ගෑස් නෑ, ඩීසල් නෑ, කිරිපිටි නෑ, මේ රට බංකොලොත් ! – හර්ෂගෙන් සැර ප්‍රකාශයක්

ගෑස් නෑ, ඩීසල් නෑ, කිරිපිටි නෑ, මේ රට බංකොලොත් ! – හර්ෂගෙන් සැර ප්‍රකාශයක්

*********************************************

ගෑස් නෑ, ඩීසල් නෑ, කිරිපිටි නෑ, මේ රට බංකොලොත් ! – හර්ෂගෙන් සැර ප්‍රකාශයක්

(10.03.2022 – 21:38 +0530 – hirunews.lk/sinhala)

රටේ සාමාන්‍ය ජනතාව මුහුණ දී ඇති ඉන්ධන, කිරිපිටි පමණක් නොව අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ හිඟය සම්බන්ධයෙන් අද (10) පැවති පාර්ලිමේන්තු විවාදයේ දී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා දැඩි විවේචනාත්මක ස්වරූපයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා.

ඒ මේ වනවිට උද්ගතව පවතින ශේෂ වූ ඩොලරය මත රටේ ජනතාවට අවශ්‍ය කරන කිරිපිටි, ඖෂධ, ඉන්ධන ආදී දෑ මිලදී ගැනීමට නොහැකි තරමට ශ්‍රී ලංකාව බංකොලොත් නොවේ දැයි ප්‍රශ්න කරමින්.

තමන් ද ඊයේ (09) දිනයේ දී පැය එකහමාරකට (1½) අධික කාලයක් ඉන්ධන පිරවුම්හලක් අසල තෙල් ලබා ගැනීමට පෝලිමේ රැඳී සිටි බවත්, එහෙත් එතෙක් වේලා රැදුණ ද තමන් හට ද තෙල් නොලැබුණු බවත් හර්ෂ මන්ත්‍රීවරයා උද්වේගයෙන් යුතුව කියා සිටියා.

දුර්වල වූ ආර්ථික පාලනය තුළ මෙරට බංකොලොත් වීමේ අඩියට ම මේ වනවිට වැටී ඇති බව සඳහන් කරන මන්ත්‍රීවරයා පැවසුවේ, ශ්‍රී ලංකා මහබැංකුවේ විදේශ වත්කම් ශේෂය ද සෘණ අගයක පවතින බවයි.

එමෙන්ම එළඹෙන ජූලි මාසයේ දී තවත් ණයක් ගෙවීමට මෙරටට සිදුවන බව කියා සිටින මන්ත්‍රීවරයා සඳහන් කළේ, අමරිකානු ඩොලර් මිලියන 1000 ක් ඒ සඳහා ගෙවීමට ඇති අතර, එය ගෙවූ පසු මෙරට තවත් ආර්ථිකමය අර්බුදයකට ලක් වන බවයි.

***************************************

යුක්රේන ගැටුම් මැද, දිවි ගලවා ගත් ශ්‍රී ලාංකික තරුණයා, හිරුට කතා කරයි

(10.03.2022 – 20:05 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ සහ යුක්රේනයේ විදේශ අමාත්‍යවරුන් අතර, අද (10) පැවති පළමු (1) වටයේ සාකච්ඡාව සටන් විරාමයක් පිළිබඳ ප්‍රගතියක් නොමැතිව අවසන්ව තිබෙනවා.

තුර්කියේ අන්තල්‍යා නගරයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව යුක්රේන විදේශ අමාත්‍ය දිමෙත්‍රෝ කුලේබා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් එහිදී කළ ඉල්ලීම් යටත්වීමකට සමාන බවයි.

මේ අතර, යුධ ගැටුම් මධ්‍යයේ අතිවිශාල දුරක් ගෙවා දමමින් පෝලන්තයට පැමිණි යුක්රේනයේ උසස් අධ්‍යාපනය ලැබීම සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු අද හිරු ප්‍රවෘත්ති අංශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වුණා.

දක්ෂිත් විජේසේකර නමැති එම තරුණයා 2021 වසරේදී එරටට ගොස් ඇති අතර, පෝලන්තයට පැමිණිමේදී කිලෝමීටර් 40 ක පමණ දුරක් තමන්ට පාගමනින් යාමට සිදුවූ බවයි ඔහු කියා සිටියේ.

***************************************

ඇමති මණ්ඩලය අඩු කළ යුතුයි – මෛත්‍රීපාල සිරිසේන

(10.03.2022 – 20:15 +0530 – hirunews.lk/sinhala)

රට තුළ පවතින අර්බුද හමුවේ රාජ්‍ය වියදම් අඩු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අඩු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ එම පක්ෂයේ කොළඹ දිසා සමුලුව අද (10) අමතමින්.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා කියා සිටියේ ඉදිරි මැතිවරණ වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කිරීමට තීරණය කර ඇති බවයි.

***************************************

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අඛණ්ඩව සහාය දෙනවා – ආසියානු සංවර්ධන බැංකුවෙන් සහතිකයක්

(10.03.2022 – 21:55 +0530 – hirunews.lk/sinhala)

ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව පෙන්වාදෙන එහි සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහාය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ප්‍රකාශ කළා.

‍අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති හමුවේදීයි, සත්සුගු අසකාවා මේ බව සඳහන් කළේ.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම පෞද්ගලික අංශයේ ව්‍යවසායක ප්‍රවර්ධනයට සහාය වීම කෙරෙහි විශේෂ අවධානය යොමුව ඇති බව ද සභාපතිවරයා එහිදී පැවසුවා.

ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේ දී ලබා දී ඇති සහන ණය මුදල ඩොලර් මිලියන 750 ක්.

මේ වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් බිලියන 02 ක ණය ආධාර වෙන් කෙරෙන බව සත්සුගු අසකාවා මහතා කියා සිටියා.

කොවිඩ් වසංගතය හමුවේ පසුබෑමට ලක් වූ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නගාසිටුවීමටත් මානව ප්‍රාග්ධන සංවර්ධනයටත් සහාය වන බවයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

කොවිඩ් වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 600 කට ආසන්න ණය සහ මුදල් ආධාර ලබාදීම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවට ජනාධිපතිවරයා සිය ප්‍රශංසාව පළ කළා.

හරිත කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ කර්මාන්ත කලාප සඳහා සෘජු විදේශ ආයෝජන සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

***************************************

කොරියාව ගොඩගන්න මිනිස්සු කනකරත් දුන්නා – ඇමති සී.බී. රත්නායක කියයි

(11.03.2022 – 00:06 +0530 – hirunews.lk/sinhala)

කිසිම යුගයක රජයක් බලයට පත්වීමේ දී කිසිවෙකුත් එම රජය වෙත සුබාශිංසන එක්කොට නැති බව වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක පවසනවා.

අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, වත්මන් රජය කුමක් කළත්, කිසිම අයෙකු එයට හොඳක් නොකියන බවයි.

කොරියානු රාජ්‍යය දුර්වල ආර්ථිකයකට ඇද වැටෙන විට ඒ රටේ ජනතාව සිය කනකර පවා එම ආණ්ඩුවට ලබා දුන්නේ සිය උපන් බිම ගොඩගැනීමට බවයි අමාත්‍යවරයා පැවසුවේ.

***************************************

බැසිල් රටින් පන්නා දැමිය යුතුයි.. ඔහුට මුල්‍ය විශුද්ධිකරණ යටතේ ඇමරිකාවෙන් පරීක්‍ෂණ.. ජනාධිපති සාක්‍ෂියි.. නැවත කිසිදා රාජපක්‍ෂ පාලනයක් නෑ..

(11.03.2022 – 09:20 +0530 – lankacnews.com)

බැසිල් රාජපක්ෂ නම් ඇමරිකානුවා වහාම රටින් පන්නා දැමීමට කටයුතු කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවක් පවතින ආර්ථික අර්බුදය පතුලටම සිරකර අමෙරිකානු උපාය මාර්ගයට අනුව මෙහෙයවීමට ඔහු කටයුතු කරමින් සිටින බව ද හෙතෙම චෝදනා කරයි.

බැසිල් රාජපක්ෂට මුල්‍ය විශූද්ධිකරණ චෝදනාවක් යටතේ ඇමරිකානු ෆෙඩරල් පොලීසිය මගින් පරීක්‍ෂණයක් සිදුවන බවද පැවසූ ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට තරග කිරීමට ඇති නීතිමය බාධාවන් පිළිබඳව කරන ලද නීතිමය සොයා බැලීමක දී අදාළ නීතිඥයන් විසින් ඒ බව හඳුනාගෙන තිබූ බවද හෙතෙම කියා සිටියේය.

එකල ගෝඨාභය රාජපක්ෂ තමන් සමග ඒ බව කියා සිටි බවත් දැන් ඔහු මෙම ප්‍රකාශයට කුමන ප්‍රතිචාර දැක්වුවද තමන් ඊට යළි ප්‍රතිචාර දැක්වීමෙන් වැලකී සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

සිරස රූපවාහිනියේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

ශ‍්‍රී ලංකාව තුළ මින් ඉදියට කිසිදාක රාජපක්ෂ වරයෙකු යටතේ රට පාලනය නොවුණු ඇති බවද පැවසූ ඔහු මේ පවතින්නේ අවසාන රාජපක්ෂ පාලනය බවද කියා සිටියේය.

නාමල් රාජපක්ෂගේ සිතේ රාජ්‍ය පාලනයක් ගැන යම් හෝ අදහසක් ඇත්නම් බැසිල් රාජපක්ෂගේ මෙහෙයුම් ව්‍යර්ත කිරීමට මැදිහත් විය යුතු බව ද හෙතෙම පැවසීය.

ඉදිරි ශ්‍රී ලංකාවේ කිසිදින උඩරට හෝ පහතරට රදල පවුල්වල නායකයන් රාජ්‍ය නායකයන් ලෙස බිහි නොවුණු ඇති බවත් හෙතෙම කියා සිටී.

තමන් යළි කිසිදිනක රාජපක්ෂ පාලනයකට සහාය දැක්වීමක් හෝ එවන් පාලනයක් පිහිටුවීමට උදව්කිරීමක් හෝ නොකරන බවද ඔහු තව දුරටත් එහිදී කියා සිටියේය.

***************************************

සර්ව පාක්ෂික සමුළු යෝජනාව හරහා එන බැසිල්ගේ දුෂ්ඨ අරමුණු 05 මෙන්න – වෛද්‍ය වසන්ත බණ්ඩාර

(10.03.2022 – 23:20 +0530 – lankaleadnews.com)

ජාතික සංවිධන එකමුතුවේ කැදවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා :

“ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඓතිහාසික ජනවරම නිර්මාණය කෙරෙන්නේ බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී බලවේග වල න්‍යාය පත්‍රය පරාජය කිරීම සඳහාය. මේ වන විට ඉන්දියාව ප්‍රමුක බටහිර අධිරාජ්‍යවාදී බලවේග මානව හිමිකම් නාමයෙන් බෙදුම්වාදී මාර්ග සිතියමට අදාල ඉල්ලීම් ඉදිරිපත් කරනවා, බලපෑම් කරනවා. 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කළ යුතු බවට සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඔවුන්ට වුවමනා ආකාරයට සංශෝධනය කිරීමට බලපෑම් කරනවා. එසේ නොමැතිනම් ජනාධිපතිතුමා ඇතුළු යුද්ධයට නායකත්වය ලබා දුන් රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කරන බවට බලපෑම් කරනවා, බියගැන්වීම් කරනවා.

වෙනත් වචනවලින් කියනවා නම් යුද අපරාධ චෝදනා ප්‍රාණ ඇපයට යොදාගනිමින් බෙදුම්වාදීන් ව්‍යවස්ථා සංශෝධන කප්පම් ඉල්ලා සිටිනවා. ඒ සඳහා බලපෑම් කිරීම සදහා පවතින ආර්ථික අර්බුදය එම බලවේග විසින් ඉතා සූක්ෂම ලෙස යොදා ගන්නවා. එම බලපෑම්වල ප්‍රධාන කොන්දේසියක් තමයි ජාතික ආණ්ඩුවක් හෙවත් සර්වපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම. එවිට බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී බලවේග වලට මෙන්ම ඔවුන් වෙනුවෙන් වක්‍රව පෙනී සිටින දේශපාලන බලවේග වලට හැකියාව ලැබෙනවා ආණ්ඩුව සමග කේවල් කිරීමට. මෛත්‍රීපාල සිරිසේන සර්වපාක්ෂික සමුළු යෝජනාව ඉදිරිපත් කරන්නේ සද්භාවයෙන් වෙන්න පුළුවන්. ඒත් ආණ්ඩුව තුළ සිටින බටහිර න්‍යාය පත්‍රයට ගොදුරු වූ පිරිස් එම යෝජනාව අයුතු ලෙස භාවිතා කරමින් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට උත්සාහ කරනවා. දැලිපිහියෙන් රැවුල කපනවා වගේම බෙල්ල කපන්නත් හැකියාව තිබෙනවා. ඒ නිසා ජාතිකවාදී බලවේග මෙම උගුලට පය නොතැබිය යුතු බව අපි ප්‍රකාශ කරනවා.”

සර්ව පාක්ෂික සමුළු යෝජනාව හරහා බැසිල් රාජපක්ෂ විසින් එක ගලෙන් කුරුල්ලන් 5 දෙනෙකු මරා දැමීමට සූදානම් වන බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ අද (10) කොළඹ පැවති මාධ්‍ය හමුවතට එක් වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ වෛද්‍ය වසන්ත බණාඩර මහතා මෙසේද පැවසීය :

“ඉන්දියාව ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග සහ දෙමළ ඩයස්පෝරාව බලපෑම් කරමින් ඉන්නවා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න. ඊට පස්සේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න කියන දැඩි පීඩනය ආණ්ඩුවට එල්ල කරමින් තියෙනවා. මේක නිකම් රික්තකයක තියෙන දෙයක් නෙවෙයි. මේ බලපෑම ඇතුලේ මේ යෝජනා එනකොට තමයි අපිට සැක උපදින්නේ. මේ අතරේ බැසිල් රාජපක්ෂ හදනවා මේ හරහා ඔහුගේ දුෂ්ඨ අරමුණු 5 ක් ඉටුකරගන්න. ඒ කියන්නේ එක ගලෙන් කුරුල්ලන් 5 දෙනෙකු මරා ගන්න.

1) පළමු අරමුණ තමයි සර්ව පාක්ෂික සමුළුව හරහා අර කියන ජාතික ආණ්ඩුව පිහිටුවීම. ඒතකොට ඒක ආණ්ඩුවේ යෝජනාවක් නෙවෙයි සර්ව පාක්ෂික සමුළුවේ යෝජනාවක්. ඒ ආණ්ඩුව ඇතුලේ ඉන්නේ කවුද ? රාජිත සේනාරත්නලා රිෂාඩ් බදුර්දීන්ලා වගේ අය. ඒක ජනවරමට සම්පූර්ණයෙන්ම පටහැනි ක්‍රියාවලියක්. මේ දුෂ්ඨ ක්‍රියාවලියට ගොදුරු වෙන්න ඒපා කියලා අපි මෛත්‍රීපාල සිරිසේන ගෙන් ඉල්ලා සිටිනවා.

2) දෙවැනි අරමුණ තමයි මේ මොහොතේ මතුවෙලා තියෙන ආණ්ඩු විරෝධය සමනය කර ගැනීම. ඒක සමනය කරගන්නේ කොහොමද ? මහජනයා තුළ සර්ව පාක්ෂික සමුළුව හරහා සුබවාදී හැගීමක් ඇතිකිරීමෙන්. දැන් එළුවගේ අහවල් ඒක වැටෙයි කියා මහජනයා ඒ දෙස බලා ඉන්නවා. ඒක බැසිල්ගේ මනෝවිද්‍යාත්මක උපක්‍රමයක්.

3) තුන්වන අරමුණ තමයි අයි.එම්.එෆ්. වාර්තාවට සර්ව පාක්ෂික සමුළුවේ අනුමැතිය ලබාගැනීම. දැනුත් අයි.එම්.එෆ්. යෝජනා තමයි ක්‍රියාත්මක කරමින් ඉන්නේ. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව, කැබිනට් මණ්ඩලේ අනුමැතියකින් තොර මුදල් ඇමති බැසිල් රාජපක්ෂ තීරණය කරනවා රුපියල පා කරන්න. ඒ අනුව බඩුමිල ඉහළ යනවා. ඔහු මේ යෝජනා ක්‍රියාත්මක කරලා රටේ ආර්ථිකය තවත් අමාරු අඩියකට ගෙනත් තියෙනවා. මේ සියල්ලේ උරුමය සර්ව පාක්ෂික සමුළුව මත පටවා අත පිස ගැනීම තමයි ඔහුගේ තුන්වන අරමුණ.

4) හතරවන අරමුණ තමයි දැනට මේ ආණ්ඩුවේ මග නිවැරදි කරන්න කියලා දේශපාලන පක්ෂ 11 ක් එකතුවෙලා හදාගෙන තියෙන සමගි සන්ධානය ඇතුලේ අර්බුද නිර්මාණය කිරීම. ඒක දුර්වල කරන්න, ඒක බිදවට්ටන්න තමයි ඔහුගේ හතරවන අරමුණ.

5) පස්වන අරමුණ තමයි එම පක්ෂ විසින් ඉදිරිපත් කර තියෙන ‘මුළු රටම හරි මගට’ කියන යෝජනාවලිය පිළිබඳ සමාජය‌ේ මතුවෙලා තියෙන සංවාදය යටපත් කිරීම.

මාධ්‍ය හමුවේ සම්පූර්ණ වීඩියෝව පහතින් :

***************************************

හිටපු ඇමැති විමල් වීරවංශ ගෙන් පළිගන්න විමර්ශන ඇරඹේ!

(10.03.2022 – 14:42 +0530 – lankaleadnews.com)

2010 – 2014 වකවානුව තුළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් පරිහරණය කරන ලද වාහන කිහිපයක් පිළිබඳව සිදුකරන විමර්ශනයක් සඳහා යැයි කියමින් එම සංස්ථාවේ වත්මන් ප්‍රවාහන කළමනාකාරවරයා අද (10) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ දූෂණ විමර්ශන අංශය වෙත කැඳවා ප්‍රශ්න කිරීමට කටයුතු යොදා තිබිණි.

මෙම වාහන පිළිබඳ විමර්ශනයක් සිදු කෙරෙන බව සඳහන් 2010 – 2014 වකවානුව තුළ ඉංජිනේරු සංස්ථාව පැවතියේ එවකට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ධුරය දැරූ විමල් වීරවංශ මහතා යටතේය. 2015 දී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව, ‘මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය(FCID)’ නමින් නව පොලිස් කොට්ඨාසයක් පිහිටුවා විපක්ෂයේ දේශපාලනඥයින් දඩයම ඇරඹූ අතර එමගින් විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරීම පිණිස එල්ල කළ චෝදනාව වූයේ ‘ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිතයට අනුබල දීම’ යන්න ය. එහිදී අධිකරණය පවා නොමග යවමින් පොදු දේපළ පනත යටතේ විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම මගින් ඇප ලබා නොදී 2017 ජනවාරි 10 දින සිට අප්‍රේල් 07 වැනි දා දක්වා දින 87 ක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තැබීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළේය.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් එවකට පැවැති යහපාලන ආණ්ඩුවේ දේශපාලන වුවමනාව මත පැවරූ නඩුවලින් වත්මන් ආණ්ඩුවේ බොහෝ දේශපාලනඥයින් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන අවස්ථාවක විමල් වීරවංශ මහතාට පවරා ඇති නඩුවට අදාළ කරුණු සම්බන්ධයෙන් එම ආණ්ඩුව යටතේම වෙනත් මුහුණුවරකින් විමර්ශන ඇරඹීම බරපතළ දේශපාලන පළිගැනීමක් බව තතුදත් දේශපාලන ආරංචිමාර්ග පෙන්වා දෙයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *