පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

*********************************************

පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

(13.03.2022 – 20:56 +0530 – hirunews.lk/sinhala)

ඒ අනුව ඔබට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකියි.

+ http://www.results.exams.gov.lk/

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (12) රාත්‍රිය වනවිට නිකුත් කරන ලෙස නියෝග කිරීමට බලාපොරොත්තු වන බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගාල්ල – පිටිගල ප්‍රදේශයේ ඊයේ (12) පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ.

පසුගිය ජනවාරි 22 වැනිදා පැවති 2021 – පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 3,40,508 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2,943 කදී පෙනී සිටියා.

එමෙන්ම මෙවර කිසිදු අයුරකින් ශිෂ්‍යත්ව විභාගයේ දිස්ත්‍රික් හෝ දිවයිනෙන් තරාතිරම නොබලන බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ප්‍රතිඵල නිකුත් කිරීමේ දී අපේක්ෂකයා ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව දිස්ත්‍රික්කය හා මාධ්‍යය අනුව අදාළ කඩයිම් ලකුණු සමග සඳහන් කෙරෙනු ඇති.

එමෙන්ම අදාළ ප්‍රතිඵල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ක්ෂණික දූරකථන ඇමතුම් අංකයක් ලෙස 1911 හඳුන්වා දී තිබෙනවා.

තව ද, පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ දූරකථන අංක ලෙස 011 278 4208 / 011 278 4537 / 011 278 6616 සහ 011 314 0314 යන අංක ද ලබා දී ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

+

***************************************

2019 න් පසු විදේශ සංචිත 79% කින් පහළට

(13.03.2022 – 08:50 +0530 – hirunews.lk/sinhala)

මෙරට විදේශ සංචිත 2019 වසරේ සිට 2021 දක්වා කාලය තුළ සියයට 79 කින් පහත වැටී ඇති බව අනාවරණ වනවා.

එමෙන්ම එම කාලය තුළ ආසියාකරයේ අනෙකුත් අසල්වැසි රටවල විදේශ සංචිත ඉහළ යාම විශේෂත්වයක්.

‘පබ්ලික් ෆයිනෑන්ස්’ වෙබ් අඩවිය සඳහන් කරන පරිදි වසර දෙකක් (2) තුළ මෙලෙස මෙරට විදේශ සංචිත සියයට 79 කින් පහත වැටෙද්දී බංග්ලාදේශයේ විදේශ සංචිත සියයට 41 කින් වර්ධනය වී තිබෙනවා.

ඉන්දියාවේ විදේශ සංචිත සියයට 39 කින්ද, භූතානයේ සියයට 35 කින් ද, පාකිස්ථානයේ සියයට 33 කින් ද ඉහළ ගොස් ඇති අතර, පිලිපීනයේ විදේශ සංචිත එම කාලය තුළ ඉහළ ගොස් ඇත්තේ සියයට 24 කින් ෴

***************************************

කච්චතිව් මංගල්‍යයට ඉන්දියානු බැතිමතුන් 100 ක් පැමිණෙයි

(13.03.2022 – 09:02 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දින දෙක (2) තුළ කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ පැවති වාර්ෂික මංගල්‍යය සඳහා ඉන්දියානු බැතිමතුන් 100 දෙනෙකු පමණ සහභාගි වූ බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.

ශ්‍රී ලංකා පාර්ශවයෙන්ද ඊට සමාන බැතිමතුන් පිරිසක් සහභාගි වූ අතර, යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් රාකේෂ් නටරාජ් ද විශේෂ ආරාධිතයෙකු ලෙස ඊට සහභාගි වූ බවයි එමඟින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා විසින් බැතිමතුන් පිළිගත් අතර, ශාන්ත අන්තෝනි මුනිතුමන් වෙනුවෙන් විශේෂ දේව මෙහෙය ඊයේ (12) පවත්වා තිබෙනවා.

සාම්ප්‍රදායික මංගල්‍යය ඉන් පසු පැවැත්වුණේ දේවස්ථානයේ ධජය එසවීමෙන් අනතුරුවයි.

2020 වසරේදී කච්චතිව් වාර්ෂික මංගල්‍යය සඳහා ඉන්දීය බැතිමතුන් තුන්දහසක් (3000) පමණ සහභාගිවූ අතර, කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ මංගල්‍යය සිදුකර නැහැ.

මේ වසරේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව බැතිමතුන් සීමිත පිරිසකට කච්චතිව් වාර්ෂික මංගල්‍යය සඳහා සහභාගිවීමට ඉඩ සලසා දී තිබුණා ෴

***************************************

මිලියන 84 කට අධික කේරළ ගංජා තොගය – සැකකරුවන් පස් දෙනෙකුත් කොටු වෙයි

(13.03.2022 – 09:20 +0530 – hirunews.lk/sinhala)

මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ රුපියල් මිලියන 84 ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ 570 ක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු මීගමුව – මංකුලිය පාලම ධීවර තොටුපලේ දී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ රාමේෂ්වරන් සිට මුහුදු මාර්ගයෙන් මෙම සැකකරුවන් කලක් තිස්සේ මෙම කේරළ ගංජා ප්‍රවාහනය සිදුකර ඇති අතර, ඒ සඳහා යොදාගත් යාත්‍රාවේ සූක්ෂ්ම ලෙස සඟවා තිබිය දී කේරළ ගංජා තොගය හමු වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා (5) මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

මේ අතර මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ විශාලතම කේරළ ගංජා තොගය වන රුපියල් හත්කෝටි විසි අට ලක්ෂයකට (7,28,00,000) අධික කේරළ ගංජා කිලෝ 570 ක් මෙරටට රැගෙන ආ සැකකරුවන් 5 දෙනා වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දී තිබෙනවා.

***************************************

බංග්ලාදේශ හිමිනමක් මහරගම දී පැහැරගනියි

(13.03.2022 – 11:39 +0530 – hirunews.lk/sinhala)

පිළියන්දල – මඩපාත ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටි බංග්ලාදේශ ජාතික භික්ෂූන් වහන්සේ නමක් පැහැරගෙන ගොස් තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් ඊයේ (12) දහවල් මහරගමදී භික්ෂූන් වහන්සේ පැහැරගෙන ගොස් ඇති බවයි.

කිසියම් පැමිණිල්ලක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම බංග්ලාදේශ ජාතික භික්ෂූන් වහන්සේ වැඩම කරමින් සිටියදී සැකකරුවන් උන්වහන්සේගේ මුහුණ ආවරණය කර පැහැරගෙන ගොස් ඇති බව සඳහන්.

අනතුරුව සැකකරුවන් භික්ෂූන් වහන්සේ හාලිඇල ප්‍රදේශයේදී අතහැර දමා ගොස් ඇති අතර, එහිදී ත්‍රිරෝද රථ රියදුරෙකු පොලීසියට සිදුකළ දැනුම්දීමකට අනුව හිමිනම සොයාගෙන තිබෙනවා ෴

***************************************

සංවර්ධන නිලධාරීන් හෙට (14) අසනීප නිවාඩු

(13.03.2022 – 12:55 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතාව, උසස්වීම්, දීමනා ඇතුලු ඉල්ලීම් 9 ක් මුල් කරගනිමින් හෙට (14) දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට සංවර්ධන නිලධාරීන් තීරණ කර තිබෙනවා.

සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි ප්‍රකාශ කළේ එලෙස අසනීප නිවාඩු වාර්තාකරන සියලුම සංවර්ධන නිලධාරීන් දිවයින පුරා දිස්ත්‍රික්ක 17 ක උද්ඝෝෂණවල නිරතවීමට ද සැලසුම් කර ඇති බවයි.

රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් ඇතුලු උපාධිධාරීන්ගේ වැටුප් විෂමතාව නිවැරදි කර උපාධියට සමාන වැටුපක් ලබාදීම, උසස්වීම් පටිපාටිය ක්‍රියාත්මක කිරීම, සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, ගමන් වියදම් දීමනා ඉහළ දැමීම, 2016 සිට අහිමි කර ඇති පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි ලබාදීම ඔවුන්ගේ ඉල්ලීම් අතර වනවා.

එම ඉල්ලීම් සඳහා පිළිගත හැකි කාලසීමාවක් තුළ විසඳුමක් නොලැබුණහොත් අඛණ්ඩ විරෝධතාවකටද අවතීර්ණ වන බව සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි ප්‍රකාශ කළා ෴

***************************************

ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් විකිණීමේ ජාවාරමක් හෙළිවෙයි

(13.03.2022 – 12:56 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ඔප්පු සකස් කර ඉඩම් විකිණීමේ ජාවාරම් සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

රුපියල් කෝටියකට (1,00,00,000) අධික වටිනාකමකින් යුත් ඉඩම් සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය සඳහා 2021 වසරට පැමිණිලි 180 ක් ලැබී ඇති බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම මේ වසරේ මේ දක්වා කාලය තුළ එම ඒකකයට පැමිණිලි 31 ක් ලැබී තිබෙනවා.

රුපියල් කෝටියකට අඩු වටිනාකමින් යුත් ඉඩම් සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථානවල විශේෂ අපරාධ ඒකකය මගින් පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

ඉඩම් මිල දී ගැනීමේ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ඔහු ඉල්ලීමක් ද කළා ෴

***************************************

පාසල්වලට ජල බිල්පත් ඍජුවම ගෙවීමට සිදුවෙලා – ලංකා ගුරු සංගමය

(13.03.2022 – 12:59 +0530 – hirunews.lk/sinhala)

පාසල්වල ජල බිල්පත් සෘජුවම අදාළ පාසල විසින් ජල සම්පාදන මණ්ඩලය වෙත ගෙවිය යුතු යැයි සඳහන් කරමින් විදුහල්පතිවරුන් වෙත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ලිපියක් යොමු කර ඇති බව, ලංකා ගුරු සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පවසන්නේ, එම ලිපියට අනුව ජනවාරී මාසයේ සිට ඉදිරියට ජල බිල්පත් පාසල විසින්ම ගෙවීමට සිදුව ඇති බවයි.

***************************************

ඩෙංගු අවදානම තවත් ඉහළ යයි ?

(13.03.2022 – 13:02 +0530 – hirunews.lk/sinhala)

රට තුළ ඩෙංගු අවදානම ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් පෙන්වා දෙනවා.

දිවයින පුරා සිදු කළ කීට විද්‍යා සමීක්ෂණ අනුව මදුරුවන් බෝවිය හැකි මදුරුජනන ස්ථාන විශාල ප්‍රමාණයක හමු වී ඇති බවයි, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංවිධානයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක සඳහන් කළේ.

ඒ අනුව ඉදිරියේ දී ඇති වන වර්ෂාපතනය හේතුවෙන් මෙරට තුළ මදුරු ඝණත්වය වැඩි විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ ෴

***************************************

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 100 ක ණයක්

(13.03.2022 – 13:04 +0530 – hirunews.lk/sinhala)

සාම්පූර් හි සූර්ය විදුලි බලාගාරය ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ ගිවිසුම පිළිබඳව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිල නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වෙන්නේ ඉන්දියාවේ එන්.ටී.පී.සී. සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් වන ‘ට්‍රින්කොමලී පවර් කොම්පැනි ලිමිටඩ්’ සඳහා ඒකාබද්ධ ව්‍යාපාර සහ කොටස්කරුවන්ගේ ගිවිසුම සඳහා පෙරේදා (11) අත්සන් තැබූ බවයි.

මෙගවොට් 100 ක සූර්ය විදුලි බලාගාරයක් මෙලෙස ඉදි කෙරෙන්නේ මීට පෙර ඉන්දියාව සමඟ හවුල් ව්‍යාපාරයක් ලෙස තාප විදුලි බලාගාරයක් පිහිටුවීමට සැළසුම් කළ ස්ථානයේ වීම විශේෂත්වයක්.

මෙරට සූර්ය බල ව්‍යාපෘති සංවර්ධනය සඳහා ඉන්දියාව විසින් ඩොලර් මිලියන 100 ක ණය පහසුකමක් ක්‍රියාත්මක කර ඇති බවද මහ කොමසාරිස් කාර්යාලය සිහිපත් කර තිබෙනවා ෴

***************************************

ප්‍රියන්ත කුමාර ඝාතනයේ සැකකරුවන් 89 දෙනෙකුට අධි චෝදනා

(13.03.2022 – 15:14 +0530 – hirunews.lk/sinhala)

පාකිස්ථානයේ සියල්කොට් නුවර දී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාරගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 89 දෙනෙකුට ලාහෝරයේ ත්‍රස්ත මර්දන අධිකරණය මගින් අධිචෝදනා ගොනුකර තිබෙනවා.

පාකිස්ථානයේ දැඩි මතධාරී ඉස්ලාමීය පක්ෂයක් වන ‘ටෙහෙරික් ඊ ලබ්බයික් පාකිස්ථාන්’ සංවිධානයේ ආධාරකරුවන් ඇතුලු 800 කට අධික පිරිසක් මෙලෙස ප්‍රියන්ත කුමාර පසුගිය වසරේ දෙසැම්බර් 03 වනදා ඝාතනය කර සිරුර පුළුස්සා දැමූයේ ඉස්ලාම් දහමට අපහසා කළ බවට චෝදනා කරමින්.

ලාහෝර් නුවර ත්‍රස්ත මර්දන අධිකරණයේ විනිසුරු නටාෂා නාසිම් සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට අධිචෝදනා ගොනුකළේ කොල් – ලක්පාට් නුවර ඊයේ (12) පැවති නඩු විභාගයේදියි ෴

***************************************

අමාත්‍ය මණ්ඩල අනුකමිටු ත්‍රිත්වය රැස්වෙයි

(13.03.2022 – 15:18 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටු ත්‍රිත්වය පළමු වරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්වී තිබෙනවා.

මෙරටට ආනයනය කරන, අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය ආහාර, අමුද්‍රව්‍ය සහ කාර්මික භාණ්ඩ සඳහා විකල්ප හඳුනා ගැනීමේ අරමුණිනුයි මෙම කමිටුව පත්කර ඇත්තේ.

අදාළ අනු කමිටු රැස්වීමේදී ආර්ථික ස්ථාවරත්වයක් ඇති කරගැනීම සඳහා මෙරට හවුල්කාර රටවලින් ඉල්ලුම් කළ හැකි හදිසි අවශ්‍යතා පිළිබඳ ලැයිස්තුවක් සියලුම අමාත්‍යාංශ සහ ආයතනවලින් ලබාගන්නා ලෙස අනුකමිටු විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා අදානි සමාගමෙන් ලැබෙන ඩොලර් මිලියන 500 ක ආයෝජනයට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අනුමැතිය හිමි වූ බව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතින් කඩිනම් කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ සභාපති අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළා ෴

***************************************

බීමත් පියෙකු ඝාතනය කළ පුතා කොච්චිකඩේ දී අත්අඩංගුවට

(13.03.2022 – 16:35 +0530 – hirunews.lk/sinhala)

පුතෙකු විසින් තම බීමත් පියා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් කොච්චිකඩේ – දිවුල්ගස් හංදිය – ගැමුණු මාවත ප්‍රදේශයෙන් වාර්තා වුණා.

බීමත්ව නිවසට පැමිණි පියාගේ හිරිහැර විඳ දරා ගත නොහැකිව පුතා විසින් අද (13) මෙලෙස ඝාතනය කර ඇති පියාගේ වයස අවුරුදු 45 ක්.

21 හැවිරිදි පුත්‍රයා මේ වනවිට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, බිරිඳගේ ගෙළ කපා ඝාතනය කර සිය දිවි හානි කර ගත් සැමියෙකු පිළිබද පුවතක් හලාවත – හාල්දඩුවන – දංවැල පාර ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

අද (13) පෙරවරුවේ කොස්වත්ත පොලීසියට ලද පැමිණිල්ලක් මත මිය ගොස් සිටි අඹු-සැමි යුවළගේ සිරුරු සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්ව ඇත්තේ 60 හැවිරිදි කාන්තාවක් වන අතර සිය දිවි හානි කරගෙන ඇත්තේ 65 හැවිරිදි අයෙක්.

සිය දිවි හානි කර ගත් ස්වාමි පුරුෂයා පොල්වත්තක මුරකරුවෙකු ලෙස සේවය කළ ඉඩමේ දීර්ඝ කාලයක සිට ජීවත්ව ඇති අතර, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *