දෙපා අහිමි ඔහු ගෙන් දෙපා අහිමි ඇයට රෝද පුටුවක්

දෙපා අහිමි ඔහු ගෙන් දෙපා අහිමි ඇයට රෝද පුටුවක්

*********************************************

දෙපා අහිමි ඔහු ගෙන් දෙපා අහිමි ඇයට රෝද පුටුවක්

(14.03.2022 – 17:17 +0530 – sinhala.adaderana.lk)

බරපතළ රිය අනතුරකට ලක් ව දණහිසින් පහළ දෙපා අහිමි ව සිටින 29 හැවිරිදි එච් .එම්. නයෝමි සමන්මලී ගැන මීට පෙර අප වාර්තා කළේය. ඇය එක් දරු මවකි.

දඹුල්ල කලුන්දෑව ප්‍රදේශයේ පදිංචිව සිටින සමන්මලී සිය සැමියා වන 32 හැවරිදි එම් .ජි . සම්පත් ජයසිංහ සහ පෙර පාසල් වියේ පසුවන පුංචි පුතු සඳහිරු සම්පත් සමගය ජීවත් වන්නේ සිය දෙමාපියන්ගේ නිවසේය.

සම්පත්, දෙපා අහිමි වු තම ආදරණීය බිරිඳ පණ මෙන් රැක ගන්නේ කුළි වැඩ කරමින් ලබා ගන්නා සුළු මුදලකිනි.

නමුත් ඔහු උපයා ගන්නා එම මුදල ඇයට රෝද පුටුවක් මිල දී ගැනීමට තරම් ප්‍රමාණවත් වන්නේ නැත.

ආර්ථික දුෂ්කරතා සමගින් ජීවත වන සමන්මලී සහ සම්පත් ගැන අප මීට මසකට පමණ පෙර ඔබව දැනුවත් කළේ ඇයට හැකි අය උදව් කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි.

අපගේ උත්සාහය ඵලදරමින් තිබේ.

මෙම පුවත දුටු ‘උපතින්ම දෙපා ආබාධිත’ තරුණයකු වන උපුල් රංජිත් විසින් ඇයට රෝද පුටුවක් පරිත්‍යාග කර තිබේ.

ඔහු සමන්මහලීට රෝද පුටුව ලබාදීමට ඇයගේ නිවසට යනවිට අපගේ ප්‍රාදේශීය මාධ්‍යවේදී කාංචන ආරියදාස මහතා එහි සිටියේය.

දෙපා අහිමිවීම ගැන කනස්සල්ලෙන් සිටින සමන්මලීට උපුල් පැවසුවේ අබාධිත තත්ත්වය ජීවිතයේ ඕනෑම බාධකයක් ජය ගැනීම සඳහා ලබාදෙන මෙවලමක් ලෙස සිතා සිය ජීවිතය ජය ගැනීමට උත්සාහ කළ යුතු බවය.

++++++

***************************************

‘වැඩ කරන අපේ විරුවා’ තුච්ච නින්දිත කාලකන්නි සිංදුවක් … – විජේදාස රාජපක්ෂ

(15.03.2022 – 11:20 +0530 – lankacnews.com)

වැඩ කරන අපේ විරුවා ගීතය තුච්ච නින්දිත කාලකන්නි සිංදුවක් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අද වන විට ජනාධිපතිවරයා රූකඩයක් කර ගෙන බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අය ඉවත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබුණේ දැනට වසරකටත් වඩා පෙර සිට බව ද හෙතෙම පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

***************************************

විදුලිය නෑ.. ඩොලර් නෑ.. ලංකාව අවදානම්.. සංචාරය නවතා මා යනවා.. – ජනප‍්‍රිය යූටියුබරයා ලෝකයටම කියයි..

(15.03.2022 – 10:00 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන විදුලි කප්පාදුව සහ විදේශ විනිමය අර්බුදයෙන් මත ඇතිව තිබෙන තත්ත්වයන් හේතුවෙන් තමන් ශ්‍රී ලංකාවේ සංචාරය අතහැර පිටවන බව ජනප්‍රිය යූටියුබරයෙකු වන කෙන් එබ්‍රෝඩ් සඳහන් කරයි.

තම යූ ටියුබ් නාලිකාව ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ සංචාරය වඩාත් නරක අතට හැරෙමින් පවතින නිසා තමන් සංචාරය අතහැර ශ්‍රී ලංකාවෙන් පිටව යන බවයි.

ශ්‍රී ලංකාව තුළ දෛනික පැය හත අටක් විදුලි විසන්ධි වන බවත් එය තමන්ට පමණක් නොව රට තුළ ව්‍යාපාර කටයුතුවලද බරපතළ ගැටලුවක් වී ඇති බවත් හෙතෙම කියා සිටී.

රට තුල බොහෝ අවන්හල් වසා දමා ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

කෙන් එබ්‍රෝඩ් තම වීඩියෝ හරහා ලොව පුරා සංචාරයට ප්‍රිය කරන පුද්ගලයන්ට විවිධ සංචාරක ගමනාන්තයන් වෙත ගොස් ම ස්ථාන ලොව පුරා ජනප්‍රිය කරවන්නෙකි.

ඔහු සාමාන්‍යයෙන් තම සංචාරක ගමනාන්තයන් පිළිබඳව ධනාත්මක අදහස් දක්වන්නෙකු වුවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවර එක් කර ඇත්තේ අයහපත් ප්‍රතිචාරයකි.

***************************************

ඩිෂුම්-ඩිෂුම් : බැලුම් පිපිරවීම (14.03.2022)

දෙරණ නාලිකාවේ ඩිෂුම්-ඩිෂුම් වැඩසටහනේදී බැලුම් පිපිරවීමේ අලුත් ඉසව්වක් හඳුන්වාදී තිබිණි. එහිදී නළුවා නිලිය වඩාගෙන නිළියගේ හිසේ සවිකර ඇති කටු සහිත පළඳනාව උපයෝගී කරගෙන ඉහළ රඳවා තිබෙන බැලුම් පිපිරවීම කළ යුතු වේ.

***************************************

තවත් විෂය පථයන් වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

(15.03.2022 – 08:05 +0530 – hirunews.lk/sinhala)

කර්මාන්ත සහ පරිසර අමාත්‍යාංශවල විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ආයතන 15 ක් නම් කර ඇති අතර, පරිසර අමාත්‍යාංශය යටතේ ආයතන 5 ක් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්ලයිමේට් ෆන්ඩ් පුද්ගලික සමාගම එහිදී පරිසර අමාත්‍යාංශයට අලුතින් එක් වනවා.

එමෙන්ම, දැනට භූගතව සහ සාගර අභ්‍යන්තරයේ ඇතැයි සැලකෙන ඛනිජ සම්පත් නූතන අධි තාක්ෂණය භාවිත කර ගවේෂණය කරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා යොදා ගැනීම ද පැවරෙන්නේ පරිසර අමාත්‍යාංශයටයි.

එම ක්‍රියාවලිය මීට පෙර කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති අතර මෙම ගැසට් නිවේදනය මගින් පරිසර අමාත්‍යාංශයට එක්වනවා ෴

***************************************

ජාත්‍යන්තර පාරිභෝගික දිනය අදයි (15)

(15.03.2022 – 08:24 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර පාරිභෝගික දිනය අදට (15) යෙදී තිබෙනවා.

‘පාරිභෝගික ජාත්‍යන්තරය’ විසින් මෙවර පාරිභෝගික දිනයේ තේමාව ලෙස නම කර ඇත්තේ, සාධාරණ ඩිජිටල් මූල්‍ය වෙළදපොළක් උදෙසා යන්නයි.

ජාත්‍යන්තර පාරිභෝගික දිනයේ මෙරට ප්‍රධාන සැමරුම් උත්සවය අද (15) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත යි ෴

***************************************

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කෙරෙයි

(15.03.2022 – 08:35 +0530 – hirunews.lk/sinhala)

කරදියනාරු පොලිස් වසමේ රීරාලකුලම් කුඩා ප්‍රදේශයේ කුඹුරක පැලක් තුළ තියුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට කරදියනාරු පොලිස් ස්ථානයට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුව විමර්ශන ආරම්භ කර ඇති පොලීසිය, එලෙස ඝාතනයට ලක් වී ඇත්තේ 54 හැවිරිදි පෙරුමාවලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පවසයි.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මඩකලපු රෝහලේ තබා තිබෙනවා.

කරදියනාරු පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා ෴

***************************************

ජනපතිගෙන් දෙමළ සන්ධානයටත් සාකච්ඡාවක්

(15.03.2022 – 08:36 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (15) පස්වරුවේ පැවැත්වෙනවා.

එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්කම් ශානක්‍යයන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ, වත්මන් ජනාධිපතිවරයා එම ධුරයට පත්වීමෙන් අනතුරුව දෙමළ සන්ධානයේ නියෝජිතයන් සමග මෙවැනි සාකච්ඡාවකට එළඹෙන්නේ ප්‍රථම වතාවට බවයි ෴

***************************************

රුපියල් කෝටි දෙකකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

(15.03.2022 – 09:06 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි දෙකකට (2) වැඩි වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකකට (2) වැඩි ප්‍රමාණයක් පේසාලේ – ජූඩ් වීදිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම වැටලීමේදී 30 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

මුහුදු මාර්ගයෙන් රැගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය තොගය මෙම නිවසේ ගබඩා කර තබා බෙදා හැරීමට සූදානම් කර තිබූ බව වැඩිදුර පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙනවා.

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොරෝනා ම‍රණ 10 ක්

(14.03.2022 – 18:16 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් දසදෙනකු අද (14) දිනයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,407 ක්.

වෛරසය ආසාදිතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 20,758 ක් වන අතර නව ආසාදිතයින් ඊයේ (13) දිනය වන විට 6,56,041 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සුවය ලැබූ මුළු පුද්ගලයින් සංඛ්‍යාව ද 6,18,000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ ෴

++++++++++++

කොවිඩ් ආසාදිතයින් 345 ක්

(14.03.2022 – 19:51 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 345 දෙනෙකු අද (14) දිනයේ දී හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවා. ඒ සමග මෙරට සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 6,56,386 ක්.

වෛරසය ආසාදනය වී තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 20,758 ක් වනවා.

අද (14) දිනට සිදු වූ මරණ සංඛ්‍යාව 10 ක්.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වූ 75 දෙනෙකු අද (14) දිනයේ දී සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව ද 6,18,961 දක්වා ඉහළ ගියා ෴

+

@@@ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය වීම @@@

සාම සාකච්ඡා මැද යුක්රේන අගනුවරට රුසියානු ප්‍රහාර අඛණ්ඩව

(14.03.2022 – 20:24 +0530 – hirunews.lk/sinhala)

රුසියානු සහ යුක්රේන නියෝජිතයන් අතර සිව්වන (4) වටයේ සාම සාකච්ඡා අද (14) පැවැත්වෙනවා.

යුක්රේන නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු සඳහන් කළේ සති අන්තයේ පැවති සාකච්ඡාවල යම් ප්‍රගතියක් දක්නට ලැබෙන බවයි.

රුසියානු පාර්ශ්වය ඵලදායී අන්දමින් අදහස් දැක්වීම ආරම්භ කර ඇති බවත්, දින කිහිපයක් තුළ පැහැදිළි ප්‍රතිඵලයක් ලබාගත හැකිවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙලෙස රාජ්‍යතාන්ත්‍රික පියවර ක්‍රියාත්මක වද්දී, යුක්රේනයේ කීව් අගනුවර නිවහන් ගොඩනැගිල්ලකට ද රුසියානු මිසයිල ප්‍රහාර එල්ලවී ඇති බව වාර්තා වුණා.

යුක්රේන අගනුවර ක්‍රමෝපාය අතින් වැදගත් ජාත්‍යන්තර ප්‍රවාහන ගුවන් තොටුපලක් වන ඇන්ටනොව් ගුවන් තොටුපලටද රුසියානු ෂෙල්වෙඩි ප්‍රහාර එල්ලවී තිබෙනවා.

මේ අතර ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයට ප්‍රවේශවීම රුසියාව විසින් අවහිර කර ඇති බව වාර්තාවනවා.

ඒ, රුසියානු හමුදාවන්ට සහ එහි නායකත්වයට එරෙහි ප්‍රචන්ඩත්වය ප්‍රවර්ධනය කරන ප්‍රකාශවලට ඉන්ස්ටග්‍රෑම් ඇතුළත් මෙටා සමාගම ඉඩ සැළසීමත් සමඟයි.

යුක්රේනයේ යුද මෙහෙයුම් පිළිබඳ ප්‍රචාර හේතුවෙන් ෆේස්බුක් සහ ට්විටර් සමාජ මාධ්‍යද රුසියාව විසින් මීට පෙර අවහිර කරනු ලැබුවා.

ඉන්ස්ටග්‍රෑම් රුසියානු තරුණ පෙළ අතර ජනප්‍රියතම සමාජ මාධ්‍යයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *