රුපියලේ ඓතිහාසික අවප්‍රමාණයක් – ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 යි

රුපියලේ ඓතිහාසික අවප්‍රමාණයක් – ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 යි

*********************************************

රුපියලේ ඓතිහාසික අවප්‍රමාණයක් – ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 යි

(10.03.2022 – 14:33 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොළ අගය මත විනිමය අනුපාතිකය තීරණයට වීමට ඉඩ හැරීමටත් සමග ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ක් දක්වා අද (10) ඉහළ ගියා.

මෙය ඉතිහාසයේ රුපියලකින් සිදුවූ දැවැන්තම අවප්‍රමාණයයි.

එමෙන්ම, විදේශ විනිමය හිඟයත් සමග කෙටි කාලීන පිලියමක් ලෙස ඇතැම් භාණ්ඩ ආනයනය සඳහා සීමා පැනවීම හේතුවෙන් සංචාරක කර්මාන්තයට ද බලපෑම් එල්ල වී ඇති බවට මැසිවිලි නැගෙනවා.

විවිධ පාර්ශවලින් එල්ල වූ දැඩි බලපෑම් මධ්‍යයේ රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය ස්ථාවරව පවත්වාගෙන යාමට මහබැංකුව කටයුතු කළා.

කෙසේ වෙතත්, එම ප්‍රතිපත්තිය වෙනස් කරමින් පසුගිය සඳුදා මහබැංකුව විනිමය අනුපාතිකය වෙළඳපොල අගය මත තීරණය කිරීමට ඉඩ හැරියා.

ඒ අනුව, ඊයේ (09) රුපියල් 230 ක් ලෙස ඩොලරයේ අගය සටහන් වූ අතර, අද (10) දිනය වනවිට ඉතිහාසයේ වැඩිම අවප්‍රමාණය සටහන් කරමින් එක් (1) දිනක දී ඩොලරයේ රුපියල් අගය 260 ක් දක්වා සියයට 30 කට ආසන්න අගයකින් අවප්‍රමාණය වුණා.

මේ අතර, යුරෝ මුදල් ඒකකයක මිල රුපියල් 290.22 ක් ලෙස චීන යුවාන් ඒකකයක මිල රුපියල් 41.48 ක් ලෙසත් ස්ටර්ලින් පවුම් එකක මිල රුපියල් 343.52 ක් ලෙසත් අද (10) සටහන් වී තිබෙනවා.

මේ අතර, විදේශ විනිමය මත ඇතිව තිබෙන පීඩනය අවම කර ගැනීමේ ආර්ථික මෙවලමක් ලෙස භාණ්ඩ 367 ක් අත්‍යාවශ්‍ය නොවන පදනම යටතේ ආනයන සීමාවන්ට යටත් කිරීමට රජය ඊයේ තීරණය කළා.

අදාළ ආනයනික භාණ්ඩ මත බදු පැනවීම සහ විශේෂ ආනයන බලපත්‍රයක් ලබා ගැනීමේ කොන්දේසිය පැනවීම මගින් මෙම භාණ්ඩවල ආනයන සීමා කරන බවයි සඳහන් වුණේ.

ආනයන බලපත්‍රය, ආනයන අපනයන පාලක විසින් නිකුත් කරන අතර ඒ සඳහා අනුමැතිය ලබාදීමේ බලධාරියා වන්නේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයායි.

කිරි ආශ්‍රිත නිෂ්පාදන, පලතුරු, චොකලට්, දුම්කොළ නිෂ්පාදන, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික උපකරණ, අත්ඔරලෝසු, බිත්ති ඔරලෝසු සහ ක්‍රීඩා භාණ්ඩ ඇතුලු කාණ්ඩ 20 කට අයත් භාණ්ඩ 367 ක් සඳහායි මෙලෙස බලපත්‍ර ලබාගැනීමේ කොන්දේසිය පැනවෙන්නේ.

ඩොලරයේ අගය ඉහළ යාමට සාපේක්ෂව ඖෂධ මිල ඉහළ නැංවීමට රජය අද අවසර ලබා දුන්නා.

කෙසේ වෙතත්, මෙම සීමා පැනවීම තුල සංචාරක ක්ෂේත්‍රයේ නිරතවන්නන් දැඩි අපහසුතාවකට පත්වනවා.

ආනයනික ආහාර පාන, මධ්‍යසාර හා දුම්කොළ නිෂ්පාදන මත පනවා ඇති බදු මෙලෙස දැඩි ලෙස සංචාරක ක්ෂේත්‍රයට බලපෑම් එල්ල කරන බවයි එම ක්ෂේත්‍රයේ නියුතු වූවන් පෙන්වා දෙන්නේ.

කොවිඩ් ව්‍යාප්තියෙන් පසු සංචාරක කර්මාන්තය යම් පුනර්ජීවයක් ලබමින් පවතින අවස්ථාවක මෙලෙස යම් බාධාවන්ට ලක්වීම අනවශ්‍ය අර්බුදයක් බවයි ප්‍රධාන පෙලේ සංචාරක හෝටල් සමූහයක් වන ජෙට්වින් සමූහයේ සභාපති හිරාන් කුරේ කියා සිටියේ.

පිටකොටුව ආශ්‍රිතව ගොඩනැගී ඇති ආර්ථික කටයුතුවලට ද මෙම සීමා පැනවීමත් සමග බලපෑම් එල්ල වී ඇති බව එම ව්‍යාපාරිකයන් සඳහන් කළා.

මේ අතර රටේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට කරුණු නොදැක්වීම සම්බන්ධයෙන් අද සභාවේ සංවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.

***************************************

රජයේ යෝජිත නගර සංවර්ධන සැලසුම් ජනපතිට

(10.03.2022 – 15:55 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන නගර කිහිපයක සිදු කිරීමට අපේක්ෂිත නගර සංවර්ධන සැලසුම් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඉදිරිපත් කෙරුණා.

එහි පළමු අදියර යටතේ ගාල්ල, බණ්ඩාරවෙල, රත්නපුර නගර මධ්‍යය සහ තිඹිරිගස්යාය, කොටුව, පිටකොටුව හා කොල්ලුපිටිය යන සුවිශේෂි ආර්ථික මෙහෙයුම් කලාප සංවර්ධනයට ලක් කෙරෙනවා.

පුළුල් මාර්ග, වාහන නැවතීමේ පහසුකම්, පදික වේදිකා, වෙළෙඳ සංකීර්ණ, සූර්ය බලශක්තියෙන් ක්‍රියාත්මක ආලෝක පද්ධති ඇතුළු පහසුකම් රැසක් නව සැලැස්මට ඇතුළත් වන අතර හරිත නගර සංකල්පයට ප්‍රමුඛතාව දෙමින් සියලු පහසුකම් සහිත ආකර්ෂණීය අයුරින් සැලසුම් නිර්මාණය කර තිබෙනවා.

රජයේ වැඩපිළිවෙළ අනුව රටේ සංවර්ධන ඉලක්ක, දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ඇතිවන අයුරින් ප්‍රධාන නගර සංවර්ධනය නාගරික සංවර්ධන අධිකාරිය රේඛීය ආයතන සමග එක්ව සැලසුම් කර තිබේ.

සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී අදාළ නගර ආශ්‍රිතව ඇති ඓතිහාසික ස්ථාන සුරැකීම සේම, පැරණි ගොඩනැඟිලි ජනතා ආකර්ෂණය ඇතිවන ආකාරයෙන් සංරක්ෂණය කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙහිදි අවධාරණය කරනු ලැබුවා.

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, රේඛීය ආයතන ප්‍රධානීහු සහ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියා ෴

***************************************

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ප්‍රසිද්ධ නොකිරීමේ යෝජනාව ප්‍රතික්ෂේප වෙයි

(10.03.2022 – 16:04 +0530 – hirunews.lk/sinhala)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු ප්‍රසිද්ධ නොකරන ලෙස මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කර තිබූ යෝජනාවක් අධ්‍යාපන උපදේශක කාරක සභාවේදී ප්‍රතික්ෂේප වී තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (09) රැස්වූ එම උපදේශක කාරක සභාවේ බහුතර අදහස වී තිබුණේ කඩඉම් ලකුණු ලබාදීමෙන් දරුවන්ට අවශ්‍ය පාසලක් තෝරා ගැනීම සඳහා අවස්ථාව සැලසෙන බවයි.

දැනට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින දරුවන්ගේ සහ දෙමාපියන්ගේ බලාපොරොත්තු කඩ නොකරන ලෙස මන්ත්‍රීවරුන් එහිදී අධ්‍යාපන අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව, කඩඉම් ලකුණු ප්‍රසිද්ධ නොකරන ලෙසට ඉදිරිපත් කර තිබූ යෝජනාව ප්‍රතික්ෂේප වී ඇති අතර, පාසල්වල ගොඩනැගිලි ප්‍රයෝජනයට ගැනීම සීමා සහිතව කෙරෙන බැවින් පස්වරු කාලයේදී ද ඒවා ප්‍රයෝජනයට ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස මන්ත්‍රීවරයෙකු අදහස් ඉදිරිපත් කර තිබුණා.

ඊට එකඟතාවය පළ කළ අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙරට වසා දැමුණු පාසල් 850 කට අධික සංඛ්‍යාවක් පවතින බවට ලේඛන ගතව ඇති බවයි.

ඒවා ප්‍රයෝජනයට ගත යුතු බවයි අමාත්‍යවරයා ඊයේ (09) පැවති අධ්‍යාපන උපදේශක කාරක සභාවේදී ප්‍රකාශ කර ඇත්තේ ෴

***************************************

මාලිගාව ඉදිරිපිටදී නුවර වැවේ මසුන් ඇල්ලූ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(10.03.2022 – 16:09 +0530 – hirunews.lk/sinhala)

මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට වැවේ මසුන් අල්ලමින් සිටි තරුණයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ දළඳා මාලිගාවේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුවයි.

පොලීසිය සඳහන් කලේ සැකකරුවන් සතුව තිබී කිලෝග්‍රෑම් 12 කට අධික මත්ස්‍ය තොගයක් හමුවූ බවයි.

මෙලෙස අත්අඩංගුවට ලක්ව ඇත්තේ අම්පිටිය සහ පොල්ගොල්ල යන ප්‍රදේශවල පදිංචි 29 සහ 30 හයන වයස්වන තරුණයන් දෙදෙනෙක්.

මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවන් බව පොලීසිය සඳහන් කළා.

සැකකරුවන් මේ වන විට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා ෴

***************************************

දුම්රියක් පීලි පනියි – ප්‍රධාන මාර්ගයක දුම්රිය ප්‍රමාදයකුත්

(10.03.2022 – 16:40 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වූ උදයදේවි ශීඝ්‍රගාමී දුම්රිය වලකුඹුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමට ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල සහ අලව්ව අතර දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ෴

***************************************

ඉදිරියේ දී අවශ්‍ය නොවන No Objection ලිපිය ?

(10.03.2022 – 17:05 +0530 – hirunews.lk/sinhala)

රක්ෂණ පනත සම්මත වූවායින් පසු රක්ෂණ සමාගම් විසින් ජනතාව ගොනාට අන්දවා ඇති බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය පවසනවා.

අද (10) වන විට වාහන අලුත්වැඩියාකරන ආයතනවල ලක්ෂ 2 කට වඩා වැඩි වාහන සංඛ්‍යාවක් සිර වී තිබීමට හේතුව No Objection ලිපිය බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

වාහනයක් රිය අනතුරකට ලක්වූවායින් පසු රක්ෂණ මුදල ලබා ගැනීම සදහා ලීසිං ආයතනයෙන් ලිපියක් අවශ්‍ය බව ප්‍රකාශ කරන අතර මෙම No Objection ලිපිය හේතුවෙන් ලංකාවේ බොහෝ ලීසිං ආයතන අනතුරට පත් වාහන වල හිමිකම් සියල්ල තමන්ට ලබාගෙන, වාහන, අලුත්වැඩියා කරන ආයතනවලට සිර කරන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් අසංක රුවන් පොතුපිටිය පවසන්නේ.

නමුත් මින් ඉදිරියට මෙම ලිපිය (No Objection Letters) අවශ්‍ය නොවන බව රක්ෂණ නියාමන කොමිෂන් සභාව ලිඛිතව දන්වා තිබෙන අතර ඒ අනුව වාහනයේ හිඟ වාරික පැවතියද අනතුරක් වූ පසු අදාළ රක්ෂණය ලබා ගැනීම සදහා තවදුරටත් ලීසිං ආයතනයෙන් ලිපි අවශ්‍ය නොවන බව ඔවුන් පෙන්වා දෙනවා.

රටතුළ පවතින අර්බුදකාරි වාතාවරණය හමුවේ වුවද ලීසිං ආයතන කිසිම සහනයක් ලබා නොදී වාහන අත්පත් කරගනිමින් සිටින බවයි ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමය පවසන්නේ.

මහ බැංකුව විසින් මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමුකර ණය වාරික ගෙවීම සදහා ජනතාවට සහනයක් ලබා දිය යුතු බව ඔවුන් පෙන්වා දෙනවා ෴

***************************************

කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට

(10.03.2022 – 17:18 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග 24 හැවිරිදි කාන්තාවක් තලෙයිමන්නාරම – පේසාලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත පේසාලේ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේ දී අල්මාරියක සූක්ෂම ලෙස සඟවා තිබිය දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 240 ක් සොයා ගත් බවයි පොලිසීය සඳහන් කළේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අද (10) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 24 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා ෴

***************************************

වැඩි මිලට කොරෝනා ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකළ රෝහලකට රුපියල් ලක්ෂ 5 ක දඩයක්

(10.03.2022 – 17:23 +0530 – hirunews.lk/sinhala)

වැඩි මිලට කොරෝනා ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකළ පානදුර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 5 ක දඩයක් නියම කර තිබෙනවා.

ඒ පානදුර මහේස්ත්‍රාත් අධිකරණය මගින්. පාරිභෝගික කටයුතු අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයට ලද පැමිණිල්ලක් අනුව උපාය දූතයෙකු යොදවා අදාළ රෝහලෙන් කොරෝනා පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති රුපියල් 2000 ක උපරිම මිල ඉක්මවා ඔවුන් රුපියල් 2500 ක මුදලක් අය කරන බවටයි ෴

***************************************

කුරියර් ක්‍රමයට යොමුකළ ලිපියක මත්කුඩු

(10.03.2022 – 17:38 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සිට මහනුවර දක්වා කුරියර් ක්‍රමයට යොමුකළ ලිපියක තිබී මත්කුඩු ග්‍රෑම් පහක් (5) මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (10) සොයාගෙන තිබෙනවා.

දීර්ඝ කාලයක පටන් මේ ආකාරයට කොළඹ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට කුරියර් ක්‍රමයට මත්කුඩු බෙදාහැර තිබෙන බවටයි පොලීසිය සැක පල කරන්නේ.

ලියුම් කවරයක් තුළට ඉතා සූක්ෂම ලෙස මතුකුඩු අසුරා එම ලිපිය ව්‍යාජ ලිපිනයකට යොමු කරන බවත් ලිපිය බෙදා හරින පුද්ගලයා ලිපිනය සොයා ගැනීමට නොහැකිව එහි ඇති දුරකතන අංකයට කතා කරන අවස්ථාවේ අදාළ නියෝජිතයා පැමිණ ලිපිය බාර ගන්නා බවත් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

ලිපිය කොළඹින් බාරදුන් පුද්ගලයාගේ තොරතුරුද ව්‍යාජ වීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී ලිපියක තිබී මතුකඩු ග්රෑම් පහක් (5) හමුවී ඇති අතර මෙම මත්කුඩු බෙදාහරින ක්‍රමය හෙළි වීමෙන් පසු ලිපියේ සඳහන් දුරකතන අංකය හිමි පුද්ගලයා එම ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා ෴

***************************************

දුම්රිය හරස් මාර්ගයක් වසා දැමෙයි

(10.03.2022 – 17:47 +0530 – hirunews.lk/sinhala)

ප්‍රධාන දුම්රිය මාර්ගයේ බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසල අලුත්ගම – විගොඩ ප්‍රධාන මාර්ගය හරහා පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම හේතුවෙන් තාවකාලිකව එම මාර්ගය වසා දැමෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව එම අලුත්වැඩියාව සිදු කෙරෙන දින වන මෙම මස 12 වැනි දින සිට 14 දක්වා වාහන ගමනාගමනය නතර කෙරෙනු ඇති.

2022 මාර්තු 12 සහ 13 යන දෙදින තුළ පෙරවරු 08 සිට පස්වරු 05 දක්වාත් මාර්තු 14 පෙරවරු 09 සිට පස්වරු 04 දක්වාත් දුම්රිය හරස් මාර්ගය වසා තැබෙන බැවින් එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි එම නිවේදනයේ දැක්වෙන්නේ ෴

***************************************

ඖෂධ මිලත් ඉහළට ?

(10.03.2022 – 18:32 +0530 – hirunews.lk/sinhala)

ඩොලරයේ හැසිරීම අනුව සාධාරණ මිලකින් ඖෂධ මිල ඉහළ නැංවීමට ඖෂධ ආනයනකරුවන්ට අවසර හිමිව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඒ අනුව සාධාරණ මිල ගණන් යටතේ ආනයනික ඖෂධවල මිල ගණන් වැඩි කරනවා සේම, කිසිදු හිඟයකින් තොරව ඖෂධ දිවයින් පුරා බෙදා හැරීමට ඖෂධ වෙළෙඳසැල් අලෙවිකරුවන් ද කටයුතු කළ යුතු බවයි.

***************************************

අපොස සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ විෂයයන්වල ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන නිවේදනයක්

(10.03.2022 – 19:25 +0530 – hirunews.lk/sinhala)

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සහිත විෂයයන් සඳහා ප්‍රතිඵල නැවත සමීක්ෂණ වෙනුවෙන් අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ එනම් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පමණක් සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව එම ක්‍රියාවලිය මෙම මස 18 තෙක් නැවත සමීක්ෂණ කටයුතු සඳහා අයදුම් කළ හැකියි ෴

***************************************

දිවයිනේ වයස්ගතම කාන්තාව අභාවප්‍රාප්ත වෙයි

(10.03.2022 – 12:41 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන ඉමදුව – කනංකේ කනංකේවත්ත පදිංචි ව සිටි කංකානමි ගමගේ ඩිංගිහාමි මාතාව වයස අවුරැදු 116 ක් ආයු වලඳා අද (10) උදෑසන ජීවන ගමනට සමුදුන් බව වාර්තා වනවා.

වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අකුරැස්ස අතුරලිය ප්‍රදේශයේ දී 1906 ජනවාරි මස එකොළොස් (11) වැනි දා ඇය උපත ලබා තිබුණා. මියැදෙන විටදී ඇය ජීවත් වූයේ වාහල කනංකේ, පාළුවත්ත ගම්මානයේ ය.

ඒම්.ජී. දනෝරිස් සමඟ විවාහ දිවියට ඇතුළත් ව සිටි ඇය ඔවුන්ගේ ජිවන උපාය මාර්ගය වූයේ, කෘෂිකර්මාන්තය යි.

ඇය පුතුන් දෙදෙනෙකුගේ (2) හා එක් (1) දියණියකගේ මවක්.

පසුගිය වර්ෂයේ ජාත්‍යන්තර වැඩිහිටි දින‍යේ දී මහත් හරසරින් පුද ලද ඩිංගිහාමි, අවුරුදු 116 ක් ආයු ලැබීමට තරම් දුර්ලබ වාසනාවකින් යුක්ත වුණා.

දේහය මේ වන විට කනංකෙ වත්ත නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු (11) දින පස්වරුවේ දී පවුලේ සුසාන භූමියේ දී සිදු වෙනු ඇති ෴

***************************************

කම්කරු වන්දි සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි

(10.03.2022 – 20:02 +0530 – hirunews.lk/sinhala)

අනතුරුවලදි ගෙවන උපරිම කම්කරු වන්දි මුදල රුපියල් ලක්ෂ 20 ක් දක්වා වැඩිකිරීමේ කම්කරු වන්දි සංශෝධන පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

සේවයේ යෙදි සිටියදි සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයන්ට මරණයකදි හෝ පූර්ණ බෙලහීනතාවකදි දැනට ගෙවන උපරීම වන්දි ප්‍රමාණය රුපියල් 5,50,000 ක වන අතර එය රුපියල් විසිලක්ෂය දක්වා මෙම පනත මගින් වැඩිකර තිබෙනවා.

මේ අතර, අද (10) සභාව කල්තැබිමේ විවාදය පැවතියේ රටේ පවතින විදුලිය සහ බලශක්ති අර්බුදය පිළිබදවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *