ගෑස් මිළ වැඩිකිරීමට සැරසෙයි

ගෑස් මිළ වැඩිකිරීමට සැරසෙයි

*********************************************

ගෑස් මිළ වැඩිකිරීමට සැරසෙයි

(18.03.2022 – 18:24 +0530 – hirunews.lk/sinhala)

කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය වෙළඳපලට නිකුත් කිරීම සඳහා පමණක් ලිට්රෝ සමාගමට රුපියල් 4462 ක මුදලක් පිරිවැය වශයෙන් දැරීමට සිදුවී ඇති බව ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුවේ පියල් කොළඹහෙට්ටි පවසනවා.

අද (18) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසා සිටියේ මේ ආකාරයට පාඩුපිට ලිට්රෝ සමාගම තවදුරටත් පවත්වාගෙන ගිය හොත් ඉදිරි මාස තුන (3) ඇතුළත මෙම සමාගම වසා දැමීමට සිදුවන බවයි.

මේ වන විටත් රුපියල් කෝටි 1100 ට අධික පාඩුවක් දරමින් ලිට්රෝ සමාගම පාරිභෝගිකයින් වෙනුවෙන් ගෑස් නිකුත් කරන බවත්, තවදුරටත් එලෙස සිදු කිරීමට සමාගමට හැකියාවක් නොමැති බවත් ඔහු අවධාරණය කළා.

මේ වන විට ලංකාව පුරා කුඩා සංචාරක හෝටල් 1500 ට ආසන්න ප්‍රමාණයක් වසා දමා ඇති බවත් ඒ හරහා සිය සමාගමේ අලෙවිය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති බවත් මෙම මාධ්‍ය හමුවේ දී ඔහු පෙන්වා දුන්නා.

2015 වසරේ සිට මේ දක්වා ආසන්න වශයෙන් රජයට රුපියල් බිලියන 50 කට ආසන්න මුදල් ප්‍රමාණයක් සිය සමාගම හරහා උපයා දී තිබුණ ද මේ වන විට එම තත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරී ඇති බවටයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් නුදුරේදීම ගෑස් සිලින්ඩරයක මිල වැඩිකර මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීමට සමාගම කටයුතු නොකළහොත් අනිවාර්යෙන්ම පාඩු ලබන ආයතනයක් බවට පත් වී බංකොලොත් වී යා හැකි බවට ඔහු අනතුරු අඟවනවා.

+++++++++++

ලොව පුරා ඉන්ධන සැපයුම තර්ජනයක – ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන් රතු එළියක්

(18.03.2022 – 19:25 +0530 – hirunews.lk/sinhala)

ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග පවතින බැවින් පිරවුම්හල්වලින් ඉන්ධන ලබාගැනීමේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඉන්ධන ලබාගන්නා ලෙස බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ජනතාවගෙන් යළි ඉල්ලීමක් කරනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පෝලිම් නිර්මාණය වීමට හේතුව ඉල්ලුම ඉහළ යාම බවයි.

තවත් දින දෙකක් (2) පමණ වනවිට එම ඉල්ලුම පහළ යනු ඇති බවටද අමාත්‍යවරයා විශ්වාසය පළ කළා.

කෙසේ වෙතත් සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසන්නේ බෙදාහැරීම් නිසි ක්‍රමවේදයක් නොමැති නිසා මෙම අර්බුදය දිග්ගැස්සී ඇති බවයි.

ඒ අනුව සෑම පිරවුම්හලකටම සමානව ඉන්ධන බෙදාහැරීම සිදුකරන්නේ නම් මෙම ගැටළුව පැය විසි හතරක් (24) ඇතුළත විසඳිය හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.

මේ අතර කොළොන්නාව නිමාවෙන් සියලු ටැංකි රථ වෙත ඩීසල් ලබාදීමට ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය එකඟතාව පළ කර තිබෙනවා.

ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් බවුසර් සඳහා ඉන්ධන නිකුත් කළද, එම බවුසර් ධාවනයට අවශ්‍ය ඉන්ධන නොමැති නිසා පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම ගැටළුවක් බවටයි පත්ව තිබුණේ.

කෙසේ වෙතත් පසුව බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී ඊට විසඳුම් ලැබුණු බවයි සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් අප ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා ගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මෙම චෝදනාව සම්බන්ධයෙන් සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයෙන් විමසා සොයා බලන බවයි.

කෙසේ වෙතත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන්වීම හේතුවෙන් අද (18) පෙරවරුවේද පෝලිම් පැවති අතර, තවත් පිරවුම්හල් වසා දමා තිබූ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

මේ අතර ඉන්ධන භාවිතය අඩු කරන ලෙස ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සියලු රටවල් වෙත දැනුම්දී තිබෙනවා.

ඒ, රුසියාව සහ යුක්රේනය අතර පවතින අර්බුදයත් සමඟ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ගැටළු මතුවීමත් සමඟයි. ඒ අනුව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය දස (10) වැදෑරුම් සැළැස්මක් යෝජනා කර ඇති අතර, එමඟින් ගෝලීය ඉන්ධන අවශ්‍යතාව බැරල් මිලියන 2.7 කින් අඩු කරගත හැකි බව ඔවුන් පවසනවා.

මහාමාර්ග හා අධිවේගී මාර්ගවල රථවාහන ධාවන වේගය පැයට කිලෝමීටර 10 කින් අඩු කිරීම, එම යෝජනාවල පළමුවැන්නයි.

එසේම සතියට දින 3 ක් නිවසේ සිට වැඩ කිරීම සහ ඉරිදා දිනවලදී ප්‍රධාන නගරවල මෝටර් රථ නොමැති කලාප නම් කිරීමද මෙමඟින් යෝජනා කර තිබෙනවා.

පොදු ප්‍රවාහන සේවා භාවිතයට නැඹුරුවීම මෙන්ම ගමන් සඳහා පාපැදි යොදාගැනීම හෝ පා ගමනින් එම කටයුතු සිදුකරගැනීමත්, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ යෝජනා අතර පවතිනවා.

විශාල නගරවලට ඇතුලුවන මෝටර් රථ සංඛ්‍යාව අඩුකරන ලෙසත්, සාමූහිකව මෝටර් රථ භාවිතය සිදුකරන ලෙසත් එම දස (10) වැදෑරුම් යෝජනා මගින් පෙන්වා දෙනවා.

එසේම සැපයුම් සඳහා යොදාගන්නා වාහන සඳහා වඩාත් ඵලදායී ක්‍රමවේද හඳුන්වාදිය යුතු බවද ඔවුන්ගේ යෝජනාවක්.

ව්‍යාපාරික හමු සඳහා ගුවන් ගමන් යොදා නොගන්නා ලෙසත්, ඉන්ධන මගින් ධාවනය කෙරෙන වාහන වෙනුවට විදුලිබලයෙන් ධාවනය වන මෝටර් රථ භාවිතයට ගන්නා ලෙසත් ජාත්‍යන්තර බලශක්ති අධිකාරිය ලොව සියලු රටවලට යෝජනා කර තිබෙනවා.

+++++++++++

තවත් ගෑස් නැවක් සඳුදා (21) – මිල වැඩි කළ යුතු බව ලිට්රෝ කියයි

(18.03.2022 – 19:32 +0530 – hirunews.lk/sinhala)

කිලෝග්‍රෑම් දොළහයි දශම පහ (12.5) ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි කිරීමේදී රුපියල් 2,000 ක පමණ පාඩුවක් අත්විඳින බව ‘ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව’ පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ රුපියල් බිලියනයක පාඩුවක් සමාගම ලබා ඇති බවයි.

ඒ හේතුවෙන් සමාගම ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගෑස් මිල වැඩි කිරීමේ තීරණයක් ගත යුතු බවයි ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසන්නේ.

මේ වනවිට 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,675 කට අලෙවි කරන අතර, ඒ සඳහා සමාගම විසින් දරණ පිරිවැය රුපියල් 4,662 ක් බවයි එම මාධ්‍ය හමුවේදී අනාවරණ වුණේ.

මේ අතර දින ගණනාවක් පුරා පැවති ගෑස් හිඟයට පිළියම් ලබාදෙමින් අද (18) පෙරවරුවේ සිට ගෑස් බෙදාහැරීමේ කටයුතු ලිට්රෝ සමාගම ආරම්භ කළා.

ඒ අනුව අද (18) දිනයේදී ගෑස් සිලින්ඩර ලක්ෂයත්, එක්ලක්ෂ විසි දහසත් අතර (1,00,000 – 1,20,000) ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් වෙළඳපොලට නිකුත් කිරීමටයි ඔවුන් පියවර ගෙන ඇත්තේ.

ඊයේ (17) දිනයේ ගොඩබෑම ආරම්භ කළ මෙට්‍රික් ටොන් 3,500 ක ගෑස් රැගත් නෞකාවේ ගෑස් ගොඩබෑම මේ වනවිට අවසන් කර ඇති අතර, එළඹෙණ සඳුදා (21) දිනයේද මෙට්‍රික් 3,500 ක් රැගත් තවත් ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට නියමිතයි.

ඊට අදාළ ගෙවීම් කටයුතු සිදුකරගැනීමේ ගැටළුවක් පැන නොනගිනු ඇති බවද එම සමාගමේ උසස් නිලධාරීයෙකු සඳහන් කළා.

ගොඩබෑ නෞකාවේ ගෑස් තොගය දින 3 කට පමණ ප්‍රමාණවත් වන අතර, ගෑස් මෙට්‍රික් ටොන් එකකින් (1) කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර 80 ක් පමණ පිරවිය හැකියි.

ලිට්රෝ සමාගම නිකුත් කර ඇති ගෑස් සිලින්ඩර ලක්ෂ 75 ක් පමණ කිලෝ 12.5 සිලින්ඩර යි.

කෙසේ වෙතත් ලාෆ්ස් සමාගම තවදුරටත් ගෑස් බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ ඩොලර් අර්බුදය හමුවේ ණයවර ලිපි විවෘත කරගැනීමේ අපහසුතා හේතුවෙන්.

මේ අතර අද (18) දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් ලබාගැනීම සඳහා පැමිණි ජනතාව පෝලිම්වල රැඳී සිටින ආකාරය දක්නට ලැබුණා.

එසේම ගෑස් හිඟයත් සමඟ ජනතාව භූමිතෙල් ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත පැමිණීමත් සමඟ පිරවුම්හල් ආශ්‍රිතව භූමිතෙල් ලබාගැනීම සඳහාද පවතින්නේ දිගු පෝලිම්.

+++++++++++

හෙටත් (19) පැය 03 ක් විදුලිය කැපේ

(18.03.2022 – 19:44 +0530 – hirunews.lk/sinhala)

මෙම සති අන්තයේ විදුලි කප්පාදුව මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව සෙනසුරාදා (19) PQRSTUVW ප්‍රදේශ සඳහා, පෙරවරු 10 සිට සවස 4 දක්වා පැය 1 යි මිනිත්තු 30 යි සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 1 යි මිනිත්තු 30 ක් විදුලි කප්පාදුව සිදුවනවා.

ABCDEFGHIJKL ප්‍රදේශ, උදේ 8 සිට සවස 6 දක්වා පැය 2 යි මිනිත්තු 30 යි සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැය 1 යි මිනිත්තු 15 යි.

ඉරිදා (20) PQRSTUVW ප්‍රදේශ සඳහා, සවස 4:30 සිට රාත්‍රී 9:30 දක්වා පැය 1 යි මිනිත්තු 15 යි.

ABCDEFGHIJKL ප්‍රදේශ, උදේ 9 සිට සවස 5 දක්වා පැය 2 සහ සවස 5 සිට රාත්‍රී 10 දක්වා පැය 1 මිනිත්තු 15 ක් විදුලි කප්පාදුව සිදු වනවා.

***************************************

ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා අරඹන්න අයි.එම්.එෆ්. සූදානම්

(18.03.2022 – 08:01 +0530 – hirunews.lk/sinhala)

මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම සඳහා සහාය වීමේ අරමුණින් ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයේදී ද මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙන යාමට සිය අභිලාෂය ප්‍රකාශ කළා.

ඒ පිළිබඳ අදහස් දක්වමින් මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ජෙරී රයිස් කියා සිටියේ මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහන ක්‍රියාකාරීව සළකා බැලීමට ලක් රජය කැමැත්ත පළ කර ඇති බවයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අප්‍රේල් මාසයේ වොෂින්ටනයේ සංචාරය කරන විට ශ්‍රී ලංකාවට සහය විය හැකි හොඳම ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ ‘ආටිකල් ෆෝ’ ඇගයීම් වාර්තාව සම්බන්ධයෙන් පසුගියදා දිවයිනට පැමිණි මූල්‍ය අරමුදලේ ආසියා – පැසිෆික් කලාපීය ප්‍රධානියා, ජනාධිපතිවරයාද දැනුවත් කළා.

මෙරට ණය තත්වය තිරසාර නොවන අතර, දැඩි මූල්‍ය විනයක් පවත්වාගැනීමේ වැදගත්කම එම වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

***************************************

පාසල් පෝෂණ ආහාර වේලේ වෙනසක්?

(18.03.2022 – 08:11 +0530 – hirunews.lk/sinhala)

පාසල්වලට ලබාදෙන පෝෂණ ආහාර වේල සඳහා ඇස්තමේන්තුගත මුදල වෙනස් කිරීමට හෝ ආහාර වට්ටෝරුව වෙනස් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව පවතින භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ පෝෂණ ආහාර වේල සඳහා අදාළ ඇස්තමේන්තුගත මුදල වැඩි කිරීමට සිදු වනු ඇති බවයි පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළා ෴

***************************************

ශ්‍රී ලාංකික ධීවරයින් 6 ක් ඉන්දීය අත්අඩංගුවේ

(18.03.2022 – 08:14 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මගින් ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඉන්දීය මුහුදු සීමා උල්ලංඝනය කරමින් මසුන් ඇල්ලීමේ චෝදනාව මතයි.

මොවුන් කන්‍යාකුමාරි මුහුදු ප්‍රදේශයේ දී ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් වජ්රා නෞකාව මඟින් අත්අඩංගුවට ගෙන තිබුණේ දෛනික මුර සංචාරයක යෙදී සිටියදීයි.

අනතුරුව ඊයේ (17) පස්වරුවේ ඔවුන් තරුවයිකුලම් මත්ස්‍ය මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමෙන් අනතුරුව වෙරළාරක්ෂක පොලිසියට භාර දී තිබෙනවා.

එහිදී රාමනාදන්පුරම්හි විශේෂ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ ධීවරයින් පුසාල් බන්ධනාගාරය වෙත යොමුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන් සිංහල පමණක් කතා කරන බැවින් නම් හා ලිපිනයන් ලබා ගැනීමට මේ දක්වා නො හැකි වී ඇති බව ද එම වාර්තාවල සඳහන්.

මේ අතර හම්බන්තොටට කිලෝමීටර 44 ක් පමණ ඈතින් වූ මුහුදු තීරයේ ධීවර යාත්‍රාවක සිටි හදිසි හෘදයාබාධයකට ලක්වූ ධීවරයෙකු මුදාගැනීමට ශ්‍රී ලංකාව නාවික හමුදාව සමත් වී තිබෙනවා.

පසුගිය 24 වන දා නුවන්ති – 01 යාත්‍රාවෙන් දියඹට ගිය මෙම ධීවරයා පිළිබඳව සාමුද්‍රික මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හරහා දැනගැනීමෙන් අනතුරුව නාවික හමුදාව ඔහු මුදාගැනීම සඳහා අධිවේගී ප්‍රහාරක යාත්‍රාවක් යොදවා තිබෙනවා.

එමඟින් හම්බන්තොට වරායට රැගෙන ආ ධීවරයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කෙරුණු බවයි නාවික හමුදාව සඳහන් කළේ ෴

***************************************

වලස්මුල්ලේ දී බස් රථයක් අනතුරට ලක්වීමෙන් සිසුන් 23 කට තුවාල

(18.03.2022 – 08:20 +0530 – hirunews.lk/sinhala)

පාසල් ළමයින් රැගත් බස් රථයක් වළස්මුල්ල – හඳුගල – හිඟුරුවත්ත පාලම අසල දී අනතුරට ලක්වීමෙන් සිසු සිසුවියන් 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

ඊයේ (17) රාත්‍රියේ මෙලෙස අනතුරට ලක්ව තිබුණේ කටුවන ජාතික පාසලට අයත් බස් රථයක්.

එය, හඳුගල – නියඳගල ආරණ්‍ය සේනාසනයට ගොස් නැවත පැමිණෙමින් සිටිය දී අනතුර සිදු ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූවන් වලස්මුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මේ වනවිට සිසුන් අට දෙනෙකු (8) පමණක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියා.

වේගය පාලනය කර ගැනීමට නො හැකි ව බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පසෙක තිබූ ගලක වැදීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය කියා සිටියා.

අනතුර සිදු වන අවස්ථාවේ දී පාසල් සිසු සිසුවියන් 40 දෙනෙකු පමණ එහි සිට ඇති බවද වාර්තා වනවා ෴

***************************************

ජීවතුන් අතර සිටින සෙවණගල පුද්ගලයෙකුට මරණ සහතිකයක්

(18.03.2022 – 08:24 +0530 – hirunews.lk/sinhala)

ජීවතුන් අතර සිටිය දී මරණ සහතිකයක් ලද පුද්ගලයෙකු පිළිබඳ පුවතක් ඇඹිලිපිටිය – සෙවණගල – නෙළුම්වැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

2018 වසරේ රිය අනතුරකින් සිදු වූ මරණයකට අදාළ ව මෙම පුද්ගලයාට මරණ සහතිකයක් නිකුත් කර ඇති බව සඳහන්.

එහි දැක්වෙන්නේ රිය අනතුරෙන් මොළයට ලේ වහනය වීමෙන් එම මරණය සිදුව ඇති බවට යි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *