කාදිනල්හිමිගේ ජිනීවා ප්‍රකාශය එතුමාගේ ප්‍රතිරූපයට විශාල හානියක්. දප්පුල ලිවේරා පාස්කු ප්‍රහාරයට වගකිවයුතුයි ?

කාදිනල්හිමිගේ ජිනීවා ප්‍රකාශය එතුමාගේ ප්‍රතිරූපයට විශාල හානියක්. දප්පුල ලිවේරා පාස්කු ප්‍රහාරයට වගකිවයුතුයි ?

*********************************************

කාදිනල්හිමිගේ ජිනීවා ප්‍රකාශය එතුමාගේ ප්‍රතිරූපයට විශාල හානියක්. දප්පුල ලිවේරා පාස්කු ප්‍රහාරයට වගකිවයුතුයි ?

(12.03.2022 – 11:59 +0530 – lankaleadnews.com)

පසුගිය දින කාදිනල්‍තුමා ජිනීවා ගොස් පාස්කු ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන්ගේ අරමුණු වෙනුවෙන් පමණක් නොව වෙනත් දේශපාලන අරමුණක් වෙනුවෙන් සිදුවූවක් යැයි සැකයක් මතුකිරීම පිළිබඳව ‘ලංකා ලීඩ් නිවුස්’ හි විමර්ශණ ඒකකය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා ගෙන් විමසන ලදී. එතුමා පවසා සිටියේ ජාත්‍යන්තරයේ අනුකම්පාව හා බලපෑම ලබා ගැනීමට කාදිනල්තුමා කළ එම ප්‍රකාශයෙන් එතුමාගේ ප්‍රතිරූපයට විශාල හානියක් සිදුඋන බවයි. ඒ පිළිබඳව යසස් ධර්මදාස මහතා කළ සම්පූර්ණ ප්‍රකාශය පහත පරිදි වේ :

“කාදිනල්තුමා පාස්කු ප්‍රහාරය පිළිබඳව කරුණු කීමට ජිනීවා යනවා යැයි දැනගත් අවස්ථාවේ සිට අප ඒ පිළිබඳව අවධානයෙන් පසුවුනා. ‘වත්මන් රජය බලයට පත්වීම පිණිස පාස්කු ප්‍රහාරය සිදුකළා’ යැයි කියන මතය උන්වහන්සේ පිළිගන්නා ආකාරයක් දක්නට ඇතිවිට අප දන්නා කරුණු ඔස්සේ එය නිවැරදි මතයක් නොවෙයි කියා ඒත්තු ගැන්වීමට උත්සාහ කළා. එසේම උන්වහන්සේ ජිනීවා ගිය පසුවත්, ජිනීවා සමුළුව ආමන්ත්‍රණය කිරීමට පෙර ශ්‍රී ලංකාවේ සිටින බිශොප්වරුන් මාර්ගයෙන් කාදිනල්තුමාට විශේෂ ලිපියක් අප යොමුකළා එවන් අදහසක් සමුළුවට ඉදිරිපත් නොකරන ලෙසට. ඇත්ත වශයෙන්ම එවන් අදහසක් සමුළුවට ඉදිරිපත් කළානම් එම අදහස හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කළ සුදු කොඩි කතාවට නොදෙවෙනි දේශ ද්‍රෝහී කතාවක් වෙනවා. අපේ ඉල්ලීම නිසා හෝ වෙනයම් හේතුවක් නිසා හෝ කාදිනල්තුමා එක්තරා කණ්ඩායමක් විසින් සංවිධානය කර තිබුන රජයට විරෝධයපාන වැඩ සටහන් වලට සහභාගී වුනේ නෑ. එසේම කාදිනල්තුමා කෙලින්ම රජයට කරන්න බලාපොරොත්තු වුණු චෝදනාවෙන් වැලකී එය යම්කිසි ලෙසකින් සැර බාල කරන ආකාරයකින් තමයි ප්‍රකාශ කළේ. නමුත් එම ප්‍රකාශයත් එක අතකින් කාදිනල්තුමාගේ ප්‍රතිරූපයට බලපානවා. අනෙක් අතින් සාක්ෂි රහිතව වගකීම් විරහිතව කරණ ප්‍රකාශ වලින් කොපමණ හානියක් වෙනවද යන්නත් සැළකිය යුතුයි.

පාස්කු ප්‍රහාරය වත්මන් රජය බලයට ගෙන ඒමට කළ දෙයක් නොවන බව දැක්වීමට ඕනෑතරම් සාක්ෂි තියෙනවා. එසේම, කාදිනල්තුමා සමහරවිට නොදැන ඉන්න ඇති, පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකාවේ අදාල ආයතන පමණක් නොව අන්තර්ජාතික පොලීසියේ කණ්ඩායම්ද, ඇමරිකාවේ එෆ්.බී.අයි. ආයතනය සහ ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලීසියත් සම්බන්ධ වුණු බව. ප්‍රහාරයෙන් විදේශිකයින් 45 ක් මියගියා. අඩුම තරමින් එම රටවල තානාපති කාර්‍යාල මගින් සුළු හෝ සොයා බැලීමක් මේ පිළිබඳව කර ඇතැයි කියා සිතිය හැකියි. යම් හෙයකින් එවන් සැකයක දුමක් වත් තිබුණා නම් මේ වනවිට කාදිනල්තුමා සැකකරන කිසිවෙකුට නිදැල්ලේ ඉන්න ලැබේවි කියල හිතන්න අමාරුයි. එවන් චෝදනාවක් කිරීමට කිසිම හේතුවක් නොමැති බව අනිවාර්යයෙන්ම ඉන්ටර්පෝල් ආයතනය, එෆ්බීඅයි ආයතනය, ඕස්ට්‍රේලියන් ෆෙඩරල් පොලීසිය ආදිය දන්නවා ඇති. එවන් පසුබිමක් මත කාදිනල්තුමා මෙවැනි ප්‍රකාශයක් කිරීමෙන් ඔය කිව්ව ආයතන වලින් තොරතුරු ලබාගන්නා රටවල් හා ආයතන කාදිනල්තුමාගේ ප්‍රකාශය පිළිබඳව උන්වහන්සේ කෙරෙහි කුමන ආකාරයේ ආකල්පයක් දරාවිද යන්න මම විශේෂයෙන් කියන්න අවශ්‍ය නැහැ.

අනෙක් කරුණ වන්නේ, ඔය සැකය කාදිනල්තුමා වෙත රෝපණය කළේ හිටපු නීතිපති දප්පුල ලිවේරා මහතායි. මේ වනවිට ලිවේරා මහතා විසින් ගොනුකරනලද පාස්කු ප්‍රහාරය පිළිබඳව නඩු කිහිපයක් නීතිපති දෙපාර්තමේන්තුවේ දෝෂ හැටියට තීන්දු කරමින් අධිකරණය චූදිතයින්ව නිදොස්කොට නිදහස්කර තියෙනව. බැඳුම්කර නඩුවත් ඒ ආකාරයේම දෝෂ සහිතයි කියා ඉවත දමා තියෙනව. එවන් ආකාරයේ තමුන්ගෙ වෘත්තීය වගකීම සහ එහි විශ්වාසනීයත්වය දප්පුල ලිවේරා මහතා කෙලෙසා ගෙන තියෙනව. ඉදිරියෙදීත් ඇසීමට නියමිත පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩු වලටත් ඔය තත්‍ත්වය බලපාන්න හැකියාව තියෙනවා. වැඩිම නඩු ගනනක් නීතිපතිගේ දෝෂ හේතුවෙන් ඉවත දමන්නවුන නීතිපති ලෙස සමහරවිට එතුමා ඉතිහාසගත වේවි. එවන් වෘත්තීය ගරුත්වය විනාශකරගත් තැනැත්තෙකුගේ වාචාල වචනයක් විශ්වාස කිරීම කාදිනල්තුමා වැන්නෙකුට ඔබින්නෙ නැහැ කියා හිතෙනවා.

අනෙක් අතට දප්පුල ලිවේරා නීතිපතිතුමා ඔහුගේ තනතුරේ කටයුතු නියමාකාරයෙන් සිදුකරා නම් සමහරවිට පාස්කු ප්‍රහාරය සිදු නොවන්න ඉඩ තිබුනා. එයට හේතුව තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහරාන් පිළිබඳව නීතිපති උපදෙස් පතා එවන ලද වාර්තාව වසර දෙකක් (2) යන තෙක් අධ්‍යයනය කර නොතිබීම. ඒ පිළිබඳව විස්තර පාස්කු කොමිසමේදී හෙළි වුනා. හේමසිරි ප්‍රනාන්දුටත් පූජිත ජයසුන්දරටත් විරුද්ධව නඩු දැම්මෙ ප්‍රහාරය වලක්වා ගැනීමට තොරතුරු දැනගෙනත් කටයුතු නොකිරීම පිළිබඳවයි. එසේ නම් ඒහා සමානම වරදක් දප්පුල ලිවේරා හිටපු නීතිපතිතුමත් සිදුකර තියෙනවා. අධිකරණ ක්‍රමය දූෂිතයි කියා 30/1 වාර්තාවේ සඳහන් චෝදනා මෙවැනි දුර්වල වගකීම් පැහැරහැරීම් නිසා තහවුරු වෙනව. මට හිතෙන්නෙ ඒ වරදෙන් ගැලවීම පිණිස වෙන්න පුළුවන් අර වගේ ප්‍රකාශයක් දප්පුල ලිවේරා හිටපු නීතිපති තුමා විසින් කරණ ලද්දේ. එවිට පක්ෂ විපක්ෂ සියල්ලම එල්ලෙන්නෙ එවැනි ප්‍රකාශයක. වත්මන් රජය එදා විපක්ෂයේ ඉන්දැද්දි චෝදනාවක් ලද විගස දුර්මුඛ උනා වගේ තවමත් චෝදනාවක් ලද විගස දුර්මුඛ වෙනවා. එදා රජය – අද විපක්ෂය ඊට හාත්පසින් වෙනස්. කටට යමක් ලැබුන වහාම එය ‘ඇම්ප්ලිෆයි’ කරන්න එයාල හොඳට දන්නවා. ලිවේරා හිටපු නීතිපතිතුමාගෙ චෝදනාව ඇහුන පමණින් රජය ලොක්ඩවුන් උනා. එබැවින් නීතිපතිතුමාගේ ප්‍රමාදය පිළිබඳව ප්‍රශ්ණකරන්න සොයාබලන්න අවශ්‍යයි කියන එකත් අමතකවෙන්න ඇති. එවන් බරපතල කාරණයක් පිළිබඳව සැකකිරීමට කරුණු රාශියක් තියෙනවා. ඒ පිළිබඳව වහා විමර්ෂණයක් කළ යුතුයි. තම වෘත්තීය වගකීම පැහැර හැරීම පිළිබඳව හා එයින් 250 ස් දෙනෙකුට ජීවිත අහිමිවීම, තවත් පන්සිය (500) දෙනෙකුට තුවාල සිදුවීම, සංචාරක ව්‍යාපාරය කඩාවැටීම ආදී සියළුම වැරදි වලට එතුමා වගකිවයුතුයි.

ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනතත් එපා කියන පෙත්සමකටත් කාදිනල්තුමා අත්සන් කළා. එයින් පාස්කු වින්දිතයින්ට ලැබෙන ආධාරය කුමක්ද කියා හිතන්න අපහසුයි. මෙම පනත අහෝසි කිරීමත් 30/1 යෝජනාවේ (තරවටුවේ) එක කොන්දේසියක්. කාදිනල්තුමා 46/1 සමාන යාන්ත්‍රණයක් පාස්කු ප්‍රහාරය සඳහා ඉල්ලනවා. චෝදනා එක සමාන බැවින්, එනම් අභූත චෝදනා බැවින්, එසේ ඉල්ලා සිටියාද දන්නෙ නැහැ. කෙසේ වුවද මේ සඳහාත් හිටපු නීතිපතිතුමාත් උපදෙස් දුන්නද කියා කියන්න හැකියාවක් නෑ. කාදිනල්තුමාගේ මෙම ඉල්ලීම ඉටුකළහොත් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට කෙසේ වෙතත් චූදිතයින්ට නම් සහනයක් ලැබේවි. ඒ පිළිබඳව විද්වත් ඇගයීමක් අදාල අංශවලින් රටට හෙළිකරන්න කටයුතු කළොත් හොඳයි කියා හිතෙනවා. නැත්නම් ‘පය බරවායට පිටිකර බෙහෙත් බඳිනව’ වැනි කටයුතු සිදු වෙන්නට ඉඩ තිබෙනව.”

***************************************

මේ ජනාධිපති රූකඩයක්. එයාව නටවන්නේ බැසිල්. මහින්ද දැන් පතෝල වගේ. මම ‌යකෙකුටවත් බය නැහැ – විජේදාස රාජපක්ෂ (12.03.2022)

+

@@@@ ඉන්ධන සහ විදුලිබල අර්බුදය @@@@

ඉහළ ගිය තෙල් මිල ගැන අතිවිශේෂ ගැසට් නිවේදනයක්

(12.03.2022 – 07:19 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත යටතේ බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ දී සිපෙට්කෝ තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙනුයි, අමාත්‍යවරයා විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ අනුව 1961 අංක 28 දරන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනතේ 66 වගන්තිය ප්‍රකාරව බලශක්ති අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව 2022 මාර්තු මස 12 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදියි ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරුණේ.

මෙම නව මිල සංශෝධනය ප්‍රකාරව පෙට්‍රල් 92 වර්ගයේ පවතින මිල වන රුපියල් 177 අභිබවා නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 254 ක් ලෙසයි.

රුපියල් 207 ක් වූ පෙට්‍රල් 95 රුපියල් 283 ක් දක්වාත්, ඔටෝ ඩීසල් මිල රුපියල් 121 පැවතිය ද, එය රුපියල් 176 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

සුපර් ඩීසල් පූර්ව මිල දැක්වුණේ රුපියල් 159 ක් ලෙස වන අතර, නව මිල වන්නේ රුපියල් 254 ක් බවයි මෙම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

++++++++++++

විදුලි බිල වැඩි කරන ගණනය කිරීම් ඇරඹේ

(12.03.2022 – 08:17 +0530 – hirunews.lk/sinhala)

විදුලි බිල ඉහළ නැංවීමට අවසර ලබා දෙන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේ වෙතත් එය දීර්ඝකාලීන ක්‍රමවේදයක් අනුව සිදුවිය යුතු බවයි මහජන උපයෝගීතා කොමිසන් සභාව සඳහන් කළේ.

එම ක්‍රමවේදය සකස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවද එම කොමිසන් සභාව සඳහන් කළා. මේ අතර මාස 6 ක කාලයකට හදිසි විදුලිය මිලදී ගැනීමක් සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දුන් බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක කොළඹ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

මේ අතර P, Q, R, S, T, U, V, W කලාප සඳහා අද දිනයේදී පෙරවරු 10 සිට පස්වරු 2 දක්වා පැයක (1) කාලයක් සහ පස්වරු 04:30 සිට රාත්‍රී 09:30 දක්වා පැය එකයි (1) මිනිත්තු 15 ක කාලයක් විදුලිය විසන්ධි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසන් සභාව අවසර ලබා දී තිබෙනවා.

එසේම A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාප සඳහා පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැය 2 යි මිනිත්තු 30 කාලයක් සහ පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා පැය එකයි (1) මිනිත්තු 15 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමටද අවසර ලබා දුන් බවයි මහජන උපයෝගීතා කොමිසන් සභාව සඳහන් කළේ.

මීට අමතරව හෙට (13) දිනයේදී P, Q, R, S, T, U, V, W කලාප සඳහා සවස 5 සිට රාත්‍රී 9 දක්වා පැයක (1) කාලයක් විදුලිය විසන්ධි කිරීමටද අවසර ලබා දී තිබෙනවා.

එසේම හෙට (13) දිනයේදී A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාප සඳහා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා පැය 2 ක් සහ පස්වරු 5 සිට රාත්‍රී 10 දක්වා පැය එකයි (1) මිනිත්තු 15 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමටද අවසර ලබා දුන් බවයි කොමිසම පැවසුවේ.

++++++++++++

බස් ගාස්තුව ඉහළට ? – අවම ගාස්තු රුපියල් 30 වෙයි ?

(12.03.2022 – 08:40 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (12) සිට ඉන්ධන මිල වැඩි කිරීමට ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ කටයුතු කළා.

ඒ අනුව ඔක්ටේන්-92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 77 කින් ඉහළ යන අතර,එහි නව මිල වන්නේ රුපියල් 254 ක්.

ඔක්ටේන්-95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 76 කින් ඉහළ යනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 283 ක්.

සංස්ථා ඔටෝ ඩීසල් ලීටරයක මිලද රුපියල් 55 කින් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමුණු අතර, ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 176 ක්.

මීට අමතරව සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 95 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 254 ක් වනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා දිගින් දිගටම රජයෙන් ඉල්ලීම් කළ අතර, ඒ අනුවයි අද (12) සිට ඔවුන් මෙලෙස ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ.

ලංකා අයි.ඕ.සී. සමාගම ද පෙරේදා (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ නැංවීමට පියවර ගත්තා.

ඒ අනුව අයි.ඕ.සී. ඩීසල් ලීටරයක් මේ වනවිට රුපියල් 214 කට අලෙවි වන අතර, ඔවුන් පෙට්රල් ලීටරයක් මේ වනවිට අලෙවි කරන්නේ රුපියල් 254 කටයි.

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ක්‍ෂේත්‍ර ගණනාවක මිල ඉහළ යෑම් සිදුවන බව ඊයේ (11) පාර්ශ්ව රැසක් ප්‍රකාශ කළා.

සහනාධාරයක් නොලැබුණහොත් අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා ඉහළ දැමීමට සිදුවන බවයි පෞද්ගලික බස් හිමියන් කියා සිටියේ.

මේ අතර ඉන්ධන මිල ඉහළ යාමෙන් ධීවර ප්‍රජාව දැඩි අසීරුතාවයට පත්ව සිටින බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේළනයේ ජාතික සංවිධායක රත්න ගමගේ ඊයේ (11) පුත්තලමේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.

+++++++

සහනාධාරයක් නැත්නම් බස් හිමියන් ගාස්තු වැඩිවීමක් ඉල්ලයි

(12.03.2022 – 13:32 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ඉන්ධන මිල වැඩි කිරීමත් සමඟ බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව බස් සංගම් පවසනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඩීසල් සහනාධාරයක් නොලැබෙන්නේ නම් බස් ගාස්තු සියයට 15 කින් පමණ ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි.

සමස්ත ලංකා බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඩීසල් සහනාධාරයක් නොලැබෙන්නේ නම් තම සංගමයට ද බස් ගාස්තු සියයට තිහකින් (30%) ඉහළ දැමීමට සිදුවන බවයි.

මේ අතර ත්‍රිරෝද රථ ගාස්තුද ඉහළ දැමිය යුතු බව ත්‍රිරෝද රථ සංගම් පවසනවා.

ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතියේ ලේකම් එල්. රෝහණ පෙරේරා කියා සිටියේ පළමු කිලෝමීටරය සඳහා රුපියල් 80 ක මුදලක් අය කළයුතු බවට යෝජනා කරන බවයි.

මේ අතර බහලුම් ප්‍රවාහන ගාස්තු ද වැඩිකිරීමට තීරණය කළ බව එක්සත් ලංකා බහලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

++++++++++++

ගෑස් නැතිව දින ගණන් පෝලිමට යට වුණු ජීවිත

(12.03.2022 – 11:52 +0530 – hirunews.lk/sinhala)

දින ගණනාවක සිට ගෑස් හිඟයෙන් පිඩාවට පත්ව සිටි වැලිගම නගරයේ ඇතුළු අවට ගමි රැසක ජනතාව සහ ආපණ ශාලා , හෝටල් හිමියන් ඇතුළු විශාල පිරිසක් ගෑස් ලබා ගැනීම සඳහා හිස් ගෑස් සිලින්ඩර අතැතිව පෝලිමේ සිටි ආකාරය (12 ) දින උදෑසන වැලිගම නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරහුමි හල අසල දී දක්නට ලැබුණා.

මේ වන විට ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් වර්ග දෙකක් පමණක් වෙළඳපොලේ පවතින අතර, මෙම ගෑස් වර්ග දෙකම දින ගණනාවක් තිස්සේ වෙළඳපොළ තුළ හිඟයක් පවතින බැවින් මෙලෙස පෝලිම් නිර්මාණය වී තිබෙනවා.

මේ නිසා නිවාස හිමියන්, හෝටල් සහ ආපනශාලා ඇතුළු විශාල පිරිසක් අපහසුතාවයට පත්ව ඇති අයුරු දක්නට පුළුවන්.

වැලිගම නගරයේ ගෑස් නියෝජිත ස්ථානයක් වන සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල වෙත ලිට්‍රෝ ගෑස් අද (12) අළුයම ලැබී තිබුණා.

මෙය සැලවූ වහාම නිවාස හිමියන්, හෝටල් සහ ආපණ ශාලා හිමිකරුවන් ගෑස් සිලින්ඩර රැගෙන දිගු පෝලිම්වල රැඳී සිටි ආකාරය දක්නට තිබුණා.

ලැබී තිබූ ගෑස් තොග නිමාවීම සමග ඇතැම් පිරිස් හට නැවත හිස් අතින් යෑමට ද සිදු වූ ආකාරය දක්නට ලැබුණා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *