිකයින් පවසනවා ෴

***************************************

ගැසට් පත්‍රයක ප්‍රමාදයෙන් යළි ප්ලාස්ටික් හා පොලිතින් නිෂ්පාදන වෙළඳපොලට

(20.03.2022 – 09:55 +0530 – hirunews.lk/sinhala)

ප්ලාස්ටික් හා පොලිතින් නිෂ්පාදන වර්ග අටක් (8) තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ නමුදු අදාළ ගැසට් පත්‍රය සකස් කිරීම ප්‍රමාද කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

අදාළ තහනම සමඟ ප්ලාස්ටික් හැඳි, ගෑරප්පු මෙන්ම අයිස්ක්‍රීම් කෝප්ප වෙනුවට විකල්ප නිෂ්පාදන හඳුන්වාදීමටයි බහුජාතික සමාගම් පියවර ගත්තේ.

කෙසේ වෙතත් අදාළ ගැසට් පත්‍රය ප්‍රමාදවීම හේතුවෙන් යළි එම සමාගම් ප්ලාස්ටික්වලට යොමුවන බවට වාර්තාවන බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ ෴

***************************************

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවලු තොග ලැබිලා වෙළෙන්දෝ නෑ – මිල පහලට

(20.03.2022 – 10:06 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ පසුගිය සතියේ සීග්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු තොග මිල විශාල වශයෙන් අද (20) දින උදෑසන මිල පහළ වැටී එළවලු අලවි නොවන තත්වයකට පත්ව ඇතැයි ගොවින් පවසනවා.

එළවළු මිල පහත වැටීම හා අලවි නොවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් නොපැමිණීම හා ඉන්දන හිගය බව ගොවීන් පවසනවා.

මෙදින අළුයම විශාල වශයෙන් යාපනය අර්ධද්වීපයේන් එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබී තිබුණු බවද වෙළෙන්දන් සඳහන් කළා.

පසුගිය සතියේ සෑම එළවළුවක්ම කිලෝ එකක තොග මිල රුපියල් 200 ඉක්මවා තිබුණා.

+++++

වෙළඳ පොළේ මුව ආවරණ මිල හෙට (21) සිට ඉහලට

(20.03.2022 – 13:15 +0530 – hirunews.lk/sinhala)

වෙළද පොළේ මුව ආවරණ මිල හෙට (21) සිට සියයට 30 කින් ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති විදුර අල්ගම සදහන් කළේ මුව ආවරණ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීම සඳහා පවතින ගැටලු හේතුවෙන් මෙම තීරණයට එළඹුණු බවයි.

එවන් පසුබිමක මෙරට තුළ නිෂ්පාදනය කරන පානීය ජල බෝතල්වල මිලද සිඝ්‍ර ලෙස ඉහල ගොස් ඇති බවයි වෙළදුන් සහ පාරිභෝගිකයින් පවසන්නේ.

මේ අතර රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් එළවළු ප්‍රවාහනය බිඳවැටීම නිසා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල පහත බැස තිබෙනවා.

***************************************

මහ කන්නයේ වී අස්වැන්න සියයට 40 කින් අඩුවෙයි ?

(20.03.2022 – 13:18 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහ කන්නයේදී මෙරට වී අස්වැන්න සියයට 40 කින් පමණ අඩුවනු ඇතැයි අනුමාන කෙරෙනවා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවද සඳහන් කළේ මහ කන්නයේදී අස්වැන්න සියයට 30 කින් පමණ පහත වැටිය හැකි බවයි.

මෙරට මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 1,85,000 ත් 1,96,000 ත් අතර වනවා.

මේ හේතුවෙන් සහල් ආනයනය කිරීමට සිදුවන අතර, මියන්මාරයෙන් සහ ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමට අපේක්ෂිතයි.

පසුගිය වසරේ මහ කන්නයේදී මෙරට වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන තුන (3) ඉක්මවූවා ෴

***************************************

වතුර බැරලයකට වැටී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට

(20.03.2022 – 14:25 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් – පුදුකුඩිඉරිප්පු – කයිවේලි ප්‍රදේශයේ නිවසක වතුර පිරවූ බැරලයකට වැටී වයස අවුරුද්දයි (1) මාස 2 ක කුඩා දරුවෙකු ඊයේ (19) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ දෙමව්පියන් සමග සිටි දරුවා ඔවුන්ගෙන් මිදී නිවසේ වැසිකිලිය අසළ පිහිටි ජලය පිරවූ කුඩා බැරලයට ඇද වැටී ඇති බවයි.

මිය ගිය දරුවා නිවුන් දරුවන් දෙදෙනෙකු (2) ගෙන් පිරිමි දරුවෙකු වන අතර අනෙක් ගැහැණු දරුවා පමණක් තනිව සිටිනු දැක දෙමව්පියන් මිය ගිය දරුවා පිළිබදව විපරම් කර තිබෙනවා.

එම අවස්ථාවේ දරුවා වතුර බැරලයට වැටී සිටිනු දැක රෝහල් ගත කළ ද එහිදී එම දරුවා ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි පොලීසිය සදහන් කළේ ෴

***************************************

මහජන ආරක්ෂක ඇමති ජාත්‍යන්තර පොලිස් ප්‍රධානියා හමුවෙයි

(20.03.2022 – 15:24 +0530 – hirunews.lk/sinhala)

මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර, ජාත්‍යන්තර පොලිස් ප්‍රධානී අහමඩ් නසාර් අල් රෙයිසි හමුවී තිබෙනවා.

ඩුබායි හිදී පසුගිය දා පැවති මෙම සාකච්ඡාවේදී අපරාධ හා ත්‍රස්තවාදී අනතුරු මැඬලීම, නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කළ බවයි මහජන ආරක්ෂක අමාත්‍ය කාර්යාලය සදහන් කළේ.

ඇෆ්ගනිස්ථානයේ බලය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තලෙයිබාන් සංවිධානය විසින් අත්පත් කර ගැනීමෙන් පසු ඉන්දීය සාගර කලාපයේ මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම් වර්ධනය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර එම සාකච්ඡාවේදී පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව ඊට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර පොලිස් ප්‍රධානී අහමඩ් නසාර් අල් රෙයිසි සදහන් කර ඇත්තේ ඉන්දීය සාගර කලාපයේ මෙම ජාවාරම් මැඩලීමට ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පිහිටුවීම සුදුසු බවයි.

ශ්‍රී ලංකා පොලීසියේ සයිබර් කටයුතු ඉහළ නැංවීමටත් ත්‍රස්තවාදී හා අන්තවාදී තර්ජන හදුනා ගැනීමට මෙන්ම නීතිය ක්‍රියාත්මක කිරීමේදී සහයෝගයෙන් කටයුතු කිරීම හා සයිබර් අපරාධ වැළැක්වීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා ෴

***************************************

ජාතික ජන බලවේගයත් සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරයි

(20.03.2022 – 15:51 +0530 – hirunews.lk/sinhala)

ලබන 23 වනදා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබෙනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මීට පෙර අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවන බව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මොවුන් නියෝජනය කරන පක්ෂවල යෝජනා සහ නිර්දේශ පක්ෂ එකොලහ (11) නියෝජනය කරන නියෝජිතයන් හරහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව, එම නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහභාගි වන බව ද වාර්තා වුණා.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වන බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ ඉල්ලීමක් අනුව, මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලැබුවේ ජනාධිපතිවරයා විසින්.

***************************************

රුපියල් කෝටි 12 ක රන් ඉන්දියාවට යැවීමට, තැත් කළ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(20.03.2022 – 17:17 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 12 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට යැවීමට සූදානම් වූ දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෙළදාම හා ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු සහ 40 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයා පෙරේදා ආමර්වීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ සිට යාපනය බලා ගමන් ගත් බස් රථයකින් රන් කිලෝ 6 ක් ප්‍රවාහනය කරමින් සිටියදියි.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත මෙම ජාවාරමට සම්බන්ධ යාපනය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකු ද අද (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

බස් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙකු මරුට

(20.03.2022 – 19:32 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී බස් රථයක් පෙරලීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

තවත් පිරිසක් මෙම අනතුරින් තුවාල ලබා ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මුලතිව් සිට යාපනය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර තුවාල ලැබූ පුද්ගලයන් විසි දෙදෙනෙකු (20) රෝහල් ගතකර ඇතැයි අප වාර්තාකරුවන් සඳහන් කළා.

එම අවස්ථාවේ බස් රථයේ මගීන් 30 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා.

තුවාලකරුවන් 4 දෙනෙකුගේ තත්වය බරපතල වන අතර ඔවුන් සියලුදෙනා මාන්චෝලෙයි රෝහලේ ප්‍රතිකාර ලබනවා.

++++++

***************************************

හිටපු ජනපති මෛත්‍රී දෙවුන්දරට – දේවාලයේ උණුසුම් තත්ත්වයක්

(20.03.2022 – 19:35 +0530 – hirunews.lk/sinhala)

රට ගොඩනැගීම සඳහා දේශපාලනඥයින් මෙන්ම ආර්ථික විශේෂඥයින් ද තම වගකීම් ඉටු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මාතර – දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (20) දෙවුන්දර පරම විචිත්‍රාරාම විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වී විහාරස්ථාන භාරකාර හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව ඔහු ආශිර්වාද ලබා ගැනීම සඳහා මාතර – දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය වෙත ද පැමිණියා.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයා දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයට පැමිණ ආශිර්වාද ලබා ගැනීමට පෙර එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඒ, දේවාලය සාමාන්‍ය ජනතාවට විවෘත කිරීම ප්‍රමාද කරන බවට දැනුම්දීමත් සමඟයි.

එහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් දේවාලයට පැමිණ සිටි කාන්තාවකට දේවාලයේ ප්‍රධාන කපුමහතා විසින් පහරදීමක් ද සිදුකර තිබෙනවා.

ඒ අනුව කාන්තාව ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ගන්දර පොලීසිය විසින් 60 හැවිරිදි වියේ පසුවූ ප්‍රධාන කපුමහතා අත්අඩංගුවට ගනු ලැබුවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *