බිල්පත් නොගෙවූ ජල සැපයුම් විසන්ධි කෙරේ

බිල්පත් නොගෙවූ ජල සැපයුම් විසන්ධි කෙරේ

*********************************************

බිල්පත් නොගෙවූ ජල සැපයුම් විසන්ධි කෙරේ

(16.03.2022 – 19:02 +0530 – hirunews.lk/sinhala)

විදුලි ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා විදුලිබල ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී යළි සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

විදුලි ඉංජිනේරුවන් සහ නිලධාරීන්ගෙන් ලද ඉල්ලීමක් මත විදුලි බිල්පත් ගාස්තු සංශෝධනය කිරීමට අදාළ සාකච්ඡාවක් විදුලිබල අමාත්‍යංශයේදී අදත් (16) පැවැත්වුණා.

වසර 9 කින් විදුලි බිල්පත් ගාස්තු ඉහළ දමා නොමැති හෙයින් මේ වනවිට විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 250 ක පාඩුවක් සිදුව ඇති බවයි නිලධාරීන් පෙන්වා දී තිබෙන්නේ.

බිල්පත් නොගෙවීම හේතුවෙන් මණ්ඩලයට මේ දක්වා අහිමිව ඇති ආදායම රුපියල් බිලියන 25 ක්.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විදුලි බිල්පත් ගාස්තු සංශෝධනය පිළිබඳව කැබිනට් මණ්ඩලයට කරුණු දැක්වීමක්ද සිදුකර තිබුණා.

ඒ අනුව, ජනතාවට අවම බලපෑමක් සිදුවන පරිදි අවශ්‍ය පියවර ගැනීම සඳහා හිමිවූ අවසරය මතයි මෙම සාකච්ඡාව කැඳවා ඇත්තේ.

විදුලි ගාස්තු තීරණය කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අවසන් අනුමැතිය හිමිවිය යුතු අතර, එහි සභාපතිවරයා මීට පෙර සඳහන් කළේ විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි.

මේ අතර, බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයෙන් අපේක්ෂිත මෙගාවොට් 35 ක ධාරිතාව හැකි ඉක්මනින් ජාතික පද්ධතියට එක්කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා.

මේ අතර, ජල බිල්පත් හිග සියළුම පාරිභෝගිකයින්ගේ සැපයුම විසන්ධි කිරීමට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

දිවයිනම ආවරණය වන පරිදි මේ වන විට ජල සැපයුම් විසන්ධි කිරිමට පියවරගෙන ඇති බවයි එම මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ ඒකනායක වීරසිංහ සදහන් කළේ ෴

***************************************

බුද්ධිමය දේපල සංශෝධන පනත් කෙටුම්පත අද සිට බලාත්මකයි

(16.03.2022 – 17:13 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 08 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත වූ බුද්ධිමය දේපල සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (16) අත්සන් කර තිබෙනවා.

2022 අංක 8 දරණ බුද්ධිමය දේපල සංශෝධන පනත අද (16) සිට බලාත්මක වනු ඇති.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් දැක්වූ භූගෝලීය දර්ශක ලෙස සිලෝන් සිනමන් වැනි නිෂ්පාදන එලෙසම ලියාපදිංචි කිරීමට නිෂ්චිත ක්‍රමවේදයක් මීට පෙර බුද්ධිමය දේපල පනතේ ඇතුළත්ව තිබුණේ නැහැ.

ඒවා මෙතෙක් ලියාපදිංචිය සිදුකර ඇත්තේ වෙළඳ ලකුණු විෂය යටතේයි. එහෙත් මේ අනුව ‘සිලෝන් ටී’ හා ‘සිලෝන් සිනමන්’ වැනි නිෂ්පාදන ඉදිරියේදී ශ්‍රී ලාංකික භූගෝලීය දර්ශක ලෙස ලියාපදිංචි කිරීමට හැකියාව ලැබෙනවා.

එමගින් මෙම නාමයන් යටතේ ව්‍යාජ අනුකරණ නැවැත්වීමට නීතිමය රාමුවක් ස්ථාපනය වීම සිදුවනු ඇති ෴

***************************************

නිල ඇඳුම පරයා මතු වූ මනුස්සකම

(16.03.2022 – 17:41 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරියෙකු නිල ඇඳුමින් සැරසී පාසල් දරුවෙකුට ආහාර කවන ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ මේ දිනවල සැරිසරනවා.

නවගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ද සිල්වා මහතා මෙලෙස ආහාර ලබාදෙන්නේ අනතුරකට ලක්වූ දරුවෙකුටයි.

අද (16) උදෑසන කඩුවෙල මුනිදාස කුමාරතුංග විදුහල ඉදිරිපිටදී මෙම දරුවා බස් රථයෙන් වැටී අනතුරට ලක්ව තිබෙනවා.

එම අවස්ථාවේ පාසල ඉදිරිපිට රථවාහන රාජකාරී කටයුතුවල නිරතව සිට ඇත්තේ නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයායි.

අනතුර දුටු පොලිස් ස්ථානාධිපතිවරයා කඩිනමින් ක්‍රියාත්මක වී ක්ලාන්ත වී සිටි දරුවා ජීප් රථයට නංවාගෙන නවගමුව රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

එහිදී ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව දරුවා කුසගින්නේ සිට ඇති බව අනාවරණය කරගත් පොලිස් ස්ථානාධිපතිවරයා මෙලෙස අවන්හලක් වෙත රැගෙන ගොස් දරුවාට අහාර ලබා දීමට කටයුතු කර තිබෙනවා.

අනතුරුව දරුවාගේ මව්පියන් කැඳවා දරුවා ඔවුන් භාරයට පත්කිරීමට ස්ථානාධිපතිවරයා කට යුතු කර තිබෙනවා ෴

***************************************

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

(16.03.2022 – 18:09 +0530 – hirunews.lk/sinhala)

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.

මරදාන සිට අවිස්සාවේල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් බේස්ලයින් පාර දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

මේ හේතුවෙන් කැළණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රියවල ප්‍රමාදයක් සිදුවන බවයි ඔවුන් කියාසිටියේ ෴

***************************************

දෙමටගොඩ දුම්රිය අංගනය ජනපතිගේ නිරීක්ෂණයට

(16.03.2022 – 18:18 +0530 – hirunews.lk/sinhala)

තෘප්තිමත් රැකියාවකට අවශ්‍ය පසුබිම සියලුම රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සැකසිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරනවා.

කොළඹ, දෙමටගොඩ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ඉංජිනේරු ධාවනබල උප දෙපාර්තමේන්තුව සහ මාලිගාවත්ත දුම්රිය අංගනය අද (16) පෙරවරුවේ නිරීක්ෂණයට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

බඳවාගැනීමේ පටිපාටිවල ඇති ගැටලු හේතුවෙන් උසස්වීම්වල පවතින ප්‍රශ්න කඩිනමින් නිරාකරණය කරන ලෙස ද ඔහු උපදෙස් දී තිබෙනවා.

ආයතනයන්හි දෛනික ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා පවතින ගැටලු සහ අවශ්‍යතා පිළිබඳව සේවකයන්ගෙන් තොරතුරු ද විමසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

දුම්රිය එන්ජින් මැදිරි හා ගැල් පරීක්ෂා කර, සුදුසු පරිදි සකස් කර, ධාවනය සඳහා යොමු කිරීම ධාවනබල උප දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම කාර්යය වනවා.

එදිනෙදා කළ යුතු අලුත්වැඩියාවන් සිදු කිරීම, වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවන් යාන්ත්‍රික ඉංජිනේරු වෙත නිර්දේශ කිරීම, අලුතින් ධාවනයට එක්වන එන්ජින් හා මැදිරි පරීක්ෂා කර යෝග්‍යතාවය සහතික කිරීම, දුම්රිය මාර්ගයේ සිදුවන දුම්රිය අනතුරු, පීලි පැනීම් හෝ වෙනත් ආපදාවක දී නැවත පීලි ගත කර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීම ආයතනයේ වගකීම් අතර වනවා.

ධාවනයට යොදවන මැදිරිවල ඇතුළත හා පිටත පිරිසිදු කිරීම ඇතුළු සේවාවන් රැසක් ආයතනය මගින් සිදු කෙරෙනවා.

කොළඹ පිහිටි ප්‍රධාන ධාවනාගාර 05 ක්, අංගන 02 ක් සහ කොළඹින් පිට තවත් ධාවනාගාර 15 ක් පමණ දෙපාර්තමේන්තුව සතුයි.

පුරප්පාඩු වන කාර්මික ශිල්පී රාජකාරී සඳහා කම්කරු තනතුරේ සේවකයින් යොදාගැනීම හේතුවෙන් සේවකයන් අතර අතෘප්ති කර තත්ත්වයක් උද්ගත වී ඇති බවයි වෘත්තීය සමිති නියෝජිතයන් මෙහිදී ජනාධිපතිවරයා වෙත පෙන්වා දුන්නේ.

දක්ෂතා ඇති තරුණ කම්කරුවන් ශ්‍රී ලංකා – ජර්මානු දුම්රිය අභ්‍යාස ආයතනය සහ වාත්තීය පුහුණු ආයතනවලට යොමු කර, පුහුණු අවස්ථා ලබාදීමට කටයුතු කර ඒ අනුව නිසි උසස්වීම් ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

ඉන්ධන ප්‍රවාහනය සේම සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා දුම්රිය යොදාගැනීමෙන් අත්වන ප්‍රතිලාභ වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙනු ලැබුවා.

අබලන් වූ දුම්රිය මැදිරි අලුත්වැඩියා කෙරෙන දෙමටගොඩ, ආරාමය පාර පිහිටි තන්ත්‍රී ටේලර් (පුද්) සමාගමේ යාන්ත්‍රික අංගනය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක් වුණා.

***************************************

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් 50 ක් රෝහලට

(16.03.2022 – 18:50 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

නෝටන්බ්‍රිජ් ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් සඳහන් කළේ ඉන් බරපතල තත්වයේ සිටි රෝගීන් 30 දෙනෙකු පමණ වටවල ප්‍රාදේශීය රෝහලට සහ දික්ඔය මූලික රෝහලට මාරුකර යැවූ බවයි.

අද (16) පස්වරුවේ ඔවුන් මෙම අනතුරට ලක්ව තිබෙනවා.

අනුරාධපුර ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනාවේ පැමිණි මෙම පිරිස කෙසෙල්ගමු ඔයේ දිය නාමින් සිටියදී ගසක බැඳ තිබූ විශාල බඹර කූඩුවකට කිසියම් පුද්ගලයෙකු ගලකින් පහරදීම හේතුවෙනුයි බඹරුන් ඇවිස්සී ඇත්තේ.

තුවාල ලැබූවන් අතර කාන්තාවන් සහ කුඩා ළමුන් කිහිප දෙනෙකු ද වනවා.

ඔවුන් යුද හමුදා නිලධාරීන්ගේ ද සහය මත රෝහල්ගතකර තිබෙනවා ෴

***************************************

මුදල් ඇමති බැසිල් ඉන්දීය අගමැති හමුවෙයි – ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින බවට මෝදි සහතික වෙයි

(16.03.2022 – 18:52 +0530 – hirunews.lk/sinhala)

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (16) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවුණා.

දෙදින නිල සංචාරය වෙනුවෙන් ඊයේ (15) පස්වරුවේ ඉන්දියාව බලා ගිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, නවදිල්ලි නුවරදී පිළිගනු ලැබුවේ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ විසින්.

මෙම සංචාරයට මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ද එක්ව සිටිනවා. ඉන්දීය රජයේ ආරාධනයකට අනුව මෙම සංචාරයේ නිරතවන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (16) පෙරවරුවේ ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා හමුවුණා.

එම අවස්ථාවට දෙරටේ මහකොමසාරිස්වරුන් මෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ද එක්ව සිටියා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුව නවදිල්ලි නුවරදී සිදුවුණේ අද (16) පස්වරුවේ යි.

එහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ඉන්දියාව, ශ්‍රී ලංකාවට ලබාදී ඇති සියලුම සහායන් පිලිබඳ ස්තූතිය පළ කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සමග ඉන්දියාව සැමවිටම සිටින බවයි.

කෘෂිකාර්මික, පුනර්ජනනීය බලශක්තිය, ඩිජිටල්කරණය, සංචාරක සහ ධීවර කර්මාන්තය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ශ්‍රී ලංකාව කාබනික කෘෂිකර්මාන්තයක් කරා ගමන් කිරීමට ගත් තීරණය පිළිබඳ මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

මේ අතර, දෙරට අතර ධීවර ගැටලුව පිලිබඳ පුළුල් සාකච්ඡාවක ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග මුදල් අමාත්‍යවරයා නිරත වී ඇති අතර, ධීවරයන්ට මානුෂික සැලකීම, ජිවනෝපාය, බලාත්මක කිරීම, සාගරයේ පරිසර විද්‍යාව සහ ධීවරයින් අත්අඩංගුවට ගැනීම, ඔවුන්ගේ බෝට්ටු කල් තියා නිදහස් කර ගැනීම වැනි කාරණා සම්බන්ධයෙන් ද මෙහිදී එකඟතාවන්ට පැමිණ තිබෙනවා.

මෙම සංචාරය අතරතුර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශන්කර් සහ එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්, සහ ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී වික්‍රම් මිස්රි ද හමුවීමටද නියමිතයි.

ඩොලර් අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට අවශ්‍ය තිරිඟු‍ පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් මෙම සංචාරයේ දී අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීමට අදාළ ගිවිසුමකට අත්සන් තැබීමට ද නියමිතව තිබෙනවා.

***************************************

ජනපති ගෙන් විශේෂ ප්‍රකාශයක්

(16.03.2022 – 20:43 +0530 – hirunews.lk/sinhala)

***************************************

මැණික් කියා ව්‍යාජව සැකසු පාෂාණ අලෙවි කිරීමේ ජාවාරමක්

(16.03.2022 – 22:17 +0530 – hirunews.lk/sinhala)

නිධානයකින් ලැබුණු මැණික් බව පවසමින් ව්‍යාජව සැකසු පාෂාණ අලෙවි කිරීමේ ජාවාරමක් පොලොන්නරුව මැදිරිගිරිය කේන්ද්‍ර කර ගනිමින් සිදුවනවා.

අද (16) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

***************************************

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා ආසාදිතයින් 120 ක් සුවයට

(16.03.2022 – 15:57 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 120 දෙනෙකු අද (16) දිනයේදී සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබු මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,19,193 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

+++++++++++

අද (16) කොරෝනා මරණ 1 යි

(16.03.2022 – 18:01 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා මරණයක් වාර්තාවී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (15) තහවුරු කළ මෙම මරණයත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16,416 ක් ලෙසටයි. මියගොස් ඇත්තේ අවුරුදු 60 ට වැඩි වයස් කාණ්ඩයේ පිරිමියෙක්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයන් 6,56,814 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 21,206 ක් නිවෙස්වල හෝ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 6,19,193 ක් ෴

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 320 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 6,57,134 ක් ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *