පාසල් සිසුවෙකු අපයෝජනය කළ වල්ගුරී ගැන සොයන්න අධිකරණයෙන් නියෝග

පාසල් සිසුවෙකු අපයෝජනය කළ වල්ගුරී ගැන සොයන්න අධිකරණයෙන් නියෝග

*********************************************

පාසල් සිසුවෙකු අපයෝජනය කළ වල්ගුරී ගැන සොයන්න අධිකරණයෙන් නියෝග

(11.03.2022 – 09:08 +0530 – sinhala.adaderana.lk)

= පාසල් සිසුවෙකු අපයෝජනය කළ ගුරුවරිය ගැන සොයන්න අධිකරණයෙන් නියෝග =

ගුරුවරියක් විසින් පාසල් සිසුවෙකු අපයෝජනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ඊයේ (10) දැනුම්දී තිබේ.

වසර 4 ක් තිස්සේ මෙලෙස පාසල් සිසුවෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන ගුරුවරියකටය.

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවෙකු මෙලෙස අපයෝජනයට ලක්ව ඇති අතර එම සිසුවා මේ වනවිට 20 හැවිරිදි වියේ පසුවෙයි.

වාර්ෂික ක්‍රිකට් තරගයකදී එවකට 16 හැවිරිදි වියේ පසුවූ අදාළ සිසුවා සහ ගුරුවරිය දැන හඳුනාගෙන තිබේ.

පසුව ගුරුවරිය සහ පාසල් සිසුවා වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇත.

පසුව ගුරුවරිය විසින් පාසලේ පරිඝනක කාමරය තුළදී සිසුවා ලිංගික කටයුතු සඳහා පොළඹවාගනිමින් අපයෝජනයන් සිදුකර ඇත ඉබව අනාවරණය වී තිබේ.

අදාළ ගුරුවරිය සහ මෙම සිසුවා 60 වතාවක් පමණ ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක් වෙත ගොස් ඇති බවද හෙළිවී ඇත.

එහිදී ගුරුවරිය සිය හැඳුනුම්පත භාවිත කරමින් අදාළ හෝටලයේ වෙන්කිරීම් සිදුකර ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ඊයේ නියෝග කර තිබේ ෴

***************************************

මෙරට අත්‍යවශ්‍ය නොවන ආනයනික භාණ්ඩය ‘බැසිල් රාජපක්‍ෂ’යි … ශ‍්‍රී ලංකාවට වී ඇත්තේ බංකොලොත් වීමයි …

(12.03.2022 – 11:20 +0530 – lankacnews.com)

මේ රටේ තිබෙන ප්‍රධාන අත්‍යවශ්‍ය නොවන ආනයනික භාණ්ඩය වන්නේ මුදල් අමාත්‍ය ‘බැසිල් රාජපක්ෂ’ බව 43 සේනාංකය සභාපති, හිටපු අමාත්‍ය කරු පරණවිතාන මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ වර්තමාන ආර්ථික සහ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් 43 සේනාංකය විසින් සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ 43 සේනාංකය සභාපතිවරයා :

“අද 2022 මාර්තු 11. 2022 වසරේ 69 වන දිනය. දැන් ඡන්දේ දීපු 69 ලක්ෂයක් සහිත දෙකෝටි විසි ලක්ෂයක සමස්ත ජනතාවටම තරු පෙන්වමින් මේ 2022 අවුරුද්දේ 69 වන දිනයේ ආණ්ඩුව ගැහුවා ගැසට් එකක්. අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සීමා කිරීමේ ගැසට් නිවේදනය. නැවත වතාවක් තරු පෙන්වමින් ඩීසල් මිල, පෙට්‍රල් මිල, ඒ කියන්නේ ඉන්ධන මිල, ඓතිහාසික වශයෙන් වැඩි කරලා දැම්මා. දැන් මේ ඉන්ධන මිල වැඩි වීමත් එක්කම මොනවද හෙට වෙන්නේ පාන් ගෙඩියේ මිල, බනිස් ගෙඩියේ මිල, පිටි කිලෝ එකේ මිල, ත්‍රීවිල් ගාස්තුව, බෙහෙත් මිල, එළවළු මිල, ප්‍රවාහන මිල හැමදෙයක්ම තව වටයකින් ඉහළ යනවා. දැන් මේ වෙමින් තිබෙන්නේ මොකක්ද? මේකට මොකක්ද අපි කියන්නේ? ආර්ථික අර්බුදයද, උද්ධමනයද, ජීවන බර වැඩිවීමද, බදු බර වැඩිවීමද, නම් ගොඩක් තිබුණා. ඉතාම සරල නම තමයි, රට බංකොලොත් වෙලා කියන එක.”

“හිරුණිකා මන්ත්‍රීතුමිය තවත් කාන්තාවන් පිරිසක් එක්ක රටේ ජනතාවගේ දුක කියන්න මිරිහානේ ජනාධිපතිතුමාගේ ගෙදරට සංදේශයක් භාර දෙන්න යනකොට ජනාධිපතිතුමා එතුමාගේ දුක කියන්න තවත් කාන්තාවක් හොයාගෙන අනුරාධපුරයට ගිහිල්ලා තියෙනවා. ඔන්න ජනාධිපතිතුමාගේ උත්තරේ. දැන් අද සාත්තරකාරියන්ගේ පිහිටයි මේ බංකොලොත්භාවයෙන් ගොඩ එන්න.”

“දැන් ආණ්ඩුවේ අය ඇවිල්ලා – පාර්ලිමේන්තුවට ඇවිල්ලා – ජනතාව ඉස්සරහට ඇවිල්ලා කියන්න ඕනේ දැන් මේ බංකොලොත් භාවයෙන් රට ගොඩනගන්න මොකක්ද කරන්නේ? කියලා. බඩු මිල වැඩි කරලා ‘අනේ මේක දරාගන්න’ කියලා විතරක් හරියන්නේ නැහැ. දැන් මේ ගැන වහාම කියන්න ඕනේ.”

“දැන් මේ අත්‍යාවශ්‍ය නොවන ආනයන භාණ්ඩ සීමා කරලා තිබෙනවා. ගරු මුදල් ඇමතිතුමනි මේ රටට අත්‍යවශ්‍ය නොවන ප්‍රධාන ආනයනික භාණ්ඩය තමයි ඔබතුමා. ඒ භාණ්ඩය ආනයනය කරලා පාර්ලිමේන්තුවටත් ගෙනල්ලා මුදල් ඇමතිකමක් දුන්නට පස්සේ තමයි මේ හෙනේ තවත් වැඩි වුණේ. ඒ වගේම තමයි මේ ආනයනික මුදල් ඇමතිතුමාත් ඇතුළු මේ පොහොට්ටු ආණ්ඩුවේ මේ ‘වියත් පරිණත දැනුවත් ආර්ථික විශේෂඥ’ සියලු දෙනාටම මේ ආර්ථික බංකොලොත් භාවයෙන් රට බේරා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. අර්බුදයෙන් අර්බුදයට රට ගමන් ගනිමින් සිටිනවා.”

“මේ තත්ත්වයට විසඳුමක් ලෙස පෙබරවාරි 23 වෙනිදා 43 සේනාංකය යෝජනා කළේ රටේ මූල්‍ය පාලන බලය තිබෙන පාර්ලිමේන්තුව එම බලය අතට ගෙන ආර්ථිකය මෙහෙයවීම බුද්ධිමත් මිනිස්සුන්ට, විශේෂඥයින්ට භාරදිය යුතු බවය. ඒ අවස්ථාවේ ඊට විශාල අවධානයක් නොතිබුණ ද සති දෙකකට පසු රටේ සියළුමදෙනා ඒ කරුණ ප්‍රකාශ කරමින් සිටිනවා.”

“රටේ මිනිස්සු ඔක්කොම දැන් පාරට බැහැලා කියන්නේ ‘අනේ දැන් පලයව්’ කියලා. ‘කරන්න බැරි නම් කරන්න පුළුවන් කෙනෙකුට දීලා පලයව්’ කියලා, පෙට්‍රල් පෝලිම් වල, ගෑස් පෝලිම් වල, වෙනත් පෝලිම්වල මිනිස්සු අද කෑගහලා කියනවා.”

“නමුත් මේ ආණ්ඩුව විවේචනය ගේන, නියම වශයෙන් මේකට උත්තරය මොකක්ද කියලා අඩු ම තරමෙන් එළියක් හෝ දල්වලා මාර්ගය පෙන්වන දේශපාලන නායකයන්ව දඩයම් කරන්න හදනවා. මේ වනවිට, බොරු නඩු අටවමින්, අහපු නඩු අහලා පොත වහලා දාපු නඩු නැවත විවෘත කරමින්, ඒ වගේම තව විවිධ කොමිසම් වලට මේ රටට මේ රාජපක්ෂලාට හා මේ වැඩ බැරි ආණ්ඩුවට අභියෝගයක් වෙලා තියෙන, වැඩ කරන්න පුළුවන් නායකයින්, විවිධ කොමිසම් වලට ගෙනෙමින් ඒ අය දඩයම් කරන්න – ඒ අය හිරේ දාන්න. ඒ අයගේ ප්‍රජා අයිතීන් අහෝසි කරලා දාන්න ඉතාමත්ම කූට උත්සාහයක් මේ දවස්වල රඟ දැක්වෙමින් තිබෙනවා.”

මේ සම්බන්ධයෙන් ජනතාව අවදියෙන් සිටිය යුතු බව පරණවිතාන මහතාගේ අදහසයි.

මේ අවස්ථාවට එක් වූ 43 සේනාංකය ව්‍යාපාරික සංසදයේ සාමාජික නන්දික බටේපොළ මහතා සඳහන් කළේ භාණ්ඩ ආනයනය සීමා කිරීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වෙන මූලික කරුණ ඩොලර් රටින් පිටව යෑම නැවැත්වීමද? නැතහොත් ආනයනකරුවන් සතු ව්‍යාපාර තමන්ගේ ගජමිතුරු කල්ලියකට, හිතවත් කල්ලියකට ව්‍යාපාර බලපත්‍ර මගින් ලබාදී, අදාළ ව්‍යාපාරවල ඒකාධිකාරයක් පවත්වන්නද? යන සාධාරණ සැකය ව්‍යාපාරිකයන් තුළ මතුවන බවය.

“අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 ආනයනය පාලනය කිරීම විශේෂ වූ බලපත්‍රයකට නතු කිරීම මගින් පාලනය කිරීමක් මොවුන් මෙහිදී ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මීට අයත් වෙනවා කිරි හා කිරි හා කිරි නිෂ්පාදන වලට අයත් වන චීස්, බටර්, ආනයනික පලතුරු වර්ග, විදුලි උපකරණ, විදුලි පංකා සහ එයාර් කන්ඩිෂන් ඇතුළු විදුලි උපකරණ ඒ වගේම රබර් ආශ්‍රිත නිෂ්පාදන රාශියක් මේ ගොන්නට ඇතුළත් වෙලා තියෙනවා. බොහොමයක් භාණ්ඩ දිහා බැලූ බැල්මට අපිට පේන්නේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ විදිහට. නමුත් ව්‍යාපාරිකයන් විදියට අපි බලද්දී මේ භාණ්ඩ ආනයනය නොකර අපේ රටේ පවත්වාගෙන යන්න අපිට හැකියාවක් ලැබෙයිද? උදාහරණයක් විදිහට විදුලි උපකරණ විදුලි පංකා සහ මේ එයා කන්ඩිෂන් ගෙන්වීම නැවැත්තුවොත් ඉදිකිරීමේ ක්ෂේත්‍රය සහ දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ වැඩකටයුතු ඉදිරියට කරගෙන යාමට හැකියාවක් ලැබෙයිද? ඒ වගේම ආනයනික චීස් වර්ග, බටර් වර්ග, ආනයනික පලතුරු වර්ග ආනයනය නැවැත්තුවොත් සංචාරක ව්‍යාපාරයට අදාළ වන හොටෙල් සහ එහි රෙස්ටුරන්ට් ව්‍යාපාර පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙයිද?” යනුවෙන් හෙතෙම ප්‍රශ්න කළේය.

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ආචාර්‍ය ශානුක සෙනරත් මහතා සූම් මෘදුකාංගය ඔස්සේ මේ මාධ්‍ය හමුවට සහභාගි විය.

“මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි අර්බුදකාරී තත්වයකට පත්වෙලා තියෙනවා. ඇත්තටම ඒකට සුදුසු වචනය තමයි – ශ්‍රී ලංකා ආර්ථිකය ඉතාම ශෝචනීය තත්වයකට පත්වෙලා තියෙනවා මේ අවස්ථාවේ. මේ වන විට ලංකාව විශාල විදේශ ණය අර්බුදයකට මුහුණ පාලා තිබෙනවා. දළ වශයෙන් ඩොලර් බිලියන 8 ක පමණ ණය ප්‍රමාණයක් ගෙවන්න තියෙනවා මේ වසර තුල. අප සතුව තියෙන සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 කට ආසන්නයි. ලංකාව ඉතිහාස විදේශ විනිමය අර්බුදයට මුහුණ පාලා තියෙනවා. පෙට්‍රල්, ඩීසල්, ගෑස්, බෙහෙත් වර්ග, නැතිවෙලා තියෙන්නේ මේ නැව් එන්න ප්‍රමාදයක් නිසාවත්, විදේශ කුමන්ත්‍රණයක් නිසාවත් නෙමෙයි. මේවා ගන්න මුදල් නොමැතිකම නිසා. අපි දකිනවා ඉතිහාසයේ පළවෙනි වතාවට පෙට්‍රල්, ඩීසල් නැවක් වරායට ආවහම ඒක ප්‍රධාන ශීර්ෂ පාඨයක් වන තරමට, අපි අගාධයකට වැටිලා ඉන්නේ.”

“සියලු අවස්ථා මධ්‍යයේ දකුණු ආසියාවේ අනෙක් සියලුම රටවල් තම විදේශ සංචිත ප්‍රමාණයන් වැඩි කරගෙන තිබෙනවා. පකිස්ථානය, බංගලාදේශය, මාලදිවයින ඇතුළු රටවල් සමඟ විදේශ සංචිත වැඩි කරගෙන තිබෙනවා. ලංකාව පමණයි මේ අර්බුදයට දකුණු ආසියාවේ මුහුණ පාලා තිබෙන්නේ.”

“විශාල වරායවල්, ගුවන් තොටුපලවල්, විශාල නෙළුම් කුළුණු ගැන ඇතැම් දේශපාලනඥයෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා මේවායින් වංචා සිද්ධ වුණා කියලා. මේවාට තමයි අපි විදේශ ණය ලබා ගත්තේ. එතකොට අපි දැන් මේ ගෙවන්නේ ඒ ගත්ත ණය සහ ඒ ණය සඳහා වන වාරිකයන්. මේ වාරිකයන් තමයි මේ වර්ෂය සඳහා කල් පිරිලා අපිට මේ ගෙවන්න තිබෙන ඩොලර් බිලියන අටට මදක් අඩු ප්‍රමාණය. එතකොට විශාල වශයෙන් විදේශ සංචිත – විදේශ මුදල් විනාශ කිරීම, මේ සිදුවෙච්ච නාස්තිය, මේවා අස්සේ සිදුවුණා යැයි කියන වංචාව – දූෂණයත් හේතුවෙන් විදේශ සංචිත නැතිවෙලා තියෙනවා.”

“දළ වශයෙන් ලංකාවේ නිල සංඛ්‍යාලේඛන අනුව උද්ධමනය 12% ක් පමණ වෙනවා. ආහාර සඳහා උද්ධමනය 30% ක් පමණ වෙනවා. දකුණු ආසියාවේ ඉහළම උද්ධමනය වාර්තා වෙන්නේ ලංකාවේ. විශේෂයෙන්ම ආහාර සඳහා.”

“ආර්ථික විද්‍යාඥයන් දිගින් දිගටම ප්‍රකාශ කළේ මේ ආකාරයෙන් මුදල් අච්චු නොගසන ලෙසය. අනවශ්‍ය දේට වියදම් නොකරන ලෙසය. රජය විසින් මෙවර අයවැයෙනුත් දළ වශයෙන් සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකටම රු. මිලියන 30 බැගින් රු. මිලියන 42,000 කට අධික ප්‍රමාණයක් වෙන් කොට තිබෙනවා. ප්‍රාදේශීය සභා කොට්ඨාසවලට තවත් රු. මිලියන 15,000 කට වඩා වෙන් කොට තිබෙනවා. මෙසේ ප්‍රාදේශීය සංවර්ධනයට කියා යෙදවූ මුදල් යෙදවෙන්නේ ප්‍රාදේශීය හෙංචයියන් කොන්ත්‍රාත්කරුවන් සතුටු කිරීම සඳහා යි.”

“සුපුරුදු දේශපාලන ආර්ථිකය හසුරවමින් යනවා. මේ විදිහට ගියොත් සිද්ධවෙන්නේ, අත්තනෝමතිකව මුදල් අච්චු ගහලා, සිම්බාබ්වේ රාජ්‍යයට වෙච්ච දේ. වෙනිසියුලා හියුගෝ චාවේස් ඔහුගේ දේශපාලන හිතවතුන්ට කොන්ත්‍රාත් ලබා දෙමින් කරපු විනාශය වගේ අපි මේ යන්නේ පැහැදිලිවම ඒ අඩිපාරේ. ලෝක බැංකුවට අනුව ශ්‍රී ලංකාවේ මේ වෙද්දී 4% ක් වෙලා තියෙන දරිද්‍රතාව මේ වසර අග වන විට තවත් 2% කින් පමණ වැඩිවනු ඇත.”

***************************************

වාහන ගේන්න මහ බැංකුව අවසර දෙයි.. කොන්දේසියක් දමයි..

(12.03.2022 – 12:00 +0530 – lankacnews.com)

ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබාදෙන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර ඇත.

ඩොලර්වලින් තීරු බදු ගෙවා වාහන ගෙන්වීමට අවසර ලබා දුනහොත් ඇතැම් පුද්ගලයන් සතුව පවතින ඩොලර් වෙළෙඳපොළට වේගයෙන් ගලා ඒමෙන් රටේ ඩොලර් ප්‍රශ්නයට යම් විසඳුමක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එසේම විදේශ රැකියාවන්හි යෙදී සිටින අයට වාහනයක් ගෙන්වා ගැනීමටද එමගින් අවස්ථාව සැලසෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ මහ බැංකුවේ නිලධාරීහු පවසති.

කෙසේ වෙතත් සාමාන්‍ය ආකාරයට වාහන ගෙන්වීම රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන තවදුරටත් අධෛර්යමත් කළ යුතු බවද ශ්‍රී ලංකා මහබැංකුව රජයට නිර්දේශ කර ඇත.

මේ අතර විදේශයෙන් ආනයනය කෙරෙන සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම නතර කිරීම වෙනුවට ඒවායින් වැඩි බදු මුදලක් අය කිරීම මේ අවස්ථාවේදී වඩා ගැළපෙන ප්‍රායෝගික ක්‍රියාදාමය බව ශ්‍රී ලංකා මහ බැංකුව රජයට කරුණු පෙන්වාදී ඇත.

ලංකාදීප

***************************************

සිරස විසින් බැසිලා පතුරු ගැසේ

(12.03.2022 – 11:15 +0530 – lankaleadnews.com)

සිරස මාධ්‍යය ජාලය සිය ප්‍රවෘත්ති විකාශය අතර තුර, සිරස මාධ්‍යය ජාලයේ සංඛ්‍යාත ලබා ගැනීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නිර්දය ලෙස එම ප්‍රවෘත්ති විකාශය අතර තුර විවේචනය කරන විඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ. එහිදි එම මාධ්‍යය ජාලය බැසිල් රාජපක්ෂගේ දූෂණ වංචා පිළිබඳ බරපතල විවේචනයක් ඉදිරිපත් කරණු දක්නට ලැබේ. ‘අහිංසක ජනතාවගේ සමෘද්ධියෙන් පවා හොරා කෑ ඔබ, ඔබගේ කාලය අවසන් බව තේරුම් ගන්නා ලෙසත් ජනතාව විසින් ඔබ එලවා දමනුලැබීමට පෙර තමාගේ රටට යන ලෙසත්’ එම වීඩියෝව මගින් ‘සිරස මාධ්‍යය ජාලය’ ඉල්ලා සිටී.

සම්පූර්ණ වීඩියෝව :

***************************************

හිතවත් ගෝඨාභය රාජපක්ෂගේ එකම පුතුනුවනි කොහොමහරි තාත්තාවයි බාප්පාවයි ආපහු අමෙරිකාවට ගෙන්වා ගන්න – ජනප්‍රිය රූපවාහිනී නිවේදක විශ්ව ලංකා

(12.03.2022 – 11:12 +0530 – lankaleadnews.com)

ජනප්‍රිය රූපවාහිනී නිවේදකයෙකු වන විශ්ව ලංකා මහතා මාධ්‍යය ජාලයට එක් කර ඇති වීඩියෝවක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුතනුවන් ගෙන් ඉල්ලා සිටින්නේ ඔහුගේ පියා සහ බාප්පා වන බැසිල් රාජපක්ෂ හැකි ඉක්මනින් ආපසු අමෙරිකාවට ගෙන්වා ගන්නා ලෙසයි. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මිනිසුන්ගෙන් බැනුම් ඇසිය යුතු කෙනෙකු නොවන බවත් මේ වන විට බැසිල් රාජපක්ෂ රටම බංකොලොත් තත්වයට පත් කර ඇති හෙයින් ඉතිරි වී තිබෙන දෙයින් හෝ ශ්‍රී ලංකාවාසීන්ට දුකක් කරදරයක් නැතිව ජීවත් වීමට නම් වහාම බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ අමෙරිකාවට ගෙන්වා ගන්නා ලෙසයි.

++++++

මෙච්චර ඉවසන මිනිස්සු ඉන්න රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති – පේෂල මනෝජ් කියපු කතාව (12.03.2022)

+

සර්ව පාක්ෂික සමුළුව ජාතික ආණ්ඩු මර උගුලක්ද? සභ්‍යත්ව සංකථන 36 (Zoom Meeting)

(12.03.2022 – 12:21 +0530 – lankaleadnews.com)

සභ්‍යයත්ව සංකථන සංවාද මාලාවේ 36 වන සංවාදය ‘සර්ව පාක්ෂික සමුළුව ජාතික ආණ්ඩු මර උගුලක්ද?’ ලෙසින් 2022 මාර්තු 12 වන දින සවස 07:30 (+0530) සිට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එහිදී මුලසුන ‘පනස්හයේ දරුවෝ’ සංවිධානයේ අනුශාසක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් හොබවනු ලබයි.

සාකච්ඡාවේදී ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා , වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සහ ව්‍යාපාරික ප්‍රිමාල් ප්‍රනාන්දු මහතා දෙසුම් පැවැත්වීමට නියමිතය.

පහත දැක්වෙන සබැඳියාව ඔස්සේ එම සාකච්ඡාවට සහභාගි විය හැකි බව සංවිධායක මණ්ඩලය පවසති.

Topic: සර්ව පාක්ෂික සමුළුව ජාතික ආණ්ඩු මර උගුලක්ද?
Time: Mar 12, 2022 07:30 PM Colombo (+0530)
Join Zoom Meeting
+ https://us02web.zoom.us/j/86076863900
Meeting ID: 860 7686 3900
Passcode: 829852

++++++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *