අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60 ක මිල ඉහළට

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60 ක මිල ඉහළට

*********************************************

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 60 ක මිල ඉහළට

(15.03.2022 – 19:01 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය ⁣ඖෂධ වර්ග 60 ක ඉහළ දැමූ නව මිල ගණන් ඇතුළත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඖෂධ වර්ග 60 ක මිල ඉහළ දැමීම පිළිබඳව වන මිල සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය 16.03.2022 දින නිකුත් කෙරුණා.

එහි සඳහන් වන්නේ, අදාළ නියෝග පළ කරනු ලබන දිනයේ සිට දින 45 ක් ඉකුත්වීමට පෙර උපරිම සිල්ලර මිල හෝ ප්‍රතිශෝධිත සිල්ලර මිල යන දෙකෙන් වඩා අඩු මිල වෙළඳ ඇසුරුම මත සළකුණු කළ යුතු බවයි.

ඩොලරයේ අගය ඉහළ යෑමත් සමඟ ඖෂධ ආනයනකරුවන්ට ඖෂධ ආනයනයේ දී මුහුණදීමට සිදු ව ඇති ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මිල ඉහළ දැමීම සඳහා පසුගිය දා ඖෂධ මිල නියාමන කමිටුව අවසර ලබාදුන්නා ෴

***************************************

වැල්ඩින් වැඩපලක සේවයකයකු එම ආයතනයේ හිමිකරු ඝාතනය කරයි

(15.03.2022 – 16:48 +0530 – hirunews.lk/sinhala)

වැලිගම ප්‍රදේශයේ යකඩ වැඩපොළක් තුළදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

එම කම්හලේ සේවකයෙක් විසින් යකඩ වැඩපොළේ හිමිකරුවයි එලෙස ඝාතනය කර ඇත්තේ.

තියුණු ආයුධයකින් පහරදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළා.

එලෙස මියගොස් ඇත්තේ, බණ්ඩාරවත්ත, දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මංජුල ප්‍රභාත් නමැති දෙදරු පියෙක්.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළ අතර

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

***************************************

සිංගප්පූරුවේ දාමරිකයෙක් මෙල්ලකළ ශ්‍රී ලාංකිකයා

(15.03.2022 – 19:58 +0530 – hirunews.lk/sinhala)

සිංගප්පූරුවේ බැංකොක් හි මාර්ගවල සැරිසරමින් තියුණු ආයුධයකින් ජනතාවට සහ වාහනවලට පහර දීමට තැත්කරමින් සිටි පුද්ගලයෙකු මෙල්ල කිරීමට ශ්‍රී ලාංකිකයෙකුට හැකි වුණා.

සිංගප්පූරුවේ ව්‍යාපාර කටයුතු සිදුකරන ‘අමිල චින්තන’ නමැති ඔහු අදාළ පුද්ගලයාව මෙල්ල කරන අයුරු කැමරාවක ද සටහන්ව තිබුණා.

පසුව අනාවරණ වී ඇත්තේ තියුණු ආයුධයක් අතැතිව සිටි පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවයි.

සිද්ධියට අදාළව සිංගප්පූරු පොලිසියෙන් අමිල චින්තන මහතාට උපහාර පිදීමට කටයුතු කර තිබුණා.

+++++

***************************************

රුපියල් කෝටි 2,227 ක් මහ බැංකුව අච්චු ගසයි

(15.03.2022 – 20:30 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (14) දිනට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත් / බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,543.97 ලෙසින් සටහන්ව තිබුණා.

කෙසේ වෙතත් මෙම ප්‍රමාණය පසුගිය සිකුරාදා (මාර්තු 11) සටහන්ව තිබුණේ රු. බිලියන 1,521.69 ක් ලෙසයි.

මේ අනුව ඊයේ (14) දිනය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත් / බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 22.27 කින් වැඩි වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකියි.

රු. බිලියන 22.27 ක් යනු රු. කෝටි 2,227 ක ප්‍රමාණයක්.

මෙයින් ගම්‍ය වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 22.27 ක හෙවත් රු. කෝටි 2,227 ක නව මුදල් ප්‍රමාණයක් රටට මුදාහැර ඇති බවයි.

මහ බැංකුව විසින් නව මුදල් නිකුත් කිරීම සඳහා ‘මුදල් අච්චු ගැසීම’ යන සාමාන්‍ය ව්‍යවහාරය ද භාවිත වේ. ආර්ථික විද්‍යානුකූලව මෙය හඳුන්වන්නේ ‘මුදල් සංචිත’ ලෙසයි ෴

***************************************

පසුගිය අප්‍රේල් මාසයේදී රුපියල පාවෙන්නට හැරියානම් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි – හිටපු මහ බැංකු නියෝජ්‍යය අධිපති ඩබ්ලිව් ඒ විජේවර්ධන

(15.03.2022 – 11:29 +0530 – lankaleadnews.com)

2021 අප්‍රේල් මාසයේදී රුපියල පාකිරීම මගින් අවප්‍රමානය වන්නට ඉඩ හැරියානම් අද පවතින විනිමය අර්බූදයඇති නොවන බව හිටපු මහ බැංකු නියෝජ්‍යය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා පවසයි.

නමුත් 2021 ඔක්තෝබර් මාසයේදී මහ බැංකුව විසින් ඉදිරිපත් කළ ආර්ථික ප්‍රකෘතිය සඳහා වන මාර්ග සිතියම තුළ රුපියල අවප්‍රමානය කිරීම හෝ පාකිරීම පිළිබඳව සඳහන් නොවූ බව ද ඔහු කියයි. ඒ අනුව දීර්ඝ කාලීන සැලසුමකින් තොරව ආණ්ඩුව විසින් ආර්ථිකය හසුරුවන බවට ඔහු චෝදනා කරයි. කෙසේ වෙතත් මුල්‍යය අරමුදලට යා යුතු බවට උපදෙස් දෙන සියළු දෙනා රුපියල අවප්‍රමානය කිරීමට එකඟ පිරිසක් බව දක්නට ඇත. මහ බැංකුවේ බොහෝ නිලධාරින් මුල්‍යය අරමුදලේ ‘කෝකටත් තෛලය’ බෙහෙත් බොන බවටද චෝදනා එල්ල වේ ෴

***************************************

බැසිල් ඉන්දියා යයි

(15.03.2022 – 14:36 +0530 – hirunews.lk/sinhala)

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මීට ටික වෙලාවකට පෙර ඉන්දියාවේ නවදිල්ලි බලා පිටත් ව ගියා.

මුදල් අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ ප්‍රමුඛ අරමුණ වන්නේ, ඉන්දියාව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන එකක (1) ණය ගිවිසුමක් අස්සන් තැබීම යි.

එම ණය මුදල හරහා ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඖෂධ සහල් තිරිඟු පිටි හා සීනි ලබා දීමට නියමිත යි.

සංචාරය අතරතුර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ද හමුවීමට නියමිත බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.

ශ්‍රී ලංකාව මුහුණ පා ඇති බරපතළ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඉන්දීය රජය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.9 ක ණය මුදලක් ලබා දීමට පියවර ගත්තා.

ඒ අතුරින් ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් මූල්‍ය ණය මුදලක් ලෙස ලැබෙන අතර, ඉතිරි ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක මුදල ලැබෙනුයේ භාණ්ඩ අධාර වශයෙනු යි ෴

***************************************

ජනපති ජාතිය ඇමතීම හෙට (16) රාත්‍රී 08:30 ට හිරු ටී.වී. ඔස්සේ

(15.03.2022 – 18:19 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය හෙට රාත්‍රී 08:30 ට සිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා ෴

***************************************

රුසියාවට සහ යුක්‍රේනයට තේ අපනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමුවා – තේ අපනයනකරුවන්ගේ සංගමය

(15.03.2022 – 14:01 +0530 – lankaleadnews.com)

මෙරටින් තේ අපනයනය කරන විශාලතම වෙළෙඳපොල වන රුසියාවට සහ යුක්රේනයට තේ අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට තේ අපනයනකරුවන්ගේ සංගමය පියවර ගෙන ඇති බව වාර්තාවේ.

එම දෙරට අතර පවතින යුදමය ගැටුම් හමුවේ එම රටවලට තේ අපනයනය කළද මුදල් ලබා ගැනීම සම්බන්ධව ගැටලු මතුවීම සහ නැව් සමාගම් එම රටවලට ගමන් කිරීම ප‍්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් තේ අපනයනකරුවන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇති බවද කියවේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන තේ අපනයනකරුවන්ගේ සංගමය පවසන්නේ පවතින තත්ත්වය තුළ වෙනත් රටක් හරහා මුදල් ලබා ගැනීමේ ක‍්‍රමවේදයක් අනුගමනය කිරීමට සැලසුම් කර තිබුණ ද ඇමරිකාව ප‍්‍රධාන යුරෝපීය රටවල් රුසියානු බැංකු පද්ධතිය සමඟ ගනුදෙනු නොකරන ලෙස මූල්‍ය සහ ආර්ථික සම්බාධක පැනවීම නිසා එයද ව්‍යර්ථ වූ බවයි.

ඉකුත් 2021 වසරේදී රුසියාවට තේ කිලෝ ග‍්‍රෑම් මිලියන 27 ක් සහ යුක්රේනයට කිලෝ ග‍්‍රෑම් මිලියන 4 ක් පමණ මෙරටින් අපනයනය කර තිබුණු අතර ඉකුත් වසරේ මෙරටින් අපනයනය කළ සම්පූර්ණ තේ ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් මිලියන 299 ක් විය. මේ අන්දමට රුසියාවට සහ යුක්රේනයට මෙරට තේ අපනයනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වුවහොත් එය ශී‍්‍ර ලංකා ආර්ථිකයට දැඩිව බලපාන්නක් බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි ෴

***************************************

බැසිල් උසාවිය මග ඇරලා – අධිකරණයට අපහාස කරයි – රාජපක්ෂ පවුලට නීතිය වැඩක් නෑ – උලපනේ සුමංගල හිමි (16.03.2022)

+

@@@ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය වීම @@@

යුක්රේන යුද්ධයේ සාමයක් ගැන නව බලාපොරොත්තුවක්

(15.03.2022 – 08:13 +0530 – hirunews.lk/sinhala)

රුසියාව සමග 4 වන වටයේ සාම සාකච්ඡා අද (15) නැවතත් තුර්කියේදී ක්‍රියාත්මක වන බව යුක්රේන ජනාධිපති වොල්ඩර්මියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා.

සිය ෆේස්බුක් වෙබ් පිටුව ඔස්සේ වීඩියෝ පටයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ සාකච්ඡා යහපත් අන්දමින් ක්‍රියාත්මක වන්නේ යැයි තමාට දැනුම් දී ඇති බවයි.

ලුහාන්ස් සහ කීව් නගරවලින් සිවිල් වැසියන් 3800 කට වැඩි පිරිසක් ඉවත් කර ගැනීමට යුක්රේන හමුදා සමත් වූ බව ද ඔහු සඳහන් කළා.

කෙසේ නමුත් රුසියානු හමුදා වටලා සිටින මරියුපොල් දකුණුදිග වරාය නගරයට සැපයුම් සිදු කිරීම දුෂ්කර වී ඇති බවයි ඔහු කියා සිටියේ.

යුක්රේන හමුදාවල දැඩි ප්‍රතිරෝදය හමුවේ රුසියානු හමුදා වික්ෂිප්ත වී සිටින බව ද යුක්රේන ජනාධිපතිවරයා සදහන් කළා.

එමෙන්ම ඔහු යුද්ධයට විරෝධය දක්වන රුසියානු සිවිල් වැසියන්ට ද ස්තූති කර තිබෙනවා.

විශේෂයෙන් රුසියානු රාජ්‍ය රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයක් අතරතුර යුද විරෝධී පුවරුවක් ප්‍රදර්ශනය කළ සංස්කාරකවරියට ද ඔහු පෞද්ගලිකවම තුති පුද කළා ෴

++++++++

යුක්රේන යුද්ධයෙන් ගෝලීය බලපෑමක් – ජගත් සංවිධාන මහලේකම්වරයාගෙන් රතු එළියක්

(15.03.2022 – 09:09 +0530 – hirunews.lk/sinhala)

යුද්ධය යුක්රේනයෙන් ඔබ්බට පැතිරී ඇති අතර, එය ලොව ‘වඩාත්ම අවදානමට ලක්වූ රටවල්’ (?) සහ ඒවායේ ජනතාවට එල්ල වූ ප්‍රහාරයක් ද වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා.

නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ දී මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ යුද අවදානම ගෝලීය ආහාර සැපයුම් ජාලය බිඳ දැමීමට හේතු විය හැකි බවයි.

එය දුප්පත් රටවලට විනාශකාරී ප්‍රතිඵල අත්කර දෙනු ඇති බවයි ජගත් මහලේකම්වරයා සඳහන් කළේ.

මේ නිසා ‘සාගින්නේ මාරුතයක්’ (?) ඇතිවීම වැළැක්වීමට ලෝකය කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බව ඔහු අවධාරණය කළා.

ජගත් සංවිධානයේ ගෝලීය ආහාර මිල දර්ශකය මේ වන විට ඉතිහාසයේ ඉහළම අගයට පැමිණ තිබෙනවා.

එමෙන්ම ලොව දුප්පත්ම රටවල් 45 ක්, සිය තිරිගු පිටි ආනයනයෙන් තුනෙන් එකක් (1/3) සිදුකරන්නේ රුසියාවෙන් සහ යුක්රේනයෙන් බවයි ජගත් මහලේකම්වරයා පෙන්වා දෙන්නේ ෴

++++++++

යුක්රේනයේ යුද නීතිය තවත් මසකින් දීර්ඝ කෙරේ

(15.03.2022 – 10:10 +0530 – hirunews.lk/sinhala)

රුසියානු හමුදාවල ආක්‍රමණයත් සමග යුක්රේනයේ පනවනු ලැබු යුද නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමට එරට ජනාධිපති වොල්ඩර්මියර් සෙලෙන්ස්කි තීරණය කර තිබෙනවා.

මාර්තු 24 වනදා සිට දින 30 ක කාලයකින් හදිසි නීතිය දීර්ඝ කිරිමේ පනත් කෙටුම්පතක් ඊයේ (14) යුක්රේන පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ බවයි ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

විශේෂ හමුදා මෙහෙයුමක් ලෙස හඳුන්වමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන ආක්‍රමණය ආරම්භ කළේ, පසුගිය පෙබරවාරි 24 වනදායි.

එය දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ රාජ්‍යයකට එල්ල වූ විශාලතම සන්නද්ධ ප්‍රහාරය ලෙසයි සැලකෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *