අවම බස් ගාස්තුව රුපියල් 03 කින් ඉහළට (රු. 20)

අවම බස් ගාස්තුව රුපියල් 03 කින් ඉහළට (රු. 20)

*********************************************

අවම බස් ගාස්තුව රුපියල් 03 කින් ඉහළට (රු. 20)

(14.03.2022 – 16:31 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන අර්බුදය හමුවේ බස් ගාස්තු සංශෝධනයක් කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කෙරුණා.

ඒ අනුව එම තීරණය ක්‍රියාත්මක කරමින් ඔවුන් විසින් නව බස් ගාස්තුව ඉදිරිපත් කරමින් නිවේදනයක් ද මුදා හැර තිබෙනවා.

එම නිවේදනයට අනුව නව බස් ගාස්තු සංශෝධනය ලෙස බස් ගාස්තුව අවම ගාස්තුව වශයෙන් රුපියල් 03 කින් ඉහළ ගියා.

ඉන්ධන මිල ඉහල දැමීමත් සමඟ බස් ගාස්තු ඉහළ දැමීමක් හෝ ඉන්ධන සහනාධාරයක් අවශ්‍ය බව බස් සංගම් කළ ඉල්ලීමක් අනුව ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ ඊයේ (13) පැවති සාකච්ජාවේ දී යෝජනා කෙරුණේ අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් (2) හෝ තුනකින් (3) ඉහළ දැමීමට යි.

එම ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට අද (15) ඉදිරිපත් කිරීමට නියමිත යි.

එමෙන්ම ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂ ව පාසල් ළමයින් ප්‍රවාහන ගාස්තු ද ඉහළ දමන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති හරිස්චන්ද්‍ර පද්මසිරි සඳහන් කළා.

+++++++

බස් ගාස්තු වැඩිවීම තීරණය කෙරෙන කැබිනට් රැස්වීම ඇරඹේ

(14.03.2022 – 20:16 +0530 – hirunews.lk/sinhala)

බස් ගාස්තු අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීම සහ රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කෙරෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදියි.

බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව මෙම අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉහළ දමන ලද බස් ගාස්තු ඇතුළත් ලේඛනයක් අද පස්වරුවේ සිට සමාජ මාධ්‍යවල හුවමාරු වූ අතර, ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජාතික ගමනාගමන කොමිසන් සභාවේ සභාපති ශෂී වෙල්ගම කියා සිටියේ එවැනි ලේඛනයක් තම කොමිසන් සභාව මෙතෙක් නිල වශයෙන් නිකුත් කර නොමැති බවයි.

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු ඉහළ දැමීමක් හෝ ඉන්ධන සහනාධාරයක් අවශ්‍ය බව බස් සංගම් කළ ඉල්ලීමක් අනුව ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ ඊයේ (13) සාකච්ජාවක් පැවත්වුණා.

එහිදී යෝජනා කෙරුණේ අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් (2) හෝ තුනකින් (3) ඉහළ දැමීමටයි.

එම ගාස්තු සංශෝධනය පිළිබඳව මේ වනවිට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල හමුවෙන් පසු ප්‍රකාශයට පත් කරන බවයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කළේ.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමුව ද ප්‍රදේශ රැසක තවමත් ඉන්ධන හිඟයක් පවතිනවා. අද (14) දිනයේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වී තිබුණේ ද තරමක් අඩුවෙන්.

මේ අතර ප්‍රදේශ රැසක පිරවුම් හල් අසළ තවමත් දිගු පෝළිම් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළා.

මේ අතර අඩු මිලට බොරතෙල් ලබාදීමට රුසියාව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව ඉන්දියාව සළකා බලමින් සිටින බව වාර්තාවනවා. යුක්රේන ආක්‍රමණය හේතුවෙන් බටහිර රටවල දැඩි සම්බාධකවලට මුහුණදී සිටින රුසියාවේ බැංකු රැසක් ස්විෆ්ට් ජාත්‍යන්තර ගෙවුම් පද්ධතියෙන් ද ඉවත් කෙරුණා.

සිය බොරතෙල්වලින් සියයට 80 ක් පමණ ආනයනය කරන ඉන්දියාව රුසියාවෙන් මිලදී ගත්තේ ඉන් සියයට 2 ත් 3 ත් අතර ප්‍රමාණයක්.

එහෙත් සිය බලශක්ති වියදම් අඩුකරගැනීම සඳහා රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ලබාගැනීමට ඉන්දියාව පියවර ගනු ඇතැයි සඳහන්.

මෙහිදී ඩොලර් විනිමය වෙනුවට ඉන්දීය රුපියල් සහ රුසියානු රූබලය අතර ගනුදෙනු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද සළකා බලනු ඇති.

ශ්‍රී ලංකාවට ණය සහන ක්‍රමයක් යටතේ ඉන්ධන ලබාදීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව රුසියාවෙන් අඩු මිලට බොරතෙල් මිලදී ගතහොත් ශ්‍රී ලංකාවට ද එයින් වාසියක් අත්කරගත හැකියි.

මේ අතර ප්‍රදේශ රැසක අද (14) දිනයේත් ගෑස් පෝළිම්ද පැවතියා. එසේම භූමිතෙල් නොමැතිකමින් බොහෝ පිරිසක් දුෂ්කරතාවට පත්ව ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර ඉන්ධන අර්බුදය හමුවේ විදුලි උත්පාදනයට එල්ල වී ඇති බාධා හේතුවෙන් අදත් පැය තුනකට (3) අධික විදුලි කප්පාදුවක් ක්‍රියාත්මකයි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ අම්බලන්තොට නගර මධ්‍යයේදී අද (14) විරෝධතාවක නිරතවුණේ තෙල්, විදුලි අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස බල කරමින්.

මේ අතර හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන නීතීඥ විජිත පුංචිහේවා අද (14) පෙරවරුවේ ඇඹිලිපිටිය අධිකරණ සංකීර්ණයට පාපැදියෙන් පැමිණියේ නීතීඥ ගාස්තු වැඩි කර ජනතාව තවත් පීඩාවට පත්කළ නොහැකි බව පවසමින්.

කෙසේ වෙතත් අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වූ බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ කියා සිටියේ බස් හා කන්ටේනර් රථ සඳහා ඉදිරියේදි සහනයක් ලබාදීම පිළිබඳ සාකච්ඡා කරන බවයි.

++++++++

බස් ගාස්තුව නැංවීමට කැබිනට් අනුමැතිය

(14.03.2022 – 21:13 +0530 – hirunews.lk/sinhala)

අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සහ පෞද්ගලික බස් රථ සේවාවට අයත් සියලුම බස් රථවල ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා.

මෙම නව මිල සංශෝධනයේ දී සෙසු මගී ප්‍රවාහනය සිදු කෙරෙන විවිධ වර්ගවල බස් සේවාවල ද ගාස්තු සියයට 15කින් ඉහළ දැමීමටයි කැබිනට් අනුමැතිය හිමි වුණේ.

බස් ගාස්තු අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීම සහ රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කෙරෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම පස්වරුවේ ආරම්භ වූ අතර, එය පැවැත්වුණේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදියි.

එහිදීයි, අදාළ බස් ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමත කෙරුණේ.

ඉහළ දමන ලද බස් ගාස්තු පිළිබඳ ලේඛනයක් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් නිකුත් කෙරුණා.

++++++

++++++++++++++

පැය 3 කට අධික විදුලි කප්පාදුවකුත්

(14.03.2022 – 07:29 +0530 – hirunews.lk/sinhala)

අදත් (14) ඒ සිට එච් (A-H) දක්වා කලාපවලට පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා කාලය අතරතුර පැය දෙක හමාරක් සහ රාත්‍රියේ පැය එකයි කාලක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.

එමෙන්ම පී සිට ඩබ්ලිව් (P-W) දක්වා කලාපවලට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ පැය දෙකක් සහ පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය අතරතුර පැයක විදුලි කප්පාදුවක් සදහා ද අවසර ලබාදුන් බවයි එම කොමිසම සදහන් කළේ ෴

+++++

හෙටත් (15) විදුලිය කැපෙන්නේ අද (14) කාලසටහනට අනුවයි

(14.03.2022 – 18:47 +0530 – hirunews.lk/sinhala)

අද (14) දිනයේ දී විදුලි කප්පාදුව සිදු කළ ආකාරයට ම හෙට (15) දිනයේ දී ද විදුලි කප්පාදුව අදාළ වේලාවල දී සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව විදුලි කප්පාදුව සිදු කෙරෙන එම කාණ්ඩවලට අනුව අද (14) දිනයේ මෙන් හෙට (15) ද විදුලි සැපයුම අත්හිටවෙනු ඇති.

එම කාලසටහනට අනුව ‘ඒ සිට එච්’ (A-H) දක්වා කලාපවලට පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා කාලය අතරතුර පැය දෙක හමාරක් (2½) සහ රාත්‍රියේ පැය එකයි කාලක (1¼) විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.

එමෙන්ම ‘පී සිට ඩබ්ලිව්’ (P-W) දක්වා කලාපවලට පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය තුළ පැය දෙකක් (2) සහ පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය අතරතුර පැයක (1) විදුලි කප්පාදුවක් සදහා ද අවසර ලබාදුන් බවයි එම කොමිසම සදහන් කළේ ෴

++++++++++++++

ජීවන වියදම දරන්න බෑ – මිනිස්සු පාරට එති !

(14.03.2022 – 10:05 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල වැඩි කිරිම සහ ජිවන වියදම ඉහළ යාමට විරෝධය පාමින් ගිනිගත්හේන ප්‍රදේශයේ දි ගම්වාසින් පිරිසක් උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

වැඩි කළ ඉන්ධන මිලට සහ ජිවන වියදම ඉහළ යාමට විරෝධය පාමිනු යි ගිනිගත්හේන රංජුරාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් (13) දින මෙසේ උද්ඝෝෂණයක නිරත වී ඇත්තේ.

ඔවුන් ඩීසල් බූලි අතැති ව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උදඝෝෂණයේ නිරත වී ඇති බව වාර්තා වනවා.

උද්ඝෝෂණයේ නිරත ව සිටි පිරිස කියා සිටියේ, ඉන්ධන මිල වැඩි කිරිම හමුවේ දෛනික ආදායමක් සොයාගෙන ජිවත් වු ජනතාවට ජිවන බර ඉහළ යාම නිසා දැඩි පිඩාවකට පත් වී සිටින බවයි.

++++++++++++++

පාසල් ප්‍රවාහන ගාස්තු සියයට 40 කින් වැඩි කිරීමේ සූදානමක්

(14.03.2022 – 13:13 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහල දැමූ පසුව ද තවමත් පවතින හිඟය හේතුවෙන් ප්‍රදේශ රැසක ඉන්ධන ලබා ගැනීමට දිගු පෝළිම් පවතින බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඉන්ධන අර්බුදය හමුවේ විදුලි උත්පාදනයට එල්ල වී ඇති බාධා හේතුවෙන් අදත් පැය තුනකට (3) අධික කාලයක් විදුලිය කප්පාදු කිරීමට නියමිත යි.

මේ අතර ඉන්ධන මිල ඉහල දැමීමත් සමඟ බස් ගාස්තු ඉහළ දැමීමක් හෝ ඉන්ධන සහනාධාරයක් අවශ්‍ය බව බස් සංගම් කළ ඉල්ලීමක් අනුව ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ ඊයේ (13) පැවති සාකච්ජාවේ දී යෝජනා කෙරුණේ අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් (2) හෝ තුනකින් (3) ඉහළ දැමීමට යි.

එම ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

එමෙන්ම ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂ ව පාසල් ළමයින් ප්‍රවාහන ගාස්තු ද ඉහල දමන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති හරිස්චන්ද්‍ර පද්මසිරි සඳහන් කළා.

++++++++++++++

වසර අවසන් වන විට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 1000 ක් දෙනවා – විදුලිබල ඇමති පවිත්‍රා වන්නිආරච්චි

(14.03.2022 – 16:02 +0530 – hirunews.lk/sinhala)

මෙරට උද්ගතව පවතින විදුලිබල අර්බුදයට කඩිනම් විසඳුම් ලෙස විශාල වශයෙන් අවශ්‍ය පරිදි විදුලිය උත්පාදනයට කටයුතු කිරීම සඳහා කාර්ය සාධක බලකායක් ප්‍රමුඛ කමිටුවක් පත් කර, ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගන්නා බව විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

එමෙන්ම මෙම වසර අවසානයේ දී ජාතික විදුලිබල පද්ධතියට අවශ්‍ය කරන විදුලිය මෙගාවොට් 1000 ක් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.

අද (14) පස්වරුවේ කැලණිතිස්ස විදුලි බලාගාරය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි අමාත්‍යවරිය මේ බව කියා සිටියේ.

පසුගිය පාලන සමයේ දී කිසිදු ලෙසකින් රටට අවශ්‍ය කරන විදුලි බලාගාර හෝ පවතින විදුලි බලාගාර නවීකරණය කිරීම හෝ සිදු නොවීම මත මෙවන් විදුලි අර්බුදයක් හටගෙන ඇති බව ද අමාත්‍යවරිය පෙන්වා දුන්නා.

***************************************

කෙටවල ඇනිකට්ටුවේ ඛේදවාචකය

(14.03.2022 – 19:03 +0530 – hirunews.lk/sinhala)

පාසල් යන බව පවසමින් නිවසින් බැහැරව ගොස් මිතුරන් පිරිසක් සමග ගම්පහ දාරළුව කෙටවල ඇනිකට්ටුව අසල මත්පැන් පානය කරමින් සිටිය දී හදිසියේයේ දියට ඇද වැටුණු තරුණයෙකු සැඩ පහරේ ගසාගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා.

මෙලෙස මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ ගම්පහ වීරඟුල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවෙක්.

ඔහු සිය මිතුරන් පිරිසක් සමග මෙම ඇනිකට්ටුව අසල මත්පැන් පානය කරමින් විනෝද වෙමින් සිටි අතරවාරයේ යි මෙම අනතුරු සිදුවී ඇත්තේ.

මෙම තරුණයාගේ මළසිරුර ඔහු දියට වැටුණු ස්ථානයේ සිට මීටර 500 ක් පමණ පහළින් තිබිය දී සොයාගැනීමට ප්‍රදේශවාසීන්ට හැකියාව ලැබුණා.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ඇනිකට්ටුව අසල අනාරක්ෂිතව ගැවසීම අතිශය භයානක කරුණක් බවයි.

එහි ගලායන සැඩ පහර හේතුවෙන් මීට පෙරත් ජීවිත හානි රැසක් සිදු වී ඇති බව ඔවුන් පවසා සිටියා.

***************************************

ළමා නිවාසයේ දරුවාගේ රහස් ප්‍රදේශයට පාලිකාව මිරිස් කුඩු දමා ඇති බව අධිකරණයේ දී හෙළිවේ

(14.03.2022 – 20:19 +0530 – hirunews.lk/sinhala)

දිවුලපිටිය – කඩවල ප්‍රාදේශයේ ළමා නිවාසයක අධිකරණ නියමයෙන් රදවා සිටින අවුරුදු 9 ක පිරිමි දරුවෙකුගේ රහස් ප්‍රදේශයට අදාළ ළමා නිවාසයේ පාලිකාව විසින් මිරිස් කුඩු දැමීම නිසා රෝගාතුර වූ එම දරුවා මීගමුව රෝහලට ඇතුලත් කර ඇතැයි දිවුලපිටිය පොලිසිය මිනුවන්ගොඩ අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

එම දරුවාට රාත්‍රී කාලයේ දී නින්දෙන් මූත්‍ර පිටවීම සිදුව ඇති අතර, ඊට උරණ වී ඇති ළමා නිවාසයේ පාලිකාව දරුවා පහළ නාන කාමරයට රැගෙන ගොස් මෙලෙස රහස් ප්‍රදේශයට මිරිස් කුඩු දමා ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

එම ළමා නිවාසයේ දරුදැරියන්ට අනිසි බලපෑමි හා පීඩන සිදු කරන බවට තොරතුරු ලැබී ඇති නිසා වැඩිදුරටත් විමර්ශන සිදු කරන බවයි දිවුලපිටිය පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළ බවයි අප වාර්තාකරු කියා සිටියේ.

රෝහල්ගත කර සිටින දරුවාගේ සහ ළමා නිවාසයේ සෙසු දරුවන්ගේ ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස අධිකරණය පොලිසියට නියම කර තිබෙනවා.

එසේම යම් වරදක් සිදු වී ඇත්නම් අදාළ පාලිකාවට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ද අධිකරණය නියම කළා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *