ඩොලරයේ විකුණුම් මිල 275 ට නගියි

ඩොලරයේ විකුණුම් මිල 275 ට නගියි

*********************************************

ඩොලරයේ විකුණුම් මිල 275 ට නගියි

(15.03.2022 – 12:22 +0530 – hirunews.lk/sinhala)

බලපත්‍රලාභී වාණිජ බැංකු රැසක් අද දිනයේ දී (15) අමරිකානු ඩොලරය ඉතා ඉහළ අගයකට අලෙවි කළා.

ඒ අනුව අද (15) දිනයේ දී ඩොලරයේ අගය දැක්වුණේ රුපියල් 275 ක් ලෙසයි.

යුක්‍රේන – රුසියානු යුද අර්බුදය සේම රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ පසුගියදා රුපියලේ අගය පා කිරීමට මහබැංකුව ගත් තීරණය අනුව මෙම තත්ත්වය බලපා තිබෙනවා.

ඊයේ (14) දිනයේ දී ඩොලරයක විකුණුම් මිල පැවතියේ රුපියල් 265 ක් ලෙසයි.

එසේම, යුරෝ – මිල දී ගැනීම – රුපියල් 288.09 ක් හා විකිණීම 298.79 ක් ලෙස වාර්තා වනවා.

එක්සත් රාජධානියේ පවුම රුපියල් 339.32 ක් හා මිල දී ගැනීම 352.66 ට අලෙවි වනවා.

යෙන් – මිල දී ගැනීම රුපියල් 2.20 ක් වන අතර විකිණීම රුපියල් 2.30 ක් ෴

***************************************

බලධාරි නෙත නොගැටුණු ශාරිපුත්‍ර ගෘහස්ථ ක්‍රීඩාගාරය

(15.03.2022 – 13:08 +0530 – hirunews.lk/sinhala)

2005 වසරේදී ඉදිකර විවෘත කරනු ලැබූ ගාල්ල දිස්ත්‍රික්කයේ අහංගම ශාරිපුත්‍ර මහා විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයට අද අත්ව ඇති ඉරණම ශෝකජනකයි.

වොලිබෝල් ,කරාතේ සහ දැල්පන්දු ඇතුළුව ගෘහස්ථ තරග ඉසව්වන් පැවැත්විය හැකි අයුරින් මෙම ක්‍රීඩාංගණය සකස් කර තිබුණත් අද එය ගරා වැටුණු නටබුන් බවට පත්ව ඇත්තේ වසර 17 කින් එහි කිසිදු නඩත්තු කටයුත්තක් සිදු කරන්නට අධ්‍යාපන අමාත්‍යංශ බලධාරීන් හෝ ක්‍රීඩා බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන්.

එම නිසා මෙම ක්‍රීඩා පිටියේ සවිකර තිබූ ක්‍රීඩා උපකරණ ද දිරාපත්ව පැත්තකට දමා ඇති අයුරු ද දැකගන්නට පුළුවන්.

ක්‍රීඩාංගණයේ වහළය ද ගරා වැටෙද්දී, එය දැන් මෙම ක්‍රීඩා පිටිය භාවිතා කරන ප්‍රදේශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද මර උගුලක් බවට ද පත්ව තිබෙනවා.

අබලන් වූ වහලයෙන් වැසි දිනයන්හිදී ජලය කාන්දුවිමත් සමඟින් එම දිනවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවන්නේ ක්‍රීඩා පුහුණුවීම් සිදුකරනවා වෙනුවට අහස්කුස දෙස බලා හුල්ලන්නටයි.

පසුගිය වසර කිහිපයකදීම කොතෙකුත් බලධාරීන්ට මෙම ක්‍රීඩාංගණය පිළිසකර කර දෙන ලෙස ඇවිටිලි කළත් එය ද බිහිරි අලින්ට වීනා වයන්නාක් මිසක සිදු වූ නඩත්තුවක් නම් නැහැ.

ක්‍රීඩාවේ යටිතල පහසුකම් දියුණු නොකර පදක්කම් දිනන්නට ද නොහැකි බව මෙරට ක්‍රීඩාව කරවන බලධාරීන්ට වැටවුනොත් හෙට දිනයේදී මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද සුබ සිහින දකින්නට හැකිවනු ඇති ෴

***************************************

ටී.එන්.ඒ. – ජනපති සාකච්ඡා කල් යයි

(15.03.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ පක්ෂ මන්ත්‍රීවරුන් අතර ජනාධිපති කාර්යාලයේ අද (15) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා කල් දමා තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කළේ ලබන 25 වන දා අදාළ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

මෙම සාකච්ඡාව කල් දැමීමට හේතුව වශයෙන් රජය පාර්ශවයෙන් දක්වා ඇත්තේ, අද (15) සමඟි ජන බලවේගය පක්ෂය කොළඹ දී පවත්වන ලබන විරෝධතාවය බව යි.

මෙම හමුව සඳහා පැමිණි දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් වබ එම්.ඒ. සුමන්තිරන්, ශානක්කියන් රාසමානික්කම් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම කොළඹ කැප්පෙටිපොළ මාවතේ පිහිටි දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ගේ නිවසේ විශේෂ සාකච්ඡාවකට එක් වුණා.

මෙම හමුව පැවැත්වුණේ, ජනාධිපතිවරයා විසින් ඔවුන්ට ලබා දී තිබූ සාකචඡාව අවලංගු වීම හේතුවෙන්.

කෙසේ වෙතත් ටෙලෝ සංවිධානය දෙමළ සන්ධානය සමඟ ජනාධිපතිවරයා පවත්වනු ලබන සාකච්ඡාවට එක් නො වන බව යි වාර්තා වන්නේ.

ඔවුන් ජනාධිපතිවරයා සමඟ වෙන ම සාකච්ඡාවකට එක් වීමටත් තීරණය කර තිබෙනවා.

මෙම සාකච්ඡාවෙන් අනතුරු ව අදහස් දැක් වූ දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් කියා සිටියේ, වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මෙරට ජනතාව බරපතළ පීඩාවකට ලක් වී ඇති බව යි.

මේ පවතින රජයට මෙම ගැටලු නිරාකරණය කර ගැනීමේ හැකියාවක් නොමැති බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැර හෝ රට කරගෙන යාමට හැකි කණ්ඩායමකට අවස්ථාව ලබා දිය යුතු බවත් ඔහු කියා සිටියා ෴

***************************************

ගම්මන්පිලගෙන් විශේෂ හෙළිදරව්වක්

(15.03.2022 – 14:03 +0530 – hirunews.lk/sinhala)

ජනතාව පෝලිම්වල රස්තියාදු වන්නේ සහ දුක් විඳින්නේ, අහයපත් පරිපාලනය හේතුවෙන් ඇති කළ අර්බුද නිසා බව උදය ගම්මන්පිල පවසනවා.

ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 20.6 ක් 2021 වසරේ ආනයනයන් සඳහා වැය කර ඇති බවත් ඔහු ප්‍රකාශ කරනවා

ඒ අතරින් ඇමරිකානු ඩොලර් බිලියන 4.6 ක් පමණක් ඛනිජ තෙල් එල්.පී. ගෑස් ගල් අඟුරු සහ ඖෂධ සඳහා වැය කර ඇති බව යි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ට්විටර් සටහනක් තබමින් සටහන් කරන්නේ.

අප ඉල්ලා සිටි පරිදි රජය අත්‍යවශ්‍ය නො වන ආනයනයන් සඳහා මීට වසරකට පෙර නිවැරැදි පියවර ගෙන සීමා පැනවූයේ නම්, ජනතාවට මේ ආකාරයෙන් පෝලිම්වල රාස්තියාදි වීමට සිදු නො වනු ඇති බව යි ඔහු අවසාන වශයෙන් අවධාරණය කර තිබෙන්නේ.

***************************************

සජබ විරෝධතාව හේතුවෙන් කොළඹ රථ වාහන තදබදයක්

(15.03.2022 – 14:17 +0530 – hirunews.lk/sinhala)

රටේ උද්ගතව පවතින ආර්ථික අර්බුද හේතුවෙන් ඊට විරෝධය පාමින්, සමගි ජන බලවේගය විසින් දැඩි විරෝධතා රැළියක් ආරම්භ කර තිබෙනවා.

ඒ අද (15) පස්වරුවේ දී යි.

සමගි ජන බලවේගයේ විරෝධතා පාගමන හේතුවෙන් මේ වන විට කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ හයිලෙවල් මාර්ගය, මාළිගාවත්ත, ටෙක්නිකල් මංසන්ධිය, මරදාන ඇතුළු තවත් මාර්ග කිහිපයක මෙම රථවාහන තදබදය පවතින බවයි.

වර්තමාන අර්බුදවලට විසදුම් ලබාදෙන ලෙස රජයට බල කරමිනුයි සමගි ජන බලවේගය මෙම විරෝධතාව සංවිධාන කර ඇත්තේ.

***************************************

කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයි

(15.03.2022 – 16:08 +0530 – hirunews.lk/sinhala)

සමගි ජනබලවේගය සංවිධාන කරන විරෝධතා පා ගමන හේතුවෙන් මේ වනවිට ටෙක්නිකල් මංසන්ධිය සහ කොල්ලුපිටිය දෙසින් ගාලු මුවදොර මාර්ගය අවහිර වුණා.

ස්ථාන දෙකකින් (2) ආරම්භ වූ විරෝධතා පෙළපාලි ගාලු මුවදොර දෙසට ඇදෙමින් පවතින අතර, ඒ හේතුවෙන් පුරහල, මරදාන ඇතුලු ප්‍රදේශ කිහිපයක මාර්ගවලද රථවාහන තදබදයක් හටගත්තා.

***************************************

සමගි ජනබලවේගය පා ගමන් දෙකකින් පැමිණ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

(15.03.2022 – 19:27 +0530 – hirunews.lk/sinhala)

ආර්ථික අර්බුදය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් සමඟි ජනබලවේගය සංවිධාන කළ විරෝධතාවක් අද (15) කොළඹදී පැවැත්වුණා.

ඔවුන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා රැලිය පැවැත්වූයේ පාගමනින් එම ස්ථානයට ළගා වීමෙන් අනතුරුවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා.

‘රට විනාශයි – දැන් ඇති. තවත් වනසන්න දෙන්න බැහැ. එක්වෙමු කොළඹට’ යන තේමාව ඔස්සේ මෙම පාගමන සංවිධානය කර තිබු අතර කොළඹින් දුර බැහැර ප්‍රදේශවල සිටින සමගි ජනබලවේගයේ සාමාජිකයින් පාගමනට එක්ව සිටියා.

පාගමන අතරතුර ස්ථාන කිහිපයකදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.

එක් පාගමනක් මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසළින් ආරම්භ වී ටෙක්නිකල් මංසන්ධිය, පිටකොටුව බස් නැවතුම්පොල, කොටුව දුම්රියපොල යන ස්ථාන පසුකරමින් ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පැමිණියා.

අනෙක් විරෝධතා පාගමන මහජන පුස්තකාලය අසලින් ආරම්භ වුන අතර එම ස්ථානයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද විරෝධතා පාගමනට එක්ව සිටියා.

එම විරෝධතා පාගමන පිත්තල මංසන්ධිය, කොල්ලුපිටිය, ගාලුමුවදොර පසුකරමින් ජනාධිපති කාර්යාලය වෙත ළඟා වුණා.

මෙම විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ අවට මාර්ග කිහිපයක රථවාහන තදබදයක්ද හටගත්තා.

විරෝධතාකරුවන් ජනාධිපති කාර්යාලය අසළට පැමිණෙන අවස්ථාවේ එම ස්ථානයේ ආරක්ෂාව සඳහා පොලිසිය මෙන්ම විශේෂ කාර්ය බලකායද මෙන්ම කැරළි මර්දන එකකයේ නිලධාරින්ද කැදවා තිබුණා.

ඔවුන් ජනාධිපති කාර්යාලයට ඇතුළුවන ප්‍රධාන දොරටුව අභියසට පැමිණ විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

අනතුරුව එම ස්ථානයේ ජනරැලියක් පැවති අතර එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරණයක් පවත්වන ලෙසයි ෴

+++++

++++++

+ https://www.youtube.com/watch?v=2YjCxXvcVyg

***************************************

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා නඩුවේ මූලික විරෝධතා ගැන කරුණු දක්වන්න – නීතිපතිට නියෝග

(15.03.2022 – 14:22 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනයට තුඩුදුන් සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමිට එරෙහිව ගොනු කර ඇති නඩුව පවත්වාගෙන යා නොහැකි බවට මතු කළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් මැයි මස 9 වනදා කරුණු දක්වන්නැයි කොළඹ මහාධිකරණය නීතිපතිවරයා වෙත නියම කළා.

ඒ, අදාළ නඩුවේ සාක්ෂි ආරම්භ කිරීම සඳහා විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ අද (15) කැඳවූ අවස්ථාවේදියි.

එහිදී නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන් වන සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ දෙදෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කර තිබුණ ද ඔවුන් පෙනී සිටියේ නැහැ.

එහිදී ඔවුන්ගේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ සිය සේවාදායකයින්ට අධිකරණය හමුවට නොපැමිණෙන ලෙස තර්ජන එල්ල වී ඇති බවයි.

තර්ජනය එල්ල වන්නේ කුමන පාර්ශ්වයකින් දැයි විනිසුරුවරයා විමසා සිටි අවස්ථාවේ සාක්ෂිකරුවන්ගෙන් තමන්ට උපදෙස් ලබා දී නොමැති බව නීතිඥවරුන් සඳහන් කළා ෴

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොවිඩ් ආසාදිතයින් 112 ක් පූර්ණ සුවයට

(15.03.2022 – 15:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 112 දෙනෙකු අද (15) දිනයේ දී පූර්ණ සුවය ලබා තිබෙනවා.

ඒ සමග මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 6,19,073 ක්.

වෛරසය ආසාදිතව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 20,784 ක් වන අතර, සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 16,407 ක්.

මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,56,386 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ෴

තවත් කොරෝනා මරණ 8 ක් මෙරටින් වාර්තා වනවා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ ගණන 16,415 ක් වනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *