ඕමාන නැවෙන් ගෑස් ගොඩබෑම ඇරඹේ – බෙදා හැරීමත් කඩිනමින්

ඕමාන නැවෙන් ගෑස් ගොඩබෑම ඇරඹේ – බෙදා හැරීමත් කඩිනමින්

*********************************************

ඕමාන නැවෙන් ගෑස් ගොඩබෑම ඇරඹේ – බෙදා හැරීමත් කඩිනමින්

(17.03.2022 – 19:31 +0530 – hirunews.lk/sinhala)

මෙට්‍රික් ටොන් 3500 ක ගෑස් රැගත් නෞකාවකින් ගෑස් ගොඩබෑමේ කටයුතු අද (17) පස්වරුවේ ආරම්භ කළ බව ලිට්රෝ සමාගම ප්‍රකාශ කළා.

ඒ අනුව කඩිනමින් ගෑස් බෙදාහැරීමේ කටයුතු ක්‍රියාත්මක කරන බවයි ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ කියා සිටියේ.

ගෑස් ආනයනය කළ ඕමාන් සමාගමට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 8 ක මුදල ගෙවා දැමීමට පියවර ගැනීමත් සමඟයි ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබූ අදාළ සමාගමට අයත් නෞකාවෙන් ගෑස් ගොඩබෑම ආරම්භ කර ඇත්තේ.

ඒ අනුව දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 1,20,000 ක් පමණ වෙළඳපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි ලිට්රෝ සමාගමේ සභාපතිවරයා කියා සිටියේ.

දිවයිනට ළඟා වී ඇති ගෑස් නෞකාවලට ගෙවීමට තිබූ මුදල ගෙවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (16) රාත්‍රියේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ගෑස් නොමැතිව තවදුරටත් ජනතාව අපහසුතාවයට පත්ව ඇති ආකාරය අද (17) දිනයේත් දක්නට ලැබුණා.

අලුත්ගම දර්ගා නගරයේ ගෑස් මිලදී ගැනීම සඳහා රැඳී සිටි ජනතාවගේ පෝලිම ඉතා දිගු වීමත් සමග මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වුණා.

ඒ හේතුවෙන් ඔවුන් ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක් වෙත යොමු කිරීමට පොලීසිය පියවර ගත් අතර ගෑස් සිලින්ඩර තබාගෙන ක්‍රීඩාංගණය තුල විරෝධතාවයේ නිරතවීමටයි ජනතාව කටයුතු කළේ.

ගෑස් නොමැතිවීමත් සමඟ ජනතාව භූමිතෙල් ලබාගැනීම සඳහා පිරවුම්හල් වෙත පැමිණීම හේතුවෙන් පිරවුම්හල් ආශ්‍රිතව භූමිතෙල් පෝලිම්ද දැකගත හැකියි.

++++++++++++

තෙල් පෝලිම් දින තුනකින් අඩුවනු ඇතැයි අපේක්ෂා – තවත් ඩීසල් නැවක් ඉරිදා දිවයිනට

(17.03.2022 – 19:36 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට හිමි වූ පළමු (1) ඉන්ධන තොගය මේ වනවිට ලැබී තිබෙනවා.

එලෙස ලැබුණු ගුවන් යානා ඉන්ධන තොගයක් කොළඹ වරායේ ඩොල්ෆින් ජැටියේදී ගොඩබෑමට කටයුතු කරන බවයි බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා කියා සිටියේ.

එසේම, ඉන්දීය ණය ආධාර යටතේ ලැබෙන පළමු ඩීසල් තොගය ලබන ඉරිදා පස්වරුවේ දිවයිනට ලැබීමට නියමිතයි.

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කට ආසන්න තොගයක් එලෙස ලැබීමට නියමිතව ඇති බවයි බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරිය කියා සිටියේ.

මේ වනවිට මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් පෙට්රල් නෞකාවක් ගොඩ බෑමේ කටයුතු ආරම්භ කර ඇති අතර, අවශ්‍ය තරම් පෙට්රල් තොග සංස්ථාව සතු බවද ඇය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඩීසල් පරිභෝජනයේදී ජනතාව සාමාන්‍ය පරිභෝජන රටාවේ සිටින්නේ නම් පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීමේ හැකියාව පවතින බවයි ලේකම්වරිය වැඩිදුරටත් කියා සිටියේ.

බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් මෙන්ම ඔක්ටේන්-92 පෙට්‍රල් නොමැති වීමේ තත්ත්වයක් ද ඊයේ (16) දිනය වන විට උද්ගත වුණා.

ඉන්ධන තිබූ පිරවුම්හල්වල ද දක්නට ලැබුණේ දිගු පෝලිම්.

මෙම තත්ත්වයට හේතු වුණේ ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ක්‍රියාත්මක කළ වර්ජනයයි.

ඊයේ (16) එම වර්ජනය අවසන්වීමෙන් පසු මේ වනවිට ඔවුන් යලි ඉන්ධන බෙදා හැරීම ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත්, පවතින තත්වය හමුවේ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල අදත් දිගු පෝලිම් පැවති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන ලබා ගැනීමට පෝලිම් වල රැඳී සිටි පිරිස් සහ පිරවුම්හල් සේවකයන් අතර ඇතිවූ උණුසුම් තත්වයන් පිළිබඳ තොරතුරු ප්‍රදේශ කිහිපයකින් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

හැටන් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක බූලිවලට ඉන්ධන රැගෙන යාමට පෝලිම්වල රැඳී සිටි පිරිසක් සහ පිරවුම්හල් සේවකයන් අතර නොසන්සුන්තාවයක් ඇති වුනේ කැබ් රථයකින් රැගෙන ආ බැරල් 5 කට ඉන්ධන ලබා දීමෙන් පසු සේවකයන් විසින් ඉන්ධන අවසන් බවට ප්‍රකාශ කිරීමත් සමගයි.

එමෙන්ම, පිරවුම්හල් සේවකයන් විසින් ඉන්ධන අවසන් බව ප්‍රකාශ කිරීමත් සමග පෝලිම්වල රැඳී සිටි පිරිස්, ඉන්ධන සඟවාගෙන තමන්ට ලබා නොදෙන බවට විරෝධය පල කිරීමත් සමග කැස්බෑව සහ රත්මලාන ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල නොසන්සුන්කාරී තත්වයක් ඇති වුණා.

කැස්බෑව ඉන්ධන පිරවුම්හලේ ඇතිවූ බහින්බස්වීමකදී සේවකයෙකු විසින් පෝලිමේ රැඳී සිටි අයෙකුට පහරදීමත් සමග ඔහු සමග සිටි කාන්තාවක් නොසන්සුන් වී පිරවුම්හල් සේවකයන් හඹාගොස් පහරදීමෙන් උණුසුම් තත්වයක් ඇති වුණා.

තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය කැඳවීමටයි කටයුතු කෙරුණේ.

කෙසේ වෙතත්, අද (17) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව හට ගෙන ඇති පෝලිම් ඉදිරි දින 03 ක කාලය ඇතුළත පහව යනු ඇති බවට විශ්වාසය පළ කළා.

මේ අතර, ඉන්ධන හා ගෑස් ලබා ගැනීමේදී සංචාරක ක්ෂේත්‍රයේ නියුතුවූවන්ට ප්‍රමුඛතාව ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සංචාරක අමාත්‍යාංශය විෂයභාර අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ඉන්ධන හා ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉල්ලා ඇත්තේ.

++++++++++++

හෙට (18) දිනයේ විදුලි කපා හරින වේලාවන්

(17.03.2022 – 19:41 +0530 – hirunews.lk/sinhala)

හෙට (18) දිනයේ විදුලි කපා හරින වේලාවන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඒ සිට එල් දක්වා (A-L) කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 03 යි මිනිත්තු 20 ක්ද – පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි මිනිත්තු 40 ක් බැගින්ද විදුලිය කපා හරිනු ලබනවා.

පී සිට ඩබ්ලිව් දක්වා (P-W) කලාප 08 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් ද පස්වරු 05 සිට රාත්‍රී 10 දක්වා පැයි 01 යි මිනිත්තු 15 ක් බැගින්ද විදුලිය කපා හැරීමට නියමිතව තිබෙනවා ෴

++++++++++++

ලොකු ලොකු අය පොලිස් ආරක්ෂාව මැද තෙල් පුච්චන හැටි

(17.03.2022 – 22:29 +0530 – hirunews.lk/sinhala)

ජනතාව ඉන්ධන පෝලිම්වල ලතැවෙද්දී ලොකු ලොකු අය පොලිස් ආරක්ෂාව මැද තෙල් පුච්චමින් රථ වාහන පෙළපාලියක් යන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා අපට හමුවුණා.

මෙය මේ දිනවල ජනතාව තෙල් පෝලිම් වල දුක් විදිද්දී මෙවැනි දෑ සිදුකිරීම කෙතරම් සදාචාර සම්පන්නද ?

මේ ඔබට හිතන්න යමක්.

***************************************

කහ සහ ඉගුරු වගා කරන ගොවීන් ගැටලුවක

(17.03.2022 – 13:38 +0530 – hirunews.lk/sinhala)

වාරියපොල – හබරව ප්‍රදේශයේ ඉඟුරු සහ කහ වගා කරන ගොවීන්ගේ ඵලදාව අලෙවි කර ගත නොහැකිව ඔවුන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.

මොවුන්ගේ ගැටලු පිළිබඳව සොයා බැලීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ද එක්ව සිටියා.

එහි ගොවීන් පෙන්වා සිටියේ බලධාරින් සිය ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතු බවයි ෴

***************************************

ස්ථාපිත කළ සූර්ය පැනල ජාතික පද්ධතියට එකතු නොකිරීම ගැන වාර්තාවක් කැඳවයි

(17.03.2022 – 14:13 +0530 – hirunews.lk/sinhala)

නිවාස, ආයතන සහ සූර්ය පැනල ස්ථාපිත කර ඇති තැන්වලින් උත්පාදනය කරන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එකතු නොකිරීම හා ප්‍රමාද කිරීම පිළිබඳ කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අදාළ බලධාරින්ට නියෝග කර තිබෙනවා.

එහි සභාපති ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු එහිදී සඳහන් කළේ සිදුකළ විමර්ශනයකදී හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලගේ නිවසට සූර්ය බලශක්ති පැනල සවි කිරීම සිදුකළ ද ජාතික විදුලිබල පද්ධතියට අවශ්‍ය සබඳතාව ලබාදීම සඳහා මාස 6 ට අධික කාලයක් ගත වී ඇති බවයි ෴

***************************************

ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් අරලියගහ මන්දිරයේ රෝපණය කර අදට වසර 17 යි

(17.03.2022 – 15:02 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් අරලියගහ මන්දිරයේ රෝපණය කර අදට (17) වසර 17 ක් සපිරෙනවා.

ඒ නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එම ආර්යාව අරලියගහ මන්දිරයේදී අද (17) විශේෂ ආගමික වතාවත්වල ද නිරත වුණා.

2005 වසරේදී අද වැනි පුරපසලොස්වක පොහෝ දිනක ජයශ්‍රී මහාබෝධීන් වහන්සේගේ ශාඛාවක් අනුරාධපුරයේ සිට වැඩම කර අරලියගහ මන්දිරයේ රෝපණය කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ෴

***************************************

විදුලි ජනන යන්ත්‍රය නිසා සිහිසුන් වූ රසායනාගාර සේවකයෝ

(17.03.2022 – 19:21 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම නගරයේ පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක සාත්තු සේවිකාවන් දෙදෙනෙකු (2) සහ තවත් පුද්ගලයෙකු (1) හදිසියේ සිහිසුන් වී රෝහල් ගත කර තිබෙනවා.

අද (17) දහවල් එම රසායනාගාරයේ උඩුමහලේ පරීක්ෂණාගාරයක් තුල සිටි අයෙක් සහ යාබද කාමරයේ ආහාර ගනිමින් සිටි සාත්තු සේවිකාවන් දෙදෙනෙකු (2) මෙලෙස සිහිසුන්වී ඇති බවයි වාර්තා වන්නේ.

බණ්ඩාරගම පොලීසියට ලද තොරතුරක් මත වහාම ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

අනතුරුව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ රසායනාගාරයේ විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක වෙමින් තිබූ කාමරයේ වා කවුලු වසා තැබීම හේතුවෙන් මොවුන් මෙලෙස හදිසියේ රෝගාතුර වී ඇති බවයි.

අදාළ සේවකයින් මේ වනවිට බණ්ඩාරගම සහ පානදුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ ෴

***************************************

පුතා කනප්පුවෙන් ගැසූ කම්පනයෙන් පියෙකු මියයයි

(17.03.2022 – 19:26 +0530 – hirunews.lk/sinhala)

පුතෙකු සිදුකළ පහරදීමකින් පසු ඇති වූ කම්පනයකින් තුන්දරු (3) පියෙකු මියයාමේ පුවතක් කුරුණෑගල – මාස්පොත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම පුතු විසින් පියාට කනප්පුවකින් පහරදෙන අයුරු දැක්වෙන සී.සී.ටී.වී දර්ශන ද මේ වනවිට මාධ්‍යයට නිකුත් කර තිබෙනවා.

මෙලෙස 23 හැවිරිදි සිය පුතු අතින් ඝාතනයට ලක්ව ඇත්තේ 59 හැවිරිදි පියෙක්.

ඔහු රෝහල් උපස්ථායකයෙකු ලෙස සේවය කරන අයෙකු වන අතර හෙට (18) දිනයේ සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබූ බව සඳහන්.

නිවසේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය මුදල් ඉල්ලා පෙරේදා දිනයේ (15) අදාළ පියා විසින් පුතාට කරදර කර ඇති අතර එහිදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පියා විසින් පුතුට තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

එහිදී පුතුගේ අතෙහි සුලු තුවාලයක් සිදුව ඇති අතර පසුව නිවසින් බැහැරව ගිය පියා හඹාගොස් පුතා විසින් පියාට කනප්පුවකින් පහරදී ඇති බවයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත්, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත්තේ පහරදීමෙන් ඇති වූ කම්පනය හේතුවෙන් හට ගත් හෘදයාබාධයකින් පියා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඝාතනය සම්බන්ධයෙන් 23 හැවිරිදි පුතා මේ වනවිට කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කුරුණෑගල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

***************************************

පාසල් සිසු චාරිකාවකට එක්වූ බස් රථයක් අනතුරක – 15 ක් රෝහල් ගත කරයි

(17.03.2022 – 19:45 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසු චාරිකාවකට එක්වූ බස් රථයක් වලස්මුල්ල-හඳුගල හිඟුරුවත්ත පාලම අසලදී අනතුරට ලක්වීමෙන් සිසුන් 15 කට වැඩි පිරිසක් රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසනවා.

බස් රථයේ තිරිංග අක්‍රියවීමෙන් ගසක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *