සති අන්තයේ තෙල් බෙදාහැරීම අඛණ්ඩව – තවත් ඩීසල් නැවක් හෙට (20) ළඟාවෙයි

සති අන්තයේ තෙල් බෙදාහැරීම අඛණ්ඩව – තවත් ඩීසල් නැවක් හෙට (20) ළඟාවෙයි

*********************************************

සති අන්තයේ තෙල් බෙදාහැරීම අඛණ්ඩව – තවත් ඩීසල් නැවක් හෙට (20) ළඟාවෙයි

(19.03.2022 – 07:34 +0530 – hirunews.lk/sinhala)

කොළොන්නාව හා මුතුරාජවෙල ප්‍රධාන තෙල් ගබඩා 2 න් අද (19) දිනයේදී කොළඹ ඇතුලු ප්‍රදේශ වෙත අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීම සිදුකරන බව ලංකා ඛණිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා.

එහි සභාපති සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ ලබා දී ඇති ඇනවුම්වල ඉන්ධන තොග ප්‍රමාණයද ඉක්මවා ඉන්ධන ලබා දීමට කටයුතු යොදා ඇති බවයි.

මෙවන් පසුබිමක් තුල ඊයේ (18) දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබුණා.

සතියකට ආසන්න කාලයක් කොළඹ වරායට ඔබ්බෙන් නැංගුරම්ලා ඇති ඩීසල් සහ ගුවන්යානා ඉන්ධන රැගත් නෞකාවට ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 42 ක මුදල ලබා දීමට ඊයේ (18) වන විටත් කිසිදු බැංකුවක් එකඟතාව පළ කර නැහැ.

ඒ අනුව එම ඉන්ධන ගොඩබෑමේ කටයුතු තවදුරටත් කල් යනු ඇති බවයි බලශක්ති අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන පළමු ඩීසල් තොගය හෙට (20) දිනයේදී මෙරටට ලැබීමට නියමිතයි. ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කට ආසන්න තොගයක් එලෙස ලැබීමට නියමිතව තිබෙනවා.

මේ අතර දින ගණනාවක් පුරා පැවති ගෑස් හිඟයට පිලියම් ලබා දෙමින් අද (19) දිනයේදීත් ගෑස් බෙදා හැරීමේ කටයුතු සිදු කරන බව ලිට්‍රෝ සමාගම පැවසුවා.

එම සමාගම ඊයේ (18) දිනයේදී ගෘහස්ත ගෑස් සිලින්ඩර 1,20,000 ක ප්‍රමාණයක් වෙළඳපොලට නිකුත් කිරීමටයි පියවර ගනු ලැබුවා.

අනිද්දා (21) දිනයේ මෙට්‍රික් ටොන් 3,500 ක ගෑස් නෞකාවක් පැමිණීමට නියමිතව තිබෙනවා. එහෙත් ඊට අදාල ගෙවීම් කටයුතු සිදු කර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලි ප්‍රකාශයක් නිකුත් වී නැහැ.

පෙරේදා (17) දිනයේ ගොඩබානු ලැබූ මෙට්‍රික් ටොන් 3,500 ක ගෑස් නෞකාවේ ගෑස් තොගය දින 3 කට පමණක් ප්‍රමාණවත් බවයි වාර්තාවන්නේ ෴

++++++++++++

සපුගස්කන්ද පිරිපහදුව හෙට (20) සිට යළි වැසේ – ඉන්ධන පිරවුම්හල් වල තවමත් නොසන්සුන්තාවයන්

(19.03.2022 – 13:17 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (20) රාත්‍රියේ සිට යළිත් වසා දැමෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළේ බොරතෙල් නොමැතිවීම හේතුවෙන් එම පිරිපහදුව එලෙස වසා දැමීමට සිදුවන බවයි.

ප්‍රමාණවත් තරම් බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව මීට පෙරද අවස්ථා දෙකකදී (2) වසා දැමුණා.

මේ අතර සතියකට ආසන්න කාලයක් කොළඹ වරායට ඔබ්බෙන් නැංගුරම්ලා ඇති ඩීසල් සහ ගුවන්යානා ඉන්ධන රැගත් නෞකාවට මුදල් ගෙවීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවට අද (19) දින තුල විසදුම් ලැබෙනු ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ ප්‍රකාශ කළා.

කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ පවතින තත්වය හමුවේ ඉන්ධන පිරිමසාගෙන කටයුතු කිරීමට ජනතාව ක්‍රියා කළ යුතු බව යි.

අද (19) දිනයේත් දිවයින පුරා ඉන්ධන හල් වෙත අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

කෙසේවෙතත් දිවයිනේ ප්‍රදේශ රැසක ඇතැම් ඉන්ධනහල් අද (19) පෙරවරුවේ සිටම වසා තැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. විවෘතව පැවති ඉන්ධන පිරවුම්හල් වල අදත් (19) දිගු පෝලිම් නිරීක්ෂණය වූණා.

එමෙන්ම ඇතැම් ඉන්ධන පිරවුම්හල් වල නොසන්සුන්තාවයන් ඇති වන අවස්ථා පිළිබඳවද හිරු ප්‍රවෘත්තී අංශයට වාර්තා වුණා.

ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන පළමු ඩීසල් තොගය හෙට (20) මෙරටට ලැබීමට නියමිතයි.

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කට ආසන්න තොගයක් එලෙස ලැබීමට නියමිතව තිබෙනවා.

මේ අතර දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු මේ වන විට අඛණ්ඩව සිදු කෙරෙන බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළා.

පෙරේදා (17) දිනයේ ගොඩබානු ලැබූ මෙට්‍රික්ටොන් 3,500 ක ගෑස් තොගයේ බෙදාහැරීමේ කටයුතු එලෙස සිදු කෙරෙන බවයි. අනිද්දා (21) දිනයේ මෙට්‍රික් ටොන් 3,500 ක තවත් ගෑස් නෞකාවක් (1) පැමිණීමට ද නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත්ගෑස් මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන්ගේ පෝලිම් තවදුරටත් පවතිනවා.

++++++++++++

විදුලි කප්පාදුව අදත් (19)

(19.03.2022 – 07:17 +0530 – hirunews.lk/sinhala)

විදුලි ජනනය සඳහා බලාගාරවලට ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් (19) පැය කිහිපයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලය සඳහන් කළේ ඒ අනුව ‘ඒ’ සිට ‘එල්’ දක්වා (A-L) වන කලාප 12 ට පෙරවරු 8 ත් පස්වරු 6 ත් අතර පැය 2 යි මිනිත්තු 30 ක්ද, පස්වරු 6 ත් රාත්‍රී 11 ත් අතර පැයයි (1) මිනිත්තු 15 ක් ද බැගින් පැය තුනයි (3) මිනිත්තු 45 ක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබා දී ඇති බවයි.

‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා (P-W) කලාප 8 කට පෙරවරු 10 ත් පස්වරු 4 ත් අතර පැයයි (1) මිනිත්තු 30 ක් ද, පස්වරු 4 ත් රාත්‍රී 10 ත් අතර පැයයි (1) මිනිත්තු 30 ක් බැගින් පැය 3 ක් ද විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර ජල විදුලි උත්පාදනය සඳහා බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලබන මස අවසානයේදී ලැබෙනු ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂිකා ශිරෝමණි ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එතෙක් ලැබෙන වැසි ජල විදුලි උත්පාදනය සඳහා ප්‍රමාණවත් නොවන බවයි ෴

ඉන්ධන ලැබෙන තෙක් විදුලි කප්පාදුව අඛන්ඩව

(19.03.2022 – 12:59 +0530 – hirunews.lk/sinhala)

විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග ලැබෙන තුරු දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එළඹෙන අලුත් අවුරුදු සමය වනවිටත් විදුලි කප්පාදු සිදු කරනවාද යන්න සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ විදුලිය අඛන්ඩව ලබාදීම සඳහා මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලැබුණහොත් විදුලි කප්පාදු කිරීම් සිදු නොකෙරෙන බවයි.

කෙසේ වෙතත් ඉන්ධන ලැබෙන තෙක් දිවයින පුරා විදුලි කප්පාදු කිරීම් සිදු කෙරෙන බවද ඔහු කියා සිටියා.

++++++++++++

දුම්රිය ගාස්තු වැඩිකරන වාර්තාව ප්‍රවාහන ඇමතිට – අනිද්දා (21) තවත් සාකච්ඡාවක්

(19.03.2022 – 07:29 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ගාස්තු පිළිබඳ තීරණය කරන කමිටුවේ වාර්තාව තමන් වෙත ඊයේ (18) දිනයේ ලැබුණු බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කලා.

හිරු ප්‍රවෘත්ති අංශය කල විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ එම කමිටු වාර්තාව පිළිබඳ සාකච්ඡාවක් ලබන සඳුදා (21) දිනයේ පැවැත්වීමට නියමිත බවයි.

කෙසේ වෙතත් මේ වන තෙක් දුම්රිය ගාස්තු වල වැඩිවීමක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර දුම්රිය ධාවනයට තවමත් ඉන්ධන හිඟකම ගැටලුවක් වී නොමැති බව ද ප්‍රවාහන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා ෴

++++++++++++

රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක්

(19.03.2022 – 11:22 +0530 – hirunews.lk/sinhala)

රටේ පවතින ආර්ථික අර්බුද නිමාවන තුරු රාජ්‍ය සේවකයින් ප්‍රමාද වී පැමිණිම් සඳහා සහනයක් හෝ පෙර පැවති අත්සන් ලේඛන භාවිතයට ගන්නා ලෙස රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සම්මේලනය ඉල්ලීමක් කරනවා.

විදුලි සහ ඉන්ධන අර්බුද හමුවේ ඇතිවන මාර්ග තදබද හේතුවෙන් ගමනාගමනයේ ඇතිවන දුෂ්කරතා හේතුවෙන් නියමිත වේලාවට රාජකාරි වාර්තාකිරීම ගැටලුවක් වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

එම නිසා ඇගිලි සලකුණු යන්ත්‍රය භාවිතයට ගැනීමේදී ප්‍රමාදවී පැමිණීම් සදහා සහනයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා සදහන් කළේ ෴

++++++++++++

භුමිතෙල් පෝලිමකදී සිහිසුන් වූ පුද්ගලයෙකු මරුට

(19.03.2022 – 18:23 +0530 – hirunews.lk/sinhala)

මහනුවර නගරයේ භුමිතෙල් පෝලිමක සිටියදී සිහිසුන්ව ඇද වැටුණු පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි අයෙක්.

ඔහු නගරයේ පැවති ඉන්ධන පෝලිමක සිටියදී මෙලෙස ඇද වැටී අතර ගිලන් රථයකින් ඔහු රෝහල් ගතකිරීමේදී මියගොස් ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මෙම පුද්ගලයා එම ස්ථානයේ වැටී සිටියදී ඉන්ධන පිරවුම්හලේ බලධාරීන් ඔහු රෝහල්ගත කිරීමට පියවර නොගත් බවට එහි සිටි පිරිස් චෝදනා කළා.

කෙසේවෙතත් ඉන්ධන පිරවුම්හලේ හිමිකරු සඳහන් කළේ පොලිසිය එම ස්ථානයට කැඳවා ගිලන් රථයක් ද ගෙන්වා වැටී සිටි පුද්ගලයා රෝහල් ගත කරනු ලැබුවේ තමන් විසින් බවයි.

++++++++++++

සඳුදා (21) එන ලිට්රෝ ගෑස් නැවටත් මුදල් ගෙවයි – බෙදා හැරීම් අඛන්ඩව

(19.03.2022 – 19:50 +0530 – hirunews.lk/sinhala)

අනිද්දා (21) දිවයිනට පැමිණීමට නියමිත ගෑස් නෞකාව සඳහා ද ගෙවීම් සිදුකිරීමට පියවර ගෙන ඇති බව ලිට්රෝ සමාගම පවසනවා.

අදාළ නෞකාව මාලදිවයිනේ සිට දිවයිනට ළඟාවීමට නියමිතව ඇති අතර, එමගින් ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් රැගෙන ඒමට නියමිතයි.

පසුගිය 17 වැනිදා දිවයිනට පැමිණ තිබූ මෙට්‍රික් ටොන් 3500 ක ගෑස් නෞකාවක ගෙවීම් සිදුකිරීමත් සමඟ එහි ගොඩබෑමේ කටයුතු ආරම්භ කෙරුණා.

මේ වනවිට ඉන් මෙට්‍රික් ටොන් දහසක් (1000) පමණ බෙදාහැර තිබෙනවා.

ලිට්රෝ සමාගම ඊයේ (18) දිනයේදී ගෑස් සිලින්ඩර 1,20,000 ක් පමණ වෙළඳපොලට නිකුත් කර තිබූ අතර, අද (19) සහ හෙට (20) දිනවලත් ගෑස් බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

අදාළ ගෑස් නෞකාවේ ගෑස් ඉදිරි දින දෙක (2) සඳහා ප්‍රමාණවත්ව පවතින අතර, අනිද්දා (21) පැමිණෙන නෞකාවත් සමඟ ලිට්රෝ සමාගම අඛණ්ඩව සිය නිෂ්පාදන වෙළඳපොලට ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත්, අද (19) දිනයේදීත් දිවයිනේ විවිධ ප්‍රදේශවල ගෑස් පෝලිම් දක්නට ලැබුණු අතර ඇතැම් ස්ථානවල ජනතාව ප්‍රකෝපකාරී අයුරින් ද හැසිරුණා.

වෙළෙඳපොළ තුළ පවතින ගෑස් හිඟය හමුවේ ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා අදත් (19) ජනතාව පෝලිම්වල රැඳී සිටියා.

ගාල්ල නගරයේ ජනතාව දිගු පෝලිමක රැඳි සිටිය දී අද (19) උදෑසන ගෑස් රැගත් ලොරියක් එමි පැමිණ තිබුණා.

එහිදී ජනතාව නොසන්සුන් වූයේ එම ස්ථානයට පැමිණි ත්‍රිරෝද රථයක් ලොරි රථයෙන් ගෑස් සිලින්ඩර 10 කට ආසන්න සංඛ්‍යාවක් පටවා ගැනීමත් සමඟයි.

මේ අතර බණ්ඩාරවෙල නගරයටත් අද (19) පෙරවරුවේ ගෑස් රැගත් ලොරි රථයක් පැමිණ තිබුණා.

නමුත් ගෑස් අලෙවි නියෝජිතයින් සීමිත ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් පමණක් නිකුත් කරන බවටයි පාරිභෝගිකයින් චෝදනා කළේ.

පසුව පොලිසිය මැදිහත්ව අලෙවි නියෝජිතයින් සතුව තිබූ ගෑස් සිලින්ඩර සියල්ල පාරිභෝගිකයින්ට ලබාදීමට පියවර ගත්තා.

බොහෝ වේලාවක් ගෑස් පෝලිම්වල සිටීම හේතුවෙන් ප්‍රකෝප වූ අම්බලංගොඩ ජනතාව මාර්ගය අවහිර කරමින් කලහකාරී ලෙස හැසිරුණා.

අලු‍ත්ගම දර්ගා නගරයේ ගෑස් අලෙවිහලකින් පාරිභෝගික ජනතාවට ගෑස් ලබා නොදීම හේතුවෙන් ජනතාව අලු‍ත්ගම – මතුගම මාර්ගය දර්ගානගරය ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා.

මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනයටද බාධ එල්ලවූ අතර මිනිත්තු 10 ක පමණ වේලාවක් මාර්ගය වසා දැමීමටද සිදුවුණා.

ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතවරයා හෙට (20) දිනයේදී ජනතාවට ගෑස් ලබාදීමට පොරොන්දු වීමත් සමඟ පිරිස විසිරගොස් තිබෙනවා.

මේ අතර ගෑස් හිඟයත් සමඟ ජනතාව භූමිතෙල් ලබාගැනීම සඳහා පිරවුම්හල වෙත පැමිණීම නිසා පිරවුම්හල් ආශ්‍රිතව තවමත් දිගු භූමිතෙල් පෝලිම් දැකගත හැකියි.

++++++++++++

තවත් ඩීසල් නෞකාවක් අද (19) මිලදී ගනී – සපුගස්කන්ද පිරිපහදුව හෙට (20) සිට යළි වැසේ

(19.03.2022 – 20:00 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායට ඔබ්බෙන් නැංගුරම්ලා ඇති ඩීසල් නෞකාවේ අන්තර්ගත ඉන්ධන අද (19) මිලදී ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළේ ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන ඩීසල් තොගයේ ගොඩබෑමේ කටයුතු ද හෙට (20) ආරම්භ කරන බවයි.

එම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කට ආසන්න තොගයක් පවතින බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම, දිවයින පුරා ඉන්ධන හල් වෙත පෙට්‍රල් සහ ඩීසල් බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළා.

කොලඹ අද (19) පැවති මාධ්‍ය හමුවකදී බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ කියා සිටියේ රට තුල ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි.

කෙසේවෙතත් දිවයිනේ ප්‍රදේශ රැසක ඇතැම් ඉන්ධන හල් අද (19) වසා තැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ.

විවෘතව පැවති ඉන්ධන පිරවුම්හල් වල අදත් (19) දිගු පෝලිම් නිරීක්ෂණය වුණා.

මහනුවර ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැදි සිටි පුද්ගලයෙකු සිහිසුන්ව ඇද වැටී මියගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

එලෙස මියගොස් ඇත්තේ කටුගස්තොට – වත්තේගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙක්.

එමෙන්ම, ඉන්ධන ඉතිරි කර ගැනීමේ අරමුණින් බෑවුම් සහිත මාර්ගයක එන්ජිම ක්‍රියාවිරහිත කර ගමන් කරවමින් තිබූ ත්‍රිරෝද රථයක තිරිංග ක්‍රියා විරහිත වී පෙරලී ගොස් 13 හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට පත්වූ පුවතක් බලංගමුව – හෙම්මාතගමුව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

අනතුරෙන් එකම පවුලේ 5 දෙනෙකු තුවාල ලබා ගම්පොල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (20) රාත්‍රියේ සිට යළිත් වසා දැමීමට නියමිතයි.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *