වෙළඳපොලේ පවතින ගෑස් හිඟය තවත් සතියක් – ලිට්රෝ සමාගම

වෙළඳපොලේ පවතින ගෑස් හිඟය තවත් සතියක් – ලිට්රෝ සමාගම

*********************************************

වෙළඳපොලේ පවතින ගෑස් හිඟය තවත් සතියක් – ලිට්රෝ සමාගම

(10.03.2022 – 07:47 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොලේ පවතින ගෑස් හිඟය තවත් සතියක පමණ කාලයක් පවතිනු ඇති බව ලිට්රෝ සමාගම පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ දිවයිනට පැමිණ ඇති ගෑස් නෞකාවක ගෑස් ගොඩබෑමේ කටයුතු අද (10) දිනයේත් සිදුකෙරෙන බවයි.

මීට පෙර දිවයිනට පැමිණ තිබූ මෙට්‍රික් ටොන් 2600 ක් රැගත් ගෑස් නෞකාවේ ගෑස් ගොඩබෑම අවසන්ව ඇති අතර, එහි ගෑස් අද (10) වෙළඳපොලට නිකුත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ගෑස් නොමැතිවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ආපනශාලා වසා දමා ඇති තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කළ හැකියි.

ගෑස් සැපයුම අඩාල වීම හේතුවෙන් ගෘහස්ථ ගෑස් පරිභෝජනය කරන ජනතාවද දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා.

මේ අතර, ලබන සිකුරාදා හෝ සෙනසුරාදා පමණ වනවිට ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පවතින පෝලිම් පහව යනු ඇති බවට විශ්වාස කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඊයේ (09) දිනයේදීත් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු රථවාහන පෝලිම් දක්නට ලැබුණා.

මේ අතර, අද (10) දිනයේදීත් A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාපවලට උදෑසන 8 සිට පස්වරු 6 දක්වා පැය දෙකහමාරක (2½) කාලයක්ද සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැයයි (1) මිනිත්තු 15 ක කාලයක්ද විදුලිය කප්පාදු කෙරෙනවා.

එමෙන්ම P, Q, R, S, T, U, U, V, W යන කලාපවලට අද (10) විදුලිය කප්පාදු කෙරෙන්නේ පැයක (1) කාලයක් පමණයි.

ඒ පස්වරු පහේ (5) සිට රාත්‍රි 9 දක්වා කාලය තුළයි.

++++++++

විදුලිය, තෙල් ගැන අද (10) කල් තැබීමේ විවාදයක්

(10.03.2022 – 07:53 +0530 – hirunews.lk/sinhala)

රට තුළ උද්ගත වී ඇති විදුලිය සහ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් වන සභාව කල්තැබීමේ යෝජනාවක් අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

අදාළ යෝජනාව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් ඉදිරිපත් කරනු ඇති.

එසේම, කම්කරු වන්දි සංශෝධන පනත් කෙටුම්පත ද අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යි.

මේ අතර, පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත සංශෝධන සහිත ව ඊයේ (09) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා ෴

++++++++

ඉන්ධන මිල සංශෝධනයක් ?

(10.03.2022 – 13:15 +0530 – hirunews.lk/sinhala)

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඛන්ඩව ඉහළ යාමත් සමග පිරිවැයට සාපේක්ෂව මිල සංශෝධනයක් සිදු කළ යුතු බවට රජයට යළි යෝජනා කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ජනාධිපති මාධ්‍ය අංශය සංවිධාන කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවට අද (10) එක්වෙමින්.

සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ, බොරතෙල් බැරලයක මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ අද වනවිට ඩීසල් ලීටරයකින් රුපියල් 128 ක සහ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 80 ක පාඩුවක් සංස්ථාවට සිදු වන බවයි.

මෙම තත්ත්වය තවදුරටත් කළමනාකරණය කර ගැනීමට අපහසු බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, ඉදිරි දින කිහිපය තුළ ඩීසල් හිඟය සම්පූර්ණයෙන්ම පහව යනු ඇති බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා පවසනවා.

මෙම සාකච්ඡාවට එක්වෙමින් ඇය කියා සිටියේ, මේ වනවිටත් ප්‍රමාණවත් ඩීසල් තොග රට තුලට ලැබී ඇති අතර අද දිනයේ මෙට්‍රික් ටොන් 37,500 ක් රැගත් තවත් ඩීසල් නෞකාවක් මෙරටට ළගා වීමට නියමිත බවයි.

එමෙන්ම, මේ මාසය තුල ප්‍රමාණවත් ඩීසල් තොග තවදුරටත් ඇණවුම් කර ඇති බවද ලේකම්වරිය සඳහන් කළා.

එමෙන්ම සියලු තාප බලාගාරවලට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල්, හෙට (11) සිට සපයන බව තෙල් සංස්ථාව පවසනවා.

දිවයිනට පැමිණ ඇති දැවි තෙල් මෙට්‍රික් ටොන් 30,000 න් වෙස්කෝස්, සෙජිස්ට්, සහ උතුරු ජනනී බලාගාරවලට මෙන්ම බාජ් බලාගාරයට අවශ්‍ය දැවි තෙල් සපයන අතර, කැළණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඩීසල් ද හෙට (11) සිට නිකුත් කිරීමට නියමිත යි.

++++++++++++

ගෑස් සිලින්ඩරයක් පිපිරී කාන්තාවක් මියයාමට අදාළ පෙත්සම විභාගයට

(10.03.2022 – 13:28 +0530 – hirunews.lk/sinhala)

අනතුරුදායක ගෘහස්ථ ගෑස් සිලින්ඩරක් පිපිරී කාන්තාවක් මිය යාමට සැලැස්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (10) අවසර ලබා දුන්නා.

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ට එරෙහිව සාවද්‍ය නොවන මිනීමරුම් සම්බන්ධයෙන් අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා අදාළ පෙත්සම ගොනුකර තිබුණා.

ඒ කුණ්ඩසාලයේ – නත්තරම්පොත ප්‍රදේශයේ පදිංචිව සිටියදී මියගිය අශෝකා ප්‍රියංගනී නමැති කාන්තාවගේ සැමියා වන ආර්.ඩී.එස් ශාන්ත කුමාර සිරිමාන්න සහ දරුවන් සිව් (4) දෙනා විසින්.

අදාළ පෙත්සම සම්බන්ධයෙන් ලබන මස 08 වන දා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසලිට්රෝ ගෑස් සමාගම, එහි සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්, පොලිස්පතිවරයා හා නීතිපතිවරයා යන වගඋත්තරකරුවන්ට නොතීසි ද නිකුත් කරනු ලැබුවා.

අදාළ පෙත්සම අද (10) කැඳවනු ලැබුවේ ලෆාර් තාහීර් සහ එස්.යූ.බී. කරලියද්ද යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදී යි ෴

++++++++++++

ඉන්ධන ගැටලුව ලබන සතියෙන් ඉවරයි – සඳුදා (14) සිට යථා තත්ත්වයට

(10.03.2022 – 16:18 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට රට පුරා පවතින ඉන්ධන සැපයීම සම්බන්ධ ගැටලු මෙම සෙනසුරාදා (12) වැනි දිනය වන විට සමනය වී එළැඹෙන සඳුදා (14) සිට යථා තත්ත්වයට පත්වනු ඇති බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා පැවසුවා.

‘බලශක්තිය රටට ශක්තියක්’ මැයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවේ දී ලේකම්වරිය මෙම අදහස් පළ කළා.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති, සුමිත් විජේසිංහ ද සහභාගී වුණා.

මේ වන විටත් කොළඹ වරායට ඩීසල් නැවක් පැමිණ ඇති බවත් මෙම මස තුළ ඉන්ධන නැව් තොග හතරකින් ඩීසල් මෙට්‍රික් ටොන් 1,72,000 ක් ලැබීමට නියමිත බවත්, එසේ ලැබෙන ඉන්ධන බෙදාහැරීම වේගවත්ව සිදු කරන බවත් බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරිය ප්‍රකාශ කළා.

විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවි තෙල් නැව් තොග කිහිපයක් ද ලැබී ඇති බවත් (මෙට්‍රික් ටොන් 30,000) එමඟින් දැවී තෙල් භාවිතා කරන වෙස්ට් කෝස්ට් වැනි විදුලි බලාගාර සම්පුර්ණ ධාරිතාවයෙන් යුතුව ක්‍රියාත්මක කළහැකි බවත් ලේකම්වරිය මෙහිදී පෙන්වාදෙන දුන්නා.

මාර්තු 20 වන දින තවත් දැවි තෙල් නැව් තොග ලැබීමට ද නියමිතයි.

++++++++++++

හෙටත් (11) විදුලිය කැපෙයි – ඩීසල් හිඟය තවත් දින කිහිපයක්

(10.03.2022 – 18:42 +0530 – hirunews.lk/sinhala)

තෙල් පිරිපහදුවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළා.

එසේම, ඩීසල් මෙට්‍රික් ටොන් 33,000 ක නෞකාවකින් ඩීසල් ගොඩබෑමේ කටයුතු හෙට (11) ආරම්භ කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පැවති පෝලිම්වල අඩුවක් ඊයේ (09) දිනය වනවිට දක්නට ලැබුණු බවයි.

මේ අතර, ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඛන්ඩව ඉහළ යාමත් සමග පිරිවැයට සාපේක්ෂව මිල සංශෝධනයක් සිදුකළ යුතු බවට රජයට යළි යෝජනා කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති මාධ්‍ය අංශය සංවිධාන කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවට අද (10) එක්වෙමින්.

මේ අතර, ඉදිරි දින කිහිපය තුල ඩීසල් හිඟය සම්පූර්ණයෙන්ම පහව යනු ඇති බව බලශක්ති අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා එම සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කළා.

එමෙන්ම, මේ මාසය තුළ ප්‍රමාණවත් ඩීසල් තොග තවදුරටත් ඇණවුම් කර ඇති බවද ලේකම්වරිය සඳහන් කළා.

කෙසේ වෙතත්, අද (10) දිනයේදීත් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබුණා.

එමෙන්ම සියලු තාප බලාගාරවලට අවශ්‍ය ඩීසල් සහ දැවි තෙල්, හෙට (11) සිට සපයන බව තෙල් සංස්ථාව පවසනවා.

දිවයිනට පැමිණ ඇති දැවි තෙල් මෙට්‍රික් ටොන් 30,000 න් වෙස්කෝස්, සොජිට්ස් සහ උතුරු ජනනී බලාගාරවලට මෙන්ම බාජ් බලාගාරයට අවශ්‍ය දැවි තෙල් සපයන අතර, කැළණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඩීසල් ද හෙට (11) සිට නිකුත් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, අවශ්‍ය තෙල් ප්‍රමාණය නොලැබීම හේතුවෙන් දිනෙන් දින විදුලි කප්පාදු කෙරෙන කාලසීමාව උච්චාචනය වන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

මේ අතර, පාර්ලිමේන්තුවේ විදුලිය පරිභෝජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද (10) සභාවේ අවධානය යොමු කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ අනවශ්‍ය ලෙස විදුලි පහන් මෙන්ම විදුලි සෝපාන ද ක්‍රියාත්මක කර ඇති බවයි.

එසේම, අප්‍රේල් මස මැද වනතුරු බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ප්‍රමාණවත් වර්ෂාපතනයක් අපේක්ෂා නොකරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක කියා සිටියේ මැයි මාසයේදී නිරිත දිග මෝසම් වර්ෂාවද අපේක්ෂා කරන බවයි.

මේ අතර, හෙට (11) දිනයේදීත්A, B, C, D, E, F, G, H, I, J, K සහ L යන කලාපවලට උදෑසන 8 සිට පස්වරු 6 දක්වා පැය දෙකහමාරක කාලයක් ද සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැයයි මිනිත්තු 15 ක කාලයක් ද විදුලිය කප්පාදු කෙරෙනවා.

එමෙන්ම P, Q, R, S, T, U, U, V සහ W යන කලාපවලට හෙට (11) විදුලිය කප්පාදු කෙරෙන්නේ පැයක (1) කාලයක් පමණයි.

ඒ පස්වරු පහේ (5) සිට රාත්‍රි 9 දක්වා කාලය තුළයි.

මේ අතර, අනතුරුදායක ගෘහස්ථ ගෑස් සිලින්ඩරක් පිපිරී කාන්තාවක් මිය යාමට සැලැස්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (10) අවසර ලබා දුන්නා.

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපතිවරයා ඇතුළු බලධාරීන්ට එරෙහිව සාවද්‍ය නොවන මිනීමරුම් සම්බන්ධයෙන් අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා අදාළ පෙත්සම ගොනුකර තිබුණා.

ඒ, කුණ්ඩසාලයේ – නත්තරම්පොත ප්‍රදේශයේ පදිංචිව සිටියදී මියගිය අශෝකා ප්‍රියංගනී නමැති කාන්තාවගේ සැමියා වන ආර්.ඩී.එස් ශාන්ත කුමාර සිරිමාන්න සහ දරුවන් සිව් (4) දෙනා විසින්.

අදාළ පෙත්සම සම්බන්ධයෙන් ලබන මස 08 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසලිට්රෝ ගෑස් සමාගම, එහි සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්, පොලිස්පතිවරයා හා නීතිපතිවරයා යන වගඋත්තරකරුවන්ට නොතීසි ද නිකුත් කරනු ලැබුවා.

++++++++++++

IOC ඉන්ධන මිල යළි ඉහළට

(10.03.2022 – 22:54 +0530 – hirunews.lk/sinhala)

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් ඉහළ යන අතර පෙට්‍රල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 50 කින්.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් ඉහළ යන අතර පෙට්‍රල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 50 කින්.

ඒ අනුව එම සමාගමේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254 ක් වන අතර ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 214 ක්.

පසුගිය පෙබරවාරි මස 25 වනදා ද ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවා.

ඒ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 15ක් වශයෙන්.

IOC සමාගම පසුගිය පෙබරවාරි මස 06 වනදා ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ලැබුවා.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පැවසුවේ, රටේ පවතින ඩොලර් අර්බුදය සහ රුපියල පා කිරීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි.

සිය සමාගම් පාඩු නොලබන ආකාරයට ජනතාවට ඉන්ධන සැපයීමට නම් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වැඩිවීමේ දී මෙන්ම මෙරට තුළ රුපියල අවප්‍රමාණය වීම යනාදී කාරණා හේතුවෙන් මෙවැනි තීරණවලට ව්‍යාපාරික වශයෙන් එළඹීමට සිදුවන බවයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා කියා සිටියේ.

අමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් දින 07 ක් තුළ රුපියල් 57 ක් දක්වා දෙවතාවක් අවප්‍රමාණය වීම ඩීසල් සහ ප්‍රෙටල්වල ගොඩබෑමේ සිට මිල සෘජුව වර්ධනයට බලපෑ බව ද ඔහු වැඩිදුරටත් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

+

@@@@ කොවිඩ් හා සබැඳි පුවත් @@@@

ඩෙල්ටා ක්‍රෝන් නමින් නව කොරෝනා ප්‍රභේදයක්

(10.03.2022 – 14:05 +0530 – hirunews.lk/sinhala)

ඩෙල්ටා ක්‍රෝන් නමැති නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් මේ වනවිට රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

ඩෙන්මාර්කය, ප්‍රංශය සහ නෙදර්ලන්තයෙන් මෙම ඩෙල්ටා ක්‍රෝන් කොරෝනා ප්‍රභේදය සොයා ගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.

ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේද මිශ්‍රවීමෙන් මෙම නව ප්‍රභේදය හට ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් සඳහන් කළා ෴

++++++++++++

කොවිඩ් ආසාදිතයින් 113 දෙනෙකු පූර්ණ සුවයට

(10.03.2022 – 14:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය ව සිටි තවත් පුද්ගලයින් 113 දෙනෙකු අද (10) දිනයේ දී සුවය ලබා තිබෙනවා.

ඒ අනුව මෙරට වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 6,18,616 ක්.

වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ, 19,359 දෙනෙකු තවදුරටත් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන බවයි.

වෛරසය ආසාදනය වී සිදු වූ මරණ සංඛ්‍යාව 16,361 ක් ඉහළ ගොස් තිබෙනවා.

මේ වනවිටත් වෛරසය ඊයේ (09) දින වනවිට ආසාදනය වූ සංඛ්‍යාව 6,54,336 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

++++++++++++

කොරෝනා මරණ 13 ක් අද (10) වාර්තා වේ

(10.03.2022 – 18:03 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදිතව සිටි පුද්ගලයින් 13 දෙනෙකු අද (10) දිනයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා.

ඒ අනුව මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 16,374 ක්.

අද (10) දිනට තහවුරු කරන ලද කොවිඩ් මරණ අතර වයස අවුරුදු 30-59 ත් අතර සිදු වූ එක් පිරිමි පුද්ගල මරණයක් වාර්තා වුණා.

වයස අවුරුදු 60 ත් ඊට වැඩි පුද්ගල මරණ අතර පිරිමි මරණ 07 ක් සහ කාන්තා මරණ 05 ක් ද වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ෴

++++++++++++

නව ආසාදිතයින් 580 ක්

(10.03.2022 – 20:24 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 580 දෙනෙකු අද (10) දිනයේදීත් හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,54,916 ක්.

අද (10) දිනට සිදු වූ මරණ 13 ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමග මරණ සංඛ්‍යාව 16,374 සීමාව තෙක් ඉහළ ගියා ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *