ගෑස් බෙදා හැරීම අද (11) සිට යථා තත්ත්වයට

ගෑස් බෙදා හැරීම අද (11) සිට යථා තත්ත්වයට

*********************************************

ගෑස් බෙදා හැරීම අද (11) සිට යථා තත්ත්වයට

(11.03.2022 – 07:36 +0530 – hirunews.lk/sinhala)

ලිට්රෝ ගෑස් බෙදාහැරීම අද (11) සිට යථා තත්වයට පත් කරන බව එම සමාගම පවසනවා.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ වෙළඳපොලේ ගෑස් හිඟයට පිළියම් ලැබෙනු ඇති බවයි ලිට්රෝ සභාපති තෙෂාර ජයසිංහ ප්‍රකාශ කළේ.

පසුගිය දිනවල වෙළඳපොලේ ලිට්රෝ ගෑස් හිඟයක් උද්ගත වූයේ ණයවර ලිපි විවෘත කිරීමට ඇතිවූ දුෂ්කරතාව මතයි.

කෙසේ වෙතත් අඛණ්ඩව සිදු කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඊයේ (10) රාත්‍රිය වනවිට රාජ්‍ය බැංකු ගෑස් තොග නිදහස් කිරීමට අදාළව ණයවර ලිපි විවෘත කිරීමට එකඟ වී තිබෙනවා.

ඒ අනුව දැනට දිවයිනට ළඟා වී ඇති නෞකා දෙකේ (2) අඩංගු ගෑස් තොග ද ගොඩබෑම ආරම්භ කරන අතර, දිනකට සිලින්ඩර 80,000 ක් වෙළඳපොලට නිකුත් කිරීමටයි ලිට්රෝ සමාගම සැළසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත් ඩොලර් හිඟයත් සමඟ ණයවර ලිපි විවෘත කිරීමේ දුෂ්කරතාව නිසා ලාෆ්ස් සමාගම තවදුරටත් සිය මෙහෙයුම් කටයුතු නවතා දමා තිබෙනවා ෴

+++++++++++

අයි.ඕ.සී. තෙල් මිල ඉහළට

(11.03.2022 – 08:29 +0530 – hirunews.lk/sinhala)

ලංකා අයි.ඕ.සී. සමාගම ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් සහ පෙට්‍රල් මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව එම සමාගමේ සියලුම වර්ගයේ ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ යනු ඇති.

මෙලෙස සියයට 54 කින් මිල ඉහළ නැංවූ අයි.ඕ.සී. ඩීසල් ලීටරයක මිල රුපියල් 214 ක් වන අතර, සියයට 27 කින් මිල ඉහළ නැංවූ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254 ක් වනවා.

මෑත ඉතිහාසයේ වැඩි ම අගයකින් ඉන්ධන මිල ඉහළ දැමූ ප්‍රථම අවස්ථාව මෙය යි.

මිල වැඩිවීමත් සමඟ අයි.ඕ.සී. සමාගමේ ලංකා පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 254 ක් වන අතර, එක්ට්‍රා ප්‍රිමියම් ලීටරයක් රුපියල් 263 ක් වනවා.

ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 214 ක් ද එක්ස්ට්‍රා මයිල් ලීටරයක් 220 ක් ද වන අතර, එක්ස්ට්‍රා ප්‍රිමියම් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 283 ක් ද ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 252 ක් ද වනවා.

අයි.ඕ.සී. සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා රුපියල දින හතක් (7) තුළ ඩොලරයට සාපේක්ෂව දෙවතාවක් (2) අවප්‍රමාණ වීම මෙලෙස මිල ඉහළ නැංවීම සඳහා බලපා ඇති බවයි.

මහ බැංකුව විසින් විදේශ විනිමය අනුපාතික නම්‍යශීලී වීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ රුපියල් 203 ක් වූ ඩොලරය මුලින් රුපියල් 230 ක් දක්වා අවප්‍රමාණ වූ අතර, බැංකු මගින් මේ වනවිට ඩොලරයක් සඳහා රුපියල් 260 ක් පමණ ගෙවනු ලබනවා.

අයි.ඕ.සී. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා සඳහන් කළේ, දින හතක් තුළ රුපියල් 57 ක් දක්වා දෙවතාවක් (2) රුපියල අවප්‍රමාණ වීම ඩීසල් සහ පෙට්‍රල්වල ගොඩබෑමේ මිලට ඍජුවම බලපා ඇති බවයි.

එය, ලීටරයක මිලට සමාන ප්‍රමාණයකින් වැඩිවී ඇති බව අයි.ඕ.සී. සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන්.

යුක්රේන යුද්ධය නිසා බටහිර රටවල් විසින් රුසියාව හුදෙකලා කිරීම සඳහා ගෝලීය තෙල් වෙළඳපොලින් ඔවුන් කපා හැරීම හේතුවෙන් ලෝක වෙළඳපලේ තෙල් මිල ද ඉතා ඉහළ මට්ටමක පවතින බව අයි.ඕ.සී. කළමනාකාර අධ්‍යක්ෂවරයා පෙන්වා දෙනවා.

අයි.ඕ.සී. සමාගමට ලක් රජයෙන් කිසිදු සහනාධාරයක් නොලැබෙන අතර, එහි අලාභය (?) ගණනය කරනු ලබන්නේ අදාළ තීරුබදු, හැසිරවීමේ ගාස්තු ආදී බදු ගෙවීමෙන් අනතුරුව නිෂ්පාදනයේ සැබෑ ගොඩබෑමේ පිරිවැය මත පදනම්ව යි.

කෙසේ නමුත් ඉදිරියේ දී පවතින තත්වය යහපත් අතට හැරුණ හොත් පෙට්‍රල් සහ ඩීසල්වල මිල අඩුවීමේ ප්‍රතිලාභය ද පාරිභෝගිකයන්ට ලබාදීමට හැකිවනු ඇතැ යි ඔහු විශ්වාසය පළ කළා.

මේ අතර හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමක දී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ සඳහන් කළේ, ලෝක වෙළඳපොලේ පවතින ඉන්ධන මිල ගණන් යටතේ සංස්ථාව ලබන අධික අලාභය පියවා ගන්නා ආකාරය පිළිබඳව අද (11) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව යි.

+++++++++++

ගල් අඟුරු ගෙන්වා ඇති බව ඇමති ලොකුගේ කියයි

(11.03.2022 – 08:50 +0530 – hirunews.lk/sinhala)

නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා අවශ්‍ය කෙරෙන ගල් අඟුරු නියමිත පරිදි දිවයිනට ගෙන්වා ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා. මෙගාවොට් 900 ක ධාරිතාවක් නොරොච්චෝලේ බලාගාරය මගින් ජාතික පද්ධතියට එක්කරන අතර, අප්‍රේල් මාසය අවසන් වනවිට බලාගාරයට අවශ්‍ය තවත් ගල් අඟුරු තොගයක් නෞකා 05 කින් රැගෙන ඒමට නියමිතව ඇති බවයි අමාත්‍යවරයා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.

මේ අතර, අද (11) දිනයේදීත්A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාපවලට උදෑසන 8 සිට පස්වරු 6 දක්වා පැය දෙකහමාරක (2½) කාලයක්ද සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැයයි (1) මිනිත්තු 15 ක කාලයක්ද විදුලිය කප්පාදු කෙරෙනවා.

එමෙන්ම P, Q, R, S, T, U, V, W යන කලාපවලට අද (11) විදුලිය කප්පාදු කෙරෙන්නේ පැයක (1) කාලයක් පමණයි. ඒ පස්වරු පහේ (5) සිට රාත්‍රි 9 දක්වා කාලය තුළයි.

මේ අතර, ඩීසල් මෙට්‍රික් ටොන් 33,000 ක නෞකාවකින් ඩීසල් ගොඩබෑමේ කටයුතු අද (11) ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා. ඔහු විශ්වාසය පළ කළේ ඉදිරි දින කිහිපය තුළදී ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පවතින පෝලිම් පහව යනු ඇති බවයි ෴

+++++++++++

තෙල් මිල සියයට 30 කින් ඉහළට

(11.03.2022 – 09:01 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ යුක්රේන ආක්‍රමණය තවදුරටත් උත්සන්න වෙද්දි ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතිනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 109.30 ක් ලෙස සටහන් වන අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 107.40 ක් ලෙසයි.

මේ අතර රුසියානු ඉන්ධන ආනයනය බටහිර රටවල් විසින් අත්හිටුවීමත් සමඟ එරට බොරතෙල් නිෂ්පාදනය තාවකාලිකව නතර කිරීමට සිදුව ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

පසුගිය පෙබරවාරි 24 වනදායින් පසු ලෝක වෙළඳපොලේ තෙල් මිල සියයට 30 කින් පමණ ඉහළ ගිය අතර, වරෙක බොරතෙල් බැරලයක මිල ඩොලර් 139 දක්වා ඉහළ ගියා ෴

+++++++++++

සාම්පූර් හි සූර්ය විදුලි බලාගාරයක් ඉදි කිරීමට අද (11) ගිවිසුම්ගත වෙයි

(11.03.2022 – 13:52 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සාම්පූර්හි සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය, එන්.ටී.පී.සී. හෙවත් ‘ඉන්දියාවේ ජාතික තාප බලශක්ති සංස්ථාව’ සමඟ අද (11) හවුල්කාරීත්ව ගිවිසුමකට එළඹෙනවා.

ඒ සඳහා අද (11) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තැබීමට නියමිතයි.

සාම්පූර් හි මෙගවොට් 500 ක තාප විදුලි බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල මණ්ඩලය ඉන්දියාවේ එන්.ටී.පී.සී. ආයතනය සමඟ 2011 වසරේදී ගිවිසුම් ගත වුව ද එය ක්‍රියාවට නැංවුණේ නැහැ.

එන්.ටී.පී.සී. හෙවත් ඉන්දියාවේ ජාතික තාප බලශක්ති සංස්ථාව එරට විශාලතම බලශක්ති සමාගම වන අතර, එමඟින් මෙගවොට් 60,000 ක විදුලිබලයක් උත්පාදනය කරනු ලබනවා ෴

නව සූර්යය බලාගාරයකට ගිවිසුම්ගත වෙයි

(11.03.2022 – 18:43 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඉන්දියාවේ ජාතික තාප විදුලි සංස්ථාව (NTPC) එක්ව හවුල් ව්‍යාපාර කොටස්කරුවන්ගේ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ අද (11) පස්වරුවේදී බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නව සූර්යය බලාගාරයක් පිහිටුවීම මෙම නව ගිවිසුමේ අරමුණයි.

නව සූර්යය බලාගාරය ඉදිකෙරෙන්නේ සාම්පූර් ප්‍රදේශයේ දී යි.

එහිදී විදුලිය මෙරට සූර්යය බලය ප්‍රයෝජනයට ගනිමින් උත්පාදනය කර, විදුලි අර්බුදයට දීර්ඝ කාලීන විසඳුම් ලැබීම මෙම වැඩසටහනේ තවත් අරමුණක් ෴

+++++++++++

සජබය ඉන්ධන මිල ඉහළ යාම ගැන ප්‍රශ්න කරයි

(11.03.2022 – 14:06 +0530 – hirunews.lk/sinhala)

ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් අද (11) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇතිවුණා.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මෙන්ම කථානායක මහින්ද යාපා අබේවර්ධන ද මෙම සංවාදයට මැදිහත්වුණා.

එමෙන්ම ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද (11) පාර්ලිමේන්තු සභා වාරය පැවැත්වෙන අවස්ථාවේ දී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සභාවේ රැඳී සිටින ආකාරය ද දක්නට ලැබුණා ෴

***************************************

අතුරලියේ රතනයා ගැන ….

10-03-2022

++++++

09-03-2022

***************************************

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් සිසු සිසුවියන්ට විශේෂ නිවේදනයක්

(11.03.2022 – 16:49 +0530 – hirunews.lk/sinhala)

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් 2021 අධ්‍යයන වර්ෂය සඳහා නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ, සිසු සිසුවියන් පාසලට කැඳවීමේ දී ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගත යුතු බව පෙර දන්වා තිබුණ ද, මෙම මස 14 වැනි දින සිට සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සාමාන්‍ය පරිදි පාසලට කැඳවිය යුතු බවට තීරණය කෙරුණු බවයි.

එමෙන්ම පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසල පවත්වාගෙන යාම සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ අනුමැතිය යටතේ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවයි.

***************************************

‘තවත් සහන පුළුවන් තරම් දෙනවා’ – බැසිල්ගෙන් ප්‍රකාශයක්

(11.03.2022 – 17:33 +0530 – hirunews.lk/sinhala)

රට තුළ උද්ගතව පවතින ඩොලර් අර්බුදයට හේතුව වත්මන් රජයේ ක්‍රියා කලාපය නොවන බව මුදල් අමාත්‍ය බැසිල් ‍රාජපක්ෂ පවසනවා.

ගම්පහ පිහිටි බස්නාහිර පළාත්බද මහාධිකරණය වෙත අද (11) පෙරවරුවේ පැමිණි අවස්ථාවේ දී, මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා කියා සිටියේ, ජනාධිපති, අග්‍රාමාත්‍යවරයා සහ ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් රටේ පැන නැඟි අර්බුදයන්ට කඩිනම් විසඳුම් ලබාදීමට මේ වනවිටත් පියවර ගෙන ඇති බවයි.

එහිදී මාධ්‍යවේදීන් විමසා සිටියේ තෙල්, ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇති අතර, එය විසඳාලීමට කඩිනම් තීන්දු තීරණ ගෙන ඇති ද යන වගයි.

ඊට පිළිතුරු දුන් මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ, තෙල් අර්බුදය මෙරට පාලනය විසින් ගොඩනැගූ දෙයක් නොවන අතර, කාලයෙන් කාලයට ලෝක විපර්යාසයන් මත අර්බුද හට ගන්නා බැවින් ඊට අප රටටත් මුහුණපෑමට සිදු වූ බවයි.

කොවිඩ් වසංගතය සමග යුක්‍රේන සහ රුසියානු යුද අර්බුදය තෙල් මිල දෝලනය වීමට ප්‍රධාන වශයෙන් බලපෑම් එල්ල කර ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.

කෙසේ හෝ මෙම අර්බුදකාරී තත්ත්වයන් ඉක්මනින් සමනය කොට, තවදුරටත් සහන ලබාදීමට ඉදිරියේදීත් කටයුතු කරන බවයි මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

***************************************

හැටන් ඔයේ ගිලී තරුණයෙක් මරුට

(11.03.2022 – 18:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී පාද වන්දනාවේ ගොස් ආපසු ආණමඩුව දක්වා ගමන් කරමින් සිටි තරුණයෙක් මහවැලි ගගේ ප්‍රධාන අතුශාඛාවක් වන හැටන්ඔයේ දියනෑමට ගොස් ඔයේ ගිලී අද (11) දින ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ගිනිගත්හේන පොලීසිය පැවසුවේ.

මෙසේ දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත් ව ඇත්තේ ආණමඩුව – පල්ලගම ප්‍රදේශයේ පදිංචි කවිඳු තිෂාර (20) හැවිරිදි තරුණයෙක්.

ජීවිතක්ෂයට පත් තරුණයා සිය මව ඇතුළු ආණමඩුව – පල්ලගම ප්‍රදේශයේ පනස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමග ශ්‍රී පාදස්ථානය වැඳපුදාගෙන ආපසු ආණමඩුව දක්වා ගමන් කරන අතරතුර ගිනිගත්හේන නගරයේ දී ආහාර ගැනීමට බස් රථය නතර කළ අවස්ථාවේ බස් රථයේ සිටි තරුණයන් පිරිසක් ගිනිගත්හේන නගරයට පහළින් මහවැලි ගඟට ජලය ගලා බසිනා හැටන්ඔයේ දියනෑමට ගොස් ඇති බවත්, එහිදී මෙම අනතුර සිදු ව ඇති බවත් වාර්තා වනවා.

එහිදී දිය නාමින් සිටිය දී එකවරම ඔයේ ගිලි කවිඳු තිෂාර අතුරුදහන් වු බවත්, පසුව ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා අතුරුදහන්ව සිටි තරුණයාගේ සිරුර ඔයේ තිබී ගොඩගෙන තිබෙනවා.

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *