පෝලිමේ ගිහිං ගිනි ගානට ගන්න තෙල් ඉතුරු කර ගන්න විදිය.. ජනපතිගේ ජාතිය ඇමතීමට ආචාර්ය හර්ෂ ගෙන් ප‍්‍රතිචාර..

පෝලිමේ ගිහිං ගිනි ගානට ගන්න තෙල් ඉතුරු කර ගන්න විදිය.. ජනපතිගේ ජාතිය ඇමතීමට ආචාර්ය හර්ෂ ගෙන් ප‍්‍රතිචාර..

*********************************************

පෝලිමේ ගිහිං ගිනි ගානට ගන්න තෙල් ඉතුරු කර ගන්න විදිය.. ජනපතිගේ ජාතිය ඇමතීමට ආචාර්ය හර්ෂ ගෙන් ප‍්‍රතිචාර..

(17.03.2022 – 11:20 +0530 – lankacnews.com)

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (16) දිනයේ සිදු කල ජාතිය ඇමතීමට ප‍්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි :

ගරු ජනාධිපතිතුමනි, ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්ච් කරන්නේ කොහොමද?

අතිගරු ජනාධිපතිතුමනි ඔබගේ ජාතිය ඇමතීමේ කතාව මා ඇහුවා. ප්‍රශ්න කිහිපයක් ඇතිවූ නිසයි මේක ලියන්නේ. ඔබ කියන විදිහට ඔබ මේ අර්බුදය කලින්ම දුටුවාලු. ඒ නිසා, වාහන ආනයනය නතර කර විදේශ විනිමය ඉතිරිකර ගැනීමට කටයුතු කළ බවයි ඔබතුමා සඳහන් කළේ.

නමුත්, ඔබ මෙවැනි අර්බුදයක් දුටුවා නම් දේශපාලන ජනප්‍රියතාවය දිනාගැනීම වෙනුවෙන් දැවැන්ත ලෙස බදු අඩුකර රුපියල් බිලියන 600 ක පමණ බදු ආදායමක් අහිමි කරගත්තේ ඇයි? අර්බුදයේ ආරම්භයක් බවට පත්වුණේ, ලෝකයේ අඩුම රාජ්‍ය ආදායමක් තිබෙන රටක් වන ලංකාවේ රාජ්‍ය ආදායම මේ ආකාරයෙන් දැවැන්ත ලෙස කඩා වැටීමයි.

ඒ වගේම, රුපියල පා කිරීම නිසා, අපනයන ආදායම වැඩිවන බවත් ඒ තුළින් වෙළෙඳ හිඟය අඩුකර ගත හැකි බවත් ඔබතුමා පැවසුවා. ඔබ කියන විදිහට අර්බුදය කලින්ම දුටුවා නම් රුපියල කෘත්‍රිම ලෙස පාලනය කිරීමට උපදෙස් දුන්නේ ඇයි? ඒ තුළින් ඩොලර් බිලියන 04 ක පමණ ආදායමක් රටට අහිමි වූ බව ඔබතුමා දන්නවාද? රුපියල ආරක්ෂා කිරීමට ඩොලර් බිලියන 1.5 ක් විතර පුච්චන්න වුණා ජනාධිපතිතුමනි. ඒ වගේම, රුපියල කෘත්‍රිම ලෙස පාලනය කිරීම නිසා රටට ඩොලර් බිලියන 2.5 ක පමණ විදේශ ප්‍රේෂණ ආදායමක් අහිමිවුණා. විදේශ විනිමය අර්බුදය දිග් ගැස්සුණේ ඒ විදිහටයි ජනාධිපතිතුමනි.

රට වෙනුවෙන් මේ අවස්ථාවේ විදුලිය සහ ඉන්ධන අර පිරිමැස්මෙන් පාවිච්ච් කරන ලෙස ඔබ ඉල්ලා සිටිනවා. ඉන්ධන අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න තියා ඉන්ධන ටිකක් හොයාගන්නවත් බැරිවයි ජනතාව ඉන්නේ. අනිත් අතට, මේ වගේ ගිනි ගණන් වලට ඉන්ධන අරගෙන ඒවා ජනතාව නාස්ති කරයි කියල හිතන එකත් වැරදියි. ඒ වගේම, ඉන්ධන සහ විදුලිය කියන්නේ ආර්ථිකයක ගාමක ශක්තිය. ‘හයර්’ දුවන මනුස්සයෙක් ඉන්ධන පරිස්සමෙන් පාවිච්ච් කරන්නේ කොහොමද? ඔහුට ‘හයර්’ දුවන එක අඩුකරල තමයි ජාතිය ගොඩ ගන්න ඔබ කියන සහයෝගය දෙන්න වෙන්නේ. ඒ කියන්නේ ඔහුගේ ආර්ථිකය වැටෙනවා. සමස්තයක් විදිහට ඉන්ධන අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා කියන්නේ ආර්ථිකය වැටෙන එක.

කෙසේවෙතත්, ඔබ රටේ නායකයා ලෙස මේ අවස්ථාවේ ජාතිය අමතා ජනතාවගේ ශක්තිය නැංවීමට උත්සාහ කිරීම ගැන මා ස්තූතිවන්ත වෙනවා. එය නායකයෙකු ලෙස හොඳ දෙයක්. නමුත්, මේ ගැටලු ඇතිවූයේ විචක්ෂණශීලී නොවූ ආර්ථික කළමනාකරණය නිසා යැයි ඔබට බැහැර කළ නොහැකියි.

ණය ගෙවා දැමීමට ක්‍රමවේදයක් සකස් කිරීමට මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළ බවත් ඔබතුමා සඳහන් කළා. එය හොඳ දෙයක්. නමුත්, ගැටලුව වන්නේ අර්බුදය කල් තියා දුටුවා නම් මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට මෙතරම් ප්‍රමාදවූයේ ඇයිද යන්නයි. මෙවැනි අර්බුදයකට රට වැටෙනු ඇති බවත් ඊට පෙර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර විසඳුම් ලබාගන්නා ලෙසත් ස්වාධීන ආර්ථික විශේෂඥයින් මීට මාස 18 කට පෙර සිටම සඳහන් කළා.

අද ඔබ ගැනීමට යන තීරණය එදා ගත්තා නම් ජනතාවට මේ විදිහට දුක් විඳින්න වෙන්නෙ නෑ ජනාධිපතිතුමනි.

***************************************

ඥානක්කගෙන් අහපන් එයාගේ මිනිහ මැරුවේ කව්ද කියලා – මර්වින් සිල්වා ගාව ෆයිල් තියෙනවාලූ -ආන්දෝලනාත්මක කතාවක් (17.03.2022)

***************************************

මේ නිවුස් එක හිරු එකට යවන්න එපා – දුමින්ද සිල්වා නාගෙන – මෙන්න හඩ ඇමුණුම (17.03.2022)

***************************************

17-03-2022

***************************************

FB මගින් ජනාධිපති, රජය විවේචනය කලැයි රූපවාහිනියේ මාධ්‍යවේදිනියක් ඉවතට…

(17.03.2022 – 14:10 +0530 – lankacnews.com)

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :

= මාධ්‍ය නිවේදනයයි =

පාරමී නිලේප්තිට රූපවාහිනිය තහනම් වෙයි, මාධ්‍යවේදීන් ආවේක්ෂණය සිදුවන බවට සංඥාවක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජාතික රූපවාහිනියේ නිදහස් මාධ්‍යවේදිනියක ලෙස සේවය කළ පාරමී නිලේප්ති රණසිංහට නැවත සේවයට නොපැමිණෙන ලෙස එහි පාලනාධිකාරියේ උපදෙස් මත යැයි පවසමින්, වැඩසටහන් නිෂ්පාදකවරු දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් ඇය ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට සටහනක්ද එක් කර තිබේ.

ඉහළින් ලැබුණු උපදෙස් මත ‘රිවි දින අරුණැල්ල’ ඇතුළු වැඩසටහන්වල පූරක කාර්යයට මින් ඉදිරියට ඇගේ සේවය අනවශ්‍ය යැයි නිෂ්පාදකවරු පැවසූ බව සිදුවීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කළ විමසීමකට පිළිතුරු දුන් පාරමී නිලේප්ති පැවසුවාය. ඇය වැඩිදුරටත් පැවසුවේ, තමන් පළ කරන ෆේස්බුක් සටහන් මගින් ජනාධිපතිවරයා සහ රජය විවේචනය කෙරෙන නිසා රූපවාහිනියේ සේවයට යොදා නොගන්නා මෙන් ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති බවයි.

මෙම සිදුවීම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස බරපතල ලෙස උල්ලංඝනය කරන අවස්ථාවක් ලෙස දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරන්නේ, රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවය කරන ජනමාධ්‍යවේදියෙකුට වුවද ව්‍යවස්ථාපිත පුරවැසි අයිතීන් හිමි බවයි.

එසේම පාරමී කිසියම් පළ කිරීමක් කර ඇත්නම් ඒ ඇගේ සමාජ මාධ්‍ය ප්‍රකාශන ලෙස ය. එම ප්‍රකාශන දෙස අවධානයෙන් බලා සිටින කිසියම් පාර්ශවයක් මෙවැනි දඩයම් කිරීමකට අවශ්‍ය වාතාවරණය බලධාරීන් වෙත සම්පාදනය කර දෙන්නේ නම් එයද අතිශයින් බරපතල සිදුවීමක් ලෙස ‘නිදහස් මාධ්‍ය ව්‍යාපාරය’ දකියි. ඒ දිගින් දිගටම මාධ්‍යවේදීන් ආවේක්ෂණය සිදු වන බවට ප්‍රබල සංඥාවක් එමගින් ලැබෙන නිසා ය.

පසුගිය කාලයේ තමන් ආවේක්ෂණය කෙරෙනු ඇතැයි සැක කරන බව මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු පොලිස්පතිවරයාට ද පැමිණිළි කර තිබූ පසුබිමක නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ද ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු විය. එවැනි පසුබිමක පාරමී සම්බන්ධ සිදුවීම හුදෙක් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමක් පමණක් නොව මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අනතුරේ හෙලීම සඳහා ඔත්තු බැලීමේ කාර්යයක් සිදු වෙමින් පවතින බවට වන ඉඟියක් ලෙස ද සැළකිය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විශ්වාසයයි.

ලසන්ත ද සිල්වා
කැදවුම්කරු

හනා ඊබ්‍රහීම්
ලේකම්

+++++++

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාව්ක් ලෙස සේවය කළ පාරමී නිලේප්තා රණසිංහගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විවේචනය කරමින් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මෙම සටහන හේතුකරගෙන තමන්ට රූපවාහිනී භූමියට ඇතුළුවීමද තහනම් කර ඇති බව පාරමී රණසිංහ පවසයි.

රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, චක්‍රාවාටය, Hard talk, ගුරුතලාව වැනි වැඩසටහන් තුළින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ඇය හඩකැවීම් ශිල්පිනියක් ද වේ.

පාරමී රණසිංහ සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ දක්වා කිසිඳු ප්‍රකාශයක සිදුකර නොමැත ෴ (madyawediya.lk)

+++++++

***************************************

පොලිසිය මහජනතාවගෙන් කළ ඉල්ලීම

(16.03.2022 – 21:58 +0530 – sinhala.adaderana.lk)

නිවාස දෙකක් (2) බිඳ මුදල් සහ දේපළ සොරකම් කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවන් දෙදෙනෙකු (2) හඳුනාගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහය ඉල්ලා ඇත.

මෙම එක් (1) සැකකරුවෙක් විසින් නවගමුව පොලිස් වසමේ කොරතොට ප්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 20 ක මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කර තිබේ. පසුගිය 09 වනදා රාත්‍රී කාලයේදී මෙම සොරකම සිදුව ඇත.

අනෙක් සැකකරු පසුගිය ඊයේ (15) දිනයේ පහළ බෝම්රිය ප්‍රදේශයේ නිවසකට ඇතුළුව දේපළ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටින සැකකරුවෙකි.

මෙම සිද්ධීන්ට අදාළ CCTV වීඩියෝ දර්ශන පොලිසිය විසින් මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

ඒ අනුව අදාළ සැකකරුවන් පිළිබඳව යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ස්ථානාධිපති නවගමුව : 071 859 1652
ස්ථානාධිපති (අපරාධ) : 076 945 2002
නවගමුව පොලිස් ස්ථානය : 011 241 5222

***************************************

කොතලාවල පනතට එරෙහි ව අන්තරෙන් සංකේත සත්‍යග්‍රහයක්

(17.03.2022 – 08:20 +0530 – hirunews.lk/sinhala)

වසර දෙකකටත් (2) වැඩි කලක් තිස්සේ විශ්වවිද්‍යාල වසා දමා ඇති බවත් ඒ අතර තුර කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත සම්මතකර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බවත් පවසමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සතියක සංකේත සත්‍යග්‍රහයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ආරම්භ කර තිබෙනවා.

නිදහස් අධ්‍යාපනය වැනසීමට සහ උසස් අධ්‍යාපනය මිලිටරීකරණය කිරීමට පසුඩිය ආණ්ඩුව ගෙන ආ ‘කොතලාවල පනත’ නැවත වටයකින් 2021 වසරේ දී රාජපක්ෂ ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, මෙම උත්සහයන් සියල්ල සිසු ජන විරෝධය හමුවේ හකුලා ගැනීමට සිදු වුණා.

නමුත් අද (17) වන විට එම පනතම නැවතත් රාජපක්ෂ ආණ්ඩුව මඟින් විවිධ සංශෝධන සිදු කළ බව පෙන්වමින් සහ විවිධ වචන හරඹ යොදමින් පාර්ලිමේන්තුවට තෙවැනි වරටත් ගෙන ඒමට නිර්ලජ්ජිත උත්සාහයකට ප්‍රයත්න දරන බව යි ඔවුන් පවසන්නේ.

රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ඍජු ලෙස ම මිලිටරීකරණයට ලක් කරන මෙම පනත පෞද්ගලික විශ්වවිද්‍යාල ජාලයක් තැනීමට ඉඩ සකස්කර ගැනීමට දරන උත්සාහයක් බවත් ඔවුන් සඳහන් කරනවා.

එමෙන්ම පසුගිය වසර 30 පුරා අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට ගත් උත්සාහයන් සාර්ථක නො වූ නිසා රටේ මිලිටරි යාන්ත්‍රණය ඒ සඳහා යොදාගැනීමට ද ආන්ඩුවේ උත්සාහයක් ඇති බව සත්‍යග්‍රහයේ නිරත වන්නන් අවධාරණය කරනවා.

රාජ්‍ය විශ්වවිද්‍යාල හමුදා කදවුරු බවට පරිවර්තනය කරමින් 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත කුණු කූඩයට විසි කරමින් මෙම නව පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ආණ්ඩුව මේ මොහොතේ ද සූදානමින් සිටින බව යි එහි දී අවධාරණය කෙරුණේ.

පෞද්ගලික උපාධි කඩවලට නෛතික භාවයක් මෙන්ම ඒවා මඟින් පිරිනමන උපාධිවලට පිළිගැනීමක් ලබා දීමට ද මේ හරහා ඉඩ සලසා ඇති බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තවදුරටත් හෙළිදරවු කරනවා ෴

***************************************

තවත් කොරෝනා මරණ 03 ක්

(17.03.2022 – 17:45 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ 03 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 16,419 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයින් 301 ක් මෙරටින් හමුවී තිබෙනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 6,57,134 ක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *