ඉන්ධන නෞකාවක් අද (15) දිවයිනට

ඉන්ධන නෞකාවක් අද (15) දිවයිනට

*********************************************

ඉන්ධන නෞකාවක් අද (15) දිවයිනට

(15.03.2022 – 08:20 +0530 – hirunews.lk/sinhala)

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක් අඩංගු නෞකාවක් අද (15) මෙරටට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සදහන් කළේ, ඩීසල් මෙට්‍රික් ටොන් 20,000 ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 20,000 ක් අඩංගු නෞකාවක් ද මේ වන විට කොළඹ වරායට සේන්දු වී ඇති බවයි.

එම නෞකාවලින් ඉන්ධන ගොඩබෑම සදහා ණයවර ලිපි නිකුත් කර ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය සදහන් කළා.

එමෙන්ම, ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 30,000 ක් රැගත් තවත් නෞකාවක් අද (15) හෝ හෙට (16) මෙරටට ළඟාවීමට නියමිතව තිබෙනවා.

බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා සදහන් කළේ, ඒ අනුව ඉදිරි දින කිහිපයේ දී රට තුළ පවතින ඉන්ධන හිඟය ක්‍රමයෙන් පහව යනු ඇති බවයි.

කෙසේ වෙතත්, දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල ඊයේ (14) රාත්‍රියේත් දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මෙවන් පසුබිමක් තුළ ලබන අප්‍රේල් මාසයෙන් පසු ලෝක වෙළදපොළේ ඉන්ධන මිල අඩුවීම අපේක්ෂා කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ සදහන් කළේ, එම වාසිය ජනතාවට ලබාදීමට කටයුතු කරන බවයි.

රුසියාවේ යුක්රේන ආක්‍රමණයත් සමඟ බැරලයක් ඇමරිකානු ඩොලර් 140 දක්වා ඉහළ ගිය ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වන විට සමනය වීමක් දක්නට ලැබෙනවා.

ඊයේ (14) එම මිල සියයට 5 කින් පමණ පහත වැටුනේ සති 2 කින් අවම අගය සලකුණු කරමින්.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 106.90 ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වූයේ, ඩොලර් 103.01 ක් ලෙසයි.

මේ අතර, ඊයේ (14) දිනයේ විදුලිය කප්පාදුව සිදු කළ කාලසටහනට සමානව අද (15) දිනයේත් විදුලිය කප්පාදු සිදු කිරීම සදහා ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනය කළා.

++++++++++++

පුරවැසියා පෝලිම්වල භාගෙට මැරෙද්දී හොර පාරෙන් එළියට යැවෙන තෙල්

(15.03.2022 – 10:43 +0530 – hirunews.lk/sinhala)

ඩීසල් හිඟය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර ගණනාවක ම කටයුතු ඉතා බරපතළ අර්බුදයකට මුහුණ පා තිබෙනවා.

ඩීසල් ගෙන්වීම සඳහා අවශ්‍ය ඩොලර් හිඟය හේතුවෙනු යි මූලික වශයෙන් මෙම ගැටලුවට ඇති වී ඇත්තේ.

ඩීසල් හිඟතාව නිසා විදුලි බලාගාරවල සාම්ප්‍රධායික ක්‍රියාවලිය ඇණ හිට ඇති අතර, දෛනික විදුලි කප්පාදුවකට ද පුරවැසියන් මුහුණ දී ඇත්තේ, අතිශය අපහසුතා මැද යි.

බලාගාර ක්‍රියාත්මක කිරීම හා වාහන ධාවනය යන කාර්‍යයන් දෙක ම සුපුරුදු පරිදි සිදු කරගෙන යාමට නොහැක්කේ, මේ හේතුවෙනු යි.

බලාගාර පමණක් ක්‍රියාත්මක කළහොත් වාහන මහ මඟ නවතිනු ඇති.

වාහන පමණක් ධාවන කළහොත් රට අඳුරේ ම පවතිනු ඇති.

එබැවින් දැන් පුරවැසියන්ට සිදු වී ඇත්තේ, පොඩ්ඩක් අඳුරේ හිඳ පොඩ්ඩක් වාහන පැදීමේ හාස්‍යෝත්පාදක දින චරියාව ගත කිරීමට යි.

යම් හෙයකින් විදේශ මුදල් සංචිත පිළිබඳ ගැටලුව මීටත් වඩා ඔඩුදුවා ගිය හොත් මේ ලැබී ඇති ඇබින්ද පවා අහිමි වී යනු ඇති.

එක්කෝ අඳුරේ ම හිඳිය යුතු ය නැති නම් පොසිල ඉන්ධන භාවිතයෙන් ධාවනය වන වාහන භාවිත කිරීමේ ශිෂ්ටාචාරගත පුරුද්ද අත් හැර නැවතත් ගල් යුගයට පිවිසෙන්නට බර කරත්ත දෙස බලා සිටින්නට මෙරට ජනී ජනයාට සිදු වනු ඇති.

මේ සියලු අලකලංචි එක පිට එක මෙරට අසරණ ජනතාව මත පැටවෙද්දී ඔවුන් ඩීසල් පෝලිමේ ගෑස් පෝලිමේ කිරිපිටි සීනි පරිප්පු ආදී එකී නො කී පෝලිම්වල ළතැවෙද්දී එම පෝලිම්වලට පිටින් ඇති හැකි අය සිය අවශ්‍යතා සපුරා ගන්න අයුරු අප දැක ඇත්තේ, වරක් දෙවරක් නො වේ.

ඇතැම් අවස්ථාවල දී මෙම නොමන ක්‍රියාවන් දෙස උකටලී ව බලා සිටින හුදී ජනයා අතරේ, එයට එරෙහි ව නැඟී සිටිනා පුද්ගලයින් ද නැතිවා ම නො වේ.

මේ දිනවල සමාජ මාධ්‍යය ඔස්සේ දැඩි ලෙස සංසරණය වන මෙම වීඩියෝවේ දැක්වෙන්නේ, ඇති හැකි යමෙකු හො‍ර පාරෙන් ඩීසල් නො මැති බව ප්‍රදර්ශනය කර වසා දමා ඇති ඉන්ධනහලකින් මහ දවල් දැවැන්ත බැරල් ගණනාවකට ඉන්ධන ලබා ගන්නා සිදුවීමකට දක්වන විරෝධය යි.

මෙම සිදුවීම වූ ස්ථානය පිළිබඳ පැහැදිලි හෝඩුවාවක් නො මැති වුව ද මහ දවල් සිදු කෙරෙන මහජනතාවගේ අයිතීන් කොල්ල කන මෙම සිදුවීමට එරෙහි වන මෙම පුද්ගලයාට අපගේ ගෞරවය හිමි විය යුතු නො වේ ද? ෴

++++++++++++

දුම්රිය ගාස්තුත් ඉහළට

(15.03.2022 – 11:01 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

ඒ අනුව ඉන්ධන මිල පමණක් හෝ පියවෙන අයුරින් දුම්රිය ගාස්තු ඉදිරියේ දී සුළු සංශෝධනයකට ලක් කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ.

මේ අතර, ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් ගාස්තු සියයට 15 කින් ඉහළ දැමුණු අතර, මෙතෙක් රුපියල් 17 ක්ව පැවති අවම ගාස්තුව රුපියල් 20 දක්වාත්, රුපියල් 1303 ක්ව පැවති සාමාන්‍ය සේවා ඉහළම ගාස්තුව රුපියල් 1498 ක් දක්වාත් ඉහළ ගියා.

කෙසේ වෙතත්, මෙම බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් විවිධ අදහස් පළ කරනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ, මෙම ගාස්තු වැඩි කිරීම ප්‍රමාණවත් නොවන බවයි.

කෙසේ වෙතත්, මෙම සංශෝධනය ප්‍රමාණවත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියා.

මේ අතර, දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද (15) පෙරවරුවේ හදිසියේ දුම්රිය ධාවනයෙන් ඉවත් වුණා.

ඊට හේතුව වී තිබුණේ, ගෙවීම්වලට අදාළව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා නිකුත් කළ චක්‍රලේඛයක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දුම්රිය මගීන් අපහසුතාවට පත්වූ අතර, කෙසේ වෙතත් දුම්රිය ධාවනය පසුව සාමාන්‍ය පරිදි යළි ආරම්භ කෙරුණු බවයි දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ පැවසුවේ.

++++++++++++

ඉන්ධන සහ ගෑස් හිඟය තවදුරටත්

(15.03.2022 – 13:14 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව ඉන්ධන සහ ගෑස් නොමැතිව තවදුරටත් පීඩාවට පත්ව සිටින බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

ඉන්ධන ලබා ගැනීම සඳහා ඇතමුන්ට දින ගණනක් පෝලිම්වල රැදී සිටීමටයි සිදු ව ඇත්තේ.

කෙසේ වෙතත්, බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක් අඩංගු නෞකාවක් අද (15) මෙරටට පැමිණීමට නියමිත බවයි.

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් බේරුවල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම කරත්තවල නැගී සභාව වෙත ගමන් කළා.

මේ අතර, වෙළඳපොලේ පවතින ගෑස් හිඟය මඟහරවා ගැනීමට ගෑස් සමාගම්වලට මෙතෙක් හැකියාව ලැබී නැහැ.

ඒ හේතුවෙන් අද (15) දිවයිනේ ප්‍රදේශ රැසකම ගෑස් අලෙවිසැල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

++++++++++++

ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්තශාලාවලට විදුලිය නොකැපීමේ තීරණයක්

(15.03.2022 – 13:54 +0530 – hirunews.lk/sinhala)

දෛනිකව ක්‍රියාත්මක කරනු ලබන විදුලි කප්පාදුව මින් ඉදිරියට ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්තශාලා සඳහා සිදුනොකරන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා.

ඒ, එම මණ්ඩලයේ සභාපති ඇතුළු නිලධාරීන් පිරිසක් සමඟ අමාත්‍යාංශ පරිශ්‍රයේ ඊයේ (14) පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ වන විට ආයෝජන මණ්ඩලයට අයත් වෙළද කලාප 14 ක් පවතින අතර, විදුලි කප්පාදුව අඛණ්ඩව සිදුකළහොත් ඇමරිකානු ඩොලර් බිලියන ලක්ෂ 8 ක පමණ මුදලක් අහිමි වී යා හැකි බව ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබෙනවා ෴

++++++++++++

බූලි වලට සහ බැරල් වලට ඛනිජ තෙල් සැපයීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

(15.03.2022 – 17:14 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි බූලිවලට සහ බැරල් වලට ඛනිජ තෙල් සැපයුම අත්හිටුවන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලුම බෙදුම් කරුවන් වෙත දන්වා තිබෙනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ මෙම නියෝගයන්ට පටහැනිව කටයුතු කරන සියලුම බෙදුම් කරුවන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

එමෙන්ම රථවාහන වලට වාහන වලට අමතරව බූලිවලට සහ බැරල් වලට ඉන්ධන ලබා දෙන බෙදුම් කරුවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය ද දැනුවත් කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ වන විට දිවයින පුරා ඇති අධික ඉන්ධන හිඟයට හේතුවෙන් රථ වාහන බොහෝමයක් ඉන්ධන පෝලිම් වල රැඳී සිටින අතර ඊට සමාන්තරව ප්ලාස්ටික් බූලි සහ විශාල කෑන් ගත් පිරිසක් ද ඉන්ධන හල් ඉදිරිපිට පෝලිම් ගැසී ඇති අයුරු දැකගන්නට පුළුවන්.

මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක්දී කළ විමසීම් වල දී අනාවරණය වූයේ මේ ආකාරයට ප්ලාස්ටික් බූලි වලට සහ බැරල් වලට ඉන්ධන ලබා ගන්නා පුද්ගලයින් ඉන්පසු ඒවා වැඩි මිලට අලෙවි කරන බවයි.

කෙසේ වෙතත් මෙම කාරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ කෘෂිකාර්මික වැඩ කටයුතු සඳහා යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර ඉන්ධන හල් වෙත රැගෙන ඒමේ අපහසුතා තිබීම හේතුවෙන් කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් බූලි වලට ඉන්ධන නිකුත් කළ යුතු බවයි.

කෙසේ වෙතත් මෙම ඉන්ධන නිකුත් කිරීමේ සහ ලබාගැනීමේ ක්‍රමවේදයක් සකස් නො කිරීම හේතුවෙන් දිවයිනේ බොහෝ ඉන්ධන හල් ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇති වූ අවස්ථාවන් ද වාර්තා වුණා ෴

++++++++++++

ඛනිජ තෙල් අර්බුදය අවුලෙන් අවුලට බව්සර් රථත් ප්‍රවාහනයෙන් ඉවත් වෙයිද?

(15.03.2022 – 18:01 +0530 – hirunews.lk/sinhala)

තමන් ඉල්ලා සිටි පරිදි අවම තරමින් 60% ක ප්‍රවාහන ගාස්තු වැඩිකිරීමක් සිදු නො නොකරන්නේ නම් අද (15) රාත්‍රියේ සිට ඛනිජ තෙල් ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

මේ වන විට මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා එම සංගමයේ විධායක කමිටුව රැස්වී ඇති අතර මීට දින දෙකකට (2) පෙර ඛනිජ තෙල් මිල වැඩිවීම සහ ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් තමන්ට විඳින්නට සිදුවී ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුවත් කරමින් ඔවුන් විසින් ලිපියක් ද යොමු කර තිබුණා.

එම ලිපිය හරහා ඔවුන් ඉල්ලා සිටියේ අවම තරමින් 60% ක ප්‍රවාහන ගාස්තු මිල සංශෝධනයක් ලබාදෙන ලෙසයි.

මේ අතර අද (15) දිනය තුළ කොලොන්නාව ඛනිජ තෙල් නිමාවට පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ පැමිණීමේ අඩුවක් ද දක්නට ලැබුනා.

මේ හේතුවෙන් අද (15) දිනය තුළ නිකුත් කිරීමට නියමිත ඉන්ධන තොග නිකුත් කිරීමට ද නොහැකි වී ඇති බවත් වාර්තා වනවා.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ ඇති ඇතැම් ඉන්ධන පිරවුම්හල් වලට අඛණ්ඩව ඉන්ධන සැපයුම සිදු කෙරෙන අතර තවත් සමහරක් ඉන්ධනහල් වලට එලෙස ඉන්ධන සැපයීමක් නොකෙරෙන බවත් වාර්තා වනවා.

මෙලෙස විශේෂ අනුග්‍රහයක් හිමිවූ ඉන්ධන සැපයුම් හල් එලෙස අඛණ්ඩව ඉන්ධන ලබා ගැනීම සඳහා එක් ඉන්ධන බවුසරයක ට රුපියල් 50,000 ක කප්පම් මුදලක් ලබා දී ඇති බව වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විගණන අංශය මේ වන විට පරීක්ෂණයක් දියත් කර ඇති අතර මෙලෙස කප්පම් ලබාගත් නිලධාරීන් සම්බන්ධ තොරතුරු මාධ්‍යයට ඉදිරිපත් කරන ලෙසත් ඛනිජ තෙල් අමාත්‍ය වරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ ෴

++++++++++++

අදත් (15) ප්‍රදේශ රැසක ඉන්ධන පෝලිම් – ලෝක බොරතෙල් මිල තවත් පහළට

(15.03.2022 – 19:24 +0530 – hirunews.lk/sinhala)

මෙරට දෛනික පාරිභෝජනයට අවශ්‍ය ඉන්ධන රට තුල පවතින බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ සඳහන් කළේ ඇනවුම් කල ඉන්ධන තොග රැගත් තවත් නෞකා 6 ක් ඉදිරියේදී මෙරටට ළගා වීමට නියමිත බවයි.

සභාපතිවරයා එලෙස පැවසුවත් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව ඉන්ධන නොමැතිව තවදුරටත් පීඩාවට පත්ව සිටින බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

බැරල් වලට සහ බූලි වලට පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීම තහනම් කර ඇති බවට පල වන වාර්තා අසත්‍ය බවද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ විශාල ප්‍රමාණයේ බැරල් වලින් ආයතන වෙත ඉන්ධන නිකුත් කිරීමේදී පෝලිමේ පවතින වාහන වල පුද්ගලයන් අපහසුතාවයට පත් නොවන ලෙස කටයුතු කරන ලෙස පමණක් පිරවුම්හල් වෙත දැනුම් දුන් බවයි.

ඩීසල් සහ බොර තෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරල් එනර්ජි ඩී.එම්.සී.සී. සමාගම වෙත පිරිනැමීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර, ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද (15) තවදුරටත් අඩුවෙමින් ඇමරිකානු ඩොලර් 100 සීමාවට ළඟාවුණා.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ යාල සංචාරක කලාපයේ සෆාරි ජීප් රථවල ප්‍රවාහන ගාස්තු ද ඉහළ නංවා තිබෙනවා.

වෙළඳපොලේ පවතින ගෑස් හිඟය මඟහරවා ගැනීමටද ගෑස් සමාගම්වලට මෙතෙක් හැකියාව ලැබී නැහැ.

ඒ හේතුවෙන් අද (15) දිවයිනේ ප්‍රදේශ රැසකම ගෑස් අලෙවිසැල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර දෛනිකව ක්‍රියාත්මක කරනු ලබන විදුලි කප්පාදුව මින් ඉදිරියට ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්තශාලා සඳහා සිදුනොකරන බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා.

ඒ, එම මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සමඟ අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ෴

++++++++++++

අද (15) රෑ සිට ඛනිජ තෙල් ප්‍රවාහනයත් නවතී පෞද්ගලික බවුසර් හිමිකරුවන් වැඩ වර්ජනයේ

(15.03.2022 – 20:06 +0530 – hirunews.lk/sinhala)

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

මෙරට ඛනිජ තෙල් ප්‍රවාහනයේ 80% ක පමණ භාරයක් දරනු ලබන්නේ පෞද්ගලික ටැංකි රථ හිමියන් විසින්.

අවම තරමින් 60% ක ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමක් ඉල්ලා ඔවුන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත මීට දින දෙකකට පෙර ලිපියක් යොමු කළා.

එයට ප්‍රතිචාර වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් පවසා ඇත්තේ ඩීසල් මිල වැඩි වීම පමණක් මිල වැඩි කිරිම සඳහා සලකා බලන බවයි.

කෙසේ වෙතත් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඉල්ලා ඇත්තේ ඩීසල් වැඩි වීමට අමතරව ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ යාම ද සලකා බලා තමන්ගේ ගාස්තු සංශෝධනය කරන ලෙසයි.

කෙසේ වෙතත් එම ඉල්ලීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අනුකූලතාවක් දක්වා නැහැ.

එමෙන්ම මීට ටික වේලාවකට පෙර නිමා වූ ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ විධායක කමිටු රැස්වීමට දුරකථනය හරහා සම්බන්ධ වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා බලධාරියකු පවසා ඇත්තේ බව්සර් රථ හිමියන් වෙනුවෙන් සිදුකරන ගාස්තු සංශෝධනයන්ද අප්‍රේල් පලමුවෙනි දින (01) සිට සිදුකරන බවයි.

මේ අතර අද (15) දිනය තුළ කොලොන්නාව ඛනිජ තෙල් නිමාවට පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ පැමිණීමේ අඩුවක් ද දක්නට ලැබුනා.

මේ හේතුවෙන් අද (15) දිනය තුළ නිකුත් කිරීමට නියමිත ඉන්ධන තොග නිකුත් කිරීමට ද නොහැකි වී ඇති බවත් වාර්තා වනවා.

මේ අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ ඇති ඇතැම් ඉන්ධන පිරවුම්හල් වලට අඛණ්ඩව ඉන්ධන සැපයුම සිදු කෙරෙන අතර තවත් සමහරක් ඉන්ධනහල් වලට එලෙස ඉන්ධන සැපයීමක් නොකෙරෙන බවත් වාර්තා වනවා ෴

++++++++++++

හෙට (16) දිනයේ විදුලි කප්පාදු සිදුකරන වේලාවන්

(15.03.2022 – 21:25 +0530 – hirunews.lk/sinhala)

හෙට (16) දිනයේ විදුලි කප්පාදු සිදුකරන වේලාවන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් අද (15) පස්වරුවේ ප්‍රකාශයට පත් කලා.

ඒ අනුව ඒ සිට එල් දක්වා (A-L) කලාප 12 කට පැය 03 යි මිනිත්තු 45 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.

පී සිට ඩබ්ලිව් දක්වා (P-W) කලාප 08 කට පැය 04 යි මිනිත්තු 45 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

ඒ සිට එල් දක්වා (A-L) කලාප 12 කට පෙරවරු 08 සිට පස්වරු 06 දක්වා පැය 02 යි මිනිත්තු 30 ක් සහ පස්වරු 06 සිට රාත්‍රී 11 දක්වා පැය 01 යි මිනිත්තු 45 ක විදුලි කප්පාදුවක් සිදුකෙරනවා.

එමෙන්ම පී සිට ඩබ්ලිව් දක්වා (P-W) කලාප 08 කට පෙරවරු 08:30 සිට පස්වරු 05:30 දක්වා පැය 03 ක් බැගින්ද පස්වරු 05:30 සිට රාත්‍රී 10:45 දක්වා පැය 01 යි මිනිත්තු 45 ක් බැගින්ද විදුලිය කපා හැරීමට නියමිතයි ෴

+ Power Cut Schedule – from CEB

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *