පක්ෂ එකොළහට (11) තවත් පක්ෂ එක්වීමේ සූදානමක්

පක්ෂ එකොළහට (11) තවත් පක්ෂ එක්වීමේ සූදානමක්

*********************************************

පක්ෂ එකොළහට (11) තවත් පක්ෂ එක්වීමේ සූදානමක්

(18.03.2022 – 08:33 +0530 – hirunews.lk/sinhala)

පක්ෂ එකොළහේ (11) එකතුවට ඉදිරියේ දී ආණ්ඩුව තුල සිටින තවත් පක්ෂ එක් කර ගැනීමට කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.

එහි මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මේ බව ප්‍රකාශ කළේ, කොළඹ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා එහි දී අදහස් ප්‍රකාශ කළා ෴

***************************************

වලවේ ගඟ මායිමේ සිදු කෙරෙන ගොඩවැලි කැපීමේ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණයක්

(18.03.2022 – 08:38 +0530 – hirunews.lk/sinhala)

අම්බලන්තොට ප්‍රදේශයේ වලවේ ගඟේ මායිම් අසල සිදු කෙරෙන මහා පරිමාණ ගොඩවැලි කැපීමේ ස්ථාන සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

එම වැලි කැපීමේ ස්ථාන සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් සිදු කළ පරීක්ෂාව පිළිබඳ හිරු ප්‍රවෘත්ති වාර්තා කළේ මෙරට කිසිදු ජනමාධ්‍යයක් ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීමට අවධානයක් යොමු නොකළ පසුබිමකයි.

එම ස්ථානයට පැමිණි භූ විද්‍යා හා පතල් කාර්යාංශ නිලධාරීන් වැලි වලවල් 13 ක් සහ දැනට අතහැර දමා ඇති පැරණි වැලි වලවල් ද නිරීක්ෂණය කළා.

මෙහි දී පරිසර හානියක් සිදු වන්නේ ද යන්න සම්බන්ධයෙන් නිලධාරීන් මෙතෙක් නිගමනයකට පැමිණ නැහැ.

එහි නිලධාරියෙකු කියා සිටියේ, මෙම පරීක්ෂාවේ අරමුණ පරිසර අමාත්‍යවරයාට වාර්තාවක් ලබාදීම බවයි.

මෙරට පරිසර සංවේදී පුවත් නොබියව සහ අපක්ෂපාතීව වාර්තා කළ අයුරින්ම මේ සම්බන්ධයෙන් ද හිරු ප්‍රවෘත්ති ඉදිරියේදී තොරතුරු වාර්තා කිරීමට සූදානමින් සිටිනවා.

ජනතා ගැටලු‍ හමුවේ එදත් අදත් (18) නොබියව සහ පළමුව පෙරට පැමිණි අප, ජනතා සුබ සිද්ධිය වෙනුවෙන් ඉදිරියේදීත් කිසිදු අයුරකින් පසුබසින්නේ නැහැ.

පොදු ජනතාවට කිසියම් හෝ අසාධාරණයක් හෝ අවැඩක් සිදු වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් අන් සියල්ලන්ටම පෙර අප ඒ වෙනුවෙන් සටන් කිරීමට පෙරමුණ ගන්නා බව ජනතාවට අප සහතික වනවා ෴

***************************************

ජල ටැංකියකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

(18.03.2022 – 10:18 +0530 – hirunews.lk/sinhala)

වැලිමඩ ප්‍රදේශයේ හෝටලයක ජල ටැංකියක තිබී පුද්ගල මළ සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව මෙම මළ සිරුර ඊයේ (17) සොයාගෙන ඇති අතර, එහි දී අනාවරණ වී ඇත්තේ, එම හෝටලයේම සේවය කරන පුද්ගලයෙකු මෙලෙස ජල ටැංකියට වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

අඹගස්දෝව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මෙම පුද්ගලයා දීර්ඝකාලීනව මීමැස්මොර රෝගයෙන් පෙළුනු අයෙකු බව සඳහන්.

එසේම බණ්ඩාරගම එස්.ඕ.එස්. වත්ත ප්‍රදේශයේ දී 14 හැවිරිදි දරුවෙකු ඇළකට වැටී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රදේශවාසීන් දරුවා ගිලෙමින් සිටිය දී බේරාගෙන හල්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව යි මියගොස් ඇත්තේ.

අසල්වැසි කාන්තාවක් සමඟ මෙම දරුවා දර කැඩීමට ගොස් සිටිය දී ඇළට වැටී තිබූ දර අත්තක් ගැනීමට යාමේ දි මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ෴

***************************************

මාස තුනහමාරක් (3½) තුළ සංචාරකයින් 2,32,000 ක් දිවයිනට

(18.03.2022 – 11:07 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ ජනවාරි 01 වන දා සිට මාර්තු 15 වන දා දක්වා වන කාලය ඇතුළත සංචාරකයින් 2,32,089 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු කියා සිටියේ, මාර්තු මාසයේ පළමු දින 15 තුළ පමණක් සංචාරකයින් 53,255 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි.

ජනවාරි සහ පෙබරවාරි මාසවල දී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,78,834 ක්.

වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් දිවයිනට පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 35,627 ක් බවයි ඇය කියා සිටියේ.

රුසියාවෙන් සංචාරකයින් 35,064 දෙනෙකු සහ බ්‍රිතාන්‍යයෙන් සංචාරකයින් 23,702ක් දිවයිනට පැමිණ තිබෙනවා ෴

***************************************

ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ලේකම් කාර්‍යාලය අසලට පැමිණෙයි

(18.03.2022 – 12:42 +0530 – hirunews.lk/sinhala)

ජනතා විමුක්ති පෙරමුන සංවිධානය කළ විරෝධතාව මේ වන විට ජනාධිපති ලේකම් කාර්‍යාල ගේට්ටුව අසලට පැමිණ ඇති බව වාර්තා වනවා.

ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් සිදු කරනු ලබන විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව සහ ලෝටස් වටරවුම අවට දැඩි රථවාහන තදබදයක් ද ඇති වී තිබෙනවා.

රට තුළ පවතින අර්බුදකාරී තත්වය හමුවේ ආණ්ඩුවට විරෝධය පළ කරමින් පැවැත්වෙන මෙම විරෝධතා පා ගමන මරදාන – ටෙක්නිකල් මංසන්ධියෙන් අද (18) පෙරවරු 11:30 ට පමණ ආරම්භ වුණා.

***************************************

මාස 6 ක හිඟ බිල්පත් ඇත්නම් ජලය කැපේ

(18.03.2022 – 13:00 +0530 – hirunews.lk/sinhala)

මාස හයක් (6) සහ අවුරුද්දක (1) කාලයක් අඛන්ඩව ජල බිල්පත් නො ගෙවූ සබඳතා විසන්ධි කිරීම ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

කොරෝනා ව්‍යාප්තිය ආරම්භවීමත් සමඟ සබඳතා විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටවූ අතර, අයවිය යුතු හිඟ බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 7.5 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත කියා සිටියේ.

වසර 10 කින් ජල ගාස්තු ඉහළ නංවා නොමැති අතර, ගාස්තු ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් පවතින බව ද ඔහු සඳහන් කළා ෴

***************************************

ගිනි නිවීමේ රථ පෙළක් කොළඹ මහ නගර සභාවට

(18.03.2022 – 13:10 +0530 – hirunews.lk/sinhala)

නවීන තාක්ෂණයෙන් යුත් ගිනි නිවීමේ රථ පෙළක් කොළඹ මහ නගර සභාවට ලබාදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර පිටියේ බණ්ඩාරණායක පිළිරුව අසල දී අද (18) සිදු කෙරුණා.

ඔස්ට්‍රියානු සමාගමක් විසින් නිෂ්පාදනය කළ මෙම නවීන ගිණි නිවීමේ රථ මෙරටට ආනයනය කරනු ලැබූවේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ යෝජනාවක් මතයි.

ඒ අනුව, ගිණි නිවීමේ රථ 15 ක් ආනයනය කර ඇති අතර ඒවා කොළඹ මහ නගර සභාවේ පරිහරණය සඳහා ලබා දුන්නා.

මීට සමගාමීව කොළඹ මහ නගර සභාවේ මෙතෙක් භාවිත කළ ගිණි නිවීමේ රථ 15 ක් සෙසු පළාත් පාලන ආයතන වෙත ලබා දීම සිදු කෙරුණා.

***************************************

වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 6,261 ක්

(18.03.2022 – 13:22 +0530 – hirunews.lk/sinhala)

වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 6,261 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 4,522 ක්.

පෙබරවාරි මාසයේදී රෝගීන් 1,511 ක් මාර්තු මාසයේ මේ දක්වා ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 228 ක් වාර්තා වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ, කඩින් කඩ වැසි පැවතීම හේතුවෙන් ජනතාව යළි ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ සැළකිලිමත් විය යුතු බවයි ෴

***************************************

‘අවලස්සන ඇමරිකානුවා’ යළි ශ්‍රී ලංකාවට

(18.03.2022 – 13:56 +0530 – hirunews.lk/sinhala)

= බැසිල් යළි මව්බිමට =

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය ඉන්දීය දෙදින නිල සංචාරය නිමා කර 03/18 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියා.

මෙම සංචාරය අතරතුර දී ඉන්දීය රජය වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් අනුමත කරවා ගැනීමට කටයුතු කර තිබුණා.

මෙම සංචාරය සදහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල සහ අමාත්‍යවරයාගේ බිරිඳ ද එක් වී සිටියා.

ඔවුන් 03/18 දින පස්වරු 01:40 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 192 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මෙම මුදල් අමාත්‍යවරයා ඇතුළු පිරිස ඉකුත් 03/15 දින පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණා ෴

++++++

ඉන්දියාවෙන් ලබාගත් බිලියනයක ණය මුදල සඳහා කිසිදු කොන්දේසියක් නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

සිය දෙදින ඉන්දීය නිල සංචාරය නිමා කරමින් අද (18) දහවල් දිවයිනට පැමිණි මුදල් අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මෙම සංචාරයේදී ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීමට අදාළ ගිවිසුමට ඊයේ (17) අත්සන් තැබුණු අතර, ඉන්ධන සඳහා ලබාදෙන ණය ඇමෙරිකානු ඩොලර් මිලියන 500 සිට 750 දක්වා ඉහළ දමන ලෙසද ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් එහිදී ඉල්ලීමක් සිදුකළා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට විදේශ අමාත්‍ය එස්. ජයිශන්කර් ඇතුලු රාජතාන්ත්‍රිකයින් පිරිසක් මෙම සංචාරයේදී හමුවී සාකච්ඡා පවත්වනු ලැබුවා.

මේ අතර වරාය තුළ සිරව ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සළසන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් දුන් බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

යාපනයේ පිහිටි ආරක්ෂක කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

***************************************

සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාකරුවන් විසිර යයි

(18.03.2022 – 14:31 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය ආරම්භ කළ විරෝධතා පාගමන ජනාධිපති කාර්යාලයේ පිවිසුමෙන් ඇතුළු වී එම ස්ථානයේද විරෝධතාවයේ නිරත වීමෙන් පසු මේ වනවිට අවසන්ව තිබෙනවා.

මරදාන – ටෙක්නිකල් මංසන්ධියෙන් අද (18) පෙරවරුවේ ආරම්භ කළ විරෝධතාව පිටකොටුව, කොටුව ඔස්සේ ගොස් ජනාධිපති කාර්යාලය අසලට පැමිණියා.

එහිදී කොළඹ කොටුව අවට දැඩි රථවාහන තදබදයක්ද හටගත් අතර, පසුව ඔවුන් ජනාධිපති කාර්යාලය අසලට පැමිණ එහිදී පිවිසුමෙන් ඇතුළුවීමට උත්සාහ කිරීමේදී ඔවුන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් අතර තරමක උණුසුමක්ද හට ගෙන තිබුණා ෴

***************************************

වෙළඳ ඇමති යාපනයේ සංචාරයක

(18.03.2022 – 16:12 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ පිහිටි ආරක්ෂක කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් ගබඩා සංකීර්ණය කඩිනමින් සකස් කොට, භාණ්ඩ තොග ගබඩා කිරීම සඳහා එය භාවිත කරන ලෙස වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන උපදෙස් ලබාදී තිබෙනවා.

අද (18) යාපනය ප්‍රදේශයේ සංචාරයකට එක්වූ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ජනතාවට අත්‍යවශ්‍ය වන භාණ්ඩ හිඟයකින් තොරව ලබාදීම සඳහා මෙලෙස භාණ්ඩ තොග පවත්වාගෙන යා යුතු බවයි.

ආනයනය කරනු ලබන සහල් තොග දුම්රියෙන් යාපනයට ප්‍රවාහනය කර උතුර ප්‍රදේශයේ පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලයට හිඟයක් ඇති නොවන ආකාරයට සැපයුම් පවත්වාගෙන යා යුතු බවටද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා ෴

***************************************

විභාග දින නියමයක් නොමැතිව කල් දැමේ

(18.03.2022 – 17:58 +0530 – hirunews.lk/sinhala)

ලබන සතියේ පැවැත්වීමට නියමිත පාසල් වාර විභාග සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්තර මුද්‍රණය කිරීමට නියමිත වේලාවට භාර නොදීම හේතුවෙන්, ඉදිරියේදී කලට වේලාවට වාර විභාග පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පවසනවා.

අද (18) උදෑසන පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජෝසෆ් ස්ටාලින් කියා සිටියේ මේ වන විට මුද්‍රණ ක්ෂේත්‍රය තුළ මතුව ඇති අර්බුදය හේතුවෙන් මෙරට පාසල් සහ උසස් අධ්‍යාපනය ලබන දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වලට බරපතල ගැටලු සහගත තත්ත්වයක් මතුකර ඇති බවයි.

මේ වන විට පාසල් පෙළ පොත් මුද්‍රණය බරපතල ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති අතර අප්‍රේල් මාසයෙන් පසුව ආරම්භ කිරීමට නියමිත නව පාසල් වාරය සඳහා අවශ්‍ය කරන පාසල් පෙළපොත් තවමත් මුද්‍රණය කර අවසන් නොමැති බවයි ඔහු අවධාරණය කරන්නේ.

කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් විධිමත් අධ්‍යාපනයක් නො ලැබූ දරු දැරියන් මේ වසරේ ජනවාරි මාසයේ සිට නැවත ක්‍රමවත් ලෙස පාසල් පැමිණීමට පටන් ගත්ත ද ඒ වෙනුවෙන් අවශ්‍ය කරන යටිතල පහසුකම් හෝ සලසා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ දක්වා අපොහොසත් වී ඇති බවට ඔහු චෝදනා කරනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටින්නේ මෙවර අයවැයෙන් රුපියල් මිලියන 4000 අධ්‍යාපනය සඳහා වෙන්කර තිබුණ ද අද වන විට දෙමව්පියන්ට නැවතත් පාසල් පෙළ පොත් මිලදී ගැනීමට සිදුව ඇති බවයි.

+++++++

***************************************

මහරගම නගර සභාවේ මාසික සභා රැස්වීමේදී උණුසුම් තත්වයක්

(18.03.2022 – 18:40 +0530 – hirunews.lk/sinhala)

මහරගම නගර සභාවේ මාසික සභා රැස්වීම අද (18) දා පැවති අතර එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට නගර සභා පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩ ලබානොදීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් සහ ස්වාධීන මන්ත්‍රීවරයා එක්ව විරෝධය පළ කිරීමත් සමඟ මේ තත්ත්වය හට ගැනුණා.

අද (18) උදෑසන මාධ්‍යවේදීන් නගර සභාවට පැමිණියද සභාපති වරයා ආරක්ෂක අංශයට පවසා තිබුණේ මාධ්‍යවේදීන්ට ඇතුළු වීමට අවසර ලබා නොදෙන ලෙස යි.

ඒ අනුව මාධ්‍යවේදීන් ගේට්ටුව අසල රැඳී සිටින අවස්ථාවේ දී සභා රැස්වීමට යමින් සිටි ස්වාධීන කණ්ඩායමේ නාගරික මන්ත්‍රීවරයා ට ඒ බව පැවසීමත් සමඟ ඔහු ඊට විරෝධය පළ කරමින් පැය දෙකක (2) පමණ කාලයක් නගර සභාව ඉදිරිපිට විරෝධතා පුවරුවක්ද අතැතිව බිම වාඩි වී විරෝධතාවයක යෙදී තිබෙනවා.

පසුව මේ බව දැනගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රී කණ්ඩායමක් මාධ්‍ය ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සභාපතිවරයා මාධ්‍ය වාරණය කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කළා.

පසුව ආරක්ෂක අංශය සමග ද උණුසුම් තත්වයක් තත්ත්වයක් හට ගත්තා ෴

***************************************

සමාජවාදී තරුණ සංගමය කොළඹදී විරෝධතාවක

(18.03.2022 – 19:17 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින අර්බුදකාරී තත්වයට එරෙහිව ආණ්ඩුවට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය කොළඹ විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණා.

අද (18) පෙරවරු 11:30 පමණ මරදාන – ටෙක්නිකල් මංසන්ධියෙන් මෙම පාගමන ආරම්භ විමත් සමඟ කොටුව අවට රථවාහන තදබදයක් ද හට ගත්තා.

විරෝධතා පාගමන ජනාධිපති කාර්යාලය දක්වා ගමන් කිරිමෙන් පසු එහි පළමු දොරටුවෙන් කාර්යාල පරිශ්‍රය තුළට විරෝධතාකරුවන් පැමිණීමට උත්සාහ කිරීමත් සමඟ තරමක උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

පසුව ඔවුන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට බිම වාඩ් වි සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වුණා.

විරෝධතාකරුවන් රැගෙන ආ සංදේශයක් භාර ගැනිමට කිසිදු නිළධාරියෙකු නොපැමිණීම හේතුවෙන් අදාළ සංදේශයට එම ස්ථානයේදී ගිනි තැබිමට විරෝධතාකරුවන් කටයුතු කළා.

පැයකට ආසන්න කාලයක් සටන් පාඨ කියමින් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ විරෝධතාවයේ නිරත වු පිරිස එම ස්ථානයෙන් පිටව ගිය බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *