අපනයන ඉපැයීම් ගැන මහබැංකු අධිපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

අපනයන ඉපැයීම් ගැන මහබැංකු අධිපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

*********************************************

අපනයන ඉපැයීම් ගැන මහබැංකු අධිපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

(12.03.2022 – 07:48 +0530 – hirunews.lk/sinhala)

අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සහ එම මුදල් රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාළ නව නීති හා රෙගුලාසි ගැසට් කර තිබෙනවා.

ඒ අනුව අපනයනය කරන ලද සියලු භාණ්ඩ හෝ මෙරටින් පිටතට සපයන ලද සේවාවලට අදාළ ඉපයීම්, භාණ්ඩ නැව්ගත කරන ලද දිනයේ සිට හෝ සේවාවන් සැපයූ දිනයේ සිට මාස හයක් (6) ඇතුළත ශ්‍රී ලංකාව වෙත අනිවාර්යයෙන්ම ගෙන්විය යුතු වනවා.

එසේම අපනයන ඉපයීම් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා සෑම අපනයනකරුවෙකුම මාසයක් (1) තුළ එම ආදායම් අවසර ලත් ගෙවීම් සඳහා පමණක් භාවිතයෙන් අනතුරුව ශේෂය එළඹෙන මාසයේ හත්වන (7) දින හෝ ඊට ප්‍රථම අනිවාර්යයෙන් රුපියල්වලට පරිවර්තනය කළ යුතු බව ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.

අදාළ රීතීන්ට අනුව එම නියෝග කිසියම් අපනයනකරුවෙකු හෝ බලපත්‍රලාභී බැංකුවක් උල්ලංඝනය කරන්නේ නම් ඊට එරෙහි පියවර ගැනීමට මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට හැකියාව පවතිනවා.

එසේම සෑම බැංකුවක්ම අදාළ ඉපයීම් රුපියල් බවට පරිවර්තනය කිරීම දැඩිව නිරීක්ෂණය කළ යුතු අතර, ඊට අදාළ ලිඛිත සාක්ෂි පවත්වාගත යුතුයි.

***************************************

කොත්තුවට පේටන්ට් බලපත්‍රය ලබා ගැනීම ගැටලුවක්

(12.03.2022 – 08:06 +0530 – hirunews.lk/sinhala)

රට තුළ බලශක්ති අර්බුදය උග්‍රවීම හේතුවෙන් පුනර්ජනනීය බලශක්ති විෂයට අදාළව ඉදිරිපත් වී ඇති නව නිර්මාණ, නවෝත්පාදන බවට පත් කිරීමේ කඩිනම් වැඩසටහනක් නව නිපැයුම්කරුවන්ගේ කොමිසම ආරම්භ කර තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහි කොමසාරිස් මහාචාර්ය එන්.එම්.එස්. සිරිමුතු කියා සිටියේ එවැනි නව නිපැයුම් සිදුකළ නිර්මාණකරුවන් 35 දෙනෙකු කැඳවා ඔවුන්ගේ නිර්මාණ සුනිත්‍ය බලශක්ති අධිකාරියට සහ ලංකා විදුලිබල මණ්ඩලයට හඳුන්වාදීම ලබන සතියේ ආරම්භ කරන බවයි.

මෙරට ජනප්‍රිය ආහාරයක් වන කොත්තුව සඳහා පේටන්ට් අයිතිය ලබා ගැනීමට පියවර ගත යුතු බව කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

කෙසේ වෙතත්, නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය එන්.එම්.එස්. සිරිමුතු කියා සිටියේ ජාත්‍යන්තර නීතිරීතිවලට අනුව කොත්තුවට පේටන්ට් අයිතිය ලබාගැනීම දුෂ්කර වනු ඇති බවයි ෴

***************************************

පුතුගේ වරෙන්තුවක් නිසා පොලීසියට බිය වූ පියෙකු දොළකට වැටී මරුට

(12.03.2022 – 08:28 +0530 – hirunews.lk/sinhala)

සිය පුත්‍රයාට නිකුත් කර තිබූ වරෙන්තුවකට තමා අත්අඩංගුවට ගන්නේ යැයි බියට පත්ව දිවගිය 71 හැවිරිදි පියෙකු දොළකට වැටී මිය ගිය පුවතක් අක්මීමණ – හියාරේ ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා සිය පුත්‍රයාට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවක ඇපකරුවෙකු ලෙස අත්සන් තබා ඇති බවයි.

කෙසේවෙතත් පුත්‍රයා නියමිත දිනයේ නඩුවට ඉදිරිපත් නොවීම හේතුවෙන් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

ජංගම මුර සංචාරයක යොදවා තිබූ පොලිස් ජීප් රථයක් ඊයේ (11) ඔවුන්ගේ නිවස අසලින් ගමන් කර ඇති අතර පියා තමන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පැමිණෙන බව සිතා පලා යාමටයි කටයුතු කර ඇත්තේ.

දිවයමින් සිටි ඔහු නිවස ආසන්නයේ පිහිටි දොළකට වැටී ඇති අතර එහිදී මඩෙහි එරී පියා ජීවිතක්ෂයට පත්වුණා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහල වෙත යොමු කර තිබෙනවා ෴

***************************************

තෙළිඟු ජනතාව ගැන අගමැතිගේ අවධානය

(12.03.2022 – 08:37 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ වෙසෙන තෙළිඟු‍ ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාව රැකෙන පරිදි ඔවුන්ගේ ජීවනෝපායට පවතින බාධාවන් ඉවත් කරමින් නිවාස, පානීය ජලය ඇතුළු අනෙකුත් අවශ්‍යතා ඉටුකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදාල අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ‘සමස්ත ලංකා තෙළිඟු‍ ශිල්පීන්ගේ සංස්කෘතික සංගමය’ සමඟ අරලියගහ මන්දිරයේ දී ඊයේ (11) පැවැති සාකච්ඡාවකදීයි.

ශ්‍රී ලංකා තෙළිඟු‍ ජනතාවගේ නායක කේ.ආර්. අනවත්තු ඇතුළු දිවයින පුරා තෙළිඟු‍ ජනතාව නියෝජනය කරමින් පැමිණි නියෝජිතයන් එහිදී කියා සිටියේ සිය පදිංචි ස්ථාන සඳහා ඉඩම් ඔප්පු නොමැතිවීම විශාල ගැටලු‍වක් වී ඇති බවයි.

ඒ අනුව මාස තුනක (3) පමණ කාලයක් තුළ මෙම ගැටලු‍ විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකට උපදෙස් ලබා දුන්නා.

එහිදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා සඳහන් කළේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියමානුකූල කිරීමේ එකඟතාව මත ප්‍රාදේශිය ලේකම් සම්බන්ධකර ගනිමින් මොවුන්ගේ දෙවැනි (2) පරම්පරාවට අවශ්‍ය ඉඩම් නිදහස් කිරීමට අදාළ පියවර ගන්නා බවයි.

තෙළිඟු‍ ජනතාව මුහුණ පා සිටින නිවාස ගැටලු‍ව සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවලට ගොස් සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාට උපදෙස් දුන්නා.

ඊට අමතරව ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් නිවාස ආධාර මුදල් ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

තෙළිඟු‍ ගම්මානවල මං මාවත් ඉදිකිරීම, අඩු ආදායම් ලාභීන්ට සමෘද්ධි සහන පිරිනැමීම මෙන්ම විදේශ සංචාරකයන් වෙනුවෙන් තෙළිඟු‍ සංස්කෘතික අංග ඉදිරිපත් කරන්නන් සඳහා හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමු වු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ෴

***************************************

දුර්ලභ ගණයේ වෙනිවැල් ගැට ශාක කැපූ අයෙකු එස්.ටී.එෆ්. භාරයට

(12.03.2022 – 09:50 +0530 – hirunews.lk/sinhala)

ලෝක උරුමයක් ලෙස නම්කර ඇති සිංහරාජ රක්ෂිතයට හොර රහසේ ඇතුල් වී දුර්ලභ ගණයේ වෙනිවැල් ගැට ශාක කැපූ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ විසින් අත්අඩංගුවට ගැනුණා.

අනුරාධපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කෙරුණේ, ඊයේ (11) පස්වරුවේ දී අනුරාධපුර දෙවන (2) පියවර, 1 ග්‍රාමසේවා වසමේ නව බස් නැවතුම්පල අසල දීයි.

බලපත්‍ර නොමැතිව වෙනිවැල්ගැට සන්තකයේ තබා ගැනීම හා අලෙවිය සඳහා කාර් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි කලවාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දුන්නා.

මොහුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී රත්නපුර – කලවාන ප්‍රදේශයෙන් සිංහරාජ රක්ෂිතයට හොර රහසේ ඇතුල් වී දුර්ලභ ඝණයේ වෙනිවැල් ගැට ශාක කපා විනාශ කර ශාකයේ මුල් කොටස පමණක් රැගෙන විත් එම ශාක කොටස් දිවයිනේ විවිධ ප්‍රදේශවල ගැනුම්කරුවන් සඳහා දීර්ඝ කාලයක් සිට අලෙවි කරන බවටයි හෙළි වී ඇත්තේ.

***************************************

08 දෙනෙකුට මරු කැඳවූ කින්නියා පාලම් පාරු ඛේදවාචකයට තවමත් නොලැබුණු විසඳුම්

(12.03.2022 – 10:35 +0530 – hirunews.lk/sinhala)

කින්නියාවේ – කුරිඤ්ඤංකේනිවල අනාරක්ෂිත පාරුව පෙරළීමෙන් අහිංසක පාසල් දරුවන් ඇතුළු 08 දෙනෙකු මිය ගිය ඛේදවාචකය මතක ද ?

මුළු රටක්ම කම්පා වුණා !

අනාරක්ෂිත පාලම් පාරුවක් ප්‍රවාහනයට යෙදවීමටත්, අබලන් වූ පාලම ප්‍රතිසංස්කරණය නොකිරීමට එරෙහිවත් සමාජ මාධ්‍ය තුළ ප්‍රබල ජනතා විරෝධයක් පාලකයන්ට එරෙහිව එල්ල වුණා.

ජනතා විරෝධය හමුවේ නාවික හමුදා බෝට්ටුවක් තාවකාලිකව පාසල් ළමුන් ප්‍රවාහනයට යෙදවූවත් දැන් එය ද ක්‍රියාත්මක වෙන්නෙ නෑ.

ඒ වගේම පාලම නැවත ඉදිකිරීමේ කටයුතු අතරමඟ නවතා දමා තිබෙන අතර ඒ නිසා අබලන් වු පාලමවත් භාවිතා කළ නොහැකි වීමෙන් කුරිඤ්ඤංකේනි ජනතාව මහත් දුෂ්කරතාවයකටත්, අසරණභාවයකටත් පත් වී සිටිනවා.

මේ වන විට කුරිඤ්ඤංකේනි ජනතාව නගරය වෙත ගමන් කරනුයේ පාලම සෑදීම සඳහා වෙන්කර තිබෙන භූමියේ කලපුව දෙසට වන්නට අඩි තුනක (3) පමණ අඩිපාරක් සාදාගෙනයි.

ඉතාමත්ම අවදානම් ලෙස මෙම මාර්ගය භාවිතා කරන බව පෙනී යනවා.

වෙනත් විකල්පයක් ද ඔවුන්ට නොමැති බැවින් මෙම අනතුරුදායක ගමනෙහි නිරත වන අයුරු දැකිය හැකියි.

ඒත් කුරිඤ්ඤංකේනි ජනතාව තවත් ඉවසන්න සූදානම් නෑ. ඔවුන් සටන් කරන්න සූදානම්. කුරිඤ්ඤංකේනිවල ජනතාව ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් මෙම පාලම සාදා දෙන ලෙසයි.

***************************************

මාඔයේ ගිලී පුද්ගලයෙකු (1) අතුරුදන්

(12.03.2022 – 10:48 +0530 – hirunews.lk/sinhala)

අරණායක – උස්සාපිටිය ප්‍රදේශයේදී මාඔයේ දිය නාමින් සිටි සිව්දෙනෙකු (4) අතරින් එක් (1) අයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

19 හැවිරිදි ඔහු උඩුවේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.

මත්පැන් පානය කරමින් දිය නාමින් සිටියදී මෙය සිදුව ඇති අතර, අතුරුදන්වූ පුද්ගලයා සොයා පොලිසිය සහ නාවික හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා ෴

***************************************

අනවසර විදුලි රැහැනක පැටලී පුද්ගලයෙකු මියයයි

(12.03.2022 – 10:59 +0530 – hirunews.lk/sinhala)

අනවසර විදුලි රැහැනක පැටලී රඹුක්කන – උඩබැද්දවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (12) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 54 ක පුද්ගලයෙක්.

අදාළ අනවසර විදුලි රැහැන් ඇදීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවා.

මේ අතර දාම්පේ – මීගොඩ මාර්ගයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටී ඊයේ (11) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් එම යතුරුපැදිය පැදවූ අවුරුදු 15 ක පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වුණා ෴

***************************************

2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අද රාත්‍රියේ දී ?

(12.03.2022 – 11:24 +0530 – hirunews.lk/sinhala)

2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (12) රාත්‍රියේ දී නිකුත් කිරීමට සූදානම් වන ලෙස සිය නිලධාරින්ට උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ගාල්ල – පිටිගල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ උසස් පෙළ ප්‍රතිඵල ද කඩිනමින් නිකුත් කරන බවයි.

ඒ අනුව ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද (12) රාත්‍රියේ දී නිකුත් කෙරෙනු ඇති.

2021 පහ වසර ශිෂ්‍යත්ව විභාගය පසුගිය ජනවාරි මස 22 වැනි සෙනසුරාදා පැවැත්වුණා.

ඒ පෙරවරු 09:30 ටයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පෙර වසරවලදී ඉරිදා දිනයේ දී පැවැත්වුණු අතර, එය සංශෝධනය කරමින් සෙනසුරාදා දිනයේ දී පැවැත්වීමට තීරණය කෙරුණු බවටයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පැවසුවේ.

ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් දරුවන් 2,55,062 ක්, දෙමළ මාධ්‍යයෙන් 85,446 ක් පෙනී සිටි අතර සමස්ත සංඛ්‍යාව 3,40,508 ක්.

විභාග මධ්‍යථාන 2943 ක පැවැත්වුණු මෙවර ශිෂ්‍යත්ව විභාගය කොවිඩ්-19 ආසාදිත දූ දරුවන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන 108 ක් ක්‍රියාත්මක කෙරුණා.

***************************************

නිදාසිටි තම දරුවන් තිදෙනාට (3) මුගුරකින් පහරදී ගෙළ වැළලාගෙන මියගිය උම්මත්තකයා

(12.03.2022 – 13:21 +0530 – hirunews.lk/sinhala)

නිදියහනේ සිටි තම දරුවන් තිදෙනාට (3) මුගුරකින් පහරදී ගෙළ වැළලාගෙන මියගිය පියෙකු පිළිබඳ පුවතක් ගලේවෙල – මකුළුගස්වැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ පහරකෑමට ලක්වූ දරු තිදෙනා (3) ගෙන් දෙදෙනෙකු (2) ගේ තත්ත්වය බරපතළ බවයි.

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇත්තේ අද (12) අලුයම එකට (1) පමණ.

ගෙළ වැළලා ගැනීමෙන් ජීවිතක්ෂයට පත් රුවන් චාමිකර 36 හැවිරිදි තිදරු (3) පියෙක් වන අතර, ඔහු යුද හමුදාවෙන් ඉවත් වී කුලී රැකියාවල නිරතව සිටි අයෙක්.

බිරිඳ සමග පැවති ආරවුලක් හේතුවෙන් සිත්තැවුලෙන් දිවි ගෙවූ ඔහු සිය ෆේස්බුක් ගිණුමට සුදු කොඩියක් එක්කර ‘සියල්ල අහිමිව ගිය කළ ඉතිරිව ඇත්තේ මෙපණයි’ යනුවෙන් සටහන් කර තිබුණා.

සිත්තැවුලෙන් කල් ගෙවූ රුවන් ඊයේ (11) රාත්‍රියේ වයස අවුරුදු 5, 8 වයස්වල පසුවන සිය පිරිමි දරුවන් දෙදෙනාට (2) සහ 13 වැනි වියේ පසුවූ දියණියට නිදි යහනේදීම මුගුරකින් පහර දී සියදිවි හානිකර ගැනීමටයි කටයුතු කර තිබුණේ.

පසුව ප්‍රදේශවාසීන් එක්ව දරුවන් තිදෙනා (3) දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබුණා.

ඉන් දරුවන් දෙදෙනෙකු (2) ගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් දෙදෙනා (2) මහනුවර ජාතික රෝහලට මාරුකර යැවුණා.

මේ අතර, පවුල් ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳට තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල සිදුකර සැමියා සියදිවි හානිකර ගැනීමේ පුවතක් පරසන්ගස්වැව – සියඹලෑව ප්‍රදේශයෙන් වාර්තාවනවා.

සියදිවි හානිකරගත් 37 හැවිරිදි පුද්ගලයා සිය 21 හැවිරිදි බිරිඳ සමග දීර්ඝ කාලයක් තිස්සේ පැවති ආරවුලක් දුරදිග යාමෙන් මෙය සිදුව ඇති අතර, තුවාල ලැබූ කාන්තාව මේවන විට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

***************************************

පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් මහ බැංකු අධිපති හමුවේ

(12.03.2022 – 13:34 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (11) මහබැංකුවේදී එහි අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හමුවුණා.

ඒ රටේ පවතින ආර්ථික තත්ත්වය සහ වර්තමානයේ දී ඊට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් මෙන්ම, පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මහබැංකු අධිපතිවරයා තමන්ට කරුණු පැහැදිලි කර දුන් බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය රංජිත් බණ්ඩාර, සංජීව එදිරිමාන්න සහ වසන්ත යාපා බණ්ඩාර ඇතුලු පිරිසක් මෙම හමුව සඳහා එක්ව සිටියා.

මේ අතර ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ විනිමය හිඟය ජාත්‍යන්තර අරමුදල සමග සාකච්ඡා ඇරඹීමට ශ්‍රී ලංකාව සූදානම් බවට විදෙස් මාධ්‍ය ඊයේ (11) වාර්තා කර තිබුණා. ඊට අදාළ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වොෂින්ටනය වෙත යාමට නියමිත බවයි අදාළ වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.

කෙසේ වෙතත් මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ ඉදිරි සති කිහිපය තුළ ජාත්‍යන්තර අරමුදලේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වුණත් එය ඇතැම් මාධ්‍ය ආයතන වාර්තා කරන පරිදි ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඉලක්කය මත සිදුනොවන බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *