අද (14) සිට පාසල් සාමාන්‍ය පරිදි

අද (14) සිට පාසල් සාමාන්‍ය පරිදි

*********************************************

අද (14) සිට පාසල් සාමාන්‍ය පරිදි

(14.03.2022 – 07:25 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලු පාසල්වල සිසුන් අද (14) සිට සාමාන්‍ය පරිදි පාසල් වෙත කැදවා තිබෙනවා.

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා පසුගිය දා චක්‍රලේඛයක් නිකුත් කරමින් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කෙරුණා.

කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් යම් ගැටලුකාරි තත්ත්වයක් ඇතිවුවහොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකගේ අනුමැතිය යටතේ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවයි අදාළ චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත්තේ.

කෙසේ වෙතත් කොරෝනා වසංගත තත්වය තවදුරටත් පහව නොමැති හෙයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම සම්බන්ධයෙන් සිසු සිසුවියන් අවධානය යොමුකළ යුතු බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කළා.

මේ අතර, පාසල් වෙත සාමාන්‍ය පරිදි සිසුන් කැදවීමත් සමග සිසුන්ට අවශ්‍ය ප්‍රවාහන සේවා සැපයීමට ලංගම සිසු සැරිය බස් රථ සියල්ල ධාවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස ප්‍රකාශ කළා ෴

***************************************

මෛත්‍රී ඉවත් වන්නේ නම් සන්ධානගත වෙනවා – වෙල්ගම

(14.03.2022 – 07:31 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම පක්ෂයේ, සභාපතීත්වයෙන් ඉවත් වන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම නායකත්වය දරණ නව ලංකා නිදහස් පක්ෂය, නිදහස් පක්ෂ සමග සන්ධානගත වන බව එහි ලේකම් තිලක් වරාගොඩ ප්‍රකාශ කළා.

කැලණියේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ, නිදහස් පක්ෂ සභාපතිවරයා කෙරෙහි කිසිදු විශ්වාසයක් තම පක්ෂයට නොමැති බවයි ෴

***************************************

සෞදි විදේශ ඇමති දිවයිනට

(14.03.2022 – 07:34 +0530 – hirunews.lk/sinhala)

සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුඩ් එක්දින නිල සංචාරයක් සඳහා අද (14) අලුයම 01:20 ට දිවයිනට පැමිණියා.

ඔහුත් සමඟ එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 18 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි කටුනායක ගුවන් තොටුපොළ හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අද (14) දිවයිනට පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔහු හෙට (15) දිනයේ ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවයි එහි දැක්වෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ මූල්‍ය තක්සේරුව පිළිබදව එහිදී ජනාධිපතිවරයා, දැනුවත් කිරීමට නියමිත බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සදහා වන මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානී මසහිරෝ නොසාකි රොයිටර් පුවත් සේවයට සදහන් කර ඇත්තේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අද (14) මෙලෙස දිවයිනට පැමිණෙන්නේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්ථික අර්බුදයට සහාය ලබාගැනීම සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලබන මාසයේ දී නිළ සාකච්ඡා පැවැත්වීමට නියමිත ව ඇති පසුබිමක යි ෴

++++++

සෞදි අරාබියේ විදේශ කටයුතු ඇමති ජනපති – අගමැති සහ විදේශ ඇමති හමුවෙයි

(14.03.2022 – 17:57 +0530 – hirunews.lk/sinhala)

මෙරට සංචාරයක නිරත සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුඩ් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හමු වී තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ඔහු ඉන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ද හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක් සිදුකළ බවයි.

එහිදී සෞදි විදේශ අමාත්‍යවරයා පිළිගත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රතිඵල මත පදනම් වූ බහුවිධ හවුල්කාරීත්වයක් බවට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ පවතින දැඩි උද්යෝගය පිළිබඳ සඳහන් කර තිබෙනවා.

මේ වනවිට දෙරට අතර පවතින ඉහළ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබි රජය සතු කැපවීම පිළිබඳව සෞදි විදේශ අමාත්‍යවරයා මෙහිදී නැවත අවධාරණය කළ බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ.

***************************************

රන් මිලේ සුළු අඩුවීමක්

(14.03.2022 – 07:41 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු අඩුවීමක් මේ වනවිට දක්නට ලැබෙනවා.

රන් අවුන්සයක මිල මේ වනවිට සටහන් වන්නේ ඩොලර් 1980.21 ක් ලෙසයි.

ඊයේ (13) රන් අවුන්සයක මිල ඩොලර් 1988.18 ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 0.52 ක අඩු වීමක් ෴

***************************************

සංවර්ධන නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරයි

(14.03.2022 – 07:53 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතාව, උසස්වීම්, දීමනා ඇතුළු ඉල්ලීම් 9 ක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරී අද (14) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා.

සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි ප්‍රකාශ කළේ, එලෙස අසනීප නිවාඩු වාර්තාකරන සියලු ම සංවර්ධන නිලධාරීන් දිවයින පුරා දිස්ත්‍රික්ක 17 ක උද්ඝෝෂණවල නිරතවීමටද සැළසුම් කර ඇති බවයි ෴

***************************************

උසස් පෙළ සිංහල ප්‍රශ්න පත්‍රයේ ලකුණු දීමේ වරදක් නිසා හිමි නමක් මානව හිමිකම් කොමිසමට

(14.03.2022 – 08:07 +0530 – hirunews.lk/sinhala)

පසු ගිය දා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රයේ ලකුණු දීමේ පටිපාටියේ වැරදි පිළිතුරක් නිවැරදි පිළිතුර ලෙස දක්වා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ස්වාමින් වහන්සේ නමක් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

අ.පො.ස. උසස් පෙළ සිංහල I සාහිත්‍යය ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නයක් වන අංක 01 ප්‍රශ්නයේ ඉ කොටසේ iii වැනි අනුප්‍රශ්නයෙහි ලිහිල් බසින් ලිවීමට දී ඇති ‘ත්‍රිමද ගලිත’ යන්නට ලකුණු දීමේ පටිපාටියේ දී ඇති පිළිතුර මේ ගැටලුවට මුල් වී ඇති බව වාර්තා වනවා.

ලකුණු දීමේ පටිපාටියේ සඳහන් ‘තුන් තැනකින් (දෙකන් සහ ලිඟු) මද (ජලය) ගලන’ යන පිළිතුර සාවද්‍ය බවත් නිවැරැදි පිළිතුර වන්නේ ‘තුන් අවස්ථාවක දී මදය ගැලූ’ යන්න බවත් තමන් වහන්සේ පෙන්වා දුන්න ද එය නිවැරැදි කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු නො කිරීම නිසා තමන් වහන්සේ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කළ බව එම හිමියන් හිමියන් පවසනවා.

මෙසේ වැරදි පිළිතුරක් ලකුණු දීමේ පටිපාටියට ඇතුළත් කර ඊට ලකුණු ලබා දීම හේතුවෙන් නිවැරදි පිළිතුර ලියූ සිසුන්ට ලකුණු අහිමි වීමෙන් ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බව යි උන් වහන්සේ වැඩි දුරටත් සඳහන් කරන්නේ.

උසස් පෙළ වැනි අතිශය තරගකාරි විභාගයක දී එක ලකුණකින් වුව ද සිසුන්ට සරසවි වරම් අහිමි විය හැකි යි.

මෙම ප්‍රශ්නයට අදාළ පිළිතුර වැරදි බවට විද්වත් පිරිස විසින් කළ ප්‍රකාශ පිළිබඳ ඇතැම් පුවත් පත්වල ද සඳහන් වී තිබූ ආකාරය දැකගත හැකි යි.

මේ පිළිබඳ අප කළ විමසීමක දී නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා පවසා සිටියේ, එවැනි තත්ත්වයක ඇති බරපතළ තත්ත්වය ඔවුන් දන්නා බවත් කිසිදු සිසුවෙකුගේ එක් ලකුණක් හෝ අඩු නො වීමට වග බලා ගන්නා බවත් ය ෴

***************************************

ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ 39 දෙනෙකු අත්අඩංගුවට

(14.03.2022 – 09:20 +0530 – hirunews.lk/sinhala)

වෙන්නප්පුව – වයික්කාල ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ 39 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (13) දහවල් මෙම වැටලීම සිදු කර ඇත්තේ, වෙන්නප්පුව පොලිසියට ලද තොරතුරක් මත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී අයිස්, සහ හෂීස් මත්ද්‍රව්‍ය, ගංජා සහ මත්පෙතිද සොයාගෙන තිබෙනවා.

වයස අවුරුදු 20 ත් 30 ත් අතර පසුවන සැකකරුවන් ඊයේ (13) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද් දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ෴

***************************************

සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සංචාරක පොලිස් ස්ථාන වැඩි කෙරේ

(14.03.2022 – 09:22 +0530 – hirunews.lk/sinhala)

මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ස්ථාපිත කර ඇති විශේෂ සංචාරක පොලිස් ස්ථාන සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ, මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් අයථා ලෙස මුදල් ලබා ගැනීම් හා ඔවුන් විවිධ රැවටීම්වලට ලක් කිරීම් සම්බන්ධයෙන් පොලීසියට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි.

මේ වන විටත් විශේෂ සංචාරක පොලිස් ස්ථාන 15 ක් රට පුරා ස්ථාපිත කර තිබෙනවා.

සංචාරකයින් බහුලව ගැවසෙන ස්ථාන ආශ්‍රිත ව මෙම නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීමට නියමිතයි.

දකුණු පළාතේ මිරිස්ස, නාරිගම, නුවරඑළිය, පින්නවල සහ ඇල්ල ආදී ප්‍රදේශවල මෙම විශේෂ සංචාරක පොලිස් ස්ථාන පිහිටුවා ඇති අතර, ඉදිරියේ දී ඒවා කොට්ඨාසබඳ පොලිස් සංචාරක කාර්යාංශ ලෙස නම් කරන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා ෴

***************************************

ගොඩවැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව තහනම් කරයි

(14.03.2022 – 10:30 +0530 – hirunews.lk/sinhala)

ගොඩවැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව තහනම් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් ලබාදී තිබෙනවා.

ගොඩවැලි කැණීම් මගින් දැවැන්ත පරිසර හානියක් සිදුවන බවට වාර්තා ලැබීම මීට හේතුවයි.

අම්බලන්තොට – වලේවත්ත ගම්මානය මෙලෙස ගොඩවැලි කැණීම් නිසා මුළුමනින්ම පාහේ විනාශ වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම වගා කළ හැකි කුඹුරු ඉඩම් මෙන්ම පොල් ඉඩම් වැනි ආර්ථික වගාවන් සහිත ඉඩම් පවා වැලි කැණීම් නිසා විනාශ වී ඇති බව නිරීක්ෂණය කර ඇති කරුණක්.

මේ නිසා භූ විද්‍යා හා සමීක්ෂණ කාර්යාංශය මගින් විශේෂ කණ්ඩායමක් යොදවා පුළුල් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාගැනීමට කටයුතු යොදා ඇති බවද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

එම වාර්තාවේ නිර්දේශ අනුව ඉදිරි පියවර තීරණය කිරීමට නියමිතයි.

***************************************

වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් සන්ධානයෙන් ඉල්ලීමක්

(14.03.2022 – 10:52 +0530 – hirunews.lk/sinhala)

ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානම පිළිබඳව ජනතාව දැනුවත් කරන ලෙස වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ බෙදාහැරීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමනගෙන් ඉල්ලීමක් කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරන ඔවුන් සඳහන් කළේ, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ දැනට පවතින ඖෂධ සැපයුම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් මාධ්‍ය සහ වෘත්තිය සමිති ඉදිරිපත් කර ඇති තොරතුරු අනුව ඉදිරි කාලයේ දී ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බවයි.

ඇතැම් පුද්ගලයින් ඖෂධ විශාල වශයෙන් ගබඩා කරගැනීම ආරම්භ කර ඇති අතර, මෙම තත්ත්වය හමුවේ මුදල් නො මැති දුප්පත් පුද්ගලයින්ට ඉදිරි කාලයේ දී සිය රෝගාබාධ තත්ත්වයන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව එම සමිති සන්ධානය අවධාරණය කරනවා.

මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන පවතින ඖෂධ තොග රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ සමාන ලෙස ජනතාවට ලබාගත හැකි අන්දමට බෙදියාමේ වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙසයි ඔවුන් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනගෙන් ඉල්ලා සිටින්නේ ෴

***************************************

ඩෙංගු වැලඳී මිය ගිය සිසුවෙක් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙයි

(14.03.2022 – 12:02 +0530 – hirunews.lk/sinhala)

ඩෙංගු රෝගය වැලදී ජීවිතක්ෂයට පත්වූ දරුවෙකු ලකුණු 155 ක් ලබාගෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

පසුගිය පෙබරවාරී 14 වන දා මෙලෙස ඩෙංගු උණ වැළදී මියගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි වසන්දන් අජේ නැමති දරුවෙකුයි.

ඔහු මීසාලේ වීරසිංගම් ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබා තිබෙනවා.

2021 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (13) නිකුත් වූ අතර, ඊට අදාළ කඩඉම් ලකුණු ද ප්‍රකාශයට පත් කෙරුණා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රතිඵල සකස් කිරීමේ දී දිස්ත්‍රික්ක මට්ටමින් හෝ දිවයින මට්ටමින් නිකුත් නොකරන බවයි.

කෙසේ නමුත් ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි යාපනය – කොක්කුවිල් හින්දු ප්‍රාථමික විද්‍යාලයේ තමිල් සෙල්වම් කජලක්ෂන් සිසුවා ලකුණු 198 ක් ලබාගෙන ඇති බවට ද වාර්තා වුණා ෴

***************************************

හිටපු ඇමති වාසුදේව නිල නිවස භාර දෙයි

(14.03.2022 – 12:25 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් නියෝජනය කරන ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර තම රාජකාරි වාහන සහ නිල නිවාස සියල්ල ජලසම්පාදන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම වෙත අද (14) භාර දී තිබෙනවා.

තමා අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම් වර්ජනය කිරීමත්, අමාත්‍යාංශයේ රාජකාරිවලින් ඉවත්වීමත් නිසා තවදුරටත් වාහන අනෙකුත් පහසුකම් ලබාගැනීම සදාචාරාත්මක නොවන බැවින් එම තීරණයට එළඹි බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එසේ ම ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ නුවරඑළිය – කොත්මලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් තමන් අද (14) ඉල්ලා අත්වූ බවයි.

මේ අතර, කොතරම් බාධා සහ අභියෝග එල්ල වුවත් සිය සටන අත්නොහරින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

සිය ඉදිරි සැලසුම් ප්‍රකාශයට පත් කිරීම සඳහා කොළඹ අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ ෴

***************************************

බඹර ප්‍රහාරයකින් ඇතිමලේ විදුහලේ සිසුන් හැට දෙදෙනෙකු රෝහල්ගත කෙරේ

(14.03.2022 – 12:54 +0530 – hirunews.lk/sinhala)

බඹර ප්‍රහාරයක් හේතුවෙන් මොණරාගල – ඇතිමලේ මහා විද්‍යාලයේ සිසුන් හැට දෙදෙනෙකු (62) සහ ගුරුවරුන් තුන්දෙනෙකු (3) තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ, අද (14) පෙරවරුවේ පාසලේ පිහිටි බඹර කූඩුවක් කඩාවැටීමෙන් ඔවුන් මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

තුවාල ලැබූවන් මේ වනවිට ඇතිමලේ ග්‍රාමීය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, පාසලේ විදුහල්පතිවරයා ද ඒ අතර සිටින බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ ෴

***************************************

බොරැල්ල දේවස්ථාන අත්බෝම්බ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

(14.03.2022 – 12:59 +0530 – hirunews.lk/sinhala)

බොරැල්ල සියලු‍ සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින විශ්‍රාමික වෛද්‍යවරයෙකු වන ෂර්ලි හේරත් ඇතුළු තුන්දෙනා ලබන 29 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද (14) කැඳවනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඉදිරියේයි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් සම්බන්ධයෙන් පීඩාකාරී ආයුධ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ විමර්ශන සිදු කෙරෙන බව සඳහන් කළා.

විමර්ශන කටයුතු අවසන් කොට අධිකරණය වෙත කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් සහකාර පොලිස් අධිකාරීවරයා ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරුවන් ලබන 29 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කළ අතර එදින ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා ෴

***************************************

වන අලි ප්‍රහාරයකින් හිමිනමක් අපවත් වෙයි

(14.03.2022 – 13:02 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ – මඩුගස්තලාව ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩවිසූ භික්ෂූන් වහන්සේ නමක් වන අලි ප්‍රහාරයකට ලක්ව අපවත්වුණා.

පොලීසිය ප්‍රකාශ කළේ, අද (14) උදෑසන පිණ්ඩපාතය සඳහා වැඩම කරමින් සිටිය දී උන්වහන්සේ වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

එහි දී බරපතළ තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව 54 හැවිරිදි උන්වහන්සේ අපවත් වී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *