පෞද්ගලික ඛනිජ තෙල් ටැංකි රථ හිමිකරුවන් ඉන්ධන බෙදාහැරීමෙන් ඉවත් වෙයි

පෞද්ගලික ඛනිජ තෙල් ටැංකි රථ හිමිකරුවන් ඉන්ධන බෙදාහැරීමෙන් ඉවත් වෙයි

*********************************************

පෞද්ගලික ඛනිජ තෙල් ටැංකි රථ හිමිකරුවන් ඉන්ධන බෙදාහැරීමෙන් ඉවත් වෙයි

(16.03.2022 – 08:00 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවාහන ගාස්තු ඉහළ නොදැමීමට විරෝධය පළ කරමින් ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්වූ බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සමලේකම් ශාන්ත සිල්වා කියා සිටියේ, ප්‍රවාහන ගාස්තු සියයට 60 කින් ඉහළ දැමිය යුතු බවට ඉල්ලීමක් කර තිබියදීත් බලධාරීන් සියයට 17 කින් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට යෝජනා කිරීම හේතුවෙන් මෙලෙස ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්වූ බවයි.

මේ අතර ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ සඳහන් කළේ, බූලි සඳහා ඩීසල් ලබා නොදෙන ලෙසට සංස්ථාවෙන් තමන් වෙත දැනුම්දී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය බලශක්ති අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර, එහි ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා කියා සිටියේ අමාත්‍යාංශ මට්ටමින් එලෙස දැනුම්දීමක් සිදු කර නොමැති බවයි.

එමෙන්ම බැරල් වලට සහ බූලි වලට පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවට පල වන වාර්තා අසත්‍ය බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ කියා සිටියේ විශාල ප්‍රමාණයේ බැරල්වලින් ආයතන වෙත ඉන්ධන නිකුත් කිරීමේ දී පෝලිමේ පවතින වාහනවල පුද්ගලයන් අපහසුතාවයට පත් නොවන ලෙස කටයුතු කරන්නැ යි පිරවුම්හල් වෙත දැනුම් දුන් බවයි.

එමෙන්ම විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන් පී සිට ඩබ්ලිව් දක්වා (P-W) කලාප අටකට (8) පෙරවරු 08:30 සිට පස්වරු 05:30 දක්වා පැය 3 ක කාලයක් සහ පස්වරු 05:30 සිට රාත්‍රි 11 දක්වා පැය 2 යි මිනිත්තු 30 කාලයක්
සහ
ඒ සිට එල් දක්වා (A-L) කලාප සඳහා පෙරවඑර 8 සිට පස්වරු 6 දක්වා පැය 2 යි මිනිත්තු 30 කාලයක් සහ පස්වරු 6 සිට රාත්‍රි 11 දක්වා පැය 2 යි කාලයක් (¼)
අද (16) දින විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (15) ප්‍රකාශ කළා ෴

++++++++++++

බොරතෙල් මිල තවත් අඩුවෙයි

(16.03.2022 – 08:21 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද (16) තවදුරටත් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 98 ක් ලෙසයි.

ඊයේ (15) එය ඩොලර් 100 ට ආසන්නව පැවතියා.

යුක්රේන රුසියා අර්බුදය සම්බන්ධයෙන් සුබවාදී තත්ත්වයක් උද්ගත වීම මෙලෙස ලෝක වෙළදපොළේ තෙල් මිල අඩුවීමට හේතුවී ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ෴

++++++++++++

ග්‍රාමීය මාර්ගවල ධාවනය වන ලංගම බස් සීමාවෙයි

(16.03.2022 – 09:13 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාමීය මාර්ගවල ලංගම බස් රථ ගමන් වාර සීමා කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, පවතින ආර්ථික අර්බුදය සහ සේවක හිඟය හේතුවෙන්. ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම කොළඹ ඊයේ (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියේ කෙසේ වෙතත් අත්‍යවශ්‍ය වේලාවන්වලදී ගමන් වාර ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි ෴

++++++++++++

හෝමාගම ගෑස් අවුල – හයිලෙවල් පාර අවහිර කරයි

(16.03.2022 – 09:54 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිට ගෑස් අලෙවි නියෝජිත ස්ථානයේ ගෑස් ලබා ගැනීම සඳහා අද (16) අලුයම සිට රැඳී සිටි ජනතාවට වෙළෙඳසල් හිමිකරුවන් ගෑස් නොමැති බව පැවසීමත් සමඟ කුපිත වූ ජනතාව ගෑස් සිලින්ඩර් මාර්ගය හරහා තබා හයිලෙවල් මාර්ගය සම්පූර්ණයෙන්ම හරස්කොට විරෝධතාවයක නිරත වුණා.

ඒ හේතුවෙන් කොළඹ දෙසට සහ අවිස්සාවේල්ල දෙසට කිලෝමීටර් දෙකක් (2) පමණ දැඩි රථවාහන තදබදයක් දක්නට ලැබුණා.

ඊට උරණ වූ රියදුරන් විරෝධතාකරුවන් සමග බහින්බස් වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

මේ සඳහා පන්සීයකට (500) ආසන්න පිරිසක් සහභාගී වී සිටියා.

පසුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් සමඟ ද විරෝධතාකරුවන් වචන හුවමාරුවක පැටලුණු අතර, එහිදී හෝමාගම කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී පුෂ්පකුමාර පැමිණ ගෑස් ලබාදීමට බලධාරීන් සමග සාකච්ඡා කරන බවට පොරොන්දු වීමත් සමග මාර්ගය හරස් කොට තබා තිබූ ගෑස් සිලින්ඩරය ඉන් ඉවත් කොට විරෝධතාවය නිමා කළා.

පැයක පමණ කාලයක් මෙම විරෝධතාවය පැවැතුණා.

කොලොන්නාව නිමාව බවුසර් අංගනය අසල රැඳී සිටින බවුසර හිමියන් පවසන්නේ ඔවුන්ට සාධාරණ ඉල්ලීම ඉටු වනතුරු බවුසරවලට ඉන්ධන ලබා නොගන්නා බවයි .

18% ක ගාස්තු වැඩිවීමක් ලබා දීමට පොරොන්දු වී තිබුණත් එය ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් පවසන්නේ.

ඉන්ධන බවුසර හිමියන් කොළොන්ලොන්නාව තොග ගබඩා පර්යන්තය හසල බවුසර අංගනය අසල සිටින විට මෙම ස්ථානයෙන් තෙල් සංස්ථාවේ සභාපතිවරයා ද ගමන් කරනු දක්නට ලැබුණා.

කොලොන්නාව ඛණිජ තෙල් නිමාවේ වෘත්තිය සමිති නායකයෙකු වන බන්දුල සමන් ද මෙහි දී මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.

ඔහු කියා සිටියේ 60% ඉල්ලීම අසාධාරණ බවයි.

ඉන්ධන බවුසර් හිමියන්ගෙ ඒකාධිකාරයක් පැවැත්වීම හේතුවෙන් මෙවැනි ඉල්ලීම් ලබාදෙන ලෙස ඉල්ලීම් කරන බව ද එය අසාධාරණ බව ද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් සාධාරණ ඉල්ලීම් ලබාදීමට සභාපතිවරයා එකඟ විය හැකි බව ද ඔහු මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කළා ෴

++++++++++++

ලිට්‍රෝ හා ලාෆ් ගෑස් බෙදාහැරීම නවතියි

(16.03.2022 – 10:21 +0530 – hirunews.lk/sinhala)

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් බෙදා හැරිම අත් හිටුවා ඇති බව ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් සභාපතිවරුන් ප්‍රකාශ කරනවා.

මීට හේතු වී ඇත්තේ, මේ වන විට අදාළ ගෑස් සමාගම් දෙක (2) ම සතු ව ප්‍රමාණවත් ගෑස් තොග නොමැති වීම යි.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතළ ඩොලර් හිඟය හේතුවෙන් ගෑස් මිල දී ගැනීමට අවශ්‍ය විදේශ ණය අණකර විවෘත කිරීමට නො හැකි වී තිබෙනවා.

ඩොලර් අර්බුදය නිසා ණයවර ලිපි නිකුත් කර ගැනීමට නොහැකිවීමෙන් ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් රැගත් නෞකාවකට මෙලෙස ගෙවීම් සිදු කිරීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

අවසන් වරට මීට දින හයකට (6) පෙර දිවයිනට ගෑස් මෙට්‍රික් ටොන් 30,000 ක් සහිත නෞකාවක් පැමිණි අතර, එම ගෑස් තොගය දින දෙකකට (2) ආසන්න කාලයක් තුළ දී බෙදා හැර අවසන් වුණා.

ඒ අතරින් යම් කොටසක් කර්මාන්ත ශාලා සහ අදාහනාගාර සඳහා වෙන කර තැබුණු අතර, සාමාන්‍ය පාරිභෝගිකයන් සඳහා නිකුත් කිරීම් අවසන් කළ බව යි ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ.

මේ අතර, දිවයිනේ දෙවැනි විශාලතම ගෑස් සපයන්නා වන ලාෆ් ගෑස් සමාගම දැනට මාස හයකට (6) ආසන්න කාලයක් තිස්සේ ඔවුන්ගේ සම්පූර්ණ ධාරිතාවෙන් ගෑස් තොග නිකුත් කරන්නේ නෑ.

ලිට්‍රෝ සමාගම දිනකට පාරිභෝගිකයන් සඳහා සාමාන්‍ය ගෘහසථ ගෑස් සිලින්ඩර 1,25,000 ක් පමණ වෙළෙඳපොළට නිකුත් කරන අතර, ලාෆ් සමාගම දෛනික ව නිකුත් කළ ගෑස් සිලින්ඩර 40,000 කට ආසන්න ප්‍රමාණය දිනකට ගෑස් සිලින්ඩර 2,000 දක්වා පහත දැමුණා.

මෙම බරපතළ ගෑස් හිඟය හේතුවෙන් මේ වන විටත් කොළඹ නගරය ඇතුළු දිවයිනේ බොහෝ ආපණ ශාලා පවත්වාගෙන යාමට නො හැකි තත්ත්වයක් මතු වී ඇති අතර, මේ හේතුවෙන් ආපණ ශාලා බොහෝමයක් වසා දමා ඇති අයුරු දැක ගන්නට පුළුවන්.

++++++++++++

ඛනිජ තෙල් ප්‍රවාහන බවුසර් හිමියන්ගේ වැඩවර්ජනය අත්හිටුවයි

(16.03.2022 – 12:34 +0530 – hirunews.lk/sinhala)

ඛනිජ තෙල් ප්‍රවාහන පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය විසින් දියත් කර තිබූ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව යි.

ඩීසල් මිල වැඩිවීම සහ ඩොලරයේ රුපියල් අගය ඉහළ යාමත් සමග මතු වූ තත්ත්වය සැලකිල්ලට ගෙන 60% ක් ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමක් ඉල්ලමින් මෙම සංගමය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලිපියක් යොමු කළා.

එයට පිළිතුරු වශයෙන් ඛණිජ තෙල් සංස්ථාව කියා සිටියේ උපරිම වශයෙන් 17% ගාස්තු වැඩි කිරීමක් සිදුකළ හැකි බවයි.

මෙම යෝජනාවට එකඟ නොවූ පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඊයේ (15) රාත්‍රියේ සිට ඛනිජ තෙල් ප්‍රවාහනයෙන් ඉවත් වුණා.

අද (16) පෙරවරුවේ බලශක්ති අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ඩීසල් වැඩිවීමේ ප්‍රවාහන ගාස්තු සංශෝධනය වහාම සිදු කිරීමටත්, රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් සිදුවන හානිය අප්‍රේල් 01 වන දින සිට ප්‍රතිපූර්ණය කිරීමටත් පොරොන්දු වී තිබෙනවා.

මේ අනුව පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය විසින් දියත් කළ වැඩ වර්ජනය අත්හිටුවීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

++++++++++++

විදුලි ගාස්තු වැඩි කිරීම කඩිනම් වන ලකුණු

(16.03.2022 – 13:45 +0530 – hirunews.lk/sinhala)

විදුලි බිල්පත් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මේ වන විට විදුලිබල අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා.

ඒ, විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, විදුලි ඉංජිනේරුවන් සහ විදුලිබල මණ්ඩල නිලධාරීන් අතරයි.

විදුලි ඉංජිනේරුවන් සහ නිලධාරීන්ගෙන් ලද ඉල්ලීමක් මත විදුලි බිල්පත් ගාස්තු සංශෝධනය කිරීමට අදාළව මෙම සාකච්ජාව සිදු කෙරෙනවා.

එසේම, ඉන්ධන හිඟයත් සමග ආරම්භ කෙරුණු විදුලි කප්පාදුව අදත් (16) ක්‍රියාත්මකයි.

මේ අතර ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල අද (16) තවදුරටත් පහත බැස තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමරිකානු ඩොලර් 98 ක් දක්වා පහත වැටී ඇති බව වෙළදපොළ වාර්තා ප්‍රකාශ කළා ෴

++++++++++++

හෙට (17) දිනයේ විදුලි කප්පාදු කාලසටහන

(16.03.2022 – 18:37 +0530 – hirunews.lk/sinhala)

හෙට දිනයේ විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි :

+ Power Cut Schedule – from CEB

++++++++++++

ගෑස් සපයන්න තවමත් ක්‍රමයක් නැහැ – අර්බුදය විසඳීම මහබැංකුවට

(16.03.2022 – 19:08 +0530 – hirunews.lk/sinhala)

මතුව ඇති ගෑස් අර්බුදය කඩිනමින් විසදීම සඳහා මහබැංකුව සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ පැමිණ ඇති නෞකාවෙන් ගෑස් ගොඩබෑම සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට අදාල මුදල් ලබා දීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙන බවයි.

මධ්‍යම ගබඩාවේ ගෑස් තොග අවසන් වීම හේතුවෙන් ගෑස් බෙදා හැරීමේ කටයුතු නතර කළ බව ලිට්රෝ සමාගම අද (16) පෙරවරුවේ නිවේදනය කළා.

එම සමාගම සඳහන් කළේ ඩොලර් අර්බුදය සමග ණයවර ලිපි විවෘත කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් කොළඹ වරායට පැමිණ ඇති නෞකාවේ අන්තර්ගත ගෑස් ගොඩබෑමට නොහැකි තත්වයක් හටගෙන ඇති බවයි.

අදාළ නෞකාවේ ගෑස් මෙට්‍රික් ටොන් 3,500 ක් අන්තර්ගත වන අතර, එය ලබා ගතහොත් දින 3 ක කාලයක් ඉල්ලුම සපුරාලීමට එම ගෑස් තොගය ප්‍රමාණවත් වන බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළා.

එමෙන්ම, ගෑස් නිදහස් කර ගැනීමට නොහැකිවීම සමග දිනකට ඇමෙරිකානු ඩොලර් 15,000 ක ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට ද සිදුව ඇති බව වාර්තා වනවා.

එමෙන්ම ණයවර ලිපි විවෘත කර ගැනීමට නොහැකිවීමෙන් ලාෆ් සමාගම ද අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි සියලු බෙදාහැරීම් නතර කර තිබෙනවා.

එම සමාගම මීට දින කිහිපයකට පෙර ගෘහස්ථ ගෑස් බෙදා හැරීම නතර කල නමුත් රෝහල්, හෝටල් වැනි අත්‍යාවශ්‍ය ආයතන සදහා පමණක් බෙදාහැරීම් සිදුකිරීමටයි පියවර ගෙන තිබුණේ.

කෙසේ වෙතත්, තොග අවසන් වීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ආයතන සදහා පමණක් සිදුකර බෙදා හැරීම්ද අද සිට නතර කල බව ලාෆ් සමාගම ප්‍රකාශ කළා.

ඒ අනුව දිවයින පුරා ගෑස් අලෙවිසැල් අසල අදත් දිගු පෝලිම් පැවති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මේ අතර, ගෑස් අලෙවිසැල්වල ගෑස් තොග සඟවා සිටින බව පවසමින් පාරිභෝගිකයන් ඊට විරෝධය එල්ල කිරීමත් සමඟ ප්‍රදේශ කිහිපයක උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

හෝමාගම නගරයේ අද (16) එලෙස පැවති විරෝධතාවක් අතරතුර ජනතාව හයිලෙවල් මාර්ගය ද අවහිර කළා.

මේ අතර, ගෑස් නොමැතිවීම හේතුවෙන් ආපනශාලා පවත්වාගෙන යාමට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ ජාතික සංවිධායක අසේල සම්පත් පැවසුවා.

++++++++++++

පෞද්ගලික බවුසර් වර්ජනය අවසන් – තෙල් ප්‍රවාහනය ඇරඹුණත් තවමත් තැන තැන පෝලිම්

(16.03.2022 – 19:12 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත්ව ආරම්භ කළ වර්ජනය අද (16) දහවල් අවසන් කළා.

ඒ, බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මේ අතර, පිරවුම්හල් ආශ්‍රිතව තවදුරටත් ජනතාව ඉන්ධන ලබාගැනීමේ අපේක්ෂාවෙන් පෝලිම්වල රැඳී සිටින ආකාරය අද (16) දිනයේදීත් නිරීක්ෂණය වුණා.

කෙසේ වෙතත්, බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තෙල් හිඟයක් නොමැති බවයි.

එසේම, අද (16) සිට ඉන්ධන නෞකා අඛණ්ඩව දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ජනතාව අද (16) දිනයේදීත් ඉන්ධන ලබා නොගැනීමට නොහැකිව ජනතාව පෝලිම්වල රැඳී සිටියා.

මේ අතර, ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වනවිට කැපී පෙනෙන ලෙස පහත වැටෙමින් පවතිනවා.

අද (16) පස්වරුව වනවිට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 99 ත්, 102 ත් අතර අගයක පැවති අතර, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 96 ක අගයකයි.

මේ අතර, මෙරට ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් පෞද්ගලික ප්‍රවාහන ක්‍රමවේදයන් භාවිත කළ ජනතාව දුම්රිය භාවිත කිරීමට පෙළඹී ඇති බැවින් දුම්රිය ධාවන කටයුතු පුළුල් කරන ලෙස ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ලිපියක් යොමු කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ මේ දිනවල ප්‍රධාන දුම්රිය ස්ථානවල ආදායමද ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව, නව දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කිරීම, මගී ධාරිතාව වැඩි දුම්රියන් සඳහා අමතර මැදිරි එක් කිරීම වැනි යෝජනා කිහිපයක් එහි දැක්වෙනවා ෴

++++++++++++

ගෑස් තොග රැගත් නැව් සඳහා ගෙවීම් සිදු කරයි

(16.03.2022 – 22:33 +0530 – hirunews.lk/sinhala)

ගෑස් තොග රැගත් නැව් සඳහා ගෙවීම් අද සිදු කර තිබෙනවා. මේ වන විට ගෑස් ගොඩබෑම ආරම්භ කර ඇති අතර හෙට සිට බෙදාහැරීම සිදු කිරීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *