සෞඛ්‍ය උපදෙස් අනුව නුවරඑළියේ වසන්ත උදානය පැවැත්වීමේ තීරණයක්

සෞඛ්‍ය උපදෙස් අනුව නුවරඑළියේ වසන්ත උදානය පැවැත්වීමේ තීරණයක්

*********************************************

සෞඛ්‍ය උපදෙස් අනුව නුවරඑළියේ වසන්ත උදානය පැවැත්වීමේ තීරණයක්

(19.03.2022 – 16:21 +0530 – hirunews.lk/sinhala)

මෙවර නුවරඑළිය වසන්ත උදානය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇති බව නුවරඑළිය මහ නගර සභාව පවසනවා.

නගරාධිපති චන්දනලාල් කරුණාරත්න නුවරඑළියේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ වසන්ත උදානය ලබන අප්‍රේල් 01 වනදා සිට 30 වනදා දක්වා පැවැත්වීමට සැළසුම් කර ඇති බවයි.

නගරාධිපතිවරයා සඳහන් කළේ නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් නංවාලීමේ කටයුතු මේවන විට සිදුකරමින් පවතින බවයි.

එලෙස පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳ නුවරඑළිය ප්‍රදේශයේ සියලුම සංචාරක හෝටල් හිමියන් සහ නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථානවල හිමිකරුවන් දැනුවත් කර තිබෙනවා.

පසුගිය සමයේ නුවරඑළියේ ඇතැම් සංචාරක නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථානවල බාබකිව් උඳුන් කාමර තුල තබාගැනීමට අවස්ථාව ලබාදීම හමුවේ ජීවිත හානි සිදුවූ අතර මින් ඉදිරියට එවැනි අනතුරු සිදු නොවීමට පියවර ගෙන ඇති බවයි නගරාධිපතිවරයා අවධාරණය කළේ.

මේ අතර නුවරළිය මහ නගර සභාවේ විපක්ෂ නායක මහින්ද දොඩම්පේ පෙන්වා දෙන්නේ වසන්ත උදානය පවත්වන්නේ නම් මේ දිනවල ප්‍රදේශයේ පවතින පානීය ජල ගැටලුවට සහ ගෑස් හිගයට පිළියම් යොදන ලෙසටයි.

මේ දිනවල පවතින ඉන්ධන සහ ගෑස් හිගයට විසඳූම් ලබාදෙමින් වසන්ත උදානය පවත්වන්නේ නම් නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ට කිසිදු ගැටලුවක් ඇති නොවන බව ප්‍රදේශයේ වෙළඳසැල් හිමිකරුවන් මෙන්ම සංචාරකයන් ප්‍රවාහනය කරන රියදුරන් ද පෙන්වාදි තිබෙනවා.

++++++++++++

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට කොරෝනා

(19.03.2022 – 13:43 +0530 – hirunews.lk/sinhala)

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

පළමු කොරෝනා පරීක්ෂාවේදී තමා ආසාදිතයෙකු ලෙස තහවුරු වූ අතර, තවත් පරීක්ෂාවකට යොමුවීමට නියමිත බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (19) යාපනයේ සංචාරයක නිරතවන අතර, දේවානන්දා අග්‍රාමාත්‍යවරයාද ඊට සහභාගිවීමට නියමිතව සිටි බව සඳහන්.

කෙසේ නමුත් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඔහු එම උත්සව සඳහා සහභාගි නොවනු ඇති ෴

++++++++++++

තවත් කොරෝනා මරණ 04 ක්

(19.03.2022 – 17:50 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 04 ක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) තහවුරු කළ මෙම මරණ 04 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 16,426 ක් දක්වා ඉහළ යනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 60 ට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 04 දෙනෙක්.

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,57,723 ක් ලෙසටයි.

ආසාදිතයන් 16,780 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 6,24,521 ක් ෴

++++++++++++

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 238 ක්

(19.03.2022 – 20:27 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 238 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,57,961 ක් ලෙසටයි.

ආසාදිතයන් 16,943 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 6,24,592 ක්.

මෙරටින් කොරෝනා මරණ 16,426 ක් ද වාර්තාවී තිබෙනවා ෴

@@@@@@@@@@@@@@

ඉන්දියාව රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ලබා ගන්න ගිවිසුම් ගත වෙයි

(19.03.2022 – 15:51 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය තෙල් සමාගම රුසියාව සමග සමග බොරතෙල් ආනයනය සඳහා ගිවිසුමක් අත්සන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ එය ඉන්දියානු සහ රුසියානු සමාගම් අතර ගණුදෙනුවක් බවයි.

යුක්රේන ආක්‍රමණය හේතුවෙන් රුසියානු බලශක්ති ක්ෂේත්‍රයට බටහිර රටවල් විසින් සම්බාධක පනවනු ලැබුවා.

ඇමෙරිකාව, රුසියානු තෙල් ආනයනය අත්හිටුවීම එහි එක් පියවරක්. සිය බොරතෙල් ලාබදායී අන්දමින් ලබාදීමට සූදානම් බව රුසියාව ප්‍රකාශ කලේ එවන් මොහොතකයි.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ බටහිර සම්බාධක පැවතුන ද ඉන්දියානු සමාගම්වලට රුසියාවෙන් තෙල් ලබා ගැනීමට බාධාවක් නොමැති බවයි.

බටහිර සහ යුරෝපා රටවල් රුසියානු අර්බුදය හමුවේ රුසියාවට ආර්ථික සම්බාධක පනවා ඇති හෙයින් රුසියාව විසින් ඉන්දියාව වැනි විශාල ආනයනකරුවන් සමග සහන මිලට තෙල් සහ අනෙකුත් රුසියානු නිෂ්පාදන වෙළඳපලට වෙළඳපොලට නිකුත් කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ලොව විශාලතම ඛනිජ තෙල් සහ ගෑස් නිෂ්පාදකයකු වන රුසියාව යුක්රේනයට එරෙහිව යුද ප්‍රකාශ කිරීම සහ යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් රුසියාවෙන් බහුල ලෙස ඛනිජ තෙල් සහ ගෑස් ආනයනය කළ යුරෝපා රටවල් බොහොමයක් එම ආනයන නවතා දැමුවා.

මීට අමතරව එංගලන්තයේ සහ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් බොහොමයක් ද රුසියාවට එරෙහිව විවිධ ආර්ථික සම්බාධක පනවා තිබෙනවා.

කෙසේ වෙතත් රුසියාව සමඟ ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වන ඉන්දියාව මේ අවස්ථාවේ රුසියාව සමග ඛනිජ තෙල් ඇතුළු අනෙකුත් රුසියානු නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ගිවිසුම්වලට ගිවිසුම්වලට එළඹෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

පසුගිය දිනක ශ්‍රී ලංකාව ද රුසියානු තානාපතිවරයාගෙන් අප රටට අවශ්‍ය ඛනිජ තෙල් සහ බොරතෙල් ලබාගැනීම සඳහා ඩොලර් මිලියන 300 ක ණය ආධාරයක් ඉල්ලා සිටියා.

කෙසේවෙතත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් රුසියාවේ අවසන් තීරණය ප්‍රකාශයට පත් කර නැහැ ෴

***************************************

පොල් ගෙඩි තුල සඟවා හෙරොයින් අලෙවි කල කාන්තාවක් රත්ගමදී අත්අඩංගුවට

(19.03.2022 – 16:49 +0530 – hirunews.lk/sinhala)

පොල් ගෙඩි තුල සූක්ෂ්ම ලෙස සඟවා හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ කාන්තාවක් ගාල්ල – රත්ගම – නවජනපදය පන්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (18) මෙම සැකකාර කාන්තාව පොල්මල්ලක් රැගෙන නිවසින් බැහැරව යන අවස්ථාවේ ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී ලෙලි ඉවත් නොකළ පොල් ගෙඩිවල කුඩා සිදුරක් ඇති කර ඒ තුලට හෙරොයින් ග්‍රෑම් 7 යි මිලිග්‍රෑම් 800 ක් අඩංගු ඇසුරුම් සූක්ෂමව බහා තිබියදී පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

සැකකාර කාන්තාවගේ ස්වාමි පුරුෂයා ද හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාව මත දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර, මෙම කාන්තාව ද මීට පෙරත් අවස්ථා කිහිපයකදී හෙරොයින් සම්බන්ධ චෝදනා මත බන්ධනාගාර ගතව සිට ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ෴

***************************************

වාසු, විමල් හා ගම්මන්පිල සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමේ තීරණයක

(19.03.2022 – 15:56 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ලබන 23 වනදා පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ ඉල්ලීමක් අනුව, මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලැබුවේ ජනාධිපතිවරයා විසින්.

කෙසේ වෙතත්, එම සමුළුවට අමාත්‍ය වාසුදේව නානායක්කාර හා හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිලගේ පක්ෂ වල යෝජනා සහ නිර්දේශ පක්ෂ එකොලහ (11) නියෝජනය කරන නියෝජිතයන් හරහා ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, අදාළ නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ සහ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහභාගි වන බව ද වාර්තා වුණා.

මේ අතර ලබන බදාදා (23) කැඳවීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව සහ රටේ වත්මන් ආර්ථීක හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මහා සංඝරත්නය, පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඇතුලු පිරිස් අදත් (19) අදහස් පළ කළා ෴

***************************************

රුපියල් කෝටි 8200 ටෙන්ඩරය ඉවතට.. රඹුක්කන-ගලගෙදර මධ්‍යම අධිවේගී මාර්ගයේ මාර්ග කොටස රුපියල් කෝටි 38,000 ක ටෙන්ඩරයට.. වැඩිපුර දෙන මුදලින් තෙල් නැව් 40 ක් ගත හැකියි..

(20.03.2022 – 11:20 +0530 – lankacnews.com)

රඹුක්කන සිට ගලගෙදර දක්වා වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ මාර්ග කොටස ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 38,000 ක ලංසුවක් ඉදිරිපත් කළ සමාගමකට අනුමැතිය ලබා දීමේ සූදානමක් ආණ්ඩුවේ ඇතැයි ඉංජිනේරු සුමේධ රත්නායක මහතා සඳහන් කරයි.

නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකුද වන ඔහු පෙන්වා දෙන්නේ මෙම කොන්ත්‍රාත්තුව ඔවුන්ට ලබා දෙන්න උත්සාහ කරන්නේ රුපියල් කෝටි 8200 කට එය ඉදි කළ හැකි බවට පැවසූ දේශීය සමාගමක් නොතකා හරිමින් බවයි.

මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම වැඩිපුර වියදම් කරන මුදලින් ඉන්ධන නැවු හතළිහක් (40) මිලදී ගත හැකි බව ද හෙතෙම කියා සිටියේය.

43 සේනාංකයේ ජන හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *