ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක් රුපියල් 40 කින්, සෙරන්ඩිබ් තිරිඟු පිටි රුපියල් 35 කින් ඉහළ දැමෙයි

ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක් රුපියල් 40 කින්, සෙරන්ඩිබ් තිරිඟු පිටි රුපියල් 35 කින් ඉහළ දැමෙයි

*********************************************

ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක් රුපියල් 40 කින්, සෙරන්ඩිබ් තිරිඟු පිටි රුපියල් 35 කින් ඉහළ දැමෙයි

(11.03.2022 – 11:03 +0530 – hirunews.lk/sinhala)

ප්‍රීමා පිටි කිලෝවක් රුපියල් 40 කින්, සෙරන්ඩිබ් රුපියල් 35කින් ඉහළ දැමෙයි.

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 40 කින් ඉහළ නංවා අලෙවි කරන ලෙස ප්‍රීමා සමාගම තමන්ට දැනුම් දුන් බව අලෙවි නියෝජිතයන් පවසනවා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ වීමත් සමඟයි එම පියවර ගෙන ඇත්තේ.

මේ අතර සෙරන්ඩිබ් සමාගම අලෙවි කරන තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 35 කින් ඉහළ නංවා තිබෙනවා.

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට එය බලපැවැත්වෙන බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

මේ අතර, ඊයේ (10) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අයි.ඕ.සී. තෙල් මිල ගණන් ද ඉහළ දැමුණා.

එහි නව මිල සටහන් වන්නේ, ඩීසල් ලීටරයක මිල රුපියල් 214 ක් හා පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 254 ක් ලෙස යි ෴

++++++

පාන් ගෙඩියක මිලත් රුපියල් 30 කින් ඉහළට

(11.03.2022 – 13:45 +0530 – hirunews.lk/sinhala)

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

පාන් නිෂ්පාදනයට යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යයන් වන තිරිඟු පිටි, සීනි, මාගරින් සහ බිත්තර මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙලෙස පාන් මිල ඉහළ දැමූ බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන කියා සිටියේ.

මෙම මිල ඉහළ දැමීමත් සමඟ පාන් ගෙඩියක මිල රුපියල් 110 ක් වන අතර, කෙටි බේකරි නිෂ්පාදන ද රුපියල් 10 කින් හෝ ඊට වැඩි අගයකින් ඉහළ දැමීමටයි බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත්තේ.

ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 40 කින් සහ සෙරන්ඩිබ් සමාගම තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 35 කින් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව මීට පෙර වාර්තා වුණා ෴

***************************************

අන්තරෙන් චෝදනාවක්

(11.03.2022 – 08:24 +0530 – hirunews.lk/sinhala)

රටේ සියලු අංශ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වද්දී මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය පමණක් තවදුරටත් අක්‍රියව පවතින බවට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය චෝදනා කරනවා.

එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, 2020 අධ්‍යයන වර්ෂයට අදාළ ව සිසුන් බඳවාගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ප්‍රකාශයට පත්කර නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් අප විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංගගෙන් විමසීමක් කළා.

එහි දී ඔහු කියා සිටියේ 2020 අධ්‍යයන වර්ෂයට අදාළ උසස් පෙළ විභාගය 2021 වසරේ පැවැත්වීමත් එහි ප්‍රතිඵල පසුගිය වසර අවසානයේ නිකුත් වීමත් හේතුවෙන් මෙම තත්වය හටගෙන ඇති බවයි.

කෙසේ වෙතත් එම අධ්‍යයන වර්ෂයට අදාලව උසස් පෙළ විභාගය සමත් සිසුන්ව වෛද්‍ය පීඨ සහ ඉංජිනේරු පීඨ රැසක් ලියාපදිංචි කර බඳවා ගැනීමේ කටයුතු මේ වනවිට සිදුකර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

සභාපතිවරයා පෙන්වා දුන්නේ 2018 සහ 2019 උසස් පෙළ විභාගයට පෙනී සිටි ඇතැම් සිසුන්ව මෙතෙක් විශ්වවිද්‍යාල වෙත කැඳවා නොමැති වුවද ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බවයි.

කොරෝනා පාලනයට පනවා ඇති සීමා හේතුවෙන් ඉහළ ශ්‍රේණිවල සිසු කණ්ඩායම්වල විශ්වවිද්‍යාල කටයුතු අවසන් කිරීමට කල් ගතවීම හේතුවෙන් නව ශ්‍රේණී කැඳවීමට ගැටලු සහගත තත්වයක් හටගෙන ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර 2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සහිත විෂයන් සඳහා ප්‍රතිඵල නැවත සමීක්ෂණය වෙනුවෙන් අයදුම්පත් කැඳවීම මේ මස 18 වනදා දක්වා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ පමණක් සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

***************************************

අත්‍යවශ්‍ය ඖෂධ 60 ක මිල ඉහළට

(11.03.2022 – 08:33 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය ඖෂධ 60 ක මිල ඩොලරයට සාපේක්ෂව ඉහළ දැමීම පිළිබඳව වන මිල සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය ඉදිරි දින දෙක (2) තුළ නිකුත් කරන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම්, වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේ, අද (11) දිනය තුළ නව මිල සංශෝධනය මිල නියාමන කමිටුව මගින් ලබාදීමට නියමිතව ඇති බවයි.

ඉන් අනතුරුව එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකර ගැසට් නිවේදනය පළ කිරීමට නියමිත යි.

අමෙරිකානු ඩොලරයේ අගය රුපියල් 230 දක්වා පෙරේදා (09) ඉහළ යෑමත් සමඟ ඖෂධ ආනයනකරුවන්ට ඖෂධ ආනයනයේ දී මුහුණ දීමට සිදුව ඇති ගැටළු සම්බන්ධයෙන් දැනුවත් කරමින් ඉල්ලා ඇත්තේ 50% ක මිල වැඩිවීමක් අවශ්‍ය බවට යි.

ඒ අනුව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය ඖෂධ මිල නියාමන කමිටුවට ඉදිරිපත් කිරීමෙන් පසු 20% ක මිල වැඩිවීමක් සඳහා අනුමැතිය ලබාදී තිබුණා.

එහෙත් ඊයේ (10) දිනයේ යළිත් ඩොලරයේ අගය 260 දක්වා ඉහළ යෑමත් සමඟ ඊට සාපේක්ෂව යළි මිල සමාලෝචනයක් කිරීමට මිල නියාමන කමිටුව වෙත යොමුකර තිබෙනවා.

එතෙක් ඖෂධ නොසඟවා දැනට පවතින මිලට අලෙවි කරන ලෙසයි රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, වෛද්‍ය සමන් රත්නායක, පෞද්ගලික අංශයේ ඖෂධ ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ෴

+++++

ඖෂධ ආනයනයට සීමා නෑ – එස්.ආර්. ආටිගල කියයි

(11.03.2022 – 14:10 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දා අත්‍යවශ්‍ය භාණ්ඩ 367 කට සීමා පනවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ඒ එම අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ගවලට ආනයනික වාරණය පනවමින්.

මෙම තත්ත්වය මත ඊයේ (10) දිනයේදී රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අවසර ලබා දුන්නේ, සියලුම ඖෂධ ආනයනකරුවන්ට සාධාරණ මිල ගණන් යටතේ ඖෂධ මිල ඉහළ දැමීමටයි.

එමෙන්ම අමාත්‍යවරයා නිවේදනය කළේ, එම ඉහළ දැමීම සිදු කළ විට දී කිසිදු අයුරකින් රට තුළ බෙදාහරින ඖෂධ සැල්වල ඖෂධ හිඟ වීම සිදු නොවිය යුතු බවයි.

මෙවන් තත්ත්වයක් මත, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් ඖෂධ ආනයනය තහනම් කරමින් කටයුතු කර නොමැති බවයි.

ඒ අනුව කිසිදු ලෙසකින් එම භාණ්ඩ ලැයිස්තුවට ඖෂධ ආනයනයට සීමා පනවා නොමැති බව ද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියා ෴

++++++

ඔසුසැල් හිමියන්ට රතු එළියක්

(11.03.2022 – 15:14 +0530 – hirunews.lk/sinhala)

ඩොලරයට සාපේක්ෂව රුපියලේ සිදු වූ වෙනසට අනුපාතිකව මිස ආනයනකරුවන්ට සහ ඔසුසැල් හිමියන්ට අවශ්‍ය පරිදි ඖෂධ මිල වැඩි කළ නොහැකි බව ඖෂධ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙරට තුළ ඖෂධ මිල පාලනය කරනු ලබන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල පාලන කමිටුව මගින්.

එම කමිටුව ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන විද්වතුන් 10 දෙනෙකුගෙන් සමන්විතයි ෴

++++++

ඖෂධ මිල සියයට 29 කින් ඉහළට

(11.03.2022 – 15:21 +0530 – hirunews.lk/sinhala)

සියයට 29 කින් ඖෂධ මිල ඉහළ දැමීමට මිල පාලන කමිටුව අවසර දී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ, ඒ අනුව සියලුම ආනයනික ඖෂධවල මිල ගණන් මෙම නව සංශෝධන මිල යටතේ අලෙවි කළ හැකි බවයි.

ඊයේ (10) පස්වරුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ආනයනය කරනු ලබන ඖෂධවල මිල ගණන් සාධාරණ මිලක් යටතේ ඉහළ දැමීමට ආනයනකරුවන්ට අවසර දෙන බවත්, ඖෂධ අලෙවිකරුවන්ට ද සිය මිල ගණන් යාවත්කාලීන කරමින් දිවයිනේ කිසිදු ඖෂධ හිඟයකින් තොරව බෙදාහැරීමට ද කටයුතු කළ යුතු බවයි.

***************************************

පක්ෂ 11 සමඟ එක් වී නිදහස් පක්ෂයෙන් ජාතික වැඩපිළිවෙළක්

(11.03.2022 – 08:51 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින ගැටලුවලට විසඳුම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු පක්ෂ 11 එක්ව ජාතික වැඩපිළිවලක් සකස් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

කොළඹ දිසා සමුළුව අමතමින් ඊයේ (10) හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, ලබන 23 වන දා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුවෙන් අනතුරුව විද්වතුන්ගේ සහභාගීත්වයෙන් විද්වත් සමුළුවක් පැවැත්වීමට ද රජය එකඟතාවය පළ කර ඇති බවයි ෴

***************************************

සංගම් 06 ක් නව පනතට විරෝධය දක්වයි

(11.03.2022 – 08:56 +0530 – hirunews.lk/sinhala)

2005 අංක 38 දරණ සංචාරක පනත වෙනුවට නව පනතක් ගෙන ඒමට සංචාරක අමාත්‍යාංශය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව සංචාරක කර්මාන්තයේ නිරත ප්‍රධාන සංගම් 06 ක් කොළඹ දී ඊයේ (10) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වන්නන්ගේ සංගමය, ශ්‍රී ලංකා හෝටල් සංගමය, ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම සංචාරක ව්‍යවසායක සංගමය ද එක්ව සිටි අතර ඒවායේ නියෝජිතයින් සඳහන් කළේ, මෙම අවස්ථාවේ සිදුකළ යුත්තේ නව පනත් ගෙන ඒම නොව රටට සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා විනිමය අර්බුදයට විසඳුම් සෙවීම බවයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනියගේ පරිපාලන දෝෂ හේතුවෙන් සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට බාධා මතු වී ඇති බවයි ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වන්නන්ගේ සංගමයේ සභාපති තිලක් වීරසිංහ සඳහන් කළේ ෴

***************************************

ගුවන් ප්‍රවේශ පත්‍රවල මිල ද ඉහළට

(11.03.2022 – 09:23 +0530 – hirunews.lk/sinhala)

අද (11) සිට සියලුම ගුවන් ප්‍රවේශපත්‍රවල මිල ගණන් සියයට 27 කින් ඉහළ දමා තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කළේ, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ වීමත් සමඟ මෙම තීරණයට එළඹීමට සිදු වූ බවයි.

ඩොලරයක් සඳහා විනිමය අනුපාතිකය මේ වනවිට රුපියල් 203 සිට රුපියල් 260 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර වසර 50 කට පසු රත්මලාන ගුවන් තොටුපලේ ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කරමින් මාලදිවයිනේ ගුවන් සේවාවක් රත්මලාන ගුවන් තොටුපල වෙත ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කළා.

‘මෝල්ඩිවියන්’ නැමති මෙම ගුවන් සේවාව සතියකට ගුවන් ගමන් වාර 3 ක් ක්‍රියාත්මක කිරීමට නියමිත යි.

ඒ සඳහා ආසන 50 ක ධාරිතාවකින් යුත් ‘ඩී.එච්.සී. ඩෑෂ් 8’ වර්ගයේ ගුවන් යානා යොදාගැනෙනු ඇති ෴

***************************************

ඉන්දියාවෙන් ණයක්

(11.03.2022 – 09:56 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ඉල්ලා සිටි ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය පහසුකම සඳහා ඉන්දීය මහ බැංකුවේ අනුමැතිය හිමිව ඇති බව එරට මාධ්‍ය සඳහන් කළා.

එය ප්‍රධාන වශයෙන් යොදාගැනෙනු ඇත්තේ ඉන්ධන ආනයනයට යි.

මෙහි දී ණය පහසුකමෙන් සියයට 75 ක් ඉන්දීය අපනයනකරුවන්ගෙන් භාණ්ඩ ආනයනය කිරීම සඳහා යොදාගත යුතු අතර, ඉතිරි සියයට 25 වෙනත් ඕනෑම රටකින් භාණ්ඩ ආනයනය සඳහා යොදාගත හැකියි.

ණය පහසුකම මාස හයක (6) කාලය සඳහා ක්‍රියාත්මක වන අතර, ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත එය තවත් වසරක (1) කාලයක් සඳහා දිගු කළ හැකි බවයි ඉන්දීය මහ බැංකුව දන්වා ඇත්තේ ෴

***************************************

ශෂී වීරවංශගේ ගමන් බලපත්‍ර නඩු තීන්දුව කල් යයි

(11.03.2022 – 10:27 +0530 – hirunews.lk/sinhala)

විදේශ ගමන් බලපත්‍ර සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව මැයි මස 6 වන දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නිවේදනය කළා.

එය අද (11) දිනයේ ප්‍රකාශයට පත් කිරීමටයි මීට පෙර දින නියම කර තිබුණේ.

එහෙත් අද (11) නඩුව කැඳවූ අවස්ථාවේ දී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ සඳහන් කළේ එම තීන්දුව ලබන මැයි 06 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ විත්තිකාර ශෂී වීරවංශ ද අධිකරණය හමුවේ පෙනී සිටියා ෴

***************************************

අවම බස් ගාස්තුව රුපියල් 30 යි ?

(11.03.2022 – 14:01 +0530 – hirunews.lk/sinhala)

ලංකා අයි.ඕ.සී. සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීමට සාපේක්ෂව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ඉහළ නැංවීම හෝ එලෙස මිල වැඩි කිරීමකින් තොරව පවත්වාගෙන යා හැකිද යන්න සම්බන්ධයෙන් අද (11) සාකච්ඡා කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තමන් පළමුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඇතුලු නිලධාරීන් සමඟ සාකච්ඡා කරන බවයි.

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟද සාකච්ඡා කරන බවයි බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර ලංකා අයි.ඕ.සී. සමාගම සිය මිල අවස්ථා කිහිපයකදී ඉහළ දැමුවද එම සමාගමේ ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් සඳහා ප්‍රවාහන ගාස්තු ඉහළ නංවා නොමැති බවට ලංකා අයි.ඕ.සී. බවුසර් හිමියන්ගේ සංගමය චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ පවතින තත්වය හමුවේ අයි.ඕ.සී. ඉන්ධන ප්‍රවාහනය සඳහා රුපියල් 15,000 ක පමණ අමතර මුදලක් වැයවන බවයි.

මේ හේතුවෙන් අද (11) දිනයේදී ලංකා අයි.ඕ.සී. ඉන්ධන බෙදාහැරීමේ කැපී පෙනෙන අඩුවීමක්ද සිදුව තිබෙනවා.

මේ අතර ලංකා අයි.ඕ.සී. සමාගම සිය ඉන්ධන මිල ඉහළ නැංවීම හමුවේ ජනතාව වැඩි වශයෙන් සිපෙට්කෝ පිරවුම්හල් වෙත යොමුවීමත් සමඟ, එම පිරවුම්හල්වල පෝලිම් තවදුරටත් දිගු වී තිබෙනවා.

මේ අතර, ඉන්ධන මිළ ඉහළ දැමිම හේතුවෙන් බස් සහ ත්‍රීරෝද රථ ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය බව එම සංගම් ප්‍රකාශ කළා.

කොළඹ අද (11) පැවැති මාධ්‍ය හමුවකදී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ අයි.ඕ.සී සමාගම ඉන්ධන මිල වැඩිකළ අයුරින් සිපෙට්කෝ සමාගම ද මිල ඉහළ නංවනු ලැබුවහොත් රුපියල් දාහතේ (17) අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කිරිමට සිදුවන බවයි .

එසේම සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර, කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ත්‍රිරෝද රථ ගමනක පළමු කිලෝමීටරය සඳහා රුපියල් 80 ක ගාස්තුවක් අය කිරීමට සිදුවන බවයි.

මේ අතර අද (11) සිට සියලුම ගුවන් ප්‍රවේශපත්‍රවල මිල ගණන් සියයට 27 කින් ඉහළ දමා තිබෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කළේ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ වීමත් සමඟ මෙම තීරණයට එළඹීමට සිදුවූ බවයි.

ඩොලරයක් සඳහා විනිමය අනුපාතිකය මේ වනවිට රුපියල් 203 සිට රුපියල් 260 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

***************************************

ජංගම දුරකථන සහ උපාංගවල මිලත් සියයට 30 කින් ඉහළට ?

(11.03.2022 – 15:15 +0530 – hirunews.lk/sinhala)

ඩොලරයේ සිදු වූ වෙනස්කම හේතුවෙන් ඉදිරියේදී ජංගම දුරකථනවල සහ උපාංග වල මිල සියයට 30 කින් පමණ ඉහළ දමන බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ අලෙවිකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සමිත් සෙනරත් ප්‍රකාශ කළේ මිල පරාසයන් ඉදිරියේදී තම සංගමය අයත් වෙබ් අඩවියට මුදා හැරීමට කටයුතු කරන බවයි ෴

***************************************

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනපති නිරීක්ෂණයට

(11.03.2022 – 16:17 +0530 – hirunews.lk/sinhala)

විදේශ රැකියා වෙළෙඳපොළෙහි පුහුණු ශ්‍රමිකයන්ට ඇති අවස්ථා දිනා ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

විගමනික ශ්‍රමිකයන් රැකියාවට අදාළ නිපුණතාවක් සහිත වීමෙන් ඉහළ වැටුපකට සහ රැකියාවේ සුරක්ෂිතභාවයට හේතු වන බව ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.

බත්තරමුල්ල, කොස්වත්ත, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය අද (11) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේදීයි, ජනාධිපතිවරයා මේ බව පැවසුවේ.

දේශීය ආර්ථිකයට දායක වෙමින් හා සියලු පාර්ශ්වකරුවන්ගේ යහපත සුරක්ෂිත කරමින්, ජනතාවට තම කුසලතාවයන්ගෙන් එතෙර රැකියා වෙළෙඳපොළහි යහපත් ප්‍රතිලාභ ලැබිය හැකි කාර්යක්ෂම හා සමානත්වයෙන් යුත් මාර්ග බිහිකිරීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මෙහෙවරයි.

රැකියා නියෝජිත ආයතන සඳහා බලපත්‍ර නිකුත් කිරීම, විදේශගතවන්නන් පුහුණුව හා ලියාපදිංචිය, සමථකරණය, සුබසාධනය, නෛතික කටයුතු, අලෙවිකරණ සහ පර්යේෂණ ආයතනයේ ප්‍රධාන කාර්යයන් අතරට ගැනෙනවා.

කාර්යක්ෂම හා පුහුණු ශ්‍රමිකයන් සොයාගැනීම, ලොව පුරා සේවා යෝජකයන් සහ රැකියා ඒජන්තවරුන් මුහුණපා සිටින ගැටලුවක්.

එවැනි පසුබිමක ශ්‍රී ලංකාව දක්ෂ, අවංක සහ පුහුණු ශ්‍රමිකයන් සැපයීමේ තෝතැන්නක් ලෙස කීර්තිනාමයක් අත් කරගෙන සිටිනවා.

වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, වාස්තු විද්‍යා, ගුරු, නීතිඥ, බැංකුකරණ, හෝටල් හා ආපනශාලා, හෙද, පරිගණක ඇතුළු ක්ෂේත්‍ර රැසක පුහුණු ශ්‍රමිකයන් ශ්‍රී ලංකාව සතු වන අතර, වෘත්තීය සහ පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ජාතික වැඩසටහන සම්බන්ධයෙන් කාර්යාංශය අත්කරගෙන ඇති ප්‍රගතිය ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කෙරුණා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *