ජනතාව පෝලිම් වල ඉන්නේ මුදල් ඇමතිගේ වරදින් – පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල

ජනතාව පෝලිම් වල ඉන්නේ මුදල් ඇමතිගේ වරදින් – පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල

*********************************************

ජනතාව පෝලිම් වල ඉන්නේ මුදල් ඇමතිගේ වරදින් – පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල

(16.03.2022 – facebook.com/UdayaGammanpilaFanPage)

මේ රටේ ආර්ථිකය කඩා බිද දැමීම සදහා මුදල් අමාත්‍යවරයා සිතා මතා සැලසුම් සහගතව කටයුතු කරණ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කර සිටියේය. ඒ මහතා මේ බව සදහන් කර සිටියේ මුළු රටම හරි මගට යන තේමාව යටතේ අද දින (2022.03.16) බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් හා එක්වෙමිණි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමය නායකයා :

ජනතාව පෝලිම් වල ඉන්නේ මුදල් ඇමතිගේ වරදින්

“අව්වේ වේලෙමින් වැස්සට තෙමෙමින් අපේ රටේ බහුතර ජනතාව අද ඩීසල් පෝලිම්වල ගෑස් පෝලිම්වල බෙහෙත් පෝලිම්වල දුක් විඳිනවා. එහෙම ජනතාවටට දුක් විඳින්න සිදු වුනේ මුදල් ඇමතිගේ වරදින්. පසුගිය වසරේ අපේ ආනයන වියදම ඩොලර් බිලියන 20.6 යි. ඒක ඉතිහාසයේ වාර්තා වුණු ඉහලම ආනයන අගයක්. එයින් ඛනිජතෙල්, ගල් අඟුරු, ගෑස්, ඖෂධ සහ වෛද්‍ය උපකරණ යන අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට වැය කරලා තිබෙන්නේ ඩොලර් බිලියන 4.6 යි. අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 6 කට ආසන්න මුදලක් වැය කරලා. 2020 ඔක්තෝම්බර් මාසයේ 20 වෙනිදා ඉදන් ආණ්ඩුවට කියූ ආකාරයට අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආණයනය සීමා කලා නම් අද අත්‍යාවශ්‍ය භාණ්ඩ සදහා පැයගණන් නෙවෙයි දවස් ගණන් මේ රටේ ජනතාවට පෝලිම්වල දුක් විදින්න වෙන්නේ නෑ.

2020 ඔක්තෝම්බර් මාසයේ 26 වෙනිදා ඒවකට රාජ්‍ය අමාත්‍ය නිවාඩ් කබ්රාල් මැතිතුමා අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ කලා ආර්ථික අර්බුදයක් කරා යමින් ඉන්නවා ඉන් ගොඩ ඒමට ගත යුතු පිළියම්. ඒම නිර්දේශයන්හි 26 වෙනි පිටුවේ නිර්දේශ කරන්නේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සීමා කල යුතුයි කියන එක.

එදා ඒ දේ නොකල නිසා, පිළිකා රෝගයට‌ හෘද රෝගයට ‌බෙහෙත් නැතිව මේ රටේ කවුරුන් හෝ මිය යනවනම් ඒ සෑම මරණයකම වගකීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බාරගත යුතුයි. පෝලිම් වල දුක් විදින ජනතාවගේ අඳෝනා වලට වගකීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා භාරගත යුතුයි.

2021 ඔක්තෝම්බර් 01 දා මහ බැංකුව විසින් ආර්ථිකය ගොඩදාන මාස හයක (6) සැලසුමක් හදලා මුදල් ඇමතිට දුන්නා මේකට ඇමති මණ්ඩල අනුමැතිය අරන් දෙන්න කියලා. මම අමාත්‍ය දූරයේ සිටිය දී විදේශ ගතවූ ඒක් අවස්ථාවක් හැර සෑම අමාත්‍යමණ්ඩල රැස්වීමකටම සහභාගී වුනා. අද දක්වාම මේ වාර්ථාව ඇමතිමණ්ඩලයේ අනුමැතිය සදහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර නෑ. ඒ නිසා තමයි අපි කියන්නේ … මේ රටේ ආර්ථිකය කඩා බිද දැමීම සදහා මුදල් අමාත්‍යවරයා සිතා මතා සැලසුම් සහගතව කටයුතු කරණවා කියන චෝදනාව අපි එල්ල කරන්නෙ මේ වගේ කරුණු නිසයි.

රුපියල කඩා වැටීමට හේතු පොකුරක්

ඉන්ධන මිල ඉහල නැංවීමට වඩාත් බල පෑ ‘රුපියල පා කිරීමේ’ දී මෙතරම් දරුණු කඩා වැටීමක් සිදු වුණේ රුපියලේ විනිමය අනුපාත​ය වසරකට වඩා වැඩි කාලයක් කෘතිමව අල්ලා ගෙන සිටීමේ ප්‍රතිඵලයක් ලෙසයි. දැවැන්ත ඩොලර් කළු කඩයක් බිහි වුණා. බැංකු පද්ධතිය හරහා මේ රටට ඩොලර් ඒවූ විදෙස්ගත ශ්‍රමිකයන් මේ කළු කඩය හරහා ඩොලර් එවන්නට පටන් ගත්තා.

මැද පෙරදිග රස්සාව කරන ලාංකිකයෙක් ඒ රටේ දී කළු වෙළඳපොලට ඩොලර් සීයක් දුන්නොත් පැය කිහිපයක් ඇතුලත ලංකාවේ ගමේ ඉන්න අම්මාට දුරකතන ඇමතුමක් ලැබෙනවා. ඊට පස්සේ තාත්තාගේ බෙහෙත් තුණ්ඩුව වට්ස්ඇප් කර ගන්නවා. අම්මාගේ කඩෙන් ගන්න බඩු ලැයිස්තුව වට්ස්ඇප් කර ගන්නවා. දවස ඇතුලත බඩුත් අරගෙන ගෙදරට යනවා. ඉතිරි සල්ලි අම්මා අතට දීලා ලදුපතක් අත්සන් කර ගන්නවා. ඊට පස්සේ අම්මා තාත්තා එක්ක ඉඳලා සෙල්ෆියක් අරගෙන සෙල්ෆියයි බිල් ටිකයි අම්මා අත්සන් කල ලදුපතයි පුතාට වට්ස්ඇප් කරනවා. මේ සියල්ලටම යන්නේ පැය විසි හතරයි.

දැන් බැංකුවෙන් ඩොලරයට රු. 275 ක් ගෙවනවා කියලා මේ තරුණයා නැවත බැංකු පද්ධතිය හරහා ලංකාවට සල්ලි එවයි ද? කළු කඩෙන් ලබා දෙන සේවය බැංකුවලට ලබා දෙන්න පුළුවන් ද? බැංකුවට සල්ලි එව්වාම සල්ලි එවලා දවසක් දෙකක් බලාගෙන ඉන්න වෙනවා ගිණුමට සල්ලි එනතුරු. සල්ලි බැංකුවෙන් ගන්න අම්මාට පෝලිමේ ඉන්න වෙනවා. ඊලඟට ෆාමසියේ සුපිරි වෙලඳසැලේ පෝලිම්ව​ල ඉන්න වෙනවා. වයසක අම්මාට ඒ දුක දෙනවාට වඩා හොර ක්‍රමයට සල්ලි එවන්න පුතා කැමැතියි. දැන් රුපියල පා කළ පමණින් එදා බැංකු පද්ධතිය හරහා ගනුදෙනු කළ අය නැවත බැංකු පද්ධතිය වෙත පැමිණේවියැයි කියලා අප නම් හිතන්නේ නැහැ. නැති කරගන්න එක ලේසි; ආපහු ගෙන්න ගන්න එක නම් අමාරුයි.

මේ හේතු වලට අමතරව බරපතල ලෙස මුදල් අච්චු ගැසීම, උද්ධමන වේගයට වඩා අඩු අනුපාතයකින් පොලිය පවත්වා ගෙන යෑමෙන් ජනතාව ඉතිරි කිරීම වෙනුවට පරිභෝජනය පෙලැඹීම, අපනයන ආදායම සහ ආනයන වියදම අතර දැවැන්ත පරතරයක් පවත්වා ගෙන යෑම සහ ආනයන භාණ්ඩ මත රැඳෙන වැඩ ලක්ෂය වැනි නව ව්‍යාපෘති ඇරඹීම වැනි ආර්ථික විද්‍යාත්ම​ක කාරණා ගණනාවක් රුපියල බරපතල ලෙස කඩා වැටීමට බල පා තිබෙනවා.

වත්මන් ආණ්ඩුවත්, 77 සිට බලයේ සිටි සෑම ආණ්ඩුවක් ම මේ රුපියල බරපතළ ලෙස කඩා වැටිලා උද්ධමනය ඉහළ යාමට වගකීම භාරගන්න සිද්ධ වෙලා තියෙනවා. අපි අනුගමනය කරපු වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසයි රුපියල කඩා වැටිල දැවැන්ත උද්ධමනයකට මුහුණ පාන්නට සහ පීඩනයට ලක් වන්නට අපේ රටේ ජනතාවට සිද්ධවෙලා තියෙන්නේ කියලා සිහිපත් කරන්නට අවශ්‍යයි.”

++++++++

++++++

++++++

+++++++

නිදහස් පක්ෂය නොමැතිව හවුල් පක්ෂ කොළඹ දී රැස්වෙයි

(16.03.2022 – 15:32 +0530 – hirunews.lk/sinhala)

රුපියල අවප්‍රමාණ වීම සහ පවතින ආර්ථික අර්බුදයට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

හවුල්කාර පක්ෂ 11හේ නායකයින් අද (16) කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

මේ අතර, හවුල්කාර පක්ෂ 11හේ නායකයින්ගේ හමුවක් ඊයේ (15) රාත්‍රියේ කොළඹ දී පැවැත්වුණා.

ඒ, කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදියි. කෙසේ වෙතත්, ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෝ එම පක්ෂයේ නියෝජිතයෙකු සහභාගි වී සිටියේ නැහැ.

එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, සහභාගිවීමට නියමිතව තිබුණ ද ඔහු එහි නොපැමිණි බව වාර්තා වනවා ෴

***************************************

ආර්ථිකය ගොඩ ගැනීමට භාර දී ඇති විශේෂඥ මණ්ඩලය අර්බූදය නිර්මාණය කිරීම සඳහා දායක වූ අයම නේද ? – මහජනයා ප්‍රශ්න කරයි

(16.03.2022 – 11:21 +0530 – lankaleadnews.com)

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අමාත්‍යයවරුන් ගෙන් සමන්විත ජාතික ආර්ථික සභාවට උපදෙස් දීම සඳහා 14 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් ජනාධිපතිවරයා විසින්ම පත් කර ඇති බව වාර්තාවේ. එම කණ්ඩායමට අයත් ව්‍යාපාරිකයන් හා විශේෂඥයන් මෙරට ආණ්ඩු වලට දීර්ඝ කාලීනව උපදෙස් ලබාදුන් පිරිසක් බවද කියවේ. ඊට අමතරව එංගලන්තයෙන් කසල ආනයනය කර තමාගේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට ක්‍රියා කළ පිරිස්ද ඒ අතර වන බව දැක ගත හැක. ඒ අතර යම් විද්වතුන්යැයි කියන අය මුල්‍යය අරමුදල සහ ලෝක බැංකුව විසින් නිර්දේශ කරන ප්‍රතිපත්ති ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදෙන ආයාතන වල ක්‍රියාකාරිකයින් බවද පෙනේ. ඒ අනුව අර්බූදය නිර්මාණය කළ විශේෂඥයන්ට අර්බූදය විසඳීම සඳහා දායක විය හැකි දැයි මහජනයා ප්‍රශ්න කරති. එසේම දේශපාලන නායකයින්ට ආර්ථික මොඩලය තේරීම සඳහා දැක්මක් නොමැති නම් ඇන මුරිච්චි කරකවන තාක්ෂණික ශිල්පීන්ට කළ හැක්කේ කුමක්දැයි මධ්‍යයස්ථ විද්වතුන් ප්‍රශ්න කරති ෴

***************************************

ආර්ථික කණ්ඩායම දෙකට බෙදිලා.. බැසිල් එක මතයක.. කබ්රාල් තව මතයක.. කබ්රාල් ධුරයෙන් ඉවතට ?

(16.03.2022 – 22:10 +0530 – lankacnews.com)

ආර්ථික අර්බුදය පිළිබඳව නිසි තීරණයක් ගැනීමට නොහැකිව මේ වනවිට ආණ්ඩුවේ ආර්ථිකය හසුරුවන කණ්ඩායම දෙකට බෙදී ඇති බවත්, බැසිල් රාජපක්ෂගේ කණ්ඩායම සහ මහ බැංකු අධිපතිවරයාගේ කණ්ඩායම අතර මත ගැටුමක් හටගෙන තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අනාවරණය කරයි.

කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා පැවසුවේ මේ කඹ ඇදිල්ල නිසා ආර්ථික අර්බුදය දිනෙන් දිනම උත්සන්න වෙමින් පවතින බවයි. මෙරටට පැමිණි මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයා කටයුතු කළත් ආර්ථිකය පිළිබඳව වැදගත්ම තනතුරක් දරන මහ බැංකු අධිපතිවරයා මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මුණ නොගැසුණු බව මෙහිදී මන්ත්‍රීවරයා කීය.

“සමාජ මාධ්‍යවල කතාවක් යනවා, මේ ආණ්ඩුව මහ බැංකු අධිපතිවරයාව ඉවත් කරන්න හදනවා කියල. ඒකෙ ඇත්ත – නැත්ත මම දන්නෙ නෑ. හැබැයි, සුපුරුදු පරිදි මේ ආර්ථික අර්බුදයත් කාගේ හරි ඇඟේ ගහල අත පිහදාගන්න රාජපක්ෂල අර අඳිමින් ඉන්නවා. ඒ කොහොම වුණත් මෙදා සැරේ ජනතාව රවටන්න අමාරු වේවි” යනුවෙන් මෙහිදී මන්ත්‍රීවරයා පැවසීය.

එසේම, මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් මෙරට අර්ථික අර්බුදය ඔඩු දිවීමට හේතුවූ කාරණා 06 ක් ආණ්ඩුවට දැනුම් දී ඇතැයිද මන්ත්‍රීවරයා මෙහිදී කීය.

සමගි ජන බලවේගය විසින් ඊයේ (15) පැවැත්වූ විරෝධතාවයට සමාජයේ සියළුම පන්තීන් නියෝජනය කරමින් ජනතාව සහභාගී වූ බවත් වෙනදා පෙළපාලි සඳහා සහභාගී නොවූ ජනතාවත් දැන් මහ පාරට පැමිණ තිබෙන බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

+

@@@ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය වීම @@@

පුටින්ගේ දැඩි තීන්දුවෙන් බයිඩ්න් කොණකට විසිවෙයි

(16.03.2022 – 07:29 +0530 – hirunews.lk/sinhala)

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් අමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ සහ තවත් අමරිකාවේ ජ්‍යේෂ්ඨ නිලධාරින් රැසකට රුසියාවට පැමිණීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

රුසියාව විසින් තහනම් කරන ලද නාම ලැයිස්තුවට අමරිකාවේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, බුද්ධි අංශ ප්‍රධානී විලියම් බර්න්ස් සහ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් ඇතුළත්.

රුසියානු – යුක්‍රේන අර්බුදය හමුව මධ්‍යයේ රුසියානු නිලධාරීන්ට වොෂින්ටනය විසින් පනවන ලද සම්බාධකවලට ප්‍රතිචාර වශයෙනුයි මෙම තහනම් වීමට ඊයේ (15) දින අමරිකාව මුහුණ දුන්නේ.

රුසියානු විදේශ අමාත්‍යාංශය ඊයේ (15) දිනයේදී කැනේඩියානු අගමැතිවරයා ද සම්බාධක ලත් පුද්ගලයින්ගේ ලැයිස්තුවට එක් කළා.

කෙසේවෙතත් රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ, නිල සබඳතා පවත්වාගෙන යන බවත්, අවශ්‍ය නම් ලැයිස්තුවේ සිටින පුද්ගලයින් සමඟ ඉහළ මට්ටමේ සම්බන්ධතා ඇති කර ගැනීමට වග බලා ගන්නා බවයි.

එබැවින් මෙම පියවර ප්‍රධාන වශයෙන් සංකේතාත්මක බව පෙනී ගියා.

තහනම් වූ ලැයිස්තුවේ සිටින අනෙකුත් අය අතර නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක දලීප් සිං, ජාත්‍යන්තර සංවර්ධන සඳහා එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර්, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඇඩේවාලේ ඇඩෙයෙමෝ සහ එක්සත් ජනපද අපනයන ආනයන බැංකු ප්‍රධානී රෙටා ජෝ ලුවිස් ද සිටිනවා.

බයිඩ්න්ගේ පුත් හන්ටර් සහ හිටපු රාජ්‍ය ලේකම් සහ ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන්ට ද රුසියාව සිය රටට ඇතුළුවීම තහනම් කළා.

‘රුසෝෆෝබික්’ එක්සත් ජනපද නිලධාරීන්, හමුදා නිලධාරීන්, නීති සම්පාදකයින්, ව්‍යාපාරිකයන් සහ මාධ්‍ය ප්‍රධානීන්ට එරෙහිව අතිරේක සම්බාධක ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බව විදේශ අමාත්‍යාංශය අනතුරු ඇඟවූවා.

මීට පෙර, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව රුසියානු පුද්ගලයින් හතර (4) දෙනෙකුට සහ එක් (1) ආයතනයකට එරෙහිව සම්බාධක ප්‍රකාශයට පත් කළේ, රහස් හෙළි කරන්නා වූ සර්ජි මැග්නිට්ස්කිගේ මරණය වටා සිදුවීම් වසන් කිරීමේ කාර්යභාරයක් ඉටු කළ බවට හෝ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින Oyub Titiev ට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ බවට චෝදනා කරමින්.

භාණ්ඩාගාර ප්‍රකාශය බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සහ ඔහුගේ බිරිඳට එරෙහිව සම්බාධක ද ​​පැනවූ අතර මොස්කව් සහ එහි සමීප සගයාට එල්ල කළේ දැඩි පීඩනයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

“යුක්රේනයේ මානුෂීය කොරිඩෝවලට රුසියාව විසින් එල්ල කරන ප්‍රහාර අපි හෙළා දකින අතර යුක්රේනයට එරෙහි ප්‍රකෝප නොකළ සහ කුරිරු යුද්ධය නතර කරන ලෙස රුසියාවෙන් ඉල්ලා සිටිමු” යනුවෙන් එක්සත් ජනපද භාණ්ඩාගාරයේ විදේශ වත්කම් පාලන කාර්යාලයේ ප්‍රධානී ඇන්ඩ්‍රියා ගකී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෴

++++++++++++

ජෝ බයිඩ්න් යුරෝපයට

(16.03.2022 – 07:59 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ යුක්රේන ආක්‍රමණයෙන් පසු පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මුල්වරට යුරෝපයේ සංචාරකයට සූදානම් වනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ ඔහු එම සංචාරයේ නිරත වන දිනය ප්‍රකාශයට පත් කර නොතිබුණ ද ජනාධිපතිවරයා මෙහිදී නේටෝ නියෝජිතයන් සමඟ පවතින තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිත බවයි.

එමෙන්ම ඊයේ (14) වනවිට රුසියානු ප්‍රහාර හමුවේ යුක්රේන වැසියන් මිලියන 3 ක් අවතැන්ව ඇති බවයි වාර්තා වන්නේ.

පෙබරවාරි 24 වනදා රුසියානු ආක්‍රමණය ආරම්භ කළ දිනයේ සිට යුක්රේනයේ විශාල නගර 10 න් එකක් හෝ අල්ලා ගැනීමට රුසියාවට නොහැකි වී ඇති බවට ඔවුන් චෝදනා කරනවා.

එමෙන්ම ගැටුම් හමුවේ යුක්රේනයේ සිට පුද්ගලයින් මිලියන 3 ක් සරණාගතයින් ලෙස රටින් පිටව ගොස් ඇති අතර ඉන් මිලියන 1.8 ක් ගොස් ඇත්තේ පෝලන්තයට යි.

මේ අතර පෝලන්තය, ස්ලෝවේනියාව සහ චෙක් ජනරජයේ අග්‍රාමාත්‍යවරුන් කිව් අගනුවර දී යුක්රේන ජනපති හමුව ඇති බව වාර්තා වනවා.

යුක්රේන රුසියා ගැටුම් සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට මේ මස 24 වනදා නේටෝ නායකයින් බ්‍රසල්ස් නුවර දී රැස්වීමට නියමිතයි.

එමෙන්ම රුසියානු ප්‍රහාර හමුවේ ෆොක්ස් නිවුස් නාලිකාවේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා ෴

+++++++++++++

යුක්රේනයේ සාමය ගැන සුබ පණිවුඩයක්

(16.03.2022 – 19:15 +0530 – hirunews.lk/sinhala)

රුසියානු – යුක්රේන යුද ගැටුම් නිමා කිරීම වෙනුවෙන් පැවැත්වෙන සාම සාකච්ඡා යහපත් තත්ත්වයක පවතින බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ එම සාකච්ඡා පැවැත්වීමට පහසු නොවුව ද මේ වනවිට යම් ප්‍රගතියක් අත් කරගෙන ඇති බවයි.

මේ අතර, යුක්රේනය සඳහා යුද ආධාර ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 800 ක ප්‍රදානයක් සිදුකරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *