දෙරණ අනාවරණයෙන් පසු අසරණ පවුලට බොහෝ පිරිස් පිහිටට එති

දෙරණ අනාවරණයෙන් පසු අසරණ පවුලට බොහෝ පිරිස් පිහිටට එති

*********************************************

දෙරණ අනාවරණයෙන් පසු අසරණ පවුලට බොහෝ පිරිස් පිහිටට එති

(19.03.2022 – 14:47 +0530 – sinhala.adaderana.lk)

දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් කුසට නිසි ආහාරයක් නොමැතිව ජීවත් වෙන දරු පවුලක් පිළිබඳව පසුගියදා ‘අද දෙරණ’ වාර්තා කළේය.

කහවත්ත ඇන්දාන ප්‍රදේශයේ ජීවත් වෙන ඔවුන් සියලුදෙනාගේම කුසගිනි නිවන්නට සිදුවී තිබෙන්නේ 9 හැවිරිදි එම පවුලේ වැඩිමහල් දරුවාට ය.

සිය බාල සහෝදරයින් කුස ගින්නේ හඬා වැටෙද්දී එය ඉවසාගත නොහැකි 9 හැවිරිදි සසින් කොස් ගසකට නැග කොස් ගෙඩියක් කඩා මව ට රැගෙනවිත් දෙන්නේ නංගිලා මල්ලිලාගේ කුස පුරවන්නටය.

වැසි දිනවලට නිවස සම්පූර්ණයෙන්ම තෙමී යන නිසාවෙන් කොස් ගෙඩියක් තම්බා ගැනීම වුවත් ඔවුන්ට ඉතා අපහසු කාර්යයකි.

“නංගිලා, මල්ලිලා බඩගින්නේ ඉන්නකොට, මම කොස් ගහට නැගලා, කොස් ගෙඩියක් කඩලා අම්මාට ගෙනත් දෙනවා. අම්මා අපිට ඒක තම්බලා දෙනවා. එහෙම තමා අපි කන්නේ. මස් මාළු කන්න නෑ. අපි ආසයි ඒවා කන්න. අපිට ඒවා ගෙනත් දෙන්නත් කවුරුත් නෑ. අපි තියෙන කොස් ගෙඩියක් කාලා ඉන්නවා,” යැයි පුංචි සසින් දිනේෂ් පැවසීය.

මව, පියා ඇතුළු පිරිමි දරුවන් තිදෙනෙකු (3) සහ ගැහැණු දරුවන් තිදෙනෙකු (3) එම පවුලේ ජීවත්වෙති.

මෙම පුවත වාර්තාවීමත් සමග ඊට සංවේදී වූ බොහෝ පිරිසක් එම පවුල සොයා පැමිණෙන්නට පටන් ගෙන තිබුණි.

පියා පිළිකා රෝගයකින් පීඩාවිදීමත් මවගේ අසනීප තත්ත්වයත් නිසා මෙම පවුලට සිදුව ඇති තත්ත්වයට යම් පිහිටක් ලබාදෙන්නට ඔවුන් කටයුතු කර තිබුණි.

“මම පර්චස් 10 ක ඉඩමක් දෙනවා මේ අයට ගෙයක් හදා ගන්න.” එසේ පැමිණි එක් කාන්තාවක් එසේ පවසා සිටියදී ඔවුන් සොයා පැමිණි තවත් කාන්තාවක් සඳහන් කළේ “අපිට වෙන් කළ හැකි යම් මුදලක් තිබෙනවා. අපි ඒ මුදල යොදවලා ඒ ගේ සකස් කරලා දෙන්න පොරොන්දු වෙනවා,” යනුවෙනි.

ඔවුන් සොයා පැමිණි තවත් පරිත්‍යාගශීලි පුද්ගලයෙක් සඳහන් කළේ එම නිවසට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට තමන් සතු මුදල් ලබාදෙන බවය.

“මම මෙච්චර විස්තරයක් දන්නේ නෑ.. මට වයිෆ් තමයි පෙන්නුවේ මේ බලන්න රුවන්..මෙහෙම විස්තරයක් දාලා තියෙනවා කියලා. ඊට පස්සේ දෙරණ ට කතා කරලා විස්තර හොයා ගත්තා. ඇත්තටම දුකයි. මටත් දරුවෝ හතර (4) දෙනෙක් ඉන්නවා. මේ වගේ දේවල් හොයලා දාන එකට දෙරණ ට ස්තූතියි,” එම අවස්ථාවේදී සංවේදී වූ තවත් පරිත්‍යාගශීලී පුද්ගලයෙක් පවසා සිටියේය.

තම පවුල පත්ව ඇති තත්ත්වය ගැන සංවේදී වූ පිරිස් ලබාදුන් උදව් උපකාර පිළිබඳව සසින් දිනේෂ්ගේ පියා අදහස් දක්වමින් සඳහන් කළේ,

“මට කියා ගන්න බැරි තරම් සතුටක් තිබෙනවා. මගේ රෝගයෙන් මම අද මැරුණත් මට සතුටු වෙන්න පුළුවන් එකම දේ තමයි මගේ දරුවන් ට පිහිට වෙන්න ගොඩාක් මිනිස්සු ඉන්නවා කියන කාරණය.”

සසින් දිනේෂ්ගේ මව, “දරුවන්ට කන්න බොන්න ගෙනාපුවා හරිම ආශාවෙන් කෑවේ. දරුවෝ ආසා කළ සියලුදේම ලැබුණා. ඒවා දීපු හැමදෙනාටම ගොඩාක් පිං.”

ස්ථිර නිවසක් නොමැති මොවුන් මේ වනවිට ජීවත්වන්නේ කහවත්ත ඇන්දගාන ප්‍රදේශයේ ය.

නමුත්, මේ ස්ථානයෙන්ද ඔවුන්ට ඉවත්වයෑමට සිදුව තිබේ.

සසින් දිනේෂ්ගේ මව,

“අපි හිටිය ගෙදරිනුත් අපිව එළවලා දැම්මා. ඉතින් මං දරුවොත් අරන් යන්න තැනක් නැති නිසා මෙතෙන බලෙන් අල්ල ගෙන ඉන්නේ. දැන් ඒකටත් අපිට නඩුදාලා තියෙන්නේ.”

ඔවුන්ට මේ ඉරණම අත්ව ඇත්තේ ඔවුන්ගේ පියා ලේ පිළිකාවකින් පීඩාවිඳින පසුබිමකය.

පුංචි සසින් පිළිබඳ වැඩිදුර තොරතුරු 077 611 4050 දුරකථන අංකයෙන් ලබාගත හැකිය.

***************************************

දකුණ හැර, අනෙකුත් පළාත්වල වායු දූෂණය ඉහළට

(19.03.2022 – 07:14 +0530 – hirunews.lk/sinhala)

දකුණු පළාතේ හැර සෙසු සියලු ප්‍රදේශවල වායුගෝලයේ දූවිලි ඝණත්වය ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

එහි පාරිසරික අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පවතින කාලගුණ තත්වය සහ ආසියාතික රටවල වායු දූෂණය ඊට හේතු වී ඇති බවයි.

ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ චීනය වැනි රටවල වායු දූෂණයත් සමග එම දුහුවිලි අංශු සුළං ධාරාවන් මගින් මෙරට වායුගෝල කලාපයට එක් වන බව ඔහු පෙන්වා දෙනවා ෴

***************************************

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරියක දිවයිනට

(19.03.2022 – 07:21 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලෑන්ඩ් අද (19) ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ආසියාතික කලාපයේ නිල සංචාරයක් අරඹනවා.

ට්විටර් සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ ඉන්දු – පැසිපික් කලාපය පුරා සාමය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම සිය සංචාරයේ අරමුණ බවයි.

ඒ වෙනුවෙන් වන හවුල්කාරීත්වය වෙනුවෙන් තමා අදාල රටවල සංචාරය කරන බව ඇය ප්‍රකාශ කළා.

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය සිය දකුණු ආසියානු චාරිකාවේදී බංග්ලදේශය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇති.

ආර්ථික හවුල්කාරීත්වයන් සහ අන්‍යෝන්‍ය සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය ඇතුලු නියෝජිතයන් එම සංචාරයේදී සිවිල් සමාජය මෙන්ම ව්‍යාපාරික නායකයන්ද හමුවීමට නියමිතයි.

ඇය සමග ශ්‍රී ලංකාව ඇතුලු රටවල සංචාරය කරන දූත පිරිසට ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මෙන්ම එරට ප්‍රතිපත්ති පිළිබඳ නියෝජ්‍ය ආරක්ෂක ලේකම් ඇමැන්ඩා ඩෝරි ද ඇතුලත් ෴

***************************************

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කන්ටේනර් 2000 ක් නිදහස් කිරීමට සැළසුම් – ඉන්දීය භාණ්ඩවලට මුල්තැන

(19.03.2022 – 07:26 +0530 – hirunews.lk/sinhala)

වරාය තුල සිරව ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බහලුම් 2000 ක් පමණ මුදා හැරීමට අවශ්‍ය මුදල් ලබා දෙන බවට මුදල් අමාත්‍යංශය සහ වෙළඳ අමාත්‍යංශය තමන්ට දැනුම් දී ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කල භාණ්ඩ සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙනු ඇති බවයි.

සහල්, සීනි, ලොකු ලූණු, මිරිස්, කඩල සහ පරිප්පු ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉන්දියානු රජය මගින් ලබා දෙන ණය ආධාර යටතේ වරායෙන් නිදහස් කරගැනීමට නියමිතයි.

මේ අතර වරාය තුළ සිරව ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සළසන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් දුන් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

***************************************

වැඩිවන කිරිපිටි මිල හෙට (20) ප්‍රකාශයට

(19.03.2022 – 08:15 +0530 – hirunews.lk/sinhala)

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට අදාළ මිල ගණන් හෙට (20) දිනයේදී ප්‍රකාශයට පත් කරන බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 500 කින් හෝ 600 කින් ඉහළ යා හැකි බවයි ෴

***************************************

මෙරට තේ නිෂ්පාදනය වසර 13 කින් පහළම අගයට

(19.03.2022 – 10:24 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ පෙබරවාරි මාසයේ මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 18.16 ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 20 ක පහත වැටීමක් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ දත්ත මගින් අනාවරණ වනවා.

ඒෂියා සියක තැරැව්කාර සමාගම සඳහන් කරන පරිදි එය කිලෝග්‍රෑම් මිලියන 12.8 ක් වාර්තා වූ 2009 වසරේ පෙබරවාරි මාසයෙන් පසු අඩුම මාසික තේ නිෂ්පාදනයයි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ රසායනික පොහොර තහනම මෙම තත්ත්වයට හේතුවක් ලෙස සැලකෙනවා.

තේ කර්මාන්තය සඳහා එම තහනම පසුගිය ඔක්තෝම්බරයේ ඉවත් කළ ද ඩොලර් හිගය හේතුවෙන් පොහොර ආනයනය කිරීම තේ නිෂ්පාදකයන්ට ගැටලුවක් වී තිබෙනවා.

පොහොර තහනමට පෙර ශ්‍රී ලංකාව වාර්ෂිකව තේ අපනයනයෙන් ඩොලර් බිලියන 1.3 ක් පමණ උපයනු ලැබුවා.

මෙරට තේ කර්මාන්තයට බලපා ඇති නවතම අභියෝගය වන්නේ රුසියාවේ යුක්රේන ආක්‍රමණයයි.

ශ්‍රී ලංකා තේ මිලදී ගන්නා මුල් පෙලේ ගැණුම්කරුවන් වන රුසියාවට සහ යුක්රේනයට මෙරට තේ නිෂ්පාදනයෙන් සියයට 10 ක් පමණ අපනයන කිරීම ඊට හේතුවයි ෴

***************************************

රාගම මනුෂ්‍ය ඝාතනයක්

(19.03.2022 – 10:56 +0530 – hirunews.lk/sinhala)

රාගම – බටලන්ද ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීමක් හේතුවෙන් අවුරුදු 34 ක පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ (18) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවටයි පොලීසිය කළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ.

සිද්ධියට සම්බන්ධ වයස අවුරුදු 24 ක් වන රාගම ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

නව ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වේ

(19.03.2022 – 11:03 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා නායකත්වය දරන නව ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ (18) සවස කිරුලුපන පිහිටි මාධ්‍ය කේන්ද්‍රයේ දී පැවැත්වුණා.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග, හිටපු උතුරු මැද පළාත් මහා ඇමති පේෂළ ජයරත්න, හිටපු නියෝජ්‍ය ඇමතිනි ප්‍රයංගනි අබේදිර ඇතුලු පිරිසක් සහභාගී වි සිටියහ.

මෙහිදී කුමාර වෙල්ගම කියා සිටියේ ‘ගෝඨාභයට බැහැ’ කියලා මීට අවුරුදු දෙකකට (2) කලින් මුලින්ම කියපු ලංකාවේ එකම කෙනා මම.

ගෝඨාභය රජයෙන් ජනතාව නන්නත්තාර කරන බව එදා මම කිව්වා.

එදා ගෝඨාභය වෙනුවට මම දිනේෂ් ගුණවර්ධන තමයි නම් කළේ. නමුත් පවුලෙ කෙනෙක් දාන්න ඕනේ කියල ඒකට මහින්ද මහත්තය විරුද්ධ වුණා.

ඒ වගේම බැසිල්ටත් බෑ. පක්ෂය හදපු එක ඇත්ත නමුත් ඔහුට ආර්ථිකය හදන්න බෑ. ඒ වගේම එකම භාෂාවක් හෝ හරියට කතා කරන්නත් බෑ ෴

***************************************

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ තලෙයිමන්නාරමේදී කාන්තාවක අත්අඩංගුවට

(19.03.2022 – 12:19 +0530 – hirunews.lk/sinhala)

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 359 ක් ළඟ තබාගෙන සිටි සැකකාරියක් තලෙයිමන්නාරම ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 43 ක කාන්තාවක බවයි පොලිසිය පැවසුවේ.

තලෙයිමන්නාරම පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (18) රාත්‍රියේ මෙම වැටලීම සිදුකර තිබෙනවා ෴

***************************************

වැඩිවන කිරිපිටි මිල හෙට (20) ප්‍රකාශයට – සිමෙන්ති මිලත් යළි ඉහළ යන ලකුණු

(19.03.2022 – 12:55 +0530 – hirunews.lk/sinhala)

ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට අදාළ නව මිල ගණන් හෙට (20) දිනයේදී ප්‍රකාශයට පත් කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ නව සංශෝධනය අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 500 කින් හෝ 600 කින් ඉහළ යා හැකි බවයි.

එමෙන්ම ග්‍රෑම් 400 ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 260 කින් පමණ ඉහළ යනු ඇති බවයි වාර්තාවන්නේ.

පසුගිය කාලයේ දෙවරක්ම (2) ආනයනික කිරිපිටි මිල ඉහළ දමනු ලැබුවා. ආනයනික ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් මේ වනවිට වෙළඳපොලේ රුපියල් 540 කටත්, කිලෝග්‍රෑම් එකේ (1) කිරි පැකට්ටුවක් රුපියල් 1,345 කටත් අලෙවි වනවා.

මේ අතර ආනයනික කිරිපිටි මිල නැවත වරක් ඉහළ දැමීමට අදාළ විශේෂ සාකච්ඡාවක් අද (19) දිනයේ පැවැත්වෙන බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

මෙවන් පසුබිමක් යටතේ වෙළඳපොලේ මේ වනවිට කිරිපිටි හිඟ තත්වයක් පවතින අතර, කිරිපිටි මිලදී ගැනීම සඳහා අද (19) දිනයේ බොහෝ ප්‍රදේශවල දිගු පෝලිම් දක්නට ලැබුණා.

මේ අතර වරාය තුල සිරව ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බහලුම් 2000 ක් පමණ මුදා හැරීමට අවශ්‍ය මුදල් ලබා දෙන බවට මුදල් අමාත්‍යංශය සහ වෙළඳ අමාත්‍යංශය තමන්ට දැනුම් දී ඇති බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය කල භාණ්ඩ සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙනු ඇති බවයි.

සහල්, සීනි, ලොකු ලූණු, මිරිස්, කඩල සහ පරිප්පු ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉන්දියානු රජය මගින් ලබා දෙන ණය ආධාර යටතේ වරායෙන් නිදහස් කරගැනීමට නියමිතයි.

මේ අතර සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට පවතින බාධා හේතුවෙන් සිමෙන්ති මිල යළිත් ඉහළ දැමීමට සිදුවන බව සංස්ථා සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ඒකනායක කියා සිටියා.

***************************************

ආනයනික දුම්රිය මැදිරිවල ගැටළුවක් – වෘත්තිය සමිතිවලින් චෝදනා

(19.03.2022 – 13:03 +0530 – hirunews.lk/sinhala)

මෑතකදී ඉන්දියාවෙන් ආනයනය කරන ලද දුම්රිය මැදිරි ධාවනයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇති බව හඳුනාගෙන ඇතැයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් ඉන්දික දොඩම්ගොඩ මේ බව කියා සිටියේ කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම දුම්රිය මැදිරිවල බරපතල තාක්ෂණික ගැටළුද පවතින බවයි.

මේ අතර, පිරිවැය ඉහළ යෑමේ ගැටළුවලට විසඳුම් ලබා නොදුනහොත් එළඹෙන ජූලි මාසයේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී යළිත් වරක් ගාස්තු ඉහළ නැංවීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *