2022-03-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ

2022-03-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ

*********************************************

2022-03-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ

(15.03.2022 – cabinetoffice.gov.lk)

2022-03-14 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)

  1. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ රුසියානු සමූහාණ්ඩුවේ UFA රාජ්‍ය ගුවන් සේවා තාක්ෂණික විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම

දෙරට අතර පවත්වාගෙන යන යහපත් සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීම, ගුවන් හා ගගන ඉංජිනේරු ක්ෂේත්‍රවල අධ්‍යයන හා පර්යේෂණ සහයෝගිතාව වර්ධනය කර ගැනීම, අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සඳහා විද්වතුන් හා විද්‍යාඥයින් හුවමාරු කර ගැනීම මෙන්ම එකී ක්ෂේත්‍රවල තොරතුරු, ශාස්ත්‍රීය ද්‍රව්‍ය හා ප්‍රකාශන හුවමාරු කර ගැනීම යන අරමුණු සහිතව ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ රුසියානු සමූහාණ්ඩුවේ UFA රාජ්‍ය ගුවන් සේවා තාක්ෂණික විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජනා වී ඇත. ඒ අනුව, එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී ෴

  1. 2020 පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම්ලාභී හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා වෙත නිවාසක් ලබා දීම

ජපානයේ ටෝකියෝහිදී පැවති 2020 පැරාලිම්පික් තරගාවලියේදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ‍ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කමක් දිනාගෙන ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමට හේරත් මුදියන්සේලාගේ දිනේෂ් ප්‍රියන්ත හේරත් මහතා සමත් විය. රටට එම කීර්තිය අත්කර දීම සඳහා සිදු කළ කැපවීම අගය කිරීමක් වශයෙන් ඒ මහතාට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන ලද කොම්පඤ්ඤවීදිය මෙට්‍රොහෝම් නිවාස ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 14.2 ක් වටිනා නිවාස ඒකකයක් නිදහස් දීමනාවක් වශයෙන් පවරා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී ෴

  1. ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත රෝහලක් ඉදි කිරීම පිණිස නාරාහේන්පිට ප්‍රදේශයෙන් ඉඩම් කොටසක් ලබා දීම

නගර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා නාරාහේන්පිට ප්‍රදේශයේ අක්කර 7 පර්චස් 39.9 ක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දී ඇත. රෝහලක් ඉදි කිරීම සඳහා එම භූමියෙන් අක්කර 03 ක බිම් කොටසක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, අදාළ ඉඩමෙන් අක්කර 03 ක ඉඩම් කොටසක් නිදහස් දීමනාවක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී ෴

  1. උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතිය යටතේ කළු ගඟ – මොරගහකන්ද යා කරන උමඟ කැණීමේදී ඉවත් කරනු ලබන උමඟ අපද්‍රව්‍ය මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දීම

ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදි කරනු ලබන උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ සංරචකයක් වන කළු ගඟ – මොරගහකන්ද යා කරන උමඟ කැණීමේදී ඉවත් කරනු ලබන උමඟ අපද්‍රව්‍ය (Tunnel Muck) තාවකාලික පදනම මත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත බිම් තුළ රැස් කරනු ලබයි. එම අපද්‍රව්‍ය ඉදි කිරීම් සඳහා සෘජුවම භාවිත කිරීමට හැකියාවක් නොමැති කළුගල්වලින් සමන්විත වේ. උමඟෙහි ඉදි කිරීම් හේතුවෙන් පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීමට සිදු වී ඇති ඉලුක්කුඹුර සිට ලග්ගල දක්වා කිලෝමීටර 9.3 ක් වූ මාර්ගයෙහි පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීමේ කටයුතු සඳහා සහ රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන කිලෝමීටර 100,000 ක මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන ABC අමුද්‍රව්‍ය (Aggregate Base Course) නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට හැකි වන පරිදි එම අපද්‍රව්‍ය මාර්ග සංවර්ධන අධිකාරිය වෙත නොමිලේ ලබා දීම පිණිස වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී ෴

  1. කෘෂිකර්ම, වනාන්තර හා වෙනත් ඉඩම් පරිහරණ ක්ෂේත්‍ර සඳහා විනිවිදභාවය වැඩිදියුණු කළ රාමුවක් සකස් කිරීමේ ව්‍යාපෘතිය

ශ්‍රී ලංකාව 1993 වර්ෂයේ සිට එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශ්ව රාජ්‍යයක් වශයෙන් කටයුතු කරන අතර, 2016 වර්ෂයේදී පැරිස් ගිවිසුම අපරානුමත කර ඇත. පැරිස් ගිවිසුමේ ජාතික කේන්ද්‍රස්ථානය වශයෙන් පරිසර අමාත්‍යාංශය කටයුතු කරනු ලබයි. එම ගිවිසුමේ විධිවිධාන පරිදි ශ්‍රී ලංකාවේ ජාතිකත්ව නිර්ණය කරන ලද දායකත්ව 2021 ජූලි මස 30 වන දින එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතිය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඒ යටතේ ප්‍රධාන ක්ෂේත්‍ර 02 ක් වශයෙන් කෘෂිකර්ම හා වනාන්තර හඳුනාගනු ලැබ තිබේ. පැරිස් ගිවිසුමේ 13 වන වගන්තිය අනුව පාර්ශ්ව රාජ්‍යයන් විසින් දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගවල ප්‍රගතිය විනිවිදභාවයෙන් යුතුව වාර්තා කළ යුතු වේ. ඒ අනුව, කෘෂිකර්ම, වනාන්තර හා වෙනත් ඉඩම් පරිහරණ ක්ෂේත්‍ර සඳහා විනිවිදභාවය වැඩිදියුණු කළ රාමුව සකස් කිරීම පිණිස ගෝලීය පාරිසරික පහසුකමේ මූල්‍ය ප්‍රදානයක් යටතේ පරිසර අමාත්‍යාංශයේ උපදේශකත්වයෙන් හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගයෙන් යුතුව ව්‍යාපෘතියක් සැලසුම් කර ඇත. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගෝලීය පරිසර පහසුකම යටතේ ඇමෙරිකානු ඩොලර් 863,242 ක ප්‍රදානයක් ලබා දීමට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟතාව පළ කර තිබේ. ඒ අනුව, එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අදාළ ප්‍රදානය ලබා ගැනීම පිණිස එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමඟ ගිවිසුමකට අත්සන් තැබීමටත් පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී ෴

  1. ගුවන්තොටුපොළ හෝටල් දෙකක් (2) ඉදිකර ක්‍රියාත්මක කිරීම සඳහා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටි බිම් කොටස් දෙකක් (2) බදු පදනම මත ලබා දීම

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පිහිටි හම්බන‍්තොට ප්‍රදේශය ප්‍රධාන සංචාරක ගමනාන්තයක් වන නමුත් දැනට එම ප්‍රදේශයේ හෝටල් කිහිපයක් පමණක් ක්‍රියාත්මක වේ. ගුවන්තොටුපොළ ආසන්නයේ තරු 4 කාණ්ඩයේ හෝටල් 02 ක් ඉදිකිරීම මඟින් සංචාරකයින් ආකර්ශනය කර ගැනීම සඳහා වඩාත් වාසිදායක තත්ත්වයක් නිර්මාණය වන බව පෙනී ගොස් ඇත. ඒ සඳහා ගුවන්තොටුපොළේ පර්යන්ත ගොඩනැඟිල්ලට දකුණු පසින් පිහිටි හෙක්ටයාර 15 බැගින් වූ බිම් කොටස් 02 ක් හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, යෝජිත ‍හෝටල් 02 ස්ථාපිත කිරීම සඳහා ආයෝජකයින් වෙතින් යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී ෴

  1. අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල පුනර්ජීවනය සඳහා එක්වරක් (1) පමණක් ගෙවන දීමනාවක් ලබා දීම

හානිපූරණ ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ අනුව, විවිධ තත්ත්වයන් යටතේ සන්තාපයන්ගෙන් පීඩා විඳි පුරවැසියන්ට ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට හා ප්‍රතිස්ථාපනය කර ගැනීමට සහාය වීම සඳහා ප්‍රතිපත්ති සකස් කර ඇත. ඒ අනුව, අනාගත පරපුර ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සුබසිද්ධිය හා ආරක්ෂාව සඳහා වන සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට හැකි වන පරිදි දැනටමත් සකස් කර ඇති ප්‍රතිපත්තීන්ට අනුගතව අදාළ පවුල්වලට ආධාර කළ යුතුව තිබේ. 2016 අංක 17 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත මඟින් අතුරුදහන් වූ තැනැත්තන් සම්බන්ධයෙන් නිසි විමර්ශන පැවැත්වීමෙන් පසු මරණ සහතිකය හෝ දක්නට නොමැති වීමේ සහතිකය හෝ නිකුත් කිරීම සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල් වෙත නිර්දේශ කරනු ලබයි. ඒ අනුව, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් අනාවරණය කර ගනු ලබන කරුණු මත රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරන දක්නට නොමැති බවට වූ සහතිකයක් හිමි අතුරුදහන් වූවන්ගේ ළඟම ඥාතියාට පවුලේ පුනර්ජීවනය වෙනුවෙන් එක්වරක් පමණක් ගෙවනු ලබන රුපියල් 100,000 ක දීමනාවක් ගෙවීම පිණිස අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී ෴

  1. වත්තල, මිල්ලගහවත්ත ප්‍රදේශයේ නිවාස ඒකක 408ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය

වත්තල, මිල්ලගහවත්ත ප්‍රදේ‍ශයේ නිවාස ඒකක 408ක් සැලසුම්කර ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික තරගකාරී ලංසු ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන්ස් කොන්සෝටියම් (පුද්ගලික) සමාගම වෙත පිරිනැමීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී ෴

  1. ආසියානු සංවර්ධන බැංකු ණය යටතේ නඩුකුඩා, චුන්නාකම් සහ ආනියාකන්ද ග්‍රිඩ් උපපොළ වැඩිදියුණු කිරීම

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අදාළ කොන්ත්‍රාත්තුව TBEA ෂෙන්යැන් ට්‍රාන්ස්ෆෝමර් ගෲප් සහ සීලෙක්ස් ඉංජිනියරින් ලිමිටඩ් බද්ධ ව්‍යාපාරය වෙත ප්‍රදානය කිරීම නිර්දේශ කර ඇත. එකී නිර්දේශය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ එකඟතාව ලැබී තිබේ. ඒ අනුව, අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස විදුලිබල අමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී ෴

  1. ඩීසල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

2022.03.01 සිට 2022.10.31 දක්වා මාස අටක (08) කාලයක් සඳහා ඩීසල් (උපරිම සල්ෆ ප්‍රතිශතය 0.05) ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත. අදාළ ප්‍රසම්පාදනය කොරල් එනර්ජි DMCC ආයතනය වෙත පිරිනැමීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ති‍බේ. ඒ අනුව, එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී ෴

  1. බයිෆේසික් අයිසෝෆේන් ඉන්සියුලින් එන්නත බීපී 30/70, 1,000 අයියූ / මිලිලීටර් 10 වයල් 1,900,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය

දියවැඩියා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරනු ලබන මෙම එන්නත මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන ඉන්දියාවේ Wockhardt Limited ආයතනය වෙත ලංසුව ප්‍රදානය කිරීම නිර්දේශ කර තිබේ. එකී නිර්දේශය ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ද තහවුරු කර ඇත. ඒ අනුව, අදාළ ඖෂධයේ එන්නත් මාත්‍රා මිලියන 1.5 ක් පමණක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ Wockhardt Limited ආයතනය වෙත පිරිනැමීමටත් ඉතිරි එන්නත් ප්‍රමාණය 2022 වසරේ සත්‍ය පරිභෝජනය මත පදනම්ව ඉදිරියේදී මිල දී ගැනීමටත් සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී ෴

  1. අංශු පෙරහන මුහුණු ආවරණ 3,000,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය

ශ්වසන මාර්ගයේ ආසදන ඇති වී‍ම වැළැක්වීම සඳහා භාවිත කරනු ලබන මෙම මුහුණු ආවරණ මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. තාක්ෂණ ඇගයීම් කමිටුවේ නිර්දේශය සැලකිල්ලට ගෙන, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අදාළ ප්‍රසම්පාදනය සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ලකී ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම වෙත පිරිනැමීම නිර්දේශ කර තිබේ. ඒ අනුව, අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී ෴

  1. හියුමන් ඇල්බියුමින් ද්‍රාවණය බීපී/පීඑච් ඊයූආර්, 20% මිලිලීටර් 50 බෝතල් 360,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය

විවිධ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ඖෂධය භාවිත කරනු ලබන අතර, එම ඖෂධය මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. තාක්ෂණ ඇගයීම් කමිටුවේ නිර්දේශය පරිදි සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ස්විස්ට්ලන්තයේ M/s Baxalta GmbH ආයතනය වෙත අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇත. ඒ අනුව, අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී ෴

  1. 2022 යල කන්නයේ වී වගාව සඳහා පරිසර හිතකාමී දේශීයව නිෂ්පාදනය කරන ලද පොහොර ප්‍රසම්පාදනය

2022 යල කන්නයේ වී වගාව සඳහා ඇස්තමේන්තු කර ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 600,000 කි. ඒ සඳහා දේශීයව නිෂ්පාදනය කරන ලද පරිසර හිතකාමී පොහොර ප්‍රසම්පාදනය කිරීම පිණිස 2022 ජනවාරි මස 10 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, දේශීය තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත ප්‍රසම්පාදනයන් පිරිනැමීම සඳහා ලංසුකරුවන් 46 ක් හඳුනාගෙන ඇත. එම ලංසුකරුවන් වෙත 2022 යල කන්නයේ වී වගාව සඳහා දේශීයව නිෂ්පාදනය කරන ලද පරිසර හිතකාමී පොහොර සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී ෴

  1. ගුවන් සමාගම්, මාර්ගගත සංචාරක නියෝජිතයින් සහ ප්‍රධාන ජාත්‍යන්තර චාරිකා මෙහෙයවන්නන් සමඟ ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම

වැඩි සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ව්‍යාපාර හා ගනුදෙනුකරුවන් (B2C) අතර හමුවීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවනු ලබන ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සැලසුම් කර ඇත. ඒ අනුව, එකී ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ප්‍රධාන ගුවන් සමාගම්, තෝරාගත් මාර්ගගත සංචාරක නියෝජිතයින්, ප්‍රධාන ජාත්‍යන්තර චාරිකා මෙහෙයවන්නන් සහ ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ප්‍රචාරන ආයතන, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන වෙතින් යෝජනා කැඳවීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී ෴

  1. සිවිල් නඩු විධාන සංග්‍රහයට සංශෝධන (101 වන අධිකාරය) හඳුන්වා දීම

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහාත්, අධිකරණ සහ බන්ධනාගාරවල කටයුතු පහසු කිරීම සඳහාත් අවශ්‍ය අවස්ථාවලදී නඩු සැසිවාර ශ්‍රව්‍ය – දෘශ්‍ය සම්බන්ධක ආධාරයෙන් පැවැත්වීම සඳහා තීරණය කරනු ලැබ ඇත. ඒ අනුව, විවෘත අධිකරණයකදී සාක්ෂිකරුවෙකු විසින් වාචිකව ලබා දෙන සාක්ෂි සම්බන්ධයෙන් අදාළ විධිවිධාන ඇතුළත් කිරීම පිණිස සිවිල් නඩු විධාන සංග්‍රහයේ 167 (අ) සිට 167 (ඛ) දක්වා නව වගන්ති ඇතුළත් කරමින් සංශෝධනය කිරීම යෝග්‍ය බවට ඒ පිළිබඳව කරුණු පරීක්ෂා කිරීම සඳහා අධිකරණ ඇමතිතුමා විසින් පත් කරනු ලැබ ඇති ඩිජිටල්කරණය සහ අධිකරණ ස්වයංක්‍රීයකරණය පිළිබඳ නීති කමිටුව හා සිවිල් නීති ප්‍රතිසංස්කරණ කමිටුව විසින් නිර්දේශ කර තිබේ. එකී නිර්දේශ මත පදනම්ව සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී ෴

  1. අපරාධ නඩු විධාන සංග්‍රහය පනතට සංශෝධන

යම් තැනැත්තෙකු අපරාධයක් සිදු කරන අවස්ථාවේදී, එම තැනැත්තාගේ වයස අවුරුදු 18 ට අඩු නම් මරණ දණ්ඩනය පැනවීම තහනම් කෙරෙන එක්සත් ජාතීන්ගේ ළමා යුක්තිය පසිඳලීම සඳහා වූ සම්මත අවම රීතිවලට අනුකූල වීම පිණිස, අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 281 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී ඇත. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී ෴

  1. 2022.06.01 සිට 2022.12.31 දක්වා මාස හතක (07) කාලයක් සඳහා බොරතෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව

2022 ජුනි මස 01 දින සිට 2022 දෙසැම්බර් මස 31 දින දක්වා මාස හතක (07) කාලයක් සඳහා බොරතෙල් ආනයනය කිරීමේ ප්‍රසම්පාදනය සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ලංසු කැඳවා ඇත. අදාළ ප්‍රසම්පාදනය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරල් එනර්ජි ඩී.එම්.සී.සී. සමාගම වෙත පිරිනැමීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇත. එකී නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව එම සමාගම වෙත පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී ෴

  1. අනේවාසික සමාගම් මඟින් සද්භාවයෙන් සිදු කරන ආයෝජන නේවාසික සමාගම් විසින් ලබා ගැනීම සඳහා වන පොදු විධානය

ශ්‍රී ලංකාවේ විදේශ විනිමය නියාමනය හා ප්‍රවර්ධනය කිරීම සඳහා නේවාසික නොවන ආයෝජකයෙකු විසින් නේවාසික සමාගමක කොටස් අත්කර ගැනීමේ කාර්යය සඳහා ආයෝජක‍යාගේ ආමුඛ ආයෝජන ගිණුම (Inward Investment Account – IIA) ඔස්සේ මුදල් ප්‍රේෂණය සිදු නොකර, අනවධානයෙන් හෝ නොදැනුවත්ව නේවාසික සමාගමේ ගිණුම වෙත සෘජුවම සිදු කරන ප්‍රේෂණ වෙනුවෙන් එකී නේවාසික නොවන ආයෝජකයා වෙත කොටස් නිකුත් කිරීමට හැකි වන පරිදි 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කර ඇති සමාගම්වලට අවසර ලබා දීම සඳහා විධානයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ඇමතිතුමා වෙත නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7(10) වගන්තිය යටතේ අදාළ විධානයන් නිකුත් කිරීම සඳහා මුදල් ඇමතිතුමා විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.

  1. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සංශෝධන සිදු කිරීම

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ විධිවිධානවල පැහැදිලිභාවය වැඩි කිරීම සහ ව්‍යාකූලභාවයන් ඉවත් කිරීම සඳහා සංශෝධනය කළ යුතු විධිවිධාන කිහිපයක් මුදල් අමාත්‍යාංශය විසින් හඳුනාගනු ලැබ ඇත. එසේම, ආර්ථිකයේ නැඟී එන අංශවලට සහන ලබා දෙමින් ආයෝජන සහ අපනයන දිරිගන්වන අතරතුර බදු අනුකූලතාව වැඩි කිරීම සහ බදු ගෙවීම පහසු කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කරන ලද යෝජනා මත සංශෝධන කිහිපයක් ද දේශීය ආදායම් පනතට හඳුන්වා දීමට තීරණය කර ඇත. ඒ අනුව, හඳුනාගනු ලැබ ඇති සංශෝධන ඇතුළත් කරමින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහාත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙසට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම සඳහාත් මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *