සුළු සහල් මෝල් හිමියන් පාලන මිලක් ඉල්ලයි

සුළු සහල් මෝල් හිමියන් පාලන මිලක් ඉල්ලයි

*********************************************

සුළු සහල් මෝල් හිමියන් පාලන මිලක් ඉල්ලයි

(16.03.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala)

සහල් සදහා පාලන මිලක් පැනවීමට රජය මගින් කටයුතු නොකල හොත් ඉදිරි සති කිහිපය තුල සහල් කිලෝවක මිල රුපියල් 200 සීමාව ඉක්මවිය හැකි බව සුලු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කළේ මහා පරිමාණ වී මෝල් හිමියන්ට සහ සහල් නිෂ්පාදකයින්ට වාසි සහගත වන ආකාරයෙන් රජය ක්‍රියා කිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

මේ අතර පවතින තත්වයන් හමුවේ සහල් ඇසුරුම් කිරීමට යොදා ගන්නා උරයක මිල රුපියල් 35 කින් ඉහළ නැංවීමට පොලිසැක් බෑග් හෙවත් සහල් උර නිෂ්පාදකයන් තීරණය කර තිබෙනවා.

එම නිෂ්පාකයන් පෙන්වා දෙන්නේ රට තුල පවතින ඩොලර් අර්බුදය සහ යුක්‍රේන – රුසියා යුද්ධයත් සමග අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙම මිල ඉහළ නැංවීම සිදු කරන බවයි.

මේ සමග ඉදිරියේ දී සහල් මිල තවදුරටත් ඉහළ යා හැකි හැකි බවට යි වාර්තා පළ වන්නේ.

එමෙන්ම පවතින තත්ත්වය හමුවේ සහල් සඳහා පාලන මිලක් පැනවීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බව සහල් ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි නියෝජිත එම්.එස්.එම්. ශානීර් සඳහන් කළේ, පවතින ඩොලර් අර්බුදය හමුවේ ඉහළ යන සහල් මිල පාලනය සඳහා එම පියවර ගත යුතු බවයි.

දඹුල්ල ප්‍රදේශයේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති නිශාන්ත බණ්ඩාර සහ එහි නියෝජිත බුද්ධදාස අබේකීර්ති ද සඳහන් කළේ සහල් සඳහා පාලන මිලක් පැනවීමට රජය වහා කටයුතු කළ යුතු බව යි ෴

***************************************

සීගිරියේ බදු ප්‍රශ්නයක්

(16.03.2022 – 08:12 +0530 – hirunews.lk/sinhala)

සීගිරියේ සංචාරකයින් ප්‍රවාහනය කරන සෆාරි කරත්ත වලින් වාර්ෂිකව රුපියල් 3,000 නව කරත්ත බද්දක් අයකර බලපත්‍රයක් නිකුත් කිරීමට දඹුල්ල ප්‍රාදේශීය සභාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.

එම ආයතන සඳහන් කළේ සෆාරි කරත්ත මගින් සීගිරිය ආශ්‍රිත ග්‍රාමීය මාර්ගවල සංචාරකයින් ප්‍රවාහනය කිරීමේදී එම මාර්ග වලට සිදුවන හානිය සැලකිල්ලට ගෙන ඒවා නඩත්තු කිරීමේ අරමුණින් මෙම බදු මුදල අයකිරීමට තීරණය කර බවයි.

දැනට සීගිරිය සංචාරක කලාපයේ සංචාරකයින් ප්‍රවාහනය සඳහා සෆාරි කරත්ත 50 කට අධික සංඛ්‍යාවක් භාවිතයේ යෙදන අතර එක් ගමන් වාරයක් සඳහා සංචාරකයෙකුගෙන් රුපියල් 3000 ත් 4000 ත් අතර ගාස්තුවක් අය කෙරෙනවා.

කෙසේ වෙතත් එම මුදලින් කරත්ත හිමිකරුට හිමිවන්නේ රුපියල් 1000 ක මුදලක් පමණක් බවයි සීගිරිය සෆාරි කරත්ත හිමිකරුවන් සඳහන් කළේ.

සෙසු මුදල් මඟ පෙන්වන්නන්ට සහ සම්බන්ධීකරණ අතරමැදියන්ට හිමි වනවා.

මෙම සෆාරි කරත්ත මගින් සංචාරකයින් ප්‍රවාහනය කිරීමට මෙතෙක් බදු අයකිරීමක් හෝ බලපත්‍ර නිකුත් කිරීමක් ක්‍රියාත්මක වූයේ නැහැ.

සෆාරි කරතත්ත හිමිකරුවන් පවසන්නේ මෙලෙස නව කරත්ත බද්දක් අය කිරීමෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්වන බවයි.

මේ සම්බන්ධයෙන් අප දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.ජී. සෝමතිලක ගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ සීගිරියට පැමිණෙන විදේශීය සංචාරකයෙකුගෙන් රුපියල් 7,000 ක මුදලක් අය කෙරුණ ද එම සියලු මුදල් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ලබා ගන්නා බවයි.

***************************************

ඉඩම් ආඥා පනතට සංශෝධන දෙකක් (2)

(16.03.2022 – 08:24 +0530 – hirunews.lk/sinhala)

ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ රෙගුලාසි දෙකක් (2) අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ එකඟතාව හිමි ව තිබෙනවා.

ඒ, ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනගේ ප්‍රධානත්වයෙන් එම උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදි යි.

ඉඩම් සඳහා නිකුත් කරනු ලබන බලපත්‍ර හා දීමනා පත්‍රවලට අදාළ ව ඉඩම්වල අවම බෙදුම් සීමාවන් සංශෝධනය කිරීම සහ එම බලපත්‍ර හා දීමනා පත්‍ර නිකුත් කිරීමේ දී සැළකිල්ලට ගනු ලබන ආදායම් සීමාවන් සංශෝධනය කිරීම මෙම නව රෙගුලාසි සංශෝධන මගින් සිදු වන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

***************************************

මැදගම දී ත්‍රිරෝද රථ රියදුරෙකුට වෙඩි තබයි

(16.03.2022 – 09:17 +0530 – hirunews.lk/sinhala)

මැදගම – මීගහවතුර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් වෙඩි තබා තිබෙනවා.

ඊයේ (4) රාත්‍රී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ඔහු 45 හැවිරිදි මැදගම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

වෙඩි ප්‍රහාරය එල්ල කළ යතුරුපැදිකරුවන් පලා ගොස් ඇති අතර, සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ ෴

***************************************

සලිඳුගේ ගෝළයෙකු අත්අඩංගුවට

(16.03.2022 – 10:07 +0530 – hirunews.lk/sinhala)

පානදුර දකුණ – කුරුප්පුමුල්ල ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ‘සලිඳු මල්ෂිත’ හෙවත් ‘පානදුර සලිඳු’ගේ සමීපතම ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (15) සිදු කළ මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගත් සැකකරු දැනට සැඟව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කුරුප්පුමුල්ලේ සංඛ නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු ද වන බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සතු ව තිබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නො කළ සුඛෝපබෝගි මෝටර් රථයක් සහ විවිධ වර්ගයේ බැංකු කාඩ්පත් 8 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා ෴

***************************************

බැසිල් – මෝදි හමුවෙයි

(16.03.2022 – 12:55 +0530 – hirunews.lk/sinhala)

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා.

ඒ, නවදිල්ලියේ පාර්ලිමේන්තු සංකීර්ණයේදියි.

එමෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා ද අද (16) හමුවුණා.

ඊට මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, ඉන්දීය මහකොමසාරි ගෝපාල් බග්ලේ ද එක්ව සිටියා.

මෙම දෙදින (2) නිල සංචාරයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර්, මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් සහ ඉන්දියාවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශකවරයා ද හමුවීමට සැලසුම් කර තිබෙනවා.

***************************************

පාර්ලිමේන්තුව තෙදිනක් (3) රැස්වීමට අද (16) තීරණය කෙරේ

(16.03.2022 – 13:09 +0530 – hirunews.lk/sinhala)

මාර්තු 22 වැනි දා සිට 25 වැනි දා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබෙනවා.

ලබන 22 වැනි දා පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ දී ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන (2) වර කියවීමේ විවාදය පැවැත්වීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර ඇත්තේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව රැස්වූ අවස්ථාවේ දී මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළා ෴

***************************************

ඩොලරය 264 ඉක්මවයි

(16.03.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala)

නම්‍යශීලි විනිමය අනුපාතික ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අද (16) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 264 ක් ලෙසත්, විකිණුම් මිල රුපියල් 274.99 ක් ලෙසත් සටහන් වුණා.

ස්ටර්ලින් පවුම් එකක ගැනුම් මිල රුපියල් 346 ක් වූ අතර එහි විකිණුම් මිල සටහන් වූයේ රුපියල් 360 ක් ලෙසයි.

යුරෝ එකක ගැනුම් මිල රුපියල් 293 ක් ලෙසත්, විකිණුම් මිල රුපියල් 304 ක් ලෙස සටහන් වුණා ෴

***************************************

මාතර ප්‍රාදේශීය සභාවේ සභාපතිට මාංචු වැටෙයි

(16.03.2022 – 15:38 +0530 – hirunews.lk/sinhala)

මාතර ප්‍රාදේශීය සභාවේ සභාපති විමල් ප්‍රියජනක අද (16) පස්වරුවේ මාතර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කැකණදුර ප්‍රදේශයේ නිවසකට ගිනිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිටයි ෴

නිවසකට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මාතර ප්‍රාදේශීය සභාවේ සභාපති විමල් ප්‍රියජනක ඇතුලු 3 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ අනුව එක් අයෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමටයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

මාතර – කැකණදුර ප්‍රදේශයේ නිවසකට ගිනිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සභාපතිවරයා හා ඔහුගේ ඥාතීන් දෙදෙනෙකු (2) අද (16) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.

***************************************

බඩඉරිඟු සහ ගව පාලනයට නිදහස් කරන ඉඩම්වලට ඇගයීම් වාර්තා කඩිනමින්

(16.03.2022 – 15:43 +0530 – hirunews.lk/sinhala)

බඩ ඉරිඟු වගාවට සහ කිරි ගව පාලනයට ඉඩම් යොදා ගැනීමේදී පාරිසරික ඇගයීම් වාර්තා ප්‍රමාදයකින් තොරව නිකුත් කරන ලෙසට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සමග ඊයේ (15) පරිසර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සදහන් කර ඇති අතර එම සාකච්ඡාවට මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ද සහභාගි වුණා.

බඩඉරිඟු සහ කිරිගව පාලනයට ඉඩම් වෙන් කිරීමේදී පරිසර ඇගයීම් වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් විදේශීය ආයෝජකයින් ඉවත්ව වන බව ද මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා ෴

***************************************

ඇමති බැසිල් රාජපක්ෂට අභියාචනාධිකරණයෙන් යළි නොතීසි

(16.03.2022 – 16:02 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ මුදල් අමාත්‍ය ධුරය දැරීමට නීතිමය සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් මැයි මස 12 වනදා කරුණු දක්වන ලෙස දන්වා එහි පළමුවන වග උත්තරකරු ලෙස නම් කර සිටින අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත අභියාචනාධිකරණය යළි නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළා.

ඒ අදාළ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා ඉදිරියේ අද (16) කැදවූ අවස්ථාවේදීයි. එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ නොතීසි වගඋත්තරකාර බැසිල් රාජපක්ෂ වෙත භාර දී ඇති බව සඳහන් කළා.

එහෙත්, මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ හෝ ඔහු වෙනුවෙන් නීතිඥවරයෙකු අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඒ අනුව බැසිල් රාජපක්ෂ වෙත යළි නොතිසි නිකුත් කිරීමට නියෝග කළ විනිසුරුවරයා නඩුව මැයි මස 12 වනදා කැඳවන ලෙස ද නියෝග කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු පැවසුවේ.

පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සහ බරපතළ වංචා පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා ෴

***************************************

පාස්කු ඉරිදා ප්‍රහාරයට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කල් යයි

(16.03.2022 – 16:17 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම මෙරට ජාතික ආරක්ෂාවේ දැවැන්ත බිඳ වැටීමක් බවත් ඊට එම වකවානුවේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගකිවයුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (16) යළි විභාගයට ගත් අවස්ථාවේදීයි.

එහිදී පෙත්සමක් ඉදිරිපත් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන මෙම කරුණු අනාවරණ කළ බව හිරු අධිකරණ වාර්තාකරු පැවසුවා ෴

***************************************

මැගසින් බන්ධනාගරයේ සැකකරුවෙකුට හෙරොයින් රැගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට

(16.03.2022 – 16:50 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකු බැලීමට පැමිණි කාන්තාවක් අදාළ සැකකරුට ලබා දීම සදහා රැගෙන එන ලද භාණ්ඩවල තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

එදින මුරපොළේ රාජකාරී සදහා යොදවා සිටි බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකායේ නිලධාරින් විසින් කළ දැඩි සෝදිසියකදීයි මෙම මත්ද්‍රව්‍ය හමුවී ඇත්තේ.

ඊයේ (15) පස්වරු 04:15 ට පමණ පැමිණි කාන්තාව විසින් සැකකරු වෙත ලබා දීම සදහා රැගෙන එන ලද තුවායක දෙපස වාටියේ ඉතා උපක්‍රමශිලි ලෙස සඟවා හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 217 ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

සැකකාර කාන්තාව එදින රාජකාරී සදහා යොදවා සිටි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය ඉදිරි නීතිමය කටයුතු කිරිම සදහා බොරැල්ල පොලිස්ථානය වෙත භාරදීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මුලික විමර්ශණයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මුලස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

***************************************

සංස්කෘතික අරමුදලේ මුදල් වැය කළ හැටි රාජ්‍ය ඇමති විදුර ‘එක රටක් එක නීතියක්’ බලකායට කියයි

(16.03.2022 – 17:08 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජය සමයේ සංස්කෘතික අරමුදලේ අරමුණු වලින් බැහැරව එහි මුදල් යෙදවීම හේතුවෙන් එම අරමුදලේ මූලික කාර්යයන් සඳහා අරමුදල් නොමැති බව ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

‘එක රටක් එක නීතියක්’ සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයන් පසුගියදා රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා හමු වී සාකච්ඡා කළ අවස්ථාවේ දීයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.

ජාතික උරුමයන් හා පුරාවස්තු ආරක්ෂා කිරීමේ දී අදාළ නීතී, සියලු ජනවර්ග වෙත සමව ක්‍රියාත්මක නොවීම පිළිබඳ පළාත් කිහිපයක මහජනතාව එම කාර්‍ය සාධක බලකාය වෙත තොරතුරු ලබා දී ඇති බව ද මෙම සාකච්ඡාවේ දී අනාවරණය වුණා.

‘එක රටක් එක නීතියක්’ සංකල්පය යථාර්ථයක් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා තැබූ පියවරට ප්‍රණාමය පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පුරාවිද්‍යා නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම ස්ථාන ආරක්ෂා කර ගැනීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති බවයි.

මෙම කටයුතු සඳහා යෙදවීමට වෙන් කර තිබූ මධ්‍යම සංස්කෘතික අරමුදල සතුව ස්ථාවර තැන්පතුවල ආයෝජනය කළ රුපියල් මිලියන 25,000 ක් පසුගිය රජයේ විෂයභාර අමාත්‍යවරයා විසින් මූලික අරමුණින් බැහැරව යොදවා ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළා.

මේ අතර අධ්‍යාපනය රටේ සෑම දරුවකුට ම එක හා සමානව ලැබිය යුතු අයිතිවාසිකමක් වන අතර එම පොදු අධ්‍යාපනය තුළ සියලු ජාතීන් සමගිව ජීවත් වීමට බාධා කෙරෙන අන්තවාදී ඉගැන්වීම් ප්‍රවර්ධනය නොවිය යුතු බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල සී. පෙරේරා මහතා පවසනවා.

කාර්යය සාධක බලකායේ සාමාජිකයන් අධ්‍යාපන ලේකම්වරයා හමු වූ අවස්ථාවේ දීයි ඔහු මෙම අදහස් පළ කළේ.

ශ්‍රී ලංකාව තුළ ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව දරන අදහස් සහ මතවාදයන් සැලකිල්ලට ගනිමින් එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව රට තුළ එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ සභාපතිත්වයෙන් පත්කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකාය මේ වන විට රටේ විවිධ පළාත් ආවරණය කරමින් මහජන අදහස් විමසීම හා විද්වත් යෝජනා ලබා ගැනීම සිදු කරමින් සිටිනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *