මුද්‍රණ දෙපාර්තමේන්තුව යළි කඩදාසි අර්බුදයක

මුද්‍රණ දෙපාර්තමේන්තුව යළි කඩදාසි අර්බුදයක

*********************************************

මුද්‍රණ දෙපාර්තමේන්තුව යළි කඩදාසි අර්බුදයක

(10.03.2022 – 07:44 +0530 – hirunews.lk/sinhala)

මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය කඩදාසි නොමැතිවීම හේතුවෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, පාසල් පෙළපොත්, ආකෘතිපත්‍ර, දහම්පාසල් පෙළපොත් සහ ලොතරැයි කිහිපයක් මුද්‍රණය කිරීමේ ගැටළු මේ වනවිට මතුව ඇති බවයි.

පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් කඩදාසි ආනයනයට ගැටළු මතු වුණේ මීට මාස කිහිපයකට පමණ පෙර සිටයි.

වරාය තුළ කඩදාසි සහිත කන්ටේනර් අටක් (8) පසුගිය කාලයේ සිරව තිබූ අතර, ඒවා පසුව නිෂ්කාශනය කර ගැනීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත්, එම කඩදාසිද මේ වනවිට අවසන් වෙමින් පැවතීම හේතුවෙන් රජයේ ඉදිරි මුද්‍රණ කටයුතු සඳහා බරපතල ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ ෴

***************************************

ආණ්ඩුවේ කණ්ඩායම් රැස්වීමට විමල්, වාසු, ගම්මන්පිල නෑ

(10.03.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය ධූරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ අමාත්‍ය ධුරයේ කටයුතුවලින් ඉවත් වන බව පැවසූ වාසුදේව නානායක්කාර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්ව සිටියේ නැහැ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති අතර රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත සමරවීර ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනා, අතුරලියේ රතන හිමියන් ඇතුළු පිරිසක් එක්ව නොසිටි බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එහි මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ඇතුලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානීන් කිහිපදෙනෙක්ද එම රැස්වීමට සහභාගී වී සිටියේ නැහැ.

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එම රැස්වීමට සහභාගී වී තිබෙනවා.

මෙවන් පසුබිමක ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 30 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර කොළඹ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ එම මන්ත්‍රීවරුන් ඇතුලු පක්ෂ රැසක් එක් කර ගනිමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ නව වැඩපිළිවලක් සකස් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරමින් සිටින බවයි ෴

***************************************

රජයේ විධායක නිලධාරීන් සංකේත වර්ජනයක

(10.03.2022 – 08:01 +0530 – hirunews.lk/sinhala)

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අයත් වෘත්තීය සමිති 17 ක නිලධාරීන් අද (10) අසනීප නිවාඩු වාර්තා කරමින් වර්ජනයක නිරත වීමට නියමිතයි.

ඒ වැටුප් සහ උසස්වීම් ගැටලුවලට විසඳුම් ලබා දීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

ඒ අනුව රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමය, රජයේ ආයූර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ පශු වෛද්‍ය නිලධාරී සංගමය, දන්ත වෛද්‍ය නිලධාරී සංගමය, අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සමිතිය, සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා සංගමය යන වෘත්තීය සමිති අද වර්ජනයට එක් වීමට නියමිත යි.

එමෙන්ම දේශීය ආදායම් වෘත්තීය සංගම් එකමුතුව, මිනින්දෝරු සේවා වෘත්තීය සමිති එකමුතුව, රජයේ විද්‍යාත්මක සේවා සංගමය, තොරතුරු හා සන්නිවේදන සේවා සංගමය, කෘෂිකාර්මික සේවයේ සහ කාර්මික අධ්‍යයන සේවයේ වෘත්තීය සංගම් සහ කම්කරු කොමසාරිස්වරුන්ගේ සංගමය ද මෙම වර්ජනයට එක්වනු ඇති.

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්.ඒ.එල්. උදයසිරි කියා සිටියේ, වර්ජනයට සමගාමීව අද (10) පෙරවරු 10 ට කොටුව දුම්රියපොල ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වීමට ද කටයුතු යොදා ඇති බවයි ෴

***************************************

එල්.එන්.ජී. ව්‍යාපෘතිය අඛණ්ඩ ව

(10.03.2022 – 08:03 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ එල්.එන්.ජී. විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා තවදුරටත් කැපවීමෙන් කටයුතු කරන බව නිව්ෆෝට්‍රස් එනර්ජි සමාගම පවසනවා.

ඒ, යුගදනවි ගිවිසුමට එරෙහි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු අදාළ කරුණු පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින්.

එහි දැක්වෙන්නේ ව්‍යාපෘතියට හිතකර අධිකරණ තීන්දුවෙන් පසු ඒ සඳහා වන කැපවීම තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බවයි.

නිශ්චිත ගිවිසුමක් හරහා අදාළ ආයෝජනය ක්‍රියාත්මක බව සඳහන් කරන නිව්ෆෝට්‍රස් එනර්ජි සමාගම අධිකරණ තීන්දුව පිළිබඳව සතුටට පත්වන බවද පවසනවා.

ශ්‍රී ලංකාවට පිරිසිදු ඉන්ධන සහ දැරිය හැකි මිලකට විදුලිය ලබාදීම තම සැලසුම බවයි ඔවුන් සඳහන් කළේ ෴

***************************************

ශානිගේ පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරෙයකු ඉවත් වෙයි

(10.03.2022 – 11:02 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝගයක් මත රදවා තැබීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ඉවත්ව තිබෙනවා.

ඒ, මෙම පෙත්සම ඔහු ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (10) කැදවූ අවස්ථාවේදියි.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ දන්වා සිටියේ තමන් මෙම පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් ඉවත් වන බවයි.

අදාළ පෙත්සම ලබන මස 07 වන දා යළි කැදවීමට නියමිතයි ෴

***************************************

ජයන්තගේ පුටුව භාරගත් ලොහාන් රත්වත්තේ

(10.03.2022 – 11:33 +0530 – hirunews.lk/sinhala)

ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නා.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මේ අවස්ථාවට එක්ව සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බවට වන ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ගාමිණී සෙනෙරත්ගේ අත්සනින් යුතුව ඊයේ (09) නිකුත් කර තිබුණා.

පෙරේදා (08) ඔහු ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට දැනුම් දෙනු ලැබුවේ මාධ්‍ය හමුවක් පවත්වමින්.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ජයන්ත සමරවීර ඉකුත් දිනවල දී තමා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර සිටියා ෴

***************************************

දෙමළ සන්ධානයේ ජනපති හමුව 15 වැනි දා

(10.03.2022 – 13:04 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර සාකච්ඡාවක් ලබන 15 වන දා පැවැත්වීමට නියමිත යි.

දෙපාර්ශවය අතර මීට පෙර සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද පැවති තත්ත්වයන් මත ඊට අවස්ථාව හිමි වූයේ නැහැ.

පසුගිය දා උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ පක්ෂ මන්ත්‍රීවරුන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක ද නිරත වූ අතර එහි දී ඔවුන් ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත්, ලබන 15 වන දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආරාධනා කළ බවයි දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

***************************************

මන්ත්‍රී භෝජනාගාරය වසන්නැ යි ඉල්ලීම්

(10.03.2022 – 13:06 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු භෝජනාගාරයේ දියර කිරි හිඟවීමෙන් මන්ත්‍රීවරුන් පිරිසක් කලහකාරී ලෙස හැසිරුණු බවට ඊයේ (09) ජාතික පුවත්පතක මුල් පිටුවේ පළ වී තිබූ ප්‍රවෘත්තිය පිළිබදව පරීක්ෂණයක් සිදු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

ඊට සමගි ජන බලවේගයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මැදිහත් වීමත් සමග සංවාදාත්මක තත්ත්වයක් මතු වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න ද ඊට මැදිහත් වුණා.

***************************************

වසරේ ගෙවුණු කාලය තුළ දී පමණක් ඩෙංගු රෝගීන් 10,688 ක්

(10.03.2022 – 13:08 +0530 – hirunews.lk/sinhala)

වසරේ ගෙවුණු කාලය තුලදී පමණක් ඩෙංගු රෝගීන් 10,688 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු පාලන ඒකකය පවසනවා.

එය ගෙවුණු වසරට සාපේක්ෂ ව දෙගුණයක (2) වැඩි වීමක්.

පසුගිය වසරේ මුල් සති 09 ක කාලයේ දී ඩෙංගු රෝගීන් 4,911 ක් වාර්තා වී තිබූ අතර, මේ වසරේ මුල් සති 09 දී පමණක් ඩෙංගු රෝගීන් 10,688 ක් වාර්තා වී තිබුණා.

එලෙස වාර්තා වූ රෝගීන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වීම විශේෂත්වයක්.

ඒ අනුව එම පළාතෙන් වසරේ මේ දක්වා කාලය තුළදී වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 5309 ක්.

ඊට අමතර ව පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික්ක 11 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කොට්ඨාස 38 ක් අධිඅවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.

***************************************

අසනීප නිවාඩු වාර්තා කළ රජයේ විධායක නිලධාරීන් විරෝධතාවක

(10.03.2022 – 13:11 +0530 – hirunews.lk/sinhala)

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අයත් වෘත්තීය සමිති 17 ක නියෝජිතයින් අද (10) අසනීප නිවාඩු වාර්තා කරමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.

වැටුප් සහ උසස්වීම් ගැටලුවලට විසඳුම් ලබාගැනීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින්.

පසුව ඔවුන් සංදේශයක් භාරදීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පා ගමනින් පැමිණ සිටිනවා ෴

***************************************

ආනයන සීමාවෙන් සංචාරක සහ කර්මාන්තවලට බලපෑම්

(10.03.2022 – 13:24 +0530 – hirunews.lk/sinhala)

අත්‍යාවශ්‍ය නො වන භාණ්ඩ රැසකට ආනයන සීමා පැනවීමට කටයුතු කිරීමත් සමග නිෂ්පාදන, ව්‍යාපාරික ඇතුළු ක්ෂේත්‍ර රැසකට බලපෑම් එල්ල වනු ඇති බව වෙළදපළ විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

මේ අතර, මහබැංකුව මගින් ඩොලරයට සාපේක්ෂ ව රුපියලේ අගයෙහි නම්‍යශීලිතාවයක් ඇති කිරීම හේතුවෙන් අද (10) දිනයේදී වාණිජ බැංකු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 260 දක්වා ඉහළ නංවා තිබෙනවා.

භාණ්ඩ 367 කට ආනයන සීමා පැනවීමට අදාළ නිවේදනයට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ (09) අත්සන් කළ අතර, මේ හේතුවෙන් වැඩිම බලපෑම සංචාරක හෝටල් කර්මාන්තයට එල්ල වනු ඇති බව සංචාරක හෝටල් සංගමය ප්‍රකාශ කළා.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ සංචාරක හෝටල් කර්මාන්තය කඩා වැටුණු අතර, පසු ව එය නගා සිටුවීම සදහා රජය කටයුතු කරනු ලැබුවා.

මේ වන විට එය ලාභ ලබමින් පවතින මොහොතක ආනයන භාණ්ඩ සදහා සීමා පැනවීමෙන් සංචාරක කර්මාන්තය කඩා වැටීමේ අවදානමකට මුහුණ දිය හැකි බව සංචාරක හෝටල් සංගමයේ සභාපති ශාන්ති කුමා කියා සිටියා.

ඊයේ (09) සීමා පැනවූ භාණ්ඩ මෙරටට ගෙන්වීමේ දී ආනයන අපනයන පාලකවරියගෙන් බලපත්‍රයක් ලබා ගත යුතු අතර, ඊට පෙර මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ද නිර්දේශයක් ලබා ගත යුතුයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබද පර්යේෂකයෙකු වන ආචාර්ය අසංක විජේසිංහ ගෙන් ප්‍රශ්න කළා.

කෙසේ වෙතත්, ආනයන සීමා පැනවීමට අදාළ ගැසට් නිවේදනය අද දවස තුළ නිකුත් කිරීමට සැලසුම් කර තිබුණ ද ඊට සංශෝධන එක් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව එම සංශෝධන එක් කිරීමෙන් පසු අදාළ ගැසට් නිවේදනය අද (10) දවස තුළ නිකුත් කිරීමට කටයුතු කරන බවයි රජයේ මුද්‍රණාලය සදහන් කළේ.

***************************************

ශ්‍රි ලංකා නව ඇමෙරිකානු තානාපතිනි සහ විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

(10.03.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත්වූ ඇමෙරිකානු තානාපතිනි ජුලී චුන්ග් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් එම අමාත්‍යාංශයේදී අද (10) හමුවුණා.

දෙරට අතර පවත්නා දිගු කාලීන සබඳතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සමග සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බවයි එහි දී විදේශ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

එමෙන්ම, දෙරට අතර ශක්තිමත් දේශපාලන සහ ආර්ථික හවුල්කාරිත්වයක් ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වී සිටින බව ද තානාපතිනි ‘ජුලී චුන්ග්’ එහි දී ප්‍රකාශ කර තිබෙනවා ෴

***************************************

බලංගොඩ – කතරගම මාර්ගයේ විරෝධතාවක්

(10.03.2022 – 14:00 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ – කතරගම මාර්ගයේ, දෙපෑලමුල්ල මංසන්ධිය අවහිර කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත වුණා.

ඒ කහටපිටිය – දෙපෑලමුල්ල මාර්ගයේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු නිසි පරිදි සිදු නොවන බව පවසමින්.

මේ වන විට එම මාර්ගයේ වැඩ කටයුතු නතර කර ඇති බවයි විරෝධතාවයේ නිරත ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

බලංගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති හා ප්‍රාදේශීය ලේකම්වරයා පැමිණ අදාළ මාර්ගයේ වැඩ කටයුතු කඩිනමින් සිදු කරන බවට පොරොන්දු වීමත් සමඟ පැය 2 ක කාලයක් පැවති විරෝධතාව අවසන් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ ෴

***************************************

විශ්‍රාමිකයන් සඳහා සහන පැකේජයක් හඳුන්වා දෙයි

(10.03.2022 – 15:03 +0530 – hirunews.lk/sinhala)

විශ්‍රාමික හැඳුනුම්පතකට හිමිකම් කියන ඕනෑම විශ්‍රාමිකයෙකුට කාගිල්ස් සුපිරි වෙළඳසැල් ජාලය හරහා අද (10) සිට බලාත්මක වන පරිදි සහන පැකේජයක් හඳුන්වාදීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, දිවයින පුරා පිහිටි කාගිල්ස් සුපිරි වෙළඳසැල් සහ ෆාමසිවලින් මෙම වට්ටම් සහිත ගණුදෙනු කිරීමේ හැකියාව විශ්‍රාමිකයින්ට සැලසෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

භාණ්ඩ මිලදි ගැනීමේදී බිල්පතෙහි මුළු එකතුව සඳහා සියයට 5 ක වට්ටමක් ලබාදීමත්, සෑම මාසයකම විශ්‍රාම වැටුප් සතිය තුළ තෝරා ගත් වෙළඳ නිෂ්පාදන සඳහා විශේෂ වට්ටම් පිරිනැමීමත් මේ යටතේ සිදු කෙරෙනවා.

කාගිල්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සිනමාහල්වලින් ටිකට්පත් මිල දී ගැනීම්වල දී සියයට 25 ක වට්ටමක් සහ කේ.එෆ්.සී. අවන්හල්වල රුපියල් 5000 ට වැඩි බිල්පත් සඳහා සියයට 10 ක වට්ටමක් ද විශ්‍රාමිකයින්ට මෙහිදී ලබා දී තිබෙනවා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *