සුපිරි වෙළෙඳසැල් බිඳ භාණ්ඩ සොරාගත් කල්ලියක් අතටම හසුවෙයි

සුපිරි වෙළෙඳසැල් බිඳ භාණ්ඩ සොරාගත් කල්ලියක් අතටම හසුවෙයි

*********************************************

සුපිරි වෙළෙඳසැල් බිඳ භාණ්ඩ සොරාගත් කල්ලියක් අතටම හසුවෙයි

(17.03.2022 – 10:19 +0530 – sinhala.adaderana.lk)

සුපිරි වෙළෙඳසැල් බිඳ දේපළ සොරකම් කිරීමේ සිද්ධි 14 කට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පොලිස් වසමේ බෝධියවත්ත ප්‍රදේශයේදී අදාළ සැකකරුවන් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 100 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 30, 34, 37, 38 සහ 39 වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

මෙම සැකකරුවන් කිරිබත්ගොඩ, දෙල්ගොඩ, ගල්කිස්ස, දෙහිවල, පිළියන්දල, මහරගම, බම්බලපිටිය, වැලිකඩ හා බණ්ඩරගම යන පොලිස් වසම්වල පිහිටි සුපිරි වෙළෙඳසැල් බිඳ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඔවුන් විසින් සොරකම් කරන ලද දේපළ ප්‍රවාහනයට යොදාගත් ත්‍රීරෝද රථ 02 ක් සහ සොරකම් කරන ලද දේපළ විකිණීමෙන් ලබා ගත් රුපියල් 1,62,600 ක මුදලක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සැකකරුවන් අද (17) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි ෴

***************************************

පොලිතින් නිෂ්පාදන මිල 40% කින් ඉහළට

(17.03.2022 – 07:29 +0530 – hirunews.lk/sinhala)

පොලිතින් නිෂ්පාදනවල මිල සියයට 40 ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා.

සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයින්ගේ හා ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමයේ සභාපති අනුර විජේතුංග කියා සිටියේ, ඩොලර් අර්බුදය මත අමුද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙලෙස පොලිතින් නිෂ්පාදනවල මිල ඉහළ දැමූ බවයි.

මේ අතර, පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් මුද්‍රිත ග්‍රන්ථ ආනයනය කිරීමට නො හැකි තත්ත්වයක් මතු ව ඇති බව පොත් ආනයනකරුවන් පවසනවා ෴

***************************************

කොස්ගොඩ තාරක භාවිත කළ පිස්තෝලයක් සමඟ සැකකරුවෙකු අත් අඩංගුවට

(17.03.2022 – 08:47 +0530 – hirunews.lk/sinhala)

පාතාල කල්ලි සාමාජික ‘කොස්ගොඩ තාරක’ විවිධ අපරාධ සදහා යොදාගත් පිස්තෝලක් (1) මැගසින් එකක් (1) සහ ඒ සඳහා භාවිතා කරන උණ්ඩ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකා අත් අඩංගුවට පත් වී තිබෙනවා.

ඒ ඊයේ (16) දින ග්‍රෑන්පාස් පොලිස් වසමේ සිරිමාවෝ බණ්ඩාරණායක මාවත, කොළඹ 14 නිවසක් ඉදිරිපිට දී.

එහි දී පිස්තෝල අවි 1 ක් මැගසින් එකක් (1) සහ ඒ සඳහා භාවිතා කරන 9.56 x 17mm උණ්ඩ 04 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව වාර්තා වනවා.

සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයෙක්.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්පාස් පොලිසිය විසින් සිදු කෙරෙනු ඇති ෴

***************************************

මෝදර දී ලක්ෂ 50 කට අධික හෙරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

(17.03.2022 – 09:01 +0530 – hirunews.lk/sinhala)

මෝදර – මෙත්සඳසෙවණ ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 50 කට අධික හෙරොයින් සමග සැකකරුවෙකු පොලීසිය ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ ඊයේ (16) රාත්‍රියේ සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු ළඟ හෙරොයින් ග්‍රෑම් 519 යි මිලිග්‍රෑම් 480 ක් තිබූ බවයි.

මොහු මෝදර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක් ෴

***************************************

උඩරට මැණිකේ දුම්රියෙන් ඇද වැටුණු සංචාරකයා ජීවිතක්ෂයට

(17.03.2022 – 10:51 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගමන් ගත් ඊජිප්තු ජාතික සංචාරකයෙකු පට්ටිපොල දුම්රිය ස්ථානය ආසන්නයේදි දුම්රියෙන් වැටි බරපතළ ලෙස තුවාල ලබා රෝහල්ගත කිරිමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා.

ඒ ඊයේ (16) රාත්‍රියේදී යි.

මෙසේ ජීවිතක්ෂයට පත් ව ඇත්තේ අහමඩ් මොහොමඩ් අබ්දුල් හමිඩ් නමැති 32 හැවිරිදි සංචාරකයෙක්.

ජීවිතක්ෂයට පත් ඊජිප්තු ජාතික සංචාරකයා මීට සතියකට ප්‍රථම දිවයිනේ සංචාරයක් සඳහා පැමිණ ඇල්ල දුම්රිය ස්ථානය දක්වා උඩරට මැණික දුම්රියේ ගමන් කරමින් සිටියදි ඊයේ (16) දින දහවල් 12 ට පමණ පට්ටිපොල දුම්රිය ස්ථානය අසල දී පාපුවරුවෙන් වැටි බරපතළ ලෙස තුවාල ලැබුවා.

තුවාල ලැබූ සංචාරකයා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතළ නිසා තුවාලකරු ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා.

පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි, ඊජිප්තු ජාතිකයා මියගොස් ඇත්තේ ෴

***************************************

හලාවත නිවසක ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(17.03.2022 – 11:10 +0530 – hirunews.lk/sinhala)

හලාවත – එළිවිටිය ප්‍රදේශයේ නිවසක ඊයේ (16) පස්වරුවේ හටගත් ගින්නකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

අදාළ නිවසේ වෙළදසැලක් ද පවත්වාගෙන ගොස් ඇති අතර එහි පෙට්‍රල් ලීටර 40 ක් පමණ තිබී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මිය ගිය පුද්ගලයා 60 හැවිරිදි වියේ පසු වූ අතර ඔහුගේ ඥාතීන් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ මියගිය පුද්ගලයාගේ මරණය සහ නිවසේ ඇති වූ ගින්න පිළිබදව සැකයක් පවතින බවයි ෴

***************************************

කබ්රාල්ට ජනපතිගෙන් ඇමතුමක්

(17.03.2022 – 11:14 +0530 – hirunews.lk/sinhala)

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට ධුරයෙන් ඉවත්වන්නැයි ජනාධිපතිවරයා දැනුම්දී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

අදාළ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මේ බව සදහන් කළා.

මහ බැංකු අධිපතිවරයා රට මුහුණ දී සිටින බරපතළ ආර්ථික අභියෝගයට ප්‍රතිචාර දැක්වීමේ බලකනුවක් බවද ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් නිලධාරීන් සම්බන්ධයෙන් කිසිදු කරුණක් සාකච්ඡා නොකළ බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහභාගී වූ එම සාකච්ඡාවේ දී අවධානය යොමු වූයේ මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් පමණක් බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ බැංකු අධිපතිවරයාට පෞද්ගලිකව ම කතා කොට ඉල්ලා ඇත්තේ, මෙවැනි දුෂ්ට සහ අසත්‍ය ප්‍රචාරවලින් අධෛර්යමත් නොවන ලෙසටයි.

එමෙන්ම රට ස්ථාවරත්වය සහ වර්ධනය කරා සිදුකරගෙන යන සියලු‍ වැදගත් කාර්යයන් අඛණ්ඩ ව ඉටු කරන ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ බැංකු අධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

***************************************

ඩුබායි දේශයේ දී ඇගයීමට ලක් වූ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්යය බලකාය

(17.03.2022 – 11:29 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්යය බලකා විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායම් ඩුබායි රාජ්‍යයේ දී ප්‍රශංසාවට ලක් වුණා.

පසුගිය 15 වැනි දින පවත්වන ලද ග්ලෝබල් ස්වැට් චැලේන්ජ් තරගාවලිය නැරඹීම සඳහා ඩුබායි රාජ්‍යයේ පොලිස්පති ලුතිතන් ජෙනරාල් අබ්දුල්ලා අල් මාරි විසින් සිදු කරන ලද ආරාධනයක් මත මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර එරට දී සහභාගී වුණා.

මෙම තරගාවලිය සඳහා සහභාගීව තිබූ රටවල් අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහකාර පොලිස් අධිකාරි කේෂර රත්නවීරගේ නායකත්වයෙන් යුත් පොලිස් විශේෂ කාර්යය බලකා විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායම් දෙකක් ද සිටියා.

ත්‍රස්තවාදයට සහ අපරාධවලට එරෙහිව ක්‍රියා කිරීමේදී පොලිස් විශේෂ කාර්යය බලකාය ශ්‍රී ලංකාව තුළ පෙරමුණු කාර්යය භාරයක් ඉටු කළ බවත්, 03 වැනි ග්ලෝබල් ස්වැට් චැලේන්ජ් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායට සහභාගී වීමට අවස්ථාව ලැබීම ඔවුන්ගේ නායකත්ව සහ පුහුණුව ඇගයීමක් බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ.

ශ්‍රී ලංකාවේ පොලිස් විශේෂ කාර්යය බලකා ස්වැට් කණ්ඩායම් එක්සත් අරාබි එමී‍ර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ග්ලෝබල් ස්වැට් චැලේන්ජ් තරගාවලියට ද තේරී පත් වුණා ෴

***************************************

බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් මහජන බදු මුදල් අපතේ ගිය ව්‍යාපෘති

(17.03.2022 – 12:45 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ හැටකට (60,00,000) අධික මහජන මුදල් වැය කරමින් ඉදිකළ ග්‍රාමීය ජල ව්‍යාපෘතියක් නිලධාරීන්ගේ අක්‍රමවත් වැඩපිළිවෙළ නිසා අභාවයට ගිය පුවතක් මහනුවර – මුඩගම්මන ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

අද (17) ‘රතු මිනිත්තුවේ’ අවධානය එම ගම්වාසීන්ට මුහුණ දීමට සිදුව ඇති දුක් කම්කටොළු පිළිබඳවයි.

මහනුවර දිස්ත්‍රික්කයට අයත් හතරලියද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටි මුඩගම්මන ප්‍රදේශය සුන්දර පරිසරයකට හිමිකම් කියන නමුත් ප්‍රදේශවාසීන් කලක සිට පානීය ජල ගැටලුවකට මුහුණ දෙමින් සිටිනවා.

2002 වසරේදී ග්‍රාමීය ජල ව්‍යාපෘතියක් ඇරඹුණේ ඊට පිළියම් ලෙසයි.

වසර දෙක-තුනක් (2-3) සාමාන්‍ය මට්ටමින් ජලය ලැබුණත් එය අතරමඟදී නිලධාරීන්ගේ අක්‍රමවත් වැඩපිළිවෙළ නිසා අතරමඟ ඇණහිට ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසනවා.

ජල ව්‍යාපෘතිය අසාර්ථකවීම නිසා ප්‍රදේශයේ පවුල් 150 කටම ජලය නොලැබෙන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

මෙම ජල ව්‍යාපෘතිය ඉදි කිරීම සඳහා රජයේ මුදල්වලට අමතර ජනතාවගෙන් ද විවිධ අවස්ථාවන්වල දී මුදල් එකතු කර ඇති අතර එයට අමතරව ඉදි කිරීම් සඳහා ජනතාවගේ ශ්‍රම දායකත්වය උපරිම මට්ටමින් ලබා දී තිබෙනවා.

මහවැලි ගඟේ සිට ජල නළ පද්ධතියක් මුඩගම්මන ගම්මානයේ සිට කිලෝමීටර් පහක් (5) පමණ දුරට පැමිණ ඇතත් මෙම ගම්මානයට එම අයිතිය ලැබෙන්නේ නැහැ.

ත්‍රිරෝද රථවලින් ජලය රැගෙන ඒමට ගම්මුන්ට සිදුව තිබෙන්නේ එවන් පසුබිමකයි.

ජලව්‍යාපෘතිය විධිමත් ලෙස සකස් කර ගම්මුන්ට අවශ්‍ය ජලය සුදුසු ක්‍රමයක් මගින් බෙදා හැරීම නිලධාරීන්ගේ වගකීමක් බවට විවාදයක් නැහැ.

ගම්වාසීන් මුහුණ පා සිටින මෙම දුෂ්කරතා මගහරවා, ගම්මානයට ජලය ලබාදෙන තෙක් රතු මිනිත්තුව අවධානයෙන්.

***************************************

පාරම්පරික ගඩොල් කර්මාන්තය විනාශවීමේ තර්ජනයක

(17.03.2022 – 12:47 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාමීය මාර්ග සංවර්ධනය සෑම ගමකම සිදු කළත් එවැනි සංවර්ධනයක් නොලද ගම්මාන මෙරට තුළ නැතුවාම නොවේ.

නිසි මාර්ග පහසුකම් නොමැතිකමින් පාරම්පරිකව සිදුකළ ගඩොල් කර්මාන්තය විනාශ වීමේ තර්ජනයකට ලක්ව ඇති බවට මීගහකිවුල ප්‍රදේශයෙන් වාර්තා වන්නේ එවන් පසුබිමකයි.

මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බලගොල්ල, කරමැටිය, විහාරලන්ඳ අතිශය දුෂ්කර ගම්මාන කීපයක්.

රජයේ රැකියා හෝ ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති මෙම ගම්මානවල බහුතරයක් ජනතාව ජීවත් වන්නේ වසරකට වරක් සිදු කරන ගොවිතැනින්.

ගොවිතැනින් ලැබෙන සුළු මුදල හැරුණු විට දරුවන් පාසල් යැවීම, මෙන්ම එදිනෙදා අවශ්‍යතා සපුරා ගන්නේ ගඩොල් කර්මාන්තයෙන් ලැබෙන මුදලින්.

ඉන් සැලකිය යුතු ආදායමක් ඉපැයූ බවයි ගම්වාසීන් පවසන්නේ.

එහෙත් මේ වනවිට එම ආදායම අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව ගම්වාසීන් පවසනවා.

මීට අමතරව ඉදිකිරීම් සඳහා ජනතාව සිමෙන්ති ගල්වලට (බ්ලොක් ගල්) හුරුවීම මෙම තත්ත්වයට බලපා ඇති තවත් ප්‍රධාන හේතුවක්.

විශාල වියදමක් දරා කපා පුළුස්සා ගත් ගඩොල් පෝරණු දෙස බලමින් සුසුම් හෙළීමටයි ඔවුන්ට සිදුව ඇත්තේ.

***************************************

ආනයනික පලතුරු බද්දත් ඉහළට

(17.03.2022 – 12:56 +0530 – hirunews.lk/sinhala)

ආනයනික පලතුරු ඇතුළු භාණ්ඩ වර්ග 9 ක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු ඉහල නංවා තිබෙනවා.

මුදල් අමාත්‍යංශය සඳහන් කරන්නේ මෙම බදු ඉහළ නැංවීම ඉදිරි මාස 6 ක් සඳහා බලපැවැත්වෙන බවයි.

නව බදු ඉහළ යෑමත් සමග ආනයනික යෝගට්, ඇපල්, මිදි, චීස් ඇතුළු භාණ්ඩවල මිල ඉහළ යෑමට නියමිතයි

රජයේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් මෙලෙස බදු ඉහළ නැංවීම සිදු කර තිබෙනවා.

ඊට අනුව ඇපල් කිලෝ ග්‍රෑමයක බදු රුපියල් 200 කින් ඉහළ යන අතර මිදි කිලෝග්‍රෑමයක බද්ද රුපියල් 100 කින් ඉහළ යනවා.

දොඩම් කිලෝ ග්‍රෑමයක් සදහා බදු ඉහළ යෑම රුපියල් 75 ක්.

දෙළුම් කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 100 කින් විශේෂ වෙලෙද භාණ්ඩ බද්ද වැඩි කොට තිබෙනවා.

යෝගට් කිලෝ ග්‍රෑම 1 ක් සඳහා වැඩිවන බද්ද රුපියල් 200 ක්.

මීට අමතරව චීස් සදහා ප්‍රකාශයට පත්කර ඇති නව විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 400 ක්.

++++++

යෝගට්, චීස්, බටර්, රටඉඳි, දොඩම්, මිදි, ඇපල් ඇතුළු අනෙකුත් පලතුරුවල බදු ඉහළට

(17.03.2022 – 19:17 +0530 – hirunews.lk/sinhala)

ආනයන සීමාවන්ට අමතරව ආනයනික පලතුරු ඇතුළු භාණ්ඩ වර්ග 9 ක් සඳහා පැනවු විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ නැංවීම ඉදිරි මාස 06 ක කාලයක් සදහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

පසුගිය 10 වැනිදා සිට ආරම්භ වන පරිදි රජයේ විශේෂ වෙළද භාණ්ඩ බදුපනත යටතේ මෙලෙස බදු ඉහළ නැංවීම සිදුකර ඇත්තේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්.

2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ වන ගැසට් නිවේදනය ප්‍රකාරව මෙම පියවර ගෙන තිබෙනවා. යෝගට්, චීස්, බටර්, රටඉඳි, දොඩම්, මිදි, ඇපල් ඇතුළු අනෙකුත් පලතුරුවල බදු ඒ අනුව ඉහල යනු ඇති.

පසුගියදා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වර්ග 367 ක් ආනයනය කිරීමට සීමා පැනවූ අතර, ආනයනික පලතුරු ද ඊට ඇතුළත් වුණා.

මේ අතර, පසුගිය මාර්තු 03 වැනිදා 2017 අංක 48 දරණ විශේෂ වෙළද භාණ්ඩ බදු පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මුදල් අමාත්‍යවරයා විසින් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් නියමකර තිබෙනවා.

මැකරල් (මාලු) කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 600 ක්, කවුපි කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 200 ක් සහ කුරක්කන් කිලෝග්‍රෑමයකට රුපියල් 70 ක ආනයනික බදු ඒ අනුව පැනවෙනු ඇති.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *