කඳුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ මරණය ඝාතනයක් !

කඳුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ මරණය ඝාතනයක් !

*********************************************

කඳුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ මරණය ඝාතනයක් !

(11.03.2022 – 19:27 +0530 – hirunews.lk/sinhala)

ඇඹිලිපිටිය – කදුරුගස්ආර එළිමහන් සිරකඳවුරේ රඳවා සිටිය දී මීට මාස 2 කට පෙර හදිසියේ මියගිය සිරකරුගේ මරණය ඝාතනයක් බවට මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී ඇති බව අධිකරණය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහාම විමර්ශනයක් ක්‍රියාත්මක කරන ලෙසයි ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ නියෝග කර ඇත්තේ.

මියගිය සිරකරුගේ සිරුරු කොටස් පරීක්ෂණ සඳහා යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පසුගියදා පියවර ගෙන තිබුණා.

2010 වසරේදී රුපියල් දස දහසක (10,000) මුදලක් සොරකම් කිරීමේ සිද්ධියකට වරදකරුවීම හේතුවෙන් අදාළ සිරකරුට පසුගිය වසරේ මාර්තු මස 09 වනදා අධිකරණය මගින් බරපතල වැඩ සහිත වසර 3 ක සිර දඬුවම් නියම කර තිබුණා.

ඒ අනුව ඔහු අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයට යොමු කර ඇති අතර කල් ක්‍රියාව යහපත් බව පවසමින් අනතුරුව ඔහුව ඇඹිලිපිටිය කඳුරුගස්ආර එළිමහන් සිරකඳවුරට මාරු කර යැවීමටයි කටයුතු කර තිබුණේ.

එම සිරකඳවුරේ දී අදාළ රැඳවියා පසුගිය ජනවාරි 13 වනදා සැකකටයුතු ලෙස මිය ගොස් තිබු අතර ඔහු ඉමදූව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක් ෴

+++++++

22-01-2022

***************************************

රන් භාණ්ඩ කොල්ලකමින් පලා යමින් සිටි පෙම්වතෙකු අත්අඩංගුවට

(11.03.2022 – 19:25 +0530 – hirunews.lk/sinhala)

තම පෙම්වතියට තෑගි කිරීම සඳහා හොරණ නගරයේ රන් භාණ්ඩ අලෙවිසැලකින් රුපියල් ලක්ෂ 5 ක පමණ කරාබු අඩංගු පෙට්ටියක් කොල්ලකා පලා යමින් සිටි 23 හැවිරිදි තරුණයෙකු එම අවස්ථාවේ නගරයේ සිටි තරුණයින් පිරිසක් විසින් අල්ලාගෙන අද (11) පොලීසියට භාර දුන්නා ෴

***************************************

යුක්‍රේන – රුසියා අර්බුදය ආර්ථික සැලසුම් වෙනස් කළා – මහබැංකු අධිපති

(11.03.2022 – 19:35 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන – රුසියා යුද අර්බුදය හේතුවෙන් මෙරට ආර්ථික සැලසුම් ද වෙනස් කිරීමට සිදු වූ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පවතින ආර්ථික තත්වය සම්බන්ධනේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින්.

ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල අද (11) රුපියල් 256.22 ක් ලෙස දැක්වුණු අතර මෙවන් පසුබිමක ඖෂධ ඇතුලු භාණ්ඩ රැසක මිල ගණන් සහ සේවා රැසක ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ඖෂධ මිල සියයට 29 කින් ඉහළ දැමීමට ඖෂධ මිල පාලන කමිටුව අවසර ලබා දී තිබෙනවා.

ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන අද (11) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ අදාළ ඉහළ දැමීම සම්බන්ධයෙන් වන තීරණය එම කමිටුවේ සභාපති විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් තමන් වෙත දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත්, ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදුවූ වෙනසට අනුපාතිකව මිස ආනයනකරුවන්ට සහ ඔසුසැල් හිමියන්ට අවශ්‍ය පරිදි ඖෂධ මිල වැඩි කළ නොහැකි බව ඖෂධ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙරට තුළ ඖෂධ මිල ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව මගින් පාලනය කරන අතර එම කමිටුව ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන විද්වතුන් 10 දෙනෙකුගෙන් සමන්විතයි.

එමෙන්ම, ඖෂධ ආනයනය සඳහා සීමාවක් පනවා නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල ද ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ සීමා කර ඇති අත්‍යාවශ්‍ය නොවන ද්‍රව්‍ය අතරට ඖෂධ ඇතුළත් කර නොමැති බවයි.

ඩොලරයේ වටිනාකම ඉහළ යාමත් සමග මෙරට රන් මිල ද සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව කොළඹ හෙට්ටිවීදියේ කැරට් 24 රන් පවුමක මිල සටහන් වනනේ රුපියල් 1,41,000 ක් ලෙසයි. කැරට් 22 රන් පවුමක මිල රුපියල් 1,29,500 ක් ලෙස දැක්වෙන අතර එය මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඉහළම රත්‍රන් මිලයි.

අද (11) සිට සියලුම ගුවන් ප්‍රවේශපත්‍රවල මිල ගණන් සියයට 27 කින් ඉහළ දමා තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කළේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ වීමත් සමඟ මෙම තීරණයට එළඹීමට සිදු වූ බවයි.

***************************************

මැතිසබයටත් රෝස් පාන්

(11.03.2022 – 19:43 +0530 – hirunews.lk/sinhala)

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල වැඩි කිරීමත් සමග සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අද (11) පාර්ලිමේන්තුවට රෝස් පාන් කාලක් රැගෙන පැමිණියා.

මේ අතර, ලංකා අයි.ඕ.සී. ඉන්ධන මිල ඉහළ නැංවීම පිලිබඳව ද අද (11) පාර්ලිමේන්තුවේදී හට ගත්තේ උණුසුම් සංවාදයක්.

එසේම, ඉඩම් සංවර්ධන සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන රහිතව අද (11) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

ඉඩම් ආඥා පනත යටතේ මෙතෙක් කල් ප්‍රතිපාදන හිමිව තිබුණේ දීමනා ග්‍රාහකයාගේ ඇවෑමෙන් වැඩිමල් පිරිමි දරුවාට අයිතිය හිමිවීමයි.

නමුත් මෙම සංශෝනය අනුව පවුලේ අනෙක් දරුවන්ට ද සාධාරණයක් වන පරිදි අයිතිවාසිකම් හිමිවනු ඇති.

***************************************

ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය ජනපති – අගමැති ප්‍රධානත්වයෙන්

(11.03.2022 – 20:29 +0530 – hirunews.lk/sinhala)

වාර්ෂික ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ කොළඹ දී පැවැත්වුණා.

ආසියාතික රාජ්‍යයන් අතරින් ප්‍රථම වරට සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකාව ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ සුවිශේෂි සංධිස්ථානයක් අත්කර ගෙන ජනතාව උද්යෝගීමත්ව ඡන්දය ප්‍රකාශ කිරීමට පෙළ ගැසුණා.

එහෙත් ඡන්ද අයිතිය ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත පිළිබඳ බොහෝ දෙනෙකුට ඇති දැනුම අල්ප බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමෙන් අපේක්ෂා කෙරෙනවා ෴

+

@@@@ ඉන්ධන සහ විදුලිබල අර්බුදය @@@@

හෙටත් (12) කළුවරේ !

(11.03.2022 – 18:17 +0530 – hirunews.lk/sinhala)

හෙට (12) සිට P සිට W දක්වා කලාපවලට විදුලිය කපා හැරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

ඒ අනුව පෙරවරු 10 සිට පස්වරු 2 අතර පැයක් (1), පස්වරු 04:30 සිට 09:30 දක්වා පැය 01 මිනිත්තු 15 ක කාලයක් විදුලිය විසන්ධි වනු ඇති.

එමෙන්ම A සිට L දක්වා පෙරවරු 8 සිට පස්වරු 6 තෙක් පැය 2 මිනිත්තු 30 ක් සහ පස්වරුවේ පැය 1 මිනිත්තු 15 ක කාලයක් විදුලිය ඇනහිටින බව ද එම නිවේදනයේ සඳහන්.

මේ අතර, අනිද්දා (13) දිනයේදී P, Q, R, S, T, U, V, W කලාපවලට පස්වරු 5 සිට රාත්‍රී 9 අතර කාලය තුළ පැයක් සහ A,B,C,D,E,F,G,H,I,J,K,L කලාපවලට උදෑසන 9 සිට පස්වරු 5 තෙක් කාලය අතර පැය දෙකක (2) කාලයක් විදුලිය කැපීම සිදු කෙරෙනවා.

එමෙන්ම, පස්වරු 5 සිට රාත්‍රී 11 තෙක් අතර කාලයේ දී පැයයි (1) මිනිත්තු 15 ක කාලයක් ද විදුලිය විසන්ධි වනු ඇති.

මේ අතර, ගෑස් සැපයුම යථා තත්ත්වයට පත් කිරීමත් සමඟ අද (11) දිනයේදී ගෑස් සිලින්ඩර 1,20,000 ක් වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කළ බව ලිට්රෝ සමාගම පැවසුවා ෴

+++++++++++

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළ යන ලකුණු

(11.03.2022 – 19:41 +0530 – hirunews.lk/sinhala)

අයි.ඕ.සී. සමාගම, මිල ඉහළ දැමූ අයුරින් ඉදිරියේදී සිපෙට්කෝ ඉන්ධන මිල ගණන්ද ඉහළ යනු ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

මේ අතර, බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ අද (11) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පවත්වනු ලැබුවේ ද ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන්. එහිදී නිලධාරීන් පෙන්වා දී ඇත්තේ සිපෙට්කෝ ඉන්ධන මිලද ඉහළ නැංවිය යුතු බවයි.

ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව මිල ඉහළ නොදැමීමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණ පා ඇති අර්බුදය පිළිබඳව නිලධාරීන් අමාත්‍යවරයාගේ අවධානය යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත්, බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ කියා සිටියේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇති නමුත් මෙතෙක් ඒ සඳහා වේලාවක් ලබාදී නොමැති බවයි.

ලංකා අයි.ඕ.සී. සමාගම ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ නැංවීමට පියවර ගත්තා.

ඒ අනුව අයි.ඕ.සී. ඩීසල් ලීටරයක් මේ වනවිට රුපියල් 214 කට අලෙවි වන අතර, ඔවුන් පෙට්රල් ලීටරයක් මේ වනවිට අලෙවි කරන්නේ රුපියල් 254 කටයි.

අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟ ජනතාව සිපෙට්කෝ පිරවුම්හල් වෙත වැඩි වශයෙන් ඇදී යෑම හේතුවෙන් අද (11) දිනයේදී ද පෝලිම් දැකගත හැකිවුණා.

මේ අතර, සිපෙට්කෝ මිල ද ඉහළ නැංවුවහොත් ඉන්ධන සහනාධාරයක් රජයෙන් අපේක්ෂා කරන බව බස් සහ ත්‍රීරෝද රථ සංගම් ප්‍රකාශ කළා.

එසේ නොලැබුණහොත් රුපියල් 17 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා ඉහළ නැංවීමට සිදුවනු ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ.

එසේම, සහනාධාරයක් ලබා නොදුනහොත් පළමු කිලෝමීටරයට අයකරන ගාස්තුව රුපියල් 80 දක්වා ඉහළ නංවන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර සඳහන් කළා.

කෙසේ වෙතත්, දැනටමත් ජනතාවට හැකි තරම් සහන ලබාදීමට කටයුතු කර ඇති බවයි ගම්පහ මහාධිකරණයේ අද (11) පැවති නඩු විභාගයකට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ.

මේ අතර, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්පූර්හි මෙගාවොට් 500 ක සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය, එන්.ටී.පී.සී. හෙවත් ඉන්දියාවේ ජාතික තාප බලශක්ති සංස්ථාව සමඟ අද (11) හවුල්කාරීත්ව ගිවිසුමකට එළැඹුණා.

ඒ සඳහා අද (11) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී එම ගිවිසුමට අත්සන් කරනු ලැබුවේ විදුලිබල මණ්ඩලය වෙනුවෙන් එහි සභාපතිවරයා සහ උප සභාපතිවරයා මෙන්ම එන්.ටී.පී.සී. හෙවත් ඉන්දියාවේ ජාතික තාප බලශක්ති සංස්ථාවේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක්.

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

කොවිඩ් ආසාදිතයින් 81 දෙනෙකු සුවයට

(11.03.2022 – 15:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය ව සිටි තවත් පුද්ගලයින් 81 දෙනෙකු සුවය ලබා තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 6,18,697 ක්.

කෙසේවෙතත් වෛරසය ආසාදනය වී තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 19,845 ක් වන අතර, ඊයේ (10) දිනට සිදු වූ මරණ සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16,374 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

කොවිඩ් ආසාදනය වී සිටි පුද්ගලයින් 07 දෙනෙකුගේ මරණ අද (11) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,381 ක් දක්වා ඉහළ යනු ඇති.

වෛරසය ආසාදනය වී තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 19,845 ක් වන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 6,18,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා ෴

අද (11) දිනයට කොරෝනා නව ආසාදිතයින් 467 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන නව ආසාදිතයින් 6,55,383 ක්.

තවදුරටත් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 20,305 ක් වන අතර අද (11) දිනට ඊයේ (10) දින සිදු වූ කොවිඩ් මරණ 07 ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා ෴

+

@@@ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය වීම @@@

රුසියානු හමුදා යුක්රේන අගනුවරට ළං වෙයි

(11.03.2022 – 08:59 +0530 – hirunews.lk/sinhala)

යුක්රේන ආක්‍රමණයේ නිරත රුසියානු හමුදා මේ වනවිට කීව් අගනුවරට සැතපුම් 3 ක් පමණ ආසන්නයට පැමිණ ඇති බව ඇමරිකානු ආරක්ෂක අංශ පවසනවා.

ඒ අනුව වයඹ දෙසින් අගනගරය වෙත ඇදෙන රුසියානු හමුදා නගර මධ්‍යයේ සිට සැතපුම් 9 ක් දුරින් ස්ථානගතවී සිටින බව සඳහන්.

සැතපුම් 25 ක් පමණ වයඹ දෙසින් සිය මෙහෙයුම් ක්‍රියාත්මක කළ රුසියානු හමුදා ඉදිරියට ඇදුනේ උතුරුකරයේ චර්නිව් නගරය හුදෙකලා කරමින්.

යුක්රේන ආක්‍රමණය ආරම්භයේ පටන් රුසියානු හමුදා විවිධ වර්ගයේ මිසයිල 775 ක් එල්ල කර ඇති බව සිය බුද්ධි වාර්තා උපුටා දක්වමින් ඇමරිකානු ආරක්ෂක අංශ සඳහන් කළා.

කෙසේ නමුත් යුක්රේන කීව් අගනුවර නගරාධිපතිවරයා සඳහන් කළේ, සන්නද්ධ සිවිල් වැසියන් අගනුවර බලකොටුවක් ලෙසින් ආරක්ෂා කිරීමට සූදානම් බවයි.

මේ අතර දකුණුදිග මරියුපොල් නුවර වැසියන්ට අවශ්‍ය ආහාර හා ජලය හිඟ වී ඇති බව අන්තර්ජාතික රතු කුරුස කමිටුව හෙළිදරව් කළා.

රුසියානු හමුදා වටකර සිටින මෙම නගරයේ මාතෘ සහ ළමා රෝහලක් රුසියානු ප්‍රහාරයට ලක්වීම මේ වනවිට ඉමහත් ආන්දෝලනයකට ලක් වී තිබෙනවා.

මේ අතර යුක්රේනයේ දෙවන (2) විශාලතම නගරය වන කාර්කිව් හි ගැටුම් උත්සන්න වී ඇති අතර, රුසියානු ගුවන් ප්‍රහාර සහ කාලතුවක්කු ප්‍රහාර අඛණ්ඩ ව ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.

එහි ජීවිත හානි රැසක් වාර්තාවන බවයි යුක්රේන ආරංචි මාර්ග සඳහන් කළේ ෴

++++++++++++

රුසියානු හමුදා යුක්රේනයේ කීව් අගනුවරට යළි කඩා වදියි

(11.03.2022 – 19:45 +0530 – hirunews.lk/sinhala)

රුසියානු හමුදා යුක්රේනයේ කීව් අගනුවර අවට යළි සංවිධාන වෙමින් සිටින බව චන්ද්‍රිකා ඡායාරූපවලින් තහවුරු වී තිබෙනවා.

නගරය දෙසට ඔවුන් ගමන් කරමින් සිටින ආකාරය ද එමගින් දිස්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *